වසංගතය පැතිරීමෙන් කොලඹ නැව් තටාකාංගනයේ කම්කරුවන් අනතුරේ

කොලඹ වරාය පරිශ්‍රයේ පිහිටා ඇති නැව් තටාකාංගනයේ කම්කරුවන් 21 දෙනෙකුට කොවිඩ්-19 වසංගතය ආසාදනයවී ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කලේය. එහි ප්‍රධාන වානිජ නිලධාරී  බෙනී ප්‍රනාන්දු  සඳහන් කර ඇති පරිදි ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් තවමත් තටාකාංගනයේ වැඩකටයුතු ඉදිරියට ගෙනයයි. 

නැව් තටාකාංගනය තුලත්, එය පිහිටා ඇති වරාය තුලත්, සියලු කම්කරුවන්ගේ පීසීආර් පරීක්ෂන සිදුකර තව දුරටත් ආසාදනයවී ඇත්තේ කවුරුන්ද යන්න වහාම සොයා ඊට පිලියම් යෙදියයුතු බවත්, මෙතෙක් ඒ සඳහා ක්‍රමානුකූල වැඩ පිලිවෙලක් නොමැති බවත් වරාය කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

දක්ෂින අධිවේගී මාර්ගයේ ධාවනය වන කොලඹ - මතුගම සුඛෝපභෝගී බස් රථයක ගමන් කිරීමේදී ප්‍රථම කම්කරුවාට රෝගය ආසාදනය වී ඇති බවට සැක කරන බව පැවසේ. රටතුල වසංගතය සමාජගතවී නොමැති බව පවසමින්, ආන්ඩුව සහ අනෙකුත් බලධාරීන්, සෑම ආසාදිතයෙකුම "බ්‍රැන්ඩික්ස් පොකුරට" සම්බන්ධ කරන නමුත් මෙහිදී එය කල නොහැකිව ඇත.

විවිධ පලාත් වලින් තටාකාංගනයට සේවයට පැමිනෙන කම්කරුවන් පාවිච්චියට ගන්නේ පොදු ප්‍රවාහන සේවා වන අතර ගමනා ගමනයේදී කම්කරුවන් දෙදෙනෙකුට රෝගය ආසාදනය වූ බව වාර්තා වේ. රෝගීන් වාර්තා වන්නේ විවිධ පලාත් වලිනි. මින් හය දෙනෙකු කොලඹ 13, බ්ලූමැන්ඩල් හි නැව් තටාකාංගන කම්කරු නිවාසයන්හි රැඳී සිටින පුද්ගලයන් බවද, ඔවුන්, රාගම, මතුගම, වෙන්නප්පුව, ගාල්ල, මීගමුව සහ මාතර, මුලටියන පදිංචිකරුවන් වන බවද වාර්තාවේ. 09 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මේ අනුව පැහැදිලි වන්නේ රට පුරා මෙන්ම තටාකාංගනය තුලද වෛරසය පැතිරීමේ අවදානම යතා කරුනක් බවය.

වරාය භූමිය තුල ස්ථානගතව ඇති කොලඹ ඩොක්යාර්ඩ්  කොටස 1993 සිට ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමේ අයිතිය යටතේ ක්‍රියාත්මක වේ. නැව් අලුත්වැඩියා කිරීම, නැව් තැනීම, යනාදී ඉංජිනේරු කටයුතු එහිදී සිදු කෙරේ.  

වරාය අධිකාරියට අයත්  වරායේ සේවකයන් හා නැව් තටාකාංගනයේ සේවකයන් එකම ගේට්ටුවලින් ඇතුලු වන අතර එකම භූමියේ සේවයේ යෙදීම හේතුවෙන්, නිසි ආරක්ෂක පියවර නොසපයන්නේ නම් වසංගතය තමන්ටද ආසාදනයවීමේ අවකාශ ඇති බව වරාය අධිකාරියට අයත් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියහ. 

වරාය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කර ඇති අතර සේවයට වාර්තා කිරීම අනිවාර්ය කර ඇත. මෙම පසුබිම තුල සියල්ලන්ගේ පීසීආර් පරීක්ෂන සිදු කිරීම කල් නොහැරිය යුතු කටයුත්තකි.

කොලඹ වරාය භූමියතුල  වරාය අධිකාරිය සතුව ඇති පර්යන්ත මෙන්ම, “කොලඹ ජාත්‍යන්තර බහාලු පර්යන්තය”  චීන සමාගමක් යටතේ ද, “සවුත් ඒශියා ගේට් වේ”  පර්යන්තය තවත් විදේශ සමාගමක් යටතේ ද පාලනය වෙයි.

ඔක්තෝබර් 19 දා සිලොන් ටුඩේ පුවත්පතට අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මෙසේ පවසයි: “කොලඹ වරාය පරිශ්‍රය සුරක්ෂිතව තබා ගැනීම සඳහා දැඩි ආරක්ෂිත පියවර ගෙන ඇති අතර, (ආසාදිතයන් සමග) සම්බන්ධතා ඇති සේවකයින් පිලිබඳව නිරන්තරයෙන් පීසීආර් පරීක්ෂන පවත්වන අතරම සියලු සේවකයින්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත”

“සම්බන්ධතා ඇති” අයගේ පමනක් පීසීආර් පරීක්ෂා කිරීම, සැබෑ ව්‍යාප්තිය වසන් කිරීමට සහ වියදම අවම කිරීමට ආන්ඩුව ගෙයන මිනීමරු පිලිවෙත් වලින් ගලා එන්නකි. 

ටග් යාත්‍රාපතිවරයෙක් කියාසිටියේ පීසීආර් පරීක්ෂනය නොකෙරෙන තත්වයේදී වරාය අධිකාරියට අයත් කොටසේ කී දෙනෙකුට ආසාදනයවී ඇද්දැයි නිශ්චිතව කිව නොහැකි බවයි. වසංගතය විශාල ලෙස පැතිරෙන ගම්පහ ප්‍රදේශයේ සේවකයන්ට රැකියාවට වාර්තා නොකරන ලෙසට දැන්වීමට අමතරව, ගේට්ටුවෙන් අතුලුවන සියලු දෙනාගේ ශරීර උෂ්නත්වය බැලීම හා මුඛ ආවරන ලබාදීම වැනි ප්‍රාථමික පියවර ගෙන ඇතත් සේවා ස්ථාන විෂබීජහරනය ආරම්භ කලේ ඔක්තෝබර් 19 දින සිට බව ඔහු පැවසීය.

වරාය  අධිකාරියේ බෝට්ටු කම්කරුවෙකු කියා සිටියේ වරාය සේවාව අත්‍යවශ්‍ය සේවයක් කර ඇති හෙයින් පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චියට ගනිමින් අනතුරුදායක බව නොතකා සේවයට පැමිනීමට සිදුව ඇති බවයි.

ඔහු තව දුරටත් පැවසූයේ පාලකයන් දින පහක් සේවය කර දින පහක් නිවාඩු ගැනීම යෝජනා කල නමුත් පසුගිය මාර්තු - අප්‍රේල් කාලයේ රට වසාදැමූ අවස්ථවේ ලබාදුන් ඉරුදින අතිකාල සහිත වැටුප නිවාඩු දිනයන්ට ලබා නොදීම නිසා කම්කරුවන් එම යෝජනාව ප්‍රතික්ෂේප කල බවය. කම්කරුවන් සේවය කරන්නේ පීසීආර් පරීක්ෂන නොකෙරෙන අවදානම් තත්වයක බව ඔහුද පෙන්වා දුන්නේය.

වරායේ ජයබහාලුම් අංශයේ කම්කරුවෙක්ද එම කරුන අවධාරනය කලේ තෝරාගත් සුලු පිරිසකට පමනක් පීසීආර් පරීක්ෂනය කල බැවින් පොදුවේ කම්කරුවන් සිටින්නේ අවදානම් තත්වයක බවයි. වරාය වෘත්තීය සමිති එකතුවේ නායකයින් කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු පියවරක් නොගත් බවටත්, එම නායකයන් වරායේ සභාපති හමුවී කල සාකච්ඡාවන්හි ප්‍රතිඵලය ගැන සාමාජිකයන් දැනුවත් නොකල බවටත් ඔහු චෝදනා කලේය.

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව පසුගිය ජූලි 30 දින සිට දින තුනක් පුරා ගෙනගිය වැඩ වර්ජනය,  “කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව” මගින් “නින්දිත ලෙස පාවා දුන්” බවද කම්කරුවෝ මතකයට නැංවූහ.

මේ අතර වරායට තදාසන්න, කොලඹ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 19ක් හමුවී ඇති බව වාර්තාවෙයි. කොලඹ 4 වන හරස්වීදියේ ජනාකීර්න තොග වෙලඳසැල් වලින්ද මැනින් පොදු වෙලඳ පොලේද ආසාදිතයන් හමුවී ඇත. පිටකොටුව පොලිසිය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි බස්නාහිර පලාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසදනය වී  කොටුව පොලිීසියේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.

කොලඹ කොටුව ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 33 වන මහලේ පිහිටි ආයතනයක සේවය කරන පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වී ඇත. කොලඹට තදාසන්න කලුබෝවිල ශික්ෂන රෝහලේ කාර්යය මන්ඩලයට අයත් සාමාන්‍ය කම්කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රිතව පැන නැගුනු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2342 දක්වාද කටුනායක නිදහස් වෙලඳ කලාපයෙන් වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 268 දක්වාද ඉහල ගොස් ඇති බව වාර්තා කෙරේ. අවම පීසීආර් පරීක්ෂා යටතේ වුවද ඔක්තෝබර් 22 වන විට ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 6000ට සමීප වී ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2464 දක්වා ඉහල ගොස් ඇත. කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති ඇඳන් මේ වනවිට අවසන් වෙමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක ජයරුවන් බන්ඩාර ප්‍රකාශ කලේය. 

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා අලුතෙන් ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. එමගින් රෝග ව්‍යාප්තියේ තියුනු බව හෙලිකෙරේ.

ඩේලි මිරර් පුවත්පත ඔක්තෝබර් 21 දින වාර්තා කරන අන්දමට කෝවිඩ්-19 පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමක දී සඳහන් කෙරී ඇත්තේ මේ දක්වා හඳුනාගෙන ඇති සියලුම රෝගීන්ට ප්‍රභවයක් ඇති බැවින් රට මුහුන දී සිටින වර්තමාන තත්ත්වය තවමත් ප්‍රජා සම්ප්‍රේෂන අවධියකට පැමින නොමැති බවය.

මෙය අමූලික බොරුවක් බව නැව් තටාකාංගනයේ කොවිඩ් රෝගීන්ගේ වාර්තාද ඇතුලුව නන්දෙසින් පලවෙමින් ඇති රෝගීන්ගේ වාර්තාවන්ගෙන් තහවුරු වෙයි. ආන්ඩුව මෙම බොරුව පවත්වාගෙන යන්නේ තත්වය පාලනය කර ඇති බව පෙන්වමින් කම්කරුවන් දිගටම වැඩෙහි යොදවා ලාබ ගරා ගැනීමේ මහා ව්‍යාපාරික වුවමනාවන්ට ඉඩ දීම සඳහාය. 

Loading