ලාබ පිපාසී ගෝලීය සංගතයෝ, වසංගතය නොතකා කම්කරුවන් වැඩෙහි යොදවති

වසංගතය ව්‍යසනකාරී ලෙස පැතිරෙද්දී, ප්‍රධාන අන්තර්ජාතික සංගතයන්ට කෙරෙන සැපයීම් දිගටම පවත්වා ගෙන යමින් ලාභ ගැරී‌ම අඛන්ඩව පවත්වාගෙනයාම සඳහා, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනයන් සිදු කෙරෙන කම්හල්වල පවා කම්කරුවන් දිගටම වැඩෙහි යෙදවීමට, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඉඩ ලබා දී ඇත.

මේ වනවිට අගුලු දමා ඇතැයි ආන්ඩුව පවසන ඕනෑම ප්‍රදේශයකින් කම්කරුවන්ට වැඩට යා හැකි බව ආන්ඩුව නිවේදනය කර තිබෙන අතර වැඩට වාර්තා නොකරන කම්කරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හාම්පුතුන්ට ඉඩ සලසා ඇත.

ආයෝජන මන්ඩලය සහ අපනයන සංවර්ධන මන්ඩලය, එක් අතකින් කම්හල් විවෘත කර නිෂ්පාදනය පවත්වා ගෙන යාමටත්, අනෙක් අතින් ආයෝජන ගෙන්වා ගැනීමට, රඳවා ගැනීමට හා අපනයන ඇනවුම් ලබා ගැනීමට අවශ්‍ය වන අයුරින් රටෙහි නිෂ්පාදනය අබාධිතව කරගෙන යා හැකි බව ගෝලීය ව්‍යාපාරික සංගතයන්ට ඒ්ත්තු ගැන්වීමටත් උත්සාහ දරමින් සිටියි.

මෙය සිදු කෙරෙන්නේ, දස දහස් ගනන් කම්කරුවන් වසංගතයට නිරාවරනය කරමින්, වැඩ වේගවත් කිරීම, වැඩ පැය ගනන ඉහල දැමීම සහ කම්කරුවන් දොට්ට දමමින් අඩු පිරිසකගෙන් වැඩි වැඩ ප්‍රමානයක් ගැනීම ආදී සූක්ෂම ශ්‍රම සූරාකෑමක් දියත් කරන අතරතුරය. ඉහත මන්ඩල හරහා ගෙනයන ජාත්‍යන්තර ප්‍රචාරය යොමු කෙරී ඇත්තේ, වියට්නාමය, බංග්ලා දේශය, මියන්මාරය හා සහරාව ආශ්‍රිත අප්‍රිකානු රටවල කම්කරුවන් සූරාකෑම පරයා යාහැකි තත්වයක් ලංකාව තුල පවතින බව තහවුරු කිරීමටයි.

වසංගතය මැඩ පැවැත්වූ බවට පසුගිය මාසවලදී පම්පෝරි ගසමින් ජනතාව අවවමංගත කල ජනාධිපති එය උත්සන්න වීම පිලිබඳව මහජනයාට දොස් පවරමින් නොවැම්බර් 9 දින පැවසුවේ, “වසංගතය පාලනය කරමින් සාමාන්‍ය පරිදි රටතුල කටයුතු කරගෙන යාමට” තමන් තීරනය කර ඇති බවයි. මෙය රටක් රටක් පාසා ධනපති පාලකයන් ක්‍රියාවට දමා ඇති රංචු ප්‍රතිශක්තිකරන පිලිවෙතයි.

මෙහි අර්ථය වන්නේ වසංගතයෙන් මරනයට හා පීඩාවට පත්වන්නන්ට එසේ වන්නට ඉඩ හරිමින් නිෂ්පාදනය පවත්වගෙන යාමට සම්පූර්නයෙන්ම දොර විවෘත කිරීමයි. මෙය සිදු කෙරෙන්නේ වෛරසය සමාජගතවී පාලනයෙන් ගිලිහී රෝහල් පිරී ඉතිරී රෝගීන් නිවෙස් තුල මියයන තතු තුලය. මෙය ලියන අවස්ථාව වනවිට ආසාදිත සංඛ්‍යාව 18,308 කරාද, ප්‍රතිකාර ගන්නා කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 5655 දක්වාද, මරන සංඛ්‍යාව 66 කරාද ලඟාවී ඇත.

ජාත්‍යන්තර ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කරන සම්මන්ත්‍රනයකට සහභාගි වෙමින් ආයෝජන මන්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල පැවසුවේ ආයෝජන ප්‍රවර්ධනය සෘජුවම ජනාධිපති යටතට ගෙන ඇති බව සහ ව්‍යාපාර කරගෙන යාමට ඇති සියලු බාධා ඉවත් කරමින් ආයෝජන සඳහා සුදුසු වාතාවරනයක් ඇති කරන බවයි.

පසුගිය මාස තුනක කාලයේ රටෙහි අපනයන ආදායම මසකට ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ බව සඳහන් කල මොහොට්ටාල, වසංගතය උග්‍රවෙමින් පවතින තතු තුල ඒම තත්වය පවත්වා ගත නොහැකි වන බවට කනස්සල්ල පල කලේය. කෙසේ හෝ එය පවත්වා ගැනීමට උත්සාහ දරන බවට සහතික වූ ඔහු, වසංගතය තුල ආර්ථිකය පවත්වා ගැනීමට නිෂ්පාදන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බව කියා සිටියේය.

මේ අතර අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ අපනයනකරුවන්ට පවසා සිටියේ යුරෝපයෙන් ලබාදී ඇති ජීඑස්පී ප්ලස් සහනය යොදා ගනිමින් හැකිතාක් අපනයන ඇනවුම් ලබාගෙන රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන ලෙසය. මෙම සහනයට අනුව යුරෝපයට භාන්ඩ වර්ග 6,000ක් පමන අපනයනය කිරීමට ලංකාවේ අපනයන සමාගම් වලට තීරුබදු සහන ලැබේ.

අපනයන සංවර්ධන මන්ඩලය මගින් නිකුත් කල මාධ්‍ය නිවේදනයකට අනුව මේ වනවිට ලෝකය පුරා රට වලට ලංකාවේ විවිධ භාන්ඩ සැපයීමේ හැකියාව පිලිබඳව ප්‍රචාරනය කරමින් තිබේ. එසේ වෙතත්, ලෝකය පුරා පැන නැගී ඇති වසංගත තත්වයෙන් විදේශ වෙලඳපලට එල්ල වී ඇති තර්ජනය නිසා අපනයන ඉලක්ක සපුරා ගැනීමට බවතින බාධාව පිලිබඳව කනස්සල්ල පල කල සුබසිංහ නිරෝධායන ඇඳිරි නීති කාලය තුල මහා ව්‍යාපාරිකයින්ට පූර්න සහයෝගය ලබා දෙන බවට සහතික විය.

මේ අන්දමින් කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවිත නොතකා සිදු කෙරෙන සූරාකෑමේ අවශ්‍යතාවය පිලිබඳව සංස්ථාපිතයේ සියලුම ආර්ථික විශේෂඥයින් හඬ තලමින් සිටින්නේ රට ආර්ථික ප්‍රපාතයක අද්දර සිටින බවට අනතුරු අඟවමිනි.

මෙම හඬ තැලීමට මූලික හේතුව නම් රට හසුවී තිබෙන විදෙස් නය ඇතුලු ආර්ථික හෝදාපාලුව බව ඔවුහු පෙන්වා දෙති. රටෙහි විදේශ සංචිත ඇ. ඩොලර් බිලියන 5.4 ට වැටී ඇති බවත්, මීලඟ මාස 12 තුල නය වාරික ලෙස ගෙවීමට ඇති මුදල ඩො. බිලියන 6.7ක් බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ්.විජේවර්ධන සඳහන් කරයි.

සන්ඩේ ටයිම්ස් හි ආර්ථික ලියුම්කරු වන නිමල් සඳරත්න පසුගිය ඉරිදා මෙසේ පැවසීය; “ආර්ථිකය කඩාකප්පල්වීම විශේෂයෙන් අපනයන ගැන සැලකූ කල දැඩි පහරකි. පහත වැටෙන අපනයනය, වෙලඳ සහ ගෙවුම් ශේෂය නරක අතට හැරවිය හැකි අතර ආර්ථිකයේ බාහිර අවදානම ඉහල දමනු ඇත.”

ධනපති ආර්ථික කඩා වැටීම පිලිබඳව තත්වය ඒසේ වුවද මෙම තත්වය තුල අපනයනයට සම්බන්ධ ප්‍රධාන සංගතයන්ගේ හා ඒ්වායේ ප්‍රකෝටිපති හිමිකරුවන් ගේ ලාබ හා වත්කම් පිම්මේ ඉහල නංවා තිබේ. දැනට පලවී ඇති වාර්තා අනුව අපනයන නිෂ්පාදනයට සම්බන්ධ ලාංකික සංගතයක් වන හේලීස් සමූහ ව්‍යාපාරයේ ශුද්ධ ලාබය මේ වසරේ මැයි සිට ජූනි දක්වා වන මාස තුන තුලදී රුපියල් මිලියන 560 ඉක්මවා ඇති අතර, පෙර වසරේ එම කාර්තුවේදී සමාගම ලබා ඇත්තේ මිලියන 73 ක පාඩුවකි. මෙහි හිමිකරු හා ලංකාවේ ප්‍රමුඛතම ධනවතා ලෙස සැලකෙන ධම්මික පෙරේරාගේ වත්කම 2020 වසර තුල මේ වනවිට රුපියල් බිලියන 15 කින් පමන ඉහල ගොස් ඇති බව වාර්තාගතය. මින් පැහැදිලි වන්නේ වසංගතය තුල ලාබ ගැරීමේ කොල්ලය සිදු වෙමින් පවතින ආකාරයයි.

ධනපති හාම්පුතුන් ගේ තත්වය මෙසේ තිබියදී කම්කරුවන් මුහුන දෙන තත්වය ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධය. මෙම ආර්ථික කඩා වැටීම තිබියදීම මහා ව්‍යාපාරයන්ට රුපියල් බිලියන 178ක මුදල් පොම්ප කිරීමට ආන්ඩුව ක්‍රියාත්මක වූයේ, වසංගතය නිසා විරැකියාවට පත් කම්කරුවන්ට සහ ස්වයං රැකියා අහිමිවූවන්ට කිසිම සහනයක් ලබා නොදෙන අතරවාරයේදීය.

වෘත්තීය සමිතිවල හා ආන්ඩුවේ පූර්න අනුමැතිය සහිතව, හාම්පුතුන් විසින් කම්කරුවන්ගේ සියලු දීමනා අහෝසි කොට, වැටුප් සියයට 50 දක්වා කප්පාදු කර තිබේ. මීට අමතරව විශ්‍රාමික දීමනා ද කපා හැර ඇත. මෙලෙස "වසංගතයේ බර" කම්කරුවන් මත පටවමින් ලාබ ගැරීම මහා පරිමානයෙන් සිදු කෙරේ. පසුගිය මස ලෝක බැංකුවට අයත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ලංකාවේ පුද්ගලික අංශයේ ශ්‍රමිකයන් පිලිබඳ නිකුත් කල වාර්තාවකට අනුව අඹු සැමි දෙපලම රැකියා කරන කම්කරු පවුලක

පවා ආදායම අතිශය පහත වැටී ඇති බැවින් රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග සොයා ගැනීමට කම්කරුවන්ට බල කෙරී තිබේ.

මේ මස මුලදී නිදහස් වෙලඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මෙම කප්පාදු දිගටම පවත්වා ගෙන යාම සඳහා සැප්තැම්බර් මස වනතෙක් දී තිබූ අනුමැතිය දීර්ඝ කරන ලෙස කම්කරු ඇමතිගෙන් ඉල්ලා සිටියේ දැනටම එම කප්පාදු පවත්වාගෙන යන අතරතුරදීය.

මහා පරිමාන ගෝලීය ඇඟලුම් සංගත වන වික්ටෝරියා සීක්‍රට්, මාක් ඇන්ඩ් ස්පෙන්සර්, කැල්වින් ක්ලෙයින්, අඩිඩාස්, ගැප්, ස්පීඩෝ, නයික්, රීබොක් ආදිය සඳහා සැපයුම් කරන සහ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වැඩෙහි යොදවා ඇති, දැවැන්ත සමාගම් දෙකක් වන, බ්‍රැන්ඩික්ස් හා එම්ඒඑස් හෝල්ඩින්ස් යන කම්හල් වල සිය ගනන් කම්කරුවන්හට කොව්ඩ් වසංගතය වැලඳී පීඩා විඳිමින් සිටියදීම ඔවුන්ව වැඩට ගෙන්නමින් අපනයන ඇනවුම් නිමවීමට කරගෙන ගිය වැඩ කටයුතු මේ වනවිට හෙලිදරව් වී  තිබේ.

අඩු වැඩි වශයෙන් මෙම ශ්‍රම වහල් කඳවුරු වල පවතින යතා තත්වය මෙයයි. මේ වනවිට කටුනායක, බියගම, සීතාවක හා කොග්ගල ඇතුලු නිදහස් වෙලඳ කලාප වලින් මෙන්ම ඒ් අවට පවතින කම්හල් වලින්ද සිය ගනන් ආසාදිත කම්කරුවන් වාර්තා වෙමින් ඇත්තේ අතිශය සීමිත පීසීආර් පරීක්ෂන පවත්වා තිබියදීය. නිදහස් වෙලඳ කලාප තුල කම්කරුවන් 133,000 ක්ද ඉන් පිටත කම්කරුවන් 580,000 ක්ද සේවය කරන බව වාර්තා වුවද නොවැම්බර් 2දා වනවිට පීසීආර් පරීක්ෂන පැවැත්වී ඇත්තේ 30,000ට අඩු කම්කරු පිරිසකට පමනි. ඉන්පසුව ඒ් පිලිබඳ සංඛ්‍යාලේඛන පලවී නැත.

පසුගියදා කොග්ගල නිදහස් වෙලඳකලාපය තුල දින 14ක නිරෝධායනයට ලක්කල කම්කරුවන් දින දෙකකින් කම්හලට ගෙන්වා ගැනීමට ආන්ඩුවේ බලධාරින් ක්‍රියාත්මක වූ ආකාරය ලෝසවෙඅ ය විසින් වාර්තා කෙරිනි.

මෙලෙස වැඩ ගැනීම සිදු කෙරුනේ පසුගිය අප්‍රේල් මාසයේදී වසංගතය මධ්‍යයේ කම්හල් විවෘත කරන විට ඒ්වාට බල පැවැත්වෙන ලෙස පනවන ලද රෙගුලාසි තිබියදීමය. දැන් යලි වතාවක් මෙම රෙගුලාසි ප්‍රසිද්ධකර ඇත්තේ ඒ්වා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් මත නොව හාම්පුතුන්ට සූරා කෑම සඳහා ලබාදෙන වරපත්‍රයක් ලෙසය. මීටරයක පරතරය වැනි මෙම රෙගුලාසි මුල සිටම කම්හල් තුල ක්‍රියාත්මක නොවුන ද, ඒ් පිලිබඳව හාම්පුතුන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් සහ ආන්ඩුව ද දැනුවත්ව නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගියේ මෙම සංගත වලට හැකි උපරිම අයුරින් ලාබ ගැරීමට ඉඩ සලසමිනි. වර්තමානයේදී ක්‍රියාත්මක වෙමින් පවතින්නේද මෙම සාපරාධී ක්‍රියා පිලිවෙතයි.

Loading