ආන්ඩු-විරෝධී මහජන විරෝධතා ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර අඩපන කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දක්ෂිනාංශික ආන්ඩුවට එරෙහි ව, සැප්තැම්බර් 28දා පැවති මහජන විරෝධතා උද්ඝෝෂනයක් (හර්තාලයක්) හේතුවෙන්, ශ්‍රී ලංකාවේ සමස්ත උතුරු හා නැගෙනහිර පලාත් අඩපන විය.

ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත් වාඩිලා ගැනීමෙන් පසුව, 1987 සැප්තැම්බරයේ උපවාසයකින් මිය ගිය හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ දිලීපන් අනුස්මරනය කිරීම තහනම් කිරීම මගින් මෙම මහජන විරෝධතා ඇවිලුනි.

ඉන්දියානු හමුදා කන්ඩායමක් රථවල නැගී මුර සංචාරයේ

 දිලීපන් උපවාසය ආරම්භ කල සැප්තැම්බර් 15දා සිට ඔහු මිය ගිය 26දා දක්වා ඔහු ව අනුස්මරනය කිරීම දෙමල කන්ඩායම් විසින් සංවිධානය කරන ලදී. දිලීපන්, ත්‍රස්තවාදී කන්ඩායමක් ලෙස නම් කොට තහනම් කර තිබෙන දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) සාමාජිකයෙකු වූ නිසා, සියලු විරෝධතා තහනම් කරන උසාවි නියෝගයක් පොලීසිය විසින් සැප්තැම්බර් 14දා ලබා ගත්තේ ය. “තහනම් කරන ලද සංවිධානයක් ස්මරනය කිරීම...ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් කල හැකි වරදකි” යි නියෝගය එකතු කිරීමක් ද කලේ ය. විෂඝෝර ත්‍රස්ත-විරෝධී නීතිය යටතේ විරෝධතාකරුවන් රඳවා තබා ගැනීමට නියෝගයෙන් පොලීසියට අවසර ලැබුනි.

ඉන් අනතුරු ව පොලීසිය දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් උසාවි නියෝගය උල්ලංඝනය කිරීම හේතුවෙන් සැප්තැම්බර් 15දා අත්අඩංගුවට ගෙන, පැය 24කට පසු ඇප මත මුදා හලේ ය. යාපනයේ නල්ලූර්හි පිහිටි දිලීපන්ගේ ස්මාරක ස්ථානයේ තිබුනු ඔහුගේ ඡායාරූප ඉවත් කිරීමට ද පොලීසිය පියවර ගත්තේ ය. යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නියැලෙමින් සිටි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් කන්ඩායමකට ද පොලීසිය තර්ජනය කලේ ය.

දෙජාස, දෙමල මහජන ජාතික සන්ධානය, දෙමල ජාතික මහජන පෙරමුන හා තවත් කන්ඩායම් කිහිපයක් ඇතුලු දෙමල ධනේශ්වර ජාතිකවාදී පක්ෂ විසින් ක්ෂනික ව බිහි කරගත් පෙරමුනක් වන එක්සත් දෙමල ජාතිකවාදී පක්ෂ යන සංවිධානය හර්තාලය කැඳවුම් කලේ ය. මෙම අපකීර්තිමත් පක්ෂ විරෝධතාව කැඳවුම් කලේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි තැකීමක් නිසා නො ව, නැගෙන මහජන විරෝධය පාලනය කිරීමට හා වේගයෙන් පිරිහෙමින් පවතින ඔවුන්ගේ සහයෝගිතා පදනමට මුක්කු ගසා ගැනීමට ය. 

එහෙත් විරෝධතා තුල පැවති මහා පරිමාන සහභාගීත්වය පිලිබිඹු කලේ, පොලිස්-රාජ්‍ය පියවරයන් කෙරෙහි පවතින පලල් විරෝධය සහ අනුස්මරනය කිරීම් හා යුක්ති සහගත අරගල කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට තිබෙන අධිෂ්ඨානය යි.

සියලු මහජන කටයුතු හා ව්‍යාපාර වසා දමමින්, උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් ජනයා එක්සත් ව හර්තාලයට සහභාගි වූ හ. පාසල් විවෘත ව පැවතුනු නමුත් ශිෂ්‍යයන් පැමිනියේ නැත. නීතිඥයෝ උසාවි කටයුතුවලට පෙනී නො සිටිය හ. ගමන් කිරීමට මගීන් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවය ඇනහිටියේ ය. ආන්ඩුවේ කාර්යාල හා බැංකු පමනක් විවෘත ව තිබුනි. 

පොලිසිය හර්තාල් දින පාලු යාපනය නගරයේ මුර සංචාරයේ යෙදෙයි

ගුරුවරුන් හා රාජ්‍ය සේවකයන් රාජකාරියට වාර්තා කලේ, එසේ නො කල හොත් ඔවුන්ට දඬුවම් කරන බව බලධාරීන් ඉඟි කොට තිබීම නිසා ය. වෙලඳුන්ට ඔවුන්ගේ කඩ සාප්පු විවෘත කරන ලෙස තර්ජනය කරමින්, පොලීසිය හා මිලිටරිය වීදි පුරා මුර සංචාරය කල හ.

පාසල්වල සේවයට නො පැමිනි ගුරුවරුන්ගේ නම් ලැයිස්තු එකතු කිරීම සඳහා මිලිටරි හමුදා වව්නියා දිස්ත්‍රික්කයේ පාසල් වෙත පැමිනිය හ. ප්‍රාදේශීය වාර්තාවන්ට අනුව, තොරතුරු එක්රැස් කිරීම පිනිස මිලිටරි ඔත්තු සේවා ඒකක දිගේලි කරනු ලැබිනි.

ආන්ඩුවේ සහායකයන්ගේ කුඩා කන්ඩායම් හර්තාලයට එරෙහි ව “විරෝධතා” පැවැත්වූ නමුත්, හර්තාලය දිනය පුරා අඛන්ඩ ව පැවතුනි. නැගෙනහිර පලාතේ ජනයා ද එවන් විරෝධතා පැවැත්වූ හ.

පොලිස්-මිලිටරි තර්ජන නො තකා උතුරේ හා නැගෙනහිරේ දී හර්තාලයට පැවති මහජන සහභාගීත්වය පිලිබිඹු කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ, ජීවන තත්ත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහි ව, සමස්ත රට පුරා කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරුද්ධත්වය යි.

දෙමල පක්ෂ කම්කරු පන්තිය බෙදීම සඳහා ජාතිකවාදය ඇවිලවීමට දරන උත්සාහය සහ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ වර්ගවාදී ප්‍රචාරනය නො තකා, මෑත අවුරුදුවල දී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ වැඩ වර්ජන හා විරෝධතා පුපුරා ගියේ ය.

එල්ටීටීඊයට එරෙහි ව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් වසර තිහක් තිස්සේ පවත්වාගෙන ගිය වාර්ගික යුද්ධයේ විනාශයෙන්, උතුරේ හා නැගෙනහිරේ ජනයා තවමත් පීඩා විඳිති. යුද්ධයේ දී 100,000ට අධික ජනකායක් මිය ගිය අතර, දහස් ගනනක් අතුරුදන් ව ඇත.

දහස් ගනනක් තවමත් මූලික පහසුකම් රහිත නිවාසවල ජීවත් වෙති. යුද වැන්දඹුවන් 90,000ක් පමන සිටින උතුරේ හා නැගෙනහිරේ බොහෝ ආබාධිත පුද්ගලයෝ සුදුසු යැපීම් මාධ්‍යයක් රහිත ව ජීවත් වෙති.

අනවරත සෝදිසි කිරීම්වලට හා හිරිහැරවලට මුහුන දෙමින් උතුර හා නැගෙනහිර දශක හතරක් පමන මිලිටරි වාඩිලා ගැනීම යටතේ පැවතී ඇත. රාජපක්ෂ ආන්ඩුවේ මර්දනය හා අඛන්ඩ දෙමල-විරෝධී ප්‍රකෝපකරනයන්, මිලිටරිය මත පදනම් වන ආඥාදයකත්වයක් දෙසට වන ධාවනයේ කොටසකි.

හර්තාලයට දින දෙකකට පෙර, එනම් සැප්තැම්බර් 26දා, දිලීපන් සිහිපත් කරමින් යාපනය නගරයේ දකුනේ පිහිටි චාවාකච්චේරි සිවාන් දේවාලයේ උපවාසයක් පවත්වන ලද්දේ, පොලීසියේ දුසිම් ගනනක් බලා සිටිද්දී ය. එහි අවසානයේ දී, ඉලංකෙයි තමිල් අරසු කච්චි (දෙජාසහි ප්‍රධාන පක්ෂය වන ෆෙඩරල් පක්ෂය හෙවත් අයිටීඒකේ) නායක මාවෙයි සේනාධිරාජා පොලීසිය ලබා දුන් “සහයෝගයට” ස්තුති කලේ ය.

අයිටීඒකේ නායකයාගේ අදහස්, උතුර හා නැගෙනහිර වාඩිලාගෙන සිටින මර්දනකාරී රාජ්‍ය හමුදාවන්ට, දෙමල ජාතිකවාදී කන්ඩායම්වල සමීප පක්ෂපාතීත්වය හා සහයෝගය පිලිබිඹු කලේ ය. අර්ථභාරී ලෙස සේනාධිරාජා මේ අදහස් පලකලේ, පොලීසිය හා මිලිටරිය මහජනයාට තර්ජනය කරමින් හා දෙජාසහි සාමාජික සගයකු වන සිවාජිලිංගම් අත්අඩංගුවට ගනිමින් යාපනය නගරය සැරිසරද්දී ය. එහෙත්, සේනාධිරාජා ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාවන් හෝ ඔවුන් ව මෙහෙයවන කොලඹ ආන්ඩුව හෙලා දැක්කේ නැත.

කලින් පැවති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට හා යුද අපරාධ විමර්ශන යට ගැසීමට උදව් දෙමින්, දෙජාස එහි තථ්‍ය හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කලේ ය. මෑත මාස කිහිපයේ දී, ජනාධිපතිගේ ආඥාදායකත්වයක් දෙසට හැල්මේ ගමන් කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ සමග සබඳතා ඇතිකර ගැනීමට, දෙජාස නායකයෝ උත්සාහ දරා තිබේ. ගෝලීය කොවිඩ්-19 වසංගතය විසින් වේගවත් කරනු ලබන අර්බුදය මධ්‍යයේ, වැඩෙන සමාජ විරෝධය කෙරෙහි ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ සෑම කොටසක් ම භීතියට පත් වෙති.

සමහර අවස්ථාවල දී, කම්කරුවන් හා තරුනයන් ව්‍යාකූල කිරීමේ ඉලක්කය සහිත දේශපාලනික ව බෙලහීන හා බංකොලොත් ක්‍රියාවන් සමගින්, ඔවුහු එල්ටීටීයේ අතීතයෙහි මතකයන් කලඹවාලන්නට උත්සාහ කරති.

පරාජිත එල්ටීටීඊය ඇතුලු සියලු දෙමල ජාතිකවාදී පක්ෂ, ඔවුන්ගේ ඉදිරි දර්ශනය පදනම් කලේ, කොලඹ ආන්ඩුව සමග බලය බෙදා ගැනීමේ සැකැස්මක් සඳහා, ඉන්දීය ධනේශ්වරයට හා විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදයට ආයාචනා කිරීම මත ය. එල්ටීටීඊයේ පරාජයෙන් ඉක්බිති ව, චීනයට එරෙහි එක්සත් ජනපදයේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සහයෝගය දෙමින්, මෙම පක්ෂ තවදුර දකුනට ගොස් ඇත. 2015 ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කොට සිරිසේන පත්කිරීම සඳහා ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමට දෙජාස සහයෝගය දීම, මෙම මාරුවේ කොටසක් විය.

1987 සිට වසර දෙකක් ඉන්දියානු මිලිටරිය විසින් ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පලාත්  වාඩිලාගෙන සිටි සමයේ සිදු වූ දිලීපන්ගේ උපවාසය වැදගත් පාඩම් දරා සිටී. 1987 ජූලි 29දා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර අත්සන් තැබුනු ඉන්දු-ලංකා ගිවිසුමට අනුව, උතුර හා නැගෙනහිර තුල සාමය පවත්වාගෙන යාමේ කඩතුරාව යටතේ ඉන්දියානු මිලිටරිය ගෙන්වනු ලැබ තිබුනි. උතුරේ හා නැගෙනහිරේ දෙමල ප්‍රභූවේ සහයෝගය ගොනු කරගැනීම සඳහා සීමිත බලය විමධ්‍යගත කිරීමේ පැකේජයක් ගිවිසුම මගින් යෝජනා කෙරුනි.

නිර්දය කලාපීය පොලිස්කාරයා ලෙස ක්‍රියා කල නව දිල්ලිය විසින් විධානය කරන ලද ගිවිසුමට එල්ටීටීඊය එකඟ විය. එවකට දෙමල එක්සත් විමුක්ති පෙරමුන (දෙඑවිපෙ) වටා රැලි වී සිටි දෙමල ධනේශ්වර පක්ෂ සහ අනෙකුත් සන්නද්ධ සටන්කාමී කන්ඩායම්, ගිවිසුමට හා ඉන්දියානු මිලිටරියේ මැදිහත් වීමට ඉතසිතින් සහයෝගය දුන් හ.

යතාර්ථයේ දී ඉන්දියාවේ භූමිකාව වූයේ, දෙමල කැරැල්ල මර්දනය කිරීම සහ අධිරාජ්‍යවාදී බලයන් හා සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් ඉන්දු උප-මහාද්වීපය මත පටවන ලද, පශ්චාත් යුද සමථය මධ්‍යයේ ස්ථාපනය කෙරුනු ශ්‍රී ලංකාවේ ධනේශ්වර ඒකීය රාජ්‍යය රැකීම යි.

එල්ටීටීඊයට ආයුධ භාර දෙන ලෙස බල කරන අතර, ඉන්දීය මිලිටරිය උතුර හා නැගෙනහිර වාඩිලා ගැනීම ඉක්මනින් ම ශක්තිමත් කරගනිමින් සිටියේ ය. 2009 මැයි යුද්ධයේ අවසානයේ දී ශ්‍රී ලංකාවේ මිලිටරිය විසින් මරා දමන ලද එල්ටීටීඊ නායක වී. ප්‍රභාකරන්ගේ මෙහෙයවීම මත, එහි දේශපාලන අංශ නායකයා වූ දිලීපන්, ඉල්ලීම් කිහිපයක් මත උපවාසය ඇරඹී ය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම; අතිරේක පොලිස් හමුදාවක් වූ ස්වදේශික ආරක්ෂකයින් නිරායුධ කිරීම; සිංහල වැසියන් උතුරේ හා නැගෙනහිරේ පදිංචි කිරීමේ ජනපදකරනය නැවැත්වීම ආදිය එම ඉල්ලීම් අතර විය.

මෙම ඉල්ලීම් නව දිල්ලියට ඉදිරිපත් කරන ලද අතර, එය ඒවා අවඥාවෙන් යුතු ව බැහැර කලේ ය. මහජනයා, ඉන්දියානු මැදිහත් වීම කෙරෙහි තමන්ගේ විරෝධය පල කරනු පිනිස, දිලීපන්ගේ උපවාසයට සහයෝගය දුන් හ. මහජන කෝපය වැඩෙද්දී, ක්‍රමානුකූල ප්‍රකෝපකරනයන්ගෙන් පසු, ඉන්දියානු මිලිටරිය ඔක්තෝබරය මුල දී එල්ටීටීඊයට එරෙහි ප්‍රහාරයක් දියත් කලේ ය. ඉන්දියානු මිලිටරි ප්‍රහාරයේ දී, එල්ටීටීඊ කේඩරයට අමතර ව දෙමල සිවිල් වැසියන් දහස් ගනනක් මරා දැමුනි. 

සිංහල හා දෙමල කම්කරුවන්ගේ එකමුතුවේ පදනම මත, ඉන්දු-ලංකා ගිවිසුමටත් ඉන්දියානු ආක්‍රමනයටත් විරුද්ධ වූයේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පමනි. විකොස ශ්‍රී ලංකාවේ උතුරින් හා නැගෙනහිරින් ඉන්දියානු හමුදා සහ ශ්‍රී ලංකාවේ මිලිටරිය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. ඉන්දු-ලංකා ගිවිසුමේ විෂඝෝර ප්‍රතිවිපාක විස්තර කරමින්, 1987 අගෝස්තුවේ දී, යාපනයේ දී හා කරෙයිනගර්හි දී විකොස සාර්ථක ප්‍රසිද්ධ රැස්වීම් දෙකක් පැවැත්වී ය.

“ශ්‍රී ලංකාවේ තත්ත්වය හා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍යයෝ” නමින් ප්‍රකාශයක්, හජාජාක විසින් 1987 නොවැම්බර් 19දා නිකුත් කරන ලදී. දේශපාලනික හැරුම් ලක්ෂ‍්‍යයක් සලකුනු කල ඉන්දියානු මැදිහත් වීම හජාජාක විසින් හෙලා දැක්කේ ය. මේ ප්‍රකාශය තුල, හජාජාක එල්ටීටීඊයේ භූමිකාව සම්පින්ඩනය කලේ ය:

“නව දිල්ලියට ගුවනින් ගොස් ඉන්දු-ලංකා සම්මුතියේ කොන්දේසිවලට එකඟ වීමට තමන් ගත් තීන්දුවට හේතු වූයේ ඉන්දියානු ගැට හා රැවටිලි යයි ප්‍රභාකරන් දැන් කියා සිටී. මෙම ‘බොරු සමාව’ හෙලිදරව් කරන්නේ එල්ටීටීඊ සංවිධානයේ බොලඳකම පමනක් නො ව සුලු-ධනේශ්වර ජාතිකවාදයේ දේශපාලන බෙලහීනත්වය ද වේ. ගාන්ධි එල්ටීටීඊ නායකයා රැවටීමට සමත් වී නම්, එසේ වූයේ, එල්ටීටීඊයේ මුලුමහත් ප්‍රතිපත්තිය ඉන්දියානු ධනේශ්වරයේ සහායෙන් දෙමල ඊලම්හි ස්වයං-නීර්නය අත් කර ගැනීම පදනම් කොට ගත් හෙයිනි. භයානක ප්‍රතිවිපාක ලබා දුන් මෙම සාවද්‍ය තක්සේරුවේ මූලාශ්‍රය පවතින්නේ ධනේශ්වර ජාතිකවාදයේ සාරභූත පන්ති ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය තුල ය.”

ඉන්දියානු ධනේශ්වරයේ මැදිහත් වීමට විරුද්ධ ව, හජාජාක, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ක්‍රියා මාර්ගය වර්ධනය කලේ ය. 1987 පටන් ගත වූ දශක කිහිපය පුරා මෙම ක්‍රියා මාර්ගය සනාථ වී තිබේ.

ඉන් පසුව එලඹුනු කාල පරිච්ඡේදය තුල එල්ටීටීඊයේ - සහ දෙජාස හා අනෙකුත් ජාතිකවාදී කන්ඩායම්වල- තව දුර දකුනට ගමන් කල පරිනාමය, මෙම දේශපාලනයේ තාර්කික ප්‍රතිඵලය යි. දශක තුනහමාරකට ආසන්න ව ගෙවී ගොස් ඇති කාල පරිච්ඡේදයෙහි කටුක අත්දැකීම, හජාජාක හා සසප විසින් වර්ධනය කරන ලද ක්‍රියා මාර්ගය සඳහා සටන් වැදීමේ අවශ්‍යතාව බලගතු ලෙස සනාථ කර ඇත. 

කම්කරුවන්, තරුනයන් සහ විකල්පයක් සොයන සියල්ලන් එම පාඩම් වෙතට හැරී, දෙමල ධනේශ්වර පක්ෂවල ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනයෙන් බිඳී වෙන් විය යුතු ය. මෙම සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයට සටන් වැදීම සඳහා සසපට බැඳෙන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලමු.

Loading