හතරවැනි ජාත්‍යන්තරය හා ලෝක සමාජවාදී විප්ලවය: 1986-1995 කෘතියේ හැඳින්වීම

මෙහි පහත දැක්වෙන්නේ The Fourth International and the Perspective of World Socialist Revolution: 1986–1995 නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පල කෙරුනු කෘතියට සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිශෝර් විසින් ලියන ලද හැඳින්වීමේ සිංහල පරිවර්තනයයි. මෙම හැඳින්වීම 2020 ජූනි 19 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

***

මෙම කෘතිය සමන්විත වන්නේ 2019 ජූලි 21-28 දිනවල (එක්සත් ජනපදයේ) සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද ගිම්හාන පාසලේ දී ඉදිරිපත් කෙරුනු දේශනයන් ගෙනි. එම දේශන, 1986 පෙබරවාරිය  බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප-WRP) සමඟ භේදයෙන් ඉක්බිති හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාකයේ) ඉදිරි දර්ශනයේ හා ක්‍රියාමාර්ගික වැඩ පිලිවෙලෙහි ඇති වූ වර්ධනයන් පිලිබඳව විභාග කරයි. එම දේශන තුල උපුටා දක්වා ඇති තීරනාත්මක අභියෝජනා හා ලේඛන ගනනාවක් මෙම වෙලු‍මේ උපග්‍රන්ථයේ ඇතුලත් කොට ඇත.    

කවිප සමඟ භේදය, හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි වඩාත්ම වැදගත් සිදුවීම් අතරෙහි ලා ගැනෙන්නකි, පරදුවට තැබී තිබුනේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේම චිර පැවැත්ම හා විප්ලවවාදී ජාත්‍යන්තර වැඩ පිලිවෙලේ අඛන්ඩත්වයයි.  

 

මෙම වෙලු‍මේ එන, සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් පැවැත්වූ ආරම්භක දේශනය විසින්, භේදය හා හජාජාකයේ වර්තමාන කර්තව්‍යයෝ, 1923 සෝවියට් සංගමය තුල වාම විපාර්ශ්වය පිහිටුවීමේ පටන් වූ ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසයේ සන්දර්භය තුල ස්ථානගත කෙරෙති. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙහි ප්‍රභින්න අවධීන් හතරක් නෝර්ත් හඳුනා ගනී. 

1923 පටන් 1938 දී හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීම දක්වා වූ ප්‍රථම අවධිය, ස්ටැලින් විසින් නායකත්වය දෙනු ලැබූ ප්‍රතිවිප්ලවවාදී තන්ත්‍රයේ පාවාදීම් හා අපරාධවලට එරෙහිව ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් සිදු කෙරුනු අරගලය ගැබ් කර ගනී. මෙකී පසලොස් වසර සංලක්ෂිත වූයේ ලෝක අවපාතයෙන්, ජර්මනිය තුල ෆැසිස්ට්වාදය බලයට පත් වීමෙන්, ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය පුපුරා යාමෙන්, සෝවියට් සංගමයේ බෝල්ෂෙවික්වාදයෙහි ඉතිරි වූ කොටස්වලට එරෙහි ස්ටැලින්ගේ මිනීමරු භීෂනයෙන්, හා දෙවැනි අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයේ අවතීර්න වීමෙනි. දඩයක්කාරී ලු‍හු බැඳීමකට ගොදුරුව, පිටුවාහලේ, “ග්‍රහ ලෝකයේ වාසය කිරීමට අවසර දෙන වීසා බලපත්‍රයකින් තොරව”‍ විසූ ට්‍රොට්ස්කි, “‍තනි රටේ සමාජවාදය”‍ යන මාක්ස්වාද-විරෝධී ස්ටැලින්වාදී න්‍යායට එරෙහි නිර්දය විරුද්ධත්වයකින් යුතුව නොනවතින විප්ලවයේ න්‍යාය හතරවැනි ජාත්‍යන්තරයේ මූලෝපායික පදනම ලෙස ආරක්ෂා කරමින් වර්ධනය කලේය.  

1938 සිට 1953 දක්වා වූ දෙවැනි අවධිය සමන්විත වන්නේ දෙවැනි ලෝක යුද්ධය, ට්‍රොට්ස්කි ඝාතනය, ධනේශ්වර ක්‍රමයේ පශ්චාත්-යුද කාලීන ප්‍රතිස්ථායීකරනය, හා ශීතල යුද්ධයේ පැතිර යාමෙනි. මෙකී පසලොස් වසර සංලක්ෂනය වන්නේ, සෝවියට් සංගමය “පිරිහුනු කම්කරු රාජ්‍යයක්”‍ ලෙස දැක්වූ ට්‍රොට්ස්කිගේ අර්ථ කථනය සම්බන්ධයෙන් ද, දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරු කාල පරිච්ඡේදයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදය හා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය අතර ශීතල යුද්ධ ගැටුම දේශපාලනිකව ආධිපත්‍යය දැරූ ලෝකයක් තුල හතරවැනි ජාත්‍යන්තරයේ ස්වාධීන විප්ලවවාදී කාර්යභාරය සම්බන්ධයෙන් ද වූ මතභේද මත කේන්ද්‍රීය අවධානය යෙදවීමට නැඹුරු වූ, හතරවැනි ජාත්‍යන්තරය තුල වර්ධනය වෙමින් පැවැති භේදයන්ගෙනි.       

1940 ගනන්වල අග භාගයේ දී මයිකල් පැබ්ලෝ හා ඔහුගේ සමීප අනුචරයා වූ අර්නස්ට් මැන්ඬේල් විසින් නායකත්වය දෙනු ලැබූ ප්‍රවනතාවයක්, සෝවියට් නිලධරයට හා ස්ටැලින්වාදී පක්ෂවලට විප්ලවවාදී කාර්යභාරයක් ආරෝපනය කල දේශපාලන ආස්ථානයක් වර්ධනය කලේය. සෝවියට් තන්ත්‍රයට එරෙහි දේශපාලන විප්ලවයක් සඳහා ට්‍රොට්ස්කිගේ කැඳවීමට ප්‍රතිවිරුද්ධව පැබ්ලෝ හා මැන්ඩෙල් නිලධාරීවාදයේ කල්පිත ස්වයං-ප්‍රතිසංස්කරන ක්‍රියාවලියක් අපේක්ෂා කලෝය. එපමනක් නොව, යලි ප්‍රානවත් වූ ස්ටැලින්වාදී සංවිධානවලට, කම්කරු පන්තියේ පීඩනය යටතේ, ධනේශ්වරය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම ක්‍රියාවට නැංවීමට සිදුවනු ඇත. එම නිලධර නායකත්වයෙන් යුත් විප්ලවයන්හි ප්‍රතිඵලය වනු ඇත්තේ, ශත වර්ෂ ගනනාවක කාල පරිච්ඡේදයකින් ඉක්බිති සැබෑ සමාජවාදයට ඉඩ සලසනු ඇති “‍විකෘති”‍ කම්කරු රාජ්‍ය පිහිටුවීම වනු ඇත. මෙම අමුතු විස්මයාකාර ඉදිරි දර්ශනය තුල හතරවැනි ජාත්‍යන්තරයට ඉටු කිරීමට කිසිදු ස්වාධීන කාර්යභාරයක් නොවීය.      

ඊට අනුකූලව, හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛා බහුජන ස්ටැලින්වාදී පක්ෂ තුලට තමන් දියකර හැරිය යුතු බවට පැබ්ලෝ හා මැන්ඬේල් බල කර සිටියෝය. මෙම ඉඳුරාම පරාජකවාදී අනුස්ථාපනය වර්ධනය කරන අතරතුරම පැබ්ලෝ හා මැන්ඩෙල්, චීනයේ මාඕවාදී තන්ත්‍රය කෙරේ ද, දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරු කාල පරිච්ඡේදයේ දී මහජන අනුගාමිකත්වයන් දිනා ගත් ධනපති ජාතිකවාදී ව්‍යාපාර ගනනාවක් කෙරේ ද ඊට සමාන අවස්ථාවාදී අනුස්ථාපනයක් තෝරා ගත්හ.   

ට්‍රොට්ස්කි 1938 දී ලියා තිබූ පරිදි, “හතරවැනි ජාත්‍යන්තරයේ කේඩරයන්ගෙන් පිටත, මෙම ග්‍රහලෝකය මත ‍විප්ලවවාදී යන නමට සැබැවින්ම උචිත වන එකද විප්ලවවාදී ධාරාවක් නැත.”‍ ඔහු වැඩි දුරටත් ලියා තුබුනේ, “අපගේ ජාත්‍යන්තරය තවමත් සංඛ්‍යාවෙන් දුබල නම් ධර්මයෙනුත් ක්‍රියාමාර්ගයෙනුත් සම්ප්‍රදායෙනුත් තම කේඩරයන්ගේ අසමසම පන්නරයෙනුත් එය ප්‍රබල ය”‍. [ලියොන් ට්‍රොට්ස්කි:  ධනවාදයේ මරලතෝනිය හා හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ: සංක්‍රමනීය ක්‍රියාමාර්ගය (කම්කරු මාවත    ප්‍රකාශන, 1988), පි. 50]    

1950 දශකයේ මුල් කාලය වනවිටත් ධනේශ්වරයේ දේශපාලන නියෝජිතයන් කෙරේ ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී විරුද්ධත්වය පැබ්ලෝ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබින. ඔහු මෙසේ ලියයි: “‍මම ඊටත් වඩා ඔබ්බට යමි අප අතිීතයෙන් වඩාත් ම වෙනස් ව පෙනෙනුයේ අද දින අපගේ ව්‍යාපාරයේ ශූන්‍ය ජනිත වනුයේ, අපගේ අනාගත ජයග්‍රහනවල ස්ථීර ම මිම්ම සමන්විත වනුයේ, මහජන ව්‍යාපාරය එය පවතින හැටියෙන්- එනම් බොහෝ විට ව්‍යාකූල, බොහෝ විට ද්‍රෝහී “අවස්ථාවාදී” මාධ්‍යමික, නිලධාරිවාදී සහ ඇතැම්විට ධනේශ්වර හා සුලුධනේශ්වර වූත් නායකත්වයන් යටතේ පවා- අවබෝධ කර ගැනුමට හා අගය කෙරුමට අපට පවතින වැඩෙන ශක්තිය හා එම මහජන ව්‍යාපාරය දැන් පවතින මට්ටමෙන් වඩා ඉහල මට්ටම්වලට ඔසවාලීමේ අරමුනින් එම ව්‍යාපාරය තුල අපගේ තැන සොයා ගැනුමට අප දරන ප්‍රයත්නයන් හේතු කොට ගෙන යි. ”‍ [අප රක්නා උරුමය 1: හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයට ප්‍රතිපදානයක්- ඩේවිඩ් නෝර්ත් (කම්කරු මාවත    ප්‍රකාශන, 1990), පිටු 257-258] හි උපුටා දක්වා ඇත.  

පැබ්ලෝ හා මැන්ඩෙල්ගේ දියකරහැරීම්වාදී ඉදිරිදර්ශනය හා භාවිතය, හතරවන ජාත්‍යන්තරය විනාශ කිරීමට තර්ජනය කරන බව 1953 වන විට පැහැදිලි වී තිබුනි. එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භකයා හා තවමත් සමාජවාදී කම්කරු පක්ෂයේ මූලික නායකයා වූ ජේම්ස් පී. කැනන්, පැබ්ලෝ මැන්ඩෙල් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ස්ථීරසාර ව බිඳී වෙන් වන ලෙස ට්‍රොට්ස්කිවාදී සංවිධානවලට කැඳවුම් කල විවෘත ලිපියක් නිකුත් කලේ ය. කැනන් ද බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි නායකයා වූ ජෙරී හීලි ද ඇතුලු‍ව විවෘත ලිපියට අත්සන් තැබූවෝ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව බිහි කලෝය. මෙම ඓතිහාසික භේදය, හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ දෙවන අවධිය සමාප්තියකට ගෙන ආවේ ය.

1953 දී විවෘත ලිපිය නිකුත් කිරීමේ සිට 1985-86 දී බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් ජාත්‍යන්තර කමිටුව භේද වීම දක්වා වූ තුන්වන අවධිය දශක තුනකට වැඩි කාලයක් ඇදී ගියේ ය. අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදය විසින් හතරවන ජාත්‍යන්තරය මත යෙදූ දෘෂ්ටිවාදාත්මක, දේශපාලනික හා සංවිධානාත්මක පීඩනයෙහි දේශපාලනික ප්‍රකාශනය වූ පැබ්ලෝවාදයේ අනවරත බලපෑමට එරෙහි ව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙන ගිය දිග්ගැස්සුනු අරගලය, දශක තුනක මෙම කාල පරිච්ඡේදයේ ආධිපත්‍ය දැරූ ලක්ෂනය විය.

අවසාන විග්‍රහයේ දී, පැබ්ලෝවාදය වනාහි, (ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී යන දෙ ආකාරයේම) විශාල කම්කරු නිලධරයන්ට හා රැඩිකල් සුලු‍ධනේශ්වර දේශපාලනයෙහි ගනන් නැති රූපාකාරයන්ට අනුගත වූත්, ඒවායේ දෘෂ්ටිය ප්‍රකාශයට පත්කලා වූත්, ප්‍රති-මාක්ස්වාදී රූපයක් වූයේ ය. ස්ටැලින්වාදී තන්ත්‍රයන්ගේ මතුපිටින් පෙනුනු ශක්තිමත් වීම, උතුරු ඇමරිකාවේ හා බටහිර යුරෝපයේ කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් වැඩි දියුනු වීම, මාක්ස්වාදී-ස්වරයෙන් යුත් වාගාලාප නිරන්තරයෙන් හඬනගමින් චීනයේ මාඕවාදී තන්ත්‍රයත්, තවත් තැන්වල අනේකාකාර ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍ර හා ව්‍යාපාරත් බලය කරා ආරෝහනය වීම හා 1960 ගනන්වල ශිෂ්‍ය රැඩිකල්වාදය පුපුරා යාම යන පශ්චාත් දෙවන ලෝක යුද්ධ උත්පාතයේ සුවිශේෂී හා අසාමාන්‍ය කොන්දේසි, හතරවන ජාත්‍යන්තරයට දේශපාලනික ව හතුරු වාතාවරනයක් නිර්මානය කලේ ය. සුලු‍ධනේශ්වරයට දිශාගත වූ පැබ්ලෝවාදී ව්‍යාපාරය, ස්ටැලින්වාදීන් හා අධිරාජ්‍යවාදයේ රාජ්‍ය ඒජන්තයින්ගේ විවෘත හා ආවෘත සහයෝගය සහිත ව, හතරවන ජාත්‍යන්තරයේ සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් හුදකලා කිරීමට එයට හැකි සියල්ල කලේ ය.

පැබ්ලෝවාදී සංශෝධනවාදයේ බලපෑම ජාත්‍යන්තර කමිටුව තුල ප්‍රකාශයට පත්වූයේ, හුදෙක් බාහිර සංවිධානාත්මක පීඩනයේ ස්වරූපයෙන් පමනක් නො වී ය. නිශ්චිතවම පැබ්ලෝවාදයේ වෛෂයික සමාජ පදනම හා බලවේගයන්ගේ අවාසිදායක සබඳතාව හේතුවෙන්, පැබ්ලෝවාදීන්ට ආවේනික දේශපාලනික සංකල්ප ජාත්‍යන්තර කමිටුවේ නායකත්වයේ හා කේඩරයේ කොටස් තුලින් ශ්‍රාවකයක් සොයාගැනීමට නැඹුරු විය. කස්ත්‍රෝ බලය කරා නැගීම විසින්, සුලු‍ධනේශ්වර ගරිල්ලාවරුන්ගේ නායකත්වය යටතේ සමාජවාදී විප්ලවය සිදුකල හැකි බව සනාථ කරනු ලැබ ඇතැයි කියාපෑ සමාජවාදී කම්කරු පක්ෂය, 1963 දී ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී පැබ්ලෝවාදීන් සමග එක්සත් ලේකම් මන්ඩලය තැනී ය. සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පීය) විසින් ට්‍රොට්ස්කිවාදය පාවා දෙනු ලැබීමට එරෙහි විරුද්ධත්වයට නායකත්වය දෙනු ලැබුනේ ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස ශාඛා විසිනි. ජෙරී හීලි කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකල හජාජාක මූලධර්මාත්මක අරගලය, සමාජවාදී සමානතා පක්ෂවල පූර්වගාමීන් වූ එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය (1966) හා ශ්‍රී ලංකාවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (1968) බිහිකිරීම කරා ඉදිරියට ගියේ ය.

යලි එකමුතුව ප්‍රතික්ෂේප කිරීම පැබ්ලෝවාදය සමග අවසන් ගනුදෙනු බේරාගැනීමක් සංඥා නො කලේ ය. 1966 වන විට, ඕගනයිසේෂන් කොමියුනිස්තේ ඉන්ටර්නැෂනිස්තේහි (ඕසීඅයි) ප්‍රන්ස ට්‍රොට්ස්කිවාදීහු, හතරවන ජාත්‍යන්තරය “යලි ගොඩනැගීමක්” වෙනුවෙන් පෙනී සිටි අතර, ප්‍රායෝගික දේශපාලන භාෂිතයේ දී එය එල්ල වී තිබුනේ ප්‍රන්ශුවා මිතරොං නායකත්වය දුන් ප්‍රන්ස සමාජවාදී පක්ෂය සමග පෙලගැසීමකට යි. ඕසීඅයි ප්‍රන්ස සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැඹුරු වීමත්, එය විසින් ලතින් ඇමරිකාවේ පැබ්ලෝවාදී හා සුලු‍ධනේශ්වර ප්‍රවනතාවන් සමග අත්‍යන්තයෙන් ම අවස්ථාවාදී සබඳතා වර්ධනය කර ගනු ලැබීමත්, 1972 දී ජාත්‍යන්තර කමිටුවෙන් භේද වීමකට හේතු විය. ඕසීඅයි ගැන පලකල දේශපාලන විවේචන නො තකා, බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු ලීගය (එස්එල්එල්) ද 1970 ගනන්වල දී ඒ හා සමාන ප්‍රවනතා ප්‍රදර්ශනය කලේ ය. 1973 නොවැම්බරයේ දී එස්එල්එල් කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) බවට පරිවර්තනය කිරීමෙන් අනතුරු ව, මෙම දිශානතිය වඩ වඩා පැහැදිලි වන්නට විය.

ජාත්‍යන්තර කමිටුව තුල එස්එල්එල්/කවිප ජාතිකවාදී දේශපාලනයට එරෙහි ව දේශපාලන විරෝධයක් මතු විය. 1971 දී ඉන්දියාව නැගෙනහිර පකිස්තානය ආක්‍රමනය කිරීමේ දී එස්එල්එල් ඊට දුන් සහයෝගයට කීර්ති බාලසූරිය හා හජාජාක ශ්‍රී ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකත්වය තම විරුද්ධත්වය පල කලෝය. එහෙත් මෙම විවේචන යටපත් කල එස්එල්එල් නායකත්වය, ඒවා ජාත්‍යන්තර කමිටුව ඇතුලත සාකච්ඡා කිරීම සඳහා බෙදාහැරීමට ඉඩ දුන්නේ නැත.

කවිප ජාතිකවාදී දේශපාලනයට එරෙහි දේශපාලන අරගලය

කවිපය ට්‍රොට්ස්කිවාදයෙන් දේශපාලනික ව අපසරනය වීම හා එය සාධාරනීකරනය කිරීමට යොදාගත් න්‍යායික සංකල්පයන් පිලිබඳ වඩාත් තිරසාර වූත්, සර්වග්‍රාහී වූත් විවේචනයක්, වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් වූ ඩේවිඩ් නෝර්ත් විසින් 1982 හා 1985 අතර කාලයේ වර්ධනය කරන ලදී.

කවිපයේ දේශපාලන ක්‍රියාමාර්ගය පිලිබඳ ව ඉදිරිපත් කල ආරම්භක විවේචනවල දී නෝර්ත්, කවිපය ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්මවලින් පල්ලම් බැසීම වෙත අවධානය යොමුකලේ ය. 1982 ඔක්තෝබර්-නොවැම්බර් සමයේ ලියන ලද “ජී. හීලිගේ ‘අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයන‘ ගැන විවේචනයට ප්‍රතිපදානයක්” නමැති රචනයේ දී, මාක්ස්වාදය පිලිබඳ හීලිගේ විඥානවාදී අපරූපනය සහ කවිපය ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායයෙන් පසු බැසීම සමග එයට තිබෙන සබඳතාව ද නෝර්ත් හෙලිදරවු කලේ ය. ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයන් වෙත කවිපයේ අනුගත වීම උපුටා දක්වමින් නෝර්ත් මෙසේ ලිවී ය:

කවර කලෙකවත්, එම ප්‍රදේශය තුල  ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම පිලිබඳ පැහැදිලි ඉදිරිදර්ශනයකින් මෙහෙය වී නොතිබුනු මැද පෙරදිග තුල දැන් කෙරෙන වැඩ කටයුතු ද්ශපාලන සුලඟ හමන අතට, තත්කාරවාදීව අනුගත වීම කරා පරිහානියට පත් ව තිබේ. මාක්ස්වාදීන්  ජාතික විමුක්ති අරගල හා ව්‍යාපාර අධිරාජ්‍ය වාදයට එරෙහි ව ආරක්ෂා කිරීමේ විවිධ ජාතික ධනේශ්වර තන්ත්‍රයන්ට අවස්ථාවාදී ලෙස අවිවේචනාත්මක ව සහාය දීමක් ලෙස අර්ථකථනය කරනු ලැබ ඇත....

 ජාත්‍යන්තර කමිටුව මැද පෙරදිග ක්‍රියාවන්හි යෙදී සිටි අවුරුදු 6 ඇතුලත එම ප්‍රදේශයේ පන්ති සම්බන්ධතාවන් විග්‍රහකරන එකදු ප්‍රකාශයක් වත් නිකුත් කොට නැත. කම්කරු පන්තියේ වර්ධනය විශ්ලේෂනය කල එකදු ලිපියක් හෝ  ලියවී නැත. සකල අපේක්ෂා සහ අරමුනු උදෙසා,  වත්මන් තත්වයට නොනවතින විප්ලව න්‍යාය නොයෙදිය හැකි යයි සලකනු ලැබ ඇත. (ඩේවිඩේ නෝර්ත්, “ජී. හීලිගේ  ‘අධ්‍යයනයන්’” පිලිබඳ විවේචනයේ දේශපාලනික සාරාංශයක්),( Fourth International,හතරවන ජාත්‍යන්තරය (ඉංග්‍රීසි), 13 වෙලු‍ම, අංක 2, 1986 ශරත් සමය), 23පිටුව]

1984 ජනවාරි-පෙබරවාරි මාසවල දී, පැබ්ලෝවාදය සමග ඓතිහාසික ව අනන්‍ය වන ආස්ථානයන් කරා කවිපයේ අනුගත වීම පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනයක් නෝර්ත් විසින් ඉදිරිපත් කෙරින.

1984 ජනවාරි 23දා කවිප ප්‍රධාන ලේකම් මයිකල් බන්ඩාට නෝර්ත් යැවූ ලිපියක් තුල සඳහන් කල පරිදි: කවිප නායකත්වය යටතේ ජාත්‍යන්තර කමිටුව, “කෙසේවෙතත් අපට හැඟීයන්නේ සිය භාවිතය මෙහෙයවීම සඳහා දේශපාලන වසයෙන් ඒකාබද්ධ පැහැදිලි ඉදිරි දර්ශනයකින් තොරෙව ජාත්‍යන්තර කමිටුව කාලයක් තිස්සේ වැඩ කරගෙන අවුත් තිබෙන බවයි. සෑම රටකම ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනගනවා වෙනුවට අවුරුදු ගනනාවක් තිස්සේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවල මධ්‍ය කේන්ද්‍රය බවට පත්වී ඇත්තේ විවිධ ජාතික ධනේශ්වර පාලකයන් සමග ද ජාතික විමුක්ති අරගලයන් සමග ද සන්ධානයන් ගොඩනගා ගැනීම ය. අර්ධ යටත් විජිත රටවල අධිරාජ්‍ය විරෝධී අරගල තුල දී කම්කරු පන්තියේ නායක කාර්ය භාරය තහවුරු කිරීමේ සටනට කේන්ද්‍රස්ථ වන පරිදි අපගේම බලවේගයන් සංවර්ධනය කිරීම කෙරේ  පැහැදිලි දිශානතියක් මෙම සන්ධානයන්හි අන්තර්ගතයෙන් අනුක්‍රමයෙන් ගිලිහී ගොස් තිබේ. [ ඬේවිඞ් නෝර්ත්ගෙන් මයික් බන්ඩාට ලිපියක්, (කම්කරු මාවත, 1985 දෙසැම්බර් 13, 6 පිටුව), (ඬේවිඞ් නෝර්ත්ගෙන් මයික් බන්ඩාට ලිපියක්, හතරවන ජාත්‍යන්තරය (ඉංග්‍රීසි), 13 වෙලු‍ම, අංක 2, 1986 ශරත් සමය, 35 පිටුව)] 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට 1984 පෙබරවාරි 11දා ඉදිරිපත් කල දේශපාලන වාර්තාවක දී නෝර්ත් මෙසේ සඳහන් කලේ ය: “ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය සිදුවී ඇත්තේ සංශෝධනවාදයට එරෙහි අරගලය මගිනි... අපේ ව්‍යාපාරයම කොටසක් හැටියට පවතින්නා වූ පන්ති අරගලය තුල සංශෝධනවාදයේ මූලයන් පවතින නිසාම ද, එය කම්කරු පන්තිය හා එහි පෙරටු බලඇනි මත සතුරු පන්ති බලවේගයන්ගේ පීඩනය පිලිබිඹු කරන හෙයින් ද සංශෝධනවාදයට අප දක්වන ප්‍රතිචාරයේ ඉහලම ප්‍රකාශනය වන්නේ අපේම දේශපාලන වර්ධනය විග්‍රහ කිරීමයි.”

නෝර්ත් තවදුරටත් මෙසේ ලිවීය: 

පසුගිය දශකය තුල ජාත්‍යන්තර කමිටුවේ සම්පූර්න වර්ධනය පරීක්ෂා කිරීමට කාලය එලඹ ඇතැයි අපට හැඟෙන්නේ මේ කාරනය නිසා ය. පැබ්ලෝගෙන් ප්‍රථමයෙන්ම වෙන්වීමෙන් පසුව, අවුරුදු 20ක් තිස්සේ දෘඪව සටන් කලාවූ ආස්ථානයන්ගෙන් අප නිරන්තරවම ඉවතට තල්ලුවී ගොස් ඇතැයි යන අදහස අපි දැඩිසේ දරන්නෙමු. 1984 ජනවාරි 23 දින බන්ඩා සහෝදරයාට යැවූ ලිපියක  ජාතික විමුක්ති ව්‍යාපාරයන් සම්බන්ධව ජාත්‍යන්තර කමිටුවේ මුලුමහත් අත්දැකීමේම ශේෂ පත්‍රයක් සකස්ම කිරීමට කාලය එලඹ තිබේ යයි මම යෝජනා කලෙමි. මා එබඳු ශේෂපත්‍රයක් අවශ්‍යයයි හඟින්නේ ලෝක පක්ෂයක් ලෙස අප විසින් සම්බන්ධතා ඇති කර ගෙන ඇත්තා වූ  ජාතික ධනේශ්වර පාලනයන් ද විමුක්ති ව්‍යාපාරයන් ද සමග අපේ අත්දැකීම පිලිබඳ කිසිදු වෛෂයික පරීක්ක්ෂනයක් කෙරී නැති හෙයිනි. මෙම වාර්තාව ජාත්‍යන්තර කමිටුවේ අඛන්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ද එක් එක් ශාඛාවල කේඩර් පුහුනු කිරීම සඳහා ද විවේචනයට ලක්කිරීමට අත්‍යවශ්‍ය යයි අපි හඟිමු. [ ඬේවිඞ් නෝර්ත්, “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට ඉදිරිපත් කල දේශපාලන වාර්තාව,” 1984 පෙබරවාරි 11, (කම්කරු මාවත, 1986 ජනවාරි 24, 6පිටුව,) (හතරවන ජාත්‍යන්තරය (ඉංග්‍රීසි), 13 වෙලු‍ම අංක 2, 1986 ශරත් සමය, 42 පිටුව]

වර්කර්ස් ලීගයේ දේශපාලන විවේචනවලට ප්‍රතිචාර ලෙස බිඳී වෙන්වීමකට තර්ජනය කරමින්, කවිප නායකත්වය මෙම වෙනස්කම් සාකච්ඡාවට ගැනීම ප්‍රතික්ෂේප කලේ ය. කෙසේවෙතත්, වසරක් ඉක්මවා සුලු‍ කලක් ගිය තන්හි දී, කලින් ගතවුනු දශකය තුල ට්‍රොට්ස්කිවාදී මූලධර්මවලින් මෙලෙස දේශපාලනික ව පල්ලම් බැසීමේ ප්‍රතිඵලය වූ සංවිධානාත්මක අර්බුදයක කවිප ගිලී ගියේ ය. 1985 දෙසැම්බර් 16දා ජාත්‍යන්තර කමිටුව කවිප සාමාජිකත්වය තහනම් කිරීම තුල මෙම අර්බුදය කූටප්‍රාප්ත විය. හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගික පදනම් නිශ්චිත ව පිලිගැනීමේ කොන්දේසිය මත කවිප සාමාජිකත්වය යලි ලබා දීම හජාජාක විසින් යෝජනා කෙරින. මෙම කොන්දේසිය ප්‍රතික්ෂේප කල කවිප, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය පිලිගැනීමට එය ලබා දී තුබූ ප්‍රතිඥාවට පිටු පා ගියේය. 1986 පෙබරවාරි 8 වන දින කවිප සම්මේලනය පවත්වමින් තිබුනු ශාලාවට කවිපයේ සාමාජිකත්වයෙන් සැලකිය යුතු කොටසක්  වූ හජාජාකට සහයෝගයට දෙන සාමාජිකයන් ඇතුලු‍ වීම වැලැක්වීම පිනිස පොලීසිය කැඳවීම මගින්, කවිප නායකත්වය ජාත්‍යන්තර කමිටුවෙන් බිඳීම සම්පූර්න කලේ ය. මෙම බිඳීමෙන් යන්තම් වසර කිහිපයක් ගත වූ තැන කවිප භංග වී ගියේ ය.

කවිප සමග 1985-86 භේදය, හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ තුන්වන අවධිය සමාප්තියකට ගෙන ආවේ ය. තීව්‍ර දේශපාලනික අරගලයේ දශක තුනකටත් අධික කාලයකට පසු, පැබ්ලෝවාදීන්ට තීරනාත්මක දේශපාලන පරාජයක් අත් කරදුන් සාධර්මික ට්‍රොට්ස්කිවාදීහු, හතරවන ජාත්‍යන්තරයේ පූර්න දේශපාලනික හා සංවිධානාත්මක පාලනය යලි අත් කරගත් හ.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ හතරවන අවධිය: ජාත්‍යන්තර මාක්ස්වාදී ඉදිරිදර්ශනය යලි හැඩ තැලීම හා වර්ධනය කිරීම

මෙම වෙලු‍මෙහි දේශන මූලික වසයෙන් සැලකිල්ල යොමු කරන්නේ 1986න් ඇරඹුනු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ හතරවන අවධිය කෙරෙහිය. කවිපයෙන් භේද වීමෙන් ඉක්බිති ව, වේගයෙන් වෙනස් වන ලෝක දේශපාලන තත්ත්වයේ කොන්දේසි තුල, සංකීර්න ගැටලු‍ මාලාවකට මුහුන දීමට හජාජාකට සිදු විය. සෝවියට් සංගමයේ හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍රයන්ගේ ගැඹුරු වෙමින් පැවැති අර්බුදය හා අවසානයේ ඒවා බිඳ විසුරුවා හැරීම, 1989 තියනාන්මෙන් චතුරස්‍ර සංහාරයෙන් පසුව චීනය තුල ධනවාදී සබඳතා පුනස්ථාපනය වේගවත් කිරීම, ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ගේ දක්ෂිනාංශික පරිනාමය හා අධිරාජ්‍යවාදය සමග පෙලගැසුනු බෙදුම්වාදී ව්‍යාපාරවල ව්‍යාප්තිය, සංගත කලමනාකාරීත්වයේ හා රාජ්‍යයේ යාන්ත්‍රනයට වෘත්තීය සමිති මුලු‍මනින් ම ඒකාග්‍ර වීම, සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරා යාම හා 1990-1991 සමයේ පලමු ඉරාක ආක්‍රමනය සමගින් ඇරඹුනු නිමක් නැති යුද්ධය මෙම ගැටලු‍ අතරට ඇතුලත් විය.

මෙම අභියෝගයන්ට මුහුන දීමේ දී, ජාත්‍යන්තර මාක්ස්වාදී ඉදිරිදර්ශනයක් ප්‍රතිස්ථාපනය කිරීම හා වර්ධනය කිරීම අවශ්‍ය විය. කවිපය සමග භේදයේ මාවත තුල දී, මෙම ඉදිරිදර්ශනය සඳහා වන දේශපාලන පදනම ඉස්මතු විය.

භේදයෙන් අනතුරු ව හජාජාක මුහුන දුන් පලමු කර්තව්‍යය වූයේ, භේදයේ ම හේතු හා අර්ථභාරය ක්‍රමානුකූල ව අධ්‍යයනය කිරීම යි. නෝර්ත් හා කීර්ති බාලසූරිය විසින් 1986 මැයි මාසයේ ලියන ලද කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද: 1973-1985 [(කම්කරු මාවත ප්‍රකාශන, 2003 නොවැම්බර්); (හතරවන ජාත්‍යන්තරය, වෙලු‍ම 13 අංක 1, 1986 ගිම්හාන සමය)ඉංග්‍රීසි] යන හජාජාක ප්‍රකාශය තුල මෙය සිදුකරන ලදී. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසයට කවිප ප්‍රධාන ලේකම් මයිකල් බන්ඩා එල්ල කල විවෘත ප්‍රහාරයට, ඬේවිඞ් නෝර්ත් විසින් ලියන ලද අප රක්නා උරුමය: හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයට ප්‍රතිපදානයක් නමැති කෘතිය පලකිරීම මගින් හජාජාක ප්‍රතිචාර දැක්වී ය.

ජාතික ව පදනම් ව තිබුනු සියලු‍ සංවිධාන හා පක්ෂ අලලා ගත් ප්‍රගාඪ අර්බුදයක කොටසක් වූ කවිප පරිහානියට යටින් පැවැති වෛෂයික ක්‍රියාවලීන්, න්‍යායික ව විභාග කිරීම මින් අනතුරුව සිදු විය.

කවිප සමග භේදයෙන් ඉක්බිති ව, ජාත්‍යන්තර කමිටුව මුහුන දුන් ප්‍රධාන අභියෝගය වූයේ, දේශපාලන ඉදිරිදර්ශනය පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ වැඩකටයුතු යලි ඇරඹීම යි. 1985-86 භේදයට තුඩු දී තිබුනු දේශපාලන අර්බුදයට යටින් පැවති වෛෂයික සමාජ-ආර්ථික කොන්දේසි විභාග කිරීම සඳහා අවශ්‍ය පන්නරය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් මඟින් ජාත්‍යන්තර කමිටුවට ලැබී තිබින.   1923 දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ආරම්භ කල තැන් පටන් ම, ලෝක තත්ත්වයේ ප්‍රධාන මාරුවීම්වලට තියුනු සංවේදීතාවක් එය විසින් ප්‍රදර්ශනය කර තිබුනි. ලෝක දේශපාලනයේ තීරනාත්මක හැරුම් ලක්ෂ්‍යයන්ට ප්‍රතිචාර ලෙස හෝ ඒවා පූර්වාපේක්ෂා කරමින්, එහි නායකත්වය හා සාමාජිකත්වය තුල වැදගත් ගැටුම් ඉස්මතු වීමට නියමිත විය. ඉක්මනින් ම පැහැදිලි වූ පරිදි, 1982 හා 1986 අතර ජාත්‍යන්තර කමිටුව තුල දිගහැරුනු අරගලය, 1989 හා 1991 අතර ලෝක දේශපාලනයේ පුපුරනසුලු‍ වෙනස්කම් පූර්වාපේක්ෂා කලේ ය.

යලි ඇරඹුනු න්‍යායික වැඩකටයුතුවල හදිසි භාවය උස් හඬින් ඉල්ලා සිටින ලද්දේ, වසර ගනනක කවිපයේ පල්ලම් බැසීම හා අනුගත වීම, ජාත්‍යන්තර ඉදිරිදර්ශන පිලිබඳ නිතිපතා වැඩකටයුතු අත්හැර දැමීම තුල වඩාත් ම තියුනු ලෙස ප්‍රකාශ වී තිබුනේ ය යන කරුන විසිනි. සැබෑ ලෝකය තුල කම්කරු පන්තිය අත්විඳි පරාජයන් සුවපහසු ලෙස නො තකා හල හිස් වාක්‍යාංශයක් වූ, “කම්කරු පන්තියේ අපරාජිත ස්වභාවය” වාචාල ලෙස යලි යලිත් ප්‍රකාශ කල කවිප, ලෝක ධනේශ්වර ආර්ථික ව්‍යුහයේ තීරනාත්මක වෙනස්කම්වලට හා එම වෙනස්කම් අධිරාජ්‍යවාදී භූ-දේශපාලනය හා ජාත්‍යන්තර පන්ති අරගලය මත ඇති කල බලපෑමට දුන්නේ වඩ වඩා අඩු අවධානයකි. 1970 ගනන් මැද ඇරඹුනු කම්කරු පන්තියට එරෙහි ගෝලීය ධනේශ්වර ප්‍රහාරයට යටින් දිව ගිය වෛෂයික අභිලාෂයන් විශ්ලේෂනය කිරීමට හෝ එම ප්‍රහාරයට ඵලදායී ප්‍රතිරෝධයක් ගොඩනැගීමට, පැවති මහජන කම්කරු හා වෘත්තීය සමිති ව්‍යාපාර අසමත් වූයේ මන් ද යන්න විස්තර කිරීමට කිසිදු උත්සාහයක් නො දරන ලදී.

ජාත්‍යන්තර කමිටුව නව ලෝක ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීම 1987 ජූලි මාසයේ දී ආරම්භ කලේ ය. “අධිරාජ්‍යවාදී යුගය ඇතුලත නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් අත්පත් කරගෙන ඇති නව ආර්ථික රූපාකාර; එනම්, ඉතිහාසය තුල මින් පෙර නුවූ පරිමානයකින් නිෂ්පාදනය ජාත්‍යන්තරීකරනය වීම සහ, තනි භාන්ඩයක නිෂ්පාදනය ඒකාග්‍රිත අන්තර්ජාතික නිෂ්පාදනයේ ප්‍රතිඵලය වන්නා වූ සැබෑ ගෝලීය නිෂ්පාදනයක් ඉස්මතුව ඒම, කිසිදු අයුරකින් සැලකිල්ලට ගැනීමට” කවිපය අසමත්වීම වෙත, 1987 ජූලි 1දා පැවති වර්කර්ස් ලීගයේ ගිම්හාන පාසලට ඉදිරිපත් කල වාර්තාවක දී නෝර්ත් අවධානය යොමු කලේ ය. [David North, “Political Report on the Perspectives of the International Committee of the Fourth International,” (Fourth International, vol. 15 no. 1, January-March 1988), p. 69 (ඬේවිඞ් නෝර්ත්, “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන පිලිබඳ දේශපාලන වාර්තාව, හතරවන ජාත්‍යන්තරය, 15 වෙලු‍ම අංක 1, 1988 ජනවාරි-මාර්තු, 69 පිටුව)]

පවතින කම්කරු පන්තික සංවිධානවල විශ්වීය අර්බුදයෙහි වෛෂයික ප්‍රභවය වන්නේ ගෝලීයකරන ක්‍රියාදාමය බව නෝර්ත් අවධාරනය කලේ ය. ඔහු මෙසේ සඳහන් කලේ ය:

මෙම නව තත්ත්වයට මුහුන දීමට වෘත්තීය සමිති සන්නද්ධව නැත. මුලු‍මනින් ම ජාතික භූමියක පන්ති අරගලය පවත්වාගෙන යන තාක් කල්, ඔවුන්ට කම්කරු පන්තිය ආරක්ෂා කල නො හැක. යථාර්ථයේ දී, අන්තර්ජාතික සංවිධානවල වර්ධනයේ තතු යටතේ, කම්කරු පන්තිය ජාත්‍යන්තරව සංවිධානය කිරීම අවශ්‍ය කෙරෙයි. ඇමරිකානු, ජපාන, කොරියානු හෝ ජර්මානු කම්කරුවෝ, ජාතික ව හුදකලා අරගල ගෙන යාම කල නො හැක්කක් බවට වඩ වඩා පත් වෙමින් තිබෙන බැව් වටහා ගනිති. ධනේශ්වරය නිෂ්පාදනය ලෝක පරිමානයකින් සංවිධානය කිරීමට උත්සාහ දරන පරිදි ම, කම්කරු පන්තියට ද තමන්ගේ අරගල ලෝක පරිමානයකින් සංවිධානය කිරීමට සහ එනිසා ම නව හා වඩා දියුනු සංවිධාන රූප නිර්මානය කරගැනීමට බලකෙරෙනු ඇත. (එම, 73 පිටුව)

1988 ජූලි මාසයේ හජාජාක හත්වන පුන්සැසියේ දී අනුමත කරන ලද “ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” නමැති ලියවිල්ල, ජාතික රාජ්‍ය පද්ධතිය තුල ගිලී සිටින සියලු‍ සමාජ හා දේශපාලන සංවිධානවල ශක්‍යතාවට වල කපන, අන්තර්ජාතික සංගත හා ගෝලීයකරනය සමග සම්බන්ධිත, ධනපති නිෂ්පාදන ක්‍රියාදාමයේ වෙනස්කම්වල විප්ලවීය අර්ථභාරය විභාග කරයි. මෙම වෙලු‍මට ඇතුලත් වන එම යෝජනාව මෙසේ සඳහන් කරයි:

හරයාත්මකව ජාත්‍යන්තර වන පන්ති අරගලය ජාතික වන්නේ එහි රූපයෙන් පමනක් යන්න මාක්ස් වාදයේ චිරකාලීන ප්‍රස්තුතයකි.කෙසේවතුදු ධනවාදී වර්ධනයේ නව අංගලක්ෂන අනුව පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතුවේ.කම්කරු පන්තියේ අති මූලික අරගලයන් පවා ඒවායේ කටයුතු ජාත්‍යන්තර පරිමාවකින් සම්බන්ධී කරනය කිරීමේ අවශ්‍යතාව මතු කරයි....  මේ අනුව ප්‍රාග්ධනයේ  පෙර නුවූවිරූ ජාත්‍යන්තර සංචලනය විවිධ රටවල කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් සියලු ජාතික ක්‍රියාමාර්ගයන් යල්පිනූ හා අතිශයින් ප්‍රතිගාමී බවට පත් කර ඇත.  [“ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ,” හතරවන ජාත්‍යන්තරය, (කම්කරුමාවත ප්‍රකාශන, 1988 අගෝස්තු, 3 පිටුව)]

යෝජනාව තවදුරටත් මෙසේ සඳහන් කරයි:

ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් අතර ආර්ථික හා දේශපාලනික ප්‍රතිවිරෝධතා විශාල වසයෙන් තියුනු කොට ඇති ධනපති නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය, ලෝක ආර්ථිකයේ වෛෂයික වර්ධනය හා සමස්ත ධනේශ්වර දේපොල පද්ධතිය ඓතිහාසික ව මුල්බැස තිබෙන ජාතික රාජ්‍ය ආකෘතිය අතර සමහන් කල නො හැකි පරස්පර විරෝධය යලි වතාවක් ප්‍රමුඛ ස්ථානයට පමුනුවා ඇත. කිසිදු ධනේශ්වර “පීතෘභූමියකට” බැඳීමක් නැති නිර්ධන පන්තියේ ජාත්‍යන්තර ස්වභාවය ම, ජාතික රාජ්‍ය පද්ධතියේ හුස්ම හිරකරන විලංගුවලින් ශිෂ්ටාචාරය මුදාගත හැකි එක ම සමාජ බලවේගය බවට එය පත් කරයි.

මෙම මූලික හේතු නිසා ම, ධනපති ක්‍රමයට එරෙහි ව නිර්ධන පන්තිය ලෝක පරිමාන ව බලමුලු‍ගැන්වීම ඉලක්ක කරගන්නා ජාත්‍යන්තර මූලෝපායක් මත එය පදනම් නො කරන්නේ නම්, එහි අවසාන විමුක්තිය තබා කල් පවත්නා ප්‍රගමනයන් පවා කම්කරු පන්තියට අත්පත් කර දීමට, කිසිදු රටක් තුල පාලක පන්තියට එරෙහි අරගලයක් සමත් නො වේ. කම්කරු පන්තියේ මෙම අත්‍යවශ්‍ය ඒකාබද්ධතාව ඉටු කරගත හැක්කේ, අව්‍යාජ ජාත්‍යන්තර නිර්ධන පන්තික, එනම් විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම හරහා පමනි. දශක ගනනක් තිස්සේ වෙහෙස නො තකා කල දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන අරගලයේ නිෂ්පාදිතය වන එවන් පක්ෂ ඇත්තේ එකක් පමනි. එය වනාහි අද දින ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන, 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ගොඩනගන ලද හතරවන ජාත්‍යන්තරය යි. (එම.)

ට්‍රොට්ස්කිවාදයේ පුනරුදය හා ලෝක සමාජවාදී විප්ලවයේ දශකය

හජාජාක ලෝක ඉදිරිදර්ශනය, ඉන්පසුව එලඹුනු දශකයේ යෝධ නැගිටීම් විශ්ලේෂනය කිරීමට හා ඒවාට ප්‍රතිචාරය දැක්වීමට අවශ්‍ය වන න්‍යායික හා දේශපාලනික පදනම් ස්ථාපනය කලේ ය. 2019 ගිම්හාන පාසලට කල ආරම්භක දේශනයේ දී, කවිප සමග භේදයෙන් පසු කාලපරිච්ඡේදය තුල ජාත්‍යන්තර කමිටුවේ වැඩකටයුතු, මාක්ස්වාදී ව්‍යාපාරයේ සුවිශාල ජයග්‍රහනයක් බව නෝර්ත් සඳහන් කලේ ය.

පැබ්ලෝවාදී අවස්ථාවාදය තීරනාත්මක ලෙස පරාජය කිරීම හා නෙරපා ලීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික, දේශපාලනික හා සංවිධානාත්මක කටයුතුවල යෝධ වර්ධනයක් සඳහා කොන්දේසි නිර්මානය කලේ ය. ජාතික අවස්ථාවාදීන් නෙරපා හැරීම විසින් අත්පත් කර ගැනීමට ඉඩ සලසා දෙන ලද න්‍යායික හා දේශපාලනික වැඩකටයුතුවල පැහැදිලි කම, ට්‍රොට්ස්කිවාදයේ පුනරුදයකට කිසිසේත් ම නො අඩු දෙයක් අර්ථවත් කලේ ය.

මෙම වෙලු‍මෙහි අන්තර්ගත දේශන, භේදයෙන් ඉක්බිති ව ජාත්‍යන්තර කමිටුව ඇතුලත සිදු වූ සාකච්ඡාවන්ට ආලෝචනාවක් සපයයි. සාකච්ඡා, හා ලිපි ලේඛනවල පිටපත් ඇතුලු‍ අභ්‍යන්තර පක්ෂ ලේඛන යොදා ගනිමින්, මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් තුල දේශපාලන ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය වර්ධනය කරනු ලබන්නේ කවර ආකාරයෙන්දැයි එම දේශන පෙන්වා දෙයි. දේශන යොමුවන්නේ ජාත්‍යන්තර කමිටුව මුහුන දුන් වඩාත් ම සංකීර්න ප්‍රශ්න වෙතට යි. වෘත්තීය සමිති, ධනේශ්වර ජාතික ව්‍යාපාර, ස්වයං-නීර්නය සඳහා වන “ඉල්ලීම,” 1985 දී සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරු ව මිකායිල් ගොර්බචෙව් විසින් ආරම්භ කරන ලද ඝෝෂාකාරී පෙරස්ත්‍රොයිකා හා ග්ලාස්නොස්ට් පිලිවෙත් සහ පශ්චාත්-මාඕවාදී චීනයේ පුපුරනසුලු‍ සිද්ධීන් ආදිය පිලිබඳ සිය ආකල්පය විශ්ලේෂනය කොට, අර්ථ දක්වා ගැනීමට ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බලකෙරුනි. මේ එක් එක් සිද්ධියක දී, වේගයෙන් වෙනස් වෙමින් තිබුනු වෛෂයික තත්ත්වයට පූර්වයෙහි සාදා නිම කර තිබූ පිලිතුරු නො වීය.    

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉස්මතු වුනු හා එහි දේශපාලන පරිනාමය හැඩගැස්වූ ඓතිහාසික අත්දැකීම් කෙරෙහි එම ව්‍යාපාරය අතිශයින් ම සවිඥානික ය. එහෙත්, ඉතිහාසය කෙරෙහි එය දක්වන ගෞරවය, උපුටා දැක්විය හැකි පූර්වාදර්ශයක් සොයාගැනීම පිනිස අතීතය හාරා ඇවිස්සීමක් අන්තර්ගත කර නො ගනී. මේ ආකාරයේ ආකෘතිවාදී සාධර්මිකත්වයට ට්‍රොට්ස්කි කඨෝර ලෙස විරුද්ධ විය. “මාක්ස්වාදී විමර්ශනයේ ආයුධය අනවරත ව තියුනු කරමින් ව්‍යවහාර කරනු ලැබිය යුතු ය. සම්ප්‍රදාය අන්තර්ගත වන්නේ හරියට ම මෙය තුල මිස රූපික සැඳහුමක් හෝ හදිසියේ හමුවුනු උපුටා දැක්වීමක් ආදේශ කිරීම තුල නො වේ” යි ඔහු ලිවී ය. .” [“The New Course,” in The Challenge of the Left Opposition (1923–25), වාම විපාර්ශවයේ අභියෝගය (1923-25) (ඉංග්‍රීසි) තුල එන “නව මාවත,” -නිව් යෝක්: පාත්ෆයින්ඩර් ප්‍රෙස්, 2017, 123 පිටුව]

ජාත්‍යන්තර කමිටුව තුල සාකච්ඡාවන් දිගහැරුනේ “තත්කාලීනව” බව පාඨකයා සිතේ තබාගත යුතු ය. “හජාජාක හා ස්ටැලින්වාදයේ අර්බුදය” නමැති දේශනයේ දී, බැරී ග්‍රේ සහෝදරයා 1986 හා 1992 අතර සෝවියට් සංගමයේ වර්ධනය පිලිබඳ හජාජාක විශ්ලේෂනය අනුරේඛනය කරයි. “සෝවියට් සංගමයේ සිදුවන්නේ කුමක් ද” යන හිසින් හජාජාක 1987 දී පලකරන ලද ප්‍රධාන ලේඛනයක් ඔහු විසින් උපුටා දක්වනු ලබයි. කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයකින් බාධනය නො කල හොත්, ගොර්බචෙව්ගේ “ප්‍රතිසංස්කරන” සෝවියට් සංගමය විසුරුවා හැරීම කරා මඟ පාදනු ඇතැයි, එම ලේඛනය අනතුරු ඇඟවීය. වසර පහක් ඇතුලත, සිද්ධීන් විසින් මෙම විශ්ලේෂනය සනාථ කරනු ලැබින. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය විසුරුවා හැරීමට දැක්වූ ප්‍රතිචාරයේ එම වාර්තාව මෙම වෙලු‍ම තුල අඩංගු වේ.

ඉදිරිදර්ශන කටයුතු ආර්ථිකයේ හා දේශපාලනයේ ප්‍රශ්නවලට පමනක් සීමා නො වී ය. ඩේවිඩ් වොල්ෂ් සහෝදරයාගේ දේශනය, කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය පුනර්ජීවනය කිරීමේ හා වර්ධනය කිරීමේ අභියෝගයට ජාත්‍යන්තර කමිටුව දුන් අවධානය විභාග කරයි. මෙම ප්‍රශ්නයට දුන් අවධානය පැනනැගුනේ “සමාජවාදී සංස්කෘතිය” පිලිබඳ හජාජාකහි සංකල්පයෙනි. “ධනේශ්වර සමාජය තුල කම්කරුවන්ගේ වෛෂයික තත්ත්වය සහ සමාජවාදී විප්ලවය සඳහා වන බලවේගයක් ලෙස ඔවුන්ගේ සාමූහික භූමිකාව ග්‍රහනය කර ගනිමින්, හුදු සූරාකනු ලැබීමට මාංශ සපයන්නෙකුගේ සිට ඉතිහාසය නිර්මානය කරන්නන් හා මානව වර්ගයාගේ විමුක්තිදායකයන් ලෙස තමා පරිවර්තනය කර ගැනීමට ඔවුන්ට සහාය වීමේ සවිඥානික ඉලක්කය සහිත ව සංවිධානය කොට ඇති, ගොඩ නගා ඇති, ලියා ඇති, ස්වීකරනය කර ඇති හා ලඟා වී ඇති සියල්ල” ලෙස වොල්ෂ් එම සංකල්පය අර්ථ දැක්වී ය.

මෙම වෙලු‍ම තුල විමර්ශනය කෙරෙන න්‍යායික වැඩකටයුතු, 1986 සිට 2019 දක්වා දශක තුනක කාලයක් පුරා විහිදුනු, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ හතරවන අවධිය තුල, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වර්ධනයට මග පෑදුවේ ය. ආරම්භක දේශනය තුල මෙම කාලපරිච්ඡේදයේ අර්ථසිද්ධීන් නෝර්ත් මෙසේ සාරාංශගත කලේ ය:

හතරවන අවධීයේ ප්‍රධාන ජයග්‍රහනයන් වූයේ, පැබ්ලෝවාදීන් ඉවත් කිරීමේ තීරනාත්මක ආරම්භක වැඩකටයුතු, ලෝක පක්ෂය ජාත්‍යන්තරවාදී පදනමක් මත යලි ගොඩනැගීම, හජාජාක ජාත්‍යන්තර මූලෝපාය විදාරනය කිරීම, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර කමිටුවේ ලීගයන් පක්ෂ බවට පරිවර්තනය කිරීම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ස්ථාපිත කිරීම යි. ජාත්‍යන්තර කමිටුවේ දේශපාලනික බලපෑම දැවැන්ත ලෙස විස්තාරනය කිරීම හා එහි සාමාජිකත්වය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීම මෙම ජයග්‍රහන විසින් ශක්‍යතාවයක් බවට පත් කෙරින. මෙම අවධිය සමාප්තියකට පැමින ඇත. 

ඒ අනුව, ජාත්‍යන්තර කමිටුවෙහි ඉතිහාසයේ පස්වන අදියර ආරම්භ වී ඇත. නෝර්ත් පැහැදිලි කල පරිදි:

ජාත්‍යන්තර කමිටුව වසර තිහකටත් වැඩි කාලයකට පෙර හඳුනාගන්නා ලද ආර්ථික ගෝලීයකරනයේ වෛෂයික ක්‍රියාවලීන්, තවදුරටත් යෝධ වර්ධනයක් අත් කරගෙන ඇත. සන්නිවේදනයන් විප්ලවීයකරනය කර ඇති නව තාක්ෂනයන්ගේ ඉස්මතු වීමත් සමග සංයෝජනය වෙමින් මෙම ක්‍රියාවලීහු, මින් වසර විසිපහකට පෙර දී පවා සිතා ගැනීමට අසීරු විය හැකිව තුබූ මට්ටමකට පන්ති අරගලය ජාත්‍යන්තරීකරනය කර ඇත්තාහ. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය අන්තර්-සම්බන්ධිත හා ඒකාබද්ධ ලෝක ව්‍යාපාරයක් ලෙස වර්ධනය වනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගෙනු ඇත්තේ, මෙම වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාවලියේ සවිඥානික දේශපාලන නායකත්වය ලෙස යි. අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනේශ්වර දේශපාලනයට එරෙහි ව, එය පන්ති-පාදක ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය ඉදිරිපත් කරනු ඇත. හතරවන ජාත්‍යන්තරයෙහි ඉතිහාසයේ නව අවධියේ සාරභූත ඓතිහාසික කර්තව්‍යය මෙය යි.

ගෙවී ගිය වසරේ ගමන් මාවත තුල ලොව පුරා පුපුරා ගිය මහජන විරෝධතා හා පෙලපාලිවනල අර්ථභාරය විමර්ශනය කරමින් 2020 ආරම්භයේ දී පලකල “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි” නමැති ලිපිය තුල, “නව වසරේ එලඹීම සලකුනු කරන්නේ තීව්‍ර වන පන්ති අරගලයේ හා ලෝක සමාජවාදී විප්ලවයේ දශකයක ආරම්භය” යි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලීවේ ය.

අනාගතයේ කිසියම් දිනෙක, විසි එක් වන සියවසේ මහජන උද්ගතයන් ගැන ලියන වියත් ඉතිහාසඥයන්, ලෝක ගෝලය පිරිසරමින් කඩා වැදීමට නියමිත වූ විප්ලවවාදී කුනාටුව පිලිබඳව 2020 වසර එලැඹෙන විට පල කෙරී තුබූ “නිසැක”ඇඟවීම් සියල්ල සම්බන්ධව ගනන් තබනු නියතය. කරුනු, ලිපි ලේඛන, ප්‍රස්තාර, වෙබ් අඩවි හා සමාජ ජාලවල පලකිරීම්, සහ අනෙකුත් ආකාරයන්හි වටිනා සංඛ්‍යාංකිත තොරතුරු අතැති ශාස්ත්‍රාලිකයන් 2010න් ඇරඹි දශකය ලෝක ධනේශ්වර ක්‍රමයේ හික්මවිය නොහෙන ආර්ථික, සාමාජයීය හා දේශපාලන අර්බුදයක් විසින් සංලක්ෂිත කාලපරිච්ඡේදයක් ලෙස විස්තර කරනු ඇත. [(ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 ජනවාරි 3, පිවිසෙන්න: https://www.wsws.org/en/articles/2020/01/03/pers-j03.html] *

මෙම විග්‍රහය සනාථ කරනු ලැබීමට පෙර වැඩි කාලයක් ගත නො වී ය. 2020 වසරේ පලමු අර්ධය සංලක්ෂනය කරනු ලැබ ඇත්තේ, කොරෝනා වෛරස් වසංගතය විසින් අවුලු‍වන ලද ගෝලීය ධනේශ්වර පද්ධතියේ ගැඹුරු වන අර්බුදය විසිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසංගතය විග්‍රහ කොට ඇත්තේ “ප්‍රේරක සිද්ධියක්” ලෙස යි. එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද පාලක පන්තිය වසංගතයට දක්වා ඇති ප්‍රතිචාරය, ඊට පෙර කාලපරිච්ඡේදය තුල ධනවාදයේ සමස්ත පරිනාමය විසින් සකසනු ලැබූවකි. සංගත හා මූල්‍ය කතිපයාධිකාරය වසංගතය යොදාගෙන ඇත්තේ, ධනවාදයේ පද්ධතිගත අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා කලින් ගත වූ දශක තුල එය භාවිතා කොට තිබුනු පරපුටු පිලිවෙත් දිගට ම පවත්වාගෙන යාමට හා තීව්‍ර කිරීමට ය.

දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ, වසංගත විශේෂඥයන් හා විද්‍යාඥයන්, වසංගතයක අන්තරාය පිලිබඳ ව අනතුරු අඟවා තිබී ඇත. සමාජීය හා සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම් විනාශ කිරීම හා සමාජ අසමානතාවේ යෝධ වර්ධනය, වසංගතයේ සෞඛ්‍යමය හා ආර්ථික බලපෑම්වල අන්තරායයන්ට කම්කරු පන්තික මහජනයා නිරාවරනය කොට ඇත.  

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් නායකත්වය දෙන පාලක ප්‍රභූව, 2008-09 ආර්ථික අර්බුදයෙන් ඉක්බිති ව සිදු කල දේ අත්‍යන්තයෙන් පරයා යන ලෙස, සංගතවලට හා මූල්‍ය ආයතනවලට ඇපතැබීමක් සඳහා, වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනනක් ප්‍රදානය කිරීමට වසංගතය උපයෝගී කරගත්තේ ය. කෝටි ගනන් ජනයා සිය රැකියා කරා නැවත පැමිනීමේ අපේක්ෂාවක් නොතබා ම රැකියාවලින් එලියට ඇද දමා තිබෙන පසුබිමක දී පවා, බිලියනපතියන්ගේ ධනය පිම්බෙමින් හා කොටස් වෙලඳපොලවල් නව කූටයන් කරා ලඟාවෙමින් තිබේ.

අනාරක්ෂිත කොන්දේසි යටතේ “ආපසු වැඩට යාමක්” සැලසුම් කිරීමට, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර වශයෙන් පාලක ප්‍රභූන් දරන උත්සාහයන්, සමාජ නැගිටීම් නිර්මානය කරනු ඇත. කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජීවිත කෙරෙහි පාලක පන්තියේ නොතැකීම හා අවඥාව පිලිබඳ ඔවුන්ගේ විරුද්ධත්වය, අසමානතාවට, යුද්ධයට, පාරිසරික විනාශයට හා ධනේශ්වර ලාබ පද්ධතියට එරෙහි ව වැඩෙන විරුද්ධත්වය සමග අන්තර්ඡේදනය වෙමින් පවතී.

වසංගතය පන්ති අරගලයේ නව අවධියකට ගිනි පුලිඟු‍ සපයයි. මිනෙසොටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නගරයේ දී, මැයි 25දා පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමෙන් පසුව, එක්සත් ජනපදය හා ලෝකය පුරා පවතින සමාජ කෝපයේ උල්පත් ඒවායේ ආරම්භක ප්‍රකාශනය අත්පත් කරගත්තේ ය. එක්සත් ජනපදයේ සෑම ප්‍රධාන නගරයක මත්, සෑම මහාද්වීපයක මත් පැනනැගුනු යෝධ බහු-වාර්ගික හා බහු-ජනවාර්ගික පෙලපාලිවලට අභිප්‍රේරනය සපයනු ලැබෙන්නේ, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධය විසිනි. කෙසේවෙතත්, මෙම සාමාජයීය පිපිරීමට යටින් දිවෙන්නේ, අසමානතාව, සූරාකෑම හා ධනපති ක්‍රමය කෙරෙහි වැඩෙමින් පවතින කෝපය යි.

මෙම වෙලු‍ම තුල විමර්ශනය කරනු ලබන න්‍යායික හා දේශපාලන වැඩකටයුතු, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකත්වයට බැ​ඳෙන විප්ලවීය සමාජවාදීන්ගේ නව පරම්පරාව අධ්‍යාපනගත කිරීමේ දී යෝධ වැදගත්කමක් දරන බව සනාථ වනු ඇත. 

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි

(7 ජනවාරි 2020)

අප රක්නා උරුමය කෘතියේ තිස්වන සංවත්සර සංස්කරනයට කරන ලද හැඳින්වීම

(13 සැප්තැම්බර් 2018)

Loading