කලාවට සහ සිය ජීවන තත්වයන්ට කොරෝනා වසංගතයේ බලපෑම ගැන කලාකරුවෝ අදහස් දක්වති

රට පුරා පැතිරෙමින් තිබෙන කොරෝනා වසංගතයට දැනටමත් මිනිස් ජීවිත 48 ක් බිලිගෙන තවත් 16,000කට ආසන්න පිරිසක් ආසාදියයන් බවට පත් කර තිබේ. ලෝකයේ සෙසු ධනේශ්වර පාලක පන්තීන් මෙන්ම ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ පාලන තත්ත්‍රය ද වසංගතය පැතිරීම වැලක්වීමට මුලුමනින්ම අසමත්වී තිබෙන අතර වසංගතය පැතිරීමේ වගකීම මහජනයා මතට පැටවීමට වෑයම් කරමින් සිටී.

වසංගතයේ වේගවත් ව්‍යාප්තියට මුහුනදිය හැකි පරිදි සෞඛ්‍ය සේවාවන් වැඩිදියුනු කිරීමට අසමත්වීම මගින් එක් අතකින් බියකරු මානව ව්‍යසනයක් නිර්මානය වෙමින් තිබේ. අනෙක් අතට, "වසංගතය පාලනයට" යැයි කියමින්, කිසිදු සැලස්මකින් තොර අවිධිමත් සීමාපැනවීම් මගින් ලක්ෂ ගනනකගේ, විශේෂයෙන්ම "අසංවිධානාත්මක" ක්ෂේත්‍රයේ, රැකියා හා ජීවනෝපායන් අහිමි කෙරී පවතින අතර ඒවාට ප්‍රමානවත් සහන සැලසීමට ආන්ඩුව මුලුමනින්ම නොතකා හැර තිබේ.

ආන්ඩුව විසින් මුලුමනින්ම නොතකා හැර ඇති එවන් එක් ක්ෂේත්‍රයක් වන්නේ, කලාව හා සංස්කෘතික ක්ෂේත්‍රය යි. එලිමහන් සංගීත ප්‍රසංග, චිත්‍රපට/ටෙලිනාට්‍ය රූගත කිරීම්, වේදිකා නාට්‍ය දර්ශන සහ පොත් ප්‍රදර්ශන යනාදී විවිධ කලා කටයුතු මුලුමනින්ම ඇනහිට ඇති අතර ඒවායේ නියුතු දසදහස් සංඛ්‍යාත කලාකරුවන් හා ශිල්පීන්ගෙන් අතිබහුතරයක ආදායම මුලුමනින්ම ඇනහිට කිසිදු හවුහරනක් නැති තත්වයට පත්ව සිටී.

සාමාන්‍ය කාලවලදීත් ධනේශ්වර ආන්ඩු කලාව හා සංස්කෘතික වැඩකටයුතු කෙරෙහි දක්වන්නේ පූර්න නොතැකීමකි. ධනපති ක්‍රමයට හා එහි ප්‍රතිගාමී දෘෂ්ටීන්ට අභියෝග කරන කලා නිර්මාන හා නිර්මානකරුවන්ට විවිධ තාඩන පීඩන එල්ල කරන ආන්ඩු වත්මන් ව්‍යසනකාරී තත්වයේදීත් ඔවුන් මුලුමනින්ම අත්හැර දමා ඇති ආකාරය, කලාකරුවන් ගනනාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කල කතාබහවලදී ඉස්මත්තට පැමිනියේය.

පහත දැක්වෙන්නේ, ප්‍රකට කලාකරුවන් දෙදෙනෙකු ඒ පිලිබඳව පලකල අදහස් ය.

*************************************************************

කපිල කුමාර කාලිංග

ප්‍රවීන ගත්කතුවරයෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, ගීත රචකයෙක් මෙන්ම ප්‍රකට ටෙලිනාට්‍ය තිරපිටපත් රචකයෙක් වන කපිල කුමාර කාංලිග, වසංගත ව්‍යසනය, ධනපති ක්‍රමයේ සියලු සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයන් තීව්‍රකල "ප්‍රේරක සිදුවීමක්" ලෙස ගුනාංගීකරනය කල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂනය සම්බන්ධයෙන් එකඟතාව පල කරමින් තම අදහස් පල කිරීම ආරම්භ කලේය.

"කලාව හා සංස්කෘතික ක්ෂේත්‍රයේ දැන් ඉස්මතුව ඇති ගැටලු කොරෝනා වසංගතය පුපුරායාමටත් පෙර සිටම පැවැති අතර කොරෝනා වසංගතය මගින් එය වඩාත් ඉස්මත්තට පමුනුවා තිබෙනවා.

වසංගතය නිසා කලා කෘති නිෂ්පාදනය නවත්වා දැමීමට සිදුව තිබෙනවා. කලා ක්ෂේත්‍රයේ නියුතු නලු නිලියන්ගේ සිට වේශ නිරූපන ශිල්පීන්, චිත්‍රපට/ටෙලිනාට්‍ය නිෂ්පාදනයේදී සංග්‍රහ කටයුතුවල නියැලෙන අය ("ටී බෝයි") සහ රියැදුරන් දක්වා සෑම අංශයකම කම්කරුවන් දහස් ගතනකගේ ජීවිකාවන් මුලුමනින්ම අහිමිවී තිබෙනවා.

කලාකටයුතුවල නියැලෙන බොහෝ දෙනෙකුට බැංකුවල ඉතිරිකරගත් ප්‍රමානවත් මුදලක් නෑ. මගේ මෑතම වේදිකා නාට්‍ය වූ, "බැංකුවීරයා" ප්‍රදර්ශනය කිරීම, පවත්නා ව්‍යසනකාරී තත්වය නිසා නවත්වා දැමීමට සිදුවුනා. සාමාන්‍යයෙන් එක් නාට්‍ය දර්ශන වාරයකදී නාට්‍ය ශිල්පියෙකුට රුපියල් 5000-10,000ක් අතර සොච්චම් මුදලක් ලැබෙනව. ඒ අනුව මාසෙකට නාට්‍ය දර්ශන වාර හතරක් තිබුනොත් රුපියල් 20,000-40,000 අතර ආදායමක් ලැබෙනව. බොහෝ ශිල්පීන් මුලුමනින්ම යැපෙන්නේ ඒ් මුදලෙන්. නාට‍ය ප්‍රදර්ශනය නොවන තත්වයකදී ඒ අයට ඒ මුදලත්ත් අහිමියි.

එවැනි ශිල්පීන්ට ජීවිතය පවත්වා ගැනීමට ඇති එකම මාර්ගය වෙල තියෙන්නෙ, ආන්ඩුවෙන් ලබා දුන් රුපියල් 5000ක මුදල විතරයි.

බොහෝ කලා ශිල්පීන් වෙනත් කිසිදු රැකියාවක නිරත නොවන නිසා අන්ත අසරන තත්වයට පත්වෙලා. උදාහරනයක් විදියට වේශනිරූපන ශිල්පියෙක් ගන්න. ඔහුට වෙනත් රැකියාවක් කරන්න පුලුවන් කමක් නෑ. අනික මොන රැකියාද තියෙන්නේ?

කලාකරුවන් හා ශිල්පීන්ට රුපියල් ලක්ෂ 5ක බැංකු නය මුදලක් ලබා දෙන බව මීට මාස කිහිපයකට පෙර ආන්ඩුව හොරනෑ ගැහුව. එහෙත් එය කලාකරුවන්ට සලකන බව මවා පෙන්වීමට කල ඇස්බැන්දුමක් විතරයි. එක රාජ්‍ය බැංකුවක් විතරක් මෙම නය මුදල ලබා දෙනවා. අනෙක් බැංකු සියල්ල එය ප්‍රතික්ෂේප කරනවා.

බොහොමයක් ප්‍රවීන කලාකරුවන් වයස 60 වැඩි අය. ඒ අය නය මුදල ඉල්ලුම් කරාම නය ඉල්ලුම්කරුගේ නිවසේ අයෙක් ඇතුලු ඇපකරුවන් තුන්දෙනෙක් අත්සන් කරන්න ඕන. සාමාන්‍ය කාලවලදී පවා නයකට ඇපකරුවන් ලෙස අත්සන් කරන්න බොහෝ අය මැලිකමක් දක්වනව. මීට අමතරව, බැංකුව විසින් ඉල්ලා සිටින විවිධ ලිපිලේඛන සැපයීමේ දුෂ්කර කටයුත්ත හේතුවෙනුත් එම නය ඉල්ලුම් කිරීම පවා බොහෝ පිරිස් අත්හැර දමනවා.

පවතින අවිනිශ්චිත තත්වය, කලාකරුවන් හා ශිල්පීන්ට දැඩි මානසිකව බලපෑමක් මෙන්ම කලකිරීමක් ඇතිකර තිබෙනවා.

පසුගිය කාලයේදී ඉතිරිකරගෙන තිබෙන මුදල් ඉතා සීරුවෙන් වියදම් කරමින් ජීවිතය පවත්වාගෙන යන්න වෙල තියෙන්නෙ. ලියපු පොත්පත් වලින් ලැබෙන ආදායමත් වසංගතය නිසා නැවතිලා.

කලාකරුවන් හා ශිල්පීන් මුහුන දෙන ඛේදනීය තත්වය සමස්තයක් හැටියට වැඩකරන ජනයා මුහුනදී දී ඇති තත්වයෙන් කිසිසේත්ම වෙනස් නෑ. ඒ වගේම මෙම තත්වය මේ දූපතට විතරක් සීමාවෙලා නෑ."

මාලක දේවප්‍රිය

සම්මානීය තරුන චිත්‍රපට හා ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු සහ නිෂ්පාදකයෙකු වන මාලක දේවප්‍රිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා කතා කරමින් සඳහන් කලේ, කලාකරුවන් පමනක් නොව සමස්ත මහජනයා මුහුන දෙන ඛේදනීය තත්වයෙන් ඔවුන් මුදාගැනීම රජ්‍යයේ වගකීම බවත්, එසේ මැදිහත්වීමට නොහැකිවීම එකී රාජ්‍යයේ පැවැත්මම ප්‍රශ්නයට බඳුන් කරන බවත් ය.

"කොරෝනා වසංගතය පුපුරා යන්න බොහෝකලකට පෙර සිටම ලංකාවෙ කලාව ක්ෂේත්‍රයේ ගැඹුරු අර්බුදයක් තිබුනෙ. වසංගතයෙන් එම අර්බුදය තීව්‍ර කිරීම විතරයි සිදුවෙල තියෙන්නෙ. අලුත් නිර්මාන කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අපහසුව, තමන් නිෂ්පාදනය කරන කලා නිර්මාන ප්‍රදර්ශනය කිරීමට ඇති දුෂ්කරතාව වැනි ප්‍රශ්න වසර ගනනාවක් තිස්සේ අඛන්ඩව පැවතී ගෙන ඇවිත් තියෙනව.

වේදිකා, ගුවන්විදුලි, චිත්‍රපට, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නිරත බොහෝ අය කම්කරුවන් ලෙස හඳුන්වන්න පුලුවන්. ඒ් බොහෝ අයග එකම ජීවිකාව ඔවුන් නිරත කලා ක්ෂේත්‍රය විතරයි. ඔවුන් සතුව බැංකුවේ තැන්පත් කල කිසිදු මුදලක් නෑ. කලා කටයුතු ඇනහිටීම නිසා, මෙම ක්ෂේත්‍රයේ නිරත මගේ මිතුරන්ගෙන් අතිබහුතරයක් 'අනාථ' වෙලා. ඔවුන් වසංගත කාලෙ එදාවේල හොයා ගන්න වෙහෙසෙනව. සමහරු මගෙන් නය ඉල්ලනවා. ඒ්ත් මටත් ඒ වගේ උදව්වක් කරන්න ආදායම් මාර්ගයක් නෑ.

බොහෝ අය බැංකුවල කනකර උකස් තියල. මුදල් අගහිඟකම් නිසා පසුගිය කාලයේදී මගේ මිත්‍ර කලාකරුවෙක් එයගෙ පොත්පත් එකින් එක විකුනල තිබුන. සමහර මිතුරන් සතු එකම වස්තුව ඔවුන් නිර්මානය කල කලා කෘති. වෙන භාන්ඩයක් වගේ නෙවෙයි නාට්‍යයක්, චිත‍රපට තිරරචනයක් විකුනල මුදලක් ලබාගන්නත් විශේෂයෙන්ම මේ කාලයේදී පුලුවන් කමක් නෑ.

ආන්ඩුව කෝවිඩ්-19 අරමුදලක් ආරම්භ කෙරුවට පොදුවේ මහජනයට හෝ කලකරුවන්ට එයින් සහනයක් නෑ. ආන්ඩුව ප්‍රමුඛතාව දෙන්නෙ මේ සා දුක්ඛිත තත්වයට පත්ව සිටින ජනතාවට සහන දෙන්න නෙවෙයි. ධනපති ආයෝජකයන්ගේ ලාභ පොදි තරකරල දෙන්න.

ආන්ඩුව කොවිඩ් වසංගතයෙ සැබෑ බියකරු තත්වය මහජනයාට වසන් කරනව. වසංගතය හා සටන් කිරීමේ නාමයෙන්, පිරිත් පැන් ඉසීම සහ ගොඩවෙදකම් වගේ දේවල් වලට ආන්ඩුව අනුග්‍රහය දක්වනව. අනෙක් අතට, ඒ මිත්‍යාවන්ට එරෙහිව ලෝකය පිලිබඳ මංපෙත් හෙලිකරන කලාකරුවන් හා බුද්ධිමතුන් තර්ජනයෙන් නිහඬ කරන්න ආන්ඩුව වැඩ කරනව."

වසංගතය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරන විශ්ලේෂන පිලිබඳ ඔහුගේ එකගතාව පලකල දේවප්‍රිය, වසංගතය පැතිරීම වැලක්වීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලිකත්වයෙන් කෙරෙන ගෝලීය මැදිහත්වීමක අවශ්‍යතාව අවධාරනය කලේ ය.

මේ අර්බුදකාරී තත්වය හුදෙක් ලංකාවේ කලාකරුවන්ට පමනක් නොව, ඉන්දියාව ඇතුලු කලාපයේ අනෙක් රටවල මෙන්ම ජාත්‍යන්තරවම බලපා ඇත. කලාකරුවන් වසයෙන් තමන් මුහුනදී තිබෙන අර්බුදය සමස්ත කම්කරු පන්තියම මුහුනදී ඇති අර්බුදයේ කොටසක් බවත් එහෙයින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනක් කලාව හා සංස්කෘතිය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳාගැනීමේ හැකියාව පවතින බවත් අවසන් වසයෙන් දේවප්‍රිය කියා සිටියේ ය.

Loading