විශ්වවිද්‍යාල විවෘත ව පැවති කාලයේ අත්දුටු අනාරක්ෂිත සෞඛ්‍ය කොන්දේසි පිලිබඳව සිසුහු ලෝසවෙඅට කතා කරති

ඔක්තෝබර් 10 දින ජයවර්ධනපුර සහ කැලනිය විශ්ව විද්‍යාලයන්හි සිසුවියන් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව හෙලි විය. මීට අමතරව අයිසීබීටී පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි සිසුවෙකු ද එම වෛරසයෙන් ආසාදිත වී ඇති බව ඔක්තෝබර් 08 වනදා වාර්තා විය. ඔහු 04  වනදාඑහි දේශනයකට ද සහභාගී වී ඇත.

වැදගත්ම කරුන වනුයේ, ජයවර්ධනපුර සිසුවිය හඳුනාගත්තේ ඇය විසින්ම ඉල්ලා සිදු කරගත් පීසීආර් පරීක්ෂනයක් මගින් වීමයි. බ්‍රැක්ඩික්ස් කම්හ‌ලෙන් වසංගතය පුපුරා යාමත් සමග, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එහි පාලනාධිකාරයෙන්, අහඹු පීසීආර් පරීක්ෂන ආරම්භ කරන ලෙස ඉල්ලා ඇත. නමුත්, මුදල් නොමැති බව පවසමින් පාලනාධිකාරිය එය ප්‍රතික්ෂේප කර ඇත. 

ජයවර්ධනපුර ආසාදිත සිසුවිය රෝග ලක්ෂන නොපෙන්වුවද, ඇගේ බෝඩිම තුල නවාතැන්ගෙන සිටි සිසුවියක් 'බ්‍රැන්ඩික්ස් පොකුරේ' දෙවන ආශ්‍රිතයෙකු වීම නිසා සැක පහල වීමත් සමග පරීක්ෂනය සිදු කර ඇත. 

තවත් විශ්ව විද්‍යාල කිහිපයක කොරෝනා ආසාදිතයින්ගේ පලමු ආශ්‍රිතයින් සිටි බව මාධ්‍ය සඳහන් කලේය. මේ හේතුවෙන් සිසුන් සියයකට ආසන්න පිරිසකට නිරෝධායනයට ලක් වීමට සිදු විය. ඇතැම් නේවාසිකාගාර සිසුන්ට පිටවීමට නොහැකි වන සේ වසා දැමිනි. මෙම තතු පෙන්නුම් කලේ විශ්ව විද්‍යාලයන් වසංගතය පැතිරීමේ මධ්‍යස්ථාන බවට පත්වීමට තිබුනු ඉහල හැකියාවයි.

මෙවන් අන්තරාදායක කොන්දේසි වලට විශ්වවිද්‍යාල ඇද දැමීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව මුලුමනින්ම වගකිව යුතුය. වසංගතය මධ්‍යයේ අගෝස්තු මාසයේදී “සමාජයෙන් කොවිඩ් තුරන් වී” ඇති බවට ව්‍යාජ ප්‍රකාශයක් සිදු කරමින්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග විශ්ව විද්‍යාල විවෘත කරන බව සඳහන් කලේය. මේ වන විට වාර්තා වෙමින් පවතින වෛරසයේ වේගවත් පැතිරීම අමරතුංගගේ මෙම ප්‍රකාශය පල්ල යවා ඇත.

පසුගිය කාලය පුරා විශ්වවිද්‍යාල විවෘත කර තිබුනේ වෛරසය පැතිරීමට හිතකර කොන්දේසි යටතේ ය. 'බ්‍රැන්ඩික්ස් පොකුර' සමග වෛරසයේ සමාජ සම්ප්‍රේෂනයේ අනතුර මතුව තිබියදීත් දින කිහිපයක් යන තෙක් විශ්ව විද්‍යාල නොවැසුනි. ඉන් පසුව ද විශ්ව විද්‍යාල නොවැසුනු අතර සිසුන්ගේ විරෝධය මධ්‍යයේ ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන බව ශිෂ්‍යයෝ සඳහන් කලහ.    

ආසාදිතයෙකු හමුවූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වසා දැමීම පවා ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය. විප්‍රකොස සභාපති සඳහන් කලේ “විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සෞඛ්‍යාරක්‍ෂිතව කරගෙන යෑමට” කටයුතු කරන බවයි. මෙම සතියේදී “ඔන්ලයින් ක්‍රමයට විභාග පැවැත්වීමට” ද අවධානය යොමුවී ඇති බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කලේය.

ආන්ඩුව “සෞඛ්‍යාරක්ෂිතව” කටයුතු කරගෙන යා යුතු බවට කරන ප්‍රෝඩාව දැනටමත් හෙලිවී ඇත. පසුගිය මාස කිහිපයම සාක්ෂි දෑරුවේ ආන්ඩුවේ “සෞඛ්‍යාරක්ෂිත පියවරයන්” හුදු නාමික ඒවා බව සහ යතාර්ථයේදී සිසුන්ට මුහුන දීමට සිදුවන්නේ අනාරක්ෂිත තත්වයකට බවයි. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කිහිපදෙනෙකුම ගතවූ මාස කිහිපය තුල අත්දැකීම් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

කැලනිය විශ්ව විද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෙකු සඳහන් කලේ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමේ මොනම තත්වයක් වත් විශ්ව විද්‍යාල තුල නොතිබුනු බවයි. “කොරෝනා වසංගතයක් නැති ගානට කැම්පස් එක ඇරලා දාලා තිබුනෙ. වසංගතයට කලිනුයි පස්සෙයි කියලා වෙනසක් තිබ්බෙ නෑ” යි ශිෂ්‍යයා පැවසුවේය.

“දේශන ශාලා ඇතුලෙ. නේවාසිකාගාර ඇතුලෙත් එහෙමයි. ඒවා විෂබීජහරනය කෙරුනෙ නැහැ. එකම මෙට්ටේ හතර පස් දෙනා නිදාගන්නවා පහසුකම් නැති හින්දා. කැන්ටිම් වල ලමයින්ට එකට වාඩි වෙලා කන්න වෙලා තිබුනේ” යනුවෙන් ඔහු තම අත්දැකීම් විස්තර කලේය.

'මුව වැසුම පැලඳීමෙන් සහ අත් සේදීමෙන් පමනක් මෙම වසංගතයෙන් බේරීමට නොහැකි' බවත්, සමාජ දුරස්ථභාවය අනිවාර්ය බවත් ඔහු සඳහන් කලේය. “නමුත් මේ කප්පාදුවේ ප්‍රතිඵලයක් හැටියට ඒක පවත්වගන්න පුලුවන් කොන්දේසි විශ්ව විද්‍යාල ඇතුලෙ නෑ.” 

මෙම තතු තුල, ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රම ක්‍රියාවට දැමිය යුතුබව යෝජනා කල ඔහු, සියලුම සිසුන්ට ඊට අවශ්‍ය පහසුකම් නොමිලේ ලබාදීම අත්‍යාවශ්‍ය බව අවධාරනය කලේය. 

විශ්ව විද්‍යාල සිසුන් නියෝජනය කරනවා යැයි පවසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) මෙම ගැටලු සම්බන්ධයෙන් නිහඬ බව පවසමින් එම ශිෂ්‍යයා සිය විරුද්ධත්වය පල කලේය. “‌සියලු සිසුන්ට නොමිලේ ඔන්ලයින් පහසුකම් සඳහා කරන ඉල්ලීම්, ආන්ඩුවට බලපෑම් දැමීමේ ඔවුන්ගේ වැඩ වලට නොගැලපෙන හින්ද” අවිශිබම සහ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවන් ඉල්ලීම් ශිෂ්‍යයන් තුලින් මතු වීම වලක්වාගෙන සිටින බව තමන්ට හැඟෙන බව ද ඔහු පැවසුවේය.

ආන්ඩුව වසංගතයට මුවාවී තම මර්දනකාරී වැඩපිලිවෙල සූක්ෂ්මව ඉදිරියට දමමින් සිටින බවද මේ සියල්ලට එකම විසඳුම “සමාජවාදය සඳහා අරගලය” බව ශිෂ්‍යයා අවධාරනය කලේය.

එම විශ්වවිද්‍යාලයෙහිම විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකු සඳහන් කලේ පසුගිය කාලයේ වසංගතය හේතුවෙන් අත පසු වූ ඉගෙනුම් කටයුතු පියවා ගැනීමට ඔවුන්ගේ වැඩ කාලය වැඩි කර ඇති බවයි. “ඇතැම් දිනවලදි උදේ වරුවම එකම ස්ථානයේ රැඳී සිටීමට සිදුවූ” බව ඔහු පැවසුවේය. විවේක කාලය පැය භාගයකට සීමා කෙරුනු බවත්, එය විශාල තද බදයකට හේතු වී ඇති බවත් පවසමින් ඔහු කීවේ මේවා වෛරසයට හිතකර කොන්දේසි නිර්මානය කර තිබූ බවයි.

සිසුන් 14,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේද පැවතුනේ මීට නොඅඩු අනාරක්ෂිත තත්වයකි. ප්‍රධාන ගේට්ටු අසල තිබුනේ අත් සෝදන බේසම් හයකට ආසන්න සීමිත ප්‍රමානයකි. සමහර ජල කරාම ක්‍රියාත්මක කිරීමට පවා අපහසු බවට සහ ඇතැම් විට ඒවායේ සබන් කැට පවා නොතිබුනු බවට සිසුහු චෝදනා කරති.

විශ්වවිද්‍යාලයෙහි ආපන ශාලා අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් පුටු වල හිඟයක් පවතී. මේ නිසා ආපන ශාලා තුල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ මොනම අවස්ථාවක්වත් නොමැත. දේශන ශාලා, විද්‍යාගාර වල තත්වයද මේ හා සමාන ය. විද්‍යාගාර වල පවතින උපකරන හිඟය හේතුවෙන් ඇතැම් විට එකම උපකරනය පවා සිසුන් කිහිප දෙනෙකුට භාවිතා කිරීමට සිදුවේ.

වසංගතය මධ්‍යයේ සිසුන්ගේ පැමිනීම අනිවාර්ය වන විභාග පැවැත්වීමෙන් අනාරක්ෂිත බව වැඩි කෙරුනු බව ශිෂ්‍යයෙක් සඳහන් කලේය. සිය අත්දැකීම් ආශ්‍රයෙන් ඔහු පැවසුවේ “මිනුවන්ගොඩ පොකුර හමුවී තිබියදී පවා මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කල් නොදමා” පැවැත්වූ බවයි.

විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් වෛරසය පැතිරීමේ අවදානමක් තිබියදීත් ඒවා ආරම්භ කලේ, “මේ ක්‍රමය ඇතුලෙ ඉතින් මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා ධනපති ක්‍රමය රැකගැනීම ආන්ඩුවට වටින නිසා” යැයි ඔහු පැවසීය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට වෛරසය ආසාදනය වීමෙන් මෙය තහවුරු වූ බව ඔහු තවදුරටත් සඳහන් කලේය.

මෙම කොන්දේසි තුල විශ්වවිද්‍යාල අනාරක්ෂිතව ඇරඹීම සම්බන්ධයෙන් අවිශිබම ද වගකිව යුතුය. ඔවුහු ආන්ඩුවේ පිලිවෙතට කරබදු වෙමින් 'විශ්ව විද්‍යාල වහාම ආරම්භ කල යුතු' බව කීවෝය. ආසාදිතයින් හමුවීමත් සමග අවිශිබම, විප්‍රකොසට ලිපියක් යවමින් සඳහන් කලේ විශ්ව විද්‍යාල සිසුන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විප්‍රකොස 'මැදිහත්ව වගකීමෙන් කටයුතු කල යුතු' බවයි.

සිසුන් මෙම මිථ්‍යාවන්ට හසු නොවිය යුතුය. විප්‍රකොස හි වගකීම වනුයේ, 'වෛරසය සමග ජීවත්වීමේ' ආන්ඩුවේ  මිනීමරු වැඩකටයුතු හැකිතාක් රුදුරු ආකාරයෙන් ක්‍රියාවට දැමීම මිස සිසුන් ආරක්ෂා කිරීම නොවේ. දැනටමත් සිදුවී ඇති ව්‍යසනය මධ්‍යයේ ඔවුන් විශ්ව විද්‍යාල නොවසා තබන්නේ එබැවිනි.

වසංගතය දිවයින පුරා පැතිරෙද්දී ආන්ඩුව කම්කරුවන් වැඩට ගෙන්වීමට, රෝගයේ “සමාජ සම්‍ප්‍රේෂනයක් නොමැති” බව දිගින් දිගටම ප්‍රකාශ කරයි. ඒ යටතේ වසංගතය පාලනය කර ඇති බව මවා පෙන්වීමට විශ්වවිද්‍යාල වැනි ආයතන විවෘත කර තැබීමට ආන්ඩුව මාන බලමින් සිටී. එය වඩාත් ඉහල මට්ටමකින් ප්‍රකාශයට පත් වූයේ ප්‍රාදේශීය ඇඳිරි නීති මධ්‍යයේ පවා උසස් පෙල විභාගය පැවැත්වීමෙනි. 

ආන්ඩුවේ මෙම රුදුරු නොතැකීමට එරෙහිව සිසුන්ට සිය ජීවිත මෙන්ම, අධ්‍යාපන කප්පාදුවට එරෙහිව තම අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් තුලින් පමනි. ඒ සඳහා සටන් වදින්නේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයයි.

Loading