ආන්ඩුව මහජනතාවට එරෙහි ව ඔත්තු බැලීමට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවයි

රාජපක්ෂ ආන්ඩුව තම මිලිටරීකරන වැඩපිලිවෙලෙහි තවත් පියවරක් ඉහලට තබමින්, පසුගිය 12 වනදා, නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (ඩ්‍රෝන් ) රෙජිමේන්තුවක් යුද හමුදාව තුල ස්ථාපිත කලේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වන රෙජිමේන්තුව වන ඩ්‍රෝන් බලකාය කාලතුවක්කු බලකායට අනුයුක්තව ස්ථාපිත කර ඇත. මෙම රෙජිමේන්තුව, “හමුදා සහ හමුදා නොවන” අවස්ථා නිරීක්ෂනය කිරීමේ හැකියාව පවතින, නියමුවන් රහිත කැමරා සහ උසස් තාක්ෂනික උපාංග සහිත කුඩා හා මධ්‍යම ප්‍රමානයේ සැහැල්ලු ගුවන් යානාවන්ගෙන් සමන්විත වෙයි.

ඩ්‍රෝන රෙජිමේන්තුව ගොඩනගා ඇත්තේ හමුදා උපායන් නවීකරනය කෙරෙන “යුද හමුදාවේ ඉදිරි උපායමාර්ග 2020-2025” සැලසුමට අනුවය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ තාක්ෂනික නවීකරනයන් සහිතව යුද හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට මෙම පියවර ගත් බවයි.

නව රෙජිමේන්තුවේ අරමුන යුද හමුදා වෙබ් අඩවියෙහි සෘජුවම සඳහන් කොට ඇත. එහි සඳහන් වන්නේ “ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ” අරමුනින්, නව තාක්ෂනික අභියෝග සහ තර්ජන හමුවේ යුද හමුදාව සූදානම් කිරීමට “සංවේදී තොරතුරු එක් රැස් කර ගැනීම” මෙහි අරමුන බවයි.

“ජාතික ආරක්ෂාව තර කිරීම” යන පදය ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙටීමට සහ කම්කරු පන්තියට එරෙහිව රාජ්‍ය මර්දනයේ අවයව ශක්තිමත් කිරීමට ධනපති ආන්ඩු විසින් දිගටම භාවිතා කල වචනයකි. ධනපති පාලකයන් ජාතික ආරක්ෂාව යනුවෙන් මූලිකව අදහස් කරන්නේ, කම්කරු පන්තියෙන් එල්ලවන අභියෝගයන්ගෙන්, තම පංතිය සහ ධනපති ක්‍රමය ආරක්ෂාකර ගැනීමයි.

“සංවේදී තොරතුරු එක් රැස් කර ගැනීම” යන්නෙහි සැබෑ අර්ථය වටහාගත හැක්කේ එම සන්දර්භය තුලයි. 'සංවේදී තොරතුරු' යනු මූලික වසයෙන්ම, ධනපති ආන්ඩුවට, ධනපති රාජ්‍යයට සහ ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙන විරෝධතා, වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන් සහ කම්කරු පංතියට නායකත්වය දෙන සංවිධානයන් පිලිබඳ තොරතුරු ය.

දැනටමත් ඩ්‍රෝන යොදාගෙන සිදු කරන ක්‍රියාකාරකම් මගින් එහි අරමුන කම්කරු -පීඩිත මහජනතාව රුදුරුම ආකාරයෙන් මැඩලා 'විනයගත' කිරීම බව පැහැදිලි වෙයි. රෙජිමේන්තුව පිහිටවූ දිනයේම, ගුවන් හමුදාව සහ පොලීසිය එක්ව හුදෙකලා කර ඇති ප්‍රදේශයන්ට ඩ්‍රෝන් යානා යවා, එමගින් සොයාගත්තේයැයි කියන, 'නිරෝධායන නීති කඩකලවුන්' 117 කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වාර්තා කලේය.

ආන්ඩුවෙහි මෙම ඔත්තු බැලීම් සහ සමූහ අත් අඩංගුවට ගැනීම් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයේ ඉහලම අදියරකි. මෙය, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව මහජන විරුද්ධත්වය වැඩෙන තතු යටතේ මහජනතාවගේ සෑම චලනයක් සම්බන්ධයෙන්ම සෙවිල්ලෙන් සිටිමින් අවශ්‍ය මර්දන පියවර ගැනීමට සූදානම් කෙරෙන පොලිස් රාජ්‍යයක අත්‍යන්ත අංගයකි.

වසංගතයට මුහුන දීමේ කඩතුරාව යටතේ, සතියකට පෙර, “ප්‍රවේසම්වී සිටින්න (stay safe)” යනුවෙන් අන්තර්ජාල මෘදුකාංගයක් හඳුන්වාදීම ද මෙම ඔත්තු බැලීමේ යාන්ත්‍රනයේම කොටසකි. එම මෘදුකාංගය යොදා ගනිමින්, යම් පුද්ගලයෙකුගේ දුරකථනය හරහා ඔහු හෝ ඇය සංචරනය කරන ස්ථාන, එම ස්ථාන වල සිටි පුද්ගලයින් ආදිය පිලිබඳ තොරතුරු ලබා ගත හැක.

ආන්ඩුව මෙම යාන්ත්‍රනය පිහිටුවීම කොරෝනා මර්දනයට රුකුලක් වනු ඇතැයි ප්‍රචාරය කරමින් සිටී. ඩ්‍රෝන තාක්ෂනය වසංගතයට මුහුන දීමට භාවිතා කරන බව සඳහන් කරමින් කාල තුවක්කු රෙජිමේන්තුවේ සේනාධිනායකයා පැවසුවේ, “ඩ්‍රෝන යාත්‍රා මගින් උෂ්නත්වය පරීක්ෂා කර අදාල පුද්ගලයින්” හුදෙකලා කල හැකි බවයි.

කොරෝනා වසංගතයට මුහුන දීමේදී, අත්‍යවශ්‍ය නොවන වැඩපලවල් වසා දැමීම ඇතුලු සෞඛ්‍යාරක්ෂන ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව මෙම ඩ්‍රෝන තාක්ෂනය මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යොදාගනු ඇතැයි මිත්‍යාවක් ඇති කර නොගත යුතුය.

අනෙක් අතට, මහජනතාව නිරෝධායන නීති උල්ලංඝනය කරන බවට ආන්ඩුව කරන චෝදනාව නරුමය. අගුලු දැමීම් හේතුවෙන් ආදායම් අහිමි වූ කම්කරුවන්ට, සුළු ව්‍යාපාරිකයන්ට ජීවත් වීමට සරිලන ආකාරයේ දීමනාවක් ලබාදීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සම්පාදනය කිරීම ආන්ඩුව විසින් සාපරාධී ලෙස පැහැරහැර ඇති තතු යටතේ, නිරෝධායන නීති පැවතියදීත්, ආදායම් උපයා ගැනීමට සහ අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමට පාරට බැසීමට බල කෙරී ඇත.

ධනපති ආන්ඩු ක්‍රියාවට දමන මෙම ඩ්‍රෝන මෙහෙයුම් ලංකාවට පමනක් සීමාවූවක් නොවේ. මෙය වසංගතයට මුවාවී මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරී ඇති ගෝලීය ප්‍රහාරයේ කොටසකි. දැනටමත් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙවන් මෙහෙයුම් ක්‍රියාවට දැමෙමින් පවතී.

අනෙක් අතට මෙය ආන්ඩුවේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් ද ඉතා වැදගත් හෙලිදරව්වක් කරයි.  පීසීආර් පරීක්ෂන වලට යන වියදම් ගැන කනිපින්දම් කියන ආන්ඩුව, වියදමින් සහ නිරවද්‍යභාවයෙන් අඩු ඇන්ටිජන් පරීක්ෂාව ක්‍රියාවට දමා ඇත. එමෙන්ම නිරෝධායන ධාරිතාව පුලුල් කිරීමට මුදල් වැය නොකොට පලමු පෙල ආශ්‍රිතයින් නිවෙස් තුල නිරෝධායනයට ලක් කරමින් සිටී. 

මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට මුදල් නැතැයි කියන ආන්ඩුව මෙම මිලිටරි පියවර සඳහා කිසිම පැකිලීමකින් තොරව මුදල් සම්පාදනය කරමින් සිටී. මේ සඳහා විපක්ෂයේ ද පූර්න සහයෝගය ආන්ඩුවට ලැබේ. ඊනියා විපක්ෂය  ආන්ඩුවේ මෙම පියවර වලට සහාය දෙමින් පසුගිය සතියේදී විසර්ජන පනත පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරවම සම්මත වන්නට ඉඩ හැරියේය.

“සංවේදී තොරතුරු” එක් රැස් කරමින් ආන්ඩුව සූදානම් වන්නේ කම්කරු පන්තියට එරෙහි පන්ති යුද්ධයටයි. වසංගතය සහ එයින් තීව්‍ර කෙරී ඇති පන්ති යුද්ධයට මුහුනදීම සඳහා, කම්කරුවන්, තම ජාත්‍යන්තර පංති සගයන් සමග එක්ව, ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. 

Loading