කොග්ගල බ්‍රැන්ඩික්ස්‍‍‍‍ පාලකයෝ, වෛරසය සමග වැඩ කිරීමට කම්කරුවන්ට බල කරති

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනය තුල, කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීමත් සමග, අදාල සෞඛ්‍ය බලධාරීහු එහි කම්කරුවන්ට දින 14ක නිරෝධායනයක් නියම කලහ. නමුත්, එම නිරෝධායනය දෙදිනකින් අවසන් කර කර්මාන්තය පවත්වාගෙන යාමට බ්‍රැන්ඩික්ස් කලමනාකාරිත්වය හා පොලිසිය ක්‍රියා කර ඇත. 

සේවයේ නියැලී සිටිය දී, රෝගී ව ගාල්ල මහමෝදර රෝහලට ඇතුලත් කල, එම කම්හලේ කාන්තා කම්කරුවන් දෙ‌දෙනකුගෙන් එක් අයෙකුට කොරෝනා ආසාදිත බව පසු ගිය 29 දා තහවුරු විය. පසු දා, රත්ගම පදිංචි එම කාන්තාව සමග ආයතනය මගින් සැපයුනු බස් රථයේ ගමන් කල සේවකයන් 35ක් හා තවත්  27ක් පීසීආර් පරීක්ෂනයට බඳුන් කෙරුනි. කම්හලේ සියලු සේවකයන් නිරෝධායනයට යොමු කෙරුනේ ඉන් පසුවයි.

31දා, පොලිසිය, එකී කම්කරු නිවහන්වල ප්‍රදර්ශනය කල නිරෝධායන දැන්වීම් ගලවා දමන ලෙසත් සඳුදා සේවයට වාර්තා කල යුතු බවත් කම්කරුවන්ට දැනුම් දුනි. සිය විධානය නො පිලිගත් කම්කරුවන්ගේ නිවෙස්වලට පැමිනි පොලීසිය, දැන්වීම් ගලවා දැමීමට ක්‍රියාත්මක විය.

කම්කරුවන්, අනාරක්ෂිත තතු යටතේ රැකියාවට පැමිනීම ප්‍රතික්ෂේප කල විට සමාගම කියා ඇත්තේ නො පැමිනෙන දින ගනන නිවාඩුවලින් අඩු කරන බවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කතා කල බ්‍රැන්ඩික්ස් කම්කරුවෙකු කියා සිටියේ, කම්කරුවන් මෙම මෘග ක්‍රියාව පිලිබඳව නොසන්සුන්ව සිටින බවය. මේ තත්වය තුල සඳුදා සිට මේ දක්වා කම්කරුවන්ගෙන් අඩක් වත් සේවයට කැඳවා ගැනීමට සමාගම සමත් නො වීය. 

ආසාදිත කාන්තාව සේවය කල, ඇසුරුම් අංශය වසා කම්කරුවන් නිවෙස්වලට යවනු ලැබුනේ, අඟහරුවාදා සෞඛ්‍ය නිලධාරින් කම්හල පරීක්ෂා කීරීමට පැමිනෙන බවට ලද ආරංචියක් මතය. ගෙවී ගිය සෑම දිනක ම, සේවයට වාර්තා කල අයගෙන් ඇතැම් අය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂන නිසා නිවෙස්වලට යවා ඇත. බදාදා ද කම්කරුවෝ තිදෙනෙක් එසේ යවන ලදහ. 

කම්හලේ 1500ක් වන කම්කරුවන්ගෙන් 62 කට පමනක් පීසීආර් පරීක්ෂන සීමා කිරීම මගින් තමන් අනාරක්ෂිත තත්වයට අනාවරනය කර ඇතැයි කම්කරුවෝ චෝදනා කරති. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 90 ක් රෝග ලක්ෂන පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සංජීව මුනසිංහ ප්‍රකාශ කලේ ය. පරීක්ෂන නො කිරීම, මෙබඳු ආසාදිතයන් මගින් රෝගය ව්‍යාප්ත වීමට මූලික හේතුවක් වී ඇත.     

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර පුපුරා ඒමත් සමග කොග්ගල කම්කරුවෝ කම්හල වසා තමන්ට නිවාඩු දිය යුතුය යි දිගින් දිගටම කියා සිටියහ. දිනකට තෙවරක් උන බැලීම, යන්ත්‍ර දෙකක් අතර කාඩ්බෝඩ්වලින් වෙන් කිරීම, ප්‍රවාහනයේදී නිශ්චිත ආසනයක් නියම කිරීම වැනි පියවර මගින් කම්කරුවන් අස්වසා කර්මාන්තය අඛන්ඩව පවත්වා ගැනීමට සමාගම ක්‍රියා කලේ ය. වෛරසය වැලැක්වීමේ හැකියාව සියයට 10 ක් හෝ නොමැති, හුදෙක් රෙදි පට දෙකකින් මැසූ මුව ආවරන කම්කරුවන්ට ලබා දුන් සමාගම සර්ජිකල් මාස්ක් වැනි සුදුසු උපකරනයක් අවශ්‍ය අය තම වියදමින් සම්පාදනය කරගත යුතුයැ යි කීය.

සමාගමේ පිලිවෙත වන්නේ කර්මාන්තය නො නැවතී පවත්වා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කම්කරුවන්ගේ වියදමින් පියවා ගැනීමය. පසු ගිය කාලයේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයක් ලෙස සලකා බෝඩිංවල සිට පැමිනෙන කම්කරුවන්ගේ සේවය තාවකාලිකව අත්හිටවූ අතර දැන් යලි ඔවුන් කැඳවා ඇත. පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් සේවකයන් බඳවා ගනී. මේ සියල්ල සිදු වන්නේ අවශ්‍ය පරීක්ෂන සිදු නො කිරීම මග හරිමින් පමනක් නොව කරන ලද පරීක්ෂනවල ප්‍රතිඵල පවා ප්‍රකාශයට පත් නො වී තිබිය දී ය.

කර්මාන්තය සඳහා දෛනිකව මාතර, අකුරැස්ස, හික්කඩුව, මාපලගම සහ වඳුරඹ ආදී ගම්බද ප්‍රදේශ ගනනාවකින් කම්කරුවන් ප්‍රවාහනය කරයි. බ්‍රැන්ඩික්ස් පිලිවෙත නිසා ආයතනයේ කම්කරුවන්ට අමතරව, ඔවුනගේ පවුල්වල සාමාජිකයන් සහ මෙම ප්‍රදේශවල අවශේෂ පීඩිත ජනයා ද අනතුරට ඇද දමා ඇත්තේ ය. අනෙක් අතට විවිධ ප්‍රදේශවලින් සේවයට පැමිනෙන සේවකයන් හරහා, ගාල්ල දිස්ත්‍රික්කය තුල දැනට පැතිරෙමින් පවතින වසංගතයට තමන් ගොදුරු වනු ඇතැයි 15,000 ක් පමන වන කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ  කම්කරුවෝ බියපත්ව සිටිති.  

රෝග ලක්ෂන නැති සහ රෝග ලක්ෂන අඩු පුද්ගලයන් පීසීආර් පරීක්ෂනවලින් තොරව නිවෙස්වල ම නිරෝධායනය කිරීමට ආන්ඩුව ගෙන ආ යොජනාව මගින් හාම්පුතුන්ට තව දුරටත් මාවත විවර කර ඇත. දැන් බ්‍රැන්ඩික්ස් තුල සිදු වන්නේ එයයි.

බ්‍රැන්ඩික්ස්, අන් සියලු ධනපති ව්‍යවසායකයන් මෙන් ම, මුලික කරුනකින් මෙහෙය වෙයි. වසංගතය ආරම්භයේ දී ම ඒකාබද්ධ ඇපරල් සංසදය එය මෙසේ පැහැදිලි කලේ ය. 'තරගකාරී රටවල් අතර සිදු විය හැකි ඉතා බරපතල වෙලඳ (සැපයුම්) මාරුවක් වලක්වා ගැනීම සඳහා ඇඟලුම් කර්මාන්තශාලා හැකි ඉක්මනින් සම්පූර්න ධාරිතාවෙන් යුතුව යලි විවෘත කල යුතුය.' 

දකුනු ආසියානු ඇඟලුම් පොර පිටිය තුල තීව්‍ර වන වෙලඳපොල ක්‍රීඩාව ඒ සෑම රටකම කම්කරුවන්ගේ ජීවිත මතින් ගමන් කරමින් පවතී. යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ වෙලඳ ඉල්ලුම පහල වැටීම හමුවේ, රැකියා කප්පාදුව, දීමනා අහෝසි කිරීම, වැඩ දිනය දික් කිරීම, පලදායිතාව හා ඉලක්ක ඉහල දැමීම ආදී රුදුරු පියවර හාම්පුතුන් සහ ආන්ඩුව විසින් දැනටමත් ක්‍රියාත්මක කොට ඇත්තේ, වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය සහිත ව ය.  

මේවා මත් පෙන්නුම් කරන්නේ කම්කරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂාකර ගැනීම, හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන්ට එරෙහිව පවතින්නක් බවය. දැන් ප්‍රශ්නය මතු ව ඇත්තේ රැක ගත යුත්තේ ලාභය ද මිනිස් ජීවිත ද යන ආකාරයෙනි.

හාම්පුතුන්ගේ ඒකාබද්ධ ඇපරල් සංසදය තම ඉලක්ක ලඟා කර ගනු සඳහා, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ සමග, සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා කර ඇත. නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය ද ඊට සහභාගි වීමට අපේක්ෂිත ය. හාම්පුත්තු සහ ආන්ඩුව තම පිලිවෙත වෘත්තීය සමිති වෙත දැනුම් දෙනු ඇත. එම පනිවිඩය කම්කරුවන් වෙත සන්නිවේදනය කර ඒ සඳහා කම්කරුවන් යටත් කිරීම සමිතිවලට පැවරී ඇති කාර්ය භාරය යි.  

හාම්පුතුන්ගේ ලාභය වෙනුවෙන් වසංගතයට බිලි වීමට එරෙහි ව, තම ජීවිත, රැකියා හා ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීම සදහා කම්කරු පන්තිය සෙසු පීඩිතයන් හා තරුනයන්ගේ සහය ලබන තීරනාත්මක අරගලයක් සූදානම් කරන, වෘත්තීය සමිති වලින් ස්වාධීන, කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ය. 

Loading