වසංගතය පැතිරුන ද, "දිගටම වැඩ කරනු"යයි අමාත්‍ය මන්ඩලය කම්කරුවන්ට කියයි

පසුගිය 26 දා පැවති ආන්ඩුවේ කැබිනට් රැස්වීමේ දී රට තුල කිසිදු අගුලු දැමීමක් සිදු නොකරන බවත්, “සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව” ආර්ථික ක්‍රියාකාරකම් අඛන්ඩ ව පවත්වා ගෙන යාමට තීරනය කල බවත් ධනපති මාධ්‍ය වාර්තා කලේය. 

වසංගතය රටපුරා ව්‍යසනකාරී ලෙස ව්‍යාප්ත වෙමින් තිබියදීම, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට දැක්කීමේ ආන්ඩුවේ මිනීමරු පිලිවෙත අඛන්ඩව ක්‍රියාත්මක කරන බව මෙහි සරල අර්ථයයි. 

මේ වන විට රටේ මුලු ආසාදිතයන් සංඛ්‍යාව 9200 ක් ඉක්මවා ඇත. ආසාදිතව ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 5,111 ක් වන අතර මරන 19 කි. මිනුවන්ගොඩ හා පෑලියගොඩ ප්‍රදේශ ආශ්‍රිතව පමනක් මේ මාසය තුල හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 6607 දක්වා ඉහල ගොස් තිබේ. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගේ ආශ්‍රිතයන් තුලින් ඊයේ දිනයේ දී රෝගීන් 202 ක් වාර්තා විය. ඉන් 62 ක්ම ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවලින් වාර්තා වීම මගින් තත්වයේ අන්තරායකාරීභාවය පෙන්නුම් කරයි. 

27 දා රට තුල කොවිඩ් අසාදිත මරන තුනක් වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්ඩාර සීරුවෙන් වචන ගලපමින් පැවසුවේ “මේ තත්ත්වය තරමක් භයානක තත්ත්වයක්. පසුගිය දින කීපය තුල මරන 6 කට වැඩිය වාර්තා වෙලා තියෙනවා. සමාජයෙන් රෝගය මතු වීමේ ඉඩකඩක් පවතිනවා” යනුවෙනි.

පසුගිය මැයි මාසයේ සිට ආර්ථිකය යලි විවෘත කල තැන් පටන් ජනතාව වසංගතය සමග ජීවත්වීමට ඉගෙන ගත යුතු බවත් එය “නව සාමාන්‍යය“ වශයෙන් කම්කරු පීඩිත මහජනතාව පිලිගත යුතු බවටත් ආන්ඩුවේ මැති ඇමතිවරු, එහි පන්දම්කාර සෞඛ්‍ය බලධාරීහු හා ධනපති මාධ්‍ය බිස්ස එක දිගටම කියා සිටියහ. උක්ත කැබිනට් රැස්වීමේ දී ගත් තීන්දුව ඩේලි මිරර් පත්‍රය ඔජවැඩුවේ එය “මහජනතාවට ඇති හොඳම විසඳුම“ ලෙසයි. 

කම්කරුවන් වැඩට දැක්කීමේ ආන්ඩුවේ පිලිවෙතේ ප්‍රධාන ගොදුරක් බවට පත්ව සිටින ඇගලුම් කම්හල් තුලත් අනෙකුත් වැඩබිම්වලත් ආන්ඩුව ප්‍රකාශ කරන මෙම “සෞඛ්‍ය නිර්දේශ“, නැතහොත් වසංගතයට අනුගත වීමේ “නව සාමාන්‍යය“ පසුගිය මාස කිහිපයේ ක්‍රියාවට නැගුනේ, කම්කරුවන් දොට්ට දැමීම, වැටුප් හා දීමනා කප්පාදුව මගින් පමනක් නොව, නිෂ්පාදන ඉලක්ක සම්පූර්න කිරීම සඳහා කම්කරුවන් අවිවේකීව අඛන්ඩව වැඩෙහි යෙදවීමත් වශයෙනි. 

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ ආසාදිත වූ කම්කරුවන් සංඛ්‍යාව 1,200 ඉක්මවා ඇති අතර කටුනායක නිදහස් වෙලඳ කලාපය ඇතුලු ඒ ආශ්‍රිත ඇගලුම් කම්හල් තුලින් ආසාදිත කම්කරුවන් 3,00 ක් පමන වාර්තා වී තිබේ. 

රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවේ යොදවා ඇත්තේ ලොවපුරා ධනපති ආන්ඩු විසින් ගෙන යන මාරාන්තික “රංචු ප්‍රතිශක්තිකරන“ වැඩපිලිවෙලයි. පාලනයකින් තොරව වෛරසයට පැතිර යාමට ඉඩදුන හොත්, අවසානයේ දී ආසාදනය වීමට පුද්ගලයන් නොමැති තත්වයට පත්වනු ඇතැයි යන්න එහි අර්ථයයි. ලොව පිලිගත් වෛද්‍ය විද්‍යාඥයින් විසින් ජන සංහාරක පිලිවෙතක් ලෙස මෙය හෙලා දැක තිබේ. 

නමුත් ධනපති ආන්ඩු, මහධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කිරීම මානුෂ ජීවිතවලට ඉහලින් තබා ඇති අතර, වෛද්‍ය විද්‍යාඥයින්ගේ අනතුරු ඇවීම් දිගින් දිගටම බැහැර කොට තිබේ. වසංගතය ගෝලීය වසංගතයක් කරා වර්ධනය වී ලක්ෂ එකොලහකට අධික ජීවිත හානියටත්, මිලියන 50 කට ආසන්න ජනයාට රෝගය ආසාදිත වීමටත් ඍජුව ම වගකිව යුත්තේ අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් දිගින් දිගටම වැඩට දක්කා ඔවුන්ගෙන් අතිරික්ත වටිනාකම් උකහා ගැනීමට ලොව පුරා ආන්ඩු ගෙනයන පිලිවෙතයි. 

ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, පොලීසිය, මිලිටරිය, මාධ්‍ය, ධනපති විපක්ෂ ඇතුලු ධනපති සංස්ථාපිතයේ සියලුම කොටස් සහ ව්‍යාජ-වාම කන්ඩායම්  මෙම ඊනියා “නව සාමාන්‍යය” යටතේ ජීවත් වෙමින් ධනපති ලාභ උත්පාදනය දිගටම පවත්වා ගැනීමට “ආර්ථිකය“ යලි විවෘත කිරීමට ආන්ඩුවට සහයෝගය ලබා දුන්හ.  

ආසාදිත රෝගීන්ගෙන් රෝහල් පිරීතිරී යෑම, නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා යෑම හා පීසිආර් පරීක්ෂන ඉහල දැමීමේ නොහැකියාව යන කරුනු වලින් සෞඛ්‍ය පද්ධතිය මිරිකී තිබේ. යහමින් මුදල් වියදම් කල හැකි ධනපතියන්ට සුඛෝපභෝගී හෝටල්වල නිරෝධායන පහසුකම් සම්පාදනය කල ආන්ඩුව දැන් කම්කරු පීඩිතයන්ගේ පලමු ආශ්‍රිතයන්ට පවා පවසා සිටින්නේ “ස්වයං-නිරෝධායනය” යන නාමකරනය යටතේ නිවාස අඩස්සියට පත්වන ලෙසයි.  

ඔක්තෝබර් 26 වැනි දා, කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවැත් වූ මාධ්‍ය හමුවක දී එහි ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, “අද පටන් රෝහල් ගතවන අයවලුන්ගේ ප්රථම ආශ්‍රිතයන් නිවෙස් නිරෝධායනයට ලක් කෙරෙනවා. ඔවුන් රටේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ආකාරයෙන් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වන” බවයි. මෙම කටයුතු අධීක්ෂනයට ප්‍රජා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ප්‍රකාශ කොට තිබේ. 

එදිනම පැවති තවත් මාධ්‍ය සාකච්ඡාවක දී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ, කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් කල ඇඳන්වලින් තව සියයට 10 ක් ඉතිරි වී පවතින බවයි. එම සාකච්ඡාවේ දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් කියා සිටියේ, පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව ප්‍රසාරනය කර ගැනීම දුෂ්කර තත්වයක පවතින බවයි.  

“රසායනාගාර පිරෙන තරමට සාම්පල ලැබෙනවා. එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතිනවා” යැයි ඔහු පැවසී ය. මේ අතර අඛන්ඩව පරීක්ෂන සිදු කිරීම හේතුවෙන් රටේ වැඩිම සංඛ්‍යාවක් පරීක්ෂන සිදුකල යන්ත්‍රය මේ වන විට ක්‍රියා විරහිතව පවතින බව වාර්තා වේ. 

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පීසීආර් පරීක්ෂන වෙනුවට කෙටි කලකින් ප්‍රතිඵල ලබා ගත හැකි සහ දියුනු තාක්ෂනික උපකරන අවශ්‍ය නොවන රැපිඩ් ඇන්ටිජෙන් ටෙස්ට් සඳහා යොමු වීමට කටයුතු කරන බවයි. ආසාදනය වූ වෛරසය උදාසීන කිරීමට ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ සඳහා පරීක්ෂා කිරීම මෙම පරීක්ෂනයේ දී සිදු වෙයි. නමුත් රෝග ව්‍යාප්තිය මර්දනය කිරීමේ දී මෙම පරීක්ෂනයේ ඇති දුර්වලතාව වන්නේ වෛරසය ආසාදනය වී අදාල තැනැත්තාගේ ප්‍රතිදේහ නිෂ්පාදනයට යම් කාලයක් ගතවීමයි.

ඔක්තෝබර් මාසයේ දී ව්‍යසනකාරී ලෙස රෝගය පුපුරායන තෙක් ම ආන්ඩුව කිසිදු විටක පීසීආර් පරීක්ෂන උපරිම ධාරිතාව දක්වා ඉහල නැංවීමට කටයුතු කලේ නැත. ආන්ඩුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලින් ආන්ඩුවේ මෙම සාපරාධි පිලිවෙත ප්‍රකාශයට පත්වෙයි. එයට අනුව පෙබරවාරි මස 14 දා සිට මේ දක්වා සිදු කර ඇති පරීක්ෂන සංඛ්‍යාව 480,838 ක් පමනි. පරීක්ෂන සංඛ්‍යාවේ දෛනික සාමාන්‍යය, පෙබරවාරි 14 සිට අප්‍රේල් 14 දක්වා 500 කටත් අඩු මට්ටමක ද, එතැන් පටන් ඔක්තෝබර් 04 වන තෙක් 2000 ට අඩු මට්ටමක ද පවත්වාගෙන ගොස් ඇත.  එය 10,000 ට ආසන්න වන තෙක් වැඩිකර ඇත්තේ  ඔක්තෝබර් 06 න් පසුව පමනි. රටෙහි මිලියන 22 ක ජනගහනය හා සලකන කල මෙම අගය ඉතා පහල මට්ටමක පවතී. 

අනපේක්ෂිත ලෙස ආසාදිතයන් හමුවන අවස්ථා අනුව පරීක්ෂන සංඛ්‍යාව යන්තමින් ඉහල නැංවීමට කටයුතු කලා මිස, ආන්ඩුව කිසිදු විටෙක ක්‍රමානුකූල ලෙස පරීක්ෂන පුලුල් කිරීමට කටයුතු කලේ නැත. ආන්ඩුව එසේ කලේ, ව්‍යාප්තියේ පරිමාව වසන් කොට, ව්‍යාජ ආරක්ෂිත පරිසරයක් මවා පාමින් කම්කරුවන් වැඩට දැක්කීමටයි. 

මෙබඳු ව්‍යසනකාරී තත්ත්වයක දී, ඔක්තෝබර් 23 වැනි දා, රාජපක්ෂ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ “කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන්, ලෝකය සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව ගොඩක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ මේ ආකාරයට කටයුතු කරන රටක් තවත් නැහැ” යනුවෙනි

ලෝකයේ සෙසු ආන්ඩු මෙන් ම ලංකාවේ ආන්ඩුව කරුනු වසන් කිරීමක යෙදී සිටින අතර, සමාජ පුපුරා යාමක් හෝ සෞඛ්‍ය අංශයේ කම්කරුවන්ගෙන් ම එල්ල විය හැකි විරෝධයක් මර්දනය කිරීමට මුල පටන් ම සිදු කලේ සැලසුම් සහගතව වසංගතය සම්බන්ධයෙන් පියවර ගැනීම මිලිටරිය යටතට පත් කිරීමයි. 

ආන්ඩුව මුල දී අගුලු දැමීම් ක්‍රියාත්මක කල නමුත්, “සමාජ ආර්ථික තත්ත්වය ගැන බලන විට අද අපට එදා ගත්ත තීරන ගන්න බැහැ” යයි වන්නිආරච්චි උක්ත අවස්ථාවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කලා ය. වන්නිආරච්චි මේ පවසන්නේ, “කම්කරුවනි, වසංගතයෙන් මිය ගියද, ධනපතියන්ගේ ලාභ උත්පාදනය වෙනුවෙන් වැඩට යනු” යන්න යි.  

Loading