ඉදිරිදර්ශන

ට්‍රම්ප් කුමන්ත්‍රන සැලසුම සමග ඉදිරියට යද්දී ඩිමොක්‍රටිකයෝ “ඉවසිලිවන්ත” වන්නැයි ඉල්ලා සිටිති

නොවැම්බර් 3දා පැවැත්වෙන මහ මැතිවරනයට පෙර සති දෙකක් ඉතිරි ව තිබිය දී, එහි ප්‍රතිඵලය නො තකා බලයේ රැඳී සිටීමට උත්සාහ දරන ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය අන්ත-දක්ෂිනාංශික බලවේගයන් දිගට ම බලමුලුගැන්වීමේ යෙදී සිටී.

සෙනසුරාදා (ඔක්තෝබර් 17) මිචිගන්හි මුස්කේගන්හි දී කතා කල ජනාධිපතිවරයා, පදනම් විරහිත විශාල ඡන්ද ප්‍රෝඩාවක් ගැන පුනරුච්ඡාරනය කලේ, දින 12කට පෙර හෙලිදරව් කරගත් පරිදි ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයක ඉලක්කය වූ, ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරිය වන ග්‍රෙට්චන් විට්මර්ට එරෙහි කටුක හෙලා දැකීම් සිදු කරමිනි.

විට්මර් හා ප්‍රාන්තයේ ඉහල ම නීතිඥවරිය වන ඩිමොක්‍රටික් පක්ෂයේ ඩානා නෙසල් ගැන සඳහන් කරමින්, “ඇගෙන් හා ඇයගේ නීතිපතිවරියගෙන් ප්‍රවේසම් වන්නැ” යි රැස්ව සිටියවුන්ට ට්‍රම්ප් කීවේ ය. “ඒ මන් ද ඔවුන් ඡන්ද පෙට්ටි පිරවීමේ යෙදෙන නිසා.” විට්මර් ගැන ට්‍රම්ප් සඳහන් කරන විට, සෙනග “ඇය සිර අඩස්සියට දමන්නැ” යි හඬ නැගූහ.

විට්මර් ඇයගේ ආධාරකරුවන් ව ට්‍රම්ප් ඝාතනය කිරීමට උනන්දු කරන බව ප්‍රකෝපකාරී ලෙස කියාපාමින්, ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය ඇයට එල්ල කරන ප්‍රහාර ඊයේ තවදුරටත් උත්සන්න කලේ ය. “මහා බොරු” පාවිච්චි කිරීමේ නාසි උප්පරවැට්ටිය සිහිපත් කරන ප්‍රකාශයක් ඔහුගේ උද්ඝෝෂනය විසින් ට්විටර් ගිනුමේ මෙසේ සටහන් කලේ ය: “යම් පුද්ගලයෙක් ධවල මන්දිරයට විස කැවූ පාර්සලයක් එවීමෙන් යන්තම් සති කිහිපයකට පසුව, ජනාධිපති ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහය විට්මර් විසින් දිරිගන්වමින් සිටී.” 

2020 අප්‍රේල් 15දා ලබා ගත් ඡායාරූපයක මිචිගන් ප්‍රාන්තයේ ලෑන්සින්හි කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටත තුවක්කු අත දරා සිටින විරෝධතාකරුවෝ (ඒපී ඡායාරූපය/ පෝල් සැන්ක්යා)

මැතිවරන දිනයේ ඡන්දය දෙන ස්ථානවල දී විවෘත ව ආයුධ රැගෙන යාම තහනම් කරමින්, ප්‍රාන්ත ලේකම් ජොස්ලින් බෙන්සන් විසින් නිකුත් කරන ලද නියෝගය තමන් බලාත්මක කරන්නේ නැති බව, ප්‍රාන්තය පුරා පොලිසිය හා මුලාදෑනි (ෂෙරිෆ්) සංගම් ට්‍රම්ප්ගේ වක්‍ර හෝ ඍජු අනුමැතිය සහිත ව ප්‍රකාශ කල හ. ඡන්දයෙන් පත් වූ නිලධාරියෙකුගේ නීත්‍යානුකූල නියෝගයකට එරෙහි මෙම අර්ධ-කැරලිකාරී ක්‍රියාව, ප්‍රාන්තයේ බලය දරන්නේ කවුද යන ප්‍රශ්නය ඉස්මතු කරයි. මැතිවරන දිනයේ ඡන්දය පාවිච්චි කිරීමට බාධා කිරීම මිලීෂියාවන් විසින් සැලසුම් කරන නිසා ආයුධ තහනම් නියෝගය නිකුත් කරන ලදී.

පොලීසිය සමග සන්ධානගත ව ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය විසින් ඉටු කරනු ලබන අනතුරුදායක ක්‍රියා කලාපය, ඩිමොක්‍රටික් පක්ෂයේ බියගුලු ප්‍රතිචාරය දේශපාලනික ව වඩ වඩා සාපරාධී බවට පත් කරයි.

ට්‍රම්ප්ගේ මූලෝපායට මුහුන දීමේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ සැලසුම් නිවේදනය කරන නිල ප්‍රතිපත්ති පත්‍රිකාවක්, සෙනෙට් සුලුතර නායක චක් ෂූමර්ගේ කාර්යාලය විසින් සෙනෙට් ඩිමොක්‍රටික බලමන්ඩලය වෙනුවෙන් ඊයේ නිකුත් කලේ ය.

පත්‍රිකාව කොන්ද පන නැති කමේ හා බරපතල කම නො තකා හැරීමේ ප්‍රකාශයක් විය. “2020 මහ මැතිවරනය: ඡන්ද ගනන් කිරීම හා මැතිවරන දිනයේ දී අපේක්ෂා කරන්නේ කුමක් ද” යන මාතෘකාවෙන් යුතු මෙම ලේඛනය, විට්මර් හෝ තවත් ඉලක්කයක් වූ වර්ජිනියාවේ ඩිමොක්‍රටික් ආන්ඩුකාර රැල්ෆ් නෝදම්ට එරෙහි කුමන්ත්‍රනය ගැන කිසිදු සඳහනක් කරන්නේ නැත. මැතිවරන ප්‍රතිඵලයට උඩින් පැනීමට ට්‍රම්ප් කරන තර්ජනයන්ට එය මෙසේ සඳහන් කරමින් ප්‍රතිචාර දක්වයි:

භීතිය හා ව්‍යාකූලත්වය ඇවිලවීමට ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ මිත්‍රයන් උත්සාහ කිරීම අවාසනාවන්ත ය. මෙම උත්සාහයන් පිලිබඳ ව දැනුවත් විය යුතු ඇමරිකානු ජනයා, ඒවා ව්‍යාජ තොරතුරුවලට වැඩි යමක් නො වන බව අවබෝධ කරගත යුතු ය. ...වැරදි තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට සූදානම් විය යුතු ඇමරිකානුවෝ, ඡන්ද ගනන් කිරීමට වැඩි කාලයක් ගත වන ස්ථානවල ප්‍රතිඵල පිලිබඳ ව ඉවසිලිවන්ත විය යුතු ය.

මෙය දේශපාලනික ව දනින් වැටීමේ කාලකන්නි ප්‍රකාශයකි. බලයේ දිගට ම රැඳී සිටීමට ට්‍රම්ප් කරන තර්ජනය, ඉහිරුනු කිරි වීදුරුවක් වැනි “අවාසනාවන්ත” අහම්බයක් නො වේ. එය වනාහි පොලීසියේ හා මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනයේ සැලකිය යුතු කොටසක් විසින් පිටුබලය දෙනු ලබන, එක්සත් ජනපද ඉතිහාසය තුල පෙර නුවූ විරූ, හිතා මතා සැලසුම් කරන ෆැසිස්ට් මූලෝපායකි.

ෂූමර් හා ඩිමොක්‍රටික් පක්ෂය මෙය ඉතා හොඳින් දනිති. මේ වසර මුල දී ඩේලි ෂෝහි ට්‍රෙවර් නෝවාට අදහස් දැක්වූ ජෝ බයිඩන් ට්‍රම්ප් තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන පෙර නිමිත්ත “මා රාත්‍රියේ දී නිදි වර්ජිත ව තබනවා” යි කීවේ ය. දැන්, බයිඩන් හා ඩිමොක්‍රටිකයන් ජනතාවට කියන්නේ “මෙහි බිය වීමට කිසි දෙයක් නැති” බව යි. ඒ අතර ම, ඔවුන් පාලක පන්තියට ඒත්තු ගන්වමින් සිටින්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වටිනාකම් වල වඩා හොඳ ආරක්ෂකයා බයිඩන් බව යි.

මූල්‍ය ප්‍රාග්ධනයෙහි බලගතු කොටසක නියෝජිතයන් ලෙස, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රකාශය අන් සියල්ලටත් වඩා ඉලක්ක කරන්නේ, මහජනතාව නලවා නිද්‍රාවට පත් කිරීමට හා ආඥාදායකත්වයේ තර්ජනය ලඝු කිරීමට යි. ඩිමොක්‍රටිකයන්ගේ විශාලතම භීතිය වන්නේ, පහලින් එන සමාජ විරෝධයේ රූපය ගන්නා “ව්‍යාකූලත්වයක්” ඔවුන්ගේ පාලනයෙන් පිට පැන, වොල් වීදියේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දීර්ඝ-කාලීන අවශ්‍යතාවන්ට තර්ජනය කරනු ඇතැයි යන්න යි.

1934 නොවැම්බරයේ දී ලියොන් ට්‍රෙට්ස්කි රචනා කල ප්‍රන්සය කොයිබට ද යන ලිපිය තුල මෙම මූලික දේශපාලන ගතිකය හඳුනාගත්තේ ය. ධනපති-ගැති, මධ්‍යම පන්තික ප්‍රන්ස රැඩිකල් පක්ෂය ගැන සඳහන් කරමින් ට්‍රොට්ස්කි ලියූ පරිදි: “සිය රියදුරාගේ කසයට යටත් වන ඔටුවන් මෙන්, රැඩිකල්වාදය ධනපති ප්‍රතිගාමීත්වයට එහි මොල්ලිය මත වාඩි වීමට ඉඩ දෙමින් දනහිස් හතර නමයි.” “ප්‍රතිගාමීත්වය ආවරනය කිරීමට අන් කවරදාටත් වඩා පරිශ්‍රම දරන ඔවුහු, මහජනයා නලවමින් හා රවටමින් ඒ හරහා ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය සූදානම් කරති” යි ට්‍රොට්ස්කි තව දුරටත් සඳහන් කලේ, පහලින් එන සමාජ විරෝධය කෙරෙහි ඔවුන් කොතරම් භීතියට පත්වන්නේ දැයි පෙන්නුම් කරමිනි.

මිචිගන් කුමන්ත්‍රනය ගැන හෝ විට්මර්ගේ ජීවිතයට එරෙහි තර්ජනය ගැන මිලියන 13ක් වන තම අනුගාමිකයන්ට කිසිවක් ට්විටර්හි සඳහන් කර නැති බර්නි සෑන්ඩර්ස් වැනි “වාම” ඩිමොක්‍රටිකයන් සහ ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) හා එහි අර්ධ-නිල ප්‍රකාශනය වන ජැකොබින් සඟරාව වැනි කන්ඩායම් විසින් මෙම ක්‍රියා දාමයේ දී තීරනාත්මක භූමිකාවක් ඉටු කරනු ලබයි. මිචිගන් කුමන්ත්‍රනය ගැන ජැකොබින් සඟරාව එකදු ලිපියක් වත් ලියා නැති අතර, එය හෙලා දකිමින් ඩීඑස්ඒ ප්‍රකාශයක් නිකුත් කර නැත.

හිටපු කොමියුනිස්ට් පක්ෂ නායිකා ඇන්ජලා ඩේවිස්, ඩෙට් කලෙක්ටික්ව් ආරම්භක ඇස්ට්‍රා ටේලර් හා ජැකොබින් කර්තෘ බුස්කාර් සුන්කාරා පෙනී සිටි පසුගිය සතියේ පැවති අන්තර්ජාල රැස්වීමක දී ව්‍යාජ-වමේ දුස්සහායකත්වය ප්‍රදර්ශනය විය.

විට්මර්ට එරෙහි කුමන්ත්‍රනය ගැන සඳහන් කිරීම සහභාගි වූවෝ දැනුවත් ව ප්‍රතික්ෂේප කල හ. “මැතිවරනය ගැන හෝ ප්‍රවෘත්ති ගැන අපි වැඩි කාලයක් ගත කරන්නේ නැහැ” යි රැස්වීම ආරම්භයේ දී ටේලර් ප්‍රකාශ කලා ය. කන්ඩායම කියා සිටියේ තමන් බයිඩන්ට දෙන ඡන්දයක් වෙනුවෙන් සහයෝගය දෙන බව යි. ජැකොබින් හා ඩීඑස්ඒ සෑන්ඩර්ස්ට දන නමන අතර, ඔහු බයිඩන්ට දන නමද්දී බයිඩන් ට්‍රම්ප්ට දන නමයි. මෙම ගතිකයෙන් තොර ව ට්‍රම්ප්ගේ ධුරය අස්ථීර වනු ඇත.

එක්සත් ජනපදය තුල ෆැසිස්ට් ව්‍යාපාරයක් වර්ධනය වීම යතාර්ථයකි. නොවැම්බර් 3 සිට ඉන් ඔබ්බට ට්‍රම්ප්ගේ දේශපාලන මූලෝපාය මෙය යි. ට්‍රම්ප් මැතිවරනයෙන් පරාජයට පත් වුව ද නොවැම්බර් 3දා සිට 2021 ජනවාරි 21දා දක්වා, තමන්ගේ අන්ත-දක්ෂිනාංශික ආධාරකරුවන්ට සමාව දීමට හා ඔහුගේ ෆැසිස්ට්වාදී මූලෝපාය උත්සන්න කිරීමට ඔහුට දීර්ඝ මාස කිහිපයක් ලැබෙනු ඇත.

මැතිවරන ප්‍රතිඵලය නො තකා, ඩිමොක්‍රටික් පක්ෂයේ යටත් වීමේ මූලෝපාය දිගට ම පවතිනු ඇත.

බයිඩන්-හැරිස් එකමුතුව ජයග්‍රහනය කල ද ඔවුන්ගේ පරිපාලනය, “ජාතික සමගියේ” හා “සියලු ඇමරිකානුවන් වෙනුවෙන් පාලනය ගෙන යාමේ” නාමයෙන්, දක්ෂිනාංශයට සහන පිට සහන පුදනු ඇත. මිලීෂියාවන් ඇමරිකානු දේශපාලන දර්ශන පථයේ මුඛ්‍ය ප්‍රතිෂ්ඨාවක් බවට පැමිනෙනු ඇති අතර, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු ආන්ඩුකාරවරු වර්තමානයේ පවුරු බැඳීමට සැලසුම් කරන ප්‍රාන්ත අගනුවරවල්වල දී ම, එම මිලීෂියාවන්ට ඒවායේ දුක් ගැනවිලි ඉස්මතු කිරීමට ආරාධනා කරනු ඇත.

එක්සත් ජනපදය තුල ප්‍රදර්ශනය වන ප්‍රවනතාවන් ම, බ්‍රසීලය, ජර්මනිය, එංගලන්තය, ආර්ජන්ටිනාව, ප්‍රන්සය හා අනෙකුත් තැන්වල දී ප්‍රදර්ශනය වෙමින් පවතී. ෆැසිස්ට් ප්‍රතිගාමීත්වයේ වර්ධනය නැවැත්වීමට, කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානයකින් ස්වාධීන, සමාජවාදී ක්‍රියාමාර්ගයක් සමගින් මැදිහත් වීම අවශ්‍ය ය. 

මෙම ලිපිය ඔක්තෝබර් 20 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

Loading