එසප නායකයා, "වසංගතයට මුහුනදීමේ ඒකාබද්ධ වැඩපිලිවෙලක්" සඳහා වටමේස සාකච්ඡාවක් යෝජනා කරයි

සියලු දේශපාලන පක්ෂ, 'වමේ' සංවිධාන සහ වෘත්තීය සමිති සහභාගි කරගත් 'වටමේස සාකච්ඡාවක්' තුලින් 'වසංගතයට මුහුනදීමේ ඒකාබද්ධ වැඩපිලිවෙලක්' සකස්කර ගත යුතුයැයි එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නායක සිරිතුංග ජයසූරිය නොවැම්බර් 05 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නායක සිරිතුංග ජයසූරිය

එහිදී ජයසූරිය මෙසේ සඳහන් කලේය: 'ආන්ඩුව මේ වෙලාවෙ පාර්ලිමේන්තුව ඇතුලෙ සහ පිටත ඉන්න සියලු දේශපාලන පක්ෂවල, වෘත්තීය සමිතිවල සහ බහුජන සංවිධානවල වටමේස සාකච්ඡාවක් කැඳවන්න ඕන. ඒ අනුව ඒකාබද්ධ වැඩපිලිවෙලක් සකස් කරගෙන වැඩකලොත් විතරයි, මේ ව්‍යසනයට මුහුන දෙන්න හැකි වෙන්නෙ.'

කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාව තුල ව්‍යසනකාරීව ව්‍යාප්තවීම සහ වසංගතය මධ්‍යයේ තම රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙන දැවැන්ත ප්‍රහාර හේතුවෙන්, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වේගයෙන් වැඩෙන මහජන විරෝධය අවමංගතකොට, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ප්‍රතිචාරයක් වලකාලීම ජයසූරියගේ යෝජනාවේ අරමුනයි.

එම මහජන විරෝධය ධනපති රාජ්‍යයටම අභියෝග කරන සමාජ පුපුරායාමක් දෙසට වර්ධනය වෙමින් පවතින බවට සංවේදී වන ආන්ඩුව ඇතුලු සියලු ධනපති කොටස් සහ ඔවුනගේ ආවතේවකරුවන් වන එසප වැනි ව්‍යාජ වම්මු ද, ධනපති පන්තියේ උපකරන ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති ද එකසේ බියවැදී සිටිති.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම විරුද්ධ පක්ෂ පසුගියදා පැවති විවාදයන්හි දී, එකාපසුපස එකා නැගෙමින් ආන්ඩුවට තම සහයෝගයේ දෑත්  දිගු කලහ. දැන් ජයසූරිය පෙරමුන ගෙන ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ඊනියා වම්මුන්ගේ සහ අනෙකුත් 'බහුජන සංවිධාන' වල සහයෝගය වඩාත් විධිමත් ආකාරයෙන් ආන්ඩුවට ගොනුකර දීමටයි.

රාජපක්ෂ මෙතෙකුදු එයට අවස්ථාවක් ලබා නොදීම ගැන ජයසූරිය වැලපෙන්නේ මෙසේය: 'මේක ජාත්‍යන්තර වසංගතයක්. මේකට තනි පුද්ගලයෙකුට මුහුන දෙන්න බෑ. ඒ නිසයි අපි කියන්නේ වටමේස සාකච්ඡාවක් ඕන කියල.'

එවන් අවස්ථාවක් ලබා නොදුනහොත් පිටතසිට හෝ එම සහයෝගය ලබාදීමේ වැඩපිලිවෙල දැනටමත් අරඹා ඇති ආකාරය ජයසූරිය මෙසේ විස්තර කලේය: 'අපි වෘත්තීය සමිති මට්ටමෙන්, වාමාංශික ව්‍යාපාරය මට්ටමෙන් සාකච්ඡාවක් ආරම්භ කරල තියෙනව. ඒකට යම් බාධාවක් තියෙනව මේ ඇඳිරි නීතිය නිසා. වමේ ව්‍යාපාරයෙ එකතුකර ගන්න පුලුවන් අය එකතු කරගෙන, වෘත්තීය සමිති එකතු කරගෙන, පොදු ඉල්ලීම් මාලාවක් අනුව අපි කටයුතු කරන්න ඕන. මං හිතන්නෙ ඒක තමයි එකම විකල්පය.'

ජයසූරිය කතා කරන්නේ කුමන පන්තිය වෙනුවෙන් ද යන්න ඔහුගේ කතාවෙන් ඉතා පැහැදිලිවම විශද විය. ඔහු මෙසේ කීවේය: 'මේ ආන්ඩුව ඔය කියන මහා බල පරාක්‍රමයක් හැටියට පවතින එකක් නෙවෙයි. මේක ඉතා ඉක්මනින් දැවැන්ත අර්බුදයකට යන්න පුලුවන් ආන්ඩුවක් බවට අපි අනතුරු අඟවනව'. මෙම අර්බුදය හමුවේ කම්කරු පංතියෙන් ධනපති පාලනයට එල්ලවිය හැකි අභියෝගය පිලිබඳව අනතුරු අඟවමින් ඔහු ධනපති පාලකයන්ට උපදෙස් දෙන්නේ, එසප ඇතුලු ඉහත දැක්වූ සියලු කොටස් සමග වහා එකමුතුවී එම අභියෝගයට මුහුන දියයුතු බවයි.

රාජපක්ෂ ආන්ඩුව, වසංගතය මැඩීමේ මුවාවෙන් මිලිටරීකරනය වේගවත් කල අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික නියාමනයන්ට ඇතුලත්, මහා පරිමානයෙන් පීසීආර් පරීක්ෂන පැවැත්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ගුනාත්මකව සහ ප්‍රමානාත්මකව වර්ධනය කිරීම ආරම්භයේ සිටම ප්‍රතික්ෂේප කලේය. ආහාර සහ බෙහෙත් ඇතුලු අත්‍යවශ්‍ය දෑ සම්පාදනය කිරීමට විධිමත් සැලසුමක් නොමැතිව අගුලු දැමීම් කරමින් මහජනතාව ඉමහත් දුෂ්කරතාවයන්ට ඇද දැමීය.

එපමනක් නොව, මහධනපතියන්ගේ ලාභ ඉපැයුම් ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙනයනුවස්, වසංගතය ව්‍යසනකාරී ලෙස ව්‍යාප්ත වෙමින් පැවතියදී, ආන්ඩුව ආර්ථිකය යලි විවෘතකොට කම්කරුවන් වැඩට දැක්කුවේ ය. ඒ සමගම, ආන්ඩුවේ ආශීර්වාදය මත, සමාගම් හිමියන් විසින් කම්කරුවන් ලක්ෂ ගනනක් රැකියාවලින් දොට්ට දැමූ අතර, ඉතිරි අයගේ දීමනා කපා දමා වැටුප අඩකින් පහත හෙලනු ලැබින.

එසප නායකයා යෝජනා කරන්නේ, මෙම ප්‍රහාර දියත්කල ආන්ඩුව, ගිවිසුම් හරහා එයට සම්මාදම් වූ වෘත්තීය සමිති, රාජපක්ෂ කැඳවූ සර්ව පාක්ෂික රැස්වීම් වලට සහභාගි වී එම වැඩකටයුතු වලට පූර්න සහයෝගය දෙන බවට සපථ වූ ඊනියා විපක්ෂ සහ එම ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහිව ක්‍රියාකල, එසප ඇතුලු ව්‍යාජ-වාම පක්ෂවල වටමේස සාකච්ඡාවකි.

ජයසූරිය යෝජනා කරන ආකාරයේ වටමේස සාකච්ඡාවක් මගින් ආන්ඩුවේ මෙම පිලිවෙත් වෙනස් කොට, වසංගත ව්‍යසනයෙන් කම්කරු-පීඩිත මහජනතාව මුදවා ගතහැකි වෙතැයි යන්න ප්‍රලාපයකි. රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩු මෙම ගෝලීය වසංගතය හමුවේ ගෙනයන සාපරාධී පිලිවෙත් ගලා එන්නේ ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙනි. 2008 දී පුපුරාගිය ලෝක මුල්‍ය අර්බුදයෙන් ඇලලී ගිය ගෝලීය ධනේශ්වර පද්ධතිය බිඳවැටීමක් තුලින් ගමන් කරමින් සෑම රටකම පාලන තන්ත්‍රයන් මුහුනදෙන ආර්ථික සහ දේශපාලන අර්බුදයන් ගැඹුරු කරමින් සිටී.

මෙම අර්බුදය විසින් රාජපක්ෂ ඇතුලු ලොව සෑම ධනපති පාලකයෙකුම වෛෂයිකවම තල්ලු කරනු ලබන්නේ, කම්කරු-පීඩිත මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ රැකියා අයිතීන් ඇතුලු සියලු සමාජ අයිතීන් අහෝසි කිරීමේ සහ එම අයිතීන් ආරක්ෂා කිරීමට පෙරට එන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් රුදුරු ලෙස තලා දැමීමේ ආඥාදායක පාලනයන් තහවුරු කිරීමේ සමාජ ප්‍රතිවිප්ලවීය පිලිවෙත් කරාය. වසංගතයෙන් තීව්‍ර කෙරුනු ලෝක ධනපති ආර්ථික අර්බුදය මගින් මෙම පිලිවෙත් වේගවත් කෙරී ඇත.

එබැවින්, කම්කරු-පීඩිත මහජනතාවගේ කවර හෝ අයිතියක් තහවුරු කරගත හැකිවන්නේ, ධනපති ආන්ඩුවලට සහ සමස්තයක් ලෙස ගෝලීය ධනපති ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක්, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනක් තුලින් පමනි. ගෝලීය වසංගතය ජයගත හැකි වන්නේද එම සටන තුලින් බව පෙන්වා දෙන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියත් පමනි.

ගෝලීය ධනපති ක්‍රමයේ පද්ධතිමය බිඳ වැටීම පිලිබඳ මෙම වෛෂයික සත්‍යය වසන් කිරීම එසප ඇතුලු ලොවපුරා ව්‍යාජ-වම්මුන්ගේ පිලිවෙතෙහි ප්‍රධානතම අංගය වෙයි. ඔවුන් කියා සිටින්නේ, ධනපති පාලකයන්ට බලපෑම් කිරීමෙන් හෝ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් මෙම අයිතීන් රැකගත හැකි බවයි.

ජයසූරියට අනුව, ජනාධිපති රාජපක්ෂ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආඥාදායක පාලනයකට අවශ්‍ය නීතිමය රාමුව සම්පාදනය කර ගැනීම මෙම ධනපති අර්බුදයේ නිර්හිතයක් නොව ඔහුගේ පුද්ගලික අභිලාෂයකි. මීට සති කීපයකට පෙර එසප මුහුනු පොත් පිටුවේ පෙනී හිඳිමින් ජයසූරිය කියා සිටියේ 'රාජපක්ෂ පවුල සියලු බල සංස්ථාවන්ට ඉහලින්' තැබීම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුන බවයි. ව්‍යවස්ථා සංශෝධනය පිටුපස පවතින පාලක පංති අරමුන - කම්කරු-පීඩිත මහජනතාවගේ පංති අරගල රුදුරු ලෙස තලා දැමීම - කම්කරු පන්තියෙන් වසන් කිරීම ඔහුගේ ආධ්‍යාසය යි.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහිව, මහජන විරෝධය අවමංගත කිරීමෙහි ලා ධනපති පක්ෂ සමග එක්ව මහජන පෙරමුනු ගොඩනැගීම සම්බන්ධයෙන් එසප ට ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි.

එසප, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප), ව්‍යාජ-වාම පක්ෂ සහ විවිධ 'සිවිල් සංවිධාන' සමග එක්ව 2009 ජනවාරියේදී ගොඩනගන ලද “නිදහසේ වේදිකාව' නම් ප්‍රතිගාමී සංවිධානයේ පාර්ශ්වකරුවෙකි. රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව තුල වැඩුනු විරෝධය ධනපති පෙරමුනක් තුල ගාල්කොට, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනයවීම වැලැක්වීම “නිදහසේ වේදිකාවේ' අරමුන විය.

2015 ජනාධිපතිවරනයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තිරයට පිටුපසින් සිට කරන ලද තන්ත්‍ර මාරු මෙහෙයුමේ දී අනෙකුත් ව්‍යාජ-වාම පක්ෂ සමග එක්ව, ඇමරිකානු ගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට ද එසප සහයෝගය ලබා දුන්නේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු ආඥාදායක සැලසුම් පරාජය කිරීමේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමකට එරෙහිව ජයසූරිය යෝජනා කලේ, 'පක්ෂ පාට නොසලකා ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය කරන සියලුදෙනා ඒකාබද්ධ' කරගත් මහජන පෙරමුනකි.

ධනපති පංතියේ ප්‍රතිගාමී සැලසුම් වලට තම පන්තිය යටත් කර දීමට දැනුවත්ව ක්‍රියා කරන, එසප ඇතුලු ව්‍යාජ-වම්මුන්ගේ මහජන පෙරමුනු දේශපාලනයට මුලුමනින්ම එරෙහිව, සියලු කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා සටන් කිරීමටත්, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමටත්, කම්කරුවන් තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සටන් වැදිය යුතුය.

Loading