කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරූ බව වාර්තා වෙයි

“ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  ආරංචි මාර්ග” වලට අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ඊසීටී) කලමනාකරනය, බලධාරීන් විසින්, “ඉන්දියානු රජයේ අනුමැතිය ලද අදානි සමූහයට” භාර දුන් බව නොවැම්බර් 1 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේය. මෙම වාර්තාව කවරෙකු විසින් හෝ අභියෝගයට ලක්කර නොමැත.

නමුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවිය කියා සිටින්නේ, ඊසීටී ය, එහි මෙහෙයුම් සඳහා 2020 ඔක්තෝබර් 27 වන දින උදෑසන නිරාවරනය කරන ලද බව යි. ඊසීටී යේ වැඩ කටයුතු නතර කර තිබුන ද, ඔක්තෝබර් 27 දින සිට වරාය අධිකාරියේ කම්කරුවන් යොදවා වැඩ කටයුතු  ආරම්භ කර ඇති බව කම්කරුවෝ පවසති. ඔවුනට අනුව දැනටමත් නැව් පැමිනීම ආරම්භ කර ඇත.

වරාය අධිකාරයට අයත්  කම්කරුවන් දහස් ගනනක සහභාගිත්වයෙන් පැවති වැඩවර්ජන සහ විරෝධතා හේතුවෙන්, ඊසීටී යේ පුද්ගලීකරනය කල්පසුවූ නමුත්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ,  2019 මැයි මාසයේදී  ඊසීටී යට අදාලව ශ්‍රී ලංකා, ඉන්දීය සහ ජපාන රජයන් අතර“සහයෝගිතා ගිවිසුමක්” අත්සන් කෙරුනි.

ඩොලර් මිලියන 500 ක ගනුදෙනුවක් යටතේ, ජපානය සමග සහයෝගයෙන් “කොලඹ වරාය සංවර්ධනය කිරීම” යටතේ, නවදිල්ලිය සැලසුම් කර තිබූ ඊසීටී සංවර්ධන ව්‍යාපෘතිය “කඩිනමින් ක්‍රියාත්මක කිරීම” සඳහා ඉදිරියට ගිය බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.    

සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව එහි සියයට 49 ක කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ විශාලතම වරාය හා සැපයුම් සමාගම වන අදානි සමූහයට හා එහි ලංකාවේ සහකරුවකු වන ජෝන් කීල්ස් සමාගම දරන අතර, ඉතිරි සියයට 51 පමනක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වෙයි. “වර්තමාන විධිවිධානය මඟින් පර්යන්තයෙහි පූර්න කලමනාකරනය ඉන්දියානු හවුල්කරුගේ අතේ ඇති බවට සහතික වනු ඇතැ” යි වාර්තාව තවදුරටත් පවසයි. 

ශ්‍රී ලකාවේ වරාය පුද්ගලීකරනය අනුප්‍රාප්තික ආන්ඩු යටතේ දශක දෙකකට අධික කාලයක් පුරා සිදුවී තිබේ. 1998 වසරේදී කොලඹ වරායේ රැජින පාලම “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්” නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”සමාගමට පැවරීම මේ අතර ප්‍රධාන වේ. 

මේ පිලිවෙත් නිර්නය වූයේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ විධානයන්ගෙනි. ගැඹුරුතම ආර්ථික අර්බුදයක ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් විධානය කෙරී ඇත්තේ, රාජ්‍ය ව්‍යවසායන් හැකි ඉක්මනින් පුද්ගලීකරනය කරන ලෙසයි. කොලඹ වරායේ බහාලු ප්‍රති-ප්‍රවාහන කටයුතු වලින් සියයට 60කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව සම්බන්ධ ගනුදෙනු වේ. එබැවින් එය තම පාලනය තුල තබාගැනීම නවදිල්ලියේ අවශ්‍යතාවකි.

එසේ වූවද නැගෙනහිර පර්යන්තය බදු ගැනීමට පලමුවම ඉන්දියාව හා ජපානය ඉදිරිපත් වන්නේ 2017,වසරේය. එසේ ඉදිරිපත් වන්නේ  හුදෙක් ඉන් ලාභ ගරා ගැනීමේ අවශ්‍යතාවෙන් පමනක් නොව, එය ඔබාමා තන්ත්‍රයේ “ආසියාවට හැරීම” ප්‍රතිපත්තියෙන් ඇරඹි, ට්‍රම්ප් පාලනය යටතේ කලාපීය යුද්ධයක මුව විටටම ගෙනවිත් ඇති, චීනය ආර්ථික හා මිලිටරිම වසයෙන් කොටු කිරීමේ, එක්සත් ජන පදයේ යුදවාදී පිලිවෙතේ තවත් පියවරක්  ලෙසය.

එක්සත් ජනපද රාජ‍්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඔක්තෝබර් 27-28 දෙදින ශ්‍රී ලංකාවට කල සංචාරය, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ව්‍යායාමය සමග ඍජු ව පෙලගැසෙන ලෙස, කොලඹ ආන්ඩුවට කල අනතුරු ඇඟවීමක් ය. ඒ හා සමගම වරායේ නැ‌ගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.

කෝවිඩ් 19 වසංගතයෙන් උග්‍ර කෙරුන ලෝක ධනවාදී අර්බුදය මධ්‍යයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහි ප්‍රකෝප කිරීම් මේ වන විට තීව්‍රකර තිබේ. එහි කොටසක් ලෙස, එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්ව ගොඩනගා ඇති, ආසියා-පැසිෆික් චතුෂ් (ක්වාඩ්) සන්ධානයේ වැඩකටයුතු වේගවත් කෙරි පවතී.

මෙම තතු යටතේ අත්සන් කල ගිවිසුම වහා ක්‍රියාත්මක කරන ලෙසට ඉන්දියාවේ බලපෑම් දිගින් දිගටම පැවතිනි. “වර්තමාන තත්වය තුල, සමහර විට ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා වඩාත් ගැඹුරු කල හැකි  හොඳම ක්‍රමය වන්නේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ගැඹුරු වරාය ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමයි” යනුවෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආසියාන්-ඉන්දියා මධ්‍යස්ථානය, ඉන්දියානු ලෝක කටයුතු කවුන්සිලය, ආසියානු සංසදය සහ පාත්ෆයින්ඩර් පදනම යන චින්තන තටාකයන් විසින් සංවිධානය කරන ලද වෙබ්නාර් සාකච්චාවකදී පැවසූ බව, ඔක්තෝබර් 29 දින ඉන්දියානු වෙබ් අඩවියක්  වන "ද ප්‍රින්ට්" වාර්තා කලේය.

අනුප්‍රාප්තික ශ්‍රීලනිප, එජාප ආන්ඩු විසින් කොලඹ වරාය සතු සම්පත් විශාල ප්‍රමානයක් පුද්ගලීකරනය කිරීම හේතුවෙන් වරාය අධිකාරිය යටතේ සේවය කල කම්කරුවන් දහස් ගනනකට රැකියා අහිමි වී ඇත. 1970 දශකයේ වරාය අධිකාරිය යටතේ 20,000 ක් පමන සේවකයන් සිටි නමුත් අද එම සංඛ්‍යාව 10,000 ක් පමන වනතෙක් පහල වැටී ඇත. ස්ථිර සේවකයන් වෙනුවට, වරප්‍රසාද අහිමි කරන ලද, මිනිස් බල කම්කරුවන් සොච්චම් වැටුපකට සේවයේ යෙදවීම සෑම ආන්ඩුවකම පිලිවෙත බවට පත්ව ඇත. 

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වු කම්කරුවන්ට අනුව යල් පැන යමින් ඇති ජය බහාලු පර්යන්තයෙන් පමනක් තවදුරටත් අධිකාරිය නඩත්තු කිරීමට නොහැකි වනු ඇත. නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය, අධිකාරියේ දහස් ගනනක රැකියා අහිමිවන "මහා විනාශයක්” බව කම්කරුවෝ පැවසූහ.

ඊසීටී ය පුද්ගලීකරනයට එරෙහිව, පසුගිය ජූලි මාසයේදී, දහස් ගනනකගේ සහභාගිත්වයෙන් පැවති වැඩවර්ජනය, “කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව” මගින් නින්දිත ලෙස පාවා දුන්නේය. මෙම පවාදීම මගින් ඉන්දියානු අදානි සමූහයට පර්යන්තය භාරදීම සඳහා අවස්ථාව රාජපක්ෂ ආන්ඩුවට ලබාදුන්නේය.

මෙම පාවාදීම මගින් පුද්ගලීකරනයට පමනක් නොව, ඇමරිකාවේ හා ඉන්දියාවේ චීනයට එරෙහි යුද මූලෝපායික කටයුතු සඳහා ලංකාව ව ඒකාග්‍රකර ගැනීමට ද පිටුබලය සපයා දී ඇත.

නොවැම්බර් 03 දින පැවති සමිති නායකයින්ගේ සාකච්චාවකදී, සන්ඩේ ටයිම්ස්  වාර්තාව ගැන සොයා බලා නඩු දැමීමට තීන්දු කර ඇති බව වරායේ නාවික අංශයේ සේවකයෙකු පැවසුවේ ය. මෙය කම්කරුවන්ගේ ස්වාධීන මැදිහත්වීම වලකන තවත් උගුලකි. 

Loading