“කොරෝනා රෝහල සරනාගත කඳවුරක් වගෙයි”: කොරෝනා රෝගියෙකුගේ ඥාතියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියයි

අද පස්වරු 4.00 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,744 ක් විය. ඉන් 5863 ක් සක්‍රිය ආසාදිතයන් වන අතර, මරන සංඛ්‍යාව 23 කි. වසංගතයේ මෙම ව්‍යසනකාරී ව්‍යාප්තිය රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමේ ඝෘජු ප්‍රතිඵලයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෛද්‍ය විශේෂඥයන් දුන් මාර්ගෝපදේශයන් ආරම්භයේ සිටම නොතකා හල රාජපක්ෂ ආන්ඩුව, රට අගුලු දැමීම පවා සිදුකලේ පලමු ආසාදිතයා අනාවරනය වී සතී කීපයක් ගතවීමෙන් පසුවය. වසංගතය පාලනය කිරීමට අත්‍යවශ්‍යම වන, රෝග ව්‍යාප්තියේ පරිමාව සහ ස්වභාවය නිර්නය කෙරෙන මහා පරිමානයෙන් පීසීආර් පරීක්ෂන ක්‍රියාත්මක කිරීම ආන්ඩුව දිගටම ප්‍රතික්ෂේප කලේය.

ඔක්තෝබර් මාසයේ මුල වසංගතය ප්‍රචන්ඩ ලෙස පුපුරායන තෙක් සිදුකල පරීක්ෂන සංඛ්‍යාව සැලකූ විට එහි දෛනික සාමාන්‍යය 2000 ට අඩු අගයකි. ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පන ගන්වා ගැනීම සඳහා කම්කරුවන් වැඩට දැක්කීමට, වසංගත ව්‍යාප්තියේ සැබෑ පරිමාව වසන් කිරීමට ආන්ඩුවට අවශ්‍ය විය. පරීක්ෂන සීමා කිරීම යටින් පැවතියේ මෙම සාපරාධී අරමුනයි.

බ්‍රැන්ඩික්ස් කම්හලෙන් පුපුරා ගියේ දෙවන රැල්ලක් නොව, වසන් කොට තිබූ සහ ව්‍යාප්ත වෙමින් පැවති එම පලමු රැල්ලයි. මෙවන් පුපුරා යාමක් සිදුවුවහොත් පවත්නා රෝහල් ධාරිතාව කිසිසේත් ප්‍රමානවත් නොවන බැවින් ධාරිතාව හැකි ඉක්මනින් පුලුල් කල යුතු බවත්, පීසිආර් පරීක්ෂන වේගයෙන් ඉහල දැමිය යුතු බවත්, විශේෂඥයන් නිරන්තරව පෙන්වා දුන්නද, ආන්ඩුව එය මුලුමනින්ම නොතකා හරිමින්, අන් කිසිම රටකට කල නොහැකි වූ පරිදි වසංගතය පාලනය කල බවට පුරසාරම් දෙඩවීය.

පරීක්ෂන ප්‍රමානය ඉහල දැම්මේ, ඔක්තෝබර් මාසයේ වසංගතය පුපුරා යාමෙන් දින කීපයකට පසුව පමනි. ආසාදිතයන් සංඛ්‍යාව ක්ෂනිකව ඉහල ගොස් රෝහල් ධාරිතාව ඉක්මවීමත් සමග, 'රෝග ලක්ෂන නොපෙන්වන' රෝගීන් ලෙස වෙන්කරගන්නා ආසාදිතයන්, තාවකාලිකව අටවන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රැඳවීමට ආන්ඩුව පියවර ගත්තේය.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ, ඔක්තෝබර් 27 වන දා සිට දින ගනනක් ඇතුලත නව ප්‍රතිකාර මධ්‍යස්ථාන 33 ක් ස්ථාපනය කල බවයි. මෙම මධ්‍යස්ථානවල සැබෑ ස්වභාවය ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවන ලද පහත ලිපියෙන් මනාව පැහැදිලි වෙයි.

***

රෝහල් ධාරිතාව ඉක්මවා යමින් ඉහල යන කොවිඩ්-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආන්ඩුව විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටියි. එහි නවතම තත්වය නම් රෝග ලක්ෂන නොපෙන්වන ලේබලය යටතේ වෙන් කරගත් රෝගීන් 400 ක් දෙනා එකම ස්ථානයකට ගාල් කොට රඳවා තැබීමයි. මෙසේ සූදානම් කොට ඇති එක් ස්ථානයක් පිහිටා ඇත්තේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රදේශයේ පිහිටි වයඹ විද්‍යා පීඨයට අයත් බිම් කඩක ගොඩ නංවා ඇති තාවකාලික ගොඩනැගිලි 04 කය.

බිංගිරිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අභ්‍යන්තර දර්ශනයක්

ලැබී ඇති තොරතුරු අනුව මෙම ගොඩනැගිලි කඩිමුඩියේ තනා ඇත්තේ පසුගිය ඔක්තොම්බර් 30 වනදා රාත්‍රියේ එළිවන යාමයේ යුධ හමුදාවේ දායකත්වයෙනි. ඉන් පසු දින එනම් ඔක්තෝම්බර් 31 දින පීසීආර් පරීක්ෂනය පොසිටිව් වුනු, රෝග ලක්ෂන නොපෙන්වන ලෙස නම් කල, පිරිමි රෝගීන් 400 ක් මෙම ස්ථානයේ තනා ඇති තහඩු ෂීට් වලින් සකස් කරන ලද තාවකාලික ගොඩනැගිලිවලට ගෙනවිත් ඇති අතර, එක ගොඩනැගිල්ලක ඔවුන් 100 බැගින් රඳවා තිබේ.

මෙසේ කලබලයෙන් වැඩිවන රෝගී සංඛ්‍යාවට පිලියම් සෙවුවද, ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපයා දීම ඉතාමත් පහත් තත්වයක පවතී. මෙම 400 ක් වූ රෝගීන් සියලු දෙනාටම භාවිතය සඳහා සපයා ඇත්තේ වැසිකිලි 06 ක් වන අතර ස්නානය සඳහා ඇත්තේ තාවකාලිකව සකසන ලද ජල කරාම 08 කි. එසේම මුහුන සේදීමේ පහසුව සඳහා සපයා ඇත්තේ බේසම් 03 ක් පමනකි.

පිරිසිදු කරගැනීම පිනිස සපයාඇති ජලබේසම්

පලමු දිනයේ ඔවුනට ප්‍රාදේශීය ජල සැපයුමෙන් කිවුල් දිය සහිත ජලය පානයට සිදුව ඇති අතර රෝගීන් විසින් එම ජලය පානය අපහසු බව දැන්වූ විට රෝගීන් 100 දෙනෙකුට ලීටර 05 පානීය ජල බඳුන් 02 ක් පමනක් මුළු දිනය සඳහාම ලබාදී තිබේ. එසේම මාධ්‍ය මගින් සමබල ආහාර වේලක් ලබා ගැනීමට උපදෙස් ලබාදුන්නද රෝගී වූ ඔවුනට ලැබෙන ආහාර වේල් පිලිබඳව තත්වය ඉතාම අයහපත් බව කිව යුතුම වේ.

මෙම තොරතුරු සපයන මගේ ඥාතිපුත්‍රයාට අනුව, ඔහු ද ඇතුලත් බොහෝ රෝගීහු ඉමහත් මානසික පීඩාවන්ගෙන් පෙලෙති. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පහසුකම් වලින් ඌන සරනාගත කඳවුරක ස්වරූපයේ එකක් බව ඔවුන්ගේ අදහසයි.

තව දුරටත් ඔහුගේ අත්දැකීම අනුව මෙම රෝගීන් හට නින්ද සහ විවේකය ලබා ගැනීමට ඇති ගොඩනැගිලි වල තත්වය ඉතාමත් දුර්වල තත්වයක පවතී. වානේ තහඩු වලින් ආවරනය කර ඇති ගොඩනැගිලි වහල මතට දිවා කල තද අවු රශ්මිය වැටීම නිසා ගොඩනැගිල්ල තුල දැරිය නොහැකි තරම් දැඩි උනුසුමක් ඇති කරයි (විදුලි පංකා පැවතුනද ආවරනය කර ඇති හෙයින්). එහෙයින් බොහොමයක් රෝගීන් තම දිවා කල ගත කරනුයේ ගොඩනැගිල්ලෙන් පිටත එලිමහනෙහිය.

ජලසැපයුම් වල තත්වය

මෙවැනි දුෂ්කර තත්වයක පවත්වාගෙන යන මෙම “රෝගී කඳවුරෙහි” පරිපාලනය පිලිබඳ වගකීමද ගැටළු සහගත බව පැහැදිලි වන්නේ පවත්නා තත්වය පැමිනිලි කිරීමට යාමේදීය. එක අවස්ථාවක එය යුධ හමුදාවෙන් නඩත්තු කරන බව ත්, තවත් විටෙක කුරුනෑගල දිස්ත්‍රික්කයෙහි පිහිටියේ වුවත් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් හලාවත රෝහලේ අධීක්ෂනය යටතේ පාලනය වන බවත් ප්‍රකාශ කරයි. ඒ අනුව එහි පරිපාලන කටයුතු ද නිසි වගකීමකින් තොරව සිදු කෙරෙන බව පැහැදිලිය.

දන්නා සත්‍ය තොරතුරු අනුව ගෙනහැර දැක්විය හැක්කේ මෙම මධ්‍යස්ථානය පිලිබඳව වුවද, මෙවන් මධ්‍යස්ථාන තවත් කොතෙක් වේ දැයි කිසිවෙක් නොදනී.මේ ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවේ කලට වෙලාවට නිසි තීරන නොගැනීම, පෙර සූදානමක් නොමැති බව, වගකීමකින් තොර ක්‍රියා පිලිවෙත්, පෞද්ගලික දේශපාලන බලය අයතා භාවිතය හේතු කොට අසරන වූ රෝගී ජනතාව වෙනුවෙන් කිසිදු හඬක් මතු නොවන්නේ ක්‍රමානුකූලව සිදුකෙරෙන රාජ්‍ය මිලිටරීකරනය හේතුවෙන් බව මාගේ විශ්වාසයයි.

Loading