කරදියාන කුනු කන්ද හේතුවෙන් නිවාස අහිමි වූ ජනයා ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

2019 අප්‍රේල් 12 වැනි දා කරදියාන කුනු කන්ද අවට ප්‍රදේශය නායයාමේ ආපදා සහිත ප්‍රදේශයක් ලෙස නම් කිරීමෙන් පසුව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ගේ මැදිහත් වීමෙන් එහි නිවැසියන් එම ස්ථානයෙන් ඉවත් කෙරුනි. ඔවුන් මෙතෙකුදු ජිවත් වන්නේ කුලී නිවාසවලය.

වන්දි මුදල් හෝ ස්ථීර නිවාස ලබාදෙන බවට දුන් පොරොන්දුව මත, තාවකාලික ව කුලී නිවාසයන්හි පදිංචියට යාමට නිවැසියෝ එකඟ වූහ. කරදියාන කුනු කන්ද පාලනය කරන බස්නාහිර පලාත් සභා අපද්‍රව්‍ය කලමනාකරන අධිකාරිය විසින්, එක් නිවසක මාසික කුලිය රුපියල් 25,000 බැගින් මාස හයක නිවාස කුලියක් ඔවුන්ට ලබාදීමට කටයුතු  කලේය.

නායයාමේ හැකියාව පිබඳ දැනුම් දීමේ පුවරු

මහජනතාව ඉවත් කිරීමෙන් පසුව නිවාස සහ ඉඩම් තක්සේරු කොට වන්දි ලබාදෙන බව එම අධිකාරිය පැවසුවද ඔවුන්ට ලබා දුන්නේ නිවාස තක්සේරුවෙන් සියයට අසූවක් පමනි. ඉඩම් වල වටිනාකම සහ  ඉතිරි නිවාස වටිනාකම  පසුව ලබා දෙන බව පැවසුවත් තවමත් එය ලබා දී නොමැත. දැන් ගෙවල් කුලී ගෙවීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පවරාගෙන තිබේ. ඒ අනුව දැනට  ගෙවල් කුලිය සඳහා ලැබෙන්නේ මුලින් කිවූ මුදලින් භාගයකට පමන සමාන වන මුදලකි. එය කිසිසේත්ම මෙම ප්‍රදේශයේ නිවසක් කුලියට ගැනීම සඳහා ප්‍රමානවත් නොවේ.

සංස්ථාව දැනට ගෙවල් කුලී වාරික තුනක් ලබාදී තිබේ. ඔවුන් මෙම මුදල පවා ලබාගෙන ඇත්තේ ඉතාම ආයාස කර උත්සාහ වලින් පසුවය. තමන් මුහුන දෙන ගැටලු වලට විසඳුම් ලබාගැනීම සඳහා සංස්ථාව පිහිටි බත්තරමුල්ලට නිතර යෑමට මෙන්ම නිලධාරීන්ගේ පීඩාකාරී වාතාවරනයට මුහුන දීමට ඔවුන්ට සිදුවී තිබේ.

නිවාසවලින් ඉවත්ව යන දයානි, රන්සිරි සහ තවත් අය

ඩබ්ලිව්.කේ.දයානි  තමන් මුහුන දෙන දුක්බර තත්ත්වය විස්තර කලේ මෙසේය:

“මුලින්ම ඉවත් කලේ ගෙවල් පහයි. ඉන්පසුව තමයි මේ ගෙවල්  15 ම ඉවත්  කලේ. මුලින්ම ප්‍රාදේශීය ලේකම් මගින් දැනුම් දුන්නා නාය යාමේ අනතුරු තියෙන නිසා මේ ගෙවල් වලින් ඉවත්වෙන්න කියලා ඔවුන් අපට කිව්වෙ පන්සලකට හරි යන්න කියලා.  අපි එය ප්‍රතික්ෂේප කලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලා අපේ විරුද්ධත්වය ප්‍රකාශ කලා. ඊට පසුව තමයි කසල අංගනය පවත්වාගෙන යන අය මාසෙකට රුපියල් 25,000 බැගින් ගෙවල් කුලිය දෙන්න පොරොන්දු උනේ. 

මුල් හය මාසය සඳහා එම මුදල ලැබුන ද ඉන්පසු ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව ඇයට මාසික කුලිය ලෙස දී ඇත්තේ රුපියල් 16,000 ක් පමනි. ඇගේ නිවස රුපියල් ලක්ෂ 25 කට තක්සේරු කල ද ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 19 ක් පමනි. 

මෙම ප්‍රශ්නය ඇතිවූ දා සිට මහින්ද රාජපක්ෂ ආන්ඩුවත්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවත් සැලකුවේ එකම ආකාරයට බව ඇය කෝපයෙන් පැවසුවාය. ගැටලුව අධ්‍යයනය කරන්න ටික කලක් යන බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ද ප්‍රශ්නය යට ගැසීමට තැත් කරන බව ඇය තවදුරටත් කියා සිටියාය. "පසුගිය මහ මැතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ පිලියන්දලට ආපු වෙලාවේ අපි ඔක්කොම ගිහින්  අපේ ප්‍රශ්නය බලන්න කියලා ඔහුට ලියුමක් දුන්නා. බලන්නං කියලා ලියුම අසල සිටි කෙනෙකුට දුන්න. පහුගිය දවස් වල කුනු කන්ද බලන්න ජනාධිපති එනවා කියලා අපි සෑහෙන රස්තියාදු වුනා.”

තමන් මෙතැනින් ඉවත් වුනේ කිසිවෙකු ගැන තිබෙන විශ්වාසයක් තිබු නිසා නොවන බවත්. මීතොටමුල්ල වැනි අනතුරකට මුහුන පෑමට සිදුවේවි යන බිය නිසා බවත් ඇය  ප්‍රකාශ කලාය. 

“සමහර මාධ්‍ය අපෙන් අහනවා කුනු කන්දක් ලඟ නේද ඉන්නේ මෙතන ඉන්න පුලුවන්ද? කියලා. අපි කිව්වා අපි මෙතන කැමැත්තෙන් ඉන්නේ නැහැ අපට යන්න තැනක් නැති නිසයි මෙතන ඉන්නේ කියලා. ඒ වගේම බත්තරමුල්ලේ සිටින සමහර නිලධාරීන් අහනවා ඇයි කුනු කන්දක් ගාව ගෙවල්  හැදුවේ? කියලා. අපට කියන්න තියෙන්නේ අපි කුනු කන්දක් ගාව ගෙවල් හදපු නැති බව. ගෙවල් හදලා බොහෝ කලකට පසුවයි මෙතන කුනු පුරවන්න පටන් ගත්තෙ.” 

ඇය  ගෘහ කර්මාන්තයක් ලෙස ඇඳුම් මැසිමේ නියැලෙන අතර ඇගේ සැමියා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සුලු ව්‍යාපාරයක්  පවත්වාගෙන ගොස් තිබේ. කොවිඩ් වසංගතයේ බලපෑම නිසා දෙදෙනාගේම ආදායම් මාර්ග බොහෝ දුරට අහිමි වී ඇතිබවත්. සමහර අවස්ථාවල නිවසේ කෑමට දෙයක් පවා නැතිව යන තත්වයකට මුහුනදී සිටින බවත් ඇය පැවසුවාය.

“අගහිඟකම් නොතකා තමයි අපි ජීවත් වෙන්න තැනක් ඉල්ලන්න බත්තරමුල්ලට ගාටන්නේ. සෑහෙන වාර ගානක් ගියාට පස්සේ තමයි දෙන සොච්චං ගෙවල් කුලිය පවා අපට ලැබෙන්නේ. දැන් ඉන්න ගෙයක් කුලියට ගන්න අතිනුත් වියදම් කරන්න වෙලා තිබෙනවා”යැයි ඇය වැඩි දුරටත් කීවාය.

කුනු කන්ද නාය යන බව පවසමින් එම නිවැසියන් ඉවත්  කෙරුන ද කසල දැමීමේ වැඩකටයුතු නොනැවතී සිදුවේ. පලාත් පාලන ආයතන 8 ක් පමන තම කසල මෙහි බැහැර කරයි. 2017 අප්‍රේල් මස මීතොටමුල්ල කුනු කන්ද නාය යෑමෙන් පසු කොලඹ කසල බැහැර කරන මධ්‍යස්ථානය බවට කරදියාන පත්වී තිබේ.

මේ පිලිබඳව අදහස් දැක්වූ සමන් රන්සිරි මෙසේ ප්‍රකාශ කලේය: "මෙහි ඉඩම් අත්පත් කරගන්නවා කියලා පලමු ලිවුම ආවේ 2012. එදා ඉඳලා අපි එහෙ මෙහෙ රස්තියාදු වුනා. ඉඩම්වල ජීවත් වෙන්න අපට තියෙන අයිතිය ප්‍රකාශ කලත් සැකේට අපි ගෙවල් වල කිසිම වැඩිදියුනු කිරීමක් කලේ නැහැ අවුරුදු කීපෙකට පස්සේ එම අධිකාරියෙන් ම අපට නැවත ලියුමක් ලැබුනා අත්පත් කර ගැනීම අතහැර දමන ලදී කියලා. අපි සතුටු වෙලා නැවත ගෙවල් අලුත් වැඩියා කිරිම සිදුකලා. මම ගෙට ටයිල් පවා ඇල්ලුවා. මේ අතරේ ඔවුන් කලේ කුනු කන්ද ටික ටික මේ පැත්තට තල්ලු කිරීමයි. කොලඹ පලාත් පාලන ආයතන 7ක විතර කුනු මේ කන්දට ගෙනත් දානවා.  අවුරුදු කිහිපයකින් කුනු අහස උසට ගොඩ ගැහුනා."

ඉවත්කිරීමට නියමිත නිවාස

මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් අවුරුදු දෙකකට පස්සේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි එම සිද්ධියේ බියකරු බව ප්‍රචාරය කරද්දී. කැස්බෑව ප්‍රාදේශීය ලේකම්, නිවැසියන්ට පවසා ඇත්තේ වහාම ඉවත් වෙන ලෙසයි. "අපි ගියේ නැහැ. අපට යන්න තැනක් තිබුනෙ නැහැ. ඉන් පස්සෙ කුනු කන්දෙ පරිපාලනය දේපල වලට වන්දි සහ තාවකාලිකව කුලී ගෙයකට වියදම දෙනවා කියලා මෙතනින් අප ඉවත් කලේ. දැන් කිසි කෙනෙක් අපි ඉන්නවද මලාද කියල හොයල බලන්නෙ නැහැ." 

ගං වතුරෙන් යටවීම වලක්වා ගැනීමට පිලියමක් ලෙස චීන රජයේ චයිනා එක්සීම් බැංකුවේ මූල්‍යාධාර මත වේරැස්ගඟ හාරා රොන්මඩ ඉවත් කිරීම, බොල්ගොඩ ආශ්‍රිත වගුරු බිම්වල ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් දැනට ක්‍රියාත්මක  වේ. එහි කොටසක් ලෙස මේ නිවාස  හරහා විශාල ඇල  මාර්ගයක් තැනීමට නියමිතය.

“මේ ඉඩම් පවරගන්නේ  දියවන්නාව සහ බොල්ගොඩ ඇල මාර්ගයකින් සම්බන්ධ කරන්න ලු. ඒකෙන් විදේශ සංචාරකයො ආකර්ෂනය කරන බෝට්ටු සේවාවක් පටන් ගන්න හදනවා.”  

ක්‍රමයෙන් කුනු කන්ද විශාල වී තම ජීවිත වලට බලපෑ අයුරු පුෂ්ප කුමාර සහ දුලානි යුවල විස්තර කලහ.  දුලානි මෙසේ කීවාය: " නාය යනවා කියලා අපි මෙතනින්  එලවීම විශාල බලහත්කාරී ක්‍රියාවක්. ඔවුන් මුලින්ම කළේ  කසල  කලමනාකරන කාර්යාලය මේ බිමේ මැද පිහිටවපු එක. ඊට පස්සේ හිස් ඉඩම් තියෙද්දි කුනු කන්ද ගෙවල් පැත්තට ගොඩ ගැහුවා. එම කාර්යාලය මේ ගෙවල් අසල හදන්න කියලා අපි කිව්වා. එහෙම කරානම් ඒ ගෙවල් බේරගන්න තිබුනා. අපි මෙහෙ පදිංචියට ආවේ 2001 දි. 2003 වෙනකන් වතුර බිව්වේ ගමේ  ලිඳෙන්. දැන් මේ පැත්තෙ වතුර දූෂනය වෙලා තියෙන්නේ. ඒක කොතලාවල රෝහල දක්වාම පැතිරිලා ගිහිල්ලා. මගේ ජීවිත කාලය තුල කිසිම පාලකයෙක් ඔවුන් බලයට එන්න දීපු පොරොන්දු කිසිවක් ඉෂ්ට කරලා නැහැ. මේ බලහත්කාරී වැඩේ දී අපේ පිහිටට දේශපාලනඥයන්ගෙන්, ආන්ඩුවේ නිලධාරින්ගෙන් සහ නීතියෙන් කිසිම පිහිටක් නැහැ. ” 

අනුප්‍රාප්තික ධනපති ආන්ඩු යටතේ මීතොටමුල්ලේ සහ කරදියානේ කසල රැස් කිරීම ආරම්භ කෙරුනේ සහ ඒවා දැවැන්ත කඳු බවට වර්ධනය කෙරුනේ එම ප්‍රදේශයන්හි ජීවත් වූ මහජනතාවගේ ජීවිත සාපරාධී ලෙස නොතකමිනි. පසුව අනාරක්ෂිත ප්‍රදේශ නම් කරමින් ඒවායේ ජීවත් වූ ජනයා පලවා හැරුනේ ඔවුනගේ ජීවනෝපායන් ද විනාශ කරමින්, ශීලාචාරව ජීවත්විය හැකි නිවාසයන් පවා නොසපයමිනි. මෙලෙස දුගී ජනයාගෙන් නිදහස්කර ගන්නා නාගරික සහ නගරාසන්න ඉඩම් ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධන ආයෝජකයන්ට ලබාදීම සෑම ධනපති ආන්ඩුවකම පිලිවෙතයි. 

Loading