ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිය හා දක්ෂිනාංශික භීෂනය

මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ග්‍රේට් බැරින්ග්ටන් කේන්ද්‍ර කර ගත් දක්ෂිනාංශික නිදහස් මතධාරී චින්තන පර්ෂදයක් වන ඇමරිකානු ආර්ථික පර්යේෂන ආයතනය (AIER) විසින් සංවිධානය කරන ලද රැස්වීමකින් පසු මෙම ප්‍රකාශය නිකුත් විය. දුරස්ථ පියවර ගැනීම වෙනුවට, “ස්වාභාවික ආසාදනය මගින් වෛරසයට මුහුන දිය හැකි ප්‍රතිශක්තිය වර්ධනය කිරීම” පිනිස  වෛරසය පැතිර යා හැකි විශාල රැස්වීම් ප්‍රවර්ධනය කරන ලෙස එය ආන්ඩුවලින් ඉල්ලා සිටී. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අර්ථය, මහා පරිමානයක ජීවිත හානිය යි. 

“රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ පිලිවෙත, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු සියලු ම පිලිගත් සෞඛ්‍ය අධිකාරයන් විසින් හෙලා දකී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳුදා එවැනි ප්‍රතිපත්තියක්, “සදාචාර විරෝධී” යැයි කියා සිටියේ ය. “රංචු ප්‍රතිශක්තිය ලබා ගත යුත්තේ මිනිසුන් වෛරසය‍ෙන් ආරක්ෂා කිරීමෙන් මිස ඔවුන් ඊට නිරාවරනය කිරීමෙන් නො වේ. වසංගතයකට කෙසේ වෙතත්, බෝවන රෝගයකට ප්‍රතිචාර දැක්වීමේ මූලෝපායක් ලෙස, මහජන සෞඛ්‍ය ඉතිහාසයේ කිසි දිනෙක රංචු ප්‍රතිශක්තිය භාවිතා කර නොමැත. ”

නමුත්, ට්‍රම්ප් පරිපාලනය හා ලොව පුරා අනෙකුත් ආන්ඩු ක්‍රියාත්මක කරන පිලිවෙත  හරියට ම මෙයයි.

ධවල මන්දිරයේ නිලධාරියෙකුගෙන් යයි වොෂිංටන් පෝස්ට් මෙසේ උපුටා දක්වයි:, “සැලැස්ම [මහා බැරින්ග්ටන් ප්‍රකාශනය] මාස ගනනාවක් තිස්සේ ජනාධිපති අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුමත කරයි.”

වසංගතය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් නිෂ්ඵල යැයි "මාස ගනනාවක්" තිස්සේ  ධවල මන්දිරය විශ්වාස කලේ නම්, ජනවාරි හා පෙබරවාරි මාසවල වසංගතය පැතිරීම නැවැත්වීමට මූලික පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීම ද්වේෂ සහගත මිනීමැරුමක් ලෙස සැලකිය යුතු ය. ජනගහනය විශාල වශයෙන් ආසාදනය වීම හොඳ දෙයක් ය යන විශ්වාසය මත පදනම් ව ධවල මන්දිරය, හිතාමතා හා දැනුවත් ව එක්සත් ජනපදයේ 210,000 කට අධික මරනවලට තුඩුදුන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත.

නිර්නාමික නිලධාරියා තවදුරටත් මෙසේ කියා සිටියේ ය: “මිනිසුන් 200,000 ක් මිය ගිය බව කවුරුත් දන්නවා. එය අතිශයින්ම බරපතල වගේම ඛේදජනකයි. නමුත් අනෙක් අතට, සමාජය අඩපන විය යුතු යැයි මම හිතන්නේ නෑ. මිනිස්සු තමන්ගේ  නිවෙස්වලට කොටු කිරීමේ හානිය අපි දන්නවා. ”

වසංගතයට සම්බන්ධීකෘත ප්‍රතිචාර දැක්වීම අඩපන කිරීමේ පුලුල් ප්‍රයත්නයක කොටසක් ලෙස ට්‍රම්ප් පරිපාලනය, ආචාර්ය ඇන්තනි ෆෝසිට එරෙහි ප්‍රහාරය තීව්‍ර කරමින් සිටී. ෆෝසි මෑතක දී අනතුරු ඇඟවූයේ, “සරත් හා ශීත ඍතුවේ දී අවශ්‍ය දේ අප විසින් නො කරන්නේ නම්,  කෝවිඩ් -19 මරන 300,000-400,000ක් අප සතුවනු ඇත” කියායි. 

වසංගතයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තියේ මාරක ප්‍රතිපත්තිය, එක්සත් ජනපදයේ පෙර නො වූ විරූ දේශපාලන අර්බුදයේ කේන්ද්‍රගතව පවතී. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පාලක ප්‍රභූව, කවරදාටත් වඩා ප්‍රචන්ඩකාරී හා ආඥාදායක පාලන ක්‍රම වෙත යොමුවෙමින් සිටී.

“රංචු ප්‍රතිශක්තියට”  ධවල මන්දිරයේ විවෘත අනුමැතිය ලැබෙන්නේ, මිචිගන් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සඳහා අන්ත දක්ෂිනාංශික ත්‍රස්තවාදීන් විසින් කරන ලද කුමන්ත්‍රනයක් නීති බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් හෙලි කිරීමෙන් දින කිහිපයකට පසුව ය. ඊයේ පලවූ වාර්තාවන්ට අනුව, වර්ජිනියා ආන්ඩුකාර රැල්ෆ් නෝර්තම් ද ඉලක්ක කර ගත්, කුමන්ත්‍රනය කේන්ද්‍රගත කෙරුනේ,  වසංගතය පාලනය කිරීම සඳහා වන බොහෝ අවම සීමාවන්ට පවා විරුද්ධ වෙමිනි.

දැඩි ලෙස සන්නද්ධ මිලීෂියාවන් විසින් මෙහෙයවන ලද මිචිගන්, වර්ජිනියා, විස්කොන්සින් හා වෙනත් ප්‍රාන්තවල අගනගරවල දක්ෂිනාංශික පෙලපාලිවලින් පසුව, මෙම කුමන්ත්‍රනය වර්ධනය විය. මෙම ප්‍රාන්ත “නිදහස්” කිරීම සඳහා ට්‍රම්ප් කල කැඳවීම මත පෙලඹුනු මෙම උද්ඝෝෂන සිදුවූයේ, වසංගත පැතිරීමත් සමඟ මෝටර් රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල විරෝධතාවන්ට ප්‍රතිචාර වශයෙන් මාර්තු මාසයේ දී සම්මත කරන ලද සීමිත පියවරවලින් පසු පාලක පන්තිය නැවත වැඩට  පැමිනෙන ලෙස ඉල්ලා සිටීමත් සමගිනි. 

මාර්තු අග දී කොන්ග්‍රසය විසින් ඒකමතික ව කෙයාස් පනත සම්මත කරන ලද අතර එය ඩොලර් ට්‍රිලියන ගනනක් වෝල් වීදිය හා සංගත ඇමරිකාව වෙත මාරු කිරීමට අවසර දුන්නේය. තම උත්සුකතා සුරක්ෂිත කර ගත් පාලක පන්තිය වහා ම, ධනවතුන්ට ඇපදීම සඳහා ගෙවිය යුතු ලාභ ප්‍රවාහය වලක්වන ඕනෑම පියවරක් නතර කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ට්‍රම්ප් විසින් මෙහෙයවනු ලැබුව ද මෙම ප්‍රතිපත්තියට දෙපක්ෂයම එකඟය. එය මුලින් ම නිවේදනය කලේ “සුව කිරීම රෝගයට වඩා දරුනු විය නො හැක,” යැයි ප්‍රකාශ කල  නිව් යෝක් ටයිම්ස් හි තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන් විසිනි. එනම් වසංගතය පාලනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ගවලට දරන පිරිවැය වටින්නේ නැත. ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් යටතේ පවතින රට පුරා ප්‍රාන්ත පාලනයන්, ව්‍යාපාර සඳහා තිබූ සීමාවන් ඉවත් කර කම්කරුවන් නැවත වැඩට දැක්කීමට පටන් ගත්හ. කුඩා දක්ෂිනාංශික උද්ඝෝෂන, මහජන මනෝභාවයේ නීත්‍යානුකූල ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරමින් මාධ්‍ය සිය කාර්යභාරය ඉටු කලේ ය. 

ප්‍රතිවිපාක කලින් කිව හැකි විය: වෛරසය නැවත ව්‍යාප්ත වීම හා මරන සංඛ්‍යා ඉහල යාමයි. කෙසේ වෙතත්, පැතිරීම පාලනය කිරීමේ නව පියවරයන්ට පාලක පන්තිය විරුද්ධ ය. ඒ අතරම වෛරසයේ ආර්ථික බලපෑම නිසා, රැකියා වියුක්ති සහන කපා හැර දරිද්‍රතාවට, නිවාසවලින් නෙරපා හැරීමට හා සාගින්නට මුහුන දෙන මිලියන සංඛ්‍යාත ජනතාවට දැවැන්ත සමාජ ව්‍යසනයක් ඇති වී තිබේ.

මෙම වර්ධනයන්ට ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් සිටින්නේ කුමන්ත්‍රන උත්සන්න කරමිනි. මැතිවරනයට සති තුනක් පමනක් ඉතිරි ව තිබිය දී ට්‍රම්ප්, අන්ත දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වය අවුස්සමින් මැතිවරනයේ ප්‍රතිඵල කුමක් වුවත් බලයේ රැඳී සිටින බවට තර්ජනය කරමින් සිටී. මේ සතියේ නාමයෝජනා විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරනයට ඇමී කෝනි බැරට් පත් කිරීම පිලිබඳ ව ඔහු ගනන් බලමින් සිටීන්නේ,  මෙම කුමන්ත්‍රනය අනුමත කර ගැනීමට යි.

වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය, මිචිගන් හි කුමන්ත්‍රන සැලැසුම වසන් කිරීම හා අවතක්සේරු කිරීමට උත්සාහ කිරීමේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ කාර්යභාරය හා ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තියට ඇති සම්බන්ධතා ද පැහැදිලි කරයි. බිඩෙන් හා අනෙකුත් ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින් ප්‍රාන්ත ආන්ඩු පෙරලා දැමීමට දරන උත්සාහයේ වැදගත්කම පිලිබඳ නිහඬතාවක් පවත්වා ගෙන ගොස් ඇත.

ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි පුලුල් මහජන විරෝධයක් ඇති කල හැකි ඕනෑ ම දෙයක් ගැන වෝල් වීදිය හා මිලිටරියේ පක්ෂයක සාමාජිකයන් වන ඩිමොක්‍රටිකයෝ භීතියට පත්ව සිටිති. ධවල මන්දිරය කේන්ද්‍ර කර ගත් ෆැසිස්ට් කුමන්ත්‍රනයට එරෙහිව ජනතාව බලමුලු ගැන්වීම සඳහා සමස්ත පාලක පන්තිය විසින් ම ප්‍රවර්ධනය කරනු ලබන  “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඇතුලු ව, එය මෙහෙයවන සමාජ අවශ්‍යතා හෙලිදරව් කිරීම අවශ්‍ය වනු ඇත.

මැතිවරනයෙන් කුමක් සිදු වුව ද, මේ වසරේ සිදුවීම් අහෝසි කල නො හැක. පාලක පන්තියේ ප්‍රතිපත්තිය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපාකාරයන් ආරක්ෂා කිරීම සමඟ අතිමූලික වශයෙන් නො ගැලපේ. එහි ලාභ උතත්සුකතා ආරක්ෂා කර ගැනීම සඳහා පාලක පන්තිය අන්ත දක්ෂිනාංශික භීෂනය යොදාගෙන ඇති අතර ඔවුන්ගේ අවසාන ඉලක්කය කම්කරු පන්තියේ විරුද්ධත්වය යි.

ආඥාදායකත්වයට එරෙහි අරගලය, ආපසු වැඩට දැක්කීමේ මාරක ව්‍යායාමයට , මහා විරැකියාවට හා  ඓතිහාසික ව පෙර නො වූ විරූ සමාජ අසමානතාවන්ට එරෙහි ව කම්කරු පන්තිය දේශපාලන වශයෙන් බලමුලු ගැන්වීම හා සම්බන්ධ කල යුතු ය. එය අනිවාර්යයෙන් ම පාලක පන්තියට හා සමස්ත ධනවාදී පද්ධතියට එරෙහි සටනකි.

මෙම ලිපිය ඔක්තෝබර් 14 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading