වසංගතය සමාජගතවීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවකයින් ආසාදනයවීම වේගවත් වෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් දහසකට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවීමත් සමග ඉස්මත්තට පැමිනි කොවිඩ් 19 වසංගතය දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ආසාදිතයින් වේගයෙන් වැඩිවන කොන්දේසි යටතේ මෙම මාසය අවසාන වන විට ආසාදිතයින් සංඛ්‍යාව දෙ ගුන තෙ ගුන වීමට නියමිත ය.

මෙම සියලු තතු පැහැදිලි කරන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය(ලෝසවෙඅ), මෙම පුපුරා යාමට පෙර, සැප්තැම්බර් 18 වන දින “ශ්‍රී ලංකාව වසංගතයෙන් සුරක්ෂිත බවට වපුරන බොරුව ජාත්‍යන්තර සමීක්ෂන වාර්තාවෙන් බිඳ වැටෙයිලිපිය යටතේ නිවැරදි ලෙස ම කල අනතුරු ඇඟවීම බලගතු ලෙස සනාථ වෙමින් පවතින බවයි.

මේ වසරේ ජූලියේ දී, අතිකාල දීමනා කප්පාදුවට එරෙහි ව විරෝධතාවයේ යෙදෙන මහනුවර රෝහලේ හෙද-හෙදියෝ

මෙම කොන්දේසි තුල කොරෝනා ආසාදිතයින් සමග සෘජුවම සම්බන්ධ වන සෞඛ්‍ය සේවකයෝ වඩා අවදානම් සහගත තත්වයකට මුහුන දෙමින් සිටිති. ලොව පුරා ආන්ඩු විසින්, නිසි පරිදි ආරක්ෂන උපකරන නොසැපයීම හේතුවෙන් පසු ගිය මාසය වන විට ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 7000 වැඩි ප්‍රමානයක් මරනයට පත් ව ඇත.

එමෙන් ම බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය කල අධ්‍යයනයක දී හෙලිදරව් වී ඇත්තේ පෙරමුනේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් වෛරසයට ගොදුරු වීමේ සම්භාවිතාව සාමාන්‍ය පුද්ගලයින්ට වඩා තුන් ගුනයකින් වැඩි බවයි. මෙම තොරතුරු මගින් පෙන්නුම් කෙරෙන්නේ, සෞඛ්‍ය සේවයට කෙරෙන විශාල රාජ්‍ය ආයෝජනයන් හරහා යටිතල පහසුකම් වර්ධනය කිරීම,  නිසි පෞද්ගලික ආරක්ෂන උපකරන (පීපීඊ) සහ විෂබීජහාරක ප්‍රමානවත් පරිදි සම්පාදනය කිරීම මෙන්ම, එකවර විශාල කන්ඩායමක් ආසාදනයට ලක්වීමේ හැකියාව අවම වන පරිදි සෞඛ්‍ය කාර්ය මන්ඩලයන්හි සේවා මුර සංවිධානය කිරීම ආදී පියවර අත්‍යවශ්‍ය වන බවයි. 

නමුත් ලොව අනෙකුත් ආන්ඩු මෙන් ම ලංකාවේ ගෝ‍ඨාභය රාජපක්ෂ ආන්ඩුව ද මෙම පියවරයන් ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටී. දැනට මත් මෙම සාපාරාධී නොතකා හැරීමෙහි ප්‍රතිවිපාක ලංකාව තුල ප්‍රකාශයට පත් වන සිදුවීම් කිහිපයක් වාර්තා වෙයි.

ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් කොලඹ ජාතික රෝහලේ වාට්ටු අංක 69 ඇතුලුව වාට්ටු තුනක් වසා දමා එම කාර්ය මන්ඩලය නිරෝධායනය සඳහා යොමු කර ඇත. හොරන රෝහලේ වාට්ටු අංක 5 සහ 7 ද එලෙස ම වසා දමා කාර්ය මන්ඩලය නිරෝධායනය කර ඇත. එලෙස ම පසුගිය දිනවල පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවිය. මිනුවන්ගොඩ රෝහලේ සුලු සේවක පාලකයෙකු ද ආසාදනය වීම හේතුවෙන් රෝහල වසා දමා කාර්ය මන්ඩලය නිරෝධායනයට යොමුු කර ඇත.

කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරියන් තුන් දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බවට අහඹු ලෙස සිදු කල පිසීආර් පරීක්ෂන මගින් තහවුරු විය. මෙම සිදුවීම යට ගැසීමට මාධ්‍ය විසින් වෛද්‍යවරුන්ට රෝගය බෝ වූයේ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට ප්‍රතිකාර කිරීමෙන් බවට සාවද්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කලේය. කෙසේ වෙතත් රෝහලේ‍ වෛද්‍යවරුන් පවසන්නේ මෙම වෛද්‍යවරියන් තිදෙනා බ්‍රැන්ඩික්ස් සේවකයන්ට ප්‍රතිකාර නොකල බවයි. 

ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය හැරුනු කොට වසංගතය පැතිරීම සීමා කිරීමේ පියවර කිසිවක් ක්‍රියාත්මක නොවන අතර එය සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත ද අනතුරට ලක් කර ඇත. කෑගල්ල රෝහලේ සිදුවීම පෙන්නුම් කරන්නේ වසංගතයේ සමාජමය පැතිරීමක් තිබෙන තත්වය තුල රෝහලට පැමිනෙන ඕනෑම රෝගියෙකුට වෛරසය ආසාදනය වී තිබී සෞඛ්‍ය කාර්ය මන්ඩලයට වැලඳිය හැකි බවයි.

රෝගී සත්කාර සේවා සැපයීමෙන් වසංගතයට ගොදුරු වන සෞඛ්‍ය කම්කරුවන්ට ආන්ඩුව සලකන ආකාරය දැක්වෙන සිදුවීමක් කෑගල්ල රෝහලේ වෛද්‍යවරියකගෙන් වාර්තා විය.

රෝගයට ගොදුරු වූ වෛද්‍යවරියකගේ නිවසට රාත්‍රී 2 ට පමන කඩා වැදුනු ආයුධ සන්නද්ධ හමුදා භටයින් පිරිසක් පවුලේ සියලු දෙනා නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ, වෛද්‍යවරියට තම සොහොයුරාට දුරකථන ඇමතුමක් ගැනීමට පවා ඉඩ නොදෙමිනි. ඇයව රැගෙන ගොස් ඇත්තේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පවා දැනුවත් කිරීමකින් තොරවයි. 

මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින වෛද්‍යවරියගේ දියනිය නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ තමාගේ පොත් පවා ගැනීමට ඉඩ දීමකින් තොරවයි. මෙම තරුනිය, කිසිදු කාන්තාවක් නොසිටි බස්රථයකට නංවාගෙන ගොස්, පැය තුනකට පසුව, ඇය යොමුකල යුත්තේ කුමන ස්ථානයකට දැයි තීරනයක් නොමැති බැවින්, නැවත නිවසට ගෙනැවිත් දමා ගොස් ඇත. 

මෙම මිලිටරි මෙහෙයුම් ආකාරයේ පියවරයන්ගේ අරමුන වන්නේ සෞඛ්‍ය කම්කරුවන් බිය වැද්දවීමයි. අනෙක් අතට, ආන්ඩුව විසින් පම්පෝරි ගසමින් සිටින නිරෝධායන ක්‍රමවේදයේ ඇති අවිධිමත්භාවය මෙම සිදුවීම හරහා ඉස්මතු වී ඇත.

මේ අතර, පේරාදෙනිය රෝහලේ ප්‍රතිකාර ලබා නිවස බලා ගිය රෝගියෙකුට, යලි රෝගී තත්වයන් මතු වීම හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂන මගින් කොවිඩ්-19 ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත. නමුත් පේරාදෙනිය රෝහලේ රෝගියාට නිරාවරනය වූ මූලික ප්‍රතිකාර ඒකකයත් විකිරන අංශයත් වසා දැමීමට අවශ්‍ය නැති බව සහ එහි සේවය කල සේවකයින් නිරෝධායනයට යොමුකිරීමට අවශ්‍ය නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

එලෙස ම එම රෝහලේ අංක 12 වාට්ටුවේ කෝවිඩ් ආසාදිත රෝගියෙකුට නිරාවරනය වූ හෙදියන් සිටිද්දී කිසිදු ආරක්ෂිත පියවරක් නොගෙන ඔවුන් සේවයේ යොදවා ඇත. ආසාදිත රෝගීන් සිටි රෝහල්වල වෛද්‍යවරුන්, හෙද සේවකයන් ඇතුලු කාර්ය මන්ඩලයන් හි සියලු දෙනා වහාම පීසීආර් පරීක්ෂනයන්ට යොමු කල යුතු වුවද මෙතෙක් එය සිදු වී නොමැත.

මෙම සිදුවීම් මගින් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය සේවකයින් ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත පිලිබඳ පාලකයින්ගේ නරුම නොතැකීමයි. ධනපතියන්ගේ ලාභ ඉපැයීම් ක්‍රියාවලිය අඛන්ඩ ව පවත්වා ගෙන යනු වස් කම්කරුවන් වැඩට දැක්කීම සඳහා, වසංගතයේ සැබෑ අන්තරාය වසං කල යුතු ය. ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනයේ සිට ඉන්දියාවේ මෝදී ආන්ඩුව දක්වා ලොව පුරා පාලකයන්, මුල සිටම පීසීආර් පරීක්ෂන ඉතා සීමිත ආකාරයෙන් පවත්වා ගෙන ගියේ ඒ අරමුනෙනි. ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව අනුගමනය කරන්නේ ද එම සාපරාධී පිලිවෙතයි.

ලංකාවේ දෛනික පරීක්ෂන ධාරිතාවය දිනකට හාරදාහක් පමන වන අතර, එය රෝගීන් හඳුනාගෙන රෝගය පාලනය කිරීමට කිසිසේත් ප්‍රමානවත් නොවන බව සහ අඩු ම තරමේ දිනකට පරීක්ෂණ 9000 දක්වා එය ඉහල දැමියයුතු බව විශේෂඥ මතයයි. මෙම පරීක්ෂන ධාරිතාවයේ සීමිතභාවය, පරීක්ෂන ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇතිවන පමාවට මූලික හේතුවක් බවට පත් වී ඇත.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය කම්කරුවන් අතරේ විරෝධය වැඩෙමින් පවතින තත්වය තුල, ආන්ඩුව ඔවුන්ගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම වාරනය කරමින් ඔක්තෝබර් 06 වන දා චක්‍රලේඛයක් නිකුත් කලේය. එයට අනුව සෞඛ්‍ය සේවයේ රාජකාරී තොරතුරු සහ ඊට අදාල තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සෞඛ්‍ය සේවකයන්ට තහනම් ය. 

මහජනතාව පිලිබඳ ආන්ඩුවේ රුදුරු නොතැකීම සෘජුව ම අත් විඳින සෞඛ්‍ය කම්කරුවන්, රෝගයේ සමාජ ව්‍යාප්තිය පිලිබඳ සැබෑ තොරතුරු, රෝහල් තුල පවතින උපකරන, ඖෂධ සහ පරීක්ෂන පහසුකම් වල දැඩි හිඟය හෙලිදරව් කලහොත් එය විශාල සමාජ පිපිරීමකට හේතු වනු ඇති බවට ආන්ඩුව ගනන් බලමින් සිටී.

පේරාදෙනිය රෝහලේ හෙදියක් පැවසුවේ, සෞඛ්‍ය කාර්ය මන්ඩලය අඩක් යෙදවීම ආදී ගියවර ක්‍රියාත්මක කල සෞඛ්‍ය ආරක්ෂන පියවර කිසිවක් මේ වනවිට රෝහල් වල නොමැති බවයි.  ප්‍රමිතිගත පුද්ගලික ආරක්ෂක උපකරන නිසිලෙස සපයා නොමැති බවත්,  “මුහුනු ආවරන පවා ඔවුන්ගේ මුදලින් මිලදී ගන්නට සිදුවී ඇති බවත්” ඇය පැවසුවා ය. 

සෞඛ්‍ය කම්කරුවන් අතරේ විරෝධය වැඩෙද්දී වෘත්තීය සමිති ආන්ඩුවේ ඉහත පිලිවෙත් සමග මුලුමනින් ම පෙල ගැසී සිටී. හෙදිය චෝදනා කලේ වෘත්තීය සමිති වලට තම සාමාජිකයන්ගේ ප්‍රශ්න ගැන “වගේ වගක් නොමැති” බවත් පාලකයන්ගේ සියලු පීඩාකාරී යෝජනා සහ අනපනත් වලට තම සාමාජිකයන් යටත් කරමින් පාලකයන්ගේ පැත්තේ සිට ගෙන සිටින බවත් ය.

වසංගතය පාලනය කරමින් සෞඛ්‍ය කම්කරුවන් ඇතුලු මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ගත යුතු පියවර පිලිබඳ ව, අප්‍රේල් 18 වැනි දින, සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සටහන් කෙරුනි.

“රුපියල් බිලියන ගනන් වෙන් කල යුත්තේ, කොවිඩ්-19 තුරන් කිරීම සඳහා, සියලු උපකරන සහිත රෝහල් ඉදිකිරීම, මහා පරිමාන පරීක්ෂන වැඩසටහන් දියත් කිරීම සහ සෞඛ්‍ය කම්කරුවන්ට හා රෝගීන්ට අවශ්‍ය උපකරන සම්පාදනය කිරීම මගින් නිදහස් සෞඛ්‍ය සේවය වහා ම වර්ධනය කිරීම පිනිස මිස, බඩජාරි මහ ව්‍යාපාරිකයන් රැකීමට නො වේ.”

කෙසේ වෙතත් මේ ආකාරයෙන් මුදල් වෙන් කල හැක්කේ, වසංගතයේ පාලනය ධනපති පන්තියෙන් මුදාගෙන කම්කරුවන්ගේ අතට ගතහොත් පමනි. ඒ සඳහා රෝහල් කම්කරුවන් අනෙකුත් කම්කරුවන් සමග එක්ව වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ආරක්ෂන උපකරන, වසංගතයට මුහුන දීමට අවශ්‍ය කරන රෝහල් පහසුකම් මෙන් ම, යහපත් වැටුප් ආදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැක්කේ ඒ ආකාරයෙන් පමනි.

Loading