ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ මැතිවරන ප්‍රතිඵල ප්‍රමාද කිරීමට පිටුපසින්

2020 මැතිවරනයේ ප්‍රතිඵල නිවේදනය කිරීම හා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජයග්‍රහනය දිගට ම ප්‍රමාද කිරීමට කිසිදු සාධාරන හේතුවක් නැත.

මහජන ඡන්ද අනුව ඡන්ද මිලියන හතරකට වැඩි ප්‍රමානයකින් ඉදිරියෙන් සිටින බයිඩන්, මැතිවරන විද්‍යාලය පලල් පරතරයකින් ජයගැනීමේ මාවතේ සිටී. පෙන්සිල්වේනියාවේ දී, ඡන්ද 28,000කට අධික ප්‍රමානයකින් බයිඩන් ඉදිරියෙන් සිටින අතර, ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ඡන්ද බහුල ප්‍රදේශවල තැපෑලෙන් එවන ලද ඡන්ද ගනන් කිරීමේ දී ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමානය ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. එම ප්‍රාන්තයේ ජයග්‍රහනය පමනක් වුව ද ඔහුට මැතිවරන විද්‍යාලය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමානය ලබා දෙනු ඇත.

එහෙත්, කිසිදු ප්‍රධාන මාධ්‍ය ජාලයක් බයිඩන්ගේ ජයග්‍රහනය ප්‍රකාශයට පත් කර නැත. ඊයේ (නොවැම්බර් 6) රාත්‍රීයේ කල කතාවක දී “ඡන්ද සංඛ්‍යාවන් පැහැදිලි කතාවක් කියවේ” යැයි කීව ද බයිඩන් ජයග්‍රහනය ප්‍රකාශ නො කල නමුත්, පැහැදිලි ව ම පරාජය වූ ට්‍රම්ප් තමන් ජයග්‍රාහකයා යයි ප්‍රකාශ කර තිබේ.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හා හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්, කමලා හැරිස් සමග ඩෙලවෙයාහි විල්මින්ටන් නගරයේ දී රැස්වීමක් අමතයි, නොවැම්බර් 5-2020 (ස්තුතිය: ඒපී ඡායාරූප/ කැරොලින් කැස්ටර්)

 ෆොක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පෙන්සිල්වේනියාවේ ඡන්ද ප්‍රතිඵලය හා මැතිවරනය බයිඩන් ජයග්‍රහනය කර ඇතැයි ප්‍රකාශ කර ඇති අතර, එහි විග්‍රහය ඉදිරිපත් කරන හේතු අනෙකුත් සියලු මාධ්‍ය ජාලයන්ට ද තිබේ. ෆොක්ස් ඒජන්සියේ මැතිවරන ප්‍රතිඵල ප්‍රකාශ කරන සහකරුවා වන ද ඩිසිෂන් ඩෙස්ක්හි සභාපති  මැක්කෝයි සිකුරාදා උදෑසන මෙසේ විස්තර කලේ ය: “පිලඩෙල්පියාවේ සමස්ත ඡන්ද ප්‍රතිඵල පැමිනෙමින් තිබෙන තතු යටතේ, අපේ ප්‍රතිඵල ප්‍රකාශය සලකන කල, තරඟය අවසන් වී තිබෙනවා.” ඔහු මෙසේ ද කීවේ ය: “ප්‍රාන්ත පුරා හා පිලඩෙල්පියාවේ ඉතිරි වී තිබෙන ඡන්ද ගනන් කරද්දී, බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමානය දිගට ම වැඩි වන බව ඉතා පැහැදිලි ව තිබෙනවා.” අවසන් ඡන්ද ප්‍රතිඵලය පැමිනෙන විට, “විය හැකි පරිදි සියයට 1 සිට 2 දක්වා පරතරයකින්” බයිඩන් ප්‍රාන්තය ජයග්‍රහනය කර තිබෙනු ඇතැයි මැක්කෝයි සඳහන් කල අතර, එය ඡන්ද යලි ගනන් කිරීමක් අවශ්‍ය වනවාට වඩා ඉතා වැඩි පරතරයකි.

මැතිවරන ප්‍රතිඵල නිවේදනය කිරීම ප්‍රමාද කිරීම, අන්ත-දක්ෂිනාංශයට වාසි ගෙන දීම පමනක් කල හැකි ගනන් බලන ලද දේශපාලනික තීන්දුවකි. එක්සත් ජනපදයේ පෙර නුවූ විරූ දේශපාලන අර්බුදය කෙසේ විසඳන්නේ ද යන්න හා අනාගත බයිඩන් පරිපාලනයක් පිහිටුවන්නේ කෙසේ ද යන්න අරබයා තිරයෙන් පිටුපස සිට තියුනු සාකච්ඡා සිදු වෙමින් පවතින්නේ, රිපබ්ලිකානුවන් හමුදා භටයන්ගෙන් අනුග්‍රහයන් ලබා ගනිද්දී ය.

ඒ අතරතුර, බලයේ අඛන්ඩ ව රැඳී සිටීම සඳහා ට්‍රම්ප් තමන්ගේ ම කුමන්ත්‍රනය තීව්‍ර කරමින් සිටී. ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත්, පරාජය පිලිගැනීම ප්‍රතික්ෂේප කරන බව, සිකුරාදා ඔහු ඔහුගේ මැතිවරන උද්ඝෝෂන කාර්ය මඩුල්ලට කීවේය. ඔහුගේ ඉලක්කය වන්නේ, ඔහු ජනාධිපති වුවත් නැතත්, ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක වර්ධනයට හොඳ ම කොන්දේසි නිර්මානය කරන, “පිටුපස සිට පිහියෙන් ඇන්නා” යන ආඛ්‍යානයක් නිර්මානය කිරීම යි.

ඡන්ද විසිකිරීම සඳහා, මිචිගන් හා පෙන්සිල්වේනියා ප්‍රාන්තවල නඩු පවරා ඇති ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය, විස්කොන්සින් ප්‍රාන්තයේ ඡන්ද යලි ගනන් කිරීමකට මං සොයමින් සිටින්නේ, එම නඩුව, ට්‍රම්ප් විසින් මෑතකදී පත්කරගත් විනිසුරුවරිය වන ඇමී කොනේ බැරෙට්ගෙන් සමන්විත වන, ශ්‍රේෂ්ඨාධිකරනය දක්වා ගෙන යාමට සැලසුම් කරමිනි. ක්ලින්ටන් පරිපාලනය සමයේ, වයිට්වෝටර් සිද්ධිය විමර්ශනය කල කොංග්‍රස් කමිටුවේ ප්‍රධානියා ලෙස සේවය කල, දීර්ඝ-කාලීන දේශපාලන කුමන්ත්‍රනකරුවෙකු වන ඩේවිඩ් බොසී, ට්‍රම්ප්ගේ නෛතික අරගලයට නායකත්වය දීම සඳහා තෝරාගනු ලැබ ඇත.

ට්‍රම්ප් හා ඔහුගේ ආධාරකරුවන් කතාකරමින් සිටින්නේ සිවිල් යුද්ධයේ භාෂාවෙනි. ට්‍රම්ප්ගේ දීර්ඝ-කාලීන ගජමිතුරෙක් වන ස්ටීවන් බැනන්, ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි හා එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් රේගේ හිස් උල තබා, “අනෙක් අයට අනතුරු ඇඟවීමක්” ලෙස ධවල මන්දිරයෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලැබි යුතු යයි බ්‍රහස්පතින්දා කැඳවුම් කලේ ය.

තත්ත්වය පෙරලී තිබුනේ අනෙක් අතට නම්, රිපබ්ලිකානුවන් දැනට ම ජයග්‍රහනය ප්‍රකාශයට පත් කර ඩිමොක්‍රටිකයන් එය පිලිගෙන තිබෙනවා යන්න ගැන සැකයක් නැත. 2000 මැතිවරනයේ දී, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඡන්ද 537කින් පමනක් ඉදිරියෙන් සිටි, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගනන් කිරීම වලකමින් ශ්‍රේෂ්ඨාධිකරනය බුෂ්ට මැතිවරනය ප්‍රදානය කිරීම පිනිස මැදිහත් වූ විට, ඩිමොක්‍රටිකයෝ දනගැසූ හ. තම පරාජය පිලිගැනීමේ දී කතා කල අල් ගෝර්, දේශපාලන දර්ශන පථයෙන් අතුරුදන් වීමට පෙර, “අපේ මීලඟ ජනාධිපතිවරයා පිටුපස එක්සත් වන” ලෙස සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

2016 මැතිවරනයේ දී, මැතිවරනයට පසු දින හිමිදිරි උදෑසන, ක්ලින්ටන් ට්‍රම්ප්ට පරාජය වී ඇති බව පිලිගත්තා ය. ඒ වන විට, ප්‍රධාන මාධ්‍ය ජාල, ප්‍රධාන තරඟකාරී ප්‍රාන්ත වූ පෙන්සිල්වේනියාව, මිචිගන් හා විස්කොන්සින්හි ප්‍රතිඵල වත් ප්‍රකාශ කර නො තිබුනි. මිචිගන් ප්‍රාන්තයේ ඡන්ද 10,000ක්, විස්කොන්සින්හි 20,000ක් හා පෙන්සිල්වේනියාවේ 40,000ට අඩු සංඛ්‍යාවක් වසයෙන්, ට්‍රම්ප්ගේ අවසාන බහුතරයන් අතිශයින් ම පටු විය.

දැන්, දිගට ම බලයේ රැඳී සිටීම සඳහා ට්‍රම්ප් ඔහුගේ කුමන්ත්‍රනය උත්සන්න කරද්දී, “ඉවසිලිවන්තභාවය” පිලිබඳ සිහිසුන්කාරකයන් හා නිද්‍රාජනයකයන්ගේ භාෂාවෙන් හඬ නගමින් සහ “සැර බාල කිරීමේ” හා “විශ්වාසය තබා ගැනීමේ” අවශ්‍යතාව දේශනා කරමින්, ඩිමොක්‍රටිකයෝ දනගාමින් යති.

සිකුරාදා සිදු කල ලුහුඬු අදහස් දැක්වීමේ දී, බයිඩන් ට්‍රම්ප් හෝ ඔහුගේ කුමන්ත්‍රන ගැන සඳහන් කලේ නැත. “අපි විරුද්ධවාදීන් විය හැකි නමුත් සතුරන් නො වේ” හා තමන්ගේ වගකීම වන්නේ, “සමස්ත ජාතිය ම නියෝජනය කිරීම” යන ඔහුගේ ප්‍රකාශ ඔහු යලිත් පුනරුච්ඡාරනය කලේ ය. ධනේශ්වර දේශපාලන සන්දර්භය තුල මෙහි සාරභූත අර්ථය වන්නේ, රිපබ්ලිකානුවන් සමග වන ජාතික සමගි ආන්ඩුවකි. රිපබ්ලිකන් සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් සමග බයිඩන්ට සමීප සබඳතා තිබෙන අතර, ඊයේ අපරභාගයේ ඔහු සමග බයිඩන් සාකච්ඡා පැවැත්වී යයි වාර්තා වේ. 

තිරයෙන් පිටුපස සාකච්ඡාවන්ට සහභාගි වන තවත් පුද්ගලයෙක් වන්නේ, සෙනෙට් අධිකරන කමිටු සභාපති ලින්ඩ්සේ ග්‍රැහැම් ය. සිකුරාදා උදෑසන, මැතිවරනය සොරා ගැනීම සඳහා ට්‍රම්ප් ගෙන යන උත්සාහයන්ට සිය සහයෝගය ප්‍රකාශ කල ග්‍රැහැම්, පෙන්සිල්වේනියා, මිචිගන් හා නෙවාඩා ප්‍රාන්තවල ඡන්ද ප්‍රතිඵල නො තකා හැරීමේ නෛතික උද්ඝෝෂනයට පෞද්ගලික ව ඩොලර් 500,000කින් ආධාර කලේ ය.

එදින ම පසු භාගයේ, නිශ්චිත කොන්දේසි යටතේ තමන් බයිඩන් පරිපාලනයක් කටයුතු කරන බව ග්‍රැහැම් සඳහන් කලේ ය. “පොදු වේදිකාවක් අවශ්‍ය වන විට, මම එය කරනවා” යි ග්‍රැහැම් වාර්තාකරුවන්ට කීවේ ය. “උප ජනාධිපතිවර කැබිනට් මන්ඩලයක් පත් කිරීමට සුදුසුකම් ලබනවා. රාජ්‍ය ලේකම්, නීතිපති... ආදීන් පත්කිරීමේ දී ඡන්දය දිය යුත්තේ කාටදැයි නීර්නය කිරීමේ දී මම ඔහුට මගේ සහයෝගය ලබා දෙනවා.” වෙනත් වචනවලින් කියතොත්, අනාගත බයිඩන් පරිපාලනයක සංයුතිය නීර්නය කිරීමේ නිෂේධ බලය රිපබ්ලිකානුවන් විසින් ඉල්ලමින් සිටී. 

පශ්චාත් මැතිවරන අර්බුදයට ඩිමොක්‍රටිකයන් දක්වන ප්‍රතිචාරය, පසුගිය වසර හතර පුරා ඔවුන් ට්‍රම්ප්ට දක්වා ඇති විරෝධයේ කුදුමහත් ව්‍යුහය සමග ගැලපේ. මැතිවරනය වනාහි එක ම කන්ඩායමේ දෙපාර්ශවයක් අතර වන අභ්‍යන්තර පොර බැදීමක් යනුවෙයන් ඔබාමා ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව, දේශීය පිලිවෙතේ සෑම අත්‍යවශ්‍ය අංගයක දී ම ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප් සමග එක් ව කටයුතු කල හ. මහජන ට්‍රම්ප් විරෝධය, මිලිටරියේ හා ඔත්තු සේවාවන්හි බලගතු කන්ඩායම්වල රුසියා-විරෝධී උද්ඝෝෂනයට යටපත් කිරීමට ඔවුන් ක්‍රියා කර ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන ප්‍රාන්ත ආන්ඩු පෙරලා දැමීමේ හා ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන් ඝාතනය කිරීමේ පටලැවී තිබිය දී පවා, ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන හා ඔහු විසින් අවුලුවන ෆැසිස්ට්වාදී ප්‍රචන්ඩත්වය ආවරනය කිරීමට, මැතිවරන උද්ඝෝෂනයේ දී ඩිමොක්‍රටිකයෝ ඔවුන්ට හැකි සෑම දෙයක් ම කලහ.

ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිචාරය නීර්නය කරනු ලබන්නේ ඔවුන් නියෝජනය කරන පන්ති අවශ්‍යතා විසිනි. ඩිමොක්‍රටික් පක්ෂය වෝල් වීදියේ හා මිලිටරියේ පක්ෂයකි. ඔවුන්ගේ විශාලතම භීතිය වන්නේ, මහජන කැලඹීම දිරිමත් කරන කිසිවක් කිරීම හෝ කීම යි. පාලක පන්තිය ඇතුලත පවතින ගැටුම, වැසුනු දොරවලට පිටුපසින් හා විය හැකි වඩාත් ම දක්ෂිනාංශික පදනමකින් විසඳනු ලැබිය යුතු ය.

අනාගත බයිඩන් පරිපාලනයක් යටතේ ඩිමොක්‍රටික් පක්ෂය නාභිගත වනු ඇත්තේ, මුලුමනින් ම වාමාංශයට පහර දීම මත ය. ජනාධිපතිවරනය ඉතා සමීප තරඟයක් වීමට හා කොංග්‍රස් මැතිවරනය පරාජය වීමට හේතුව තමන් පමනට වඩා වමට නැඹුරු වූ ලෙස දැකගැනීම යන ආස්ථානය, ඩිමොක්‍රටිකයන් විසින් දැනට මත් ඉදිරියට දමමින් සිටී.

බදාදා පැවති ඩිමොක්‍රටික් කොංග්‍රස් නියෝජිතයන් සහභාගි වූ සාකච්ඡා මන්ඩපයක දී, සීඅයිඒ වෙතින් ඇදගත් නායක ඩිමොක්‍රටිකයන්ගෙන් එක් තැනැත්තියක් වන අබිගායිල් ස්පෑන්බර්ගර් කෝපයෙන් යුතු ව සමාජවාදය හෙලා දැක්කේ ය. “සමාජවාදී හෝ සමාජවාදය යන වචන අපි කිසිදාක පාවිච්චි කල යුතු නැහැ ... එය බලපානවා, අපිට හොඳ සාමාජිකයන් අහිමි වී තිබෙන්නේ ඒ නිසා.” මිලිටරිය හා ඔත්තු සේවා ඒජන්සි උත්සුක වන කරුනු පිලිබඳ ව තමන් නාභිගත විය යුතු යයි අදහස් කරමින්, ඩිමොක්‍රටිකයන් “මූලික දේවල් කරා ආපසු” පැමිනිය යුතු බව ස්පෑන්බර්ගර් අවධාරනය කලාය.

බයිඩන් පරිපාලනයක් යටතේ ඩිමොක්‍රටිකයන් යෝජනා කරන ඕනෑම පනතක්, රිපබ්ලිකානුවන් සමග සහයෝගයෙන් අනුමත කරනු ලබනු ඇත. “තවමත් අවිනිශ්චිත මැතිවරන ප්‍රතිඵලය, රිපබ්ලිකානුවන්ගෙන් අවශ්‍ය සහයෝගය දිනාගැනීමට හැකි වන්නේ, කවර පිලිවෙත් හා කුමන කැබිනට් පත් කිරීම් ද යන්න පිලිබඳ ව ඉහල සිට පහලට යලි ඇගයීමක් කිරීමට බල කරයි. විස්තීර්න සංක්‍රමන ප්‍රතිසංස්කරන, ඡන්දය දීමේ අයිතීන් හා දේශගුන විපර්යාස පිලිබඳ ව ක්‍රියා මාර්ග ගැනීම වැනි පලල් අරමුනු මෙන් ම, බහු-ට්‍රිලියන ගනනක කොරෝනා වෛරස් සහන පැකේජයක් සම්මත කිරීම වැනි වඩා ක්ෂනික ඉලක්ක සම්මත කර ගැනීම පවා කල නො හැකි වනු ඇතැයි ඩිමොක්‍රටිකයන් කනස්සලු සහගත වන්නේ, ඒ සඳහා පක්ෂයේ බොහෝ දෙනාට අවශ්‍ය වූවාට වැඩි සම්මුතියක් අවශ්‍ය වෙද්දී ය” යි පොලිටිකෝ සිකුරාදා වාර්තා කලේ ය.

වෙනත් වචනවලින් කියතොත්, බයිඩන් පරිපාලනයක් ම්ලේච්ඡ කප්පාදුවේ ආන්ඩුවක් වනු ඇත. මෙය පුදුමයට කරුනක් නො වේ. මුල සිට අගට ඩිමොක්‍රටිකයන්ගේ අභිප්‍රායය වී ඇත්තේ එය යි. කොරෝනා වෛරස් වසංගතයට හෝ පාලක පන්තියේ පිලිවෙත් විසින් නිෂ්පන්නිත යෝධ සමාජ අර්බුදයට ආමන්ත්‍රනය කිරීමේ වැඩපිලිවෙලක්, ඩිමොක්‍රටිකන් මැතිවරන උද්ඝෝෂනයේ දී ඉදිරිපත් කලේ නැත.

මැතිවරන උදඝෝෂනයේ දී, බයිඩන්ගේ ජයග්‍රහනයක් සමාජ ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම “අවකාශයක්” නිර්මානය කරනු ඇතැයි, ඩිමොක්‍රටික් පක්ෂය වටා සිටින ව්‍යාජ-වාම කන්ඩායම් අතර බොහෝ සෙයින් කතා වින. බයිඩන් ජයග්‍රාහකයා ලෙස නිවේදනය කරනු ලැබීම පවා සිදු කර නැති අතර, මෙම කියාපෑම් දේශපාලන ප්‍රෝඩාවක් බව දැනට මත් හෙලිදරව් වෙමින් පවතී.

[මෙම ලිපිය නොවැම්බර් 7 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading