ශ්‍රී ලංකාවේ සසප, ඉතිහාසඥ ජෝසප් ස්කාලිස්ට එරෙහි පිලිපීන මාඕවාදී පක්ෂයේ මඩ ප්‍රහාර හෙලා දකියි

මෙම ලිපිය සැප්තැම්බර් 18 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ඉතිහාසඥ ආචාර්ය ජෝශප් ස්කාලීස්, පිලිපීන ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීපී) ප්‍රති-විප්ලවවාදී භූමිකාව හෙලි කරමින්, “පලමුව ඛේදවාචකයක් ලෙස, දෙවනුව විගඩමක් ලෙස; මාකෝස්, දුතර්තේ සහ පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය ” යන සිය දේශනය අගෝස්තු 26 දින පැවැත්වීමෙන් පසු, එහි ආරම්භක නායක ජෝස් මාරියා සීසොන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නියෝජිතයෙකු ලෙස ආචාර්ය ස්කාලීස්ට මඩ ගසා,  ට්‍රොට්ස්කිවාදය පිලිබඳ ස්ටැලින්වාදී බොරු වලට යලි පන පෙවීය. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප),  මේ මඩ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින අතර, පිලිපීනය තුල මාඕවාදී පක්ෂයේ භූමිකාව හා මාඕවාදයේ ජාත්‍යන්තර ප්‍රතිවිපාක පිලිබඳ ආචාර්ය කාලිස්ගේ විවේචන හා හෙලිදරව් කිරීම් සමඟ පූර්න එකඟත්වය පල කරයි. 

පිලිපීනයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද, මාඕවාදය කරපින්නාගත් සංවිධාන විසින් කම්කරුවන්ට, තරුනයින්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට, එක් ව්‍යසනයකින් පසු තවෙකක් ගෙනාවේය. එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) මෙන්ම සසප ද එවැනි කන්ඬායම්වල ද්‍රෝහී භූමිකාවට එරෙහි දේශපාලන අරගලයට නායකත්වය දෙයි.

2016දී  පිලිපීනය තුල ෆැසිස්ට් ස්වභාවයේ ජනාධිපති රොඩ්‍රිගෝ  දුතර්තේ බලයට පත්කිරීම පිනිස සහාය දෙමින් සිසොන් හා සීසීපීය විසින් ඉටුකරන ලද භූමිකාව ආචාර්ය ස්කාලිස් තරයේ හෙලිදරව් කලේය. සීපීපී කිසිවිටෙකත් දුතර්තේට සහාය නොදුන් බව කියමින් සිසොන් ඉතිහාසය යලි ලිවීමට උත්සාහ කරයි. ඒ අතර ම, "ට්‍රොට්ස්කිවාදීන් හා අනෙකුත් මඩගසන්නන්" යන සම්මුඛ සාකච්ඡාවක දී ඔහු,  දුතර්තේ තම පක්ෂයට කැබිනට් ඇමති තනතුරු පිරිනැමූ බව පිලිගත්තේ ය. සීසොන් ප්‍රකාශ කලේ, “සීපීපී හෝ එන්ඩීඑෆ්පී නියෝජිතයන් ලෙස කැබිනට් මන්ඩලයට හෝ වෙනත් රජයේ තනතුරුවලට පුද්ගලයින් පත් කල නොහැකි බව මම [දුතර්තේට]  පිලිතුරු වශයෙන් ප්‍රසිද්ධියේ පැවසුවෙමි ” නමුත් (එය කල යුත්තේ) “පුද්ගල කුසලතාවන්ගේ පදනම මත. ”

සිසොන් අන්තර්ජාල සම්මුඛ සාකච්ඡා ඇතුලු දෝෂාරෝපන මාලාවකින් ප්‍රතිචාර දක්වා ඇත. "ට්‍රොට්ස්කිවාදීන් හා අනෙකුත් මඩගසන්නන් පිලිබඳව" සාකච්ඡාවේදී ඔහු, " තනි රටේ සමාජවාදය " සහ " අවධි දෙකේ විප්ලවය”යන ප්‍රති මාක්ස්වාදී  න්‍යායන්ට හා ස්ටැලින්ට මහත්සේ ප්‍රසංශා කරයි.

සීසීපීය දුතර්තේ වැලඳ ගත්තේ, “තනි රටක සමාජවාදය ” සහ “අවධි දෙකේ ” විප්ලවය පිලිබඳ ස්ටැලින් හා ඔහුගේ ප්‍රති-මාක්ස්වාදී න්‍යායන් මත,  ඉතිහාසය පුරාවටම පවත්වාගෙන ගිය සිය බැඳීම හරහාය. සිසොන් ට අනුව, " තවමත් අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතික විමුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශීය සූරාකන පන්තීන්ට එරෙහිව සටන් කරන පීඩිත ජාතීන්ට හා ජනතාවන්ට, විප්ලවයේ නව වර්ගයක ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී අදියරයන් අවශ්‍ය කෙරේ. එසේම ජාතික ධනේශ්වරය ...අධිරාජ්‍ය විරෝධී සන්ධානයක් සඳහා දිනාගැනීමේ අවශයතාව පවතියි. ”

වෙනත් වචනවලින් කිවහොත් සමාජවාදී විප්ලවය, න්‍යාය පත්‍රයෙන් බැහැර ය. ඒ වෙනුවට, කම්කරු පන්තියට හා ග්‍රාමීය දුප්පතුන්ට විනාශකාරී ප්‍රතිවිපාක  ගෙන දෙමින්, ඒකාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ඇතුලු ධනේශ්වරයේ ඊනියා ප්‍රගතිශීලී නියෝජිතයන් සමඟ සන්ධාන ඇතිකර ගැනීමේ පිලිවෙතක්, සීපීපී සහ එහි පූර්වගාමියා වූ පීකේපී (Partido Komunista ng Pilipinas) විසින් අනුගමනය කර තිබේ.

මෙම පිලිවෙත 1920 ගනන්වල, ස්ටැලින් විසින් චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) මත පැනවූ: අධිරාජ්‍යවාදයට එරෙහිව, කම්කරුවන් , ගොවි ජනතාව, සුලු ධනේශ්වරය සහ ජාතික ධනේශ්වරය ඇතුලත් “පන්ති හතරක හවුලක්” ගැන සඳහන් කරමින්, චියැං කායි-ෂෙක් නායකත්වය දැරූ ධනේශ්වර කුවෝමිංටානයට පක්ෂය දේශපාලනිකව යටත් කිරීම යුක්තිසහගත කරන ලදී. ස්ටැලින් සීසීපීය කුවොමින්ටානයට යටත් කිරීම තුඩු දුන්නේ, ෂැංහයි හිදී කම්කරුවන් සමූලඝාතනය මඟින් කුලුගැන්වුන, 1925-1927 කම්කරු පන්තියේ විප්ලවීය නැගිටීම් ලේවැකි මර්දනයකට ඇද දැමීමටය. 

1917 දී රුසියානු විප්ලවයට නායකත්වය දීමට බොල්ෂෙවිකයන් සූදානම් කල, කම්කරු පන්තියේ සහ එහි විප්ලවවාදී පක්ෂයේ දේශපාලන ස්වාධීනත්වය වෙනුවෙන් මෙන්ෂෙවිකයන්ට එරෙහිව ලෙනින් විසින් කරන ලද සටන ස්ටැලින්වාදීහු ප්‍රතික්ෂේප කලහ. සීසොන් දැඩි ලෙස හෙලා දකින, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය තුලින් ලියොන් ට්‍රොට්ස්කි, ලෙනින් මෙන් එම මූලික දේශපාලන නිගමනයටම පැමිනියේය. රුසියාව සහ චීනය වැනි ධනේශ්වර සංවර්ධනය කල්පසුවූ රටවල ජාතික ධනේශ්වරය, කම්කරු පන්තියට තරයේම සතුරු බැවින් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යන් ඉටු කිරීමට අපොහොසත් බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේය. පැහැදිලිවම සඳහන් කරන්නේ නම් මේවා සාක්ෂාත් කර ගත යුත්තේ, ජාත්‍යන්තර විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස, ගොවි ජනතාවගේ සහාය ඇතිව කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවය තුලින් ය. 

ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායට මඬ ගැසීම යොදා ගනිමින් ස්ටැලින්වාදී සහ මාඕවාදී පක්ෂ වලට, ධනේශ්වරයේ විවිධ කොටස් සමඟ විසිවන සියවස පුරා අවස්ථාවාදී සන්ධාන ඇතිකර ගැනීමට හැකි විය.

1965 දී ශ්‍රී ලංකාව තුල මතුවූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), එවැනි ප්‍රතිපත්තිවල ව්‍යසනකාරී ප්‍රතිපල පිලිබඳ කැපී පෙනෙන උදාහරනයකි. එය මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ස්වෝත්තමවාදය එකට අනාගත්තේය. සීපීපී මෙන්ම ජේවීපී ද, කම්කරු පන්තියේ ප්‍රමුඛ විප්ලවවාදී භූමිකාව පිලිබඳ මාක්ස්වාදී අවධාරනය ප්‍රතික්ෂේප කල අතර, ඒ වෙනුවට, “දේශපාලන බලය වර්ධනය වන්නේ තුවක්කු බටය තුලින්” ය යන මාඕගේ සටන් පාඨය ප්‍රතිරාවය කරමින්, ග්‍රාමීය ගරිල්ලා යුද්ධය උත්කර්ෂයට නැංවීය. 

විප්ලවය පිලිබඳ “අවධි දෙකේ” න්‍යාය දේශනා කරමින් ජවිපෙ, “අධිරාජ්‍ය විරෝධී” යැයි කියනු ලැබූ ධනවාදී පක්ෂ ප්‍රවර්ධනය කලේය. 1970 මැතිවරෙනයේදී එය, ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයට (එජාප) එරෙහිව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) මූලිකත්වයෙන් යුත්,  ලංකා සම සමාජ පක්ෂ (ලසසප) සහ ශ්‍රී ලංකා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ (කොප) සභාගයට සහාය දැක්වීය.

ප්‍රතිගාමී ශ්‍රීලනිප, ලසසප හා කොප සභාගය “ප්‍රගතිශීලී ආන්ඩුවක්” ලෙස පැසසුමට ලක් කරමින් ජවිපෙ කියා සිටියේ, “ජනතා විමුක්ති පෙරමුන විනාශ කරන තෙක් එක්සත් ආන්ඩුව විනාශ කිරීමට ප්‍රතිගාමීන්ට.... නොහැකි” බවයි (ජනතා විමුක්ති, 1970 සැප්තැම්බර් 5).

කෙසේවෙතත් වර්ධනය වන නොසන්සුන්තාවට මුහුන පෑ සභාග ආන්ඩුව, ජවිපෙ  සහ එහි ආධාරකරුවන් ඇතුළු ග්‍රාමීය දුප්පතුන්ට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කලේය. ඊට ප්‍රතිචාර වශයෙන්  ජවිපෙ,  1971 දී මදාවිකාර කැරැල්ලක් දියත් කල අතර,  ග්‍රාමීය තරුන තරුනියන් 15,000 ක් පමන මරා දමමින් හමුදාව එය තලා දැමීය. විකොස සාමාජිකයින් දෙදෙනෙකු ද ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද අතර පක්ෂයේ පුවත්පත් තහනම් කරන ලදී.

1971 ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමට සහාය දුන් විදේශීය බලවතුන් අතර බීජිං මාඕවාදී තන්ත්‍රය ද විය. මෙම පාවාදීම මඟින්, මාඕ 1972 දී, මාකෝස් තන්ත්‍රය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම හා දිගටම මාඕ උත්කර්ෂයට නැංවීමෙන් සීසොන් සහ සීපීපීය වැලැක්වූයේ නැත.

1977 දී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් බලයට පත්වී ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමෙන් පසුව, මූල්‍ය ප්‍රාග්ධනයේ ගෝලීය මෙහෙයුම් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කෙරුනු “විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති” ක්‍රියාත්මක කල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ පාලන තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා ජවිපෙ වහාම පියවර ගත්තේය. 1980 දී රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මහා වැඩ වර්ජනයට ජවිපෙ විරුද්ධ වූ අතර අරගලය පරාජය කිරීමට හා කම්කරුවන් 100,000 ක් පමන නෙරපා හැරීම සඳහා ආන්ඩුවට උදව් කලේය.

ජයවර්ධන ආන්ඩුව විසින් කුපිත කරන ලද දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයට සහාය දෙමින් 1983 දී ජවිපෙ, විශේෂයෙන් දුෂ්ඨ කාර්යභාරයක් ඉටු කලේය. මෙම සිවිල් යුද්ධය, කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට 1948 සිට අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය දෙමල විරෝධී වාර්ගික වෙනස්කම් කිරීමේ කූටප්‍රාප්තිය විය. ජවිපෙ නායක රෝහන විජේවීර, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ඇතුලු දෙමල බෙදුම්වාදී කන්ඩායම් “මාතෘ භූමිය” බෙදීමට උත්සාහ කරන  “ෆැසිස්ට් සංවිධාන” ලෙස ව්‍යාජ ලෙස හංවඩු ගසමින්, යුද්ධය සාධාරනීකරනය කිරීමට උත්සාහ කලේය.

1980 දශකයේ අග භාගයේදී ජනාධිපති ජයවර්ධන, එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ඉන්දියානු සහය පැතූ අතර, 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම යටතේ දෙමල ප්‍රභූ පක්ෂවලට යම් සහන ලබා දුන්නේය. ඉන්පසුව ජවිපෙ, ඔවුන් විසින්ම ඉන්දීය විරෝධී "ප්‍රගතිශීලී පිල" ලෙස හැඳින්වූ ආර්. ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් එජාප වෙත හැරෙමින්,  1988 ජනාධිපතිවරනයේදී බලයට පැමිනීමට ඔහුට උදව් කලේය.

ඒ සමඟම ජවිපෙ, ෆැසිස්ට් ප්‍රකෝප කිරීම් දියත් කල අතර, විකොස සාමාජිකයින් ඇතුලු  කම්කරුවන් සහ දේශපාලන විරුද්ධවාදීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කලේය. ග්‍රාමීය තරුන තරුනියන්ට එරෙහි ජන සංහාරක ප්‍රහාර එල්ල කරමින්, 60,000 ක් පමන පිරිසක් ඝාතනය කිරීමටත් ජවිපෙ විනාශ කිරීම සඳහා කඩතුරාවක් ලෙසත් ප්‍රේමදාස තන්ත්‍රය ජවිපෙ ප්‍රකෝප කිරීම් යොදා ගත්තේය.

එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා චන්ද්‍රිකා කුමාරතුංගගේ සහාය ඇතිව 1994 දී ජවිපෙ, දේශපාලන වේදිකාවට පැමිනියේය. කුමාරතුංග ප්‍රගතිශීලී ධනේශ්වර නායිකාවක් ලෙස ප්‍රකාශ කරමින් ජවිපෙ, ඇය බලයට පත්කිරීමට සහාය දැක්වීය.

මෙම අවස්ථාව වන විට ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැර තිබුන අතර, චීනය ලෝක ධනවාදී ආර්ථිකයට ඒකාබද්ධ වී තිබිනි. ලොව පුරා මාඕවාදී හා ස්ටැලින්වාදී පක්ෂ පිලිවෙත් සමඟ යමින් ජවිපෙ, තියුනු ලෙස දකුනට හැරුන අතර, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් ලෙස යලි හැඩගැසුනි.

එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ඇෆ්ගනිස්ථානය ආක්‍රමනයටත් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” ත් 2001 දී ජවිපෙ සිය සහයෝගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. 2005 මැයි මාසයේදී දකනු හා මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද සහකාර ලේකම් ක්‍රිස්ටිනා රොකා කොලඹට පැමිනි විට ජවිපෙ නායකයන් ඇය හමුවී, එල්ටීටීඊය පරාජය කිරීමට සහාය ඉල්ලා සිටියේය.

2004 දී ජවිපෙ, ජනාධිපති කුමාරතුංග ආන්ඩුවට ඇතුලු වූ අතර ජාමූඅ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට එයට සහාය විය. 2005 අවසානයේ ජවිපෙ, ජනාධිපති ධුරයට පත්වීම සඳහා මහින්ද රාජපක්ෂට සහාය දුන්නේ, උතුරු නැගෙනහිර සිය වර්ගවාදී යුද්ධය නැවත ආරම්භ කල යුතුය යන කොන්දේසිය මත ය. සසප ඇතුලු  යුද්ධයට විරුද්ධ වූවන්ට එරෙහිව මර්දනය වෙනුවෙන් එය පෙනී සිටියේය. අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කර රැඳවුම් කඳවුරුවල 300,000 ක් සිරගත කිරීම ඇතුලුව, 2009 මැයි මාසයේදී සිදුකල යුද්ධයේ කුරිරු අවසානයට, ජවිපෙ හුරේ දැම්මේය.

ජීවන තත්වයන්ට එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයට මහජන විරෝධය වර්ධනය වෙත්ම ජවිපෙ ඉන් දුරස්ත වූයේ, 2010 දී එක්සත් ජාතික පක්ෂය සමඟ තවත් සන්ධානයක් ඇති කර ගැනීම සඳහා පමනි. යුද්ධයේ අවසන් වසරවල එහි නායකත්වය දැරූ හා අපරාධ වලට වගකිව යුතුවූ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරන ව්‍යාපාරයට ජවිපෙ සහාය විය. 

2015 ජනවාරි ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම සඳහා, 2014 අවසානයේ සිට එක්සත් ජාතික පක්ෂය හා කුමාරතුංග සමඟ ජවිපෙ පෙලගැසිනි. මහින්ද රාජපක්ෂ චීනය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගනිමින් සිටින තතු තුල ඔහු නෙරපා හැරීම සඳහා , පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් වොෂින්ටනය මැතිවරනය පිටුපසින් දියත් කලේය.

මෙම ජවිපෙ දේශපාලන අපරාධ එහි මාඕවාදී දේශපාලනයේ තර්කානුකූල ප්‍රතිපලයයි. එහි පරිනාමය, ජෝමා සිසොන්ගේ සීපීපීය, 2016 දී ෆැසිස්ට් දුතර්තේගේ ප්‍රබලතම ආධාරකරුවන් බවට පත්වීමේ පිලිබිඹුවකි.  

ට්‍රොට්ස්කිවාදීන් කලක් ශ්‍රී ලංකාව තුල “සාපේක්ෂව ශක්තිමත්” ව සිටි නමුත් “ඔවුන්ගේ කොමියුනිස්ට් විරෝධී මතවාදය සහ දේශපාලන පිලිවෙත නිසා” විසිරී යෑමට ලක්වූ බව සිය ස්ටැලින්වාදී දෝෂාරෝපනයේදී සිසොන් සඳහන් කරයි.

ස්ටැලින්වාදී සහ මාඕවාදී අවධි දෙකේ න්‍යායට සම්බන්ධිත ආස්තානයන් වැලඳගනිමින්, ඓතිහාසිකව ට්‍රොට්ස්කිවාදය පාවා දුන් ලසසපය ගැනය මෙම අස්ථාවර සඳහන යොමුව ඇත්තේ. 1950 දශකයේ හතරවන ජාත්‍යන්තරය තුල මතුවූ පැබ්ලෝවාදී සංශෝධනවාදී ධාරාවට ලසසප සම්බන්ධ විය. එය කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වූ ට්‍රොට්ස්කිවාදී අරගලය ප්‍රතික්ෂේප කල අතර, ලොව පුරා ස්ටැලින්වාදී නිලධරයන්ට හා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කලේය. 1964 දී අගමැති සිරිමා බන්ඩාරනායක සමඟ ධනේශ්වර සභාග ආන්ඩුවකට සම්බන්ධ වෙමින් ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවා දුන්නේය.

ගෝලීය කොවිඩ්-19 වසංගතය, ලෝක ධනවාදයේ අර්බුදය නාටකාකාර ලෙස වේගවත් කර තිබේ. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවීය අරගල න්‍යාය පත්‍රයට ඇතුලුව තිබේ. මෙම තත්වය හමුවේ, ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී භූමිකාව සහ එහි මාඕවාදී ප්‍රභේදය පිලිබඳ මූලික පාඩම් උකහා ගැනීම අවශ්‍ය වන අතර, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ ක්‍රියාමාර්ගය මත පදනම්ව, විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම අවශ්‍ය වේ. හජාජාක හා එහි ශාඛා සටන් වදින්නේ, එම පක්ෂ ජාත්‍යන්තරව ගොඩනැගීම සඳහා ය.