WSWS යලි දියත් කිරීම සාදරයෙන් පිලිගැනීම

යලි දියත් කරන ලද වෙබ් අඩවිය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයෙහි වර්ධනයට රුකුලකි

2020 ඔක්තෝබර් 2 වන දින ලිපි පලකිරීම ආරම්භ ඇරඹූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ), යලි දියත් කිරීම සාදරයෙන් පිලිගත් ඔක්තෝබර් 25 දින පැවති අන්තර්ජාල (ඔන්ලයින්) රැලියේදී ලෝසවෙඅ හි ප්‍රමුඛ සාමාජිකයින් සහ ආධාරකරුවන් විසින් කරන ලද දේශන ලෝසවෙඅ විසින් ප්‍රකාශයට පත් කිරීමට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස්ගේ කථාව මෙහි පලකෙරේ.

***

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීම, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් තබන ලද දැවැන්ත පියවරකි.

විජේ ඩයස්

ලෝසවෙඅ ඓතිහාසික වැදගත්කම අවධාරනය කරමින් එහි ජාත්‍යන්තර කර්තෘ මන්ඬල සභාපති ඩේවිඩ් නෝර්ත් සහෝදරයා, යලි දියත් කිරීම සාදරයෙන් පිලිගනිමින් නිකුත් කල ප්‍රකාශයේ පහත සඳහන් කරුන ඉදිරිපත් කලේය. “නව තාක්‍ෂනය මගින්, ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර මූලෝපාය හා ක්‍රියාමාර්ගය එහි දෛනික භාවිතය සමඟ වඩා හොඳින් පෙලගැස්වීමට හැකි විය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කිරීමත් සමඟ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස, සිදු වූ ඕනෑම තැනකදී තනි දේශපාලන හඬකින් දෛනික සිදුවීම් වලට ප්‍රතිචාර දැක්විය හැකිය. ”

COVID-19 වසංගතයේ කොන්දේසි,  ලෝක මානව වර්ගයා න්‍යෂ්ටික යුද්ධයක් හරහා ම්ලේච්ඡත්වයට යලි ඇද දැමීමට නොඅඩු තර්ජනයක් එල්ල කර තිබෙන, ලෝක ධනවාදයේ නතර නොකල හැකි  පරිහානිය හා බැඳී ඇති ඓතිහාසික ගැටලු සියල්ලම දිදුලන අයුරින් හෙලිදරව් කර ඇත. ඒ අතරම මෙය, කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ පන්ති අරගල තීව්‍ර කර ඇති අතර සමාජවාදී විප්ලවයේ දැවෙන අවශ්‍යතාව ගෝලීය පරිමානව මතු කරයි. ට්‍රොට්ස්කි ඉදිරිපත් කල නොනවතින විප්ලවයේ න්‍යාය පමනක්, ධනවාදය යටතේ ඇති කරන ලද සමාජ ව්‍යසනයෙන් මිදීම සඳහා ඔවුන්ගේ භාෂාව හෝ ජාතිකත්වය නොසලකා පීඩිත ජනතාව මෙහෙයවීමට ලෝක කම්කරු පන්තියට මග පෙන්වීම සපයයි.

ලෝක සිදුවීම් පිලිබඳ හජාජාක විශ්ලේෂනය, යලි දියත් කරන ලද ලෝසවෙඅ විසින් පාඨකයන්ට වඩාත් ආකර්ශනීය හා බලගතු ලෙස ඉදිරිපත් කරනු ලබයි. ලෝසවෙඅ සමඟ සම්බන්ධ වන අයට ආස්වාදය ලබා දෙන්නේ, වර්තමාන ලෝක වර්ධනයන් ආවරනය කරන මුල් පිටුවේ සැකැස්ම පමනක් නොව, ලේඛනාගාර තොරතුරු හරහා සන්නිවේදනය කරන අත්‍යවශ්‍ය ඓතිහාසික මාක්ස්වාදී තොරතුරු සම්භාරය වෙත යොමුකරන එහි ගැඹුර හා දිශාවයි.

ලතින් ඇමරිකාව, අප්‍රිකාව, මැදපෙරදිග හා මධ්‍යම ආසියාව මෙන්ම අග්නිදිග ආසියාවේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට මෙන් අප ජීවත් වන කලාපයට එනම් දකුනු ආසියාවට, දියුනු රටවල සම්පත්වල ආධාර නොමැතිව, සෞඛ්‍යය වැනි මූලික සමාජ ගැටලුවලට පවා විසඳුම් සෙවිය නොහැකි බවට, වසංගතය කිසිදු සැකයක් ඉතිරිකර නැත.  සියවස් ගනනාවක් තිස්සේ අධිරාජ්‍යවාදී සූරාකෑමට යටත් වූ එවැනි කලාපවල  ඓතිහාසික උරුමය මෙයයි. ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා මේ රටවල ජනතාව, ලෝක සමාජවාදී විප්ලවයට සහභාගී වීමේ දැවෙන අවශ්‍යතාවට  මුහුන දී සිටිති.

යලි දියත් කරන ලද ලෝසවෙඅ, මෙම විප්ලවයේ සාමූහික නායකත්වයක න්‍යායික හා දේශපාලන පුහුනුව සඳහා උදව් වන අතර, මෙම කර්තව්‍යයට සමීප සහයෝගීතාවයක අවශ්‍යතාවය පිලිබඳව ඔවුන් දැනුවත් කරයි. දෛනිකව  පමනක් නොව, පැය ගනන්වල පදනමකින්  පැය විසිහතර පුරාම පවා දැන් වෙබ් අඩවියේ ලිපි පල කෙරේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ  නායකත්වය යටතේ සමාජ ප්‍රති විප්ලවයේ හා ලෝක යුද්ධයේ අධිරාජ්‍යවාදී මූලෝපායට එරෙහිව සටන් කිරීමේදී ලෝක පක්ෂයේ සාමාජිකයන් එවැනි සූදානමක තැබීම නොවැලැක්විය හැකිය.

චීනයට එරෙහි එක්සත් ජනපද ආක‍්‍රමනයේ මූලෝපායික සැලසුම් වල ඉත්තන් බවට පත් කර ඇති, විශේෂයෙන්ම දකුනු ආසියානු ධනේශ්වර ආන්ඩුවල සියලු තන්ත‍්‍ර, සිය රටවලදී ඕනෑම දේශපාලන විසම්මුතියක් අමානුෂික ලෙස තලා දැමීමේ අරමුනෙන් වේගවත් ආඥාදායක පියවරයන් ගනිමින් සිටියි. සියලු ධනේශ්වර පක්ෂවල “විකල්ප”  කොටස් සහ ඔවුන්ගේ ස්ටැලින්වාදී හා ව්‍යාජ වාම හෙන්චයියන්, මෙම පියවරයන්ට එරෙහිව ජනතාව බලමුලු ගැන්වීමට දැඩි ලෙස සතුරු වෙයි. සිය මිලිටරිවාදී ප්‍රතිපත්තිවලට නීතිමය කඩතුරාව ලබා දීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් පාලනයේ අඩිපාරේ යමින් ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු කලාපයේ සෑම රටකම, ධනේශ්වර පාර්ලි‌මේන්තු තුලින් ඉක්මන් ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකෙරෙමින් ඇත.

සියලු ජන කොටස්වලට අයත් ග්‍රාමීය දුප්පතුන්, කල්පසු වූ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සාක්ෂාත් කර ගැනීමට හා සමාජවාදී පරිවර්තනයේ මාවතට හැරවීමේ අරගලයේදී  නායකත්වය දැරීම සඳහා කම්කරු පන්තියට  මෙය පදනම සපයයි. මෙම ඓතිහාසික අරගලය තුල ලෝක කම්කරු පන්තියේ ජයග්‍රහනය සහතික කිරීම සඳහා අවශ්‍ය ඉදිරිදර්ශනය හා නායකත්වය සැපයීමේදී එහි හැකියාව අවිවාදිත බව පසුගිය වසර 22ක කාලය තුල ලෝසවෙඅ කටයුතු මඟින් හජාජාක දැනටමත් සනාථ කර ඇත.

ලෝක හඬ යලි දියත් කිරීම, එලඹෙන අවධියේදී හජාජාක හා එහි ශාඛා සෑම රටකම මහජන සමාජවාදී විප්ලවවාදී පක්ෂ ලෙස  ස්ථාපිත කිරීමට උදව් වනු ඇත. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක වර්ධනයෙහි කොටසක් වශයෙන්,  ඉන්දියානු උප මහාද්වීපයේ සහ දකුනු ආසියාවේ විප්ලවවාදී පක්ෂ ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින් ලෙස අපි යලි කැපවන්නෙමු. 

[මෙම ලිපිය ඔක්තෝබර් 27 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading