ජනාධිපති රාජපක්ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය "අත්‍යවශ්‍ය සේවාවක්" ලෙස ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ ලේකම්ගේ අත්සනින් ඊයේ නිකුත්කල අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇත. වරාය තුල වසංගතය වේගයෙන් පැතිරෙමින් පැවතියදී, අනාරක්ෂිතව සේවයෙහි යෙදවීමට එරෙහිව කම්කරුවන් අතර වැඩී ඇති විරෝධය මැඩ, ඔවුන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීම මෙහි අරමුනයි. වරාය කම්කරුවන්ට එරෙහිව පමනක් නොව, සමස්ත කම්කරු පන්තියට එරෙහි රුදුරු මර්දනයක ආරම්භය මින් සටහන් කෙරේ.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පනවා ඇති මෙම නියෝගයට අනුව, "ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාලව ඉටුකල යුතු වන්නාවූ හෝ අවශ්‍ය වන්නාවූ, කවරවුව ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය" අත්‍යවශ්‍ය සේවාවක් බවට යටත් කර ඇත. ඒ අනුව, මින්මතුවට සේවයට වාර්තා නොකරන කම්කරුවන්ට එරෙහිව "නීත්‍යානුකූලව කටයුතු කරනු" ලැබේ.

ධනපති ආන්ඩු ඉතිහාසය පුරා අත්‍යවශ්‍ය සේවා නියෝගයන් යොදාගෙන ඇත්තේ, කම්කරුවන්ගේ අරගල හා විරෝධතා මැඩ ඔවුන් බලහත්කාරයෙන් වැඩෙහි යෙදවීම පිනිසය. දැනට වරාය අධිකාරියට පමනක් මෙම නියෝගය පනවා ඇතත්, ඊනියා අත්‍යවශ්‍ය මහජනසේවා පනත යටතේ "ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ පලාත්පාලන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායින් සපයනු ලබන සේවාවක් සඳහා" මෙම නියෝගය පැනවීමට ජනාධිපතිට බලතල ඇත. ඒ අනුව, සමස්ත කම්කරු පන්තියම මේ අනතුරට මුහුන දෙයි.

වරාය අධිකාරියේ සේවයේ නියුතු කම්කරුවන් අතරින් කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමත් සමග, සියල්ලන්ට වහා පීසීආර් පරීක්ෂනය කරන ලෙසද, සේවයේදී භාවිතා කිරීම සඳහා විද්‍යාත්මකව සැකසූ විශේෂ ඇඳුමක් ලබාදෙන ලෙසද කම්කරුවෝ ඉල්ලා සිටියහ. නමුත් ලැබී ඇත්තේ රබර් අත්වැසුම් පමනක් බව සහ දිනකට පීසීආර් පරීක්ෂන කෙරෙන්නේ 200ක් පමනක් බව ඔවුහු පවසති.

වරාය කම්කරුවන් පමනක් නොව, ආන්ඩුව වසංගතය මධ්‍යයේ ආර්ථිකය විවෘත කල තතු තුල, ඇඟලුම් කම්කරුවන් සහ සෞඛ්‍ය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පන්තියම අනාරක්ෂිත තත්වයකට මුහුන දී සිටී. ශ්‍රී ලංකාව තුල සමස්ත කොරෝනා අසාදිත සංඛ්‍යාව 18074 දක්වා ඉහල නැග ඇති අතර, මරන සංඛ්‍යාව 66 කි. කොලඹ නගර සභා බලප්‍රදේශයේ සිටින ලක්ෂ හයක් පමන වන ජනතාව අතරින් 30,000 ක් පමන කොරෝනා ආසාදිතයන් වියහැකි බව කොලඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි පැවසූයේ දින කිහිපයකට පෙරය.

මේ වන විට කොලඹ වරාය සේවකයන් 80 කට පමන වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ. අනාරක්ෂිතව සේවයේ යෙදවීම මේ තත්වයට මූලික හේතුව බව කම්කරුවෝ පවසති. පීසීආර් පරීක්ෂාවන් පවා නොමැති තත්වයේදී තවදුරටත් වසංගතය පැතිරීමට ඉඩ ඇතැයි යන භීතියෙන් බොහෝ කම්කරුවෝ සේවයට වාර්තා නොකලහ. වසංගතය හේතුවෙන් වසා දමා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි කම්කරුවන්ට ප්‍රවාහන පහසුකම් නොමැතිවීම ඇතුලු විවිධ දුෂ්කරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකිව තිබේ.

ඩේලි මිරර් පුවත් පත පසුගිය 16 දින වාර්තා කල පරිදි මෙම මාසයේ පලමු සතිය තුල, ජය බහාලුම් පර්යන්තය තුල ශ්‍රම උපයෝගීතාව සියයට 70 ට වඩා පහත වැටී ඇත. එහි තව දුරටත් වාර්තා වුයේ “ඉහත කරුනු නිසා, මේ වන විට කොලඹ වරායේ නැංගුරම්ලෑමේ ප්‍රමාදයන්, යාත්‍රා දියත් කිරීමේ ප්‍රමාදයන් සහ තොරතුරු තාක්ෂන ප්‍රමාදයන් සිදුවී ඇති" බවයි. එහි මෙසේද සඳහන් වෙයි: “මේ මස මුලදී ලොව විශාලතම බහාලුම් නැව් සහ සැපයුම් යාත්‍රා මෙහෙයුම්කරු වන මාස්ක් අනාවරනය කලේ දකුනු ආසියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) සහ රජය සතු ජය බහාලුම් පර්යන්තය (JCT) වරාය මෙහෙයුම් කෙරෙහි බලපාන දැඩි ශ්‍රම හිඟ ගැටලුවලට මුහුන දී ඇති බවයි."

වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරුනේ මෙම තතු තුලය. ජය බහාලූම් පර්යන්තයේ කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ ගැසට් නිවේදනයට එරෙහි විශාල විරුද්ධත්වයක් කම්කරුවන් අතර මතුවීම හේතුවෙන්, ජය බහාලුම් පර්යන්තයේ සේවකයන් ඒ සහ බී යනුවෙන් කොටස් දෙකකට බෙදා, ඉන් එක් කොටසක් සති දෙකක් නිවෙස්වල විවේක ගැනීමට යොමුකර අනෙක් කොටස සති දෙකක් සේවයේ යොදවන ආකාරයට, මාරුවෙන් මාරුවට සේවයේ යෙදීමට බලකල බවයි.

ඔහු පැවසූ පරිදි මෙම ක්‍රමවේදයෙන් සේවකයන් වසංගතයට ගොදුරුවීම වලකින්නේ නැත."වසංතයෙන් වැලකීමට නම් සියල්ලන්ට පීසීආර් පරීක්ෂන සිදුකර අවශ්‍ය සියල්ලන්ට නිරෝධායනයවීමේ සියලු පහසුකම් සලසා දැඩි ආරක්ෂක පියවර යටතේ කම්කරුවන් සේවයේ යෙදවිය යුතු" යැයි ඔහු පැවසීය.

රෝගය ආසාදනයවීමෙන් මියයාමේ සම්භාවිතාව ඉහල මට්ටමක පවතින විශ්‍රාමික කම්කරුවන් සේවයට කැඳවා ඇති බවද, ඊට අමතරව මිනිස් බල කම්කරුවන් 60ක් පමන අඩු වැටුපට සේවයට ගෙන ඇති බවද ඔහු පැවසීය. කොන්ත්‍රාත්කරුවන් විසින් සපයන මිනිස් බල කම්කරුවන් කවර හෝ ආරක්ෂන පියවරයන්ගෙන් තොරව සේවයේ යෙදෙන අයුරු ඔහු විස්තර කලේය.

"කම්කරුවන් බරපතල කෝපයෙන් ඉන්නෙ. නමුත් පාලකයන් සමහර සේවකයන් ඔත්තුකරුවන් ලෙස යොදා අති තත්වයේදී කෝපය මැඩගෙන සේවයේ යෙදෙනවා. මෙලෙස දිගට කරගන යෑමේ හකියාවක් නැහැ” යි කම්කරුවෙක් කියා සිටියේ කෝපයෙනි.

තවත් කම්කරුවෙක් මෙසේ පැවසීය: "විරුද්ධ පක්ෂවලයි, වෘත්තීය සමිතිවලයි සහයෝගයෙන් තමයි ආන්ඩුව මෙම මර්දනය ගෙනියන්නෙ. කම්කරුවන් මුහුන දෙන තත්වය ප්‍රධාන පුවත්පත් වාර්තා කරන්නෙ නැහැ. වාර්තා කරන්නෙ වරාය වැඩකටයුතු අඩාලවීම ගැන පමනයි."

ඔක්තෝබර් මස 7 දින ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, සේවකයන්ගේ ආරක්ෂාව සැලසීමේ මුවාවෙන් යුද හමුදාපති වෙත ලිපියක් යවමින්, ඔහුට සම්පූර්න සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය. එහි මෙසේ සඳහන් විය."වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස ඔබ ඇතුලු පිරිස ගනු ලබන වෙහසකර මැදිහත්වීම අගය කරන අප අපගේ දායකත්වය ඉල්ලා සිටින ඕනෑම මොහොතක එම දායකත්වය ලබා දීමට කැමත්තෙන් පසුවන බව ප්‍රකාශ කරමු."

වසංගතය පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් උපදෙස් සියල්ල නොතකා හරිමින් මහජනතාව බලගතු ව්‍යසනයකට ඇදදමා ඇති ජනාධිපති රාජපක්ෂ, තම ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන මහජන විරෝධය රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටී.

රටෙහි ප්‍රධානතම ආර්ථික මර්මස්ථානයක් වන කොලඹ වරායේ කම්කරුවන් දැඩි පාලනයකට යටත් කිරීමේ අරමුනෙන් රාජපක්ෂ තම පාලනය ආරම්භයේදීම වරාය අධිකාරියේ ප්‍රධානියා ලෙස, හිටපු හමුදාපතිවරයෙකු වන දයා රත්නායක පත්කර ගත්තේය. පසුගිය ජූලි සහ අගෝස්තු මාසයන්හි ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව පුපුරාගිය වරාය කම්කරුවන්ගේ අරගල අවශේෂ කම්කරුවන් ද දිරිගන්වතැයි රාජපක්ෂ උත්සුක වෙයි. අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් ඔහු යත්න දරන්නේ වරාය කම්කරුවන් මත දැවැන්ත මර්දනයක් දිගේලිකොට එමගින් අනෙකුත් කම්කරුවන්ද බියවද්දා දුර්මුඛ කිරීමටයි.

වරාය කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ "අත්‍යවශ්‍ය සේවා" නියෝගයට එකහෙලා එරෙහි වෙමින්, ඔවුනගේ ආරක්ෂාව සඳහා සටන් වැදීමට අවශේෂ කම්කරුවන් පෙරට පැමිනිය යුතුය. එම සටන ඉදිරියට ගෙන යා හැක්කේ, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීම තුලින් පමනකි.

Loading