ඉදිරිදර්ශන

මැතිවරනය ලඟා වෙත්ම ට්‍රම්ප් මහජන ඡන්දය ප්‍රතික්ෂේප කිරීමට කුමන්ත්‍රනය කරයි

එක්සත් ජනපද මැතිවරනයට සතියකටත් අඩු කාලයක් තිබිය දී ට්‍රම්ප් පරිපාලනය මහජන ඡන්දය අහිමි වුව ද, ධුරයේ රැඳී සිටීමේ කුමන්ත්‍රනයක නිරතව සිටී.

ඊයේ නිල වශයෙන් දිවුරුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ඇමී කෝනි බැරට් නම් කිරීම කඩිමුඩියේ අනුමත කිරීම, මෙම උපාය මාර්ගයේ කේන්ද්‍රයේ වේ. පෙර දින සවස ධවල මන්දිර උත්සවය අධීක්ෂනය කිරීම සඳහා ට්‍රම්ප්, 2000 බුෂ්ට එරෙහි ව අල්ගෝර් මැතිවරන නඩුව තීරනය කල බහුතරයේ දැනට ජීවත්වන එකම සාමාජිකයා වන විනිසුරු ක්ලැරන්ස් තෝමස් තෝරා ගත්තේ ය. එම තීන්දුවේ දී, ෆ්ලොරිඩාවේ ඡන්ද ගනන් කිරීම නැවැත්වීමටත්, මහජන ඡන්දය පරාජය වූ බුෂ් වෙත මැතිවරන ජය භාර දීමටත් අධිකරනය 5-4 තීන්දුවක් ලබා දුන්නේ ය.

පනිවුඩය ඊටත් වඩා පැහැදිලි කල නො හැක: බැරට්ගේ කාර්ය වන්නේ, වසර විස්සකට පසු ව එවැනි ම මෙහෙයුමක් සඳහා උසාවියට සහාය වීම යි. මෙම කරුන අවධාරනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනය එදින ම තීන්දු කලේ, පොරපිටියක් වන විස්කොන්සින් ප්‍රාන්තයට, මැතිවරන දිනයට පෙර යවන ලද නමුත්, නොවැම්බර් 3වැනි දාට පසු ව ලැබෙන තැපැල් ඡන්ද ගනන් කල නො හැකි බව යි. දස දහස් හෝ ලක්ෂ ගනන් වින්කොන්සින් ජනයාගේ ඡන්ද අයිතිය සොරා ගන්නා මෙම තීන්දුව, ට්රප්ම්ප්ට ප්රධාන ජයග්රහනයක් වන අතර, රට පුරා ප්රතිඵවලට අභියෝග කිරීමේ ඔහුගේ උත්සාහයට තීරනාත්මත දේශපාලන සහයෝගයක් ලබා දෙයි.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයේ සහකාර විනිසුරු ධුරය සඳහා ඇමී කෝනි බැරට් දිවුරුම් දීමේ උත්සවයේ දී ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් අදහස් දැක්වයි. (ඡායාරූපය: ජොයිස් එන්. බොගෝෂියන් / ධවල මන්දිර ෆ්ලිකර්, අනුග්රහයෙනි)

(ශ්‍රේෂ්ඨාධිකරනයට) ට්‍රම්ප් යෝජනා කල බ්‍රෙට් කවානෝ, බහුතරයට එකඟ වන අදහස් දැක්වීමක දී, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම වංචාවට ගොදුරු විය හැකි බවට ට්‍රම්ප් කරන  පදනම් විරහිත ප්‍රකාශය පුනරුච්චාරනය කලේ මෙසේ ය.“මැතිවරන  දිනයෙන් පසු තැපල් ඡන්ද දහස් ගනනක් ගලා විත්, විය හැකි පරිදිම මැතිවරන ප්‍රතිඵලය කනපිට හරවන්නේ නම්, මුල්බැසගත හැකි ව්‍යාකූලත්වය හා නොහොබිනාකම වලක්වා ගැනීමට ප්‍රාන්තවලට අවශ්‍යයි.” එනම්, සියලු ඡන්ද ගනන් කිරීම නිසා ඇති වන “අවුල්සහගත තත්ත්වය” වලක්වා ගැනීමට ප්‍රාන්තවලට  අවශ්‍යය බව යි.

කවානෝ බුෂ්ට එරෙහි ව ගෝර්ගේ තීරනය වාසියට හරවාගෙන උපුටා දැක්වීය. 2000 වසරේ  නඩුවේ දී, උසාවිය පැහැදිලි ව ම කියා සිටියේ අනාගත උසාවි තීන්දුවල දී මෙම තීන්දුව පූර්වාදර්ශයක් ලෙස භාවිතා කල නො හැකි බව යි.  එහෙත් කවානෝගේ  සඳහන එදා මෙදාතුර විනිශ්චයකාරවරයෙකු එය සඳහන් කල පලමු අවස්ථාව විය. නඩුව ගැන සඳහන් කිරීමේ දී කවානෝ පැහැදිලි කලේ,  2020 දී ට්‍රම්ප් කිරීමට සැලසුම් කර ඇති දේ ය.

කිසිදු තාර්කික පදනමක් නොමැති ව වංචාවන්ට හේතු වන බව ඔහු කියා සිටින තැපැල් ඡන්දය අවලංගු කරමින්, වෙනත් ප්‍රාන්ත සඳහා ඒ සමාන තීන්දු දීමට, අටවා ඇති ශ්‍රේෂ්ඨාධිකරනයක් භාවිතා කිරීම ට්‍රම්ප්ගේ අරමුන යි. තීන්දුව ප්‍රකාශයට පත් වී පැය කිහිපයකට පසු ට්‍රම්ප් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඇමරිකා එක්සත් ජනපදය පුරා තැපැල් ඡන්ද පත්‍රිකා සමඟ විශාල ගැටලු සහ විෂමතා ඇතිවිය හැකි බැවින්, නොවැම්බර් 3 වනදා අවසාන එකතුව ගනන් ගත යුතු” බව යි.

ඇත්ත වශයෙන්ම, නොවැම්බර් 3 දාම මැතිවරනය තීරනය කල යුතු බවට ට්‍රම්ප් කරන  අවධාරනය සඳහා ව්‍යවස්ථාමය පදනමක් නොමැත. මැතිවරන ප්‍රතිඵල ප්‍රාන්ත විසින් අනුමත කරනු ලබන අතර, සියලු ම ඡන්ද ගනන් කිරීමෙන් පසුව දෙසැම්බර් 8 වන දින, “රක්ෂිත රැකවරන කාල සීමාව” අනුව තම ඡන්ද දායකයින් (ඡන්ද විද්‍යාලය සඳහා) ප්‍රාන්ත බලධාරීන් විසින් තෝරා ගත යුතු ය. නොවැම්බර් 3වැනි දින හෝ ආසන්නයේ ලැබිය හැකි තැපැල් ඡන්දවලින් වැඩි ප්‍රමානයක් බිඩෙන් සඳහා වන බව ට්‍රම්ප් දන්නා අතර, ඒවා අවලංගු යැයි ප්‍රකාශ කිරීම සඳහා කඩතුරාවක් නිර්මානය කිරීමට ඔහු උත්සාහ කරයි.

ට්‍රම්ප්, අධිකරනයේ ද සහාය ඇතිව, මිචිගන්, පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා හා  විස්කොන්සින් ඇතුලු තීරනාත්මක පොරබිම්  ප්‍රාන්තවල ප්‍රතිඵල පිලිබඳ සෑහෙන සැකයක් රිපබ්ලිකානුවන් පාලනය කරන ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්  අතර මතු කරමින් සිටින්නේ, මහජන ඡන්දය නො සලකා ට්‍රම්ප් හිතවාදී (ඡන්ද විද්‍යාල) ඡන්දදායක ලැයිස්තු සහතික කරවා ගැනීමට යි. 

ට්‍රම්ප් සිය අධිකරන නඩු විභාගවලට අනුබල දීම සඳහා, මැතිවරන දිනයේ හා ඉන් පෙර ද පසුව ද අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් ප්‍රචන්ඩ ක්‍රියා උසිගැන්වීමට උත්සාහ කරයි. ඔහු තම අවසාන ප්‍රචාරක රැලි යොමු කරන්නේ,  සිය ආධාරකරුවන් වත්මන් ආන්ඩුකාරවරුන් ඉලක්ක කර ගනිමින් කුමන්ත්‍රන සංවිධානය කර ඇති ප්‍රධාන පොරබිම් ප්‍රාන්තවල ය.

මිචිගන් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයක් හෙලිදරව් වී සති තුනකටත් අඩු කාලයක දී, ට්‍රම්ප් ඊයේ එම ප්‍රාන්තයේ ලැන්සිං අගනගරයේ මැතිවරන ප්‍රචාරක රැලියක් පැවැත්වී ය. ඇය ඝාතනය කිරීමේ කුමන්ත්‍රනය ගැන සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේ, ඇයට “ගැටලුවක්” ඇති බව යි. “මම අදහස් කලේ එය ගැටලුවක් දැයි අපි බලමු නේද? සමහර විට එය ගැටලුවක් විය හැකි යැයි කීමට මිනිසුන්ට අයිතියක් ඇත, සමහර විට එය එසේ නොවිය හැකියි.”

මැතිවරන දිනයේ දී ඡන්දදායකයින් බිය ගන්වනු පිනිස ෆැසිස්ට් සංවිධානවලට සහාය වීම සඳහා ඔහු පොලිසියේ පිහිට මත ද විශ්වාසය තබයි. මිචිගන් හි බොහෝ ප්‍රාදේශීය ෂෙරිෆ්වරුන් (පොලිස් නිලධාරීන්) ප්‍රකාශ කර ඇත්තේ තමන් ඡන්ද මධ්‍යස්ථානවල ගිනි අවි තහනම් කරන ප්‍රාන්ත නියෝග ක්‍රියාත්මක නො කරන බ යි.

හිටපු රිපබ්ලිකන් ආන්ඩුකාර ජෝන් එන්ග්ලර් විසින් පත් කරන ලද මිචිගන් උසාවියේ හිමිකම් විනිසුරු ක්‍රිස්ටෝපර් මරේ අඟහරුවාදා, ප්‍රාන්ත ලේකම් ජොසලින් බෙන්සන්ගේ  විවෘත ගිනි අවි රැගෙන යාම තහනම් කිරීමේ නියෝගය නවතා දමන ලදී. විට්මර් පරිපාලනයේ “සීමාව ඉක්මවා යාම” හෙලා දකින රිපබ්ලිකන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසින් මෙම තීරනය සතුටින් පිලිගන්නා ලදී. 

සඳුදා පෙන්සිල්වේනියාවේ පැවති තම රැලියේ දී ට්‍රම්ප්, ඩිමොක්‍රටික් ආන්ඩුකාර ටොම් වුල්ෆ්ට එරෙහි ව “අපි ඔබ දෙස බලා සිටිමු” යි තර්ජනය කලේ ය. ඔහු රට පුරා පොලීසියේ සහයෝගය ගැන පුරසාරම් දෙඩුවේ ය: “අපට කිව හැක්කේ නීති බලධාරීන් නෙවාඩා දෙස බලා සිටී, එය ෆිලඩෙල්ෆියා හා පෙන්සිල්වේනියාව දෙස බලා සිටින්නේ ඒවාට  අමුතු දේවල් රාශියක් තිබෙන නිසා… අපි උතුරු කැරොලිනා දෙස බලා සිටිමු, අපි මිචිගන් දෙස බලා සිටිමු. ”

ට්‍රම්ප්ට මැතිවරනය සොරකම් කිරීමේ මූලෝපායක් තිබුන ද ඩිමොක්‍රටිකයන්ට එයට විරුද්ධ වීමට මූලෝපායක් නොමැත. ඇත්ත වශයෙන්ම අතිමූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට, එනම් ඡන්ද අයිතියට එල්ලවී ඇති තර්ජනය වසන් කිරීම සඳහා තමන්ට හැකි සෑම දෙයක් ම ඔවුහු කරමින් සිටිති.

අඟහරුවාදා පැවති තමන්ගේ මැතිවරන උද්ඝෝෂනයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩෙන් මැතිවරන කුමන්ත්‍රනය, විට්මර් හා අනෙකුත් ආන්ඩුකාරවරුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රනය, බැරට්ගේ පත්වීම , විස්කොන්සින් පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව හෝ මැතිවරනයේ දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන තර්ජනයට සම්බන්ධ වෙනත් කිසිවක් ගැන හෝ සඳහන් කලේ නැත. පසුගිය සතියේ අවසන් විවාදයේ දී ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන හා බලයේ රැඳී සිටීමට තර්ජනය කිරීම යන මාතෘකා ගැන සඳහනක්වත් කෙරී නැත. වඩාත් බරපතල දේශපාලන තත්වයන් යටතේ රිපබ්ලිකානුවන්ට, බැරට්ගේ නාමයෝජනා යන්තම් සති දෙකකින් තල්ලු කර ගැනීමට හැකි වූයේ , නාමයෝජනා අවහිර කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනීමට ඩිමොක්‍රටිකයින් මුල සිටම ගත් තීරනය හේතුවෙනි. 

ඩිමොක්‍රටිකයින්ට බැරට් පැලපදියම් කිරීම වලක්වා ගත නො හැකි වී නම්, තමන් ජයග්‍රහනය කරන මැතිවරනයක ප්‍රතිඵල ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැ යි විශ්වාස කල හැක්කේ කාට ද?

වෝල් වීදිය හා මිලිටරියේ ඩිමොක්‍රටික් පක්ෂය,  ට්‍රම්ප්ට එරෙහි ව පමනක් නො ව සමස්ත ධනවාදී ක්‍රමයට ම එරෙහි ව්‍යාපාරයක් බවට වර්ධනය වීමට තර්ජනය මතු කරනු ඇති  මහජන නොසන්සුන්තාවට තුඩු දෙන ඕනෑම දෙයක් පිලිබඳව  භීතියට පත්වෙති.

සති අන්තයේ පොලිටිකෝ වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සාමාජිකාවක හා හිටපු සීඅයිඒ ඒජන්තවරියක වන එලිසා ස්ලොට්කින් පැහැදිලි කලේ, ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කල හොත් කුමක් සිදුවේද යන්න ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහල නිලධාරීන් රහසේ ක්‍රියාකාරී ව සාකච්ඡා කරමින් සිටින බව යි. පොලිටිකෝ සඳහන් කලේ, ස්ලොට්කින්, “ඇමරිකාව සිවිල් හා ව්‍යවස්ථාමය අර්බුදයක් කරා ගමන් කරනු ඇතැයි බිය වන” බව යි. ඇත්ත වශයෙන්ම, ඇයට “මේ දිනවල වෙන කිසිවක් ගැන සිතිය නො හැක.”

කෙසේ වෙතත් ට්‍රම්ප් කුමන්ත්‍රනයක අන්තරාය ගැන මහජනයා දැනුවත් කරනවා වෙනුවට ඩිමොක්‍රටිකයන් ආයාචනය කරන්නේ, හමුදා හා බුද්ධි අංශවල ප්‍රධානීන්ට ය. බලයේ රැඳී සිටීම නම් ට්‍රම්ප්ට, “ඔහුගේ කැබිනට් මන්ඩලයේ, විශේෂයෙන් නීතිපති, ආරක්ෂක ලේකම්, ඒකාබද්ධ ප්‍රධානීන්ගේ සභාපති සහ ස්වදේශ ආරක්ෂක අංශ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහාය අවශ්‍ය වනු ඇත” යි ස්ලොට්කින් පැවසුවා ය. ඩිමොක්‍රටිකයින්, “ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා පරාජය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, තමන් කරන්නට හා නො කරන්නට කැමති වන්නේ කුමක් ද යන්න, තමන්ගේ සීමා රේඛා ඔස්සේ සිතා බලන ලෙස  මේ අයට ලිපි ලියා ඇතැ” යි ඈ පැවසුවා ය. 

මේ සියල්ල සිදුවන්නේ නව අවධියකට පිවිසෙන කොරෝනා වෛරස් වසංගතයේ කොන්දේසි යටතේ ය. මේ වන විටත් 230,000 ඉක්මවා ඇති මරන සංඛ්‍යාව තවත් ඉහල යමින් තිබේ. නව රෝගීන් සංඛ්‍යා වාර්තාගත මට්ටම්වල පවතී.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන, කොරෝනා වෛරස් ආසාදන හා මරන විශාල වශයෙන් වර්ධනය වීමට හේතු වන, “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ පාලක පන්තියේ ප්‍රතිපත්තියෙන් වෙන් කල නො හැක. ට්‍රම්ප් තම සියලු කථාවල දී ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය උසිගැන්වීම, වසංගතයේ අන්තරාය වඩ වඩාත් ප්‍රකෝපකාරී ලෙස බැහැර කිරීම හා එය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා වන සියලු සීමා කිරීම් අවසන් කිරීමේ ඉල්ලීම් සමග  ඒකාබද්ධ කරයි. ට්‍රම්ප්ගේ වැඩසටහනට මහජන පදනමක් නොමැත. එය මරනය හා සමාජ විනාශයේ වැඩසටහනකි. වසංගතයට ප්‍රතිචාර වශයෙන් අනුයන පාලක ප්‍රභූන්ගේ සමස්ත ප්‍රතිපත්තිය කෙරෙහි කම්කරු පන්තිය තුල දැවැන්ත හා වැඩෙන සමාජ කෝපයක් පවතී. මෙම කොන්දේසි යටතේ ට්‍රම්ප් බලයේ රැඳී සිටීමට දරන ඕනෑම උත්සාහයක් මහජන විරෝධතා හා සමාජ කැලඹීම්වලට තුඩු දෙනු ඇත.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනවලට ප්‍රතිචාර දක්වන ඩිමොක්‍රටිකයන්ගේ බියගුලුකම මුලුමනින් ම බැඳී ඇත්තේ, වසංගතය පැතිරීම හෝ 1930 ගනන්වල සිට දක්නට ලැබෙන වෙනස් සමාජ අර්බුදයකට විසඳුම් සෙවීමේ ඕනෑම ප්‍රතිපත්තියක් කෙරෙහි වන තමන්ගේ ම විරුද්ධත්වය සමඟිනි. මුහුනු ආවරන ගැන කතා කිරීමෙන් ඔබ්බට ඩිමොක්‍රටිකයින්ට යෝජනා කිරීමට කිසිවක් නැත, මන්ද ඔවුන් සංගත  හා මූල්‍ය ප්‍රභූන්ගේ අවශ්‍යතාවන්ට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාමාර්ගයක් ප්‍රතික්ෂේප කරන බැවිනි.

සමාජවාදී සමානතා පක්ෂය හා එහි ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර් හා උප ජනාධිපති අපේක්ෂිකා නොරිස්සා සැන්ටා කෘස් සටන් වදින්නේ, අපගේ මැතිවරන උද්ඝෝෂනය කම්කරුවන්ට මෙසේ අනතුරු අඟවයි: ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය මත විශ්වාසය තැබීම සියදිවි නසා ගැනීමකට වඩා අඩු දෙයක් නො වේ. ඔවුන් කිසිවක්, තමන්ගේ ම මැතිවරන ජයග්‍රහනය පවා ආරක්ෂා නො කරනු ඇත.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන සැලැසුම්වලට එරෙහි අව්‍යාජ අරගලයක් වර්ධනය කල හැක්කේ, ඩිමොක්‍රටිකයන්ට හා සමස්ත පාලක පන්තියට එරෙහිව ය.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනවලට එරෙහි සටන පාලක පන්තියේ නොව, කම්කරුවන්ගේ අවශ්‍යතා මත පදනම් ව, පුලුල් වන ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් සමාජවාදී ක්‍රියාමාර්ගයකට  සම්බන්ධ කල යුතු ය. වසංගතය පැතිරෙත් ම අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන හා පාසල් වසා දැමීම මෙයට ඇතුලත් ය. මිලියන ගනනක් වූ රැකියා විරහිතයන් ද ඇතුලුව බලපෑමට ලක් වන සියලු ම කම්කරුවන්ට විශාල මුදල් වෙන් කිරීමක් මගින් සම්පූර්න ආදායම  ලැබිය යුතු ය.

වඩාත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා බැරෑරුම් ව්‍යාපාරයක් වර්ධනය කල හැක්කේ සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත පමනි.

නොවැම්බර් 1 වන ඉරිදා, නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 1.00 ට, (ශ්‍රී ලංකාවේ රාත්‍රී 11.30 ට) සමාජවාදී සමානතා පක්ෂය, ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ එයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න විභාග කිරීමට “සිවිල් යුද්ධ මැතිවරනය ආසන්නයේ: ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම හා සමාජවාදය සඳහා සටන” යන මාතෘකාව යටතේ අන්තර්ජාල මැතිවරන රැස්වීමක් පවත්වයි..

සමාජවාදී සමානතා පක්ෂ 2020 ජනාධිපතිවරන උද්ඝෝෂනය ගැන විමසිලිමත් වන්න. 

‍මෙම ලිපිය  ඔක්තෝබර් 28 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading