පත්වීම් අහෝසි කරනු ලැබූ උපාධිධාරියෝ රැකියා ඉල්ලමින් විරෝධතාවයේ යෙදෙති

පසුගිය සැප්තැම්බර් 23 වැනි දා, කොලඹ කොටුවේ දී, දහසකට ආසන්න උපාධිධාරියෝ රැකියා ඉල්ලමින් උද්ඝෝෂනයක යෙදුනාහ. කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනක නිරත වූ ඔවුහු, එම පා ගමනේදී “සෞභාග්‍යයේ උපාධිධාරීන් මහපාරේ”, “පොරොන්දු වූ ජොබ් 10,000ට බඳවා ගන්නා දිනය ප්‍රකාශ කරනු” යන පාඨ ප්‍රදර්ශනය කලහ. 

උපාධිධාරින් රැකියා ඉල්ලමින් කොලඹ කොටුවේ පැවති පාගමන

රාජපක්ෂ ආන්ඩුව මාර්තු මස 2 වැනි දා, උපාධිධාරීන් 50,000ක් දෙනා රැකියා සඳහා බඳවා ගන්නා බව දැනුම් දෙමින් පත් වීම් ලිපි නිකුත් කලේ ය. මහමැතිවරනය අභියස ලබා දුන් මෙම පත්වීම්, තාවකාලික ව අත්හිටුවිය යුතු යැයි මැතිවරන කොමිසම කල නිර්දේශය පෙරට දමමින්, තාවකාලික ව අත්හිටුවනු ලැබුනි. මහමැතිවරනයෙන් පසු ව, අගෝස්තු 16 වැනි දින සියලු පත් වීම් අවලංගු කර දැමුනි.

එල්ල වූ විරෝධතා හමුවේ සැප්තැම්බර් මස පත් වීම් නැවත අලුත් කිරීමේ දී ඉන් දසදහසකට ආසන්න පත් වීම් ලද උපාධිධාරීන් පිරිසකගේ නම් කපා හැර දමා තිබුනි. ඔවුන්ගේ නම් සේවක අර්ථ සාධක අරමුදලට ඇතුලත්ව ඇති බැවින්, දැනටමත් රැකියාවන්හි නිරත අය ලෙස සලකා එම නම් කපා දැමූ බව ආන්ඩුව පවසයි. 

උපාධිධාරීන්ගේ වැඩෙන විරෝධය නිසා පත් වීම් අත්හිටුවනු ලැබූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් සලසා දීමට සිදු විය. සැප්තැම්බර් 15 වැනි දා අභියාචනා ලබා දීමේ කාලය අවසන් විය. තමන් නැවත රැකියාවලට බඳවා ගන්නා නිශ්චිත දිනයක් ප්‍රකාශ කරන ලෙස බල කිරීම මෙම විරෝධතාවයේ අරමුන විය. 

අභියාචනා ඉදිරිපත් කිරීමේ දී, උපාධිධාරීන් තම පෙර රැකියා ස්ථානයෙන් අස් වූ බවට ආයතන ප්‍රධානීන්ගෙන් ලියුමක් සහ තමන් දැනට රැකියාවක් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතු ව තිබුනි. ඔවුන් පත් වීම් ලද අවස්ථාවේ මුල් සේවා ස්ථානවලින් අස් වී දින කීපයක් හෝ පත් වීම යටතේ පුහුනුව ලැබූ අය වෙති. මැතිවරනය පෙරට දමමින් රැකියාවල නියුක්ත කිරීම පමා කිරීමත් දැන් පත් වීම් අත්හිටුවීමත් නිසා ඔවුහු දැඩි ආර්ථික, සමාජීය සහ මානසික පීඩනයකට ලක් ව සිටිති. 

විරෝධතාකරුවන් කීප දෙනෙක් තමා මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට විස්තර කලහ.

ධම්මික

කුරුනෑගල සිට පැමිනි ධම්මික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියක් හදාරා ඇත්තේ කටුනායක ආයෝජන කලාපයේ ස්මාර්ට් ෂර්ට් කර්මාන්තශාලාවේ කම්කරුවකු වශයෙන් සේවය කරමින් සිටිය දී ය. විශ්‍රාම වැටුපක් සහිත සුරක්ෂිත රැකියාවක් තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වී ඇත.

සුරංග

පාදුක්කේ සුරංග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය සම්පූර්න කලේ වසය අවුරුදු 23ක් වන විට ය. වයස අවුරුදු 7ක් තිස්සේ ඔහු ලැබූ අධ්‍යාපනයට සරිලන රැකියාවක් සම්පාදනය කිරීමට ධනපති පාලනයට නොහැකි විය. මෙම කාලය පුරාවට ඔහුට සිදු වූයේ පෞද්ගලික ආයතනයක කාර්යාල කාර්ය සහයකයෙකු වශයෙන් සේවය කිරීමටයි. “රැකියාවක් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක්. ඉගෙන ගන්නවා කිවුවම පෞද්ගලික අංශයේ රැකියා දෙන්න කැමැත්තක් නෑ. මට මාස 4ක බිලිඳෙක් ඉන්නවා. මේ නිසා බිරිඳට රැකියාවක යෙදෙන්න බෑ. රුපියල් 15,000ක නිවාස නය වාරිකයක් ගෙවීමට තියෙනවා. පත් වීම ලැබුනු විට කරපු රැකියාවෙන් අස් වුනා. මෙ බඳු තත්ත්වයක් යටතේ මාර්තු මාසයේ සිට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව ජීවත් වීමට සිදු ව තියෙනවා. පත් වීම අත්හිටු වීමෙන් විශාල කරදරයකට මාව වැටුනා. රැකියාවක් නොමැති ව ජීවත් වෙන්නේ කොහොමද?” 

තවත් තරුනියක් ඇය මුහුන දී ඇති සමාජ කොන්දේසි විස්තර කලාය: ඇයගේ මව රෝගී තත්ත්වයකින් පෙලෙන අතර, පියා පවුල ජීවත් කර ඇත්තේ ගස් නැගීම වැනි අවිධිමත් අංශයේ කම්කරු රැකියාවල යෙදීමෙනි. ඇය උසස් පෙල හදාරමින් සිටියදී පියා ගසකින් වැටී අනතුරකට පත් ව ඇත. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරේ "පාට් ටයිම්" රැකියාවන්හි යෙදෙමින් වියදම් සම්පාදනය කර ගැනීමට සිදු ව ඇති අතර පත් වීම ලබද්දී ඇය ඇඟලුම් කම්හලක කම්කරුවෙකු වශයෙන් සේවය කොට තිබේ. මාර්තු පත් වීමෙන් පසු එම රැකියාවෙන් ද ඉවත් වූ ඇයට මේ තාක් ජීවත් වීමට සිදු ව ඇත්තේ ස්ථිර මාසික ආදායමකින් තොර ව රෝගී දෙමාපියන් දෙදෙනා ද රැක බලා ගනිමිනි.

මාර්තු මාසයෙන් පසු කොවිඩ්-19 වසංගතයට මුවා වී දැවැන්ත රැකියා ඝාතනයක් සිදු කෙරුනු පසුබිමක දී මෙම තරුන තරුනියන් ආර්ථික වශයෙන් අනාථ කෙරී ඇත. ඔවුන් රැකියාවල යෙදී සිටි කර්මාන්තශාලාවල නැවත රැකියාවක් ලබා ගත නොහැකි ය. ආයෝජන කලාපවල පවත්නා, රුදුරු සහ අනාරක්ෂිත රැකියා කොන්දේසි, රැකියාවන්හි සුරක්ෂිත බවක් නොමැති වීම, විශ්‍රාම වැටුපක් අහිමි බැවින් වියපත් කාලයක ජීවත් වන්නේ කෙසේද යන අවිනිශ්චිතතාව ආදී හේතු නිසා, ඒවායේ රැකියාවන්හි නියුතු තරුන තරුනියන් සැලකියයුතු සංඛ්‍යාවක් රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල බාහිර උපාධි හැදෑරීමට යොමු වෙති. විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර උපාධි හදාරන සිසුන් පවා ඉගෙන ගන්නේ දුෂ්කර කොන්දේසි යටතේ රැකියාවල යෙදෙමිනි.

මෙම තරුන තරුනයන් උත්සාහ කරන්නේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් නිර්මානය කල රුදුරු සමාජ ආර්ථික කොන්දේසිවලින් සීමිතව හෝ සහනයක් ලබා ගැනීමටයි. නමුත් එම උත්සාහය දෙස පවා ධනපති පන්තියට ඇත්තේ නරුම ආකල්පයකි. අගෝස්තු 19 වැනි දා, ජනාධිපති ලේකම් කාර්යාලය අසල දී, උපාධිධාරීන්ගේ විරෝධතාවකට පැමිනි ජනාධිපති රාජපක්ෂ අවුරුදු 45ක් වන තුරු තමන්ට රැකියාවක් ලැබුනේ නැතැයි පවසන උපාධිධාරිනියකට සෝපහාසී සිනාවකින් යුතු ව පිලිතුරු දෙන්නේ “එච්චර කල් මොකද කලේ” යයි යනුවෙනි. 

අනෙක් අතට, රැකියා ප්‍රශ්නය ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට එකම පිලිතුර ලෙස පවත්නා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලින් උපාධිධාරීන් ඈත් කරවමින්, අවුරුදු ගනන් ඔවුන් මහ මග රස්තියාදු කල උපාධිධාරී සංගම් ද මෙයට වගකිව යුතු ය. ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තොරොම්බල් කරන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නායකත්වය සම්පාදනය කරන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මෙම අරගලවල ඉස්මත්තේ සිටී. 

සැප්තැම්බර් 23 විරෝධතාවයට නායකත්වය දුන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මූලෝපාය ව පැවතියේ ගාලු පාර අවහිර කිරීම මගින් රැකියා ලබා දෙන දිනයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් ලවා ප්‍රකාශයට පත් කරවා ගැනීමයි. පසු දින නැවතත් ගාලු මුව දොර සිට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පාගමනක් සංවිධානය කල සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද භික්ෂුව, “රැකියාගත කිරීම කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා අවශ්‍ය දේශපාලනික මැදිහත්  වීම කරන මෙන් අපි ඉල්ලා සිටිනවා” යයි මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.

පෙසප නායකයකු වන දුමින්ද නාගමුව අගෝස්තු 17 දා මාධ්‍ය හමුවක දී තම දේශපාලන උපාය සූත්‍රගත කරමින් මෙසේ පැවසිය: “රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට ප්‍රතිපත්තිමය තීරනයක් ආන්ඩුව අරන් නෑ. කාලෙන් කාලෙට මැතිවරනවල දී පොරොන්දු ලබා දෙනවා. ඒ පොරොන්දු වීදි සටන් හරහා දිනා ගන්න රැකියා විරහිත උපාධිධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ විදියට තමයි ඉතිහාසය පුරා ම රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳුනේ.” 

තම දරු පවුල් සමග ශීලාචාර ජීවිතයක් ගතකිරීමට සප්‍රමානවත් වැටුපක් සහිත සුරක්ෂිත රැකියාවක් අපේක්ෂා කල උපාධිධාරීන්ගේ ජීවිතවල වටිනා අවුරුදු ගනනක් මහමග නාස්ති කර, පවුලක් තබා තනි අයෙකුටවත් මසකට යැපීමකට කිසිසේත් ම ප්‍රමානවත් නොවන රුපියල් 20000ක් සොච්චම් දීමනාවක් සමගින් ස්ථිර නොවන රැකියාවලට පත් කිරීම ජයග්‍රහනයක් ලෙස ඔජ වැඩිය හැක්කේ, ධනපති පාලක පන්තියේ, විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්තයෙකුට පමනි. නව රාජ්‍ය රැකියා ලබා දිමේදී, අතීත අරගල මගින් දිනාගත් විශ්‍රාම වැටුප් ආදී අයිතීන් දැවැන්තව කප්පාදු කෙරුනු සොච්චම් වැටුප් සහිත ස්ථිර නොවන රැකියා පමනක් ලබාදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයකි. 

පසුගිය වසරේ සංවර්ධන නිලධාරීන් ලෙස පත් වීම් ලද උපාධිධාරීන්ගේ රැකියා මෙතෙකුදු ස්ථිර කර නොමැති අතර සොච්චම් දීමනාව පවා ඇතැම් විටක ගෙවීම පමා වී ඇත. මේ වසරේ පත් වීම් ලබා දුන් සංවර්ධන නිලධාරිනියන්ගේ ප්‍රසූත නිවාඩු අඩකින්, එනම් දින 42ක් දක්වා කප්පාදු කර ඇත. 

කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් ගැඹුරු කෙරුනු ධනපති අර්බුදයෙන් බැට කමින් සිටින රාජපක්ෂ ආන්ඩුව එය මහජනතාව මත පැටවීමට ගෙන යන කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රහාරයට,මෙම උපාධිධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ද ඇතුලු සෙසු සමස්ත පීඩිත මහජනතාව මුහුන දී සිටී. කම්කරු පන්තියෙන් එල්ල වන ප්‍රතිරෝධය රුදුරු ම ආකාරයෙන් තලා දැමීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරියට වාරු වූ ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නගමින් සිටි. මෙම ආඥාදායකත්වයට නෛතික රාමුවක් සම්පාදනය කර ගැනීම රාජපක්ෂ ආන්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනවල එල්ලය යි.  

දිලිඳු පවුල්වල තරුන තරුනියන්ට රැකියා ලබා දීමට යයි කියමින් මිලිටරියේ ඍජු අධීක්ෂනය යටතේ ගොඩ නගන “බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය”, පන්ති අරගල බිඳීම එල්ල කරගත් හොරිකඩ හමුදාවක් ලෙස යොදා ගැනීම රාජපක්ෂගේ අරමුනයි. 

තවමත් ආන්ඩුව අලුත් නිසා එහි කෙරුවාව පෙන්වීමට කල් දිය යුතු යැයි පවසන ජනතා විමුක්ති පෙරමුන සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය සම්පාදනය කරන සංගම් මෙම අන්තරායන් වසන් කරන අතර ආන්ඩුවේ මිලිටරි විනයගත කිරීමට සහය ලබා දෙයි. 

බලයට පත් වූ විගස මෙලෙසින් ම විසි දහසකට ආසන්න තාවකාලික කම්කරුවන් රැකියාවලින් දොට්ට දමා ඔවුන්ගෙන් යැපුනු දස දහස් ගනනකගේ ජීවිත ව්‍යසනයට ඇද දැමූ සහ කොවිඩ්-19 වසංගතයට මුවා වී තවත් රැකියා සංහාරයක් දියත් කල ආන්ඩුවකට රැකියා අර්බුදය විසඳීම සම්බන්ධයෙන් අව්‍යාජ වුවමනාවක් අතැයි හෝ පිඩීතයනගේ සමාජ කොන්දේසි සම්බන්ධයෙන් සංවේදී වන්නේ යැයි සිතීම මුලාවකි. ධනපති ක්‍රමයේ අර්බුදය නිර්මානය කල සමාජ දේශපාලන ගැටලු ජය ගත හැක්කේ එම සමාජ සම්බන්ධතා අහෝසි කර දැමීමෙන් ම පමනකි.

Loading