නවසීලන්ත මැතිවරනයෙන් කම්කරු පක්ෂය සිය බලය වැඩි කර ගනියි

අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කම්කරු පක්ෂය, සෙනසුරාදා මැතිවරනයේ දී ඡන්ද සියයට 49.1ක් ලබා ගනිමින් දෙවන වරටත් නැවත තේරී පත්විය. එය  2017 වර්ෂයේ මැතිවරනයේ දී ලබාගත්තේ සියයට 36.9 ක් පමනි.

විදේශගත වූවන්ගේ  හා ප්‍රමාද වී ලියාපදිංචි වූවන්ගේ ඡන්ද වැනි ඇතැම් විශේෂ ඡන්ද තවමත් ගනන් කිරීමට තිබෙන නමුත්,  පාර්ලිමේන්තුවේ ආසන 120 න් ආසන 64 ක් ලබාගැනීමට කම්කරු පක්ෂය බලාපොරොත්තු වේ. 1946 සිට මෙය කම්කරු පක්ෂය ලබාගත් හොඳ ම ප්‍රතිඵලය වන අතර, 1996 සිට එක් පක්ෂයකට තනිව ම පාලන බලය  ලබාගත හැකි වූ පලමු අවස්ථාව වේ. කම්කරු පක්ෂයේ මිත්‍ර  හරිත පක්ෂය ද සිය ඡන්ද ප්‍රතිශතය සියයට 6.3 සිට 7.6  දක්වා වැඩි කරගෙන ආසන 10ක් ලබා ඇත.

විපක්ෂ ජාතික පක්ෂය 2017 දී ලබාගත් ඡන්ද ප්‍රතිශතය වූ සියයට 44, මේ වසරේ දී සියයට 27 දක්වා පහත වැටී, යන්තම් ආසන 35ක් පමනක් ලබාගෙන ඇති අතර මෙය ඔවුන් මේ දක්වා ලැබූ දෙවන අන්ත පරාජය යි.

නවසීලන්තයේ මිශ්‍ර සාමාජික සමානුපාතික (MMP) ඡන්ද ක්‍රමය යටතේ, ඡන්ද දායකයන්ට පක්ෂයකට ඡන්දයක් හා අපේක්ෂකයෙකුට ඡන්දයක් ඇත. පක්ෂ ඡන්දය එක් එක් පක්ෂ විසින් දරනු ලබන පාර්ලිමේන්තුවේ සමස්ත ආසන අනුපාතය තීරනය කරන අතර, අපේක්ෂක ඡන්දය එක් ඡන්ද කොට්ඨාසයක් සඳහා නියෝජනය කරනු ලබන්නේ කුමන මන්ත්‍රී වරයා ද යන්න තීරනය කරයි.

ජසින්ඩා ආර්ඩෙන් එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග, මූලාශ්‍රය:‍විකිපීඩියා කොමන්ස්)

මැනා, වෙලින්ග්ටන් හි උතුරු ප්‍රදේශය, දකුනු ඕක්ලන්ඩ් හි මැනුරේවා සහ නැගෙනහිර ක්‍රයිස්ට්චර්ච් යන ඡන්ද කොට්ඨාස කිහිපයකම කම්කරු පක්ෂ අපේක්ෂකයින් තමන්ගේ  බහුතරය වැඩිකරගෙන ඇත. කෙසේ වෙතත් පක්ෂයේ සහයෝගය වැඩිවීම බොහෝ දුරට සිදුවූයේ, ගොවීන් හා ව්‍යාපාර හිමිකරුවන් ඇතුලු මධ්‍යම පන්තියේ කොටස් වලිනි. දකුනු දූපතේ කම්කරු පක්ෂය සෑම ඡන්ද කොට්ඨාශයක ම වගේ පක්ෂ ඡන්දයෙන් ජයග්‍රහනය කල අතර ජාතික පක්ෂයේ තනි මන්ත්‍රීවරුන් විසින් ආසන කිහිපයක් ජයගෙන ඇත.

නෝර්ත්කෝට් හා ඕක්ලන්ඩ් හි උතුරු හාබර් ප්‍රදේශය වැනි සමෘද්ධිමත් ආසන ඇතුලත්ව, ජාතික පක්ෂයට මැතිවරන කොට්ඨාශ 15 ක් අහිමි විය. ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක චෙරි බ්‍රවුන්ලිට ක්‍රයිස්ට් චර්ච් හි ඉලාම් නම් තම ආසනය ද අහිමි විය.

කොවිඩ් - 19 වසංගතයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය පිලිබඳව ගෝලීය හා දේශිය මාධ්‍යන් හි ධනාත්මක ආවරනයක් ලබා ගැනීම සහ ජාතික පක්ෂයෙන් වසංගතයට කිසිදු පැහැදිලි හා ස්ථාවර විකල්පයක් නො මැතිවීම  ආර්ඩෙන් ට හා කම්කරු පක්ෂයට වාසිදායක විය. කම්කරු පක්ෂය අසාමාන්‍ය ලෙස හිස් උද්ඝෝෂනයක් මෙහෙය වී ය. එය කිසිදු වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කල අතර මැතිවරනය, වසංගතය පාලනය කිරීම පිලිබඳ ජනමත විචාරනයක් බවට  සීමා කලේ ය. මෙය ම ද මැතිවරනයෙන් පසුව එහි දක්ෂිනාංශික න්‍යාය පත්‍රය දිගින් දිගට ම ක්‍රියාත්මක කිරීමට නිදහස් හස්තයක් ලබා දීමකි.

සම්පූර්න කොරෝනා මරන සංඛ්‍යාව 25ක් වූ එරට, පලමු කොරෝනා මරනය වාර්තා වීමට පෙර මාර්තු මාසයේ දී නවසීලන්තය, සාපේක්ෂව දැඩි අගුලු දැමීමක් සිදු කලේ ය. කෙසේ වෙතත් සත්‍ය කථාව වන්නේ, වෘත්තිය සමිතිවලින් ස්වාධීන ව වෛද්‍යවරුන් විසින් සංවිධානය කරනූ ලැබූ අන්තර්ජාල පෙත්සම් ද ඇතුලුව, කම්කරුවන්ගේ දැඩි පීඩනය ආර්ඩන් ආන්ඩුවට අගුලු දැමීමට   බල කෙරුනේය යන්නයි. 

කම්කරු පක්ෂයේ ඵෙතිහාසික ජයග්‍රහනය පිලිබද මාධ්‍ය පුරසාරම් සම්බන්ධයන් ගත් විට, කම්කරුවන් විශාල සංඛ්‍යාවක් කම්කරු පක්ෂය හා ජාතික පක්ෂය නිවරැදි ව දකින්නේ, මහ ව්‍යාපාරිකයේ හා මිලිටරිවාදයේ, සාරභූත ලෙස එකම දේශපාලනයක් සහිත පක්ෂ දෙකක් ලෙසට ය. ඡන්දය ප්‍රකාශ කිරීම 2017 ට වඩා තරමක් වැඩි නමුත්, මැතිවරන කොමිසමේ මුලික සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ, සුදුසුකම්ලත් පුද්ගලයන්ගෙන් ¼  හෙවත් 877,674 ක් කිසිදු පක්ෂයකට ඡන්දය නො දීමට තීරනය කල බව යි. 

ආර්ඩෙන් ගේ පිලිගැනීමේ කථාව, එක්සත් ජනපද ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් රිපබ්ලිකන් ඡන්ද දායකයින්ට කල දක්ෂිනාංශික ආයාචනය සිහිපත් කලේ ය. කම්කරු පක්ෂයට මාරු වූ සාම්ප්‍රදායික ජාතික පක්ෂ ඡන්ද දායකයින් අමතමින් ආර්ඩන් ප්‍රකාශ කලේ, තමා ඔවුන්ගේ අදහස්වලට සවන් දෙන  බව යි. කම්කරු පක්ෂය “සියලු නවසීලන්ත වැසියෙකු ම වෙනුවෙන් පාලනය ගෙන යන පක්ෂයක් වනු ඇත”යි ආර්ඩෙන් පැවසුවා ය.

තවද , කම්කරු පක්ෂය “දුප්පත්කම හා අසමානතාවට විසඳුම් ලබාදෙනු ඇත,” ඵ් වගේම රැකියා දහස් ගනනක් නිර්මානය කරන අතර , නිවාස නො මැති අයට නව රජයේ නිවාස , පුනර්ජනනීය විදුලිය සහ කුඩා ව්‍යාපාර සදහා සහයෝගය ලබා දෙන බවට ද ඇය චාටු කථා දෙඩුවාය. මෙම පොරොන්දු බොරු බව දැන ගැනීමට යමෙකු කල යුත්තේ,  ආර්ඩෙන් ගේ පසුගිය කම්කරු ආන්ඩුවේ වාර්තා දෙස බැලීම පමනි.

ඇත්ත වශයෙත්ම, කොවිඩ්- 19 මගින් අවුලුවන ලද ආර්ථික අර්බුදයට ආර්ඩෙන් ආන්ඩුවේ මූලික ප්‍රතිචාරය, ජාත්‍යන්තර වශයෙන් අනෙකුත් ආන්ඩුවල ප්‍රතිචාරයට සමාන ය‍‍. දස දහස් ගනනක් කම්කරුවන් සේවයෙන් නෙරපා දැමා, ව්‍යාපාර සඳහා පෙර නො වූ විරූ ලෙස ඩොලර් බිලියන ගනනාවක් ලබා දීම ඒ අතර වේ. පසුගිය වසර තුල මධ්‍ය ආදායම සියයට 7.6 කින් පහත වැටීමත් සමග ජීවන තත්ත්වය පහත වැටෙමින් තිබේ. ආසන්න වශයෙන් ලමුන්ගෙන් ¼ ක් ජීවත් වන්නේ දරිද්‍රතාවයේ ය. පවුල් 20,000ක් පොදු නිවාස පොරොත්තු ලේඛනයේ සිටින අතර වැඩ කරන වයසේ ජනතාවගෙන් සියයට 12 කට ආසන්න සංඛ්‍යාවක් යැපෙන්නේ සුභ සාධනවලිනි.

කම්කරු පක්ෂ නායකත්වයෙන් යුත් ආන්ඩුවට එරෙහිව 2018-2019දී හෙදියන් සහ ගුරුවරුන් විසින් රටපුරා  වැඩ වර්ජන දියත් කරන ලදී. වසර 30ක් තුල ඇතිවූ දැවැන්තම වැඩවර්ජන, අඩු වැටුප් මට්ටම් හා කාර්ය මන්ඩල  පවත්වා ගත් ගිවිසුම්  අත්සන් කරමින් ආන්ඩුවේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ගිය, වෘත්තීය සමිති නිලධරය විසින් පාවා  දෙන ලදී.

කම්කරු පක්ෂය යනු ප්‍රගතිශීලි, නැතහොත් ජාතික පක්ෂයට වඩා “අඩු නපුරක්”  ය යන කවර හෝ මිත්‍යාවක්, මේ වන විටත් යහමින් සිදුවන, කම්කරු පන්තියට එරෙහි  ප්‍රහාරයන්ගෙන් කුඩු වී යනු ඇත. පොහොසතුන්ට ඇප දීම නිසා වැඩිවූ නය ආපසු ගෙවීමට, යලි පත් කෙරුනු ආර්ඩෙන්  ආන්ඩුව දැඩි කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා මහා ව්‍යාපාරිකයන් හා වෘත්තීය සමිති නිලධරය සමග වැඩ කරනු ඇත. 

මෙය අනිවාර්යයෙන්ම පන්ති අරගලයේ පුනර්ජීවනයක් ඇති කරනු ඇත. කම්කරු පක්ෂය හරිත පක්ෂය සමග සන්ධානයක් ගැන පවා සලකා බැලීමෙන් පෙනීයන්නේ, මෙම තත්ත්වයත් තුල තනිව ම පාලනය කිරීම පිලිබඳ එහි නොසන්සුන්තාව යි. මිලිටරි වියදම් ඉහල නැංවීම හා එක්සත් ජනපදය සමග සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට ආන්ඩුව කටයුතු කරනු ඇත.

තවමත් ජාත්‍යන්තර මාධ්‍ය තුල ආර්ඩෙන් , “ට්‍රම්ප් විරෝධී “ යැයි ව්‍යාජ ලෙස විස්තර කෙරෙතත් , 2017 දී, පිහිටුවන ලද ඇගේ සන්ධාන ආන්ඩුවට ට්‍රම්ප් පරිපාලනය සහය දැක් වූ අතර,  එය චීනය සමග ව්‍යාපාර හා වෙලඳ සබඳතා ගොඩනගා ගැනීම සඳහා යොමුවූ පසුගිය ජාතික ආන්ඩුවේ ප්‍රබල දිශානතිය ප්‍රසිද්ධියේ විවේචනය කලේ ය.

2017 දී වැඩි ඡන්ද ප්‍රමානයක් ලබාගත් ජාතික පක්ෂය වෙනුවට, කම්කරු පක්ෂය හා හරිත පක්ෂය සමග සභාගයක් ඇති කිරීමට දක්ෂිනාංශික ජාතිකවාදී නවසීලන්ත පලමු පක්ෂය ගත් තීරනයට ස්තූති වන්නට, කම්කරු පක්ෂය බලයට පත්වී ය. ඡන්ද සියයට 7.2 ක් පමනක් ලබාගත් නවසීලන්ත පලමු පක්ෂයට ආර්ඩෙන් , නියෝජ්‍ය අගමැති , විදේශ කටයුතු ඇමති හා ආරක්ෂක ඇමති යන තනතුරු සහිත ත්‍යාග ලබා දුන්නා ය. කම්කරු පක්ෂය හා නවසීලන්ත පලමු පක්ෂය වසර ගනනාවක් තිස්සේ චීන සංක්‍රමනිකයින් යක්ෂයින් ලෙස හැඳින් වූ අතර, පසුගිය වසර තුන තුල නවසීලන්තය චීනයට එරෙහි එක්සත් ජනපද යුද ව්‍යායාමය සමග ඒකාබද්ධ වීම ශක්තිමත් කලේ ය.

කම්කරු පක්ෂයේ ජයග්‍රහනයට බොහෝ දුරට හේතු වුනේ,මැතිවරනයට පෙර මාසවල නායකත්ව වෙනස්කම් දෙකක් සිදුකිරීම ඇතුලුව ජාතික පක්ෂය තුල හටගෙන තිබුන නො නවතින කැලඹිල්ල යි. වත්මන් නායක ජුඩිත් කොලින්ස් පත් කෙරුනේ, මාස තුනකට පෙර ය. චීන ආධාරකරුවන් සමග ඇති සබඳතා නිසා පක්ෂයට මාධ්‍ය මගින් පහර දී තිබේ. වෘත්තීය සමිති තල්ලුව ලත්, ජාතිකවාදී, ඩේලි බ්ලොග් අඩවිය මුලින් විශාල වශයෙන් පුම්බන ලද, එක්සත් ජනපද ගැති ශාස්ත්‍රාලික ඈන් මාරි බ්‍රැඩි, කිසිදු සාක්ෂිියක් නොමැති ව ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජියන් යැං චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒජන්තයෙකු ලෙස පුන පුනා හෙලා දුටුවා ය. යැං දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

කම්කරු පන්තිය තුල පුලුල් ලෙස හෙලා දැකෙන, විවෘත ජාතිවාදී පක්ෂයක් වන නවසීලන්ත පලමු පක්ෂය, මෙම මැතිවරනයෙන් ලැබුවේ සියයට 2.7 ක ඡන්ද ප්‍රතිශතයක් පමනි. එය, පාර්ලිමේන්තුවට යාම සඳහා අවශ්‍ය සියයට 5ද වඩා බොහෝ පහත් මට්ටමකි. ෆැසිස්ට් තුවක්කුකරුවෙකු වන බ්‍රෙන්ටන් ටැරන්ට් විසින් 2019 මාර්තු 15 වන දින ක්‍රයිස්ට්චර්ච් හි දී මුස්ලිම් වන්දනාකරුවන් 51 දෙනෙකු සමූහඝාතනය කිරීමෙන් අනතුරුව, නවසීලන්ත පලමු පක්ෂය එහි සංක්‍රමන විරෝධී පලිගැනීම් වේගවත් කලේ ය. නවසීලන්ත පලමු පක්ෂ නායකයා හා විදේශ ඇමති වින්ස්ටන් පීටර්ස් වසංගතයට ප්‍රතිචාර දක්වමින්, රැකියා අහිමිවූ සංක්‍රමනිකයින්ට “ගෙදර යන්න” යයි පැවසීය.

කෙසේ වෙතත් ලේබර් ආන්ඩුව, නවසීලන්ත පලමු පක්ෂයේ සංක්‍රමන විරෝධී ප්‍රතිපත්ති පිලිගෙන  ඇත. රැකියා අහිමිවූ අනේවාසිකයින්ට විරැකියා සහන ලබා දීම ආර්ඩෙන්  ප්‍රතික්ෂේප කර තිබේ. නවසීලන්තයේ වෙසෙන පවුල්වල නේවාසික අයදුම්පත් දස දහස් ගනනක් සැකසීම ආන්ඩුව හිතාමතාම ප්‍රමාද කරමින් සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රට හැර යාමට බල කරනු ඇතැයි බිය වෙති.

හරිතයන් “වාම” විකල්පයක් ලෙස පෙනී සිටි නමුත් පක්ෂයේ උද්ඝෝෂනය වැඩි වශයෙන් අවධානය යොමු කලේ වඩා පොහොසත් ඡන්දදායක සමූහයා වෙත ය. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ක්ලේ ස්වර්බ්‍රික්, ඊට පෙර ජාතික පක්ෂය විසින් ජය ගෙන තිබූ,  ඉහල මධ්‍යම පන්තික, ඕක්ලන්ඩ් සෙන්ට්‍රල් යන්තම් දිනා ගත්තේ ය. ගංජා නීතිගත කිරීමේ ජනමත විචාරනයේ “ඔව්” ඡන්ද විමසීමක් සඳහා හරිතයන්ගේ ව්‍යාපාරයට ස්වර්බ්‍රික් නායකත්වය දුන් අතර එය සමාජ අසමානතාව හා යුද්ධයේ ප්‍රශ්නවලින් ප්‍රධානකොටම ඉවතට  හැරීමක් හා, විශේෂයෙන් ම මධ්‍යම පන්තික පුද්ගලයන් අතරින් ඡන්දය  ඩැහැ ගැනීමේ කුමන්ත්‍රනයක් බවට පත්විය. ගංජා සහ අනායාස මරන  පිලිබඳ නීතිමය වසයෙන් අනිවාර්ය නො වන ජනමත විචාරයේ ප්‍රතිඵල මාසය අවසානය දක්වා ප්‍රසිද්ධ නො කෙරේ.

මැතිවරනයේ වැදගත් ලක්‍ෂනයක් වූයේ, ජාති හා නවසීලන්තය පලමුව පක්ෂවල වියදමින් මාධ්‍ය විසින් අනෙකුත් අන්ත දක්ෂිනාංශික පක්ෂ, විශේෂයෙන් ඒ්සීටී(ACT - පාරිභෝගිකයන් හා බදු ගෙවන්නන්ගේ සංවිධානය) නමින් හඳුන්වන පක්ෂය, ප්‍රවර්ධනය කිරීම යි. ඒ්සීටීයට සියයට 8 ක ඡන්ද ප්‍රතිශතයක් (ආසන 10) ලැබී ඇති අතර එය පසුගිය මැතිවරනයේ ලත් සියයට 0.5 සිට සැලකිය යුතු වැඩි වීමකි. එහි විවෘත අරමුන රාජ්‍ය සේවා හා සුභසාධනය විනාශ කිරීම යි. ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තුවක්කු සීමා කිරීමට එරෙහි හා  ගිනි අවි පෙලඹුම් කන්ඩායම්වල දැඩි පිටුබලය පක්ෂයට ලැබිනි.

වාර්ගික අනන්‍යතා දේශපාලනය හා සංක්‍රමන-විරෝධී ස්වෝත්තමවාදය මත පදනම් වූ දක්ෂිනාංශික මාඕරි පක්ෂය, මාඕරි ජනයා අතර නරක අතට හැරෙමින් පවතින සමාජ තත්වයන් ගසා කමින්, කම්කරු පක්ෂයෙන් වයාරිකි ඡන්ද කොට්ඨාශය පටු පරතරයකින් දිනා ගැනීමට සමත් විය. මාඕරි පක්ෂය 2008–2017 ජාතික පක්ෂ ආන්ඩුවේ කොටස්කරුවෙකු වූ අතර, 2008 මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට සහාය දුන්නේ ය.

ක්‍රිස්තියානි මූලධර්මවාදී නිව් කොන්සර්වේටිව් පක්ෂයට සියයට 1.5 ක් ද, මේ වසරේ පිහිටුවන ලද ඇඩ්වාන්ස් එන්ඉසෙඩ්(නිව්සීලන්ඩ්) පක්ෂයට සියයට 0.9 ක් (ඡන්ද 20,000 ක්) ද ලැබුනි. එය පාර්ලිමේන්තුවට ඇතුලු වීමට ප්‍රමානවත් නොවේ. පුලුල් ලෙස ප්‍රසිද්ධ කරන ලද ලොක්ඩවුන් විරෝධී රැලි පැවැත්වූ ඇඩ්වාන්ස් එන්එස්,  කොවිඩ්-19 පිලිබඳ ව්‍යාජ විද්‍යාවක් ප්‍රවර්ධනය කලේ ය. එය දරුනු ලෙස චීන විරෝධී වන අතර, 2018 දී ජාතික පක්ෂයෙන් ඉවත් වූ එහි සම නායක ජාමි-ලී රොස්, ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ස්ටීව් බැනන් මෑතක දී  පැවැත්වූ චීන විරෝධී අන්තර්ජාල විකාශනයක සම්මුඛ සාකච්ඡාවකට ගෙනාවේය.

ඩේලි බ්ලොග්, වැනි ලිබරල් හා ව්‍යාජ -වාම කල්ලිවල ආධාරකරුවන්, වෘත්තීය සමිති, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය හා සමාජවාදී ඔටෝරෝවා වැනි මධ්‍යම පන්තික කන්ඩාම් විසින් මැතිවරන ප්‍රතිඵලය ප්‍රශංසාවට ලක් කර  තිබේ. “ටෝරිවරුන් සමඟ පැවතියාට වඩා කෙටිකාලීනව යහපත් ප්‍රතිසංස්කරන සිදුකිරීමට මෙම ආන්ඩුව තල්ලු කිරීම සඳහා කම්කරුවන් හා වම්මුන්ට වැඩි හැකියාවක් තිබේ” යැයි ඔටෝරෝවා  ෆේස්බුක් හි ප්‍රකාශ කලේ ය.

වෘත්තීය සමිති කවුන්සිලයේ සභාපති රිචඩ් වැග්ස්ටාෆ් ප්‍රකාශ කලේ, “නවසීලන්තයේ දරිද්‍රතාව හා අසමානතාව තුරන් කිරීම සඳහා ආන්ඩුවට  අතිමහත් ජනවරමක් ලැබී ඇති” බව යි.

කම්කරුවන් හා තරුනයින් එවැනි ප්‍රකාශවලට රැවටිය යුතු නැත. මහා අවපාතයෙන් පසු කම්කරු පන්තියට එල්ල කෙරෙන ඉතාම ම්ලේච්ඡ ප‍්‍රහාරයට, ආර්ඩෙන්  ආන්ඩුව මූලිකත්වය ගෙන ඇත. අතිරික්ත කම්කරුවන් ඉවත් කිරීම ද ඇතුලුව වෘත්තීය සමිති විසින් බලාත්මක කරන ලද  ප‍්‍රහාර තීව‍්‍ර වනු ඇත. සැබෑ විකල්පයක් සොයන අය සමාජවාදී සමානතා කන්ඩායම හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සටන් කරන අව්‍යාජ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය  වෙත හැරිය යුතු ය.

[මෙම ලිපිය ඔක්තෝබර් 18 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading