එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් රාජපක්ෂ ආන්ඩුවට අනතුරු අඟවයි

සැප්තැම්බර් 14 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ ආරම්භක සැසියේදී එහි මහ කොමසාරිස් මිචෙල් බැචලට්, “ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් කවුන්සිලයට වෙත ඇති බැඳීම ප්‍රතික්ෂේප කරමින් සිටින” බවට චෝදනාවක් එල්ල කලාය. එහිදී ඇය යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ සුවිශේෂීව සඳහන් කරමින් එය “ජාතික මානව හිමිකම් කවුන්සිලය ඇතුලු ආයතන වල ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපානු ඇති බව” සඳහන් කලාය.

බැචලට්ගේ ප්‍රකාශයන් හි ලංකාව තුල “මානව හිමිකම් සුරැකීම” පිලිබඳව කිසිඳු අව්‍යාජ උවමනාවක් නොපවතින අතර, එහි අතිමූලික එල්ලය වනුයේ, නව රාජපක්ෂ තන්ත්‍රය චීනය දෙසට හැරීම මුලුමුනින් නතර කිරීම සඳහා ඒ මත යොදන පීඩනය ලිහිල් නොකර තබාගැනීම යි. ඇමරිකාවේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා සඳහා තීරනාත්මක වන රටවල පාලක පන්තීන් දනගස්වා ගැනීම සඳහා ඒ ඒ රටවල් වල ආන්ඩු විසින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගසා කෑම ඇමරිකාව විසින් එකදිගටම පවත්වාගෙන යන ක්‍රියාවලියකි.

බැචලට්ගේ රාජ්ය තාන්ත්‍රික මට්ටමේ අනතුරු ඇඟවීමෙන් තැති ගැන්වුනු රාජපක්ෂ සැප්තැම්බර් 21 වනදා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය අමතමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, රටවල් වල සමාන ස්වාධීනත්වය, භෞමික අඛන්ඩතාවය සහ අභ්‍යන්තර කටයුතුවලට බාධා නොපැමිනවීම පිලිබඳ නිසි අවධානය දෙනු ඇතැයි තමන්ට විශ්වාස බව කියමිනි. “ස්වල්ප දෙනෙකුගේ අවශ්‍යතා සඳහා කිසිදු රටක් ප්‍රාන ඇපයට නොගනු ලබන විට සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර ඇතිකර ගත් හවුල්කාරිත්වය උපරිමයෙන් පවතින බව මම තරයේ විශ්වාස කරමි” යැයි ඔහු රැස්වීමේදී පවසා තිබුනි.

මෙවා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික අවශ්‍යතාවයේ දඬු අඬුවට හසුව මිරිකෙන බෙලහීන රාජ්‍ය නායකයෙකුගේ වචනයි. සිය විදෙස් පිලිවෙත ඇමරිකාව සහ චීනය අතර හැකිතාක් තුලනය කිරීමට උත්සාහ කරන නමුත්, තවදුරටත් එය පවත්වාගෙන යාමට අපහසු තරමට වොෂින්ටනට පැත්තෙන් පීඩනය යෙදෙන බව රාජපක්ෂට දැනී ඇත. 

ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් (ශ්‍රීලපොජපෙ) තරඟ වැදී ජනාධිපතිවරනය ජයගත්තේ ය. ගෝඨාභය රාජපක්ෂ හිටපු හමුදා නිලධාරියෙකු වන අතර වසර 10 ක් තම සොහොයුරාගේ ආන්ඩුවේ ආරක්ෂක ලේකම් ධූරය දැරුවේය. 2009 දී අවසන් වූ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේ දී මිලිටරිය සිදුකල යුද අපරාධ හා බරපතල ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයින් දෙදෙනා ම එක හා සමානව චෝදනා ලබයි. ඇමරිකාව එල්ටීටීඊයට එරෙහි යුද්ධයට පිටුබලය ලබා දුන් අතර, එසමයෙහි රාජපක්ෂ  තන්ත්‍රයේ අපරාධ සම්බන්ධයෙන් මුනිවත රැක්කේ ය.

වොෂින්ටනය “මානව හිමිකම්” පිලිබඳ මාතෘකාව ඇදගත්තේ යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආන්ඩුව බීජිනය දෙසට බරවීමෙන් පසුව පමනි. මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට එරෙහි පීඩනය දැඩි කරමින් සිටි වොෂින්ටනය, “යහපාලනය” හා “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම” පිලිබඳ ව්‍යාජ පොරොන්දුවලින් ගහන වූ උද්ඝෝෂනයක් හරහා, රාජපක්ෂගේ කැබිනට්ටුවේම ප්‍රධාන ඇමතියෙකු වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ හිඳුවීම සඳහා වූ තන්ත්‍රමාරු කුමන්ත්‍රනයකට පිටුබලය දුන්නේය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව රටෙහි විදෙස් පිලිවෙත ඇමරිකාව සහ එහි කලාපීය සගයා වන ඉන්දියාව දෙසට මාරුකිරීමෙන් පසු ඇමරිකාව විසින් ලංකාවේ පාලක පන්තියට එරෙහිව චෝදනා ලිහිල් කරනු ලැබුවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිලිබඳ තම උද්ඝෝෂනයේ ව්‍යාජය හෙලිදරව් කරමිනි. 

ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසර අගදී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වොෂින්ටනය යලිවතාවක් “මානව හිමකම් කඩකිරීම”සම්බන්ධයෙන් සුපුරුදු තැටිය වාදනය කිරීම ආරම්භ කලේය. රාජපක්ෂගේ ජයග්‍රහනයෙන් පසුව ඔහුට සුභ පැතුම් පනිවුඩයක්  එවූ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, “යහපාලනය ගැඹුරු කරමින් හා සාධාරනත්වය, සංහිඳියාව හා මානව හිමිකම් දිරිමත් කරමින් සියලුරටවලට සමෘද්ධිමත් විය හැකි නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පෝෂනය කිරීමට” සහයෝගය දක්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.

අගෝස්තු මාසයේ මහමැතිවරනයෙන් රාජපක්ෂගේ ශ්‍රීලපොජපෙ ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව ඔහුගේ ආන්ඩුව සමග ගනුදෙනු කිරීමේදී මානව හිමිකම් පිලිබඳ ව්‍යාජ උත්සුකය ඉදිරියෙන් තබාගැනීම වොෂින්ටනයේ පිලිවෙත වී ඇත. මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස්වරිය විසින් රාජපක්ෂ ආන්ඩුව වෙත දල්වා ඇති රතු එලිය එහි කොටසකි.

2015දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සම අනුග්‍රාහකත්වය ලබාදෙමින් සම්මත කරගන්නා ලද මානව හිමිකම් සමුලු යෝජනාවෙන් තම ආන්ඩුව ඉවත්වන බව 2019 වසරේ රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එලඹි පෙබරවාරි මාසයේදී ඔහුගේ විදේශ ඇමති දිනේෂ් ගුනවර්ධන විසින් නිවේදනය කරනු ලැබීය. තම ආඥාදායක වැඩපිලිවෙල ශක්තිමත් කරගැනීම සඳහා ලංකාවේ මිලිටරිය යුද අපරාධ චෝදනාවලින් නිදහස් කරගැනීමේ අරමුනෙන් තැබූ මෙම පියවර පිලිබඳව බැචලට් තම කතාව තුල සෘජුවම සඳහන් කලේ ඉදිරියේදී ඒ ඔස්සේ රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යොදන බව අඟවමිනි.

යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවකු බවට පත්ව සිටි සැරයන් සුනිල් රත්නායක ජනාධිපති රාජපක්ෂ විසින් නිදහස් කිරීම, “ඉතා සෘනාත්මක ප්‍රවනතාවයක්” බව ඇය සඳහන් කලේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව චෝදනා ගොනුකිරීමට පවත්නා සූදානමෙහි නිශ්චිත ඉසව් හෙලිදරව් කරමිනි. රත්නායක, දෙමල ජනතාවට එරෙහිව සිදුකල තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය අතරතුර, 2000 දෙසැම්බර් මස, උතුරේ මිරිසුවිල්හිදී බාල වයස්කාර දරුවන් තිදෙනෙකු ඇතුලු අට දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරනයෙන් වරදකරු කරනු ලැබූවෙකි.

වොෂින්ටනයේ අනවරත පීඩනය හමුවේ කොලඹ ආන්ඩුව දැනටමත් එහි අධිරාජ්‍යවාදී යුද සැලසුම් වලට අන්තර්ග්‍රහනය වී සිටියි. කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට සහ එම්සීසී ගිවිසුමට අත්සැන් තැබීමට පවතින සූදානම එහි ප්‍රකාශනයන් ය. එම වැඩපිලිවෙලින් යන්තමින් හෝ ඉවතට හැරීමට උත්සහ කලොත් ඇමරිකාවේ රාජ්‍යතාන්ත්‍රික බලපෑම්වලට හසුවීමට තමන්ට සිදුවන බව මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස්වරියගේ ප්‍රකාශවලින් රාජපක්ෂ වඩාත් ඒත්තු ගනු ඇත. 

ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේදී තමන්ට “බලගතු ජාතීන් අතර බල අරගලයන්ට සම්බන්ධ වීම අනවශ්‍ය” බවත් “විදේශ සබඳතාවල දී මධ්‍යස්ථව සිටිය යුතු” යැයි පූචානම් දෙඩූ නමුත් එසේ “මධ්‍යස්ථව” සිටීමට තමන්ට අවකාශයක් නැති බව දන්නා රාජපක්ෂ ඇමරිකාව, ඉන්දියාව සහ කලාපීය සගයන්ගේ සහය ඇතිව චීනයට එරෙහිව වටලෑමේ මෙහෙයුම් තුල ස්ථානගත වීමේ මාර්ග සොයමින් සිටියි. තමන් කිඳී සිටින බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට චීනය මත වාරු වීමට සිදුවී තිබීමත්, එසේ කිරීම නිසා ඇමරිකාව සහ ඉන්දියාව නොසතුටට පත්වීමෙන් බේරී සිටීමත් අතර තුලනයක් පවත්වා ගැනීම රාජපක්ෂ ආන්ඩුවට එන්න එන්නම දුෂ්කර වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු අද්මිරාල්වරයෙකු වන විදේශ කටයුතු අමාත්‍යංශයේ වර්තමාන ලේකම්, ජයනාත් කොලඹගේ පසුගිය දිනක ඩේලිමිරර් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් තුල ඇමරිකාවේ භූදේශපාලනික අවශ්‍යතාවන් වෙනුවෙන් රාජපක්ෂ ආන්ඩුවේ දායකත්වය වඩා සෘජුව තහවුරු කර ඇත. තමන් අලුත් විදේශ ප්‍රතිපත්තියක් වෙත යොමුවෙන බවට වංචනිකව අඟවමින් එහිදී ඔහු පවසා තිබුනේ, “අපගේ විදෙස් පිලිවෙත බටහිරට නොව නැගෙනහිරට යොමුවන” බවයි. නැගෙනහිරට යොමුවීම යනු කුමක්දැයි ඔහු ඉන්පසුව සඳහන් කල දේවලින් පැහැදිලිය.

“මූලෝපායික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සෑම විටම ‘ඉන්දියාව පලමුව’ යන්න අනුගමනය කරන” බව ජනාධිපති සඳහන් කර ඇතැයි පුවත්පතට පවසා ඇති කොලඹගේ, “ඉන්දියාවේ මූලෝපායික ආරක්ෂක අවශ්‍යතාවන්ට හානිකර කිසිවක් නොකරන බවට” පොරොන්දු  වී ඇත. ඉන්දියාව ඇමරිකාවේ කලාපීය සගයා ලෙස සිටින තතු යටතේ ලංකාවේ ආන්ඩුවේ ප්‍රකාශකයන්ගේ වචනවල අර්ථය තමන් ඉන්දියන් සාගරය තුල ඇමරිකාවේ අවශ්‍යතාවන්ට කැපවී සිටින්නේය යන්නෙන් වෙනස් වූවක් නොවේ.

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ රාජපක්ෂ අතර අගෝස්තු මස අගදී පැවති දුරකතන සංවාදය පිලිබඳ වඩා නිශ්චිත කරුනු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා තුල සොයාගත හැකිය. එහි සඳහන් වූයේ එම සංවාදය තුලදී “නායකයන් දෙදෙනාම ද්වීපාර්ෂ්වික ආරක්ෂක සබඳතා පුලුල් කිරීමට සහ හවුල් අවශ්යතා වර්ධනය කිරීමට සිය කැපවීම ප්රදර්ශනය කල” බවයි.  

ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව උපාසක ලීලාවෙන් ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවේ, “හවුල් අවශ‍්‍යතා” යන පදයෙන් කිසි ලෙසකින් හෝ වොෂින්ටනය පැත්තෙන් කොලඹ ආන්ඩුවේ උවමනාවන් වෙනුවෙන් කැපවීමක් අදහස්  නොවන අතර එයින් කියවෙන්නේ වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී යුද මූලෝපායන් වෙනුවෙන් ලංකාව කරබදු කිරීමට රාජපක්ෂ එකඟවී ඇති බවයි. 

ඇමරිකාව විසින් චීනය වටලෑම සඳහා ඉන්දියානු සාගරය තුල දියත්කරනු ලැබ ඇති මෙහෙයුම් වල ප්‍රමුඛ අංගයක් වනුයේ ලංකාව සමඟ එම්සීසී ගිවිසුමට අත්සන් තබාගනිමින් දිවයින සිය ප්‍රධානතම යුද කඳවුරක් බවට පත්කර ගැනීමයි. පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩු සමයේ අත්සන් කිරීමට ඔන්න මෙන්න තිබූ මෙම ගිවිසුම මහජන විරෝධය හමුවේ පමාකෙරුනි. තම ජාතිකවාදී සහ සිංහල වර්ගවාදී උද්ඝෝෂනයට ගැම්ම ගනුවස්, තමන්ගේ ආන්ඩුවක් යටතේ ගිවිසුම අත්සන් නොකරන බවට, ජනාධිපතිවරනය තුල රාජපක්ෂ නැවත නැවතත් ශපථ විය. එසේ නොකලේනම් තමා වටා රොක්ව සිටින පුහු අධිරාජ්‍ය විරෝධී වාචාලයන්ගේ පල්ල යන බව ඔහු දැන සිටියේය.

පසුගිය ජුලි මස අගදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පියෝ රාජපක්ෂට දුරකතන ඇමතුමක්  ලබාදුන්නේ ගිවිසුම අත්සන් කිරීම පිලිබඳ අඩමානය අවසන් කල යුතු බවට අනතුරු ඇඟවීමටයි. ඇමතුමේ සැබෑ අන්තර්ගතය මහජනතාවගෙන් වසන් කෙරුනත් එහිදී සාකච්ඡාවට ගැනුනු මූලික කරුන එය බවට සැක නැත.

මෙම වර්ධනයන් තුලින් ඉස්මතු වන්නේ සමස්තයක් ලෙස ලංකාවේ කම්කරු පන්තිය ඉදිරියේ ලඹඳෙන බලගතු අන්තරායකි. ලංකාවේ ධනපති පන්තියේ කවර හෝ ස්ථරයකට වොෂින්ටනය විසින් මෙම දිවයින තුන්වන ලෝක යුද්ධයේ කක්ෂය මධ්‍යයට ඇද ගැනීම නතර කල නොහැකිය. අවශේෂ පීඩිතයන් තමා පසුපස පෙලගස්වාගනිමින් ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් හා ඒකාබද්ධව සටන් වැදීමෙන් මිස කම්කරු පංතියට  එම අන්තරාය වලක්වාගැනීමේ මාර්ගයක් නැත. මේ වැඩපිලිවෙල සදහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Loading