පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආන්ඩුවේ හොරනෑවක් බවට පත්වෙයි

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කලේ කොරෝනා වසංගතය මැඬලීම සම්බන්ධයෙන් “ආන්ඩුව වගකීමෙන් පියවර නොගන්නා නිසා සමාජයක් ලෙස අපිට වගකීමෙන් පියවර ගැනීමට සිදුවන” බවයි. මෙහිදී පෙසප නායකයා වඩාත් සෘජුව මහජනතාව මත වරද පැටවීමේ ආන්ඩුවේ උද්ඝෝෂනය සමඟ එක පෙලට සිටගෙන තිබේ.  

ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ආන්ඩුව ප්‍රමානවත් පීසීආර් පරීක්ෂන නොපැවත්වීම, සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් අතහැර දැමීම සහ ධනපති ලාභය උදෙසා කම්කරුවන් අනාරක්ෂිත ව වැඩට කැඳවීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස වසංගතය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති තත්වයක් තුල ජයගොඩගේ මෙම ප්‍රකාශයන් ආන්ඩුව එම වගකීමෙන් නිදහස් කිරීම සඳහා පිටපොට ගසා ගැනීමකි. 

වසංගතය කෙතරම් උග්‍ර වූවත් කම්කරුවන් වැඩට දැක්කීම යම් තරමකින් හෝ සීමා කිරීමට ආන්ඩුව පියවර නොගන්නේ, ලොව සියලු ධනපති ආන්ඩු මෙන්, කම්කරුවන්ගේ ජීවිත බිලිදෙමින් ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය අඛන්ඩ ව ගෙන යාමට තීන්දු කර ඇති නිසා ය. ජයගොඩ ඒ පිලිබඳ කෙඳිරිල්ලක් තරමවත් විවේචනයක් මාධ්‍ය සාකච්ඡාව තුල නොකලේ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පාලක පන්තිය විසින් ක්‍රියාවට දමා ඇති එම නරුම ප්‍රතිපත්තිය සමග පෙසප ද පෙලගැසී ඇති හෙයිනි.   

ආන්ඩුවේ හොරනෑවක් වන අරුන පුවත්පතේ පලකෙරුනු පුවතක සිරස්තලයක් වෙත යොමු වෙමින් ජයගොඩ ප්‍රකාශ කලේ එහි දැක්වෙන පරිදි ආසාදිතයැයි හඳුනා ගැනුනු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ 506 දෙනෙක් රෝහල් වෙත වාර්තා නොකර සැඟ ව සිටීම බරපතල තත්වයක් බවයි. එසේ සැඟ වී සිටීමෙන් ඔවුන්ට පමනක් නො ව, සමාජයේ තවත් පුද්ගලයින්ටත් රෝගය වැලඳිය හැකි බව සඳහන් කරමින්, “සමාජීය වගකීමක් කරට ගෙන” රෝහල් වෙත වාර්තා කරන්නැයි ඔහු එම ආසාදිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය. 

වසංගතය සමාජගත වීම සම්බන්ධයෙන් ආන්ඩුවට එල්ලවන චෝදනා අදාල කම්කරුවන් වෙත හරවා යැවීමට ආන්ඩුව සහ ධනපති ආන්ඩු මෙම පුවත යහමින් යොදාගත්තේ ය. කම්කරුවන්ට එරෙහි ව මෙලස චෝදනා ගොනු කරමින් ඔවුන්ට එරෙහි ව මර්දනයක් දියත් කිරීම දක්වා ම ආන්ඩුව ගමන් කලේ එලෙස වාර්තා නොකරන පිරිස් නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ගේ දේපල රාජසන්තක කරන බවත් නිවේදනය කරමිනි. එම පුවත තම මාධ්‍ය සාකච්ඡාව තුල හුවා දක්වමින් අනෙකුත් සෑම ධනපති කන්ඩායමක් මෙන් ම පෙසප ද මෙම විසකුරු උද්ඝෝෂනය පෝෂනය කිරීමේ සූදානම පෙන්වා ඇත.   

ආන්ඩුව සිය ඊනියා වසංගත පාලනය තුල සෞඛ්‍ය අංශ වලට ප්‍රමුඛතාව නොදී එය මිලිටරිය සහ පොලිසිය යොදවාගත් මර්දනකාරී මෙහෙයුමක් බවට පෙරලා තිබෙන තතු යටතේ, රෝහල් ගතවීම සහ නිරෝධායනයට යොමුවීමේ දී ආසාදිත තමන් සමාජය ඉදිරියේ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසේ ය යන සාධාරන මනෝගතිය කම්කරුවන් තුල ජනිත වී ඇත. ජයගොඩ ඒ පිලිබඳ ව සඳහන් කලත් ඒවා හුදෙක් වඳ ප්‍රකාශ බවට පත්කරමින් ආන්ඩුවේ මෙම මර්දනකාරී වැඩපිලිවෙලට එරෙහි ව අරගලයක් සඳහා කම්කරුවන්ට කිසිඳු කැඳවුමක් නොකොට එම මර්දනය විඳ දරාගෙන කම්කරුවන් රෝහල් වෙත බාර විය යුතු බව එක දිගට ම අවධාරනය කලේ ය. 

ප්‍රමානවත් සෞඛ්‍යාරක්ෂන පහසුකම් නොමැතිව සහ අදාල දීමනා කප්පාදුවකට මුහුන දෙමින් අනාරක්ෂිත තත්ව යටතේ රාජකාරියේ නිරත වී සිටින සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ද ජයගොඩ මෙවැනි ම ආස්ථානයක් ගත්තේ ය. ඔහු “සමාජය තමන් ගැන තබා ඇති විශ්වාසය බිඳදැමීමට ඉඩනොදී කැපවීමෙන් වැඩකරන්න”යැයි සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. 

“සමාජය සෞඛ්‍ය සේවකයන් පිලිබඳ තබා ඇති විශ්වාසය නොබිඳින්නැයි” කෙරෙන ඉල්ලීම ධනපති ආන්ඩුවේ තානය සමග මනාව පෑහේ. ආන්ඩුව නිරන්තරව කියා සිටින්නේ, මෙම වසංගත සමයේ, වැටුප්, දීමනා සහ අනෙකුත් පහසුකම් නොතකා සෞඛ්‍ය සේවකයන් තම රාජකාරිවල නිරත විය යුතු බවයි. පුද්ගලික ආරක්ෂන උපකරන සහ ප්‍රවාහනය ඇතුලු පහසුකම් ඉල්ලා පසුගිය දිනවල කම්කරුවන් අතරින් මතු වූ වැඩවර්ජන හෝ විරෝධතා ආන්ඩුව අර්ථ දැක්වූයේ මහජනතාවට එරෙහි අපරාධයන් ලෙසයි. පෙසප නායකයා එම තානය ම අනුයමින් සෞඛ්‍ය සේවකයන්ට “කැපවෙනු” යයි කියා සිටී.

පෙසපට මෙවැනි කම්කරු විරෝධී ආස්ථානයන් දැරිය හැක්කේ ඔවුන් ධනපති ක්‍රමයට තදින් ම ගැටගැසුනු මධ්‍යම පන්තික දේශපාලනයේ යෙදී සිටින බැවිනි. වසංගතය මධ්‍යයේ කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් මුහුන දෙන විවිධාකාරයේ දුෂ්කරතා අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවල දහසකුත් එකක් කප්පාදුවල සෘජු ප්‍රතිපලයෝ වෙති. මේ වන විට කොරෝනා රෝගීන් සඳහා ලංකාවේ ඉතිරිව ඇති ඇඳන් ධාරිතාව 200කටත් වඩා පහල ගොස් ඇති අතර ඉදිරි දින දෙක තුන ඇතුලත ඒවා ද රෝගීන්ගෙන් පිරීයනු ඇත. 

එ මෙන් ම, දෛනික පීසීආර් ධාරිතාව ප්‍රමානවත් නොවීම නිසා බ්‍රැන්ඩික්ස් කම්කරුවන් යලි නිවෙස් කරා හරවා යැවීමේ සිද්ධි පවා පසුගිය දිනවල වාර්තා වූ අතර ඒ හරහා වෛරසය සමාජගත වීම වඩාත් වේගවත් වී තිබේ. වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු සෞඛ්‍ය සේවකයින් හයදෙනෙකු මේ වන විට රෝගයට ගොදුරු වී ඇති අතර ආරක්ෂක උපාංග හිඟකම නිසා, රෝගීන් වාර්තා වීම වැඩි වීමත් සමඟ සෞඛ්‍ය කම්කරුවන්ගේ ජීවිත අවදානම ඉහල යනු ඇත. 

පෙසපය වසංගතය සම්බන්ධයෙන් ධනපති පාලක පන්තියේ ප්‍රතිපත්තිය දෙසට සේන්දු වෙමින් සිටියේ මීට මාස ගනනකට ඉහත දී ය. පසුගිය මාර්තු මාසයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් සියලු ධනපති පක්ෂ නියෝජිතයන් ඒකරාශී කරමින් කැඳවූ සර්වපාක්ෂික සම්මේලනය දිනයේම පෙසප නායක කුමාර් ගුනරත්නම් රාජපක්ෂ වෙත ලිපියක් යවමින් “අතපසු වීම්” තිබෙන නමුත්, ආන්ඩුවේ ඊනියා “කොවිඩ්-19 පරාජය කිරීමේ ප‍්‍රයත්නයන්ට පක්ෂයේ සහයෝගය දෙන බව”ට පොරොන්දු විය.  

සර්වපාක්ෂික සමුලුවේ ප්‍රකාශිත අරමුන “වසංගතය මැඩීම සඳහා අදහස් ලබාගැනීම” වුවද එහි සැබෑ අරමුන වූයේ, වැඩෙන මහජන විරෝධය මැඩ ධනපති රාජ්‍යය රැක ගැනීමේ උපාය මාර්ගික එකඟතාවයක් ඇතිකර ගැනීම යි. සර්වපාක්ෂික සමුලුවට සහභාගී වූ අනකුත් ධනපති පක්ෂ මෙන් ම පෙසපයත් රාජපක්ෂ ආන්ඩුවේ එම ඉලක්කයට ම රුකුල් දෙමින්, වසංගතයට මුවා වී ආන්ඩුව වේගවත් කොට ඇති මිලටරීකරන වැඩපිලිවෙලට සහ මහජන සෞඛ්‍යය පිලිබඳ ආන්ඩුවේ සාපරාධී නොතකා හැරීමට එරෙහි ව කෙලපිඬක් හෝ නොහෙලමින්, සිය ලිපියේ ලියා තිබුනේ “ලංකාව මෙවන් අත්දැකීමකට මුහුන දුන් අවස්ථා සුලභ නොවන බැවින් ඇතැම් අඩුපාඩු සිදුවීම අපේක්ෂා කල හැකි” බවයි. දැන් පෙසපය “මහජනතාව වගකීම ගත යුතු බවට” ආන්ඩුවේ නියෝජිතයන් කරන ප්‍රකාශයන් ම ප්‍රතිරාව නංවමින් ආන්ඩුවේ හොරනෑවක් බවට පත් ව ඇත.

දැන් ලංකාව තුල වේගයෙන් වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති සංස්ථාපිතයේ සාපරාධී ස්වභාවය කම්කරුවන් අතර වඩ වඩා හෙලිදරව් වෙමින් ඔවුන්ගේ වෛරයට පාත්‍ර වන්නට පටන් ගෙන තිබේ. කම්කරුවන්ගේ එම විරෝධය පුලුල් අරගලයක් දක්වා වර්ධනය වනු ඇතැයි ධනපති පන්තිය මෙන් ම, පෙසප භීතියට පත් වී සිටිති. මහජනතාවට වසංගත මර්දනයේ වගකීම භාර ගන්නා ලෙස පෙසප ඉල්ලා සිටින විට එහි සැබෑ අර්ථය වන්නේ ආන්ඩුව ගිලී සිටින අර්බුදයේ බර කම්කරුවන් සහ පීඩිතයන් විසින් තම කරට ගතයුතු බවයි.

එම ප්‍රතිගාමී ඉල්ලීම කරන අතරේ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වලක්වා ගැනීම සඳහා ජයගොඩ සුපුරුදු පරිදි උත්සුක වෙයි. ඔහු ඉහත මාධ්‍ය සාකච්ඡාවේ අවසානයට පවසන්නේ කොරෝනා වසංගතය ජයගැනීමට හැකි වන්නේ, “සමාජමය හඬක්”, එනම් ඔවුන්ගේ බංකොලොත් දේශපාලන වැඩපිලිවෙල වන ආන්ඩුවට බලපෑම් දැමීම තුලින් බවයි. “රජය පැත්තෙන් අවම මැදිහත් වීමක් පවතින නිසා සමාජය සාමූහික ව එකට මෙම ව්‍යසනයට මුහුනදිය යුතු” බව ඔහු පවසයි. එහිදී ඔහු යෝජනා කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා සොයා බලමින් ඔවුන්ට සහය වෙමින් ජීවත් විය යුතු බවයි. 

මෙම සෑම වචනයක් ම මහජනතාව අතරින් නැගෙන විරෝධතා නිශ්ක්‍රිය කර දැමීම සඳහා සේවය කරයි. මෙම අර්බුදයේ මූලය ජරපත් වී ඇති ධනපති ක්‍රමය බවට කම්කරුවන් දේශපාලනික ව අවබෝධ කර ගැනීමකින් වලක්වා, හුදු අන්‍යොන්‍ය උදව් පදව් කරගැනීමකින් වසංගත අර්බුදය ජයගත හැකි යැයි ජයගොඩ පවසන්නේ කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කර තබාගැනීමේ අරමුනෙනි.

මෙම උගුල් ඇටවීම්වලට ප්‍රතිකූලව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි ජාතික ශාඛා ලෙස ක්‍රියාත්මක වන සමාජවාදී සමානතා පක්ෂ වසංගතය ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදු වීමක්  ලෙස ගුනාංගීකරනය කරමින් කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී වැඩපිලිවෙලකින් මිස වසංගත අර්බුදය ජයගත නොහැකි ය යන ස්ථිරසාර ඉදිරිදර්ශනය ඉදිරිපත් කර ඇත. 

කොවිඩ්-19 වසංගතයට එරෙහි ජාත්‍යන්තර කම්කරු-පන්තික ක්‍රියා සඳහා! යන මැයෙන් හජාජාක ඉදිරිපත්කල ඉදිරිදර්ශනයේ “වසංගතය නවතා මිලියන ගනන් ජීවිත ආරක්ෂා කරගැනීමට කල යුත්තේ කුමක් ද?” යන්න මෙසේ පැහැදිලි කරයි. 

“වසංගතයට දක්වන ප්‍රතිචාරයේ පාලනය, ධනපති පන්තිය වෙතින් උදුරා ගත යුතු ය. වසංගතය පාලනය යටතට ගෙන, අවදානමට මුහුන දෙන මිලියන ගනන් ජීවිත බේරාගැනීම සඳහා, ජාත්‍යන්තර පරිමානයකින් සම්බන්ධීකෘත කම්කරු පන්තියේ මහජන ක්‍රියාවන් අවශ්‍ය වේ. වසංගතයට එරෙහි ප්‍රතිචාරය හුදෙක් හෝ ප්‍රමුඛ වසයෙන් වෛද්‍යමය ප්‍රශ්නයක් නො වේ. සියල්ලට ඉහලින් එය, සමාජ හා දේශපාලන අරගලය පිලිබඳ කරුනකි.”

වසංගතය නැවැත්වීමට හා එහි බලපෑමට ලක්වූවන් සෑම අංශයකින්ම ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම පිනිස ධනවතුන් කඳුගසා ගන්නා යෝධ මුදල් සම්භාරය අත් අඩංගුවට ගෙන යොදාගැනීම, විශාල බැංකු හා සංගත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත්කර ඒවායේ මහා ලාභ පොදි මෙන්ම යුද්ධය සඳහා විනාශ කර දමන දැවැන්ත සම්පත් සෞඛ්‍යාරක්ෂනය හා අනෙකුත් සමාජආරක්ෂනයන් සඳහා යොදාගැනීමට කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගත යුතුය. ඒ සඳහා වන විප්ලවීය මාවතට ප්‍රවිෂ්ට වීම සඳහා අවශ්‍ය දේශපාලනික පැහැදිලිකම ලඟාකර ගැනීමේ පලමු පියවරක් වන්නේ කම්කරුවන් ව්‍යාජ-වම විසින් කරන මෙම කකුලෙන් ඇදීම් මුලුමුනින් ම ප්‍රතික්ෂේප කිරීමයි. 

Loading