ඉදිරිදර්ශන

යූඒඩබ්ලිව් පාවාදීම් හා මිචිගන් ප්‍රාන්තයේ දක්ෂිනාංශික මිලීෂියාවන්ගේ නැගීම

මිචිගන් ආන්ඩුකාරවරිය පැහැර ගෙන ගොස් මරා දැමීමට කුමන්ත්‍රනය කිරීම සහ එක්සත් ජනපද ජනාධිපතිවරනයේ මුව විට සිවිල් යුද්ධය ඇවිලවීමට කටයුතු කිරීම හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් සතියකටත් අඩු කාලයක් ගත ව ඇති තැන, එම කාරනය ප්‍රවෘත්ති මාධ්‍ය හා ඩිමොක්‍රටික් පක්ෂය විසින් බොහෝ සෙයින් යට ගසා ඇත.

පහලින් එන සමාජ ව්‍යාපාරයක් අවුලුවනු ඇති ඕනෑ ම දෙයක් කෙරෙහි බියපත් ව සිටින ඩිමොක්‍රටිකයෝ, කුමන්ත්‍රනයේ පලල් අර්ථභාරය හා මැතිවරනය කරා වන ධාවනයේ දී ෆැසිස්ට්වාදී ප්‍රචන්ඩත්වය ඇවිලවීමට ට්‍රම්ප් පරිපාලනය අනුගමනය කරන දේශපාලන මූලෝපායට එහි සම්බන්ධය ආවරනය කරමින් සිටිති. එක්සත් ජනපද ව්‍යවස්ථාව පසෙකට විසිකර, ජනාධිපතිගේ ආඥාදායකත්වයක් පැටවීමට ට්රම්ප් දරන උත්සාහයන්හි ප්‍රධාන ඉලක්කය වනු ඇත්තා වූ කම්කරුවන් බලමුලු ගන්වනවා තබා, ඔවුන්ට අනතුරු ඇඟවීමට වත් කිසිවක් නො කරන ඒඑෆ්එල්-සීඅයිඕ කම්කරු සම්මේලනයේ හා විවිධාකාර වෘත්තීය සමිතිවල සහයෝගය මෙහි දී ඩිමොක්‍රටිකයන්ට ලැබේ.

2020 අප්‍රේල් 15දා ලබා ගත් මෙම සංරක්ෂිත ඡායාරූපයේ, මිචිගන්ප්‍රාන්තයේ ලෑන්සිංහි කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටත විරෝධතාකරුවෝ තුවක්කු අත දරා සිටිති. (ඒපී ඡායාරූපය/ පෝල් සැන්සියා ෆයිල්)

ටීම්ස්ටර්ස්, ඇමරිකානු ගුරු සම්මේලනය, ජාතික අධ්‍යාපන සංගමය හා බහුතරයක් වෘත්තීය සමිති මිචිගන් කුමන්ත්‍රන සැලසුම ගැන නිශ්ශබ්ද ව සිට ඇත. ඒඑෆ්එල්-සීඅයිඕ හා එක්සත් මෝටර් කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්) නාමික මාධ්‍ය නිවේදන දෙකක් නිකුත් කර ඇත. ඩිමොක්‍රටිකයන්ගේ පිලිවෙත ප්‍රතිරාවය කරමින් ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති රිචඩ් ටෲම්කා ප්‍රකාශ කලේ, “අපේක්ෂාව හා එකමුතු කම සඳහා ඡන්දය දී” “බිඩෙන්ව ධවල මන්දිරයට තෝරා පත් කර වෛරය වපුරන්නන් අනදාල බවට පත් කිරීම” මගින් අන්ත-දක්ෂිනාංශයේ තර්ජනයට මුහුන දිය හැකි බවයි.

හෙලිදරව් කරගනු ලැබුනේ “මිචිගන් ආන්ඩුව අස්ථාවර කොට අපේ රට තුල අන්තවාදී සිවිල් යුද්ධයක් ඇවිලවීමේ අතිශය සැබෑ සැලසුමක්” යි සඳහන් කරන කෙටි ප්‍රකාශයක්, යූඒඩබ්ලිව් සභාපති රෝරි ගැම්බල් විසින් නිකුත් කලේ ය. ඒ පිලිබඳ කම්කරුවන් කිසිවක් හෝ කල යුතු බවට යෝජනා නො කල ඔහු, “අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම” ගැන එෆ්බීඅයි සහ “අපේ නිල් පැහැ ඇඳි මිනිසුන්ට හා ගැහැනුන්ට [ඇමරිකානු පොලිසියට]” ස්තුති කිරීමට ඔහුගේ සටහන විශාල වසයෙන් යොදා ගත්තේ ය.

ඓතිහාසික ව අන්ත-දක්ෂිනාංශයේ බලපෑමට එරෙහි සටන සෑම විට ම කේන්ද්‍රගත වී ඇත්තේ, යුදෙව්-විරෝධී, වර්ගවාදී හා ජාතිකවාදී උද්ඝෝෂනයක් සමගින් කම්කරුවන්ව දුර්වල කොට බෙදීමට උත්සාහ කරන ෆැසිස්ට් වාචාලයන්ට හා මහ ව්‍යාපාරිකය තුල සිටින ඔවුන්ට මුදල් සම්පාදනය කරන්නන්ට එරෙහි ව, කම්කරුවන් පන්තියක් ලෙස එකමුතු කිරීමට කම්කරු ව්‍යාපාරය කරන අරගලය මතයි. 1930 ගනන්වල දී යූඒඩබ්ලිව් හා අනෙකුත් කාර්මික වෘත්තීය සමිති ස්ථාපනය කරන ලද්දේ, කේකේකේ, මිචිගන්හි ෆාදර් කෆ්ලින් සහ නාසි ආධාරකාර හෙන්රි ෆෝඩ් වැන්නන් විසින් ඉදිරියට දමන ලද ෆැසිස්ට්වාදී විෂට එරෙහි ව කම්කරුවන්ගේ පන්ති විඥානය වර්ධනය කොට ඔවුන්ව දේශපාලනික ව අවදි කිරීම සඳහා සමාජවාදී-හිතැති කම්කරුවන් ගෙන ගිය අරගලය හරහා ය.

එහෙත් එක්සත් ජනපදය තුල “කම්කරු ව්‍යාපාරයේ” ඉතුරු පහදු වී තිබුනු දෙය බොහෝ කලකට පෙර මියැදුනි. විශේෂයෙන් ම, යූඒඩබ්ලිව් යනු, එහි විධායකයන්ගෙන් බොහෝ දෙනෙකු සමාගම්වලින් අල්ලස් ගැනීම හා කම්කරු සාමාජික මුදල් හොරකම් කිරීම ගැන චෝදනාවන්ට ලක්වූ, කෝපරේට්වාදී කන්ඩායමකට වැඩි දෙයක් නො වේ. වෘත්තීය සමිතිවල අවසානයේ ආරම්භය වූයේ වෘත්තීය සමිති ඩිමොක්‍රටික් පක්ෂයටත්, ඩිමොක්‍රටිකයන් හරහා ධනේශ්වර පද්ධතියටත් දේශපාලනික ව යටත් කල විට දී ය. යූඒඩබ්ලිව් සභාපති වෝල්ටර් රූදර් විසින් නායකත්වය දුන් 1940 ගනන් හා 1950 ගනන්වල ප්‍රති-කොමියුනිස්ට්වාදී විරේක කිරීම් සහ 1955 දී ඒඑෆ්එල් හා සීඅයිඕ ඒකාබද්ධ කිරීමෙහි හදවතේ පැවතුනු ඇමරිකානු අධිරාජ්‍යවාදය වැලඳ ගැනීම මෙයට ඇතුලත් විය.

1980 ගනන් වන විට, ඇමරිකානු පාලක පන්තියේ ආධිපත්‍යධාරී ලෝක තත්ත්වය අහිමි වී යාමට ප්‍රතිචාර වසයෙන් එය පන්ති යුද්ධයේ පිලිවෙතකට මාරු වෙමින් සිටිද්දී, යූඒඩබ්ලිව් හා අනෙකුත් වෘත්තීය සමිති කම්කරු-කලමනාකාරීත්ව හවුල්කාරීත්වයේ දෘෂ්ටියක් අනුගමනය කරමින්, වැඩ වර්ජන පරාජය කිරීම, වැටුප් කප්පාදුව, කර්මාන්තශාලා වසා දැමීම හා යෝධ රැකියා අහිමි වීම් ආදියේ දී ඒකාබද්ධ ව කටයුතු කල හ. “ඇමරිකානු නිෂ්පාදන මිලට ගනු” යන ස්වෝත්තමවාදී සටන් පාඨය ඉදිරියට දැමීම සහ “ඇමරිකානු රැකියා හොරකම් කිරීම” ගැන ජපානයේ හා අනෙකුත් රටවල කම්කරුවන් වර්ගවාදී ලෙස දඩමීමා කර ගැනීම මෙය සමග අතිනත ගෙන ගමන් කලේ ය.

වෘත්තීය සමිති විසින් අධීක්ෂනය කරන ලද මිචිගන් ප්‍රාන්තයේ හා එක්සත් ජනපදයේ අනෙකුත් කාර්මික මධ්‍යස්ථානවල ආර්ථික විනාශය, අන්ත-දක්ෂිනාංශයට සාමාජිකයන් බඳවා ගැනීමට හා සහයෝගය ගොනු කර ගැනීමට කොන්දේසි නිර්මානය කර ඇතැයි සටහන් කිරීම, මිචිගන් කුමන්ත්‍රන සැලසුමට සම්බන්ධ ෆැසිස්ට්වාදී අවයවයන් වෙනුවෙන් ක්ෂමාලාප දෙඩීමක් නො වේ.

කුමන්ත්‍රන සැලසුම්කරුවන් 13 දෙනාගේ විස්තර අනුව, කිහිප දෙනෙක් ම කුඩා ව්‍යාපාරිකයන්, හිටපු සොල්දාදුවන් හෝ කුඩා නගරවල හා ආර්ථික ව ඉරිතැලුනු අගනාගරික ප්‍රදේශවලට පිටස්තර ව ජීවත් වන පහල වැටුප් ලබන සේවකයන් බව හෙලිදරව් කරයි. බොහෝ දෙනා රැකියා හා ආදායම් අහිමි වී යාම සහ නො ගෙවූ බදු ගෙවිය යුතු වීමේ පීඩනය ඇතුලු ආර්ථික හා සමාජ විපත්තීන්ට මුහුන දුන් හ.

ඩිට්‍රොයිට්, ෆ්ලින්ට්, පොන්ටියැක්, ග්‍රෑන්ඩ් රැපිඩ්ස් වැනි නගර හා අනෙකුත් ප්‍රදේශවල කර්මාන්තශාලා සිය ගනනක් වසා දැමීමට තුඩු දෙමින්, යූඒඩබ්ලිව්හි දුස්සහාය සහිත ව කාර්මිකහරනය ක්‍රියාවට දමන ලද 1990 ගනන්වල දී මිචිගන්හි මිලීෂියා ව්‍යාපාරය ආරම්භ වුනි. කම්කරු සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව, 1999 හා 2009 අතර සමයේ, මිචිගන් ප්‍රාන්තය තුල තවත් නිෂ්පාදන අංශ රැකියා 460,000ක් අතුගා දමනු ලැබිනි. අද දින මිචිගන්හි කර්මාන්තශාලා කම්කරුවෙක් පැයකට ලබන මධ්‍යන්‍ය වැටුප ඩොලර් 16.03ක් වන අතර, එය, උද්ධමනයට අනුව සැකසූ විට 1972 දී එවන් කම්කරුවෙක් පැයකට ඉපයූ ඩොලර් 24.00ට වඩා තුනෙන් පංගුවකින් අඩු ය. 

වසංගතය පහර දීමට පෙර, ආසන්න වසයෙන් වසර 12ක් පමන ආදායම් යලි පහලට ගෙන එමින්, පසුගිය වසරේ මිචිගන්හි ආදායම් මහා අවපාතයට පෙර පැවති මට්ටම් කරා ලඟා විය. අගෝස්තු අග භාගයේ එක්සත් ජනපද ජන ලේඛන කාර්යාංශය සතිපතා සිදු කරන ලද සමීක්ෂනයකට අනුව, ප්‍රාන්තයේ වාසය කරන්නන්ගෙන් සියයට 26ක් පමන ඉදිරි මාස දෙක ඇතුලත දී ඉවත් කරනු ලැබීම හෝ සින්න වීම අතිශයින් හෝ සමහර විට හෝ විය හැකි යයි වාර්තා කලේ ය. 

ලමුන් 19ක් ද ඇතුලු ව පුද්ගලයන් 168 දෙනෙකු ඝාතනය කරමින්, 1995 අප්‍රේල් මාසයේ දී ඔක්ලහෝමාහි ඇල‍්ෆ්‍රඩ් පී. මුරා ෆෙඩරල් ගොඩනැගිල්ලට (Alfred P. Murrah Federal Building) බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු, මිචිගන්, පෙන්සිල්වේනියා සහ තදින් පහර වැදුනු අනෙකුත් කාර්මික ප්‍රාන්තවල මිලීෂියා කන්ඩායම්වල ක්‍රියාකාරකම් හීන වී ගියේ ය. ආර්ථික අවපාතයට මුහුන දුන් බටහිර නිව් යෝක්හි දීර්ඝ-කාලීන යූඒඩබ්ලිව් සාමාජිකයෙකුගේ පුත්‍රයා වූ තිමති මැක්වේ, ආන්ඩුකාර ග්‍රෙච්චන් විට්මර්ව මරා දැමීමට සැලසුම් කල වොල්වරින් වොච්මන් සංවිධානයේ එක් පූර්වගාමියෙක් වන මිචිගන් මිලීෂියාවේ මුල් කාලීන රැස්වීම්වලට සහභාගි විය.

2008-09 වෝල් වීදියට ඇප තැබීමෙන් පසු කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්ත්වයන් අඛන්ඩ ව විනාශ කිරීම අධීක්ෂනය කල ඔබාමා පරිපාලනයේ වසර අට යටතේ ජනනය කරන ලද ආර්ථික ව්‍යසනය විසින් මිලීෂියාවන්ට නව ජීවයක් දෙනු ලැබී ය.

ට්‍රම්ප් 2016 දී මිචිගන්, පෙන්සිල්වේනියා හා විස්කොන්සින් ප්‍රාන්ත ජයග්‍රහනය කිරීම, හිලරි ක්ලින්ටන් හා ඩිමොක්‍රටික් පක්ෂයේ අනෙකුත් ක්ෂමාලාපකයන් කියා පෑ පරිදි, සුදු කම්කරුවන්ගේ “වර්ගවාදයේ” නිෂ්පාදිතයක් නො වී ය. කම්කරු පන්තිය කෙරෙහි තම සතුරු බව නොසැඟ වූ ක්ලින්ටන්ගේ පරාජයට හේතු වූයේ ඔබාමාට ඡන්දය පාවිච්චි කල බහුතරයක් ද ඇතුලු ව කම්කරු පන්තික ඡන්ද දායකයන් ට්‍රම්ප්ට නැතිනම් තුන් වැනි පක්ෂයකට නැතිනම් ඡන්දය දැමීමෙන් වැලකීමට තීරනය කිරීමයි.

ධවල මන්දිරයට ඇතුල් වීමට බයිඩන් සමත් වුව හොත් ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ අන්තරාය අද්භූත-ජනක ලෙස පහ වී යනු ඇතැයි ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ටෲම්කා කරන කියාපෑම් මුලුමනින් ම ව්‍යාජ ය. බයිඩන් මැතිවරනය ජයග්‍රහනය කොට, ඩිමොක්‍රටිකයන් අපේක්ෂා කරන පරිදි මිලිටරියේ කොටස්වල උදව්ව සහිත ව තනතුරට පත් වුවහොත්, ඊට විපරීත ව සිදු වනු ඇත්තේ, කෙයාස් පනතෙහි ඩොලර් ට්‍රිලියන 4ක ඇප තැබීමට ගෙවීම සඳහා අනුකම්පා විරහිත කප්පාදු වැඩපිලිවෙලකට හා වඩා ආක්‍රමනශීලී මිලිටරිවාදයකට බයිඩන් කැපවීමයි. මෙය හුදෙක් ෆැසිස්ට්වාදීන්ගේ වැඩීමට තෙල් දැමීම පමනක් කරනු ඇත.

තම කෝපරේට්වාදී හා ජාතිකවාදී පිලිවෙත් සහ ඩිමොක්‍රටික් පක්ෂයට කම්කරු පන්තිය යටත් කිරීම හරහා අන්ත-දක්ෂිනාංශයේ නැගීමට කොන්දේසි නිර්මානය කර ඇති වෘත්තීය සමිති, වසංගතයට පාලක ප්රභූව දක්වන මිනීමරු පිලිවෙතට එරෙහි ව කම්කරුවන් බලමුලුගැන්වීමට කිසිවක් කරන්නේ නැත. වසංගතයේ පලමු ඉහල අවධිය පැවති මාර්තු මාසයේ මෝටර් රථ කම්කරුවන්ගේ වර්ජනය ඇතුලු පුපුරා ගොස් ඇති කම්කරුවන්ගේ අරගල, සංවිධානය කරන ලද්දේ මෙම කම්කරු පන්ති-විරෝධී සංවිධානවලින් ස්වාධීන ව හා ඒවාට විරුද්ධ ව ය. 

මිචිගන් කුමන්ත්‍රනය පිටුපසින් සිටින ෆැසිස්ට්වාදී කන්ඩායම්වලට තවමත් මහජන අනුගාමිකත්වයක් නැත. එහෙත් වසංගතය විසින් ඇති කරන ආර්ථික විනාශයට එනම්, මහා පරිමාන විරැකියාව, දොට්ට දැමීම්, කුඩා ව්‍යාපාර බංකොලොත් වීම හා වැසී යාම සහ ඉතුරුම් අතු ගෑවී යාම ආදියට මධ්‍යම පන්තියේ පලල් කොටස් තමන් පිටුපස බලමුලු ගන්වා ගන්නා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් මගින් මුහුන නො දුන හොත්, අන්ත-දක්ෂිනාංශයේ නැගීමට එමගින් ඉන්ධන සැපයයි හැකි ය.

මේ සඳහා, වෘත්තීය සමිතිවලින් සහ සංගත-පාලිත පක්ෂ දෙකෙන් ම ස්වාධීන ව, රැකියා, සෞඛ්‍යාරක්ෂනය, ආරක්ෂාව සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සියලු වර්ගවල හා ජනවාර්ගික පසුබිමක් සහිත කම්කරුවන් එක්සත් කරන, සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල්, වැඩපොල හා නිවහන් ප්‍රදේශ කමිටු බිහිකිරීම අවශ්‍ය ය.

වසංගතය පරාජය කිරීමේ පියවරයන්, එය මගින් බලපෑමට ලක්වන සියලු දෙනාගේ ජීවිකාවන් හා අවශ්‍යතා සුරක්ෂිත කිරීම පිනිස වන ප්‍රතිපත්ති සමග ඒකාබද්ධ කරනු ලැබිය යුතු ය. මෙය කරනු ලැබිය හැක්කේ, ධනවාදයට එරෙහි අරගලයක් හරහා ධනය නිපදවන කම්කරුවන් වෙත එම ධනය කඳු ගසා ගෙන සිටින බිලියනපතියන්ගෙන් අස්වාමික කොට විප්ලවකාරී ලෙස යලි බෙදාහැරීමෙන් පමනි. 

මිචිගන්හි සිදු වී ඇති දෙය අනතුරු ඇඟවීමකි. මැතිවරනයේ දී කුමක් සිදු වුනත්, පාලක පන්තිය චලනය වෙමින් සිටින්නේ ඒකාධිපතිවාදී හා ආඥාදායක පාලන රූප වෙතට ය. ධනවාදයට එරෙහි ව සමාජවාදය සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීම හරහා ෆැසිස්ට්වාදයේ අන්තරායට එරෙහි අරගලය දියත් කරනු ලැබිය යුතු ය.

[මෙම ලිපිය ඔක්තෝබර් 13 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading