ඉදිරිදර්ශන

2020 මැතිවරනය අවලංගු කිරීමේ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය නවත්වනු!

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරන පරාජය පිලිගැනීම ප්‍රතික්ෂේප කරන අතර 2020 මැතිවරනයේ ප්‍රතිඵල අවලංගු කොට පුද්ගලවාදී ආඥාාදායකත්වයක් ඇති කිරීමට ක්‍රියාකාරී ව කුමන්ත්‍රනයක නිරත ව සිටියි.

තත්වය එතරම් ම පැහැදිලි නොවන්නට පුලුවන: ට්‍රම්ප් දැන් මැතිවරනයට පෙර තමා කරන බව නිවේදනය කල දේ කරමින් සිටී. ඔහු බයිඩෙන් තීරනාත්මක ලෙස ජයග්‍රහනය කල මැතිවරනයක නීත්‍යානුකූලභාවය ප්‍රතික්ෂේප කරමින්, මැතිවරනයේදී “හොර වැඩ” කෙරී ඇති බවට බොරු කතන්දරයක් නිර්මානය කිරීමට උත්සාහ ගනිමින්, මිලියන සංඛ්‍යාත ජනතාවගේ ඡන්දය ඉවත දැමීමට කුමන්ත්‍රනය කරමින් සිටියි.

වඩ වඩා ෆැසිස්ට් අපරාධකාරී හවුලක ස්වභාවය ගන්නා රිපබ්ලිකන් පක්ෂය මෙම කුමන්ත්‍රනයට ඒකතු වි ඇත. මධ්‍යම ආන්ඩුවේ හා ප්‍රාන්ත මට්ටමේ රිපබ්ලිකන් නායකයින් ට්‍රම්ප්ගේ බොරුවලට පිටුබලය දී ඇති අතර බයිඩෙන්ගේ ජයග්‍රහනය පිලිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. සඳුදා සෙනෙට් සභාවේ දී පැවති දේශනයක දී, සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් ප්‍රකාශ කලේ ට්‍රම්ප් “අක්‍රමිකතා පිලිබඳ චෝදනා සොයා බලා ඔහුගේ නීතිමය විකල්පයන් කිරා මැන බැලීමට සියයට සියයක් තම අයිතිවාසිකම් සතුව සිටින” බව යි.

ජෝර්ජියා ප්‍රාන්තයේ දී, රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් එම ප්‍රාන්තයේ ඡන්ද ගනන් කිරීමේ ක්‍රියාවලියේ “අසාර්ථකත්වයන්” සම්බන්ධයෙන් ඉල්ලා අස්වන ලෙස රිපබ්ලිකානුවෙකු වන, ප්‍රාන්ත රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලා තිබේ. සෙනෙට් අධිකරන කමිටුවේ සභාපති රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්, පරාජය භාර නො ගන්නා ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ,රිපබ්ලිකානුවන් මැතිවරනයේ ප්‍රතිපලයට අභියෝග නො කරන්නේ නම් “නැවත කවදාවත් රිපබ්ලිකානු ජනාධිපතියරයෙකු තේරීපත් නොවනු ඇත” යැයි ප්‍රකාශ කරමිනි.

පරිපාලනයේ ස්ථාවරය අඟහරුවාදා සංක්ෂිප්ත ව සාරාංශගත කරන ලද්දේ එහි මැරවර රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසිනි. ඔහු විවෘත ව ප්‍රකාශ කලේ ට්‍රම්ප් තවත් වාරයක් ධුරයේ රැඳී සිටින බව යි. බයිඩෙන් පරිපාලනයකට “සුමට මාරුවක්” සහතික කල හැකි දැයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රවෘත්ති සාකච්ඡාවක විමසනු ලැබූ විට, “දෙවන ට්‍රම්ප් පරිපාලනයකට සුමට මාරුවක්” සිදුවනු ඇතැයි පොම්පියෝ ප්‍රතිචාර දැක්වූයේ ය.

බයිඩෙන්ගේ [පරිපාලනයන් මාරු වීම සඳහා කටයුතු සූදානම් කරන]සංක්‍රාන්ති කන්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු නො කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය ජ්‍යෙෂ්ඨ ආයතන නිලධාරීන්ට උපදෙස් දී තිබේ. සඳුදා ට්‍රම්ප් විසින් පත් කරන ලද, මධ්‍යම ආන්ඩුවේ සැපයුම් හා යටිතල පහසුකම් හැසිරවීමේ පොදු සේවා පරිපාලනයේ ප්‍රධානී කියා සිටියේ බලය මාරුවීමක් සහතික කිරීම සඳහා නීත්‍යානුකූල ව අවශ්‍ය සහය ලබා නො ගෙන තමා ඉදිරියට නො යන බවයි.

එදින ම, නීතිපති විලියම් බාර් “මෙය මහමැතිවරනයක ප්‍රතිඵලයට බලපෑමට ඉඩ ඇතැයි” යන්න මුල්කරගෙන ඡන්ද වංචා පිලිබඳ පරීක්ෂන ආරම්භ කිරීමට සියලු එක්සත් ජනපද නීතිඥයින්ට බලය ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කලේ, මැතිවරන අක්‍රමිකතා සිදුව ඇතැයි යන ට්‍රම්ප්ගේ ව්‍යාජ ප්‍රකාශ පිටුපස අධිකරන දෙපාර්තමේන්තුව ඵලදායී ලෙස පෙල ගස්වමිනි.

ට්‍රම්ප් සහ කොන්ග්‍රසයේ සහ ප්‍රාන්ත ආන්ඩුවල සිටින ඔහුගේ රිපබ්ලිකානු සහචරයෝ මැතිවරනය අවලංගු කිරීම සඳහා නිශ්චිත මූලෝපායක් සකස් කරමින් සිටිති. ඔවුන් ඡන්දය වංචා කිරීම පිලිබඳ බොරු ප්‍රකාශ සමඟ මැතිවරනයේ නීත්‍යානුකූල භාවය හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කරමින් සිටින අතර, ඊට පසු රිපබ්ලිකානුවන් පාලනය කරන මිචිගන්, විස්කොන්සින් හා පෙන්සිල්වේනියා වැනි ප්‍රාන්තවල මහජන ඡන්දය ප්‍රතික්ෂේප කිරීමට හා ට්‍රම්ප් ගැති මැතිවරන විද්‍යාල නියෝජිතයින් තෝරා ගැනීම සඳහා කඩතුරාවක් ලෙස එය යොදා ගනු ඇක.

අඟහරුවාදා උදෑසන සීඑන්එන් රූපවාහිනයේ පෙනී සිටිමින් වර්ජිනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලැරී සබාටෝ පැහැදිලි කලේ මෙම ව්‍යවස්ථාදායකයන් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමේ අනතුර තිබෙන බව යි.

මෙය පෙන්සිල්වේනියාවේ හා වෙනත් ප්‍රාන්තවල ඡන්ද ප්‍රතිඵලවලට ඇති නීතිමය අභියෝගයන් සමග අත්වැල් බැඳ ගැනීමට නියමිත ය. ඡන්දය මෙතරම් නිර්ලජ්ජිත ලෙස පාගා දැමීම, සම්පූර්න නිලධාරීන්ගෙන් තුනෙන් එකක් වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කර සිටින, ශ්‍රේෂ්ඨාධිකරනයේ දී අවසන් වනු ඇති බවට සැකයක් නැත. ඔවුන් 2000 බුෂ්ට එරෙහි ව අල්ගෝර් නඩුවේ තීරනය මත විශ්වාසය තබනු ඇත,එහි දී ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ඇන්ටෝනින් ස්කාලියා තර්ක කලේ, ව්‍යවස්ථාව ජනාධිපති පමනක් නො ව ජනාධිපති තෝරා ගන්නන්(මැතිවරන විද්‍යාල නියෝජිතයින්) පවා තෝරා ගැනීමේ අයිතිය ඇමරිකානු මහජනතාවට ප්‍රදානය කර නැති බවයි.

ට්‍රම්ප්ගේ ව්‍යාජ නෛතික උපාමාරුවලට පිටුබලය ලැබෙන්නේ පොලීසියේ හා රාජ්‍ය යාන්ත්‍රනයේ කන්ඩායම් විසින් සහාය දෙනු ලබන, අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේගයන් විසින් ප්‍රචන්ඩත්වය උසිගැන්වීම මගිනි. “අක්‍රමිකතා නවතනු” යන ධජය යටතේ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් බලමුලු ගැන්වීම සඳහා මේ සති අන්තයේ වොෂිංටන් ඩී.සී. හි පෙලපාලි සැලසුම් කෙරේ.

සඳුදා දිනයේ ට්‍රම්ප්, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ව හමුදා යෙදවීමේ සිය සැලසුම් මීට පෙර විවේචනය කර තිබූ ආරක්ෂක ලේකම් මාක් එස්පර් සේවයෙන් පහ කලේ ය. පෙන්ටගනයේ නව ප්‍රධානියා වනුයේ, වසර 30ක් විශේෂ බලකායේ ක්‍රියාකාරීයෙකු වූ විශ්‍රාමික කර්නල් ක්‍රිස්ටෝපර් මිලර් ය. මෙම බොරු- ස්වාධීන හමුදාව තම පුද්ගලික හමුදාව බවට පරිවර්තනය කිරීමේ අරමුනින් යුද අපරාධ වලට සමාව දීමද ඇතලත් පියවරයන් හරහා 70,000ක් වූ විශේෂ බලකායන් තුල සහාය වර්ධනය කිරීමට ට්‍රම්ප් උත්සාහ කර තිබේ. මිලර්ගේ ප්‍රධාන සුදුසුකම වන්නේ ජනාධිපතිවරයාට ඔහු දක්වන සහයෝගය හා රට තුල විරෝධතාකරුවන්ට එරෙහි ව හමුදාව යෙදවීමට ඔහුට තිබෙන කැමැත්තයි.

ට්‍රම්ප් ඉදිරියට යමින් සිටින කුරිරු ස්වභාවයට හාත්පසින්ම වෙනස් ලෙස, ඩිමොක්‍රටික් පක්ෂය ක්‍රියා කරන්නේ එහි සුපුරුදු බෙලහීනකම හා නො සැලකිලිමත්කම සමඟිනි. අඟහරුවාදා බයිඩෙන් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කලේ “ලැජ්ජාවට පත්වීමක්” ලෙස ය. බයිඩෙන් තවදුරටත් පැවසුවේ, “මේ අවස්ථාවේදී අප ජයග්‍රහනය කල බව පිලිගැනීමට ඔවුන් කැමත්තෙන් නො සිටී යන කාරනය බොහෝ කොට අපගේ සැලසුම්කරනයේ ප්‍රතිවිපාකයක් නොවේ” යැයි පවසමිනි.

වෙනත් වචන වලින් කිව හොත්, බයිඩෙන් හා ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ට, ට්‍රම්ප් හා රිපබ්ලිකානුවන් මැතිවරන ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීමේ කුමන්ත්‍රනයක ක්‍රියාකාරී ව නිරතව සිටීමේ කාරනය වැදගත් නැත. අනාගත බයිඩෙන් පරිපාලනය සඳහා කැබිනට් පත්කිරීම්ද ඇතුලු සාකච්ඡා සඳහා ඉක්මනින් මැක්කොනෙල් ඇමතීමට බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් පැවසී ය.

සෙනසුරාදා සවස ඔහුගේ ජයග්‍රාහී කතාවෙන් අනතුරු ව, බයිඩෙන්ගේ මාධ්‍ය හමුව රිපබ්ලිකානුවන් සමඟ “එක්සත්කම” ඉල්ලා සිටි අතර ට්‍රම්ප් මැතිවරන ප්‍රතිඵල පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීමේ කාරනය සඳහන් කලේ නැත.

ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට සලකමින් සිටින්නේ ඒ්වා පුද්ගලික කෝපයේ කඩාපැනීම් ලෙස මිස, එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ඉතිරි ව ඇති දේ පෙරලා දැමීමේ මාරාන්තික බරපතල තර්ජනයක් ලෙස නො වේ. ට්‍රම්ප් මැතිවරන ප්‍රතිඵල දිගින් දිගටම නො තකා හැරීමේ ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවමින්, මහජනයා සෝදිසියෙන් තැබීම හෝ එය සීරුවෙන් තැබීමට මහජනයා බලමුලු ගැන්වීම වෙනුවට ඩිමොක්‍රටිකයින් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ බැරෑරුම් කිසිවක් සිදු නො වන බවයි.

ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විරුද්ධත්වයේ අර්ථය වන්නේ, ඔවුන් බලයට පත්වන්නේ නම්, එලඹෙන බයිඩෙන් පරිපාලනයේ ප්‍රතිපත්තිවලට එය කිසිදු සහයක් දෙන බව නො වේ. කෙසේ වෙතත්, දක්ෂිනාංශික හා නව ෆැසිස්ට් කුමන්ත්‍රනයක් මගින්, තේරී පත් වූ ආන්ඩුවක් පෙරලා දැමීමට දරන උත්සාහයන් ගැන කම්කරු පන්තියට උදාසීන ව සිටිය නොහැකිය. මිචිගන් හි ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ ෆැසිස්ට් කුමන්ත්‍රනවලට අප විරුද්ධ වූ එකම හේතුව උදෙසා ම අපි ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට විරුද්ධ වෙමු. ඇත්ත වශයෙන්ම සසප, කුමන්ත්‍රන වසංකරමින් සිටින ඩිමොක්‍රටික් පක්ෂයට වඩා බෙහෙවින් බැරෑරුම් ලෙස ඒ ගැන සැලකිලිමත්ය.

අවසාන විග්‍රහයේ දී එක ම කතිපයාධිකාරයේ අවශ්‍යතා ආරක්ෂා කරන ඩිමොක්‍රටික් පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම භාර දිය නො හැක. සියල්ලට ම වඩා, වෝල් වීදිය හා හමුදාවේ පක්ෂයක ඩිමොක්‍රටිකයෝ, පහලින් එන මහජන විරෝධය හා ප්‍රතිරෝධයේ පුපුරා යාමකට බිය වෙති. මැතිවරනයෙන් ඉක්බිති ව ඩිමොක්‍රටිකයන් තම දැඩි ආවේගය ට්‍රම්ප්ට හා අන්ත දක්ෂිනාංශයට නො ව ඊට විපරීත ව වමට එරෙහිව එල්ල කරමින් සිටින්නේ, පක්ෂය තුලින් එන “සමාජවාදය” පිලිබඳ කිසියම් හෝ සඳහනක් මුලිනුපුටා දැමීමට කුරුස යුද්ධයක් දියත් කරමිනි.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන දිග්ගැස්සුනු ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එහි මාරාන්තික ඇඟවුම් පැහැදිලි වූයේ කැරලි මර්දන පනත ක්‍රියාත්මක කිරීමට සහ සන්නද්ධ හමුදා වීදිවලට යැවීමට සපත කරමින්, ධවල මන්දිරයෙන් පිටත සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමට ට්‍රම්ප් දැඩි ලෙස සන්නද්ධ ෆෙඩරල් හමුදා යැවූ අවස්ථාවේ දී ය

එම අවස්ථාවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ප්‍රකාශ කලේ ය:

ඇමරිකානු ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලඟා වී තිබේ. මිලිටරි පාලනයේ පදනම මත පෞද්ගලික ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් දරන උත්සාහය අත්‍යන්ත සමාජ අසමානතාවේ හා නිමක් නැති යුද්ධයේ බලපෑම යටතේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දිග්ගැස්සුනු අර්බුදයක ප්‍රතිඵලයකි.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන උත්සාහය පරාජය කිරීම රඳා පවතින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙරමුන ගත යුතු, කම්කරු පන්තියේ මැදිහත්වීම මත ය.

එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ගෝලීය කොවිඩ් -19 වසංගතය හා මාරාන්තික “රංචු ප්‍රතිශක්තිය” මගින් උග්‍ර කෙරුනු, සියල්ලට ම වඩා සමාජ අසමානතාවේ විශාල මට්ටම්වලින් සංලක්ෂිත කෙරුනු,ඇමරිකානු හා ලෝක ධනවාදයේ නො විසඳිය හැකි ආර්ථික හා දේශපාලන අර්බුදයේ බරින් බිඳ වැටෙමින් තිබේ.

තත්වය අන්තරායෙන්ගෙන් පිරී ඇත. ප්‍රකෝප කිරීම් සිදු කිරීම, මිලිටරි ආක්‍රමනකාරී ක්‍රියා දියත් කිරීම සහ යුද නීතිය ප්‍රකාශ කිරීම හා ව්‍යවස්ථාමය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්හිටුවීම සඳහා කඩතුරාව නිර්මානය කිරීමට, ට්‍රම්ප් හා ඔහුගේ ආධාරකරුවන්ට [ජනාධිපති ධූර නාරු කෙරෙන]සමාරම්භක දිනය දක්වා දින 69ක් ඉතිරි ව ඇත.

මෙම තර්ජනයට එරෙහි සටන බයිඩෙන් හා ඩිමොක්‍රටිකයන්ට පමනක් නො ව, ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරුවරුන්ට පවා යටත් කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ මහා විනාසයකි.

ට්‍රම්ප් මැතිවරනය කනපිට පෙරලීමට සමත් වුව හොත්, නීත්‍යානුකූලභාවයේ ඡායාමාත්‍රයක් වත් නො මැති තත්වයන් යටතේ, ආන්ඩුවට හා එහි මර්දනකාරී බලවේගයන්ට එරෙහි ව රටේ සෑම නගරයක ම දැවැන්ත විරෝධතාවක් ඇවිලෙනු ඇත. බයිඩෙන් මහජන ඡන්දයයෙන් පමනක් නොව මැතිවරන විද්‍යාල ඡන්දයෙන් ද ට්‍රම්ප් පරාජය කලේ ය. එපමනක් නොව, ඔහු දිනාගත් ප්‍රාන්ත සහ ප්‍රදේශ විශාල ලෙස බලවත් කම්කරු පන්තියක් සහිත, එක්සත් ජනපදයේ බලවත්ම ආර්ථික හා කාර්මික ප්‍රදේශ වේ.

ධවල මන්දිරය තුල සැලැසුම් කෙරෙමින් තිබෙන කුමන්ත්‍රනයට ඇති එක ම ශක්‍ය ප්‍රතිචාරය වන්නේ ට්‍රම්ප්, පෙන්ස් හා ඔවුන්ගේ සම-කුමන්ත්‍රනකරුවන් වහා ම ඉවත් කරන ලෙස බල කිරීම යි.

මෙම ඉල්ලුම සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම හා රටපුරා දේශපාලන වැඩ වර්ජනයක් සංවිධානය කිරීමේ අරගලය තුලින් පමනි. මෙම ව්‍යාපාරයට මූල්‍ය-සංගත කතිපයාධිකාරයේ ග්‍රහනය බිඳ දමා සමාජවාදී පදනමක් මත ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙපිට නතර විය නො හැකිය. ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහි එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ අරගලයට ලොව පුරා කම්කරුවන්ගේ දැවැන්ත හා අත්‍යවශ්‍ය සහයෝගය ලැබෙනු ඇත.

[මෙම ප්‍රකාශය නොවැම්බර් 11 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.] 

Loading