මෙය කොටස් දෙකකින් යුත් ලිපියක පලමු කොටස යි.
ධනේශ්වර නිෂ්පාදනයෙහි පදනම්වලට අත නො තබා මූල්‍ය පද්ධතිය වෙනස් කිරීම මගින්, එම අර්බුදයන් සහ ඒවා මගින් ජනනය කරන සමාජීය පීඩාවන් මුලුමනින් ම අවසන් නො කල ද සමාජයේ තත්ත්වය වැඩි දියුනු කල හැකි ය යන ආස්ථානය නඩත්තු කරන “වාම” න්යායඥයන් විසින්, ධනවාදයේ හා එහි පුනරාවර්තනීය අර්බුදයන්ගේ සමස්ත ඉතිහාසය පුරා විවිධාකාර න්‍යායයන් ඉදිරියට ගෙනවුත් ඇත.
තමන්ව “වාමාංශික” හා “ප්රගතිශීලී” යයි හඳුන්වා ගනිමින් ධනේශ්වර පද්ධතියේ ප්රතිසංස්කරනය දේශනා කරන මොවුහු, විශාලතම අර්බුදයේ සමයන්හි දී කම්කරු පන්තිය සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගයෙන් අපසරනය කරන අතර ම, අර්බුදයට ප්‍රති-විප්ලවවාදී විසඳුම් ඉදිරියට දමන දේශපාලන බලවේගයන් සඳහා දෘෂ්ටිවාදාත්මක පදනම් සම්පාදනය කිරීමට උත්සාහ දරන බව ඉතිහාසය පෙන්වා දෙයි.
නවීන මූල්‍ය න්‍යායයේ (එම්එම්ටී) එක් ප්රමුඛ නියෝජිතවරියක් විසින් එහි සාරභූත මූලධර්ම මෙම ග්‍රන්ථය තුල කැටිකොට කොට දක්වන අතර, මෙම න්‍යායය ඉහත සඳහන් කල ප්රපංචයේ නවතම ප්රකාශනය යි.
එවන් ප්රවනතාවන්ට එරෙහි අරගලය, මාක්ස්වාදී දේශපාලන අර්ථ ශාස්ත්රයේ මූලාරම්භයන් කරා ම දිවයයි.
ගෝලීය ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, 1857-58 සිසිර ඍතුවේදී 1867 දී කැපිටාල් (ප්රාග්ධනය) ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව පැවති කෘතියේ මූලික අත්පිටපත මාක්ස් විසින් රචනා කලේ ය. ගෲන්ඩ්රීස් යන නමින් අප අතට පත් ව ඇති ඔහුගේ මූලික කෘතිය, 1973 දී පලමු වරට ඉංග්‍රීසියෙන් පල කරන ලදී. එම්එම්ටීය ග්රහනය කර ගනු ලැබීම සඳහා එය සුවිශේෂී වසයෙන් අදාල වේ.
මාක්ස්ගේ ආරම්භක ලක්ෂ්‍යය වූයේ, මුදල විශ්ලේෂනය කිරීම හා ඒ සමයේ ප්‍රධාන සමාජවාදී න්යායඥයෙකු ලෙස සලකනු ලැබූ ප්රන්ස අරාජකවාදියෙකුවූ පෘදොන්ගේ න්‍යායයන් ඛන්ඩනය කිරීම යි. ගෲන්ඩ්රීස් ආරම්භ වන්නේ පෘදොන්ගේ එක් අනුගාමිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් දාරිමොන්ගෙන් ගත් උපුටා ගැනීමක් සමගිනි.
“දුෂ්ටත්වයේ මූලය වන්නේ, සංසරනයේ දී හා හුවමාරුවේ දී වටිනා ලෝහවලට පවරන භූමිකාවේ ප්‍රමුඛතාව පිලිබඳ දඩබ්බර මතයයි.”
පෘදොන්වාදීන්ට අනුව, රත්රන් හා අනෙකුත් වටිනා ලෝහ මුදල් ලෙස පවතින ඒවායේ වරප්රසාදිත තත්ත්වයෙන් ඉවත් කොට, සාමාන්‍ය භාන්ඩවල තත්ත්වයට ලඝු කරන ලද හොත් පමනක්, ධනවාදයේ සමාජීය ව්‍යාධීන් ජයගනු ලැබිය හැකි වන්නේය. එය කරන ලද හොත්, ප්රාග්ධනය හා ශ්‍රමය අතර හුවමාරුවේ අසමානතාව අවසන් කොට, ශ්‍රමයේ සියලු රූපාකාරයන්ගේ ස්වාභාවික සමානතාව පුනරුත්ථාපනය කල හැකි විය.
මුදල යනු හුවමාරුවට පහසුකම් සැලසීමේ අභිප්රායය සඳහා සොයා ගන්නා ලද යම් ආම්පන්නයක් නො ව, යම් ස්වාධීන මිනුමක් සොයා ගත යුතු ව තිබූ, තනි පුද්ගලයන්ගේ ශ්‍රම වෙලඳපොල සඳහා නිෂ්පාදනය ඒනම් සමාජීය නිෂ්පාදනය සඳහා නියුක්ත වීමේ භාන්ඩ නිෂ්පාදන ක්‍රියා දාමයන් ම පැනනැගුනු දෙයක් යනුවෙන් පෙන්වා දීම තුල, මාක්ස්ගේ ඛන්ඩනයේ සාරය සමන්විත විය. මාක්ස් අවධාරනය කල පරිදි, රාජ්‍යය මෙන් ම පොදු සම්මුතියෙන් පැන නො නැගුනු මුදල, භාන්ඩ හුවමාරුව මත පදනම් වන සමාජයකින් වර්ධනය වේ.
වැටුප් ශ්‍රමයේ ස්වරූපයෙන් ශ්‍රම ශක්තිය භාන්ඩයක් බවට පත් වූ විට වඩ වඩා ප්රචන්ඩ රූපයක් අත් පත් කරගත් ධනේශ්වර සමාජයේ ගැටුම් හා පරස්පර විරෝධයන් නිර්මානය කරන ලද්දේ මුදල විසින් නො ව, ඒ වෙනුවට මුදල “එහි පෙනීමට තිබෙන අතික්රාන්තිමය (ඥානයට ගෝචර නොවන) බලය නිර්මානය කරන්නා වූ මෙම පරස්පර විරෝධයන්ගේ වර්ධනය” යි (ගෲන්ඩ්රීස්, පෙන්ගුවින් බුක්ස්, 1991, 146 පිටුව) පෘදොන්වාදීන්ගේ සංකල්ප සවිස්තරාත්මක විශ්ලේෂනයක් හරහා මාක්ස් තහවුරු කල සාරභූත කරුන විය.
යටින් පවතින භාන්ඩ නිෂ්පාදනය මත පදනම් වන සමාජීය නිෂ්පාදන සබඳතාවන්ට අත නො තබා, මුදල විසින් පහසුකම් සලසනු ලබන බෙදාහැරීමේ හා සංසරනයේ සබඳතා වෙනස් කිරීම මගින්, ඒ වන විට ධනවාදයේ පුනරාවර්තී අර්බුද හේතුවෙන් වඩ වඩා පැහැදිලි වෙමින් තිබූ එහි සමාජීය දුෂ්ටත්වයන් අහෝසි කිරීම, පෘදොන්වාදීන්ගේ ඉලක්කය විය.
තමන් මූලික ප්රශ්නය යනුවෙන් හැඳින්වූ දෙය මාක්ස් මෙහි දී ඉස්මතු කලේ ය: “පවත්නා නිෂ්පාදන සබඳතා සහ ඒවාට අනුරූප බෙදාහැරීමේ සබඳතා, සංසරනයේ මෙවලම් හා සංසරනයේ සංවිධානය වෙනස් කිරීමක් මගින් විප්ලවීයකරනය කරනු ලැබිය හැකි ද?” තව දුරටත්: “පවත්නා නිෂ්පාදන සබඳතාවන් සහ ඒවා මත රඳ පවතින සමාජ සබඳතා මත අත නො තබා සංසරනයේ එවන් පරිවර්තනයක් කරනු ලැබිය හැකි ද?” (ගෲන්ඩ්රීස්, 122 පිටුව)
ධනපති ආර්ථිකයේ පදනම ලෙස භාන්ඩ නිෂ්පාදනය අඛන්ඩ ව පවත්වාගෙන යාම මත පදනම් වූ පෘදොන්වාදී වැඩ පිලිවෙල මනෝරාජික විය. මාක්ස් විස්තර කල පරිදි, එය කතෝලික පල්ලිය අහෝසි නො කොට පාප් තනතුර අහෝසි කිරීමට සමාන විය.
මාක්ස් “සංසරනයේ ප්‍රෝඩාවන්” යනුවෙන් කියූ දෙය හරහා ධනවාදයේ අර්බුද විසඳීමට උත්සාහ කල 1850 ගනන්වල පෘදොන්වාදී න්‍යායයන්, එම කාල පරිච්ඡේදයේ සිට විවිධ රූපාකාරයන්ගෙන් පුනරුච්ඡාරනය කරනු ලැබ තිබේ.
1893 දී සියයට 25ක් ලෙස තක්සේරු කෙරුනු මට්ටමකට විරැකියාව නැගීම දැකගත් දරුනු ආර්ථික බිඳ වැටීමකින් ප්‍රතිඵල වුනු, 1890 ගනන්වල දී එක්සත් ජනපදයේ කම්කරුවන්ට හා කුඩා ගොවීන්ට පීඩාව ගෙන ආ සමාජ ව්‍යවසනය මධ්‍යයේ, මානව වර්ගයාගෙන් “රත්රන් කුරුසිය” (මුදලේ රත්රන් පදනම) ඉවත් කරන බවට පොරොන්දු වෙමින්, ඩිමොක්රටික් පක්ෂයේ 1896 ජනාධිපති අපේක්ෂකත්වය විලියම් ජෙනිංස් බ්‍රයන් විසින් දිනාගත්තේ ය.
අවධමනයට හේතුව රත්රන් ප්‍රමිතිය යයි අදහස් කරමින්, රිදී මූල්‍ය පද්ධතියේ පදනමේ කොටසක් බවට පත් කිරීම මගින් එය වෙනස් කල යුතූ බවත් එමගින් ආර්ථික සෞභාග්‍යය කරා ආපසු පැමිනීමකට දිරිදෙනු ඇති බවත් සදහන් කෙරිනි.
පලමුවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලීය ධනවාදයේ ගැඹුරු වන ආර්ථික අර්බුදය, ආර්ථික බෙදාහැරීමේ රූපයන් හා මූල්‍ය පද්ධතිය වෙනස් කිරීම හරහා අර්බුදය ශමනය කරනු ලැබිය හැකි යයි කියා පෑ න්‍යායයන් ගනනාවක් ම ඉදිරියටදමන ලදී.
1920 ගනන්වල දී, සී. එච්. ඩග්ලස් සමාජ නය න්‍යායය ඉදිරියට දැමී ය. කර්මාන්තශාලා ප්‍රතිදානයේ සහ වැටුප්, පඩි හා ලාබාංශ ලෙස කරන ගෙවීම්වල වටිනාකම අතර පරතරයේ වෙනස දක්වමින් ඔහු යෝජනා කලේ, එම හිඟය පිරිමැසීම පිනිස ජාතික ලාබාංශයක් ගෙවන ලෙස යි. අප්රමානවත් ඵලදායී ඉල්ලුමෙන් ධනේශ්වර ආර්ථිකයේ පැන නගින ගැටලු සහගත පරතරය ආන්ඩුවේ වියදම් මගින් ආවරනය කරනු ලැබිය යුතු යයි තරයේ කියා සිටි කේන්ස්ගේ අදහස් තුල, ඩග්ලස්ගේ සමාජ නය න්‍යායය හා අප්රමානවත් ඉල්ලුම පිලිබඳ එහි මතය ඒවායේ ප්රකාශනය සොයා ගත්තේ ය.
1920 ගනන් සමයේ දී ප්‍රධාන මුදල් වර්ග තවමත් රත්රන්වලට ගැට ගසනු ලැබ තිබුනු අතර, එම තත්ත්වය අවපාතීය ආර්ථික කොන්දේසි සඳහා වගකිව යුතු යයි සමහර විවේචකයන් විසින් දැක ගන්නා ලදී.
1924 දී, ජර්මානු ආර්ථික විද්‍යාඥ ජෝර්ජ් ෆ්රෙඩ්රික් නැප් නව මූල්‍ය න්‍යායයක් ඉදිරිපත් කලේ ය. මුදල පැන නැගුනේ භාන්ඩ නිෂ්පාදනයෙන් නො වන බව හා එයට කිසිදු නෛසර්ගික වටිනාකමක් නො තිබුනු බව ඔහුගේ අදහස විය. එය වනාහි ආන්ඩු විසින් පටවන ලද බදු බරබද්දල් ගෙවීමේ ක්‍රමයක් ලෙස නිර්මානය කරන ලද වගකීම් සහතිකයක් විය. (වගකීම් සහතිකය යන තේරුම සහිත ලතින් වචනය වන චාටා යන්නෙන් තද්භව කරගන්නා ලද) චාටලිස්ම් -චාටාවාදය- යනුවෙන් හැඳින්වෙන මෙම න්‍යායය එම්එම්ටීහි පදනම යි.
එම්එම්ටී සිට පෘදොන්ගේ න්‍යායයන් දක්වා ආපස්සට දිවෙන මෙම සියලු න්‍යායයන්ට මෙන් ම කේන්ස්ගේ න්‍යායයන්ට ද ඉතා නිශ්චිත දේශාපාලන ඉදිරි දර්ශනයක් තිබේ. මෙම අර්බුදයන් ශ්‍රම ශක්තිය භාන්ඩයකෙට පරිවර්තනය කිරීම හා එය සූරාකෑම සහ භාන්ඩ නිෂ්පාදනය තුල මුල් බැස තිබෙන ධනවාදයේ ආවේනික පරස්පර විරෝධයන් තුලින් පැන නොනගින අතර ආන්ඩුවල පිලිවෙත් වෙනස් කිරීමකින් සහ නව මූල්‍ය හා නය පද්ධතියක් වර්ධනය කිරීම මගින් එය ජයගත හැකි ය යන්න, ආර්ථික හා සමාජ අර්බුදයේ කාල පරිච්ඡේදවල දී ඉස්මතු වන මෙම න්‍යායයන් පදනම් වේ.
ඒවායේ ඉලක්කය වන්නේ, මෙම අර්බුදයන් විසින් කම්කරු පන්තියට ඉදිරිපත් කරනු ලබන කර්තව්‍යය වන, ධනේශ්වර නිෂ්පාදන මාදිලිය පෙරලා දමා, සමාජවාදී පදනම් මත ආර්ථිකය යලි ගොඩනැගීම ආරම්භ කිරීමෙන් එය අපසරනය කිරීම යි. ඒ වෙනුවට, මෙම න්යායඥයන්ට අනුව දවසේ කර්තව්‍යය වන්නේ, බලයේ සිටින්නන්ට ඔවුන්ගේ වැරදි න්‍යායයන් අත්හැර දමා, ධනේශ්වර ප්රසාරනයට හා සමාජ විප්ලවයේ අවශ්‍යතාව වැලැක්වීමට ඉවහල් වන, ඔවුන් ඉදිරිපත් කරන න්‍යායයන් අනුගමනය කරන ලෙස ඒත්තු ගැන්වීම යි. කෙල්ටන්ගේ කෘතියේ හා එම්එම්ටීයේ සාරභූත තේමාව වන්නේ මෙය යි.
එම්එම්ටීය පවත්නා තත්ත්වයට නිවැරදි ආර්ථික විද්‍යාවක් සමගින් අභියෝග කරන බව හා “සෞඛ්‍යාරක්ෂනයට, අධ්‍යාපනයට හා ප්‍රකෘතිමත් යටිතල පහසුකම්වලට ආයෝජනය කිරීම සහිත අපට දරා ගත හැකි වෙනත් වර්ගයක ලෝකයක හැකියාව පවතින” බව අපට පෙන්නුම් කරමින් “නව දේශපාලනයක් හා නව ආර්ථික විද්‍යාවක් පරිකල්පනය කිරීමේ බලය අපට ලබා දෙන” බව කියා පාන කෙල්ටන්, මුල පටන් ම එම්එම්ටීයේ බලය කාව්‍යමය ලෙස විශාලනය කරයි. (ද ඩිෆිසිට් මිත්, 12-13 පිටු)
බිලියන ගනන් කම්කරුවන්ගේ ශ්‍රමයෙන් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේගයන්ගේ යෝධ වර්ධනය හේතුවෙන්, සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් තුල මානව අවශ්‍යතා ඉටු කිරීම පිනිස උපයෝගී කර ගනු ඇත්තා වූ ලෙස, එවැනි දේවල් ද්‍රව්‍යමය වසයෙන් කල හැකි බවට විවාදයක් නැත. එම්එම්ටීය විසින් ධනපති ආර්ථිකය සමහන් කල නො හැකි පන්ති බෙදීම් සහිත සමාජ පද්ධතියක් බව මුලුමනින් ම නො තකා හරිමින්, යන්ත්‍රයක් ලෙස සලකන අතර, ධනවාදය පදනම් වන සමාජ සබඳතා හේතුවෙන්, ඒවා ධනවාදය යටතේ ලඟා කර ගත නො හැක.
කෙල්ටන්ට අනුව, ධනවාදය විසින් නිර්මිත සමාජ ව්‍යාධීන්, වෛෂයික පරස්පර විරෝධයන්ගේ ප්‍රතිඵලය වෙනුවට වැරදි චින්තනයේ ප්‍රතිඵලය යි. “අප විසින් ම පටවා ගන්නා බාධාවන්” අත් හැර දමනු ලබන්නේ නම්, මානව අවශ්‍යතාවන්ට හා මහජන උවමනාකම්වලට ප්‍රමුඛත්වය දෙන ආර්ථික පිලිවෙත් ධනවාදය ඇතුලත ක්‍රියාත්මක කල හැකි බව ඇයගේ අදහස යි.
ආන්ඩුවේ වියදම්, නිවහනක වියදම සමග සමාන කර දැක ගනු ලබන ක්‍රමයෙන් මෙම බාධා තද්භව වන බව ඇය නඩත්තු කරගෙන යයි. සිය වියදම්වලට මුදල් සපයා ගැනීමට නිවහනක් මුදල් අත් කර ගත යුතු අතර එය එහි අයවැය තුලනය කර ගත යුතු ය. එහි අර්ථය වන්නේ, එය මුදල් භාවිතා කරන්නෙක් බව යි. අනෙක් අතට මුදල් නිකුත් කරන්නෙක් වන ආන්ඩුව, එවන් බාධාවන්ට යටත් නො වන බවට ඇය තර්ක කරයි.
නිවහනකට එහි වියදම්වලට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා ඩොලර් නිර්මානය කල නො හැකි නමුත්, ආන්ඩුවට එසේ කල හැකි ය. මෙහි අර්ථය වන්නේ, නිවහනකට අදාල වන පිරිවැය සීමාවන්, තමන්ගේ ම මුදල් නිකුත් කරන ස්වෛරී ආන්ඩුවකට අදාල නො වන බව යි. මහ බැංකුවෙන් හා වෙනත් බැංකු ගිනුමකට මුදල් මාරු කරන ෆෙඩරල් රිසර්ව් බැංකුවේ (ඇමරිකානු මහ බැංකුවේ) පරිඝනකයක බොත්තමක් සරල ව තද කිරීමෙන් මුදල් නිර්මානය කිරීම හෝ වඩ වඩා මුදල් අච්චු ගැසීම මගින්, ආන්ඩුවට සෑමවිට ම එහි පිරිවැයට අවශ්‍ය මුදල් සපයා ගත හැකි ය.
“එම්එම්ටීයේ හදවතෙහි පවතින්නේ, මුදල් භාවිත කරන්නෙක් හා මුදල් නිකුත් කරන්නෙක් අතර වෙනස” යයි ඇය ලියයි. (18 පිටුව)
එවන් වියදම් කිරීම්වලට සීමා නොමැති බව නො කියන එම්එම්ටී සඳහන් කරන්නේ, එම සීමාවන් මූල්‍යමය බාධාවන් විසින් නීර්නය නො කරන බව යි. සැබෑ ආර්ථිකයට පවතින සියලු සම්පත් මුලුමනින් උපයෝගී කර ගනු ලබන විට හා ඉල්ලුම තව දුර ඉහල යන විට පැන නගින මෙම සීමාවන්, උද්ධමනයට තුඩු දෙමින් ආර්ථිකයේ ධාරිතාව ආන්ඩුවේ වියදම් විසින් ඉක්මවන විට ඉන් ඇතිවන ප්‍රතිඵලය. එහෙත් ඒ වන තෙක්, විසඳනු ලැබිය හැකි දේශගුන වෙනස වැනි බොහෝ සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු පවා තිබේ.
පලමුව සඳහන් කල යුතු කරුන වන්නේ, මෙය හුදෙක් “ඇමරිකාව පලමුව” පමනක් නො වන “ඇමරිකාව පමනක්” ද වන න්‍යාය පත්‍රයක් බව යි.
ලෝකයේ ගෝලීය මුදල ලෙස ඩොලරය අත්විඳින භූමිකාව හේතුවෙන් වඩ වඩා ඩොලර් නිර්මානය කිරීමේ අසීමිත ධාරිතාවක්සේ පෙනෙන්නක් එක්සත් ජනපද භාන්ඩාගාරය විසින් භුක්ති විඳීනු ලබයි.
එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා කැනඩාව ඇතුලු තමන්ගේ ම මුදල් නිකුත් කරන අනෙකුත් රටවලට ද එය ම කල හැකි බව ප්‍රකාශ කරන කෙල්ටන්, පැනමාව, ටියුනීසියාව, ග්‍රීසිය, වෙනිසියුලාව හා තවත් බොහෝ මූල්‍ය ස්වෛරීත්වය අල්ප හෝ නොමැති රටවලට ද එම්එම්ටීය “අන්තර්දෘෂ්ටීන් සම්පාදනය කරන” බව සටහන් කරයි. (19 පිටුව)
ප්‍රාථමික විභාග කිරීමක් පවා මෙම සංකල්පයේ ව්‍යාජ භාවය ප්‍රදර්ශනය කරයි. අනෙක් රටවල මුදල් එක්සත් ජනපද ඩොලරයේ තත්ත්වය භුක්ති විඳින්නේ නැත. උදාහරනයක් ලෙස, ආජන්ටිනාව හෝ වෙනිසියුලාව වැනි රටවල් පසෙකින් තැබුව ද එක්සත් රාජධානිය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල්, මුදල් සරල ව අසීමිත ලෙස සම්පාදනය කොට සමාජ අවශ්‍යතා සඳහා ඒවා යොදා ගත හොත්, ලෝක වෙලඳපොලේ දී ඔවුන්ගේ මුදල්වල වටිනාකම බිඳ වැටී ඇතැයි ද උද්ධමනයට තුඩු දී, එක්සත් ජනපද ඩොලරය ආධිපත්‍යය දරන නය ආපසු ගෙවීමේ හැකියාවට වල කැපී ඇතැයි ද ඔවුන් ක්ෂනික ව දැක ගනු ඇත.
එක්සත් ජනපද ඩොලරයේ වරප්රසාදිත භූමිකාව නො තකා, මුදලේ ස්වභාවයෙන් ම පැනනගින නෛසර්ගික සීමාවන්, එක්සත් ජනපද ෆෙඩ් බැංකුව විසින් ඩොලර් නිර්මානය කිරීම මත ද පවතී.
ධනේශ්වර ආර්ථිකයේ පදනම වන භාන්ඩ නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ, පුද්ගලික සමාගම්, සංගත හා තනි පුද්ගලයන් විසිනි. එහෙත් ඒ අතර ම එය සමාජීය නිෂ්පාදනයක් ද වේ. අඛන්ඩ ව ක්‍රියාකාරී වීම සඳහා, සෑම සමාජයක් ම එයට පවතින සමාජීය ශ්‍රමය බෙදා ගනු ලබන්නේ කෙසේ ද එයට පවතින ශ්‍රම සම්පත් බෙදා හරිනු ලබන්නේ කෙසේ ද යන ප්‍රශ්න විසඳිය යුතු ව තිබේ.
සමාජවාදී සමාජයක දී මෙම කර්තව්‍යය ඉටු කරනු ලබන්නේ, සවිඥානික සැලසුමක් හා ප්රජාතන්ත්රවාදී සංවිධානයක් හරහා ය. ධනවාදී සමාජයේ දී එය ඉටු කරමින් තිබෙන්නේ වෙලඳපොල හරහා ය. මේ සඳහා සමාජයේ පැවැත්මට අවශ්‍ය විවිධ වර්ගවල ශ්‍රමය සමාන කරනු ලැබේ. ශ්‍රමය සමාජීය නමුත් පෞද්ගලික ව ක්රියාවේ යොදවන භාන්ඩ නිෂ්පාදනය කරන සමාජයක් තුල, මෙම බෙදා ගැනීම කරා ලඟා වන්නේ වටිනාකම් පද්ධතිය හරහා ය.
සෑම භාන්ඩයක ම වටිනාකම නීර්නය කරනු ලබන්නේ, එය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සාමාජීය ශ්‍රම ප්‍රමානයෙනි. එහෙත් මෙම වටිනාකම ස්වාධීන ද්‍රව්‍යමය රූපයක් අත් පත් කර ගත යුතු අතර, එම රූපය වන්නේ මුදල යි. මාක්ස් එය මෙසේ සටහන් කලේ ය: “මුදල වනාහි සාමාන්‍ය වස්තුවක රූපය ගන්නා ශ්‍රම කාලය හෝ සාමාන්‍ය ශ්‍රම කාලයේ විෂයීකරනය හෙවත් ශ්‍රම කාලය සාමාන්‍ය භාන්ඩයක් ලෙස සැලකීම යි.” (ගෲන්ඩ්රීස්, 168 පිටුව)
තනි පුද්ගල නිෂ්පාදකයන් අතර සැබෑ ලෙස පවතින වෛෂයික සමාජීය බැඳීමට ප්රකාශනය දෙනු ලබන්නේ මුදල හරහා ය. මිනිසුන් එකිනෙකා කෙරෙහි විශ්වාසය නො තබන නිසා, ඔවුන් මුදල යන දෙය කෙරෙහි විශ්වාස කරන්නේ යයි ආර්ථික විද්‍යාඥයන් පවසන බව මාක්ස් ලීවේ ය. “එහෙත් ඔවුන් දෙයක් කෙරෙහි විශ්වාස කරන්නේ ඇයි. පැහැදිලි ව ම ඒ දෙය යනු පුද්ගලයන් අතර පවතින විෂයීකෘත සබඳතාවක් වන නිසා ය; එය විෂයීකෘත හුවමාරු වටිනාකම නිසා වන අතර, හුවමාරු වටිනාකම යනු මිනිසුන්ගේ නිෂ්පාදන ක්රියාකාරීත්වයන් අතර සබඳතාවට වැඩි යමක් නො වේ.” (ගෲන්ඩ්රීස්, 160 පිටුව)
මතු සම්බන්ධයි
[මෙම ලිපිය ඔක්තෝබර් 23 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]