වසංගතය සමාජය පුරා පැතිරෙද්දී ආන්ඩුව සැබෑ අවදානම යට ගසයි

සමස්ත සමාජය පුරා කොවිඩ්-19 වසංගතය පැතිර යමින් පැවතිය ද, ධනපතියන්ගේ ලාභෝත්පාදනය අඛන්ඩව පවත්වාගෙන යනු වස් ආර්ථිකය ක්‍රියාත්මකව තබා ගැනීමට, ආන්ඩුව තත්ත්වය පිලිබඳ සැබෑ තොරතුරු වසන් කරයි.

ඊයේ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 194 දෙනෙකු අලුතින් වාර්තා විය. ඉන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර සෙසු අය දිවයිනේ විවිධ ප්‍රදේශවලිනි. මේ සමග දිවයිනෙන් වාර්තාගත සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,168 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති අතර දැනටත් ප්‍රතිකාර ලබන රෝගීන් ගනන වාර්තාගත 1697 කි. මේ වන විට මිලිටරිය යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන 84ක 905 දෙනෙකු රඳවා ඇත.

මතුගම-කොලඹ බස්රථ රියැදු‌රෙකුට සහ සහායකයෙකුට ද කොවිඩ්-19 වැලඳී ඇති බවට තහවුරු වී ඇත. එම බස් රථයේ ගමන් ගත් කොලඹ ජාතික රෝහලේ හෙදියක ද ආසාදිත බව වාර්තා විය. මීට පෙර කොලඹ ජාතික රෝහලේ කාර්ය සහායක සේවක මන්ඩලයේ කම්කරුවන් ද ආසාදිත යැයි වාර්තා වුනි. හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩල සේවයට වාර්තා කිරීමේ දී පොදු ප්‍රවාහන මාධ්‍ය තුලදී වසංගතය ආසාදනය වීම ඔවුන් මුහුන දෙන ප්‍රධාන ගැටලුවකි.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට අනුව ඊයේ කුරුනෑගල, කිරිඳිවැල, කොලඹ, ගනේමුල්ල, කඩුවෙල, නුගේගොඩ, රත්මලාන, ජා ඇල, මීගමුව, කලුතර, රත්නපුර, අනුරාධපුර යන ප්‍රදේශවලින් ද ආසාදිතයන් හමු වී ඇත. සමස්තයක් වශයෙන් ගත කල දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයන් එක් කෙනෙකු හෝ වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ලාබ ශ්‍රම කලාප ආශ්‍රිත ව රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අතර කම්හල් සහ කම්කරුවන්ගේ නිවාස සහ නේවාසිකාගාර රෝග ව්‍යාප්ති කේන්ද්‍රයන් බවට පත් ව ඇත. ඔක්තෝබර් 10 වැනි දා කටුනායක ආයෝජන කලාපයේ කම්කරුවක අසාදිත බව හඳුනා ගැනුනි. ඊයේ වන විට එම කලාපයෙන් ආසාදිතයන් 72 දෙනෙකු වාර්තා විය.

කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය වෙනුවෙන් එහි ප්‍රකාශක කර්නල් විජිත හෙට්ටිආරච්චි සමග ඉකොනමි නෙක්ස්ට් බදාදා කල සම්මුඛ සාකච්ඡාවකට අනුව නෙක්ස්ට් කර්මාන්තශාලාවෙන් 11 දෙනෙකුත්, සේෆ්වේ කර්මාන්තශාලාවෙන් 34 දෙනෙකුත් රෝගීන් වශයෙන් වාර්තා වී ඇත. ඔකායා ලංකා, නායිගාහි ලංකා කම්හල්, ඒටී ඇන්ඩ් ජී ඇඟලුම් කම්හලේ සහ සීදූව බ්‍රැන්ඩික්ස් කම්හලින් ද ආසාදිතයන් වාර්තා වී ඇත.

එමෙන් ම, තදබදයෙන් යුත් කම්කරු නේවාසිකාගාර ආශ්‍රිත ව රෝගය පුලුල් ව්‍යාප්තියක් අත්පත් කර ගෙන ඇත. ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් 42 දෙනෙකු වාර්තා වන්නේ සීදුව ප්‍රදේශයේ එවන් නේවාසිකාගාරයකිනි. කම්කරුවන් ක්‍රමානුකූල පරීක්ෂනවලට යොමු කිරීමට හෝ ඔවුන්ට නිවාඩු ලබා දීම හෝ තදබදයෙන් සෞඛ්‍යාරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ධනපති ආන්ඩුවට උත්සුකයක් නැත. ආයෝජන මන්ඩලය නිර්දේශ කර ඇත්තේ කම්හලකින් තෝරා ගනු ලැබෙන සුලු නියැදියකට පීසීආර් පරීක්ෂන පැවැත් වීමට පමනි.

හමුදාපතිගේ නියෝගය වන්නේ බෝඩිමේ එක් කම්කරුවෙකු හෝ පීසීආර් පරීක්ෂනයකට ලක් කෙරුනි නම් එම පරීක්ෂනයේ ප්‍රතිපල එනතුරු නවාතැනේ සෙසු සියලු දෙනා එම ස්ථානයේ ම ස්වයං නිරෝධායනයකට ලක් විය යුතු බවයි. මේ සඳහා “බලධාරීන්ට ලඟට පැමින කියන තෙක් සිටිය යුතු නැති බවට” ඔහු තරවටුවක් ද කලේ ය.

පීසීආර් පරීක්ෂනවල ප්‍රතිපල ලැබීමේ පමාවක් පවතින බව, කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ මාධ්‍ය පුකාශක හෙට්ටිආරච්චි, ඔක්තෝබර් 13 වැනි දා, මාධ්‍යයට පැවසීය. මෙම පමා වන කාලය තුල සිදු වන්නේ නිරෝගී කම්කරුවන් ද රෝගයට ගොදුරු වීමයි.

මෙම අවදානම විශද වූ අවස්ථාවක් වන්නේ පීසී ආර් පරීක්ෂනයකට සහභාගී වූ සිසුවෙකු පලමු දිනයේ විභාග මධ්‍යස්ථානය වාර්තා කිරීමෙන් පසු ආසාදිත යැයි තහවුරු වීමයි. ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ සෙසු විභාග අපේකෂකයන් 20 දෙනෙකු ද නිරෝධයානයට ලක් කෙරී ඇත. හිරු ප්‍රවෘත්ති වාර්තා කල ආකාරයට ගම්පහ දිස්ත්‍රික්කයේ අපොස උපෙ විභාග අපේක්ෂකයන් පස් දෙනෙකු ආසාදිත බව තහවුරු කෙරී ඇත. පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවත් වුනේ ද මෙම අනාරක්ෂිත තත්ත්ව යටතේමයි.

අද දින උදෑසන සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇත. නමුත් කම්හල් විවෘතව පවතින අතර, අන්තරායකාරී ලෙස රෝගය පැතිරෙද්දී කම්කරුවන් සේවයට පැමිනිය යුතුය. නිවාඩු ගතහොත් මාසික වැටුප දරුනු කප්පාදුවකට ලක්වන බැවින්, රෝගී තත්ත්වයේ පසුවන කම්කරුවන් පවා, නිවාඩු ගත නොහැකි දුෂ්කර තත්ත්වයකට ඇද දමා ඇත. මෙම තතු තුල, කම්හල් හිමියන්ට සහ ආන්ඩුවට ප්‍රමුඛ වන්නේ තම ජීවිත නොව ලාභ උත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව පවත්වාගෙන යාම බව වඩවඩාත් විශද වෙමින් පවතී.

ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් හමුදාපතිවරයා මෙසේ පැවසුවේය: “සියලු ම රැකියාවලට යන අයට දැනුම් දෙනවා ඔබට යම් අපහසුතාවක් තියෙනවා නම් පලවෙනි ම අවස්ථාවේ ම පරීක්ෂනයක් කරවා ගැනීමට හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.” ඔහු එසේ කීවද කම්හල්තුල යතා තත්වය ඊට මුලුමනින්ම විපරීතය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ කම්කරුවන් සති දෙක තුනක සිට ම තම රෝගී තත්වයන් වාර්තා කර සිටිය ද එය නොතකා කම්හලේ වැඩ ඉලක්ක සම්පූර්න කිරීමට ඔවුන්ට බල කෙරුනි.

බ්‍රැන්ඩික්ස් ඇතුලු සියලු සමාගම් මෙලෙස රුදුරු සූරාකෑමක යෙදෙන අතර, ගිය අවුරුද්දේ සැප්තැම්බර්වලට සාපේක්ෂව මෙම වසරේ අපනයන ආදායම වාර්තාගත ලෙස සියයට 5.6කින් වැඩිවී ඇත.

කෙසේ නමුත්, අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති ප්‍රභාශ් සුභසිංහ සමාගම්වලට පමනක් ඇඟිල්ල දිගු කිරීම අසාධාරන බවත් සමස්ත සමාජය ම එම වගකීම භාරගත යුතු බවත් ප්‍රකාශ කර සිටි බව අද ඩේලිමිරර් වාර්තා කරයි. ආසාදනය වාර්තා වන සමාගම් ආරක්ෂා කරනු වස්, ඒවායේ නම් හෙලිදරවු කිරීම ගැන ඔහු තම අසතුට පල කරයි.

සමාජ සම්ප්‍රේෂනයක් පවතින බව සහ දැන් පැතිරෙන වෛරසය ඉතා දරුනු බවට අනතුරු ඇඟවීම හේතුවෙන් තනතුරෙන් පහ කෙරුනු රජයේ වෛද්‍ය පර්යේෂන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බන්ඩාර, නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයා වශයෙන් පත් වීමෙන් පසු ව තම තානය වෙනස් කරමින් ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ රෝගය සමාජගත ව නැති බවත් අලුත් පොකුරෙන් කිසිදු රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරී නැති බවත් ය. එ මෙන් ම මිනුවන්ගොඩ පොකුර සාර්ථක ව පාලනය කෙරෙමින් පවතින බවත් “මහජනතාවගේ සහයෝගය” අත්‍යවශ්‍ය බවත් ය. බන්ඩාර තමා ලැබූ දඩුවමෙන්, ආන්ඩුවට අවශ්‍ය පරිදි මහජනතාවගෙන් සත්‍යය වසන් කිරීමේලා විනයගත වී ඇති බව පැහැදිලිය.

රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සීමිත විවේචන කරමින් සිටි ඔහු, එකල ඒෂියන් මිරර් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී එලිදරවු කර සිටියේ සෞඛ්‍ය බලධාරීන්ට මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම වලක්වමින් චක්‍රලේඛ පවා නිකුත් කර ඇති බවයි.

ස්වර්නවාහිනී වැඩසටහනක දී ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ, මෙම වසංගතය තවත් වසර තුන හතරක කාලයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇති බැවින් “අපි අපේ අධ්‍යාපන කටයුතු, සංවර්ධන කටයුතු, ආර්ථිකය මේ සියල්ල කොරෝනාත් එක්ක කලමනාකරනය කර ගෙන ඉදිරියට යන්න සැලසුම් කරන්න ඕන” බවයි.

ආන්ඩුව මුල සිටම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කලේ සැබෑ තොරතුරු වසන් කිරීමේ ප්‍රතිපත්තියක් වන අතර දැන් එය වර්ධනය වන අර්බුදය සමග උත්සන්න කෙරෙමින් පවතී. වසංගතයේ ආරම්භක අවධියේ දී ආන්ඩුවේ වසන් කිරීම්වලට හවුල්කාරයන් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ආන්ඩුව කෙකේකෙන් ගලවා දමමින්, 'සෞඛ්‍ය බලධාරීන් තොරතුරු වසන් කරනවා' යැයි චෝදනා කරයි.

නමුත් සත්‍ය කාරනාව නම්, කොවිඩ්-19 සම්බන්ධයෙන් සියලු ම අධිකාරය දරන්නේ සෞඛ්‍ය අංශ නොව මිලිටරිය යන්නයි. මිලිටරිය පාලනය වන්නේ ජනාධිපති රාජපක්ෂගේ උපදෙස් සහ විධානයන් මතයි.

ලෝකයේ කවර හෝ ධනපති ආන්ඩුවක්, තමන්ගේ රටේ වසංගතය දරුනු අතට හැරී ඇති බවක් පිලිගන්නේ නැති අතර ම ලෝකයෙන් ම වසංගතයට සාර්ථක ව මුහුන දෙන්නේ තමන් බවට මහජනතාවටන්ට මවා පෑමට තැත් කරයි. ඉන්දියාවේ මෝදි ආන්ඩුව දිනකට ලක්ෂයකට ආසන්න ව රෝගීන් වාර්තා වෙද්දිත් දිගින් දිගට ම වෛරසය සමාජගත ව නැති බවට ප්‍රකාශ කරයි. මෙම පිලිවෙත් ගලා එන්නේ, ගෝලීය ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ගැඹුරුතර ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදයෙනි.

Loading