ලංකාව පුරා කොවිඩ්-19 වසංගතය පැතිරෙයි

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත රෝගීන් 87 දෙනෙකු අලුතින් සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාගත වූ සමස්ත ආසාදිතයන් ගනන 5,685ක් දක්වා ඉහල ගොස් ඇත. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 83 ක 9,287 දෙනෙක් රඳවනු ලැබ සිටිති. ගම්පහ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කලුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ කුරුනෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ආදි ප්‍රදේශ හුදෙකලා කර ඇත. 

පසු ගිය දින කීපය තුල වාර්තා වූ සිද්ධීන් දෙස බැලීමේ දී පෙනී යන්නේ වැඩබිම්වල වෛරසය සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි.

ලංකාදීප වාර්තා කරන ආකරයට ඊයේ සවස 4 වන විට කටුනායක ආයෝජන කලාපයෙන් හඳුනා ගනු ලැබුනු සමස්ත ආසාදිතයන් 224කි. ඊයේ දිනයේ දී ද එම ලාභ ශ්‍රම කලාපයෙන් රෝගීන් 10 දෙනෙකු හඳුනා ගැනුනි.

මෙම කලාපයට පිටතින් ආයෝජන මන්ඩලයට අයත් නොවන කම්හල්වලින් රෝගීන් දෙ දෙනෙකු හඳුනාගෙන ඇත. මේ වන විට ආයෝජන මන්ඩලයට අයත් නොවන කම්හල් වලින් වලින් හඳුනා ගෙන ඇති ආසාදිතයන් ගනන 22 කි. 

●මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් පලමු ආසාදිතයා හඳුනා ගැනීමෙන් පසු ව බ්‍රැන්ඩික්ස් ජාලයේ විවිධ කර්මාන්තශාලා සහ කාර්යාලවලින් රෝගීහු හඳුනා ගනු ලැබූහ.

●ඔක්තෝබර් 18 වැනි දින මතුගම ප්‍රදේශයේ උසස් පෙල විභාග ශාලාධිපති වශයෙන් කටුයතු කල ගුරුවරියක් ආසාදිත යයි හඳුනා ගනු ලැබුනා ය. 19 වැනි දින එම විභාග මධ්‍යස්ථානය අලුත් කාර්ය මන්ඩලයක් යොදවනු ලැබ නැවතත් පවත්වා ගෙන යාමට නියමිත විය.

මේ වන විට උසස් පෙල විභාගය ලියමින් සිටි අපේක්ෂකයන් 7 දෙනෙකු පමන ආසාදිත යැයි හඳුනා ගෙන ඇත. විභාග ශාලාවක යමෙකු ආසාදිත යයි හඳුනා ගනු ලැබුනු විට ඔහු හෝ ඇය සිටි විභාග ශාලාවේ සෙසු සියලු දෙනා ම නිරෝධායනය කිරීම දැනට ගෙන යන පිලිවෙතයි. අනාරක්ෂිත කොන්දේසි යටතේ විභාගය කල් දැමීම ආන්ඩුව ප්‍රතික්ෂේප කරන්නේ, "කොරෝනා සමග ජීවත් වීමට මහජනතාවට පුරුදු කිරීමේ" ව්‍යසනකාරී පිලිවෙතේ කොටසක් වශයෙනි.  

●18 වැනි දා කොලඹ මැරීන් ඩ්‍රයිව් එන්ඩීබී (බැංකු) ශාඛාවේ තවත් සේවකයන් දෙ දෙනෙකු ආසාදිත යයි හඳුනා ගැනුනි. ඔවුහු ඇරැව්වල සහ පැලැන්වත්ත පදිංචිකරුවෝ වෙති. මීට පෙර, ඔක් 12 දා ද, මෙම ශාඛාවේ සේවකයෙකු ආසාදිත යයි හඳුනා ගනු ලැබුනි.

●කොලඹ නැව් තටාකාංගනයේ ද වෛරස ව්‍යාප්තියක් අනාවරනය වී ඇත. මේ වන විට 16 දෙනෙකු ආසාදිත බවට හඳුනා ගෙන තිබේ. ගාල්ල, රාගම, මතුගම, වෙන්නප්පුව, මීගමුව, මාතර ආදි ප්‍රදේශ ගනනාවක විසිරී සිටින මෙම කම්කරුවන්ගේ නිල නිවාස කොලඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටා ඇත. නැව් සමාගමක සේවය කරන, වෝඩ් පෙදෙසේ පදිංචිකරුවෙකු ද ආසාදිත යයි ඊයේ හඳුනා ගනු ලැබුනි. වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක, කොලඹ වරායේ වැඩ කටයුතු කෙරී ගෙන යන බවට සඳහන් කරමින්, වසංගත උවදුරක අවදානම ප්‍රතික්ෂේප කලේ ආසාදිතව ඇත්තේ ඩොක්යාඩ් සමාගමේ කම්කරුවන් පමනක් යැයි සඳහන් කරමිනි.

●මීට පෙර, කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ හෙදියක් හඳුනා නොගත් මූලාශ්‍රයකින් ආසාදනය වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කල බවට නිව්ස් ෆස්ට් වාර්තා කර තිබුනි. ඊයේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු ද ආසාදිත බව හඳුනා ගනු ලැබුනි.

●දිවුලපිටිය රෝහලේ සුලු සේවකයෙකු ද ආසාදිත බව ඊයේ හඳුනා ගැනුනි. මීට පෙර කොලඹ ජාතික රෝහල, බොරැල්ල ලමා රෝහල ඇතුලු රෝහල් කීපයක සුලු සේවකයන් ගනනවාක්ම ආසාදිත බව හඳුනා ගැනුනි.

●කඳාන ලෙකෝ ආයතනයේ ආරක්ෂක අංශයේ දෙ දෙනෙකු ආසාදිත බව හඳුනා ගෙන ඇත.

●කොලඹ පිටකොටුව ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ සහායකයන් දෙදෙනෙකු සහ මැනිං මාකට් හි ආපනශාලාවක් පවත්වා ගෙන ගිය අයෙකු ද ආසාදිත යැයි ඊයේ හඳුනා ගැනුනි.

●පේදුරු තුඩුව බස් ඩිපෝවේ බස් නියාමකවරයෙකු ආසාදිත බවට ඊයේ හඳුනා ගත් අතර, යාපනය දිස්ත්‍රික්කයේ පුංගුඩුතිවූ දිවයින හුදෙකලා කෙරී ඇත.

●කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල ගුනසේකර තම බල ප්‍රදේශයෙන් හඳුනා ගත් ආසාදිතයන් සම්බන්ධයෙන්, සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්තිවලට, මෙසේ පැවසීය: “අපට නිශ්චිත වශයෙන් ම මූලාශ්‍රය හඳුනා ගත නොහැකි රෝගීන් 4 දෙනෙකු පමන වාර්තා වෙනවා. ඒ අතින් බලන විට අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා.” 

ඉහත දැක්වූයේ ඊයේ දිනයේ සහ පසුගිය දිනවල ආසාදිතයන් වාර්තා වීම් සම්බන්ධ මාධ්‍යයන් හි පල වූ තොරතුරු වලින් සමහරක් පමනකි. 

කෙසේ නමුත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන තොරතුරුවල සඳහන් වන්නේ වාර්තා වන සියලුම ආසාදිතයන්  මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධිත බවයි.  

සමාජ සම්ප්‍රේෂනයක් සිදු වන්නේ නැතැයි ආන්ඩුව දිගින් දිගට ම පවසන අතර එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති සහ සෞඛ්‍ය බලධාරීහු මුක්කු ගසති. වසංගතය සමාජ සම්ප්‍රේෂන අවධියට පත් ව ඇතැයි යන කරුන ආන්ඩුව දිගින් දිගට ම වසන් කරන්නේ එය පිලිගතහොත්, ධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයෙන්, තවදුරටත් කාර්මික කටයුතු පවත්වා ගෙන යාමට එය බාධාවක් වන නිසා ය. 

ආන්ඩුවේ මෙම ව්‍යසනකාරී පිලිවෙතින් ආශීර්වාදය ලත් කම්හල් හිමියෝ, කම්කරුවන් කුඩා වෑන් රථ වැනි තදබදයෙන් යුත් වාහනවල පටවා ගෙන කාර්මික කලාප තුලට ගෙන එනු දැක ගත හැකි ය.

"විවිධ පැතිවලින් දිවුලපිටිය පොකුර පරීක්ෂනයට ලක් කිරීමෙන් පසු", දැන් නිශ්චිත අදියරකට පැමින තිබෙන බවත් මෙම සොයා ගැනීම් තහවුරු කර ගැනීමෙන් පසු එලිදරවු කරන බවටත් කොරෝනා කාර්ය මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කල බව ද ඩේලි එෆ්ටී වාර්තා කලේ ය. ආන්ඩුවේ වගකීම යට ගැසීමට, "මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලට කොවිඩ්-19 වෛරසය පැමිනියේ කෙසේ ද" යන්න ගැන හමුදා බුද්ධි අංශ පවත්වන ඊනියා පරීක්ෂන යොදා ගනිමින් ඇත. 

ලංකාව ඇතුලු ලොව ඕනෑම රටක් ගෝලීය ව ඒකාග්‍රිත සංකීර්න ආර්ථික පද්ධතියක කොටසක් වීම හේතුවෙන්, සමස්ත මානව සමාජය ම ගෝලීය වෛරසයකින් බැට කමින් සිටිද්දී, එක් රටක් තුල වසංගතය මැඩපැවැත්විය හැකිය යන්න පරිපූර්න ප්‍රලාපයකි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කර ඇති මොහොතක පවා ලොව අන් රටවල ආන්ඩු මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද, සෞඛ්‍යයට වෙන් කරන මුදල් දැවැන්ත පරිමාන ව ඉහල දැමීමට කටයුතු කර නැත. මහ බැංකු නිලධාරීන්ට බැන වදිමින් රුපියල් බිලියන ගනනින් මහා ව්‍යාපාරිකයන්ට නය සම්පාදනය කර දීමට ජනාධිපති රාජපක්ෂට පැවති තදියම, වසංගතය ඇස් පනා පිට ම පැතිරෙද්දි කම්කරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් නොමැත. ඔහු ද ඇතුලු සමස්ත ධනපති පාලක පන්තියේ ප්‍රතිචාරය එයයි. 

සමගි ජන බලවේගය ඊයේ පැවත්වූ මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබන්ඩාර ආන්ඩුවට ව්‍යාජ චෝදනාවක් එල්ල කලේ වසංගතය සහ ආර්ථිකය පාලනය කර ගත නොහැකි ව ඇත්තේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අවධානය යොමු කිරීම නිසා බවයි. රාජපක්ෂ බලයට පැමිනියේ ම, පිපිරී යන කම්කරු අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම එල්ල කරගත් ආඥාදායක පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීමේ න්‍යාය පත්‍රය අතැතිව වන අතර, කොරෝනා මර්දනයේ මුවාවෙන් රාජපක්ෂ මිලිටරීකරනය වේගවත් කරද්දී, සජබ ඇතුලු සියලු ධනපති පක්ෂ එයට සම්පූර්න සහයෝගය දී කටයුතු කලේ ය.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ඉහල යාම, ගෝලීය ව ආසාදිතයන් ඉහල යාමක් සමග සමපාත වෙයි. සඳුදා සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 40 සීමාව ඉක්ම ගිය අතර, යුරෝපයේ ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා වසංගතය ව්‍යසනකාරී ලෙස උත්සන්න වෙමින් පවතී. 

එයට ප්‍රධානතම හේතුව වනුයේ, අත්‍යවශ්‍ය නොවන සියලුම කම්හල්, වැඩබිම්, පාසැල් සහ අනෙකුත් ආයතන වසා දමමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන අතරේ, රෝගය මැඩලීමේ එන්නතක් හැකි ඉක්මනින් සොයා ගැනීමට ලොවපුරා විසිරී පවතින විද්‍යාත්මක සහ තාක්ෂනික ඥානය මෙන්ම දැවැන්ත ධන සම්පත් ඒකාග්‍ර නොකිරීම යි. පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම්ව, එකිනෙකට පිලිමල් ජාතික රාජ්‍ය පද්ධතියක් තුල මුල්බැස ඇති, ගෝලීය ධනපති ක්‍රමය එවන් ගෝලීය ප්‍රයත්නයකට මුලුමනින්ම එරෙහිව පිහිටා සිටී.

Loading