"වසංගතයට රටෙහි ආර්ථිකය බිලි නොදිය යුතුය" යන්නෙහි පන්ති අර්ථය

"වසංගතයට රටෙහි ආර්ථිකය බිලිදිය නොහැක. එබැවින් වසංගතය පැවතියදීම රට විවෘතව තබා ගනිමින් ආර්ථිකය ක්‍රියාත්මක ව පවත්වා ගත යුතුය" යන්න, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සිට, ධනපති පතියේ සියලු නියෝජිතයන්ගේ, ඔවුන්ගේ කුලීකාර මාධ්‍ය ලියනප්පුලාගේ සහ බොහෝ "ශාස්ත්‍රාලික" පන්ඩිතයන්ගේ මන්ත්‍රය බවට පත්වී ඇත.

ඔවුනගේ තර්කය වන්නේ, වසංගතයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට අවම වසයෙන් තවත් වසර දෙකක්වත් ගතවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයමත් පවසා ඇති බැවින්, එතෙක් රටවසා තැබීම "ප්‍රායෝගික" නොවන බවයි. ඔවුනට අනුව කල යුත්තේ, සෞඛ්‍ය ආරක්ෂන මාර්ගෝපදේශනයන් "දැඩිව" පිලිපදිමින් මහජනයා සියලු ආර්ථික ක්‍රියාවලීන්හි නිරතවීමයි. මෙය "නව සාමාන්‍යය" වියයුතු බවද ඔවුහු කියා සිටිති.

"නව සාමාන්‍යය" වනාහි, ලක්ෂ සංඛ්‍යාත මහජනයා වසංගතයට ගොදුරු කරමින් ලොවපුරා ධනපති ආන්ඩු ක්‍රියාවට නංවා ඇති සාපරාධී "රංචු ප්‍රතිශක්තිකරන" පිලිවෙත යි. මෙම පිලිවෙතට එරෙහිව ලොවපුරා කම්කරුවන් සහ පීඩිතයන්, වැඩ වර්ජන ඇතුලු අනේකවිධ උද්ඝෝෂන හරහා විරෝධතාවල නිරතව සිටිති. 

රාජපක්ෂ ඇතුලු පාලක පංතිය "රටේ ආර්ථිකය" යනුවෙන් හඳුන්වන්නේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත, ලාභය සඳහා නිෂ්පාදනය සිදු කෙරෙන ධනපති ආර්ථිකය යි. එය හසුරුවන්නේ නිෂ්පාදන මාධ්‍ය හිමි ධනපති පංතිය බැවින්, "රටේ ආර්ථිකය" යනු ධනපති පංතියේ අවශ්‍යතා නියෝජනය කරන ආර්ථිකය හැර අන් යමක් නොවේ. තම ජාත්‍යන්තර ධනපති පාලක සගයන් මෙන්ම, රාජපක්ෂ ඇතුලු ධනපති නඩය ක්‍රියාත්මක කරමින් සිටින්නේ, වසංගතයට මහජනතාව බිලි දී හෝ මෙම ධනපති ආර්ථිකය, එනම් ලාභෝත්පාදන ක්‍රියාවලිය අබාධිතව ඉදිරියට ගෙන යාමයි.

මේ අර්ථයෙන් ගත්කල, "වසංගතයට රටෙහි ආර්ථිකය බිලි නොදිය යුතුය" යන්නෙහි පංති අර්ථය වනුයේ, ධනපති පංතියේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්කරු පංතිය තම ජීවිත බිලිදිය යුතු බවයි.

මෙය වසන් කිරීමට ධනපති පාලකයෝ සහ ඔවුනගේ ඇම්බැට්ටයෝ විවිධ කඩතුරාවන් යොදා ගනිති. ජනාධිපති රාජපක්ෂමත්, තම ට්ව්ටර් පනිවුඩයක සඳහන් කොට තිබුනේ, රට පාර්ශ්වීය වසයෙන් හෝ වසා තැබීමෙන්, "කොවිඩ්-19 ට, අපගේ ජනතාවගේ ජීවනෝපායන් බිලි ගැනීමට ඉඩ දිය නොහැක." යනුවෙනි.

රට විවෘතව තබා ගැනීමේ හේතුව ලෙස "ජනතාවගේ ජීවනෝපායන්" ඉදිරියට දැමීම මුලුමනින්ම ව්‍යාජය. ඉහත දැක්වූ ධනපතියන්ගේ මූලික අවශ්‍යතාවය වසන් කිරීමට අමතරව මෙහි වෙනත් අරමුනක් ද පවතී. අගුලු දැමීම ඉවත් කිරීමෙන් ජීවනෝපායන් සඳහා ඉඩ සලසා ඇතැයි පවසමින්, වසංගතයෙන් බැටකන මහජනතාවට සොච්චම් හෝ ආර්ථික සහනයක්  ලබා දුන්නේ නම් එයද අත්හැර දමා, අතසෝදා ගැනීම එම අරමුනයි. 

"නව සාමාන්‍යය" යටතේ තම ජීවනෝපායන් හි යෙදීමේදී, මුහුන දීමට සිදුවන අන්තරායකාරී තත්වය කම්කරුවෝ දැනටමත් අත්විඳිම්න් සිටිති. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ කම්කරුවන් මුහුන දුන් තත්වය ඊට පැහැදිලි උදාහරනයකි.  "සෞඛ්‍යාරක්ෂන මාර්ගෝපදේශනයන්" සියල්ල නොතකා හැර තිබූ එහි පාලකයෝ, කම්කරුවන් තම රෝගීබව පවසද්දී පවා, වේදනා නාශක ලබා දෙමින් වැඩෙහි නිරත කලහ. 

ඒ සා ව්‍යසනයක් කල බ්‍රැන්ඩික්ස් සමාගම, දින කීපයකට පෙර, තම කොග්ගල කම්හලේ කම්කරුවන් නිවෙස්වල නිරෝධායනයෙහි යෙදී සිටියදී, පොලීසිය යොදවා බලහත්කාරයෙන් බස්රථ වලට පටවා ගෙනැවිත් වැඩෙහි යෙදවූහ. වෙනත් සමාගම් වලින් පාලනය කෙරෙන අනෙක් කම්හල්වල තත්වය එයට කිසිසේත්ම ‌වෙනස් නොවේ. 

එපමනක් නොව, හාම්පුතුන්ගේ, ආන්ඩුවේ සහ වෘත්තීය සමිති නිලධරයේ "ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම" හරහා, කම්කරුවන් ගේ වැටුප අර්ධයකට කප්පාදු කෙරුනු අතර, දීමනා නතර කර දැමුනි. ලක්ෂ ගනනකට රැකියා අහිමි කෙරුනි. රාජපක්ෂගේ ආන්ඩුව යටතේ මහජනතාවගේ ජීවනෝපායන් "රැකුනේ" එලෙස ය. නමුත් ධනපති පංතිය සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රතිචාරය මෙයට මුලුමනින්ම වෙනස්ය. ආන්ඩුව, වසංගතය මධ්‍යයේ රුපියල් බිලියන 150 ක මුදලක් ඉතා අඩු පොලියට, ධනපති සමාගම් වලට පොම්ප කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මගින් නිරන්තරව පෙන්වාදුන් පරිදි, ඓතිහාසික ප්‍රේරක සිද්ධියක් වූ වසංගතය මගින් ධනේශ්වර පද්ධතියේ සියලු ප්‍රතිවිරෝධතා තීව්‍රකොට එලිමහනට පමුනුවා තිබේ. විශේෂයෙන්ම පංති ප්‍රතිවිරෝධතා පැහැදිලිවම විශද වන අයුරින් ඉස්මත්තට පමුනුවා ඇත. තම ජීවිත ආරක්ෂාකර ගැනීම කම්කරු පංතියේ ප්‍රමුඛ අවශ්‍යතාව වන අතර, වසංගතයද යොදා ගනිමින් ලාභ තරකර ගැනීම ධනපති පංතියේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ධනපති පංතියේ මෙම අවශ්‍යතාවය මගින් නිපදවා ඇති මානව වියදම කෙතෙක් ද යත් ලොවපුරා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව දහතුන් ලක්ෂයකට ආසන්න වෙමින් පවතී.

බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව, ගතවූ වසරක කාලය තුල, ලො‌වෙහි ප්‍රමුඛ බිලයනපතියන් 500 දෙනා තම වත්කම් ඩොලර් බිලියන 813 කින් වැඩිකරගෙන ඇත. මෙම කාලය, තුල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ධනපතියා වන ධම්මික පෙරේරාගේ ආදායම රුපියල් බිලියන 1.5 කින් වැඩිවී ඇතිබව අදදින දෙරන අරුන සඳහන් කලේය.  

රුහුනු විශ්ව විද්‍යාලයේ සමීක්ෂනයකට අනුව, වසංගත සමය තුල, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 7 ක ආදායම මුලුමනින්ම අහිමිව ඇති අතර, සියයට 57 ක ආදායම සැලකියයුතු ප්‍රමානයකින් පහත වැටී තිබේ. කැපී පෙනෙන කරුනක් වන්නේ, සියයට 2 ක, බහුතරයක් වන ධනපතියන්ගේ ආදායම වැඩිවී ඇති බවයි.

ධනපතියන් විසින් තම ලාභ අවශ්‍යතාවයන් සඳහා කම්කරුවන් වසංගතයට බිලිදෙමින් වැඩට දක්කද්දී, කම්කරු පංතියට ව්‍යසනයෙන් අත්මිදීමේ කම්කරු පංතික ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ (සසප) සහ ලෝසවෙඅ පමනි.

වසංගතය මර්දනය කරන තෙක්,  ආහාර සහ සෞඛ්‍යමය නිපැයුම් ඇතුලත් අත්‍යවශ්‍ය නිෂ්පාදන පමනක්, දැඩි සෞඛ්‍යාරක්ෂක පිලිවෙත් යටතේ පවත්වාගෙන යන අතරේ, අනෙකුත් කම්හල්, පාසැල් සහ විශ්ව විද්‍යාල ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමිය යුතු බවත්, වසා දැමෙන සහ වසා නොදැමෙන සියලු කම්හල් සහ ආයතන වල සේවයේ නියුතු කම්කරුවන්ට, සියලු දීමනා සහිත පූර්න වැටුප් ලබාදිය යුතු බවත් අපි යෝජනා කලෙමු. එපමනක් නොව, තම ජීවනෝපායන් අහිමි වන සියලු දෙනාට රජය මගින්, ජීවන වියදමට සරිලන දීමනාවක් ලබාදිය යුතු බවත් එහිදී අවධාරනය කෙරුනි.

එමෙන්ම, ජාත්‍යන්තරව පවත්නා ඉමහත් විද්‍යාත්මක සහ තාක්ෂනික ඥානය ද, දැවැන්ත ධන ස්කන්ධය ද ඒකාග්‍ර කරමින්, වසංගතය සඳහා ප්‍රතිකාරයක් ‌සෙවීමේ ගෝලීය ප්‍රයත්නයක අත්‍යවශ්‍යභාවය ද අපි එහිදී පැහැදිලි කලෙමු. කෙසේ නමුත්, වසංගතය හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් නොවන බවත්, අතිමූලික වසයෙන් එය, දේශපාලනික ප්‍රශ්නයක් බවත්, එයට විසඳුම් සෙවිය හැක්කේ, ජාත්‍යන්තර කමිකරු පංතියේ ගෝලීය ප්‍රතිචාරයකින් බවත් ජාත්‍යන්තර කමිටුව නිරන්තරව අවධාරනය කලේය.

කෙසේ නමුත්, ලංකාවේ ද ජාත්‍යන්තරව ද, ධනපති පාලකයන් සහ ඔවුනගේ කේවට්ටයන් කියා සිටින්නේ, ධනපති ආන්ඩු වලට සහ සමාගම් වලට මෙම බර දැරිය නොහැකි බවයි. මෙයට අනුපූරකව, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය "ප්‍රායෝගික" නොවන බවට, ඊනියා "ශාස්ත්‍රාලිකයෝ" තර්ක කරති.

මෙම තර්ක ගොඩනැගෙනුයේ, තම පංති අවශ්‍යතාවයන්ගෙන් හෝ මානව සමාජයේ ඓතිහාසික වර්ධනය පිලිබඳ අමනෝඥභාවයෙනි. වහල් ක්‍රමය හා වැඩවසම් ක්‍රමය මෙන්ම ධනවාදය ඓතිහාසිකව සංවර්ධිත සමාජ ක්‍රමයක් බව ද, සීමිත නිෂ්පාදන ක්‍රමයක් වන එය, අනෙකුත් සමාජ ක්‍රම මෙන්ම ඉතිහාසයට පිවිසීමට නියමිතව ඇතිබව ද ඔවුහු පිලි නොගනිති. ධනවාදය, එකම ශක්‍ය සමාජ ආර්ථික සංවිධාන ස්වරූපය වෙතැයි යන අදහස ඔවුහු දරා සිටිති.

මාක්ස් පෙන්වාදුන් පරිදි, "සමාජ සංවර්ධනයේ යම් අවධියක, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග, පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමග, නැතහොත් මේ දක්වා ඒවා ක්‍රියාත්මක වූ දේපොල සම්බන්ධතා සමග ගැටුමට පැමිනෙයි. නිෂ්පාදන බලවේගවල වර්ධනයේ එම රූපාකාරයන් ඒවයේ විලංගු බවට පත්වෙයි. එවිට සමාජ විප්ලවයන්ගේ කාල පරිච්ඡේදයක් ඇරඹෙයි."

ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය සහ පුද්ගලික දේපොල මත පදනම් වූ ලාභය අරමුනුකරගත් නිෂ්පාදනය, නිෂ්පාදන බලවේගවල වර්ධනයේ විලංගු බවට පත්ව ඇත. ධනපති ක්‍රමය තුල වසංගතයට තාර්කික සහ ශක්‍ය විසඳුමක් නොමැත්තේ එබැවිනි. 

ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කරන ආකාරයේ, තාර්කික වැඩපිලිවෙලක් ධනපති ක්‍රමය තුල ක්‍රියාවට දැමිය නොහැක්කේ, ඒ සඳහා අවශ්‍ය ධන සම්පත් නොමැති නිසා නොව, බිලියන සංඛ්‍යාත කම්කරු පංතිය විසින් නිෂ්පාදනය කරන අතිමහත් සමාජ ධනය අතලොස්සක් අත සංකේන්ද්‍රනය වී ඇති බැවින් සහ එකිනෙකාට පසමිතුරු රාජ්‍යයන් ලෙස ලෝකය බෙදී ඇති බැවිනි. 

ධනපති නිශ්පාදන ක්‍රමයේ ඓතිහාසික පරස්පර විරෝධය කෙතෙක්ද යත්, බිලියන සංඛ්‍යාත මහජනයා. වසංගතයට, යුද්ධයට, විරැකියාවට සහ දරිද්‍රතාවට බිලිදීම හැර මානව ප්‍රගතියේ අංශු මාත්‍රයක් එයතුල ශේෂ වී නොමැත. 

වසංගතයට ඇති එකම ප්‍රායෝගික විසඳුම ඉදිරිපත් කරමින් සසප ඔක්තෝබර් 22 දා ලෝසවෙඅ හරහා නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කෙරුනු අයුරින් කම්කරු පන්තියේ අවශ්‍යතාවයන්ට "ආමන්ත්‍රනය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන ගෝලීය ධනවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයක් හරහා පමනි. වසංගතය පුපුරා ගිය තැන් පටන් ම, මෙම ක්‍රියා මාර්ගය සඳහා වන සටන සසප විසින් ගැඹුරු කර ඇත්තේ කම්කරුවන් වාර්ගික රේඛා හරහා එක්සත් කරමිනි.

මෙම අරගලයට කේන්ද්‍රීය වන්නේ, බැංකු, විශාල වතු හා මහ ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරමින් සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන යි. දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා කරන සටන සමග මෙම ඉදිරි දර්ශනය බැඳී ඇත."

Loading