ඉදිරිදර්ශන

මිචිගන් ප්රාන්තයේ මුස්කෙගොන් රැලියේ දී,

ට්‍රම්ප් ප්‍රචන්ඩත්වය හා ඒකාධිපතිත්වයේ තර්ජන උත්සන්න කරයි

ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රනය  කිරීම සම්බන්ධයෙන් දක්ෂිනාංශික මිලීෂියා සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් පසු, එම ප්‍රාන්තයට ගිය තම පලමු ගමනේ දී, මිචිගන් ප්‍රාන්තයේ මස්කෙගොන් නගරයේ පැවති මැතිවරන  ප්‍රචාරක රැලියකට සහභාගී වෙමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය උසිගැන්වීම, මෙන් ම  තමා දින නියමයක් නො මැති ව තනතුරේ රැඳී සිටින බවට කරන තම තර්ජනයද උත්සන්න  කලේ ය. 

ට්‍රම්ප් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පිලිබඳ හෙලාදැකීම්වලින් පිරිස් පොලඹවා ගැනීමට උත්සාහ කලේ, ඇයගේ ඝාතනය සඳහා අවසන් මොහොතේ සූදානම් වෙමින් සිටිය දී ෆැසිස්ට් කල්ලියක් අත්අඩංගුවට ගැනුනාට යන්තම් දින 10කට පසුව ය. කොරෝනා වෛරස් ආසාදන හා මරන සංඛ්‍යාව ඉහල ගොස් තිබිය දී ත්, ප්‍රධාන මෝටර් රථ කම්හල් ඇතුලු ව ප්‍රධාන ව්‍යාපාර සියල්ල ම නැවත විවෘත කිරීමට විට්මර් අවසර දී ඇතත්, “ඔබේ ප්‍රාන්තය  යලි ඇරීමට ආන්ඩුකාරවරිය පොලඹවා ගන්න” යැයි ඔහු කෑගැසී ය.

“මම හිතන්නේ ඔවුන් කිව්වා ඈට තර්ජන සහිතයි කියලා, හරිද? ඇය මට දොස් පැවරුවා, ” ට්‍රම්ප් පුදුමය මවා පාමින් පැවසී ය. “ඇයව හිර කරන්න” යන හඬින් සමූහයා අනුග්‍රහශීලී ව  ප්‍රතිචාර දැක්වූ විට ට්‍රම්ප් සිය සියලු දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව මෙම ඉල්ලීම පුලුල් කලේ ය. “ඔවුන් සියල්ලන්ම හිර කරනු” ඔහු පැහැදිලි ව ම ප්‍රීතියෙන් පැවසී ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ඔක්තෝබර් 17වැනි සෙනසුරාදා මිචිගන් ප්‍රාන්තයේ නෝර්ටන් ෂෝර්ස් හි මස්කෙගොන් කෝරල ගුවන් තොටුපලේ පැවති මැතිවරන ප්‍රචාරක රැලියක් අමතයි. (AP ඡායාරූපය / ඇලෙක්ස් බ්‍රැන්ඩන්)

ඔහු “අවුරුදු හතරක්, අවුරුදු අටක්, අවුරුදු 12 ක්, 16 ක්” ධුරයේ රැඳී සිටීමේ තම අධිෂ් ඨානය ප්‍රකාශයට පත් කලේය. එය වාර දෙකක ව්‍යවස්ථාදායක සීමාවට වඩා බොහෝ දීර්ග කාලයකි. ඔහු සිය මාධ්‍ය විචාරකයින්ට සමච්චල් කලේ මෙසේ කියමිනි, “ඔබ තව අවුරුදු 12 ක් කිව්වොත් ඔබ ඇත්තටම ඔවුන්ව පිස්සු වට්ටනවා. එතකොට ඔවුන් කියනවා ඌ  ෆැසිස්ට්වාදියෙකු කියලා.” දහස් ගනනක් සමූහයා “තවත් අවුරුදු 12ක්, තවත් අවුරුදු 12ක්” යන හඬින් පිලිතුරු දුන්හ. ට්‍රම්ප් තවදුරටත් මෙසේ පැවසීය, “දැන් ව්‍යාජ ප්‍රවෘත්ති එක්ක කතාව වනවා ඇත්තේ, ‘ඔහු ෆැසිස්ට්වාදියෙක්!’” කියලා.

යථාර්ථයේ දී, තමා ම හා තම පවුල කේන්ද්‍ර කර ගත් සන්නද්ධ, ප්‍රචන්ඩකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා වන ට්‍රම්ප්ගේ වඩ වඩාත් විවෘත උත්සාහය නො තකා, සංගත මාධ්‍ය “ෆැසිස්ට්” ලේබලය යෙදීම ප්‍රතික්ෂේප කර තිබේ. නොවැම්බර් 3 මැතිවරනයේ දී ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීන් වන ජෝ බිඩෙන් හා කමලා හැරිස් හෝ වොෂිංටනයේ කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින් මෙම යෙදුම භාවිතා කිරීමට එඩිතර වී නැතත්, මෙය ට්‍රම්ප්ගේ උද්ඝෝෂනයේ මෙන් ම සමස්තයක් ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ගමන් මඟ බව අවිවාදිත ය.

ආන්ඩුකාර විට්මර්, මස්කෙගොන් රැලියේ ට්‍රම්ප්ගේ භාෂාවට විරෝධය පාමින්, එන්බීසීයේ ඉරිදා “මීට් ද ප්‍රෙස්” නම් වැඩසටහනේ පෙනී සිටිමින් අනතුරු ඇඟවීය. “පැහැර ගෙන, මා මරා දැමීමේ කුමන්ත්‍රනයකට දවස් දහයකට පස්සේ, -එනම් එය හෙලි වී දවස් දහයකට පස්සෙ - එක්සත් ජනපද ජනාධිපතිවරයා, , මට නඩු දමා, මරන දන්ඩනය පමුනවන්න හදනවා. මේ ආකාරයේ දේශීය ත්‍රස්තවාදයට අනුබල දීම හා දිරිගැන්වීම විශ්වාස කරන්න බැරි තරම් අහිතකරයි.”

එහෙත් අනෙකුත් ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින් හා ඔවුන්ගේ මාධ්‍ය සහචරයන් මෙම ප්‍රශ්නය අවතක්සේරු කිරීමට හෝ එය මුලුමනින්ම මග හැරීමට උත්සාහ කර ඇත. කොංග්‍රස් මන්ඩල කථානායිකා නැන්සි පෙලෝසි ඒබීසීයේ ඉරිදා උදෑසන සම්මුඛ සාකච්ඡා  වැඩසටහනට පෙනී සිටි විට, ඇය මස්කෙගොන් රැලිය පිලිබඳ ඍජු ප්‍රශ්නයකට, ට්‍රම්ප්ගේ වාචාලකම “වගකීම් විරහිත” යැයි හෙලා දකිමින්, ප්‍රතිචාර දැක්වූ නමුත්, ඇත්ත වශයෙන් ම විට්මර්ගේ නම හෝ ඇය මරා දැමීමේ කුමන්ත්‍රනය ගැන සඳහන් කලේ වත් නැත. “ඔහුගේ වසවලට ලොකුම ඖෂධය වන්නේ ඡන්දය” යැයි කියා ඇය අවසන් කලේ, තමා මැතිවරන ප්‍රතිඵල නො සලකා හරිමින් දින නියමයක් නො මැතිව ධුරයේ රැඳී සිටින බවට ට්‍රම්ප් පුන පුනා කරන ඇඟවීම් සඳහන් නො කරමිනි. 

හිටපු උප ජනාධිපති බිඩෙන් ද ඉරිදා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ඩර්හැම් හි දී සති අන්තයේ තම තනි උද්ඝෝෂන කතාවක් පැවත් වූ අවස්ථාවේ විට්මර් ඝාතනය කිරීමේ කුමන්ත්‍රනය ගැන කිසිදු සඳහනක් නො කලේ ය. ඔහු විදුලි පන්දම් ලෙලවන ෆැසිස්ට්වාදීන් අතර “ඉතා හොඳ පුද්ගලයන්” සිටින බවට, 2017 දී වර්ජිනියාවේ චාලට්ස්විල් හි නව නාසි පාගමනෙන් පසුව ට්‍රම්ප් කල ප්‍රකාශය උපුටා දැක්වූ අතර,  ජනාධිපතිවරයාගේ වර්තමාන දේශපාලන ගමන් මාර්ගය ගැන කිසිදු නිගමනයකට එලඹියේ නැත. ට්‍රම්ප්ගේ “මිචිගන් මුදා ගැනීම” සඳහා වන ඉල්ලීම් ෆැසිස්ට් මැරයන් දුසිමකට අධික සංඛ්‍යාවක් විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රාන්තයේ, මස්කෙගොන් සංචාරය ගැන ඔහු කිසිවක් කීවේ නැත.

එක්සත් ජනපද ජනාධිපතිවරයකු මේ ආකාරයෙන් හැසිරීම පිලිබඳ ව ඇමරිකානු දේශපාලන ජීවිතයේ පූර්වාදර්ශයක් නොමැත. රුසියානු විරෝධී උද්ඝෝෂනයෙන් පැන නැගි, ඇමරිකානු ජනතාවට කිසිදු උත්සුකයක් නො තිබූ මවාපෑමක් මත ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කල නමුත්, ජනාධිපතිවරයා මැර පිරිසක් උසිගන්වමින් ප්‍රචන්ඩකාරී ෆැසිස්ට් ව්‍යාපාරයක් නිර්මානය කිරීමට උත්සාහ කරන විට ඇඟිල්ලක් එසවීම ප්‍රතික්ෂේප කරති.

පසුගිය සතියේ, එන්බීසී හි ටවුන් හෝල් වැඩසටහනේ පෙනී සිටි ට්‍රම්ප්, සුදු ආධිපත්‍යය විධිමත් ලෙස ප්‍රතික්ෂේප කරමින් අමනාපයෙන් වාක්‍යයක් පමනක් කතා කල අතර, ඔහු ෆැසිස්ට් “ක්වානොන්” (QAnon) කුමන්ත්‍රන න්‍යාය වැලඳ ගත් අතර, තමා එහි “ලමා සේවනයට” එරෙහි ව සටන් කිරීමේ පරමාර්ථයේ කොටස්කාරයෙකු වී ගත් බව ඇඟවී ය. ක්වානොන් උද්ඝෝෂනයේ  තර්කය වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය මෙහෙයවනු ලබන බුහුසුනු ලමා අපචාර කරුවන්, එලඹෙන “කුනාටුවක” දී ට්‍රම්ප් විසින් වටකර විනාශ කරනු ඇත යන්න යි. එම සන්දර්භය තුල, ට්‍රම්ප්ගේ “ඔවුන් සියල්ලන්ම හිර කරනු” යන ප්‍රකාශය ඇඟ කිලිපොලායන සුලු ය.

ඇමරිකානු දේශපාලන ජීවිතයට සැබෑ ප්‍රතිවිපාකවලින් තොර උන්මන්තක අයිනක  බෙරිහන්දීමක් ලෙස ඇමරිකානු මාධ්‍ය සාමාන්‍යයෙන් ක්වානොන්  ව්‍යාපරය බැහැර කර ඇති අතර, වයඹ දිග ජෝර්ජියා දිස්ත්‍රික්කයක කොන්ග්‍රස් පක්ෂයේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා,  ක්වානොන් ව්‍යාපරය විවෘතව වැලඳගත් අපේක්ෂකකයෙකු වන, තම රිපබ්ලිකානු ප්‍රතිවාදියාගේ  ආධාරකරුවන්ගේ ප්‍රචන්ඩත්වයේ තර්ජනයන්ට මුහුන දුන් ආකාරය පිලිබඳ සිත් කම්පාකරවන විස්තරයක් වොෂිංටන් පෝස්ට් ඉරිදා ප්‍රකාශයට පත් කලේ ය. ප්‍රාන්තයේ හෝ ජාතික ඩිමොක්‍රටික් පක්ෂයේ කිසිවෙකු ඔහුගේ ආරක්ෂාව සඳහා ඇඟිල්ලක් ඔසවා නො තිබූ අතර ඔහු සිය අපේක්ෂකත්වය අතහැර ප්‍රාන්තයෙන් පලා ගියේ ය.

මිචිගන් සිද්ධිය සම්බන්ධයෙන් ගත් කල, ආන්ඩුකාර විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කල අයට ප්‍රාන්ත රිපබ්ලිකන් පක්ෂයේ නිලධාරීන්ගේ සහාය හා ට්‍රම්ප් ධවල මන්දිරයට ඍජුව ම සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධතා ඇති බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. එමෙන් ම ප්‍රාන්ත නීතිපතිවරයාට අනුව, මෙම කුමන්ත්‍රනය “මහා අනතුරක තුඩක්” පමනක් වන අතර එකම ආකාරයේ කුමන්ත්‍රන කන්ඩායම් විසින් තවත් බොහෝ ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන් ඉලක්ක කර තිබුනි.

විට්මර්ට එරෙහි ප්‍රචන්ඩ කුමන්ත්‍රනය හා 2020 මැතිවරනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහි සැලසුම් සහගත ප්‍රහාර අතර සම්බන්ධය මාධ්‍ය හෝ ඩිමොක්‍රටික් පක්ෂය විසින් පෙන්වා දී නැත. එහෙත්, කැපී පෙනෙන කරුන නම්, ඡන්ද ස්ථානවල හෝ තමන්ට නියමිත ඡන්ද ස්ථානවලට පැමිනය නො හැකි අයගේ ඡන්ද ගනන් කරන ස්ථානවල අඩි 100 ක් ඇතුලත විවෘත ව ගිනි අවි රැගෙන යාම තහනම් කරන බව මිචිගන් රාජ්‍ය ලේකම් විසින් ප්‍රකාශයට පත් කල විට, මිචිගන් රිපබ්ලිකන් නිලධාරීහු වහා ම එම තහනම හෙලා දකිමින්, දැඩි ලෙස ඩිමොක්‍රටික් පක්ෂයට බර ප්‍රාන්තවල ඡන්දදායකයින්ට තර්ජනය කිරීමට බලාපොරොත්තු වන, ට්‍රම්ප් ගැති මැරයන්ට  “දෙවන ව්‍යවස්ථා සංශෝධනයේ” අයිතිවාසිකම් තහවුරු කර දීම සදහා, නඩු මගට බසින බව ප්‍රකාශ කලහ.

සමාජවාදී සමානතා පක්ෂය ආන්ඩුකාර විට්මර් හා අනෙකුත් ඩිමොක්‍රටික් පක්ෂ නිලධාරීන්ට එරෙහි ප්‍රචන්ඩත්වයේ තර්ජන හෙලා දකී. ඩිමොක්‍රටික් පක්ෂය හා  විට්මර්ගේ ම ද දේශපාලනයට අපි විරුද්ධ වෙමු, නමුත් 2018 නොවැම්බරයේ ඡන්ද මිලියන 2.2 කට වඩා ලබා තේරී පත් වූ ආන්ඩුකාරවරියකට එරෙහි ප්‍රචන්ඩත්වයේ තර්ජන ගැන අපි නො සැලකිලිමත් නො වෙමු.

ඉහල ම මට්ටමේ සිට මෙහෙයවන ෆැසිස්ට් හා රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ විශාල අනතුරක් තිබේ. වොෂින්ටන් ප්‍රාන්තයේ මහල් නිවාසයක වාහන නැවතුම් අංගනයක දී තම කාරයට නැගීමට ගිය අවස්ථාවේ දී, ෆැසිස්ට් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන මයිකල් රෙනොහෙල්ට, කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව, පොලිස් ඝාතන කල්ලියක් විසින් සිරුර  පසාරු කර යෑමට වෙඩි උන්ඩ එල්ල කර ඝාතනය කෙරුනු  බව වාර්තා කෙරුනේ යන්තම් පසුගිය සතියේ දී ය. ට්‍රම්ප් හා  ඔහුගේ නීතිපති විලියම් බාර්ගේ සෘජු නියෝග යටතේ පොලිසිය, එක්සත් ජනපද මාෂල් සේවා කාර්ය සාධක බලකායේ කොටසක් ලෙස කටයුතු කරමින් සිටී.

ආඥාදායකත්වය හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය කරා තල්ලුව පැන නගින්නේ ඇමරිකාවේ දැවැන්ත සමාජ ප්‍රතිවිරෝධතාවෙනි: එනම් කොරෝනා  වෛරස් වසංගතයේ බලපෑමෙන් උග්‍ර කෙරෙන, සුපිරි ධනවතුන් හා සෙසු ජනයා අතර විවර වෙමින් තිබෙන සමාජ පරතරයෙනි. පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ විදේශයන්හි යුද්ධය හා රට තුල මර්දනය යි. ඩිමොක්‍රටික් පක්ෂයට මෙම ප්‍රවනතාවයට විරුද්ධ විය නො හැක්කේ ඔවුන්ගේ ම ප්‍රතිපත්ති ද එකම පන්ති අවශ්‍යතා විසින් නීර්නය කරනු ලබන බැවිනි.

මෙම අනතුරට එරෙහි ව සටන් කල හැකි එක ම ක්‍රමය වන්නේ මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව හා තරුනයින් ඩිමොක්‍රටික් පක්ෂයෙන් බිඳී සමස්ත කම්කරු පන්තිය ම එක්සත් කරන අව්‍යාජ මහජන සමාජවාදී ව්‍යාපාරයක් නිර්මානය කිරීම යි. ට්‍රම්ප් හා ඔහුගේ ෆැසිස්ට් පක්ෂවාදීන්ගේ සමාජ විරෝධී උමතුව, අනාරක්ෂිත රැකියා ස්ථානවලට බලහත්කාරයෙන් දැක්කීමට වන කම්කරුවන්ගේ  ප්‍රතිරෝධය සහ ඒ සමානවම මාරාන්තික ලෙස ආපසු පාසල්වලට දැක්කීමට වන තරුනයින්ගේ විරුද්ධත්වය තුල වර්තමානයේ දී  ප්‍රකාශ වන  කම්කරු පන්තියේ සටන්කාමීත්වයේ වර්ධනයට දක්වන ප්‍රතිචාරයකි.  

මැතිවරනයේ ප්‍රතිඵලය කුමක් වුවත්, ප්‍රචන්ඩත්වය හා ෆැසිස්ට් ප්‍රහාර සඳහා පෙලඹවීම් පහව යන්නේ නැත. ඊට පටහැනි ව, නොවැම්බර් 3 ඡන්ද විමසීමේ දී ට්‍රම්ප් නෙරපා හරිනු ලැබුව හොත් සහ එම ඡන්දයේ ප්‍රතිඵලය පිලිගැනීමට ඔහුට බල කෙරෙන්නේ නම්, ඔහු හා  ඔහුගේ හමුදා තම උත්සාහයන් තීව්‍ර කරනු ඇත. පෙලෝසි හා බයිඩෙන්ගේ අදහස්වලින් පෙන්නුම් කෙරෙන පරිදි, බයිඩෙන් පරිපාලනයක් ෆැසිස්ට් තර්ජනයට වඩා ඩිමොක්‍රටිකයන්ගේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට එරෙහි කම්කරු පන්තියේ ප්‍රතිරෝධය ගැන සැලකිලිමත් වනු ඇත.

මෙම යථාර්ථය අවධාරනය කරන්නේ 2020 මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂ උද්ඝෝෂනයේ වැදගත්කම යි. මැතිවරනයට සති දෙකකට පෙර, ජනාධිපති තනතුර සඳහා ජෝසෆ් කිෂෝර් සහ උප ජනාධිපති තනතුර සඳහා නොරිස්සා සැන්ටා කෘස්, යන අපගේ අපේක්ෂකයින්ට සහාය දක්වන ලෙසත්, ඡන්දය දිය හැකි ප්‍රාන්තවල ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන ලෙසත්, අනෙකුත් සියලු ප්‍රාන්තවල ඡන්ද පත්‍රිකාවේ ඔවුන්ගේ නම් ලියන ලෙසත් කම්කරුවන් හා තරුනයන් වෙත කෙරෙන අපගේ ඉල්ලීම අපි යලි මතක් කරමු. 

එහෙත් කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ ප්‍රතිඵලය කුමක් වුවත්,මැතිවරනයෙන් පසු ව ඇතිවිය හැකි අර්බුදකාරී තත්වයන් සඳහා වන සූදානම් වීම යි. කම්කරු පන්තිය සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් ද එමෙන් ම ධනේශ්වර පාලක ප්‍රභූව හා  ලාභ පද්ධතිය වෙනුවෙන් පෙනී සිටින සියලු පක්ෂ හා ක්ෂමාලාපකයින්ට එරෙහිව ද සටන් කරන ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. මෙයින් අදහස් කරන්නේ සසප හා අපගේ තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ  සංවිධානයට සම්බන්ධ වී, ඒවා ගොඩනැගීම යි.

මෙම ලිපිය ඔක්තෝබර් 19 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

Loading