සමස්ත කාර්ය මන්ඩලයම වසංගතයට නිරාවරනය වීමේ අවදානමකට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවකයෝ පවසති

මේ වන විට වසංගතය රට පුරාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. වාර්තා වී ඇති කොවිඩ් 19 සක්‍රීය ආසාදිතයින් ගනන 6000 ට ආසන්නව තිබියදිත් ආන්ඩුව, රෝගින් සමග සෘජුවම ගැටෙන සෞඛ්‍ය සේවකයින් අනාරක්ෂිතව වැඩෙහි යොදවා ඇත.

සෞඛ්‍ය සේවකයන් රෝගීන් සමග වැඩි වේලාවක් සම්බන්ධතා පවත්වන හෙයින් ඔවුන්ට එය ආසාදනය වීමේ ඉහල අවදානමක් පවතී. 

ජාත්‍යන්තර සමීක්ෂන වාර්තා හෙලි කරන්නේ සෞඛ්‍ය සේවකයන්ට වෛරසය වැලඳීමේ තුන්ගුනයක අවදානමක් පවතින බවයි.

ගතවූ මාසය තුල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් 10 කට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇත. පසුගිය අඟහරුවාදා වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට පැමිනි හඳුනා නොගත් ආසාදිතයෙක් හේතුවෙන් කලුබෝවිල රෝහලේ කාර්ය මන්ඩලයේ හය දෙනෙකුට වෛරසය ආසාදනය විය. 

මෙම කොන්දේසි යටතේ, හුදෙක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන කාර්ය මන්ඩලයට පමනක් නොව, සමස්ත සෞඛ්‍ය සේවකයන්ටම, ප්‍රමානවත් සහ ප්‍රමිතිගත සෞඛ්‍ය ආරක්ෂක උපකරනයන් වහා අවශ්‍ය ය. මීට අමතරව සමස්ත කාර්ය මන්ඩලයටම ආසාදනය වීම වැලකෙන පරිදි සේවා මුර සංවිධානය කිරීම, රෝහල් වල යටිතල පහසුකම් වර්ධනය කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි.

කෙසේ වෙතත් වෛරසයේ “සමාජ සම්ප්‍රේශනයක්” නොමැති බවට ප්‍රකාශ කරමින් ආන්ඩුව රෝහල් තුල සාමාන්‍ය පරිදි නිසි ආරක්ෂන උපකරන නොමැතිව කටයුතු පවත්වාගෙන යන අතර, ආසාදිතයින් හයදෙනෙක් හමුවූ කලුබෝවිල රෝහලේ පවා සාමාන්‍ය පරිදි කටයුතු ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂවරයා නිවේදනය කලේය.

ආන්ඩුවේ මෙම පිලිවෙත් සෞඛ්‍ය කම්කරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ආශ්‍රිතයින් මරනයේ අවදානමට ලක් කර ඇත. මෙම තතු තුල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ රෝහල් කිහිපයක සෞඛ්‍ය සේවකයන් සමග ඔවුන් මුහුන දෙන අනාරක්ෂිත කොන්දේසි සහ එයින් ආරක්ෂා වීමට වැඩපොලවල ගොඩනගාගතයුතු ක්‍රියාකාරී කමිටු පිලිබඳව සාකච්ඡා කලහ.

පේරාදෙනිය මහ රෝහලේ මානසික රෝග වාට්ටුවේ සේවය කරන හෙදියක් ප්‍රකාශ කලේ වාට්ටුව අවදානමින් අඩු ලෙස සැලකුවද “රටේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාට්ටුවට පැමිනීමද ඔවුන් මානසික රෝගීන් වන බැවින් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව අල්ප නිසා” සමස්ත වාට්ටු කාර්ය මන්ඩලය දැඩි අවදානමකට මුහුන පා සිටින බවයි. මීට පෙර අවස්ථාවේ වසංගතයට මුහුන දීම සඳහා ගත් “එකදු ක්‍රියා මාර්ගයක් හෝ දැන් නොමැති” බව ඇය කීවාය. සමස්ත කාර්ය මන්ඩලය එකවර රෝගයට නිරාවරනය වීම වැලැක්වීමට ගියවර මෙන් කාර්ය මන්ඩලය අඩු කිරීමට යෝජනා කල විට නිලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බව හෙදිය ප්‍රකාශ කලාය. 

එම රෝහලේම මූලික ප්‍රතිකාර ඒකකයේ සේවය කරන හෙදියක් එම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කලේ වෛරසය බරපතල ආකාරයෙන් පැතිරෙද්දී ආන්ඩුව “කිසිදු ආරක්ෂක ක්‍රියාවකට උනන්දු නොවී සමස්ත සෞඛ්‍ය කාර්ය මන්ඩලයම රෝගයට නිරාවරනය වීමේ අවදානමකට ලක් කර ඇති” බවයි.

“ගියවර තැපැල් මාර්ගයෙන් ඖෂධ ලබාදුන්නා. ඒත් දැන් ඒක නොකෙරෙන හින්දා රෝගීන් පුරුදු පරිදි සායන වල තදබදයක ඉන්නේ. ඒක රෝගීන් වත් අනාරක්ෂිත තත්ත්වයකට පත් කරලා තියෙන්නෙ” සඳහන් කල ඇය, හෙද වෘත්තීය සමිති පාලකයින් මෙන්ම “වගක් නැතිව සිටින” බවට  චෝදනා කලාය. මේ තත්වය යටතේ ඇයට තමන්ගේ මුදල් වලින් පුද්ගලික ආරක්ෂන උපකරන මිලදී ගැනීමට සිදුවී ඇත.

වසංගතයට එරෙහිව සටන් කිරීමේ කම්කරු පන්තික වැඩපිලිවෙල ඉදිරිපත් නරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඔක්තෝබර් 23 දා නිකුත් කල ප්‍රකාශය  ගැන අවධානය යෙමුකල කල සසප සාමාජිකයෝ, "සියලු කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා සටන් කිරීමටත්, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමටත්, කම්කරුවන් තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බව සහ මෙම ක්‍රියාකාරී කමිටු ගම්බද දුගීන් වෙත ලඟා වී ඔවුන් තම සටනට එක්කර ගත යුතු" බව  පෙන්වා දුන්හ. 

හෙදිය සඳහන් කලේ “වාට්ටුවෙ සමස්ත කාර්ය මන්ඩලය එකතු වී තම ජීවිත ආරක්ෂාව සඳහා සාකච්ඡා කර පියවර ගැනීමට සිතාගෙන සිටි” බවයි. එය, සසප යෝජනා කරන ස්වාධීන ක්‍රියාකාරි කමිටුවක ස්වරූපය ගත යුතු බව සාකච්ඡාව තුලදී වැටහුනු බව ඇය තවදුරටත් පැවසුවාය.

මහරගම පිලිකා රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් පවසා සිටියේ, පිලිකා රෝහලෙන් කිසිදු ගැටලුවකින් තොරව රෝගීන්ට ප්‍රතිකාර ගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවට අධ්‍යක්ෂකවරයා කීවද එය “අමු ප්‍රෝඩාවක්” බවයි. 

ඇත්ත තත්වය නම් පිලිකා රෝහල "පුපුරා යා හැකි බෝම්බ ගබඩාවක්" වැනි බව වෛද්‍යවරයා කීවේය. “රෝගය සමාජගත වී ඇති තත්ත්වයක් තුල කොරෝනා රෝගියෙකු රෝහලට පැමිනියහොත් පිලිකා රෝගීන් ප්‍රතිශක්තිය දුර්වල වූ අය නිසා  එය ආසාදනය වී විශාල ජීවිත විනාශයක් සිදුවිය හැකියි” යනුවෙන් ඔහු රෝහලේ තත්වය විස්තර කලේය.

රෝහලේ පවතින පහසුකම් යටතේ “රෝගය සමාජගතවී විශාල වශයෙන් පුපුරා යන මේ දිනවලදී පවා සමාජ දුරස්ථභාවය පවත්වා ගෙනයාම අසීරු වී ඇති” බවත් ඔහු සඳහන් කලේය. “රෝහල් කාර්ය මන්ඩලවලට සපයා ඇත්තේ සර්ජිකල් මාස්ක් විතරයි. ප්‍රමිතිගත පිපීඊ සපයලා නැහැ” යැයි පවසූ වෛද්‍යවරයා තමා භාවිතා කරන මුඛ ආවරනය පවා මිලදී ගත් එකක් පැවසුවේය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු සාකච්ඡාවට සම්බන්ධ වෙමින් පවසා සිටියේ එම රෝහල තුල ද විශාල ගැටලු තොගයක් මතුව ඇති බවයි. තම කාර්ය මන්ඩලය වැඩ කරමින් සිටින්නේ “වතුර රත්වන කල් හැලියේ සිටින කකුලුවන්” මෙන් බව ඔහු පැවසීය. එම ප්‍රදේශයේ පීසීආර් පහසුකම් අවම බවත් එය වැඩිකලහොත් තවත් රෝගීන් හමු විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. 

තවත් වෛද්‍යවරයෙක් පැවසුවේ, කොරෝනා රෝගීන් ඇතුලු කිරීම ආරම්භ කර ඇති හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එකතු වී කාර්ය මන්ඩලයට එරෙහිව දැඩි පාලනයක් ගෙන යන බව යි. එම රෝහල තුල “සාමාන්‍ය රෝගීන් සහ කොරෝනා රෝගීන් යන දෙගොල්ලන්ටම ප්‍රතිකාර කරමින් සිටින බැවින්” රෝගය පැතිරී යාමේ අවදානමක් ඇති බව ඔහු සඳහන් කලේය.

මෙසේ ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර විරෝධය වැඩෙන තතු තුල ආන්ඩුව ඔවුන් නිහඬ කිරීමට චක්‍රලේඛයක් ගෙන ආවේය. මිලිටරීකරනයෙන් සහ ඉහත මෙම මර්දනකාරී පිලිවෙත් වලින් ගැම්ම ගෙන සිටින හමුදා නිලධාරීහු රෝහල් සේවකයන්ට තර්ජනය කිරීමට ද පටන්ගෙන ඇත. යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු, වැලිඔය සම්පත් නුවර දිස්ත්‍රික් රෝහලේ ප්‍රධානියාට සහ සෙසු සේවකයින්ට තර්ජනය කර බියවැද්දීමට උත්සාහ කර ඇත්තේ, “ත්‍රස්තවාදීන්, තොපි මරනවා, මේක මගේ ඒරියා එක” ආදී වචන යොදාගනිමිනි.

තර්ජනයට හේතුව හෙලිවී නැතත් මෙම සිදුවීම සෞඛ්‍ය කම්කරුවන්ට බරපතල අනතුරු ඇඟවීමකි. ආන්ඩුව වසංගතය මර්දනයේ නායකත්වය මිලිටරියට පවරා ඇති අතර, අනාරක්ෂිත කොන්දේසි යටතේ සෞඛ්‍ය සේවකයින් බලහත්කාරයෙන්  වැඩෙහි යෙදවීමට ආන්ඩුව සූදානම්ව වන බවට පෙර ඇඟවුම් මෙහි ගැබ්ව පවතී.

මෙසේ සෞඛ්‍ය කම්කරුවන් අතර විරෝධය වැඩෙන තතු තුල එය ගසා කෑමට රාජ්‍ය සේවා හෙද සංගමය ඊයේ සෞඛ්‍ය ඇමති වෙත ඉල්ලීම් 11ක් සහිත ලිපියක් යවමින් සඳහන් කලේ සිය ගැටලු වලට පැය 48ක් තුල විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට පිවිසෙන බවයි.

සෞඛ්‍ය කම්කරුවන් මුහුන දෙන තත්වය සම්බන්ධයෙන් මෙම සමිති මුලුමනින්ම වගකිව යුතුය. පහුගිය කාලය පුරා සෞඛ්‍ය සේවකයන් අරගල වලට පිවිසෙද්දී සමිති විසින් ඒවා යටපත් කරමින් ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කලේය. දැන් සමිති විසින් ආන්ඩුවට එල්ල කරන මෙම පුහු තර්ජනවල අරමුන වන්නේ, සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන විරෝධය දියකර හැරීමයි.

ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දෙන ධනපති ආන්ඩු වලට බල කෙරී ඇත්තේ කම්කරුවන්ට ඉල්ලීම් ලබාදීමට නොව ඔවුන්ගේ පවතින අයිතිවාසිකම් උදුරා ගැනීමටය. එම නිසා සෞඛ්‍ය සේවකයන්ට සිය අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව පිහිටුවාගත් ක්‍රියාකාරී කමිටු හරහා සිදු කෙරෙන ධනපති ක්‍රමයටම එරෙහි දේශපාලන අරගලයක් තුලින් පමනි. සසප මෙයට ඉදිරි දර්ශනය සහ නායකත්වය සම්පාදනය කරයි.

කතුවරයා මෙම ලිපියද නිර්දේශ කරයි:

වසංගතය සමාජගතවීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවකයින් ආසාදනයවීම වේගවත් වෙයි

සෞඛ්‍ය කම්කරුවන්ට සසප පනිවිඩ ෆේස්බුක් සමූහයට පිවිසෙන්න.

Loading