වසංගතය හා 2020 මැතිවරනය තුල සසප දේශපාලන වාර්තාව

“සිවිල් යුද මැතිවරනය ආසන්නයේ” නමින් නොවැම්බර් 1 වන දින පැවත්වුනු සමාජවාදී සමානතා පක්ෂයේ 2020 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ අවසාන රැස්වීමේ දී මෙම වාර්තාව ඉදිරිපත් කෙරුනි.

2020 ජනාධිපතිවරනය පැවැත්වෙමින් තිබෙන්නේ 1914 දී පලමු ලෝක යුද්ධය හා 1939 දෙවන ලෝක යුද්ධ පිපිරීම සමග පමනක් සැසඳිය හැකි වසංගතයක් මගින් ප්‍රේරනය කෙරුනු ගෝලීය අර්බුදයක් මධ්‍යයේ  ය.

අප රැස්වෙන විට, පවතින නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ලොව පුරා මියගිය සංඛ්‍යාව 1,196,000ට ලඟා වී ඇත. වැඩිම මරන සංඛ්‍යාවක් සිදුව ඇත්තේ එක්සත් ජනපදයේ වන අතර, ඊයේ වන විට එහි ජීවිත 236,072 ක් අහිමි වී තිබේ. බ්‍රසීලයේ පුද්ගලයින් 159,884 ක් මියගොස් තිබේ. ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 122,111, මෙක්සිකෝවේ 91,743, බ්‍රිතාන්‍යයේ 46,791, ඉතාලියේ 38,618, ප්‍රන්සයේ 36,826 හා ජර්මනියේ 10,494 කි. මෙම නිල සංඛ්‍යාලේඛන මුලු මරන සංඛ්‍යාව අවතක්සේරු කරයි.

කොවිඩ් -19 වෛරසය දැන් පාලනයකින් තොර ව පැතිර ඇත. පසුගිය සති දෙක අතරතුර,  ඊට පෙර සති දෙක තුල මරනවලට වඩා ස්පාඤ්ඤයේ සියයට 24.5කින්, පෝලන්තයේ සියයට 129කින්, බ්‍රිතාන්‍යයේ සියයට 135කින්, ප්‍රන්සයේ සියයට 200කින්, ඉතාලියේ සියයට 323.7කින් හා ජර්මනියේ සියයට 2,286 කින් ඉහල ගොස් තිබේ.

වෛරසය පැතිරීම කිසි විටෙකත් පාලනය කර නො ගැනුනු, එක්සත් ජනපදයේ, වසංගතය සෑම ප්‍රාන්තයක ම පාහේ ඉහල යමින් පවතී. වෛරසය පැතිරවීමට ට්‍රම්ප් පරිපාලනය හිතාමතා ගත් උත්සාහයන්, පාසල් නැවත විවෘත කිරීමේ පුලුල් ප්‍රතිපත්තිය, අනාරක්ෂිත කොන්දේසි තිබිය දී ත් තම රැකියාවේ නියැලීමට කම්කරුවන්ට බල කිරීම, ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛතාව දීම සහ වසර 40 ක ප්‍රතිගාමී සමාජ ප්‍රතිපත්ති මගින් ඇති කෙරෙනු  ජනගහනයේ සංස්කෘතික මට්ටමේ දැවැන්ත පහත වැටීම, යන කරුනු වල  අන්තර්ඡේදනය අඛන්ඩ ව්‍යසනයට හේතු වී තිබේ.

අඟහරුවාදා මැතිවරනයේ ප්‍රතිඵලය කුමක් වුවත්, ඉදිරි සති හා මාසවල දී මරන සංඛ්‍යාව බිහිසුනු අනුපාතයකින් ඉහල යනු ඇත. ඇන්තනි ෆෝවුසි සිය නවතම ප්‍රකාශයේ දී, එක්සත් ජනපදය ව්‍යසනයකට ලක් ව ඇති බව නිර්ලජ්ජිත ව පැවසී ය: “අප වේදනාත්මක කායකට යමින් සිටිමු. එය හොඳ තත්වයක් නො වේ. සරත් හා ශීත ඍතු වලට යන විට කරුනු අවාසනාවන්ත ලෙස පෙලගැසෙන්නේ , මිනිසුන් නිවාස ඇතුලේ  රංචු ගැසීම සමගිනි. ඔබට ඊට වඩා නරක තැනක සිටිය  නො හැක. ”

පසුගිය මාස අටේ සිට නවය දක්වා කාලය තුල කිසියම් දෙයක් පැහැදිලි වී ඇත්නම්, එය වසංගතය තනිකර ම වෛද්‍යමය වශයෙන් පරිකල්පනය කිරීම මුලුමනින් ම ප්‍රමානවත් නො වන බව යි. එය සියල්ලට ම වඩා දේශපාලන අර්බුදයකි. ඇත්ත වශයෙන් ම, මිනිසුන් ඝාතනය කරන වෛරසයක් තිබේ. වසංගතයට දක්වන ප්‍රතිචාරය, අසමත්කම, නැත්නම් වඩා නිවරැදි ලෙස ජීවිත බේරා ගනු ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කෙරී ඇත්තේ ධනේශ්වර පන්තියේ මූල්‍ය උත්සුකතා මගිනි. වසංගතයට ඵලදායී ප්‍රතිචාරයක් දැක්වීම අවහිර කල , සමාජ ආර්ථික උත්සුකතා පරීක්ෂා කිරීමකින් බැහැර ව වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ කෙරෙන ඕනෑම සාකච්ඡාවක් නිෂ්ඵල ය.

වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීම හුදෙක් නූගත් හෝ අපරාධකාරී දේශපාලන නායකයින් කිහිප දෙනෙකුගේ නරක ප්‍රතිපත්තිවල ඵලයක් නො වේ. වසංගතය ලොව පුරා පැතිරෙමින් පවතන බව, බටහිර යුරෝපයේ දියුනු ධනවාදී රටවල මරන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහල යන බව, වැඩිම මරන සංඛ්‍යාවක් වාර්තා වන්නේ ධනවත්ම හා බලවත්ම ධනවාදී-අධිරාජ්‍යවාදී රට වන එක්සත් ජනපදය තුල බව යන කාරන සමස්ත ලෝක ධනවාදී පද්ධතියට ම අධි චෝදනා එල්ල කරයි.

වසංගතයේ බලපෑම පුරෝකථනය කල නො හැකි වූ බවට කෙරෙන ප්‍රකාශ විනිවිද පෙනෙන බොරුවකි. විද්‍යාඥයන් වසර ගනනාවක් තිස්සේ සවිස්තරාත්මක අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සිටී. එහෙත් අනෙක් සෑම ප්‍රධාන සමාජ හා සමාජීය ගැටලුවක් මෙන් ම ආන්ඩුවල ප්‍රතිචාරය තීරනය කෙරී ඇත්තේ පාලක ප්‍රභූන්ගේ මූල්‍ය උත්සුකතා මගිනි.

මහා ඓතිහාසික අර්බුදයක්, හා  එම විශාලත්වයේ වසංගතයක්, සියලු පක්ෂවල ඉදිරිදර්ශන හා ක්‍රියාමාර්ග හෙලි කරන අතර පරීක්ෂාවට ලක් කරයි. මා දැනටමත් සඳහන් කර ඇති මිනිස් ජීවිතවල හානිය සියලු ධනේශ්වර ආන්ඩු සහ පාලක පන්තියේ පක්ෂවල වැඩපිලිවෙල හා ප්‍රතිපත්ති විනාශකාරී ලෙස හෙලිදරව් කරයි.

එහෙත් මෙය සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයේ අවසාන ප්‍රසිද්ධ රැලිය  වන බැවින් මෙම ඓතිහාසික අර්බුදයට අපගේ පක්ෂයේ ප්‍රතිචාරය සමාලෝචනය කිරීමට සුදුසු කාලයකි. සසප මැන බලා ඇත්තේ කෙසේ ද?

සසප ජනාධිපතිවරන උද්ඝෝෂනයේ පලමු ප්‍රසිද්ධ රැලිය, යන්තම් මාස අටකට පෙර, පෙබරවාරි 24වැනි දින, මිචිගන් ප්‍රාන්තයේ ඈන් ආබර් හි දී පවත්වන ලදී. එදින මුලු ගෝලීය මරන සංඛ්‍යාව 2,699ක් විය. එදින එක්සත් ජනපදයේ වාර්තා වූ කිසිදු මරනයක් නො වී ය. නමුත්  සමාජවාදී සමානතා පක්ෂය මේ වන විටත් වසංගතය පැතිර යාමෙන් ඇති විය හැකි අන්තරාය ගැන අනතුරු අඟවා තිබුනි. සසප ජනාධිපති අපේක්ෂක ලෙස ජෝශප් කිෂෝර් සහෝදරයා හඳුන්වා දෙමින් හා පක්ෂය වෙනුවෙන් කතා කරමින් මම මෙසේ කීවෙමි. 

ජාතික ගැටලු, සාරය වශයෙන්, සම්බන්ධීකෘත ගෝලීය විසඳුම් අවශ්‍ය වන්නා වූ ලෝක ගැටලු වේ. අධිරාජ්‍යවාදී බලවත්හු ඔවුන්ගේ සාපරාධී භූදේශපාලනික අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා උමතු මිලිටරි ශක්තිමත් කිරීමක නිරත ව සිටිති. චීනය සහ රුසියාව ද තමන්ගේ හමුදා බලකායන් ගොඩනඟමින් සිටිති.

එහෙත් ජාතික රාජ්‍යයන් වෙලඳපොලවල් හා භූමි භාග සම්බන්ධයෙන් සටන් කිරීමට සූදානම් වන විට, කොරෝනා වෛරසය දේශසීමා ගැන නො සලකමින් ලොව පුරා ව්‍යාප්ත වේ. විදේශ ගමන් බලපත්‍රයක් නැති ව හා වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට කරදර නො වී ගමන් කරන මෙම වෛරසය, එහි විභව වින්දිතයින්ගේ ජාතිකත්වය, ජනවාර්ගිකත්වය, වාර්ගික පසුබිම හෝ ආගම කෙරෙහි අතිශයින්ම උදාසීන ය.

මාර්තු 6 වන දින සමාජවාදී සමානතා පක්ෂය “කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට කල යුත්තේ කුමක් ද” නමින් ප්‍රකාශයක් නිකුත් කලේ ය. එදින ලොව පුරා කොවිඩ්-19 මරන සංඛ්‍යාව 3,493 කි. එක්සත් ජනපදයේ වාර්තාගත වූ මරන සංඛ්‍යාව 15ක් විය. ලෝසවෙඅ මෙසේ ප්‍රකාශ කලේ ය:

කොරෝනා වෛරස් වසංගතය ලොව පුරා රටවල් දුසිම් ගනනක් පුරා දිගට ම පැතිරී යන්නේ ශතවර්ෂයක් තුල මතු වූ දරුනුතම බෝවන රෝගයක පිපිරීම තුල මිලියන ගනනකගේ ජීවිතවලට තර්ජනයක් කරමිනි.

ධවල මන්දිරය රෝගයේ බරපතලකම සාපරාධී ලෙස බැහැර කිරීම ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපදයේ රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතී. ආන්ඩුවේ සෑම මට්ටමක ම ප්‍රතිචාරය නොසැලකිලිමත් හා අකාර්යක්ෂම වී ඇත්තේ,ලෝකයේ ධනවත්ම ධනේශ්වර  රට තුල සැලසුම් සහ සූදානම පිලිබඳ පූර්න ඌනතාවක් හෙලි කරමිනි. 

ජනගහනයේ සෞඛ්‍යය කෙරෙහි ට්‍රම්ප් පරිපාලනය දක්වන උදාසීනත්වය, පුරාන ඊජිප්තුවේ පාරාවෝ රජවරුන් වහලුන්ට දැක්වූ ආකල්පයට වඩා හොඳ නැතිවාක් මෙන් ම සමහර විට ඊටත් වඩා නරකය. මිනිස් ජීවිත අහිමිවීමට වඩා කොටස් වටිනාකම් පහත වැටීම ගැන මාධ්‍ය වැඩි කාලයක් වැලපෙමින් ගත කර ඇත.

මෙම සමාජ ව්‍යසනය වැලැක්විය යුතු ය. වෛරසය පැතිරීම නැවැත්වීමට සහ රෝගයෙන් ආසාදනය වූ සියලු දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ආන්ඩු හදිසි පියවර ගත යුතු යැයි  කම්කරු පන්තියේ සියලු ම කොටස්, තරුනයින් හා සිසුන් ඉල්ලා සිටිය යුතු ය. මේ සඳහා සමාජ සම්පත් විශාල වශයෙන් නැවත වෙන් කිරීම අවශ්‍ය වේ.

ප්‍රතිචාරයට මග පෙන්විය යුතු මූලධර්මය වන්නේ සමාජයේ අවශ්‍යතා ලාභයේ අභිලාෂයන් අභිබවා යා යුතු බව යි. කොටස් වටිනාකම් සහ ලාභ පිලිබඳ ධනවාදී ගනනය කිරීම්වලට  රෝගයට එරෙහිව සටන් කිරීම සීමා කිරීම, අවතක්සේරු කිරීම හෝ වැලැක්වීමට ඉඩ නො දිය යුතු ය.

මාර්තු 13 වන දින ලොව පුරා කොවිඩ්-19 මරන සංඛ්‍යාව 5,493 ක් විය. එක්සත් ජනපදයේ මරන 48 ක් වාර්තා වී තිබුනි. ලෝසඅවේ 'ධනවාදය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී' යන මාතෘකාව යටතේ ලිපියක් පල කරන ලදී. එය මෙසේ සඳහන් කලේ ය:

“වසංගතය පැතිරී යාම හා එහි ප්‍රතිවිපාක තේරුම් ගත හැක්කේ පසුගිය දශක හතර තුල ගෝලීය ධනවාදයේ වර්ධනයේ සන්දර්භය තුල පමනි. මෙම දශක හතර මගින් හෙලිදරව් කර ඇත්තේ, සමාජ අවශ්‍යතාවන් පිලිබඳ සියලු සලකාබැලීම් ලාභය හා විශාල පෞද්ගලික ධනයට යටත් කෙරෙන, නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය මත පදනම් වූ පද්ධතියක සමාජීය ප්‍රතිගාමී ස්වභාවය යි. ධනේශ්වර කතිපයාධිකාරයේ ආදර්ශ පාඨය වන්නේ: “අපේ බිලියන ගනන් ධන සමුච්චයනයට මිලියන ගනනකගේ මරනය අවශ්‍ය නම්, එසේ වුනා වේ”යන්න යි.”

මාර්තු 17 වන දින ලොව පුරා කොවිඩ්-19 මරන සංඛ්‍යාව 8,046 දක්වා ඉහල ගොස් තිබුනි. එක්සත් ජනපදයේ පුද්ගලයන් 121 දෙනෙකු මියගොස් තිබුනි. සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුව “කම්කරු පන්තිය වෙනුවෙන් ක්‍රියාකාරී වැඩපිලිවෙලක් ” නිකුත් කලේ ය. මෙම ප්‍රකාශනය ධනේශ්වර ආන්ඩු විසින් වෛරසය පැතිරීම නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගෝලීය ව ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනයක් සපයන ලදී. ජාතික කමිටුව මෙසේ ප්‍රකාශ කලේ ය:

හදිසි පියවරයන්ට හරස් ව පුද්ගලික දේපොල පිහිටන තාක්, එය අතුගා දමනු ලැබිය යුතු ය. ආන්ඩුව විසින් ඇප තබන සියලු කර්මාන්ත, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහජන උපයෝගීතාවන් බවට පරිවර්තනය කොට අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් නිෂ්පාදනය කිරීම පිනිස යොමු කල යුතු ය.

යුද්ධයක් පුපුරා ගොස් තිබුනේ නම්, මරනයේ උපකරන නිෂ්පාදනය කිරීම සඳහා පාලක ප්‍රභූන් ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කරනු ඇත. දැන් කාරනය වන්නේ ජීවිතයේ උපකරන නිෂ්පාදනය කිරීම යි.

පන්ති දෙකක සමහන් කල නො හැකි අවශ්‍යතා එකිනෙකාට එරෙහි ව පිහිටයි. ධනපතියන් සඳහා එය වනාහි, ඔවුන්ගේ ලාබ අවශ්‍යතා සුරක්ෂිත කරගැනීමේ සහ ඔවුන්ගේ දේපොල හා ධනය අත නො තබා තබාගැනීම තහවුරු කරගැනීම පිලිබඳ ප්‍රශ්නයකි. ඔවුන්ගේ අවශ්‍යතාවන්ට බාධාකාරී වන කිසිදු පියවරක් ගනු නො ලැබේ. කම්කරු පන්තිය උත්සුක වන්නේ, පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාවෙන් නිෂ්පන්න වන පලල් මානව අවශ්‍යතාවන් ගැන ය.

අප මෙම ඉල්ලීම් ඉස්මතු කරන්නේ, කම්කරුවන් බලමුලුගන්වා, ඔවුන්ගේ පන්ති විඥානය ඉහල දමා, ජාත්‍යන්තර පන්ති සහෝදරත්වයේ අවශ්‍යතාව පිලිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කොට ඔවුන්ගේ දේශපාලන ආත්ම විශ්වාසය ඉහල දැමීමට යි. කිසිදු ධනපති ආන්ඩුවක් වසංගතය පරාජය කරතියි විශ්වාස නො කරන අපි, ඔවුන් මෙම ඉල්ලීම්වලට සම්පූර්නයෙන් ප්‍රතිරෝධය දක්වනු ඇතැයි අපේක්ෂා කරමු. ජයග්‍රහනය කල හැක්කේ හෝ නො හැක්කේ කුමක් දැයි තීන්දු වනු ඇත්තේ අරගලයේ දී ය.

මාර්තු මාසයේ අවසාන සතිය අතරතුර, 2008-09 ඇපදීම විශාල ලෙස ඉක්මවා ගිය ගලවා ගැනීමේ මෙහෙයුමක දී වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනනක් පොම්ප කර කොටස් වටිනාකම් ඉහල නැංවීමට කොන්ග්‍රසය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කලේ ය. ඇපදීමේ විධිවිධානවලට එකඟ වී කෙයාස් පනත සම්මත වූ පසු, ආන්ඩුව හා ධනේශ්වර පක්ෂ දෙක වෛරසය පැතිරීම නැවැත්වීමේ උත්සාහයන් අතහැර දැමූහ. ජනගහනයෙන් විශාල පිරිසකට ආසාදනය දිරිගැන්වමින්, “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය. මෙම මාරාන්තික ක්‍රියාවලිය සඳහා සංඥාව සපයනු ලැබුවේ නිව් යෝක් ටයිම්ස් හි ප්‍රධාන තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන් විසිනි. ඔහු ස්වීඩන් රජය විසින් ස්ථාපිත කරන ලද අමානුෂික ප්‍රතිපත්ති උද්‍යෝගයෙන් ප්‍රකාශ කලේ ය.

මාර්තු අග සිට ඇමරිකානු ජීවිත 230,000 ක් කොවිඩ්-19ට ගොදුරු වී තිබුනි. මාර්තු අග සිට මුලු ගෝලීය ජීවිත හානි මිලියනයට වඩා වැඩි විය.

මැතිවරන උද්ඝෝෂනය පුරා ම සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිපත්ති පදනම් කෙරී  ඇත්තේ ගෝලීය ධනවාදී අර්බුදය, ප්‍රධාන සමාජ පන්තිවල ගැටුම්කාරී උත්සුකතා හා ජාත්‍යන්තර අර්බුදයේ තර්කනය පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් මත ය. අපගේ මැතිවරන ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වන අරගලය, කම්කරු පාලනය සඳහා අරගලය සහ එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා මඟ පෙන්වන මූලධර්ම  සමග සංගතව ඉදිරිපත් කෙරී ඇත. ඊනියා “මැතිවරන යථාර්ථය” පිලිබඳ කෙටිකාලීන තත්කාර්යවාදී හා ධාරනාවාදී ගනනය කිරීම් මගින් තීරනය කෙරුනු විශේෂ “මැතිවරන වැඩපිලිවෙලක්” සසපට නොමැත. සසප මැතිවරන වර්ෂයකත් විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් ලෙස පවතී.

ට්‍රම්ප් හා බියිඩෙන් හොඳ හා නරක බලවේග එලිපිට එකිනෙකට එරෙහිව නැගී සිටින, දැවන්ත ගැටුමක නියලෙතැ යි සෑම පැත්තකින් ම ප්‍රකාශ කෙරෙමින් තිබෙන අවස්ථාවක, මෙම සාරභූත කාරනය අවධාරනය කල යුතු ය. ඇමරිකානු කතිපයාධිකාරයේ කොටස් දෙකක් අතර ගැටුම කිසිදා එවැනි අනුස්මරනීය අර්ථයෙන් නිරූපනය කෙරී නැත. ඔහු ධවල මන්දිරයට නැගීමට බොහෝ කලකට පෙර, ට්‍රම්ප්ගේ අර්ධ අපරාධකාරී ව්‍යාපාර යෝජනා ක්‍රම සඳහා අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ හා විදේශයන්හි බැංකු ගනනාවක් මුදල් සපයා ඇති බව, හා  ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මහා සංගත බදු ක්ෂේමභූමියෙන් පැමිනි, දශක ගනනාවක් තිස්සේ සෙනෙට් සභිකයෙකු වූ , ජෝසප් බිඩෙන් සමාජීය වශයෙන් ප්‍රතිගාමී හා මර්දනකාරී  නීති ගනනාවක කතුවරයා බව කෙනෙකුට අමතක විය හැකි ය. 

යුක්ති සහගත ලෙස ට්‍රම්පට කොවිඩ්-19  ආසාදනය වූ විට, ඔහුට ඉක්මන් සුවය ඉල්ලා සිටින කතුවැකියකින් ප්‍රතිචාර දැක්වූ නිව් යෝක් ටයිම්ස් පුවත් පත, සමාජවාදීන් බියිඩෙන්ට “පසුතැවීමකින් හො පැකිලීමකින් තොරව සහය දැක්විය යුත්තේ ඇයි” යන්න මත දේශන පැවැත්වීමට කල්පනා කරයි.

සමාජවාදී සමානතා පක්ෂය, පන්ති සහයෝගීතාව සඳහා, ස්වාධීන පන්ති ස්ථාවරයක් අත්හැරීම සඳහා කරන මෙම නරුම ආයාචනා අවඥාවෙන් ප්‍රතික්ෂේප කරයි.

සමාජවාදී සමානතා පක්ෂය ට්‍රම්ප් නියෝජනය කරන අන්තරාය අවතක්සේරු කරනවා  නො වේ. මුලුමනින් ම එහි ප්‍රතිවිරුද්ධය යි: ට්‍රම්ප් ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ කරන බවට සසප දිගින් දිගටම අනතුරු අඟවා තිබේ. ට්‍රම්ප් යනු හුදෙක් උමතු හා කුරිරු මැරයෙකු නො ව ධනවාදයේ අර්බුදය හා ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිඵලයක් බව ද අපි පැහැදිලි කර ඇත්තෙමු.

කම්කරු පන්තිය දේශපාලනික ව ඩිමොක්‍රටික් පක්ෂයට බැඳී ඇති තාක් කල් ට්‍රම්ප්ට සහ ඇමරිකානු ෆැසිස්ට්වාදයේ මතුවීමට එරෙහි අරගලය වර්ධනය කල නො හැක.

සසපට නොවැම්බර් 3 සඳහා පමනක් නො ව, මැතිවරනයෙන් පසු සියලු දින සඳහා ප්‍රතිපත්තියක් තිබේ. සහෝදර ජෝ කිෂෝර් හා නොරිස්සා සැන්ටා කෘස් සහ අනෙකුත් කථිකයින් අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති වඩාත් සවිස්තරාත්මකව විස්තර කරනු ඇත. ඔවුන් දේශපාලන අර්බුදයේ විවිධ පැති විමර්ශනය කරනු ඇත. නමුත් ෆැසිස්ට් තන්ත්‍රයක් නිර්මානය කිරීමට ට්‍රම්ප් ගන්නා උත්සාහයන්ට ඇති එක ම ඵලදායී ප්‍රතිචාරය වන්නේ   කම්කරු පන්තියේ ස්වාධීන සමාජ හා දේශපාලන බලමුලු ගැන්වීම මත පදනම් වන්නා වූ එකක් වන බවත්, එමෙන් ම එම බලමුලු ගැන්වීම ආරම්භ කල යුත්තේ මැතිවරන ප්‍රතිඵල අහෝසි කිරීමට ට්‍රම්ප් හා ඔහුගේ දිරිගැන්වීම සමඟ වැඩ කරන ෆැසිස්ට් කල්ලි විසින් ගනු ලබන  ඕනෑ ම උත්සාහයකට එරෙහි ව මහජන ප්‍රතිරෝධය සූදානම් කිරීම බවත් ඔවුන් සියල්ලන් ම අවධාරනය කරනු ඇත. 

නොවැම්බර් 3වැනිදායින් පසු “සාමාන්‍ය” තත්වය නැවත නො පැමිනෙනු ඇත. මෙම මැතිවරනය වටා ඇති දැඩි ආතතිය ඇමරිකානු සමාජයේ පුපුරන සුලු තත්වයේ  ප්‍රකාශනයකි. සමාජ අසමානතාවෙන් පැලී, යුද්ධය කරා තල්ලු වෙන ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදය සමග නො පෑහේ. එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදය නො නැසී පැවතීමට නම්, එය සම්පූර්නයෙන් ම නව, එනම් සමාජවාදී පදනම් මත ප්‍රතිනිර්මානය කල යුතු ය.

අද කථිකයින්ට සවන් දීමෙන් පසු, මෙම වෙබිනාර් රැලියට සහභාගී වන සියලු දෙනා සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමට තීරනය කරනු ඇතැ යි අප බලාපොරොත්තු වන්නේ එබැවිනි.

අපි ප්‍රාතිහාර කරුවන් නො වෙමු. අපි පොරොන්දු නො දෙන අතර ක්ෂනික සුව කිරීම් පොරොන්දු නො වෙමු. මානව වර්ගයාගේ ඉරනම රඳා පවතින විශාල  ඓතිහාසික අර්බුදයකට අප මුහුන දී සිටිමු. පහසු විසඳුමක් නැත.

අප කම්කරු පන්තියට සත්‍යය පවසන විප්ලවවාදී පක්ෂයකි. කම්කරු පන්තිය ලෝකය මෙතෙක් දැක නැති බිහිසුනු ආඥාදායකත්වය ස්ථාපිත කිරීම වැලැක් විය යුතු නම්, එය බලය සඳහා වන සටන භාර ගත යුතු ය. මෙම ඉදිරිදර්ශනයට සවන් දෙන හා එය සමග එකඟ වන අය ධනවාදය අවසන් කිරීමට සටන් කරන, තමන් ම ඉතිහාසයේ පාඩම් මත පදනම් වන, කම්කරු පන්තියේ ශක්තිය කෙරෙහි විශ්වාසය ඇති ව්‍යාපාරය ගොඩනැගීමට තීරනය කල යුතු ය.

ට්‍රොට්ස්කි 1938 දී එක්සත් ජනපදයට පැමිනෙමින් තිබෙන ෆැසිස්ට්වාදයේ අන්තරාය ගැන කතා කරමින් සිටිය දී එය ඉතා හොඳින් හා සරල ව පැවසී ය. කම්කරුවන්ට සමාජවාදය පිලිගැනීමට සිදුවනු ඇත, නැතහොත් ෆැසිස්ට්වාදය පිලිගැනීමට ඔවුන්ට බල කෙරෙනු ඇතැ යි ඔහු පැවසී ය. අප  ඇත්ත කිව යුතු ය. අපට හැක්කේ අප ගැන ම වගකීම ගැනීම පමනී. අපගේ ව්‍යාපරයට මග පෙන්වා දී ඇත්තේ එම සංකල්පය යි.

දේශපාලන කරුනු කම්කරු පන්තියට පැහැදිලි කිරීම සඳහා මෙම උද්ඝෝෂනය පුරා ම අපි සටන් කර ඇත්තෙමු. මා උපුටා දක්වා ඇති උද්ධෘත දැක්වීම් මේ වසරේ අප විසින් ප්‍රකාශයට පත් කරන ලද වචනාර්ථයෙන් සිය ගනනක් වන ලිපි හා ප්‍රකාශවලින් සුලු සංඛ්‍යාවක් පමනි. අප විසින් ප්‍රකාශයට පත් කරන ලද සෑම වචනයක් ම සිදුවීම් මගින් සනාථ කෙරී  ඇති බැවින් අනාගතය පිලිබඳ ව අපට යම් විශ්වාසයකින් කථා කල හැකි ය.

අපි හුදෙක් වැඩ කරමින් සිටින්නේ නොවැම්බර් 3, හෝ නොවැම්බර් 4, හෝ නොවැම්බර් මාසය සඳහා පමනක් නො වේ. ඉදිරියේ දී සිදුවීමට යන මහා අරගල සඳහා අප සූදානම් වෙමින් සිටින අතර, අපගේ විශ්ලේෂනයේ නිරවද්‍යතාව හඳුනා ගැනීමට කම්කරුවන් අවතීර්න වීමත් සමග වෙන කවරදාටත් වඩා විශාල ප්‍රතිචාරයක් අපට ලැබෙනු ඇතැ යි අපට විශ්වාස යි.

[මෙම ලිපිය නොවැම්බර් 2දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.]

Loading