අවුරුදු 75 කට පෙර: මිත්‍ර බලවතුන් නාසි යුද අපරාධකරුවන් සම්බන්ධ පලමු නඩු විභාගය පවත්වයි

මෙම ලිපිය සැප්තැම්බර් 14 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ජොසෙෆ් ක්‍රෙමර් , සෙල (Celle) නගරයේ යුද සිරකරුවන්ට නියමිත කූඩුවක දැමීමට පෙර බෙල්සින් (Belsen) කඳවුරේ දී, පාදයේ යකඩ විලංගු සමග.

මිත්‍ර හමුදා බලවතුන් විසින් දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මනියට හා ජපානයට එරෙහිව ලබාගත් ජයග්‍රහනයෙන් පසු, ජර්මනිය හා ජපානය පෙර වසරවල සිදු කරන ලද සමහර යුද අපරාධ සහ කුරිරුකම් හෙලි කරන නඩු මාලාවේ පලමුවැන්න, 1945 සැප්තැම්බර් 17 වන දින ආරම්භ කරන ලදී.

බෙල්සින් (Belsen)* හි පැවති නඩු විභාගය, මූලික වශයෙන් බ්‍රිතාන්‍යයන් විසින් මෙහෙයවන ලද අතර එය නිල වශයෙන් හැඳින්වූයේ “ජොසෙෆ් ක්‍රෙමර් සහ තවත් 44 දෙනෙකුගේ නඩු විභාගය” (“Trial of Josef Kramer and 44 others”) යනුවෙනි. ක්‍රෙමර් යනු, බර්ගන්-බෙල්සින් නාසි වහල් කඳවුරේ අනදෙන නිලධාරියා ලෙස කටයුතු කල පුද්ගලයා ය. තුන්වන රයිකය (Third Reich) විසින් මෙම කඳවුර තුල දී යුදෙව්වන්, වෙනත් ජනවාර්ගික සුලුතර සාමාජිකයන්, සහ දේශපාලන විරුද්ධවාදීන් දහස් ගනනක් ඝාතනය කලේය.

විත්තිකරුවන්ගෙන් බහුතරය, නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ පැරාමිලිටරිය වන එස්එස් බලකායේ හිටපු කාර්ය මන්ඩලයට අයත් පුද්ගලයන් ය. ඉතිරි අය සිරකරුවන් පාලනය භාරව සිටි රාජ්‍ය ක්‍රියාකාරීන් වූ අතර ඔවුන් ද සෘජුවම ඝාතනවලට සම්බන්ධව වූ අයයි.

සියලු විත්තිකරුවන් ආවරනය වන පරිදි ඉදිරිපත් වූ නිල චෝදනා පත්‍රය ආරම්භ වුනේ, “ජර්මනියේ බර්ගන්-බෙල්සින්හි, 1942 ඔක්තෝබර් 1 සිට 1945 අප්‍රේල් 30 දක්වා කාලය තුල, බර්ගන්-බෙල්සන් රැඳවුම්  කඳවුරේ කාර්ය මන්ඩල සාමාජිකයින්ගේ වගකීම වූයේ එහි සිටි සිරකරුවන්ගේ යහ පැවැත්ම යි. නමුත් ඔවුන් යුද නීතිය සහ භාවිතය උල්ලංඝනය කිරීමත් එහි සිටි රැඳවියන්ගේන් සමහරෙකුට අයුතු ලෙස සැලකීමත් යන කාරනා එකට තබා සලකා බැලූ අතර...”, යැයි පවසමිනි. ගොදුරු වූවන්ගෙන් බහුතරයක් ඝාතනයට ලක්වූවන් ලෙස නම් කරන ලදී. අවුෂ්විට්ස් වහල් කඳවුරේ සිදුවූ භීෂනය ද අධිචෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

නඩු විභාගය දින 54 ක් පමන පැවතුනි. එම කාලය තුල බ්‍රිතාන්‍ය නඩු පවරන්නෝ (prosecutors),  බෙල්සින්හි බොහෝ මරන සිදුවූ ආකාරය දැක්වෙන පටිගත කල දර්ශන ප්‍රදර්ශනය කලහ. එහි සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව සාක්ෂිකරුවෝ සාක්ෂි ලබා දුන්හ. අවසානයේදී, වරදකරුවන් බවට පත් වූ ප්‍රධාන විත්තිකරුවන් 11 දෙනෙකුට මරන දඬුවම නියම විය. තවත් සමහරුන්ට වසර 10ක් දක්වා සිර දඬුවම් විඳීමට සිදු වූ අතර, සමූල ඝාතනය සඳහා ඔවුන්ගේ භූමිකාව පිලිබඳ ප්‍රමානවත් සාක්ෂි නොමැති යැයි පවසමින් තවත් විත්තිකරුවන් ගනනාවක් නිදොස් කොට නිදහස් කෙරින.

ෆැසිස්ට් බලවතුන්ගේ අපරාධ සම්බන්ධයෙන් ගෝලීයව ඇති වූ පිලිකුල මධ්‍යයේ, ජර්මනිය වාඩිලාගෙන සිටි රටවල් තුල සහ ජාත්‍යන්තරව, මෙම නඩු විභාගයට සැලකිය යුතු මාධ්‍ය අවධානයක් යොමුවිය. කෙසේ වෙතත්, මිත්‍රපාක්ෂිකයින් නාසීන්ගේ අපරාධ පූර්න වශයෙන් ගනන්  බැලීමට උනන්දු වූයේ නැත. ජන සංහාරයට හා දේශපාලන මර්දනයට සම්බන්ධ වූ ජර්මානු නිලධාරීන්  ඉදිරි දශක ගනනාව තුල ආන්ඩුවේ හා සමාජය තුල කැපී පෙනෙන තනතුරු වල රැඳී සිටිනු දැක ගත හැකි විය. සෝවියට් සංඟමයට එරෙහි සීතල යුද සන්දර්භය තුල, ඊලඟ වසරවලදී ඔවුන්ගෙන් සමහරෙක් මිත්‍ර පාක්ෂිකයින් විසින් දැනුවත්ව ප්‍රවර්ධනය කෙරෙන අයුරු  ද දැකගත හැකි විය.  

* බෙල්සින් (Belsen) නොහොත් බර්ජන්-බෙල්සින් (Bergen-Belsen) යනු උතුරු ජර්මනියේ පැවති නාසි වහල් කඳවුරකි. එය පිහිටි ස්ථානය අද හඳුන්වන්නේ පහල සැක්සනි (Lower Saxony) ලෙස ය. 1942 ඔක්තෝබරයේ දී එය ආරම්භ කලේ යුද සිර කඳවුරක් ලෙස වුවද එහි කොටසක් ඉක්මනින්ම වහල් කඳවුරක් බවට පත්විය. යුදෙව්, පෝලන්ත, චෙක්, ඩච්, සෝවියට්, ජර්මානු, සහ ඔස්ට්‍රියානු යන ජාතීන්ට අයත් සිර කරුවන් එක් ලක්ෂ විසිදහසකට (120,000) වඩා එහි රඳවා තැබින. එම කඳවුර තුල මරා දැමූ ගනන පනස් දහසකට (50,000) අධික ය. 1945 අප්‍රේල් 15 වන දින  බ්‍රිතාන්‍යය හා කැනේඩියානු හමුදා විසින් එම කඳවුර නාසි ග්‍රහනයෙන් නිදහස් කර ගන්නා ලදී. 

Loading