කොලඹ වරාය කම්කරුවන් අතර කොවිඩ්-19 වසංගතය පැතිරෙයි

කොලඹ වරාය අධිකාරිය තුල කම්කරුවන් 20 කට වැඩි ප්‍රමානයක් කොවිඩ්-19 වසංගතයට ගොදුරුව ඇත. සියලු කම්කරුවන්ට පීසීආර් පරීක්ෂනය නොකල තත්වයේදී තවත් විශාල පිරිසකට රෝගය ආසාදනයවී තිබිය හැකි බව වරාය කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියහ. මෙම තත්වයේදී රෝගය ආසාදනයවූ කම්කරුවන්ගේ ආශ්‍රිතයන් පවා නිරෝධානය කිරීමකින් තොරව සේවයට කැඳවා ඇතැයි කම්කරුවෝ පැවසූහ.

නොවැම්බර් 4 දින වාර්තාවුයේ කොලඹ වරාය අධිකාරියේ සේවය කරන සේවකයන් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවය. වානේ සැකසුම් අංශය, බොයිලර් සැකසුම් අංශය, ජය බහලුම් පර්යන්තය, බෝට්ටු අංගනය යන අංශ වල සේවකයන් මෙලෙස ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඊට ප්‍රථම සේවකයන් දෙදෙනෙකුට හා ආරක්ෂක අංශයේ කීප දෙනෙකු ආසාදනය වූ බව වාර්තා විය.

පසුගිය 5දා කම්කරුවන් 200 කට පීසීආර් පරීකෂනය සිදු කල අතර ඉන් ජය බහාලූම් පර්යන්තයේ තවත් සේවකයන් 5 දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බව නොවැම්බර් 7 වන දින තහවුරු කෙරිනි.

සේවයේ යෙදෙමින් සිටි කම්කරුවෙකු තමාට වසංගතය ආසාදනයව් ඇති බව දැනගත් විගස මුහුදට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ දරූ බවද කම්කරුවන් දෙදෙනෙකු දියට පැන ඔහුගේ ජීවිතය ගලවා ගත් බවද කම්කරුවෙක් කියා සිටියේය. ඔහු පැවසුවේ රෝගීන්ට හෝ ඔවුන් ආශ්‍රිත කම්කරුවන්ට පාලකයන් විසින් අසාධාරන ලෙස සැලකීම නිසා කම්කරුවන් භීතියට පත්ව ඇති බවයි.

එකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කල පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක නොවැම්බර් 6 දා මාධ්‍යයට පවසා ඇත්තේ, "සෞඛ්‍ය නීති" අනුගමනය කරමින්, සියලුම "අත්‍යවශ්‍ය පියවර" ගනිමින් සිටින බවයි.

එසේ නමුත් නොවැම්බර් 7 වන දින වරාය අධිකාරියේ පාලකයන් ආසාදනය වූ කම්කරුවන් රෝහල් ගත කර ඇතිනමුත්, ජය බහාලුම් පර්යන්තයේ ග්‍රැනිටි දොඹකර 8කින් සමන්විත 1-2 කොටසේ සේවකයන් වහාම නිවෙස් බලා යවා ඇත්තේ නිවෙස්වල සිට නිරෝධායනය වෙන ලෙස දන්වමිනි. ඔවුන් සියල්ලන් පීසීආර් පරීක්ෂනයට යොමු කර නොමැති තත්වයේදී රෝගය ආසාදනය වී අත්නම් ඔවුනගේ පවුලේ අයට පමනක් නොව තවත් අයට ද රෝගය පැතිර යාමේ ඉඩකඩ ඇත. නොවැම්බර් 8දා සිට එම කම්කරුවන්ද යලි සේවයට කැඳවා ඇත.

ජය බහාලුම් අංශයේ 3-4 කොටසේ සේවකයන්ට සේවයේ යෙදමින්, දින 14ක් පුරා වරාය තුල නිරෝධායනය වන ලෙස පාලකයන් විසින් පලමුව දන්වා ඇත. කම්කරුවන් එයට විරෝධය පාමින්, නොවැම්බර් 7 වන දින රාත්‍රී 12.00 වනවිට වැඩ නතරකොට තිබේ.

පසු දින පාලකයන් දන්වා ඇත්තේ, නිරෝධායනය නතරකොට පෙර පරිදි සේවයේ යෙදෙන ලෙසය. ඒ අනුව, ආසාදිත කම්කරුවන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් කම්කරුවන් නිරෝදානය කිරීම පවා නතර කර ඇති බව කම්කරුවෝ පෙන්වාදෙති.

කොලඹ නැව් තටාකාංගනයේ සේවකයන් 47 ක් කොරෝනා වෛරසය ආසාදනයවී ඇතිබව අනාවරනය වීමෙන් පසුවද, සේවකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර නොගත් බැවින් වෛරසය වරාය පුරා පැතිර ගිය බව තවත් කම්කරුවෙක් පැවසීය.

සේවකයන් 13 දෙනෙකු ආසාදනයවීමත් සමග සියලුම කම්කරුවන් පරීක්ෂනයට ලක් කරන ලෙස තදබල ඉල්ලුමක් පැවති අතර, නොවැම්බර් 5 දින කම්කරුවන්ගේ දැඩි උවමනාව මත, 200 දෙනෙකුගේ පරීක්ෂන ලබා ගැනීමට සමත්ව ඇත. කායික දුරස්ථභාවය ඇතුලු ආරක්ෂක පියවර කිසිවක් නොමැතිව එම පරීක්ෂන සිදුවූ බවද කම්කරුවෝ පැවසූහ.

ජය බහාලූම් අංශයේ කම්කරුවෙක් මෙසේ කියා සිටියේය." අපි ඉල්ලා සිටිය වරාය අධිකාරියේ සියලු සේවකයන්ට පීසීආර් පරීක්ෂන කරන ලෙසයි. ඒත් තවම බොහෝමයකට පරීක්ෂනය කරල නැහැ. මටත් කරල නැහැ. ඒනිසා තවත් කොපමනකට ආසාදන වී ඇත්දැයි කියන්න බැහැ. අපෙන් පවුලේ අයත් ආසාදනය විය හැකියි."

මෙතෙක් සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලබාදී නොමැති තතු යටතේ පාලකයන් ට උවමනා යෝජනා ඉදිරිපත් කරන බව ඔහු තවදුරටත් පැවසුවේය. "නිරොධානය අතහැර සේවයේ යෙදවීම අපේ ජීවිත නොතකා කරන යෝජනාවක්. දැන් ආරංචියි බල කර සේවයේ යොදවන්න යන බව."

ප්‍රකාශයට පත් කර ඇති චක්‍රලේඛයක් ඔහු ඉදිරි පත් කලේය. නොවැම්බර් 4වන දින, වරාය අධිකාරියේ ක්‍රියාකාරී කලමනාකරු සී.ජේ.වීරවික්‍රමගේ අත්සනින් නිකුත් කෙරී ඇති එම චක්‍රලේඛයේ සදහන් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති හෙයින් "ජයබහලූ පර්යන්තයේ සියලුම මහත්ම මහත්මීන් සේවයට වාර්තා කිරීම අනිවාර්ය" බවය.

කම්කරුවා තව දුරටත් පැවසුවේ "කම්කරුවන් කෝපයෙන් ඉන්නෙ. කැදෙව්වොත් එක පයින් අරගලයකට ඒවි. ඒත් වෘත්තීය සමිති ආන්ඩුවට ඉහලින් යන්නෙ නැහැ. මගේ අදහසේ හැටියට දැනටමත් ආන්ඩුව නැගනහිර පර්යන්තය ඉන්දියාවෙ අදානි සමාගමට පවරා අවසන්. කොරෝනා පැතිරීමේ අර්බූදය මැද අඩු වැටුපට සේවකයන් යොදවා පුද්ගලීකරනය තහවුරු කර ගැනීමට පාලකයො පියවර ගත හැකියි."

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ඊසීටී) කලමනාකරනය, බලධාරීන් විසින්, “ඉන්දියානු රජයේ අනුමැතිය ලද අදානි සමූහයට” භාර දුන් බව නොවැම්බර් 1 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේය. ඒ පිලිබඳව වෘත්තීය සමිති නිහඩව සිටින නමුත් තමන් සිටින්නේ දැඩි අවධානයකින් බව කම්කරුවෝ පැවසූහ.

රෝගය පැතිරීමේ අවදානම ගැන පැහැදිලි කරමින් තවත් කම්කරුවෙක් මෙසේ පැවසීය: “අපි සේරම රෙස්ට් රූම් එකේ ඉන්නෙ එකට. කැන්ටිමේ ඉන්නෙ එකට. 1-2 කොටසේ පමනක් නොවෙයි 3-4 කන්ඩායම් වලටත් සියලු කම්කරුවන්ටත් අනතුර තියෙනවා. වහාම කම්කරුවන්ට නිවාඩුදීල නිරෝදායනය වීමට ස්ථාන ලබාදීලා පරීක්ෂනය සදහා ඉදිරිපත් කල යුතුයි."

"වෘත්තීය සමිති නිහඩයි. සමිති ගැන කම්කරුවන්ගෙ කිසිම බලා පොරොත්තුවක් නැහැ. කම්කරුවන් ස්වාධීනව සංවිධානයවී ජීවිත ආරක්ෂාව සදහා හා අයිතීන් සදහා සටන් වැදිය යුතු බවට සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන අදහස හරි කියල මම හිතනවා."

ස්වාධීන වරාය සේවක සංගමයේ සංවිධායකවරයෙකු ලෙස ක්‍රියා කල කම්කරුවෙක් කියා සිටියේ ලෝක ව්‍යසනයක් වන වසංගත අර්බුදය විසඳීමට ආන්ඩුවට හෝ කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයකට වැඩ පිලිවෙලක් නොමැති බවයි.

ප්‍රමානවත් තරම් පරීක්ෂන නොකිරීමෙන් පාලකයන් වරාය තුල වසංගතය පැතිරීමට කොන්දේසි නිර්මානය කල බව කියා සිටි ඔහු බලහත් කාරයෙන් වැඩ ගැනීමට වරාය සභාපති ප්‍රයත්න දරන බවද පෙන්වා දුන්නේය. "වසංගතය නිසා දැනට කම්කරුවන් සියයට 60ක් විතර තමයි සේවයේ යෙදෙන්නෙ. පාලකයන්ට අවශ්‍යයි සියලුම සේවකයින් ගෙන්වා ගන්න. වෘත්තීය සමිති මුලුමනින් අකර්මන්‍යයි".

“කම්කරුවො ඉන්නෙ බලගතු ප්‍රශ්න වලට මුහුනදීලා. කම්කරුවන්ට මගපෙන්වන ශක්තිමත් නායකත්වයක් නොමැති කම ප්‍රධානයි. ආන්ඩුව 20වන සංශෝධනය සම්මත කරගෙන සූදානම් වුනේ කම්කරු විරෝධතා මඩින්නයි. ධනපති ක්‍රමය තුල අද කම්කරුවො මුහුන දෙන එකදු ප්‍රශ්නයක් වත් විසඳිය නොහැකි බව මම පිලි ගන්නවා. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට කැමතියි."