ඉදිරිදර්ශන

ට්‍රම්ප් පරාජය පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම පශ්චාත්-මැතිවරන අර්බුදයට වේදිකාව සකසයි

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්, එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට තේරී පත්වීමට ප්‍රමානවත් ප්‍රාන්ත සංඛ්‍යාවක් දිනාගැනීමේ අද්දර සිටින බව පෙනේ. බයිඩන් මිචිගන් හා විස්කොන්සින් ප්‍රාන්ත ජයග්‍රහනය කල දිනයේ ඔහු ජයග්‍රහනය කර තිබුනු බව මාධ්‍ය ද්වාර නිවේදනය කල අතර, දැනට ඔහු ඉදිරියෙන් සිටින නෙවාඩා හා ඇරිසෝනා ප්‍රාන්ත ජයග්‍රහනය කිරීමේ හැකියාව පවතියි. ඔහු පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා හෝ ජෝර්ජියා ප්‍රාන්ත ජයග්‍රහනය නො කල ද මෙමගින් ඔහු ව ජයග්‍රහනයට අවශ්‍ය මැතිවරන විද්‍යාල ඡන්ද 270 ප්‍රවේශයට ඉහලින් පිහිටුවනු ඇත. එම ප්‍රාන්ත තුන තුල දැනට ට්‍රම්ප් ඉදිරියෙන් සිටිය ද තැපෑලෙන් එවූ ඡන්ද ගනන් කරද්දී ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමානය පහල යමින් තිබේ.

එහෙත් බයිඩන් වරක් තමන්ගේ “නපුරු ම සිහිනය” විස්තර කල දෙය වන, ට්‍රම්ප් ඡන්දයෙන් පරාජය පිලි නො ගනු ඇතැයි යන්න, සැබෑවටම දිගහැරෙමින් පවතිනවා විය හැකිය.

බදාදා (නොවැම්බර් 4) උදෑසන අත්‍යසාමාන්‍ය කතාවක් කල ට්‍රම්ප්, තමන් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කලේ ය. “අවංක ව අපි මේ මැතිවරනය ජයග්‍රහනය කලා” යි ඔහු කීවේ ය. “ඒ නිසා අපි එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරනයට යනවා. සියලු ඡන්දය දීම් නැවැත්වීමට අපට අවශ්‍යයි.” “ඡන්දය දීම” අවසන් කිරීමක් යනුවෙන් ට්‍රම්ප් අදහස් කරන්නේ, නීත්‍යානුකූල ව භාවිතා කරනු ලැබ ඇති තැපැල් ඡන්ද අඛන්ඩ ව ගනන් කිරීම නැවැත්වීම යි.

තවමත් තරඟ වදිමින් සිටින ප්‍රාන්ත මාලාවක ජයග්‍රහනය ප්‍රකාශ කරමින් ට්‍රම්ප් ඊයේ මෙය දෙගුන තෙගුන කලේ ය. “මැතිවරන විද්‍යාල ඡන්ද සම්බන්ධ ව ගත් විට, නිදහස් පෙන්සිල්වේනියාව (නෛතික නිරීක්ෂකයින්ට මෙහි අවසර නැත) ජෝර්ජියා ප්‍රාන්තය හා උතුරු කැරොලිනා ප්‍රාන්තය යන සෑම එකක් තුල ම ට්‍රම්ප් විශාල ලෙස ඉදිරියෙන් සිටින බව අපි ප්‍රකාශ කර තිබෙනවා” යි ඔහු ලිවීය. “ඊට අතිරේක ව, ඡන්ද විශාල ප්‍රමානයක් රහසේ පුරවන ලද බව පලල් ලෙස වාර්තා වී තිබේ නම්, ඇත්ත වසයෙන් ම, අපි මිචිගන් ප්‍රාන්තයේ ජයග්‍රහනය ද මෙහි සිට ප්‍රකාශ කරනවා.”

ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය දැනට මත් ජෝර්ජියා, මිචිගන් හා පෙන්සිල්වේනියා ප්‍රාන්තවල ඡන්ද ගනන් කිරීම නතර කරන ලෙස නඩු පවරා ඇති අතර, සති ගනනක් ගත වන කටයුත්තක් වන විස්කොන්සින් ප්‍රාන්තයේ ඡන්ද නැවත ගනන් කරන ලෙස ඉල්ලා සිටී. නෛතික අභියෝගයන් ශ්‍රේෂ්ඨාධිකරනය තෙක් යනු ඇතැයි ඔහු අපේක්ෂා කරන්නේ, මීට යන්තම් සති කිහිපයකට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ ගැඹුරු විරෝධයකින් තොර ව තල්ලු කරගත්, ඔහු ඉතා ම මෑතක දී නම් කල විනිසුරුවරිය වන ඇමී කොනේ බැරෙට් එහි සිටිද්දී ය. ඉතා ලඟ තරඟයක් තිබුනු ප්‍රතිඵල පිලිබඳ ව ගත් කල, මිචිගන් වැනි ප්‍රාන්තවල රිපබ්ලිකානු ප්‍රන්ත ව්‍යවස්ථාදාක නියෝජිතයන්ට, ඔවුන්ගේ ම ට්‍රම්ප්ට ගැති මැතිවරන විද්‍යාල නියෝජිතයන් නම් කල හැකිය.

මැතිවරනයේ ප්‍රතිඵලවලට අභියෝග කිරීමට ට්‍රම්ප් දරන ප්‍රයත්නයන්, අන්ත-දක්ෂිනාංශික බලවේගයන් බලමුලුගැන්වීම සමග අත්වැල් බැඳ ගනිමින් තිබේ. බදාදා රාත්‍රියේ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සියගනනක් -ඔවුන්ගෙන් සමහරු අත දිග තුවක්කු තිබුනි- ඇරිසෝනාවේ ඡන්ද ගනන් කරන ස්ථානයකට බලයෙන් කඩා වැදීමට උත්සාහ කලහ.

බ්‍රහස්පතින්දා අපර භාගයේ මිචිගන් මැතිවරන කාර්යාලවල සංවිධානය කරන ලද “ගනන් කිරීම නවතනු” යන විරෝධතා වනාහි සැලසුම් කරමින් තිබෙන්නේ කුමක් ද යන්න පිලිබඳ කුඩා ඉඟියක් පමනි. ඇරිසෝනා, ජෝර්ජියා, පෙන්සිල්වේනියා හා මිචිගන් ප්‍රාන්ත තුල ඡන්ද ගනන් කිරීම නැවැත්වීම ඉලක්ක කරගත් තව තවත් පෙලපාලි අද දින පැවැත්වීමට සැලසුම් කරනු ලැබේ.

නෛතික අභියෝග කිරීම්, දක්ෂිනාංශික විරෝධතා පෙලපාලි, තර්ජන හා සැබෑ ප්‍රචන්ඩත්වය යොදාගැනීම්වල සංයෝගයක් හරහා සිය පරාජය කෙටිකාලීනව වලක්වාගැනීමට ඔහු සමත් වුනත් නැතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහු අනුග්‍රහය දෙමින් සිටින ව්‍යවස්ථා-විරෝධී ෆැසිස්ට්වාදී ව්‍යාපාරය දේශපාලන දර්ශන පථයෙන් අතුරුදන් නො වනු ඇත.

පසුගිය ජුනි මාසයේ ඔහු කුමන්ත්‍රනයකට උත්සාහ දැරූ තැන් පටන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි යලිත් අනතුරු අඟවා ඇති පරිදි, ට්‍රම්ප්ගේ දේශපාලන මූලෝපාය කිසිදාක මැතිවරන ගනන් බැලීම්වලට පමනක් සීමා වී නැත. පසුගිය මාස තුන තුල ඔහු උද්ඝෝෂනය කරමින් සිට ඇත්තේ, හුදෙක් ජනාධිපතිවරයා වෙනුවට ඒකාධිපතියාගේ භූමිකාව සඳහා යි.

අවසන් ඡන්ද ප්‍රමානය ඔහුට එරෙහි ව යතත්, ට්‍රම්ප් හා ඔහු වටා ගොඩනැගෙන ව්‍යාපාරය, ඇමරිකානු දේශපාලනය තුල ප්‍රධාන භූමිකාවක් දිගට ම ඉටු කරනු ඇත. ජයග්‍රහනය ප්‍රකාශයට පත් කිරීමේ දී හා ඡන්ද ගනන් කිරීම අභියෝගයට ලක් කිරීමේ දී ට්‍රම්ප්ගේ අභිප්‍රායය වන්නේ “හුදෙක් ප්‍රතිඵලය පූර්ව විනිශ්චය කිරීම පමනක් නො ව, බයිඩන් නම් ජනාධිපතිවරයා (ඔහුව එසේ තෝරාගැනෙන්නේ නම්) නීති-විරෝධී ලෙස කැලලට බඳුන් කිරීම ද ය. ඔහු සාර්ථක වන්නටද ඉඩ ඇතැ” යි බදාදා නිරීක්ෂනශීලී කතුවැකියක් පල කල බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් (එෆ්ටී) පුවත්පත ලීවේ ය.

එෆ්ටී මෙසේ ද ලිවී ය: “වටිනා නිශ්චිතතාවන් කුඩා ප්‍රමානයක් ඇති දිනක, සහතික වසයෙන් ම කිව හැකි දෙය වන්නේ ඇමරිකාව ට්‍රම්ප් මහතා සමග ගනුදෙනුව අහවර කර නොමැති (සමහර විට එහි අනෙක් පැත්ත සිදු විය හැකි) බවයි. එක් ධුර කාලයක් අවසන නික්මයාමක් ලෙස ඔහුව පොදුජන ජීවිතයෙන් අතුගා දමනු ඇතැයි පෙනී ගිය මැතිවරනයක්, ඔහුට කල් පවත්නා හා කේන්ද්‍රීය භූමිකාවක් ලබා දී ඇත. ඔහුට දිගට ම ජනාධිපති ධුරයේ රැඳී සිටිය නොහැකි වුව ද රිපබ්ලිකානු විරෝධයේ හඬ බවට ඔහු පත් වනු ඇත.”

බයිඩන්ගේ ජයගාහී ඡන්ද පරතරයේ පටු භාවය මැතිවරනය කෙරෙහි ට්‍රම්ප් දක්වන ආක්‍රමනශීලී ප්‍රතිචාරයට රුකුල් දෙනු ලැබී ඇතුවාක් මෙන්ම හා අවසන් සමස්ත ඡන්ද ප්‍රමානයන් හිටපු උප ජනාධිපතිට අවශ්‍ය මැතිවරන විද්‍යාල ඡන්ද 270 ලබාදේද යන්න උපකල්පනයක් බවට පත්කර ඇත.

එක්සත් ජනපදයේ දැන් පවතින ව්‍යසනකාරී කොන්දේසිවල තතු යටතේ, අවසන් රේඛාව හරහා ගාටමින් යන්නට යන්තම් බයිඩන් සමත් වීම මත් පෙන්නුම් කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය විසින් ගෙන ගිය උද්ඝෝෂනය පිලිබඳ ප්‍රබල චෝදනා පත්‍රයකි. බයිඩන්ගේ ම ජයග්‍රහනයේ මායිම (නැවතත් වර්තමාන රැල්ල දිගට ම පවතී යයි උපකල්පනය කරමින්) කඩදාසියක් තරම් තුනී වනවා පමනක් නො ව, ජාතික පරිමාන ව ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිඵල ඛේදනීය ය. සෙනෙට් සභා මැතිවරනයේදී කිසිදු ප්‍රගතියක් අත් කර ගැනීමට අසමත් වූ ඔවුහු, කොංග්‍රස් නියෝජිත මැතිවරනයේ ආසන සැබෑවටම පරාජය වූහ.

ට්‍රම්ප් ආන්ඩුව මිනීමරු “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මරන 250,000ට ආසන්න ගනනක් සිදු ව තිබිය දී හා මහා අවපාතයෙන් මෙපිට නො දුටු මට්ටම්වල විරැකියා අනුපාතයක් පවතිද්දී පවා, බයිඩන්ගේ උද්ඝෝෂනය කොතරම් නිෂ්ඵල වී ද යත්, ඡන්ද මිලියන 68කට අධික ප්‍රමානයක් ගොනු කර ගැනීමට ට්‍රම්ප්ට හැකි විය. යමෙකුට මෙයින් එලඹිය හැකි එක ම නිගමනය වන්නේ, වසංගතය නො තිබුනි නම්, සමහර විට පූර්න ජයග්‍රහනයක් සහිත ව ට්‍රම්ප් පහසුවෙන් ම ජයග්‍රහනය කර තිබෙනු ඇත යන්න යි.

වෝල් වීදියේ, ඔත්තු සේවා ඒජන්සීන්ගේ හා මිලිටරියේ පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය, කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීමට ඓන්ද්‍රීය ව ම අසමත් විය. වසංගතය ගත් කල, ජාතික පරිමාන ව මුඛ ආවරන පැලඳීම අනිවාර්ය කිරීම හැරුනු විට, වෛරසය නැවැත්වීමට හෝ මහා පරිමාන විරැකියාව හා දුගී බව සමග ගනු දෙනු කිරීමට හෝ ඩිමොක්‍රටික් පක්ෂය කිසිවක් යෝජනා නො කලේ ය. දැනට වසංගතයේ කේන්ද්‍රස්ථානයක් වන විස්කොන්සින් වැනි ප්‍රාන්තවල දී, 2016 දී ක්ලින්ටන් ලබා ගත් ඡන්ද ප්‍රමානයට සාපේක්ෂ ව බයිඩන් ඡන්ද ඉහල දමා ගැනීමට සමත් වූයේ යන්තමින් පමනි.

ට්‍රම්ප්ගේ වාචාලත්වය හා කම්කරු පන්තිය නියෝජනය කරනවා යයි ඔහු කල කියාපෑම්වල ප්‍රෝඩාකාරී ස්වභාවය හෙලිදරව් කිරීමට උත්සාහ කරනු වෙනුවට, නිර්දය ලෙස ඇමරිකානු සමාජයේ කේන්ද්‍රීය හා එය (ඇමරිකානු සමාජය) අර්ථදක්වන කරුන ලෙස වර්ගය ඉදිරියට දැමීම ඩිමොකටික් පක්ෂය විසින් දෙගුන කලේ ය. අනුභූතික ව ව්‍යාජ හා දේශපාලනික ව ප්‍රතිගාමී ආඛ්‍යානයක් වන දුෂ්ට “සුදු කම්කරු පන්තිය” ට්‍රම්ප්ගේ ස්වාභාවික හා අන්ධ ලෙස ඔහුට කැප වූ ඡන්ද පදනම ලෙස ඉදිරියට දැමීමට එය හැකි සියල්ල කලේ ය. 

තව ද මිචිගන් ආන්ඩුකාරවරිය වන විට්මර් ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂයේ නිලධාරීන්ට එරෙහි ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයට ට්‍රම්ප් දුන් සමීප සහයෝගය හා එය විවෘත ව දිරිමත් කිරීම, තමන්ගේ උද්ඝෝෂනයේ අවසන් සති කිහිපයේ දී ප්‍රශ්නයක් කර නො ගැනීමට බයිඩන් වගබලා ගත්තේය.

බලයේ දිගට ම රැඳී සිටීමට හා ෆැසිස්ට්වාදී ප්‍රචන්ඩත්වය ඇවිලවීමට ට්‍රම්ප් ඔහුට හැකි සියල්ල කරමින් සිටිය දී, බයිඩන් ප්‍රතිචාර දක්වමින් සිටින්නේ විෂකාරකයන් හා නිද්‍රාජනකයන් සමගිනි. “පවත්නා තත්වයේ සැර බාලකිරීමට කඨෝර පූච්චානම් උද්ඝෝෂනය පසෙකින් තැබීම” අවශ්‍ය බව බදාදා අපර භාගයේ දැක්වූ අදහස්වල දී බයිඩන් කීවේ ය. “ප්‍රගතියක් අත් කර ගැනීම සඳහා, අපේ විරුද්ධවාදීන් සතුරන් ලෙස සැලකීම නතර කල යුතු” යි ඔහු තව දුරටත් සඳහන් කලේ ය.

බයිඩන්ගේ අදහස් පැහැදිලි කරන්නේ, එලඹෙන සති කිහිපයේ දී ඩිමොක්‍රටිකයන් දේශපාලන ගැටුමට ප්‍රවිෂ්ට වනු ඇත්තේ කෙසේ ද යන්න යි. ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනවලට එරෙහි මහජන විරෝධය ඇහිරීමට ඔවුන් සියලු දේ කරනු ඇත. ට්‍රම්ප්ට එරෙහි ව ඉස්මතු වන විරෝධය, වෝල් වීදියේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට තර්ජනය කරන මට්ටමකට ගමන්කිරීම වැලැක්වීමට, ඩිමොක්‍රටිකයන්ට අවශ්‍ය ය.

ජනවාරියේ බයිඩන් බලයට පත්වුව හොත්, ඩිමොක්‍රටිකයෝ කප්පාදුවේ හා මිලිටරිවාදයේ දක්ෂිනාංශික පරිපාලනයක් බලගන්වනු ඇත. රිපබ්ලිකන් පක්ෂයේ කොටස් සමග දේශපාලන සන්ධානයකට එලඹීමට වහ වහා ම උත්සාහ දරනු ඇති ඔවුහු, අන්ත-දක්ෂිනාංශයට අනුගත වනු ඇත. ට්‍රම්ප් වේවා වෙනත් අයෙකු වේවා කවුරුන් නායකත්වය දුන්න ද අන්ත-දක්ෂිනාංශික ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක  වැඩි දුර වර්ධනයට අවශ්‍ය හොඳ ම කොන්දේසි බයිඩන් පරිපාලනයක් විසින් නිර්මානය කරනු ඇත.

මෙම තත්ත්වය තුල, දේශපාලනික ආකල්පයන්ගෙන් වඩාත් ම අන්තරායකාරී දෙය වන්නේ උදාසීනත්වය යි. දේශපාලන තත්ත්වය “සාමාන්‍යය” කරා යලි එලඹෙනු ඇතැයි විශ්වාස කිරීම, “වෘකයා ද බැටලුවා සමග එකට වාසය කරනු ඇති අතර දිවියා ද කුඩා එකා (තරුන එලුවා) සමග එකට වැතිරී සිටිනු ඇති” ය යන බයිබලයේ එන සිහිනය තරම් ම අයථාර්ථවත් ය. 

අර්බුදය විසඳී තිබෙනවා වෙනුවට මැතිවරනය හා එහි ප්‍රතිඵලය අනතුරු ඇඟවීමකි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ එහි වේදනාබර මරනය තුලයි. ඇඟ කිලි පොලා යන මට්ටමේ අසමානතාවේ පදනම මත වර්ධනය වන මාරාන්තික සමාජීය තුවාල ආශ්චර්යජනක ලෙස සුව නො වනු ඇත.

කම්කරු පන්තිය මුහුන දෙන අන්තරාය වන්නේ, ෆැසිස්ට්වාදී කන්ඩායම් සමග ඒකාබද්ධව, “සමාජ පර්යායේ” ආරක්ෂකයන් ලෙස පෙනී සිටින මිලිටරිය හා පොලීසිය ඇතුලත්, ඇමරිකානු ඒකාධිපතිවාදයේ රූපාකාරයකි.

මෙම සැබෑ දේශපාලන තර්ජනය පරාජය කරනු ලැබිය හැකි නමුත්, ඒ සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් හා එහි දේශපාලන ඒජන්තයන්ගෙන් මුලුමනින්ම ස්වාධීන, කම්කරු පන්තියේ මහජන සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂය විසින් 2020 මැතිවරන උද්ඝෝෂනය පුරා වර්ධනය කරන ලද හා පෙරට ගන්නා ලද දේශපාලන විශ්ලේෂනය හා ක්‍රියා මාර්ගය නිරවද්‍ය බව සනාථ වී පවතියි. පසුගිය වසරේ සිද්ධිවලින් ගලා එවන අත්‍යවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගෙන, සමජවාදී සමානතා පක්ෂයට බැඳී එය ගොඩ නැගීමේ තීන්දුව ගන්නා ලෙස, අපේ උද්ඝෝෂනයට සහය පල කරන්නන්ගෙන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අපි ඉල්ලමු.

මෙම ලිපිය නොවැම්බර් 5 දින ඉංග්‍රීසියෙන් පලවින.

Loading