විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවීමට එරෙහිව සටන් වදිනු!

“නවකවදය මැඩීමේ” කඩතුරාව යටතේ රාජපක්ෂ ආන්ඩුව විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවීමට විරුද්ධව සටන් වැදීමට පෙරට එන ලෙස සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය ශිෂ්‍යයන්ගෙන් සහ අධ්‍යයන/අනධ්‍යන සේවකයන්ගෙන් ඉල්ලා සිටී. 

ආන්ඩුව පත්කල කමිටුවක නිර්දේශ ප්‍රකාශයට පත්කරමින් ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පසුගිය මාසයේ දී ප්‍රකාශ කර සිටියේ, “නවකවදයට සම්බන්ධ කොටස් විශ්වවිද්‍යාල තුලින් ඉවත් කිරීම” සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ සහ ආන්ඩුවේ වෙනත් රහස් ඔත්තු සේවාවන්ගේ සහාය ආරක්ෂක අමාත්‍යාංශ මට්ටමින් ම ලබා දෙන බවයි.  

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට අනුව රටපුරා සියලු ම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු මෙම වැඩපිලිවෙලට සහාය දක්වා තිබේ. නව වැඩපිලිවෙල යටතේ රාජ්‍ය බුද්ධි අංශ සහ විශ්වවිද්‍යාලවල දැනට සේවයේ යොදවා ඇති විනය ආරක්ෂක නිලධාරීන් (මාෂල්වරු) ඒකාබද්ධ කෙරෙන ජාලයක් ක්‍රියාවේ යොදවා ඇත. 

මෙහි සැබෑ එල්ලය වන්නේ, නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහි, ශිෂ්‍යයන්ගේ, අනධ්‍යන හා අධ්‍යයන සේවකයන්ගේ අරගල තලා දැමීමත් ඒ සඳහා මූලිකත්වය ගන්නා ක්‍රියාකාරීන් හා දේශපාලන සංවිධාන දඩයමට ලක් කිරීමත් බව අපි අවධාරනයෙන් කියා සිටින්නෙමු.

නේවාසිකාගාර, දේශනශාලා, පරිගනකාගාර, කියවීම් ශාලා, පීඨ සංකීර්න හා ආචාර්යවරුන් ඇතුලු බරපතල භෞතික හා මානව සම්පත් හිඟයකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මුහුන දී සිටිති. නවාතැන්, ආහාරපාන, ගමනාගමන හා අනෙකුත් අධ්‍යාපන වියදම් අවම ආකාරයෙන් පිරිමසා ගැනීමට මසකට රුපියල් 15,000 ක් තරම් මුදලක් ශිෂ්‍යයෙකුට වැය වේ.  

නිසි වේලාවට නොගෙවන ආන්ඩුවේ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 ක සොච්චමකි. ආර්ථික ගැටලු රාශියකට මුහුන දී සිටින සිය දෙමාපියන් මත තවදුරටත් බර පැටවිය නොහැකි නිසා තම වියදම් සොයා ගැනීමටත්, ඇතැම් විට තම පවුලේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන වියදම් සඳහා යම් මුදලක් නිවෙස් කරා යැවීම සඳහාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගෙන් අතිශය බහුතරයක් විවිධ අර්ධකාලීන රැකියාවල නිරත වී සිටිති. 

රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ගරාවැටීම හේතුවෙන් උසස් පෙල සමත් දෙ ලක්ෂයකට ආසන්න සිසුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි වන්නේ සියයට 20කටත් අඩු ප්‍රතිශතයකටයි. අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රියාවට නැංවූ කප්පාදු වලට එරෙහිව නිරන්තර ව ශිෂ්‍ය අරගල පැන නැගුනු තත්වය තුල, මීට පෙර සිට ම විශ්ව විද්‍යාල තුල අප්‍රකාශිත ව රාජ්‍ය ඔත්තුකරුවන් ක්‍රියාවේ යොදවා තිබුනි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයට මෙම වසරේ ජනවාරියේ දී නවක සිසුන් බඳවාගැනීමේ උත්සවයක දී එහි උපකුලපතිවරයා කියා සිටියේ “සෑම වසරකම ශිෂ්‍යයන් විදියට, ආචාර්යවරුන් ලෙස, ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ලෙස බුද්ධි අංශ සාමාජිකයින් 34 ක් හෝ 35 ක් සිටින බැවින් අපි හැමෝ ම ප්‍රවේසම් විය යුතු” බවයි. 

පසුගිය කාලයේ සිට ශිෂ්‍ය ක්‍රියාකාරීන් බියවැද්දීම සඳහා නේවාසිකාගාර වලට සහ ඔවුන්ගේ නිවෙස් වලට පොලීසිය කඩාවැදුනේ මෙම ඔත්තු යාන්ත්‍රනයන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵල හැටියටයි. 

විශ්වවිද්‍යාල තුල මර්දනය වඩාත් පහසු කර ගැනීම සඳහා, ආන්ඩුව තමන්ට මුලුමුනින් අවනත උපකුලපතිවරුන් පත් කර ගැනීම තවත් බරපතල ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරකි. විශ්වවිද්‍යාල තුලට ධනපති රාජ්‍යයේ හා මිලිටරියේ අත පෙවීම් තීව්‍ර වීම හේතුවෙන් ගත වූ වසර එක හමාරක පමන කාලය තුල විශ්වවිද්‍යාල ආචාර්යවරු හතර දෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කෙරුනි. 

යාපනය විශ්වවිද්‍යාලයේ කුමාරවඩිවේල් ගුරුපරන් හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සෞම්‍ය ලියනගේ එහි මෑත ම ගොදුරු වෙයි.  

මෙතක් අප්‍රකාශිතව ක්‍රියාත්මක වෙමින් පැවති ඔත්තු ජාලයන් මිලිටරිය යටතේ දියත් කරන බව නව රාජපක්ෂ තන්ත්‍රය විවෘතව ප්‍රකාශ කොට තිබෙන්නේ, වසංගතය මගින් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි වලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන රුදුරු ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පන්තියේ බලගතු සටන් පුපුරා යන කොන්දේසි යටතේ ය.     

ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට වේගවත් ගමනක යෙදෙන ගෝඨාභය රාජපක්ෂ, පසුගිය වසරේ තමන් බලයට පත්වූ සැනින් ම, ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය පුලුල් කිරීම ආරම්භ කලේ ය. විශ්‍රාමික හමුදා නිලධාරීන් තීරනාත්මක රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් බවට පත් කෙරුනි. එහි කැපී පෙනෙන පියවරක් වූයේ, ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ද ඇතුලු 13 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටු වීමයි. ජුනි මාසයේ දී පිහිට වූ එය, ඕනෑ ම රාජ්‍ය ආයතනයක පරිපාලනය සෘජු ව මෙහෙය වීමේ බලය මිලිටරිය අතට ගොනු කිරීමකි. 

20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙම ජනාධිපති ආඥාදායකත්වයට නීතිමය රාමුවක් සම්පාදනය කර ගැනීම රාජපක්ෂගේ අභිප්‍රායයි. මෙම මිලිටරි ආඥාදායක සැලසුම් ආන්ඩුවේ ශක්තිය පිලිබඳ පිලිබිඹුවක් නො ව, එය මුහුන දී සිටින ගැඹුරු අර්බූදයේ ප්‍රකාශනයක් බව සසජාතශි කියා සිටී. වසංගතය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදය හමුවේ මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍන අගයකට ගමන් කර තිබේ. ඉදිරි වසර හතර සඳහා වාර්ෂික ව ඩොලර් බිලියන 4ක් බැගින් වන දැවැන්ත නය වාරික ගෙවීම ලෙස ලංකාවේ නය අර්බූදය වේගවත් කෙරී තිබේ. ඒ තත්වය තුල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) බල කර සිටින, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සුභසාධනයන්හි කප්පාදුව හා පෞද්ගලීකරනය වේගවත් කිරීම හැර අන් විකල්පයක් ආන්ඩුවට නැත.

එ සේ ම, පෙර නොවූ විරූ සමාජ අසමානතාවය හමුවේ ජාත්‍යන්තර පරිමාන ව කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ බලගතු පන්ති සටන් පුපුරා යන තත්වයේ දී, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සිට ලොවපුරා පාලක පන්තීහු ආඥාදායක පාලන තන්ත්‍රයන් වෙත වේගයෙන් මාරු වෙමින් සිටිති. රාජපක්ෂ තන්ත්‍රයේ වැඩකටයුතු මගින් ප්‍රකාශයට පත් වන්නේ එම ජාත්‍යන්තර ප්‍රපංචය යි. ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒ සමගම අත් දකින්නේ, ධනේශ්වර සංස්ථාපිතයේ සියලු දේශපාලන පක්ෂ පමනක් නො ව, මධ්‍යම පන්තික ව්‍යාජ-වාම සංවිධාන සියල්ල ම ඒ හෝ මේ ආකාරයෙන් එම ආඥාදායක පියවරයන් වටා රැලි වී සිටීමයි. රාජපක්ෂගේ ආඥාදායක ගමන පහසු කොට තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂවල හා ව්‍යාජ-වාම සංවිධානවල සහයෝගය හේතුවෙනි. 

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙය වනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පසු ජාතික ආරක්ෂාව තර කිරීමේ නාමයෙන් විශ්වවිද්‍යාල තුල මිලිටරි සෝදිසිවලට තම සාමාජිකයන් කායිකව සහභාගී කරවී ය. අවිශිබමය හා තවත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පාසල් තුලට හමුදා යොදවන්නැයි උද්ඝෝෂනයේ නිරත වූ හ. 

කොරෝනා කාර්ය සාධක බලකාය මිලිටරි ප්‍රධානින් යටතට පත් කර මිලිටරීකරනය වේගවත් කොට තිබිය දීත් ආන්ඩුවේ වැඩපිලිවෙලට සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කරමින් පෙසප ආන්ඩුවට ලිපි දෙකක් යැවී ය. දැන් විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් ගෙන ඒම ඇතුලු ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර සම්බන්ධ ව අවිශිබමය, පෙසප හා අධ්‍යන හා අනධ්‍යන වෘත්තීය සමිති මුලුමනින් ම නිහඬ ය. 

පෙසපයේ මෙම පිලිවෙත් ගලා එන්නේ, ආඥාදායකත්වයේ තර්ජනය පරාජය කර හැකි එක ම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වටා ශිෂ්‍යයන් ඇතුලු පීඩිත ජන කොටස් බලමුලු ගන්වා, සමස්ත ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් දියත් කිරීමට ඔවුන් දක්වන පරිපූර්න සතුරුභාවයෙනි. 

සසජාතශි විශ්වවිද්‍යාල සිසුන්ට හා කම්කරුවන්ට එරෙහි ව ගෙන යන මෙම ප්‍ර‍ජාතන්ත්‍ර‍-විරෝධී ඔත්තු බැලීමේ වැඩකටයුතු කොන්දේසි විරහිත ව ඉවත් කරන ලෙස උද්ඝෝෂනයේ යෙදෙන්නේ කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙලක් පෙරට ගැනීම වශයෙනි. 

 * ධනපති ආන්ඩු විශ්වවිද්‍යාල තුල ගෙනයන මර්දනීය පිලිවෙත්වලට එරෙහි වෙමින් සිසුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකාරී ව මැදිහත්වන ලෙස කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු. ඒ සඳහා විශ්වවිද්‍යාල ආශ්‍රිතව කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමටත්, ඒවාට සිසුන් සහ අවශේෂ කම්කරුවන් සම්බන්ධකර ගැනීමටත්, පෙරට එන ලෙස විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන සේවකයන්ට අපි යෝජනා කරන්නෙමු. 

 * සසජාතශි සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ කම්කරු පන්තිය වෙතට හැරී  සිය අරගලය සඳහා සහයෝගය දිනා ගන්නා ලෙසයි. මන්ද යත්, ධනපති ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට හා එහි මූලය වන ධනපති පාලනය පෙරලා දැමීමට සමත් බලවේගය කම්කරු පන්තිය බැවිනි.   

 * ධනපති ක්‍ර‍මයේ පද්ධතිගත අර්බුදයෙන් ගලා එන මෙම ප්‍රහාරයන්, ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් ආපසු හැරවිය නොහැක. එබැවින්, රාජ්‍ය මර්දනය පරාජය කොට අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ අරගලය, ධනපති ආන්ඩු සහ ධනපති ක්‍ර‍මය පෙරලා දැමීම එල්ලකර ගත් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදක විය යුතු ය. 

සසජාතශි යනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) හා එහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන හා ශිෂ්‍ය අංශයයි. හජාජාක, සසප හා ඒකාබද්ධ ව සසජාතශි උර දී සිටින්නේ ලෝක ධනේශ්වර ක්‍රමයේ ප්‍රහාරවලට හා අධිරාජ්‍යවාදී ලෝක යුද තර්ජනයට එරෙහි ව කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් පෙරට ගැනීමටයි. 

මෙම වැඩපිලිවෙලට එරෙහිව සිටින අවිශිබමයෙන් හා වෘත්තීය සමිතිවලින් බිඳී ගනිමින් මෙම අරගලයට ක්‍රියාශීලී ව සහභාගි වන ලෙසත්, විශ්වවිද්‍යාල තුල සසජාතශි ශාඛා ගොඩනැගීමට පෙරට එන ලෙසත්, සියලු‍ සිසුන්ගෙන්, කම්කරුවන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

Loading