ඇඟලුම් කර්මාන්තකරුවෝ වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය මධ්‍යයේ ලාබය තකා කම්කරුවන් දිගටම වැඩෙහි යොදවති

කොවිඩ් 19 වසංගතයේ තර්ජනය නොතකා කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නිෂ්පාදන කටයුතු  දිගටම පවත්වාගෙන යන බව කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නිෂ්පාදක සංගමයේ (නිවෙකනිස) ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු අවධාරනය කර ඇත. නිවෙකනිස මෙම සාපරාධී තීන්දුව ගෙන ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩ්ක්ස් ඇඟලුම් කම්හලේ කම්කරුවන් 1500 ට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම සහ කටුනායක, බියගම හා කොග්ගල ඇතුලු සෙසු අපනයන කලාපවලට සහ රට පුරා වසංගතය පැතිරී යන කොන්දේසි තුලය.

කටුනායක වෙලඳ කලාපය තුල කරන ලද අහඹු පීසීආර් පරීක්ෂන වල දී ඔක්තෝබර් 15 වන විට නෙක්ස්ට්, චීෆ්වේ, නාගායි ලංකා සහ ඔකයා ලංකා යන ඇඟලුම් කම්හල් වලින් ආසාදිතයන් 50 ට වැඩි පිරිසක් හමු වී ඇත.  ඉන් 11 ක් නෙක්ස්ට් ආයතනයෙන් හා 34 ක් චීෆ්වේ කම්හලෙන් හමු වී ඇත.  සීදුව බ්‍රැන්ඩික්ස් කම්හල තුල කරන ලද පරීක්ෂන වල දී ද  ආසාදිතයන් හමු වූ බව වාර්තා වේ. 

මින් පෙනුම් කෙරෙනුයේ කටුනායක වෙලඳ කලාපයේ 40,000 පමන වන කම්කරුවන් සම්බන්ධයෙන් නිසිලෙස පීසීආර් පරීක්ෂන සිදු කෙරුනොත් දහස් ගනනකට වෛරසය ආසාදනය වී ඇතිබව අනාවරනය වියහැකි බව යි. කෙසේ නමුත් රාජපක්ෂ ආන්ඩුව සහ අපනයන කර්මාන්තකරුවන් මෙම ව්‍යසනය නොතකා කටුනායක ඇතුලු සියලු නිදහස් වෙලඳ කලාප තුල නිෂ්පාදනය අඛන්ඩව පවත්වාගෙන  තීන්දු කොට ඇත. 

වෛරසය ආසාදනයවීම පාලනය කිරීම සඳහා කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඔක්තෝබර් 15 වෙනිදා සිට ඇඳිරි නීතිය පනවා  ඇතත් කලාපයේ කම්කරුවන් අඛන්ඩව සේවයට වාර්තා කල යුතු බව කර්මාන්තකරුවන් විසින් නියෝග කර ඇත. ආන්ඩුවේ බලධාරීන් සහ කම්හල් හිමියන් මාධ්‍යයට කවර ප්‍රකාශ කල ද කම්කරුවන්ට වැඩ කිරීමට සිදුවනු ඇත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනය තුල ක්‍රියාත්මක වූ ආකාරයේ රුදුරු සේවා කොන්දේසි සහ අනාරක්ෂිත සෞඛ්‍ය තත්වයන් යටතේ ය.  

ඔවුන් සම්බන්ධ පීසීආර් පරීක්ෂන පැවැත්වීම පෞද්ගලික රෝහල් මගින් කරන ලෙස ආන්ඩුව හාම්පුතුන්ට දැනුම් දී තිබේ. ඒ සඳහා එක්  අයෙකුට රුපියල් 6000 ක් වැය වන  බවත්  ඒ නිසා "විශාල" මුදලක් වැය කිරීමට සිදුවන බවත් හාම්පුතුන් මාධ්‍යයට සඳහන් කර ඇත.

"වර්තමාන ප්‍රශ්න නිසා කටුනායක වෙලඳ කලාපයේ සේවයේ නියුතු 36,000 ක් කම්කරුවන්ගෙන් වැඩට එන්නේ 8,000 ක් පමනක්" බව නිවෙකනිස ලේකම් ප්‍රනාන්දු පවසයි. පවතින බාධකයන් ඉවත් කර, නිෂ්පාදනය පහත වැටීම වලක්වා ගැනීම සඳහා කම්කරුවන් සේවයට කැඳවා ගැනීමේ පහසුකම් සලසන ලෙස ඔහු ආන්ඩුවෙන් ඉල්ලා ඇත. ඉදිරි මාස කිහිපය තුල ඇඟලුම් සඳහා ඉහල ඉල්ලුමක්  තිබීම සහ බරපතල ලෙස වසංගතය පැතිරෙන තතු තුල ඉන්දියාවේ ඇඟලුම් අපනයන යතා තත්වයට පත්ව නොතිබීමේ වාසිය සැලකිල්ලට ගන්නා ලෙස ද ප්‍රනාන්දු අවධාරනය කරයි. නිවෙකනිස ඉල්ලා සිටින්නේ වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීම වැනි සුලු සීමාවන් පවා ඉවත් කර කම්කරුවන් වැඩට ගෙන්වා ගැනීමේ කොන්දේසි තහවුරු කරන ලෙසය. ඔවුන්ගේ එම ඉල්ලීම් කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා නිෂ්පාදනය පවත්වාගෙන යාම මගින් ලාබය මඩිගසා ගැනීමේ දුෂ්ට පිලිවෙතේ කොටසකි.

අපනයන කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා කම්හල් අඛන්ඩව පවත්වාගෙන යන බව අවධාරනය කර ඇත. "රට සාමාන්‍ය ලෙස පවත්වාගෙන යායුතු බවත්  දැඩි සෞඛ්‍යාරක්ෂක  ක්‍රම යටතේ  කම්හල් පවත්වාගෙන යායුතු" බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. 

"දැඩි සෞඛ්‍යාරක්ෂක" ක්‍රම යටතේ රට සහ කම්හල් පවත්වාගෙන යාම ගැන සිල්වාගේ ප්‍රකාශය වංචනිකය. කම්කරුවන්ගේ හෝ පොදු මහජනතාවගේ ආරක්ෂාවට උචිත පරිදි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද පවත්වාගෙන යාමට රාජපක්ෂ ආන්ඩුවට හෝ ධනපති හාම්පුතුන්ට කිසිදු උනනන්දුවක් හෝ අවශ්‍යතාවයක් නැත. මේ වන විට වසංගතය සමාජ තුල තිබීමත්, බ්‍රැන්ඩික්ස් ආයතනය සහ නිදහස් වෙලඳ කලාප කම්කරුවන් අතරට එය පැතිරයාමත් රාජපක්ෂ ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ සෞඛ්‍යාරක්ෂක පිලිවෙතේ යතා ස්වභාවය ප්‍රදර්ශනය කර තිබේ.

එමෙන් ම, හාම්පුතුන්, සමිති සහ ආන්ඩුව අතර අත්සන් කෙරුනු ත්‍රෛපාර්ශවීය ගිවිසුම හරහා ක්‍රියාවට දැමූ සියයට 50 ක වැටුප් කප්පාදුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඉඩ දෙන ලෙස ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය ඉල්ලා ඇත.  මෙම වසරේ මැයි මාසයේ අත්සන් කෙරුන ගිවිසුම මගින් වැටුප් හා දීමනා කප්පාදුවට හා රැකියා කප්පාදුවට වෘත්තීය සමිති එකඟ වූහ. දෙවන වරට දීර්ඝ කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මෙම ගිවිසුම යලිත් ඉදිරි මාස තුනක් සඳහා දීර්ඝ කිරීමේ සාකච්චා වටයක් කම්කරු ඇමති, හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර ආරම්භ වී ඇත. 

කටුනායක වෙලඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග "උද්ගත වී ඇති අර්බුදය සමනය කිරීම සඳහා යෝජනා" සහිත ලිපියක් නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් විසින් කම්කරු ඇමති වෙත  යොමුකර ඇත. ඔක්තේබර් මස 12 වන දින පවත්වන ලද කාර්ය සාධන බලකා රැස්වීමේදී සාකච්ඡා කල පරිදි සේවක සේවිකාවන්ගේ "සෞඛ්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරමින් සියලු කලාපයන්හි කර්මාන්තශාලා විවෘතව තබා ගැනීම" සඳහා පියවර ගන්නා ලෙස මාකස් තම ලිපියෙන් ඉල්ලා ඇත. 

වසංගතයේ ව්‍යාප්තිය මධ්‍යයේ අගුලු දැමීම ඉවත් කොට රාජපක්ෂ ආන්ඩුව විසින් "ආර්ථිකය යලි විවෘත" කිරීම යටතේ  හාම්පුතුන්ට රිසිසේ කර්මාන්ත හා ආයතන පවත්වාගෙන යාමේ අවසරය ප්‍රදානය කෙරුනි. නිවෙකපොසේසේස, ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (ලවෙකාපොකස), එක්සත් කම්කරු සමිති සම්මේලනය (එකසස ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ඇතුලු පුද්ගලික අංශයේ වෘත්තීය සමිතිවල ඍජු සහයෝගය සහිතව ක්‍රියාවට දැමුනු, වැටුප් හා රැකියා කප්පාදුව මෙන්ම, රුදුරු වැඩ කොන්දේසි යටතේ, නිෂ්පාදන පිරිවැය පහත දමා ගැනීමට සහ නිෂ්පාදන පලදායිත්වය ඉහල දමා ගැනීමට කර්මාන්තකරුවෝ සමත් වුහ. 

කොරෝනා වසංගතය හේතුකොටගෙන වෙලඳපොල හැකිලීම තිබියදීම, 2019 වසරේ මුල් නව මාසයේ ඩොලර් බිලියන 3.9 ක අපනයන ආදායමට සාපේක්ෂව, මෙම වසරේ එම කාලය තුල ඩොලර් බිලියන 3.1 ක අපනයන ආදායමක් ඇඟලුම් සමාගම් විසින් උපයාගෙන ඇත. 

කොරෝනා වසංගතයේ අවදානම නොතකා  රාජපක්ෂ ආන්ඩුව සහ  හාම්පුතුන් විසින් කම්කරුවන් වැඩට තල්ලු කිරීම අධිරාජ්‍යවාදී හා ධනපති ආන්ඩු විසින් ගෝලීයව ක්‍රියාවට දමන ප්‍රතිගාමී පිලිවෙතකි. එය, වසංගතයත් සමග ජීවත්වීම සහ වෛරසය ආසාදනය තුලින් "රංචු ප්‍රතිශක්තියක්" ඇතිවන බවට ප්‍රකාශිත මුලුමනින් ම අවිද්‍යාත්මක හා ප්‍රතිගාමී සංකල්ප මත පදනම් වූ කම්කරු පන්තියට විනාශය කටින පිලිවෙතකි. කම්කරුවන්ට කවර විනාශයක් අත් වුව ද ධනපති හාම්පුතුන්ට අවශ්‍ය වන්නේ ලාබය හඹා යාමයි. 

Loading