ශක්‍ය කොරෝනා එන්නතේ වියදම මහජනතාව විසින් දැරියයුතු බව රාජපක්ෂ ආන්ඩුව හඟවයි

පසුගිය සතියේ ලෝක ප්‍රසිද්ධ ඖෂධ සමාගමක් වන ෆයිසර් හා එහි ජර්මන් හවුල් කාර සමාගමක් වන, බයෝ ඇන්ඩ් ටෙක් විසින්, කොරෝනා වසංගතය සඳහා එන්නතක් සොයා ගැනීමේ ආසන්නයට ඔවුන් පැමින ඇති බව ප්‍රකාශ කරන ලදී. දැනට ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් පමන ආසාදනය වී ලක්ෂ 13 පමන ජීවිතවලින් වන්දි ගෙවා ඇති පසුබිමකදී, මෙය සමස්ත මානව සංහතියට ධෛර්ය සම්පන්න පුවතක් මෙන්ම, විද්‍යාවේ දැවැන්ත සොයාගැනීමක් වනු ඇත.

සති තුනක් ඇතුලත එන්නතින් මාත්‍රා දෙකක් ලබාදී සියයට 90ක, සාර්ථකත්වයක් ලබා ගෙන ඇති අතර එය ඉහල අගයකි. සාමාන්‍යයෙන් භාවිතා කරන ඉන්ෆ්ලුවන්සාව ට එරෙහි එන්නතේ සාර්ථකත්වය සියයට 40ත් 60ත් අතර වෙයි.

ඇමරිකානු වසංගත විශේෂඥ අන්තෝනියෝ ෆවුසි ප්‍රකාශ කරන්නේ ජෛව තාක්ෂනය පදනම් කර මොඩර්නා සමාගම නිපදවූ එන්නත ද මීට සමාන හොඳ ප්‍රතිඵල දැක්වූ බවයි. එලෙස රුසියාව නිපදවූ ස්පුටිනික් -5 එන්නත ද සියයට 90ක ප්‍රතිඵලදායක බව රුසියානු රජය නිවේදනය කර ඇත. දිරිගන්වන සුලු ප්‍රගතියක් එන්නත් සොයාගැනීම් ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබුනේ වුවද, සැලකිය යුතු ප්‍රශ්න රාශියක් ඉතිරිව පවතී.

එම ප්‍රශ්න අතරින් කීපයක් මෙසේය: රෝහල්ගත වීම හා මරනයට හේතුවන වර්ගයේ දුස්සාධ්‍ය ආසාදන, එන්නත මගින් වලක්වන්නේ ද? ආසාදනයට එරෙහි ව එන්නතින් කොතරම් කාලයක් ආරක්ෂාව සලසන්නේ ද? අධි-ශීත උෂ්නත්වයන්හි එන්නත ගබඩා කරනු ලැබිය යුතු තත්වය තුල, එය, බෙදා හැරීමේදී ඇතිවන දුෂ්කරතා ජයගන්නේ කෙසේද? ඖෂධ නිෂ්පාදන සංගතයන්ගේ ලාබ අවශ්‍යතාවයන්ගෙන් සහ එකිනෙකා අතර තරඟයෙන් එහි සුලබතාවයට ඇති කෙරෙන බාධාවන් අතික්‍රමනය කරන්නේ කෙලෙසද?

කෙසේ නමුත්, නොවැම්බර් 16 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (ලෝසවෙඅ) හි, "කොවිඩ්-19 සඳහා එන්නතක් සොයාගැනීමේ වැඩි සම්භාවිතාව වෛරසය පැතිරීම නැවැත්වීමට පියවර ගැනීම ඉතා හදිසි භාවයකට පමුනුවයි" යන හිසින් පලවූ ලිපියෙහි  සඳහන්වන පරිදි "මේ සියල්ලෙහි අර්ථය වන්නේ, ලබන වසරේ යම් කාලයක දී, ඵලදායී එන්නතක් පලල් ලෙස බෙදා හරිනු ලැබීම සඳහා ඇති හැකියාව" යි.

එම ලිපියේ මෙසේද සඳහන් වෙයි: "එන්නතක් සොයා ගැනීම දෙසට වන ප්‍රගතිය, ලොව පුරා ආන්ඩු ක්‍රියාත්මක කරමින් සිටින 'රංචු ප්‍රතිශක්තිකරන' පිලිවෙතේ සාපරාධීභාවය මොනවට පැහැදිලි කරයි. උමං මග අවසානයේ දී එය තුලින් ගමන් ගන්නා තැනැත්තා ආලෝකය දැකීමට පටන් ගන්නාක් මෙන්, 'වෛරසය සමග ජීවත් වීම' අවශ්‍ය බවට කරන තර්කය මුලුමනින් ම පිලිගත නො හැකි බවට පැමිනෙයි."

දැන් රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා පාලන තන්ත්‍රයන් කල යුත්තේ, දැවැන්ත පරිමානව මුදල් යොදවමින් සියලු දෙනාටම හැකි ඉක්මනින් එන්නත ලබාදීමට කටයුතු කිරීම සහ, එන්නත ලබාදෙන තෙක් අත්‍යවශ්‍ය කම්හල් සහ ආයතන පමනක් පවත්වාගෙන යන අතරේ අනෙකුත් කම්හල් සහ ආයතන වසා දැමීමයි. වසා දමන සහ වසා නොදමන ආයතනයන්හි සියලුම කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත වියයුතු අතර, ඔවුනට පූර්න වැටුප් සහ දීමනා ලබාදිය යුතු ය. මීට අමතරව, විධිමත් රැකියාවක් නොමැතිව යන්තම් දිවි ගැටගසාගනිමින් ජීවත්වන පවුල් වලට මූල්‍ය සහනාධාර ඇතුලු අත්‍යවශ්‍ය දෑ රජයෙන් සම්පාදනය කල යුතුවෙයි.

එසේ වුවද, ලංකාවේ ධනපති ආන්ඩුව, රාජ්‍ය නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) වැනි ඔවුනගේ වෘත්තීය සමිති ආවතේවකරුවන්, මාරක වෛරසය සමඟ ජීවත් වීමේ "නව සාමාන්‍යයට" හුරුවිය යුතුය යන මන්ත්‍රය දිගටම ජප කරමින්, ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවයන් සඳහා සියලු කම්කරුවන් ව්‍යසනකාරී ලෙස වැඩට දක්කයි.

මෙම පිලිවෙත අනුයමින්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර නොවැම්බර් 11 වෙනිදා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ, "ලංකාවට එන්නත ලැබෙන්න තව කොපමන කාලයක් ගත වේදැයි නිශ්චිත නොමැති" බැවින්, වෛරසය "පැතිරීම පාලනය කිරීමට" ප්‍රධානත්වය දිය යුතු බවයි.

එසේ කිරීමට නම් දැවැන්ත ලෙස, "පීසීආර් පරීක්ෂන" ඉහල දමමින් දිනපතා දස දහස් ගනනක් කම්කරුවන් අහඹු පරීක්ෂන වලට ලක් කල යුතුයි. ලංකාවේ ,පීසීආර් පරීක්ෂන ධාරිතාව ගැන වසංගත රෝග පිලිබඳ විද්වතෙකු වන, සෞඛ්‍යය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රන්නන්එලිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ, ලංකාවේ දැනට දිනකට කෙරෙන්නේ 12,000ට අඩු පීසීආර් ප්‍රමානයක් බවත්, අඩුම තරමේ පරීක්ෂන 50,000 දක්වා එය වැඩි කල යුතු බවත් ය. එමෙන්ම ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ, දැනට යෝජනා වී ඇති ඇන්ටිජන් (antigen) පරීක්ෂන, පීසීආර් තරම් ප්‍රතිඵලදායක නොවන අතර, දැනට පීසීආර් සීමාසහිත බැවින්, බාල ක්‍රම භාවිතකරන්නට බල කෙරී ඇති බව ය.

ඔහු ප්‍රකාශ කරන පරිදි, අප්‍රේල් වලින් පසු අනෙක් රටවල් මෙන් පීසීආර් ධාරිතාව ඉහල නොදැමු නිසා, මෙතෙකුදු ශ්වසන රෝග ලක්ෂන සහිත සියලු රෝගීන් පීසීආර් පරීක්ෂනයට ලක් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත. එමෙන්ම, සීමිත පීසීආර් ධාරිතාව නිසා, දින 14කට පසු පීසීආර් පරීක්ෂාවකින් තොරව රෝගීන් රෝහල් වලින් පිටමං කිරීම, සියයට සීයක් සුරක්ෂිත නොවන හා විද්‍යාත්මක නොවන බව රන්නන්එලිය තවදුරටත් පවසයි.

මේ කරුනු වලින් සනාථ වනුයේ වෛරසය "පැතිරීම පාලනය කිරීමට" ප්‍රධානත්වය දියයුතු බවට සමරවීර කරන ප්‍රකාශය මුලුමනින්ම ව්‍යාජයක් බවයි.

එන්නත මත පමනක් රඳා පැවතිය නොහැකි බව ප්‍රකාශ කරන වෛද්‍ය සමරවීර එන්නත ක මිල රුපියල්1500-4500 පමන විය හැකි බවත්, එන්නත් කිරීම මගින් ප්‍රතිශක්තිය පැවතිය හැක්කේ වසර එකහමාරක් පමන නිසා, නැවත නැවත ලබාදිය යුතු බැවින් ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) ලබාදෙන කොටස හැර අනෙක්වා ලබාගැනීමට, ආන්ඩුවට විශාල වියදමක් දැරිය යුතු බවත් සඳහන් කරයි.

මෙයින් ඔහු ඇඟවුම් කරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රදානය කරන සීමිත එන්නත් ප්‍රමානය තෝරාගත් පිරිසකට පමනක් ලබාදීමට සැලසීමත්, අනෙක් සමස්ත පීඩිත කම්කරු ජනතාවට තම තමන්ගේ වියදමින් එය ලබාගැනීමේ බර පැටවීමයි.

දැවැන්ත සමාගම් වලට ඇපදීමට බිලියන ගනන් මුදල් අසීමිතව ප්‍රදානය කරන ආන්ඩුව, සාමාන්‍ය මහජනතාවට එන්නත ලබාදීම සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කිරීම මගින්, එහි පන්ති ආස්ථානයේ සාපරාධී ස්වභාවය නග්නව ප්‍රකාශයට පත්වෙයි.

පාලක පන්තියේ ප්‍රතිචාරය අනුයමින් වෛද්‍ය සමරවීර තවදුරටත් ප්‍රකාශ කලේ, එන්නත සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් අවශ්‍යතාවට සරිලන සැපයුමක් කඩිමුඩියේ සිදු කිරීමට සමාගම් වලට නොහැකි බවයි.

ෆයිසර් සමාගමටම අනුව, මෙම වසර සදහා ඔවුන්ට නිෂ්පාදනය කල හැක්කේ මාත්‍රා මිලියන 50ක් පමනක් වන අතර, ලබන වසරේ නිපදවිය හැක්කේ මාත්‍රා බිලියන 1.3කි. ඒ අනුව, ආසන්න ලෙස බිලියන 7.8 ක් වන සමස්ත ලෝක ජනගහනයට එය ලබාදීමට ගතවන කාලය වසර ගනනාවක් වෙයි.

එන්නත් නිෂ්පාදනය කිරීමේ සමාගම් වල ධාවනය සම්පූර්නයෙන්ම, රැඳී පවතින්නේ ලාභය මත ය. එබැවින් ධනේශ්වර සංගත වෙන වෙනම ලාභය සඳහා එන්නත් නිපදවීමට උත්සාහ දැරීම, මගින් කම්කරු පන්තියට මුහුන දීමට සිදුවී ඇත්තේ, බලගතු ඛේදවාචකයකට යි. ලොවපුරා විසිරී පවතින ඉමහත් විද්‍යාත්මක සහ තාක්ෂනික ඥානය මෙන්ම, අතලොස්සක්වූ ධනපතියන්න් අතෙහි සමුච්ඡය වූ බිලියන සංඛ්‍යාත ධන ස්කන්ධය ඒකාග්‍ර කරගත් ගෝලීය ප්‍රයත්නයක් දැරුවේනම්, බොහෝවිට අද අපි ජීවත් වනු ඇත්තේ, වෛරසය පරාජය කල ලෝකයක වනු ඇත.

එන්නත මත පමනක් රඳා නොපැවතිය යුතු බවට වෛද්‍ය සුදත් සමරවීර කරන ප්‍රකාශය පිටුපස, එන්නත මිලදී ගැනීමට මෙන්ම, ගබඩා කිරීමට හා ප්‍රවාහනයට වැයවන දැවැන්ත මුදල පිලිබඳ ආන්ඩුවේ උත්සුකය පවතින බව පැහැදිලි ය. එන්නත සඳහා පාලක පන්තියේ ප්‍රතිචාරය, වෛරසයෙන් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් දක්වා ඇති ප්‍රතිචාරයෙන් වෙනස් වන්නේ නැත. ලාභෝත්පාදනය පරමය කරගත් ධනපති ක්‍රමය, මිනිස් ජීවිත කිසිසේත් නොතකයි.

නුදුරු දිනක දී, කොරෝනා එන්නත විද්‍යාත්මක ප්‍රමිතීන් හා කඩයිම් සම්පූර්න කරනු ඇත. කෙසේ නමුත්, සමාජ-ආර්ථික අසමානතාවයකින් තොරව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම එම ජයග්‍ර‍හනය භුක්ති විඳිය හැක්කේ ගෝලීය නිෂ්පාදන මාධ්‍යයන්හි අයිතිය කම්කරු පන්ති පාලනයට නතු කෙරුනු, ලාභය සඳහා නොව අවශ්‍යතාවය මත නිෂ්පාදනය පදනම් කරගත් ජාත්‍යන්තර සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුල පමනි.

Loading