කම්කරුවන් වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මිදෙතැයි ඩේලි මිරර් කතුවැකිය බිය පලකරයි

“ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති කොයිබටද?” යන මාතෘකාව යටතේ ඩේලි මිරර් පුවත්පත, ඔක්තෝබර් 26 වනදා පලකර ඇති සිය කතුවැකිය තුල, වසංගතය මධ්‍යයේ කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීම සඳහා සමාගම් විසින් ගන්නා ලද තීරනයට වෘත්තීය සමිති සිය සහනුමතිය පලකිරීම සහ ඒ හෝ මේ ආන්ඩුව සමග ඔවුන්ගේ අත්වැල් බැඳගැනීම ආදී කම්කරු පන්තියට ද්‍රෝහී ක්‍රියාකලාපයන් පිලිබඳව ව්‍යාජ කනස්සල්ලක් ප්‍රකාශ කර තිබුනි.

කම්කරුවන්ගේ ජීවිත ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් බිලි දෙමින් වසංගතය මධ්‍යයේ ආර්ථිකය විවෘත ව තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුල සීඝ්‍ර ලෙස කොරෝනා වසංගතය පැතිරෙන්නට පටන්ගෙන ඇත. මේ පිලිවෙත හේතුවෙන් වසංගතයේ මුල් පෙල ගොදුරු බවට පත් වී සිටින්නේ ඇඟලුම් ක්ෂේත්‍රය මූලික කර ගත් කම්කරු පන්තියයි. 

ප්‍රධාන ආයෝජන කලාප, වතුකරය සහ දිවයින පුරා වැඩබිම් වල සිය ගනනින් ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇති අතර හුදකලා කිරීම් හේතුවෙන් නවාතැන් තුල සිර වී සිටින තවත් දහස් ගනනක් කම්කරුවෝ අන්ත දරිද්‍රතාවයේ සහ හාමතේ ගිලී සිටිති. 

කම්කරුවන් මෙම තත්වයට ඇද දැමීමේ සම්බන්ධයෙන් සෘජු ව ම වගකිව යුතු වෘත්තීය සමිති “විවේනය කිරීමට” ඩේලිමිරර් කතුවරයා ප්‍රවිෂ්ට වී ඇත්තේ කම්කරුවන්ගේ රැකියා සහ ජීවන කොන්දේසි කඩා වැටීම පිලිබඳ ව පහල වූ අනුකම්පාවකින් නොවේ. “වෘත්තීය සමිති වැටුප් කප්පාදු කිරීමට සමාගම් සමග එකඟතාවයට යාමේ දී, විශේෂයෙන් දෛනික වැටුප් ලබන්නන් ඇතුලු කම්කරුවන් මුහුන දෙන ඛේදජනක තත්වය සැලකිල්ලට නොගත්තේ” යැයි ඩේලිමිරර් කතුවැකිය සඳහන් කරන්නේ එම කම්කරුවන් අතර වහා පාලනය කරගත යුතු වෛරයක් වැඩෙන බව වෘත්තීය සමිති වෙත මතක් කර දීමටයි. 

ධනපති සංස්ථාපිතයේ සෑම කොටසක් මෙන් ම, ධනපති මාධ්‍ය භීතියට පත්ව ඇත්තේ, ආන්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති යන සියලු පාර්ශ්වයන් පිලිබඳව කම්කරුවන් අතර වැඩෙන අතෘප්තිය දැවන්ත අරගල ලෙස පුපුරා යාමේ විභවය ගැනයි. තැති ගැන්වී සිටින ඩේලි මිරර් කතුවරයා, “මෙම තත්වය වෙනස් කිරීමට හැකියාවක් ඇත්තේ අතලොස්සක් වෘත්තීය සමිතිවලට පමනක් යැයි පෙනී යන” බව පවසයි. “තත්වය වෙනස් කිරීම” යන යෙදුමෙහි අර්ථය වනුයේ, කවර හෝ උප්පරවැටීයක් යොදා කම්කරුවන්ගේ විරෝධය යටපත් කර ගැනීමයි. කතුවැකියේ යෝජනාව වන්නේ වෘත්තීය සමිති වහා ඒ පිලිබඳව ක්‍රියාත්මක විය යුතු බවයි.

“පවතින තත්වය යටතේ වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා හදිසි සාකච්ඡාවක්” පවත්වන බව නිවේදනය කරමින් වෘත්තීය සමිති සහ ඊනියා සිවිල් සංවිධාන පසුගිය සතියේ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගම් මූලස්ථානයට (සීඑම්යූ) රැස්වූයේ ඩේලිමිරර් කතුවැකිය වක්‍ර ව අවධාරනය කරන පරිදි ම කම්කරුවන්ගෙන් එල්ල විය හැකි අභියෝගයට මුහුන දෙන්නේ කෙසේදැයි සාකච්ඡා කර ගැනීමටයි. 

ඉකුත් මැයි 5 වනදා ආන්ඩුව සහ හාම්පුතුන් සමග පැවැත්වූ ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකායේ සාකච්ඡා වල දී සිය ලාභ ආරක්ෂා කර ගැනීම උදෙසා කම්කරුවන්ගේ වැටුප් සහ රැකියා කප්පාදු කිරීමට මහ ව්‍යාපාරිකයන් ගෙන ආ යෝජනාවට මෙම වෘත්තීය සමිති එකඟ විය. 

ඔක්තෝබර් 27 නිකුත් වූ කැබිනට් තීරනවලින් නිවේදනය කෙරී ඇත්තේ කම්කරුවන්ගේ වැටුප් කප්පාදුව දෙසැම්බර් මාසය දක්වා ම දීර්ඝ කිරීමට ඉහත කාර්ය සාධක බලකාය එකඟ වූ බවයි. වැටුප් කප්පාදුව දීර්ඝ කිරීම කම්කරුවන් තදින්ම කෝපගන්වනු ඇත. 

වසංගතය පැතිර යාම මධ්‍යයේ වඩාත් හොඳින් එලිදරව් වී ඇති පරිදි, වත්මනේදී වෘත්තීය සමිති යනු කවර ආකාරයකින් හෝ කම්කරු පන්තියේ අයිතීන් ආරක්ෂා කරන සංවිධාන නො වේ. වෘත්තීය සමිතිවල මේ පරිහානිය ශ්‍රී ලංකාවට සීමා නොවන ජාත්‍යන්තර ප්‍රපංචයකි. 

කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක), වෘත්තීය සමිතිවල මෙම ඓතිහාසික පරිහානිය 1998 දී තරම් ඈතදී විද්‍යාත්මක ව වගවිභාග කලේ මෙසේය: " භූගෝලීයකෘත ආර්ථික සංවර්ධනය කම්කරු පන්තියේ ජාතික වසයෙන් පදනම් වූ ආරක්ෂන සංවිධාන ලෙස වෘත්තීය සමිතිවල ප්‍රානශක්‍යතාවට වල කපා තිබේ.  මෙම සන්තතිය එම සංවිධාන වල දිරා පත්වීම ද ඒවා හාම්පුතුන්ගේ සහ රාජ්‍යයේ වලිග බවට ප්‍රතිවර්තනය වීම ද තුල ප්‍රකාශිතව ඇත." (පිටුව 69, භූගෝලීයකරනය සහ ජාත්‍යන්තර කම්කරු පංතිය,  හජජාක ප්‍රකාශය)

වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී ක්‍රියාකලාපය හේතුවෙන් කම්කරු පන්තිය එම සංවිධාන වලින් දුරස් වෙමින් සිටී. ඇමරිකානු කම්කරු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෑතක ම නිකුත් කල වාර්තාවකට අනුව එහි සමස්ත ශ්‍රම බලකායෙන් වෘත්තීය සමිතිගත ව සිටින්නේ ශ්‍රමිකයන්ගෙන් සියයට 10.3ක ප්‍රතිශතයක් වන අතර එය වසර 30ක කාලයක් තුල තුන් ගුනයක කඩාවැටීමකි. 

ලංකාව තුල ද වෘත්තීය සමිතිගත කම්කරුවන් ප්‍රමානය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති අතර නවතම දත්තවලට අනුව එය සමස්ත ශ්‍රමිකයන් ගෙන් සියයට 9.5ක් වැනි කුඩා අගයකි. ඩේලිමිරර් කතුවැකිය තුලින් ප්‍රකාශයට පත්වනුයේ, වෘත්තීය සමිති වල වත්මන් ක්‍රියාකාරීත්වය විසින් මෙම තත්වය තවත් “නරක අතට” හැරෙනු ඇතැයි ධනපති පන්තියට පවත්නා භීතියයි. 

ඩේලිමිරර් කතුවරයා ලංකාවේ වෘත්තීය සමිතිවල පල්ලම් බැසීම පිලිබඳ කරුනු දැක්වීමේ දී ලංකාවේ පාලක පන්තිය එහි අරටුවට ම සොලවාලූ මහජන නැගිටීමක් ලෙස සනිටුහන් වන 1953 හර්තාලය වෙත යොමුවෙයි. ඔහු සාවද්‍ය ලෙස පවසන්නේ හර්තාලය ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ශක්තිය පිලිබිඹු කල අවස්ථාවක් ලෙසයි. සැබැවින්ම නම් ඊට ප්‍රතිකූල ව හර්තාලයේ පාඩම් තුලින් වෘත්තීය සමිතිවල වත්මන් පරිහානියේ දේශපාලන මූලයන් ගෙනහැර දක්වයි. 

1953 දී එවක එක්සත් ජාතික පක්ෂ (යූඑන්පී) ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීම සහ සමාජ සුභසාධන කප්පාදුව දරුනු ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වසර ගනනාවක් තිස්සේ ධනපති ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරුවන් සහ ගම්බද දුගීන් අතර කැකෑරෙමින් තිබූ වෛරය පුපුරුවා හැරියේ ය. 

කම්කරුවන් ගේ සහ ගම්බද පීඩිතයන්ගේ සැලකියයුතු සහයෝගයක් ලබා තිබූ ලංකා සම සමාජ පක්ෂය (ලසසප), 1953 අගෝස්තු මස 12 දින, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි එක්දින විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලේය. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප),‍‍‍‍ ‍‍‍‍ෙෆඩරල් පක්ෂය  සහ සම සමාජ පක්ෂයෙන් බිඳී ගිය දක්ෂිනාංශික කන්ඩායමක් වූ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය (විලසසප) ද එයට සහාය දැක්වූහ.

වර්ජනයෙන් කොලඹ නගරය ඇන හිටි අතර, විරෝධතාව ගම්බදටද පැතිර ගියේය. කම්කරුවන්, ගම්බද පීඩිතයන් සහ තරුනයන් අරගලය තම අතට ගනිමින්, හර්තාලය එක් දිනකට පමනක් සීමා නොකොට එය ඉදිරියට ගෙන ගියහ. ආන්ඩුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් විරෝධතාකරුවන්ට එරෙහිව බරපතල මර්දනයක් දියත් කලේය.

වෙඩි තැබීම් නියෝග සහිතව හමුදාව කැඳවා, කම්කරු පන්තියේ පක්ෂ කාර්යාල සහ මුද්‍රනාල මුද්‍රා තබා, ඇඳිරි නීතිය පැනවූ අතර දේපලවලට හානි කරන්නන්ට මරන දඩුවම නියම කෙරුනි. පොලීසිය, නවදෙනෙකු වෙඩිතබා මරා දැමීය.

කැඳවුමට ලැබුනු මහජන ප්‍රතිචාරයෙන් ආන්ඩුව පමනක් නොව, හර්තාලය කැඳවූ ලසසප ඇතුලු පක්ෂ සියල්ලම ද අන්දමන්ද කලේය. පාර්ලිමේන්තුවාදී සහ වෘත්තීය සමිතිවාදී මාවත ඔස්සේ පල්ලම් බහිම්න් ජාත්‍යන්තර සමාජවාදී  ක්‍රියාමාර්ගය අත්හරිමින් සිටි ලසසප ය, කොප සහ විලසසප සමග එක්ව විරෝධතා නතර කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විප්ලවවාදී නායකත්වයක් සහ ඉදිරිදර්ශනයක් නොමැති කමින්, අවසානයේදී හර්තාලය අත්හැර දමන්නට කම්කරු-පීඩිත මහජනතාවට සිදුවිය.

කොරෝනා වසංගතය මධ්‍යයේ ලංකාවේ වෘත්තීය සමිති වල ප්‍රතිගාමීත්වය හෙලිදරව් වී ඇත්තේ මීටත් නග්න ආකාරයකටයි. 1953 හා සමාන්තරයක් අඳින්නේ නම් මේ මොහොත වන විට කම්කරුවන්ගේ වෛරය පුපුරා යාමට පටන්ගෙන ඇත්තේ තමන්ගේ රැකියා සහ වැටුප්  පමනක් නොව ජීවිත පිලිබඳ ව ධනපති පන්තියේ කිසිදු කන්ඩායමකට තැකීමක් නැතැයි යන වැටහීම වර්ධනය වෙන තතු තුල ය. එසේ වුව ද, වෘත්තීය සමිති මොන යම් හෝ සීමිත අරගලයකට පවා කම්කරු පන්තිය වෙත කැඳවුමක් නොකරයි. 

වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී භූමිකාව කම්කරු පන්තියට නව සංවිධාන රූපයක අවශ්‍යතා ව මතු කරයි. වසංගතය මධ්‍යයේ තීව්‍ර කෙරෙමින් පවතින ධනපති ප්‍රහාරයන්ට මුහුන දීමේ අරගලය කම්කරු පන්තිය සියතට ගත යුතු වන අතර එය කල හැකි වන්නේ, එම නව සංවිධාන; එනම් කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙන් පමනි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි ජාතික ශාඛාවන් හැටියට පවතින සමජවාදී සමානතා පක්ෂ පමනක්ම කම්කරුවන්ට එම ක්‍රියාමර්ගය ඉදිරිපත් කරයි. “කොවිඩ්-19 වසංගතයට එරෙහි ජාත්‍යන්තර කම්කරු-පන්තික ක්‍රියා සඳහා!” යන මාතෘකාව යටතේ (හජාජාක) විසින් ඉදිරිපත් කල ඉදිරිදර්ශනයෙහි “වසංගතය නවතා මිලියන ගනන් ජීවිත ආරක්ෂා කරගැනීමට කල යුත්තේ කුමක් ද?” යන ප්‍රශ්නයට මෙසේ පිලිතුරු සපයයි.

වසංගතයට දක්වන ප්‍රතිචාරයේ පාලනය, ධනපති පන්තිය වෙතින් උදුරා ගත යුතු ය. වසංගතය පාලනය යටතට ගෙන, අවදානමට මුහුන දෙන මිලියන ගනන් ජීවිත බේරාගැනීම සඳහා, ජාත්‍යන්තර පරිමානයකින් සම්බන්ධීකෘත කම්කරු පන්තියේ මහජන ක්‍රියාවන් අවශ්‍ය වේ. වසංගතයට එරෙහි ප්‍රතිචාරය හුදෙක් හෝ ප්‍රමුඛ වසයෙන් වෛද්‍යමය ප්‍රශ්නයක් නො වේ. සියල්ලට ඉහලින් එය, සමාජ හා දේශපාලන අරගලය පිලිබඳ කරුනකි.

කම්කරුවන් එම දේශපාලන අරගලයට ප්‍රවිෂ්ට වීම වලකා ගෙන සිටින වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වීම තමන්ගේ අරගලයේ මූලික ම පියවරක් ලෙස සැලකිය යුත්තේ එහෙයිනි. 

Loading