සමාජවාදී සමානතා පක්ෂය වසංගතයට හා ඒකාධිපතිවාදයට එරෙහි විකල්පය ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව වසංගතයේ නව ඉහල යාමක් අත්දකිද්දී, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය කොවිඩ්-19ට එරෙහි ව සටන් වැදීම සඳහා අවශ්‍ය සමාජවාදී ක්‍රියා මාර්ගය සාකච්ඡා කරන අන්තර්ජාල රැස්වීමක් ඔක්තෝබර් 28දා පැවැත්වූ හ.

“කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ කම්කරු පන්තිය ගත යුතු මග” යන තේමාවෙන් පැවැත්වූ මෙම රැස්වීම, පක්ෂයේ මුහුනුපොත් පිටුවේ සජීවී ව විකාශය කරන ලදී. අදහස් දැක්වීම් හා ප්‍රශ්න ඉදිරිපත් කරමින් සාකච්ඡාවට සම්බන්ධ වූ ශ්‍රාවක පිරිසක් විසින් සාවධානව එය නැරඹී ය. මේ දක්වා මෙම වීඩියෝ පටය 1,200කට අධික කම්කරුවන් හා තරුන ජනයා විසින් නරඹා ඇති අතර, ඔවුන්ගෙන් 80 දෙනෙකු තමන්ගේ මුහුනුපොත් ගිනුම් මත එය බෙදාහැර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව වසංගතය මැඩපැවැත්වීමේ දී සාර්ථක වී ඇතැයි ඔහු කල ව්‍යාජ කියාපෑම් නො තකා, කොවිඩ්-19 ආසාදන දැන් රට පුරා පැතිරී ඇත්තේ, දුර්වල සෞඛ්‍යාරක්ෂන පද්ධතියට වාවාගත නොහැකි තරමිනි. මේ ලියන මොහොත වන විට, තහවුරු වූ ආසාදන සංඛ්‍යාව 13,000ට ආසන්න වෙමින් ඇති අතර, මරන 29ක් වාර්තා වී තිබේ.

සමන් ගුනදාස, එම්. දේවරාජා, විලානි පීරිස් හා කපිල ප්‍රනාන්දු රැස්වීමේ

රැස්වීමේ අරමුන වන්නේ බලධාරීන්ට කනිපින්දම් කීම නො ව, ධනපති ආන්ඩු විසින් පටවනු ලබන තත්ත්වයට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරු පන්තියට අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීම බව, රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන කමිටු සාමාජික සමන් ගුනදාස කීවේ ය. වසංගතය පරාජය කිරීම සඳහා ගෝලීය ව සම්බන්ධීකෘත ක්‍රියාවන් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරනය කලේ ය. එවන් ප්‍රයත්නයක් සංවිධානය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන කම්කරු පන්තියට පමනක් බව ගුනදාස කීවේ ය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රස්ථාර ඉදිරිපත් කල ගුනදාස, ඔක්තෝබර් මාසය දක්වා ම ආන්ඩුව පීසීආර් පරීක්ෂන ඉතා අවම අනුපාතයකින් තබා ගත් බව පෙන්වී ය. කොරෝනා වෛරසය ක්ෂනික ව පැතිරීම ආරම්භ වීමෙන් පසු මෙය වැඩි කරනු ලැබුව ද එය තවමත් පවතින්නේ ප්‍රමානවත් නො වන මට්ටමක ය.

කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ සෞඛ්‍යාරක්ෂනය සඳහා මුදල් වියදම් කරනු වෙනුවට, ආන්ඩුවේ වැඩපිලිවෙල කේන්ද්‍රගත ව ඇත්තේ, මහා ව්‍යාපාරවලට ලාබ කඳු ගසා ගැනීමේ සුරක්ෂිත කොන්දේසි ඇතිකිරීම සඳහා යයි ගුනදාස විස්තර කලේ ය.

ශ්‍රී ලංකාවේ බ්‍රැන්ඩ්ක්ස් ෆැෂන් වෙයා කර්මානත්ශාලාවේ කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු තමන් රෝගී බව වාර්තා කල ද ආන්ඩුවේ බලධාරීන් හා සමාගමේ කලමනාකාරීත්වය ඔවුන්ට දිගට ම රැකියාවේ යෙදෙන ලෙස බල කලේ ය. කම්කරුවන්ගේ විරෝධය වැඩීමේ ප්‍රතිඵලයක් ලෙස හා සේවකයන් 1,000ට අධික ප්‍රමානයකට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව සොයා ගත් විට පමනක් කම්හල වසා දැමුනි.

ඒ අතර ම, ශ්‍රී ලංකාවේ මහ බැංකුව මහ ව්‍යාපාරවලට රුපියල් බිලියන 178ක් ප්‍රදානය කර ඇත්තේ, ව්‍යාජ-වමේ හා වෘත්තීය සමිතිවල සහයෝගය ලබන ආන්ඩුව, මිනීමරු ජාත්‍යන්තර “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත සමග එකපෙලට සිටමින් කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ජීවිත අනතුරේ හෙලද්දී ය.

සසජාතශි කැඳවුම්කාර කපිල ප්‍රනාන්දු අවධානය යොමු කලේ, වසංගතය ගැන සාපරාධී ලෙස නො තැකීමේ නිල ප්‍රතිචාරයෙන් යලි ප්‍රදර්ශනය වී තිබෙන මානව වර්ගයාගේ සමාජ අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීමට ධනේශ්වර පද්ධතිය දක්වන අත්‍යන්ත නො හැකියාව ගැන ය. “වෛරසයට එරෙහි සටන සෞඛ්‍ය ප්‍රශ්නයක් නො ව දේශපාලන සටනක් බව සසප අවධාරනය කරන්නේ මේ නිසා ය” යි ඔහු කීවේ ය. බලපෑමට බඳුන් වන කම්කරුවන්ට සම්පූර්න වන්දි ගෙවීම් සහිත ව, අත්‍යවශ්‍ය නො වන කර්මාන්ත වහා ම වසා දැමීම, අවශ්‍ය මට්ටමින් පරීක්ෂන සිදු කිරීම සඳහා ප්‍රමානවත් මුදල් වෙන් කිරීම, පුද්ගල ආරක්ෂන උපකරන (පීපීඊ) සම්පාදනය කිරීම හා සුරක්ෂිත නිරෝධානය තහවුරු කිරීම, සසප හා සසජාතශි විසින් ඉල්ලා සිටී.

ආන්ඩුව තරුන ජනයා හා පාසල් ලමුන් ආසාදනය වීමේ අවදානමට ගොදුරු කර ඇති බව ප්‍රනාන්දු කීවේ ය. විශ්ව විද්‍යාල හා පාසල් තුල සෞඛ්‍ය පහසුකම් ගොඩ නැගීමට අනුප්‍රාප්තික ආන්ඩු වියදම් කර ඇත්‌ෙත් සොච්චමක් පමනි. ආසාදනයන් අහස උසට නැගි තතු තුල, පසුගිය මාසයේ දී පාසල් වැසීමට බලධාරීන්ට බලකෙරුන ද ඒවා ඉක්මනින් යලි විවෘත කිරීමට ද ඔවුහු උත්සාහ දරමින් සිටිති. ඔවුන්ගේ ප්‍රතිචාරය ජාත්‍යන්තර ව ධනපති ආන්ඩුවල ප්‍රතිචාරය ම වේ: “අනතුර කවරක් වුව, දෙමාපියන්ට වැඩට යාමට බලකරනු ලැබිය හැකි පරිදි දරුවන් පාසවල්වලට දක්කනු ලැබිය යුතු ය.”

ආන්ඩුවේ “නිවසේ සිට නිරෝධායනය වීමේ” වැඩසටහන, මහජනයා ඉමහත් අන්තරායකට ඇද දමමින් තිබෙන බව සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා විස්තර කලේ ය. විශේෂයෙන් වතු කම්කරුවන් ගැන කතා කල දේවරාජා, එම කම්කරුවන්ගේ කුඩා, ප්‍රමානවත් උපකරන රහිත නිවාස තුල සිට නිරෝධායන රෙගුලාසි පිලිපැදිය නො හැකි බව කීවේ ය. “තීරන ගැනීමේ දී, ආන්ඩුව කම්කරුවන් හා දුගීන්ගේ ජීවිත පිලිබඳ ව අවම වසයෙන් වත් තකන්නේ නැතැ” යි ඔහු ප්‍රකාශ කලේ ය.

වතු අංශයේ හා අනෙකුත් ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිවල භූමිකාව ගැන සඳහන් කල දේවරාජා, කම්කරු පන්තියට එරෙහි ව හාම්පුතුන් හා ආන්ඩුව විසින් ගෙන ඇති තීන්දුවලට එම සංවිධාන එකඟ වී ඇති බව කීවේ ය. කම්කරු පන්තියේ අවශ්‍යතා කිසිදු අයුරකින් නියෝජනය නො කරන වෘත්තීය සමිති, උපරිම ලාබ මිරිකාගැනීම සඳහා කම්කරුවන්ට සේවා ස්ථානවල ම රැඳීමට බල කරමින් මහා සමාගම්වල අවශ්‍යතා නියෝජනය කරන බව ඔහු අවධාරනය කලේ ය.

සසප නායක සාමාජිකාවක් වන විලානි පීරිස්, සෑම විරුද්ධ පක්ෂයක් ම විසින් රාජපක්ෂ ආන්ඩුවට ලබා දෙන සහයෝගය විමර්ශනය කලා ය. මාරාන්තික කෝවිඩ්-19 වසංගතය විසින් වේගවත් කර ඇති අර්බුදය මධ්‍යයේ, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන් අතර වැඩෙන විරෝධය මැඩලීමට ඔවුහු උත්සාහ කරමින් සිටිති. මෙය ජාතික ආපදාවක් නිසා වෙනස්කම් නො තකමින් ආන්ඩුවට පූර්න සහයෝගය දෙන බව විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස සඳහන් කලේ යයි පීරිස් කීවා ය.

ව්‍යාජ-වම්මු ද ආන්ඩුව පිටුපස පෙලගැසී සිටිති. වසංගතයට එරෙහි ව සටන් කිරීමට ආන්ඩුව ගත්තා යයි කියන වැඩපිලිවෙල උත්කර්ෂයට නංවමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායක කුමාර් ගුනරත්නම් අගමැති මහින්ද රාජපක්ෂට ලිපි යවා තිබුනි. “මේ ව්‍යාජ-වම්මු ක්‍රියාත්මක වන්නේ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් ලෙස යි. කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරන ඔවුන්, කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කිරීමට උත්සාහ දරනවා” යි පීරිස් සඳහන් කලා ය.

ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නැගීම ඉලක්ක කරගත් ව්‍යවස්ථාමය වෙනස්කම් ද ඇතුලු ව, රාජපක්ෂ ආන්ඩුව ඒකාධිපතිවාදය කරා වඩ වඩා හැරෙමින් සිටින බවට පීරිස් අනතුරු ඇඟවූවා ය. මෙය වනාහි වැඩෙන සමාජ විරෝධයට පාලක ප්‍රභූව දක්වන ප්‍රතිචාරයකි. “මෙම ප්‍රතිගාමීත්වයට එරෙහි ව සටන් වැදීමට අවශ්‍ය විප්ලවවාදී ක්‍රියා මාර්ගය කම්කරු පන්තියට සාංසිද්ධික ව වර්ධනය කර ගැනීමට නො හැකි යි. ඉදිරි දර්ශනයක් සම්පාදනය කල යුත්තේ විප්ලවවාදී පක්ෂය විසින්. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ හා එහි ශාඛාවල කර්තව්‍යය මෙය යි” යි ඇය විස්තර කලා ය.

ප්‍රශ්න ඇසීමේ වාරයේ දී අදහස් දැක්වීමේ කොලම තුලින් එක් අසන්නෙක් මෙසේ විමසීය: “මහජනයාට විවිධ හැකියාවන් තිබෙන හා මහජනයා ඔවුන්ගේ හැකියාවන්ට අනුව තරඟ වදින ලෝකයක් තුල යමෙකුට සමානතාව අපේක්ෂා කල හැක්කේ කෙසේ ද?”

ලෝකයේ පවතින යෝධ සමාජ හා ආර්ථික අසමානතාව වෙනස් හැකියාවන්වල නිෂ්පාදිතයක් නො ව, යල් පිනූ ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක් බව එයට ප්‍රතිචාර දක්වමින් ගුනදාස කීවේ ය. බිලියන 4.5ක් මහජනයා අතේ පවතින ඒකාබද්ධ ධනයට වැඩි ධනයක්, සුවිශාල ලෙස ධනවත් පුද්ගලයන් 2,000ක් පමන කඳුගසාගෙන තිබේ. එම ධනය සමුච්ඡය කරගෙන ඇත්තේ වැටුප් ශ්‍රමිකයන් ගෙන් අතිරික්ත වටිනාකම් සූරාකෑම මගිනි.

වසංගතයට එරෙහි සටනේ දී කම්කරු පන්තිය මුහුන දෙන සුවිශේෂී කර්තව්‍යයන් වැඩි දුර විස්තර කරන ලෙස තවත් ශ්‍රාවකයෙක් ඉල්ලා සිටියේ ය.

වසංගතය යනු සියලු රටවල් තුල ධනේශ්වර ක්‍රමයේ සාපරාධීභාවය හෙලිදරව් කර ඇති ප්‍රේරක සිද්ධියක් බව ගුනදාස ඔහුගේ පිලිතුරේ දී සඳහන් කලේ ය. එම ක්‍රමය මහජනයාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන්ට මරනය හා දරිද්‍රතාව ගෙන ආවේ ය. මෙය ප්‍රදර්ශනය කරන්නේ, වැඩ කරන ජනයා ලාබ පද්ධතිය අහෝසි කිරීමේ අරගලය සියතට ගෙන කම්කරුවන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යතාව යි.

ගුනදාස මෙසේ විස්තර කලේ ය: “ඉදිරි මාවත වන්නේ ධනපතීන්ගේ ධනය අස්වාමික කිරීම ඉලක්ක කරගන්නා සමාජවාදී විප්ලවය යි. වැඩ කරන ජනයා සමාජවාදී විප්ලවයක් හරහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩ නැගිය යුතු යි. සෑම වැඩපොලක ම හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් වැඩ කරන ජනයා සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය තහවුරු කිරීම ඉලක්ක කර ගන්නා සංක්‍රමන ඉල්ලීම් සමගින් පෙරට යා යුතු යි.”

Loading