වර්ගවාදී චෝදනා මත චාර්ල්ස් ඩිකන්ස් කෙලෙසීමේ ව්‍යාපාරයක්

චාර්ල්ස් ඩිකන්ස් (1812-1870) 19 වෙනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම නවකථාකරුවන් අතරින් කෙනෙක් හා ලෝක-ඓතිහාසික සාහිත්‍ය චරිතයක් ද, සංස්කෘතික ප්‍රතිරූපයක් ද වේ. නො නස්නා අදාලත්වය හා ජනප්‍රියතාව අතින් ඉංග්‍රීසි භාෂාව තුල ඔහු විලියම් ශේක්ස්පියර්ට පමනක් දෙවෙනි වේ.

ඔහුගේ නොනැසෙන කෘතීන් අතරට, The Pickwick Papers(ද පික්වික් පේපර්ස්), Oliver Twist(ඔලිවර් ට්විස්ට්), Nicholas Nickleby(නිකොලස් නිකල්බි), Martin Chuzzlewit(මාටින් චුස්ල්විට්), Dombey and Son(දොම්බේ ඇන්ඩ් සන්), David Copperfield(ඩේවිඩ් කොපර්ෆීල්ඩ්), Bleak House(බ්ලීක් හවුස්), Hard Times(හාඩ් ටයිම්ස්), Little Dorrit(ලිට්ල් ඩොරිට්), A Tale of Two Cities(අ ටේල් ඔෆ් ටූ සිටීස්), Great Expectations(ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්), Our Mutual Friend(අවර් මියුචුවල් ෆ්‍රෙන්ඩ්) සහ ඇත්තෙන් ම, පාඨක ලෝකය වෙත එබනේසර් ස්කෲජ් චරිතය හදුන්වා දෙන ලද කෙටි නවකථාව වන A Christmas Carol (අ ක්‍රිස්මස් කැරොල්) ඇතුලත් වේ.

ඩිකන්ස් ඔහුගේ මේසයේ, 1858

එංගලන්තයේ, නැගෙනහිර කෙන්ට්හි, බ්‍රෝඩ්ස්ටෙයර්ස් නගරයේ පිහිටි ඩිකන්ස් ගෘහ කෞතුකාගාරයට, පසුගිය ජූනි මාසයේ වර්න දියර විදිමින්, “ඩිකන්ස් වර්ගවාදියා” යනුවෙන් ලියා එක් පුද්ගලයෙක් ගොඩනැගිල්ලට හානි පැමින වී ය. ඉයන් ඩ්‍රයිවර් නමැති මෙම අපරාධකරුවා හරිත පක්ෂයේ හිටපු සභිකයෙකි.

පසුතැවිලි නො වූ ඉයන් ඩ්‍රයිවර් පසුව දැනුම් දුන්නේ, තමන් විසින් කෞතුකාගාරය ඉලක්ක කර ගන්නා ලද්දේ එය “බ්‍රෝඩ්ස්ටෙයර්ස් නගරයේ හා තානෙට් දිස්ත්‍රික් කවුන්සිලවල මුල් ඇද තිබෙන ආයතනික වර්ගවාදය” නියෝජනය කරන නිසා බව ය. “චාර්ල්ස් ඩිකන්ස් හා බෙල්ජියමේ ලියෝපෝල්ඞ් රජු වැනි ජනසංහාරක වර්ගවාදීන්ට” උත්කර්ෂයෙන් උපහාර පිදීම ගැන, ඔහු ප්‍රකාශයකින් දැඩි ලෙස හෙලාදුටුවේ ය.

ඉයන් ඩ්‍රයිවර් උන්මත්තක හෝ අස්ථාවර මනසකින් හෙබි පුද්ගලයෙකු විය හැකි ය. එනමුත් ඔහුගේ ක්‍රියාවන් පොදු රටාවකට ගැලපේ. ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් ජෙෆර්සන්ගේ, ජෝර්ජ් වොෂින්ටන්ගේ, ඒබ්‍රහම් ලින්කන්ගේ සහ යුලිසිස් එස්. ග්‍රාන්ට්ගේ ප්‍රතිමා ඉවත් කර, විරූප කර හෝ ඒවාට තර්ජනය කර හෝ ඇත.

එපමනක් නො ව, ඩිකන්ස් වනාහි ස්ත්‍රීන්ට ද්වේශ කරන්නකු, අධිරාජ්‍යවාදියෙකු, යුදෙව්-විරෝධියෙකු සහ නීතියේ හා පර්යායේ ප්‍රතිගාමී ආරක්ෂකයෙකු වේය යන මතව්‍යාපාරය දශක ගනනක් තිස්සේ ව්‍යාජ-වාමවාදී, ස්ත්‍රීවාදී හා පශ්චාත්නූතනවාදී ශාස්ත්‍රාලීය කවයන් අතර පැවතියේ ය. නිදසුනක් වශයෙන්, ඇමරිකානු ශාස්ත්‍රාලිකයකු වූ ඩී.ඒ. මිලර්, The Novel and the Police (ද නවල් ඇන්ඩ් ද පොලිස්, 1988) නම් කෘතියේ දී, විශේෂයෙන් පශ්චාත්නූතන මිෂෙල් ෆූකෝගෙන් අනුප්‍රානය ලබා ගනිමින් තහවුරු කරන්නේ, “ඩිකන්ස් පලමු වතාවට ඉංග්‍රීසි නවකථාව මගින් සමාජ ශික්ෂනය පිලිබඳ තේමාවන් අතිදැවැත්ත පරිමානයකින් තහවුරු කලේ ය යන කාරනය ගැන ඇත්තෙන් ම විවාද කරනු ඇත්තේ සුලු දෙනෙක් පමනි යනුවෙනි. මේ වසරේ මැයි මාසයේ, ඩේලි මේල් පුවත්පතේ “ස්ත්‍රීන්ට ද්වේශ කරන්නකු වූ ඩිකන්ස්” යනුවෙන් පල වුනු ශීර්ෂ පාඨය, උපශීර්ෂයක් මගින් දිග් ගස්වා තිබුනේ, “ඔහු පවුල් පුරුෂාර්ථ වෙනුවෙන් සටන් වැදුනා - නමුත් මේ නවකථාකාරයා එයාගේ බිරිඳට කෲර වුනා, ඔහුගේ අම්මාට වෛර කලා, ගැහැනු සම්බන්ධයකුත් තිබුනා...” යනුවෙන් ලියමිනි.

ප්‍රති-ඩිකන්ස් බැනරය සමහර පිලිකුල් සහගත චරිත ආකර්ෂනය කර ගන්නට සමත් විය. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ කන්ඩායමක් ඉහල මධ්‍යම පන්තික “වාම” දේශපාලනයෙන් 2000 මුල් ගනන්වල බුෂ්ගේ යුද ව්‍යාපාරයට ආකර්ෂනය වෙමින්, සාපරාධී හා මිනීමරු ඉරාක ආක්‍රමනයට ඉතා උද්‍යෝගිමත් ව ඔල්වරසන් දෙන ලද තරමේ සදාචාර මහිමයක් ඇති, මියගිය පුවත්පත් කලාවේ දී තක්කඩියකු වූ ක්‍රිස්ටෝෆර් හිචන්ස් සිය පාඨකයින්ට 2010 දී දැනුම් දුන්නේ ඩිකන්ස් “මහා ම එපා කරපු එකා” වූ බව ය.

මේ සියල්ල අතිශයින්ම ප්‍රතිගාමී සහ අමන වූ ප්‍රකාශයෝ ය: නරක ම අදූරදර්ශීභාවයක් සහ ඓතිහාසික මානයකින් තොර වූත සදාචාර දේශනා ඇදබෑමකි. මෙවැනි යම් උත්සාහයක් පිලිගැන්නවීමට අවශ්‍ය සහාය ලැබෙන තාක් දුරට, එයින් හෙලිදරව් කෙරෙන්නේ සහ සනාථ කෙරෙන්නේ, පොහොසත් සුලු-ධනේශ්වර ස්ථරයන්ගේ බුද්ධිමය හා සදාචාරාත්මක කුනු වීම යි.

පියා මාර්ෂල්සී හෙවත් නයකරුවන්ගේ සිරගෙයට යැවුනු විට චාර්ල්ස් ඩිකන්ස්ට කර්මාන්ත ශාලාවක වැඩ කරන්නට සිදුවීම කලාකරුවකුගේ ඇසින්

පලමුවෙන් ම සඳහන් කල යුත්තේ, ඩිකන්ස් සමාදරයට බඳුන් වූ අයෙක් බවයි. මක්නිසාද යත්, නිල, නම්බුකාර සමාජය විසින්, විශේෂයෙන් ලමයින් ඇතුලු, ඉතාමත් අධම ආකාරයට සලකනු ලැබීමට හා කෲර පීඩනයට පත් කරනු ලැබීමට ගොදුරු වූවන් කෙරෙහි ඩිකන්ස් තම නවකථාවලින් ගැඹුරු සානුකම්පාවක් දක්වන ලද බැවිනි. සමහර විට ශ්‍රේෂ්ඨ රුසියානු නවකථා කතුවර ලියෝ ටෝල්ස්ටෝයි හැරුනු විට, අර්ථභාරී ප්‍රබන්ධ කථාවල දී එවැනි සානුකම්පාවක් පල කල වෙනත් ලේඛකයකු ගැන සිතන්නට අපහසු ය. තමන්ගේ පියා නයකාරයින්ගේ සිරගෙදරට දමා අගුලු දැමූ විට, 12 වෙනි වියේ දී කලු ඇතිල්ලීමේ කර්මාන්ත ශාලාවක (සපත්තු පොලිෂ්) දිනකට පැය දහයක් වැඩ කිරීමට සිදුවීම ඇතුලු ව, දැඩි අගහිඟකමින් පිරුනු කාලය සහිත දුප්පත්කමේ සහ ලමා අපහරනයේ ‘වාසිය’ ඩිකන්ස් ඇත්තෙන් ම ‘රස වින්දේ ය’.

දෙවනු ව,එම කාරනයට අදාල ව, කුහකයින්ගේ හා විතන්ඩවාදීන්ගේ, විශේෂයෙන් පීඩිතයින් තුල තිබිය යුතු යැයි සැලකෙන, සදාචාරමය හා ආගමික බැඳීම් පෙන්වා ඔවුන්ට පන්ඩිතමානී උපදෙස් දෙන අතරේ, අනෙක් මිනිසුන්ගේ දුක්ඛිතභාවය මත සුඛිත ව වැජඹෙන්නවුන්ගේ දරුනු චරිත නිරූපන නිර්මානය කිරීම අතින් ඩිකන්ස් කිසිවකුට දෙවෙනි වන්නේ නැත. ඉංග්‍රීසි මධ්‍යම පන්තියේ නොයෙකුත් ස්ථරයන් තුල පවතින “උඩඟුකම්, බොරු මවාපෑම්, සුලු මට්ටමේ දුෂ්ටකම් සහ අමනකම්” නිරූපනය කල “එංගලන්තයේ වර්තමාන ප්‍රබන්ධකරුවන්ගේ අනගි සහෝදරත්වයට” කාල් මාක්ස් විසින් ඩිකන්ස් ඇතුලු කලේ ය.

ඩිකන්ස්ගේ අනර්ඝම කෘති අතරින් එකක් වූ, බ්ලීක් හවුස් සම්බන්ධයෙන් වැදගත් පර්යාවලෝකනයකින් යුතුව, බ්‍රිතාන්‍ය ලේඛක ජෝර්ජ් ගිසිං 1898 දී කල අධ්‍යයනයේ දී සඳහන් කල පරිදි මෙම නවකථාකරුගේ “උපහාසය ඉතාමත් පුලුල් ලෙස එකල සමාජ තත්වයට අදාල වේ. ඩිකන්ස්ගේ කාලයේ දී පැවති අධික වූ කෲරත්වයට සහ කුහකත්වයට මෙන් ම ජීවිතය ජරාවෙහි, අන්ධකාරයෙහි හා කාලකන්නිභාවයෙහි ගිල්වා කබාසිනියා කර දැමීමට වගකිව යුතු වූත් ප්‍රධානත්වය තහවුරු කිරීම සඳහා පුහු උදාරම්කමින් පෙරටු වීම මත පදනම් වූ මුලු මහත් පද්ධතිය වෙත ම ඒ උපහාසය එල්ල වේ.”

එම යුගයේ බ්‍රිතාන්‍ය කම්කරුවන්ගේ විප්ලවවාදී ව්‍යාපාරය වී තිබුනු චාර්ටිස්ට් ව්‍යාපාරයේ පුවත්පත වූ The Northern Star(ද නොදර්න් ස්ටාර්) විසින් චාර්ල්ස් ඩිකන්ස් අභිමානයෙන් යුතුව පිලිගනු ලැබුවේ, “පීඩිතයින්ගේ ශුර සටන්කරුවා” ලෙසිනි. (දෝෂ සහගත ලෙස) Charles Dickens, Apostle of the People (චාර්ල්ස් ඩිකන්ස්, ජනතාවගේ ධර්මදූතයා) යන මැයෙන් 1908 දී ලියූ කෘතියේ දී එඩ්වින් පියුහ් කියා සිටියේ, කම්කරු පන්තිය සම්බන්ධයෙන් ඩිකන්ස් “අවිඥානක සමාජවාදියකු” වන බව ය. ඩිකන්ස්ගේ Little Dorrit ඉංග්‍රිසියෙන් එදා මෙදාතුර ලියැවුනු ශ්‍රේෂ්ඨතම නවකථාවලින් එකක් වන බව (මෙය සත්‍යයකි) පමනක් නො ව මාක්ස්ගේ Das Kapital කෘතියට වඩා උද්ඝෝෂනාත්මක බව ද (මෙය සත්‍ය නො වේ) ජෝර්ජ් බර්නාඩ් ෂෝ තහවුරු ලෙස පැවසී ය. ඩිකන්ස් ව මහත් සේ අගය කල ටෝල්ස්ටෝයි, “ ඔහු දුර්වලයින්ට හා දුප්පතුන්ට ආදරය කල අතර සෑම විටම ධනවතුන් පිලිකුල් කලා” යි පැවසුවේ ය.

ජෝර්ජ් ගිසිං

 ඩිකන්ස් මේ සියල්ල ද ඊටත් වැඩි තවත් බොහෝ දේවල් ද කලේ ඉහල ම සජීවීභාවයෙන් සහ ඉතාමත් ම හාස්‍යෝත්පාදක අයුරිනි. එපමනක් නො ව, ඔහු ඉංග්‍රිසියෙන් නිර්මානය කල චරිතයන්ගේ හා පෞරුෂයන්ගේ විශ්වයේ විචිත්‍රත්වය දෙවැනි වන්නේ ශේක්ස්පියර්ට පමනකි. ඔහුගේ චරිතවල අපූර්ව මට්ටමේ නාමයන් බොහෝ තරමේ දේවල් නිතර ම පවසයි: හෙන්රීටා බොෆින්, වින්සන්ට් ක්‍රමල්ස් සහ පවුල, එෆ්රි ප්ලින්ට්වින්ච්, ටොම් ග්‍රැඩ්ග්‍රයින්ඞ්, ගල්පිජ් මහතා හා නෝනා (රාත්‍රී ආහාර මේසයේ අමුත්තෝ), චෝකුම්චයිල්ඩ් මහතා (පාසල් ගුරුවරයා), නිව්මන් නොග්ස්, “දි ඉන්ෆැන්ට් පිනොමිනන්”, හර්බර්ට් පොකට්, ජෝනාස් චසල්විට්, පම්බල්චූක් මහතා, ස්මෝල්වීඞ් මහතා (නය දෙන්නා), වැක්ෆර්ඩ් ස්කුයර්ස්, පෝල් ස්වීඩල්පයිප්, මොන්ටේග් ටිග්, නැතෑනියෙල් වින්ක්ල් සහ වොප්සි මහතා ඒ අතරින් කිහිප දෙනෙකි.

ඇමරිකානු විචාරක එඩ්මන්ඩ් විල්සන්, ඔහුගේ ඩිකන්ස්: ද ටූ ස්ටෲජස්  (1939) නමැති දීප්තිමත් රචනාවේ දී සඳහන් කලේ, ඩිකන්ස් “සැමවිට ම ආයතන විරෝධී” වූ බව ය. විල්සන් තර්ක කරන්නේ, ඩිකන්ස් “පල්ලියට හා රජයට” වචනයෙන් පමනක් සහාය පෙන්නුම් කලත්, ඔහු තම කලාවේ දී, “නීති, උසාවි සහ රජයේ නිලධාරීන්, ප්‍රොතෙස්තන්ත්‍රවාදී විරුද්ධ මතධාරීන්ගේ ඇදැහිලි ධර්මතාවන් සහ එංගලන්ත සභාව වැනි දේවල්” සමග සංයුක්ත වශයෙන් කටයුතු කරන ඕනෑම විටක දී, ඔහු ඒවා එක්කෝ පරිහාසයෙන් හෝ නැති නම් කෲරත්වයෙන් හෝ එක විට ඒ දෙවිධියෙන් ම සැලකූ බව යි.

විල්සන් තව දුරටත් කියා සිටියේ, ඩිකන්ස්, “පාලක පන්තිය විසින් අවස්ථාව ලබාදීමේ ගෞරවය ප්‍රතික්ෂේප කල බ්‍රිතාන්‍ය බුද්ධිමතුන්ගේ ඉතා කුඩා කවයක කෙනෙකු” වූ බව ය.

ඩිකන්ස්ගේ වර්ගවාදය පිලිබඳ මුරගෑම මතු වී එන්නේ, ඉන්දියාව, අප්‍රිකාව, චීනය සහ අයර්ලන්තය පිලිබඳ ව හා එම කලාපවල සිදු කෙරුනු බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රියාකාරකම් ගැන ඔහු නොයෙකුත් අවස්ථාවල දී සිදු කල නිරීක්ෂනවලිනි. ඒ සමහර විවේචනාත්මක අදහස් දැක්වීම් ප්‍රතිගාමී සහ පමන ඉක්මවන ඒවා වේ. නරක ම ඒවා සිදු කරන ලද්දේ, කැරැලිකාර හමුදා විසින් බ්‍රිතාන්‍ය කාන්තාවන් සහ ලමුන් 120 ක් මරා දමන ලද, සිපෝයි කැරැල්ල නමින් ප්‍රකට 1857 ඉන්දියානු කැරැල්ල අවස්ථාවේ දී ය.

ග්රේස් මූවර්, Dickens and Empire(ඩිකන්ස් ඇන්ඩ් එම්පයර්) නමැති ඇගේ විචාරශීලී කෘතියේ දී පැහැදිලි කල පරිදි, “සමූලඝාතනයේ විපාකය මධ්‍යයේ පලිගැනීම ඉල්ලා සිටිමින් සිදු කරන ලද ඩිකන්ස්ගේ අප්‍රසන්න හා ලේ පිපාසිත ඉල්ලීම් ගැන බොහෝ දේ ප්‍රකාශ වී තිබෙන නමුත් එම ඉල්ලීම් ඇත්ත වශයෙන් මාස හයක කාලයකට සීමා විය. සිපොයිවරුන්ගේ බියජනක ක්‍රියාවන් බ්‍රිතාන්‍ය පාර්ශ්වයේ ඒ හා සමාන අතිශය අප්‍රසන්න හැසිරීම් මගින් සමබර කරන ලද බව පෙනෙන්නට වූ පසු ව ..., ඩිකන්ස්ගේ කෝපාන්විත පුපුරා යාම එසැනින් නැවතුනි.”

ඇන්ටනි ක්ලෝඩේ නිම කල චාර්ල්ස් ඩිකන්ස්ගේ ඩගරෝටයිප් ආලේඛය, 1852

මුවර් සිත් ගන්නා ලෙසින් තර්ක කරමින් යන්නේ A Tale of Two Cities(අ ටේල් ඔෆ් ටූ සිටීස්, 1859) කෘතියේ දී “සිපොයි සොල්දාදුවන් හා ඔවුන්ට එකතු වුනු කැරැලිකරුවන් පිලිබඳ ඔහුගේ ආකල්පය ඩිකන්ස් වෙනස් කර ගන්නේ 1798 - ප්‍රංශ තුන්වෙනි ප්‍රජාව සහ ඉංග්‍රීසි කම්කරු පන්ති සමග සානුකම්පිත අයුරින් ඔවුන් එක පෙලෙහි තබමින්” බවත්, “1857 දී සිදු වුනු ඔහුගේ පුපුරා යාමට පසු ඇත්ත වශයෙන් ඩිකන්ස් ඉන් පසු කාලයේ වර්ගය පිලිබඳව කතා කිරීමේ දී නියත වශයෙන් වඩා ප්‍රවේසම්කාරී වූ බවත්” පවසමිනි.

කෙසේ වෙතත්, ඩිකන්ස් වර්ගවාදියෙක්, ගැහැනුන් නොරුස්සන දුෂ්ටයෙක් බව හෙලිදරව් කරන්නට කැප වී ඇති එතරම් විශාල නොවන නමුත් නිසැක ව ම ලාභදායී වන්නා වූ මුලුමහත් කර්මාන්තයක් ම වර්ධනය වී ඇත.

මෙවැනි ප්‍රයත්නයන්ට හසු නො වී සිටිය හැකි වන්නේ, නොනැසෙන කීර්තියක් සතු සාහිත්‍ය හා කලාත්මක චරිතයන් කිහිපයකට පමනි. රෝලන්ඩ් ඉමරිච්ගේ Anonymous(ඇනොනිමස්, 2011) කෘතියේ ශේක්ස්පියර් අමන පරිභවයට ලක් විය. නාට්‍යකරුවා සැබැවින් ඔක්ස්ෆර්ඞ් ආදිපාදවරයා ලියූ කෘතිවල ගෞරවය ලබා ගත්, බාගෙට උගත්, පූච්චංකාරයෙක්, බේබද්දෙක් හා මිනීමරුවෙක් යැයි ප්‍රකාශ කෙරිනි.

ඉහත සිදු වූ තරම් දුෂ්ට සහගත තරමට නො වූවත්, ටෝල්ස්ටෝ‍ෙයිව The Last Station (ද ලාස්ට් ස්ටේෂන්, 2009) නමැති කෘතිය මගින් කිසියම් දුරකට මුසාකරනයකට සහ හෑල්ලු කිරීමකට ලක් වී ඇත. Mary Shelley(මේරි ෂෙලි, 2017) කෘතිය මගින්, පර්සි ෂෙලී සහ ලෝඩ් බයිරන් දෙ දෙනා ද එවැනි ඉරනමකට ලක් කරනු ලැබ ඇත. අර්නස්ට් හෙමින්වේ සහ ඔහුගේ කලාව යන දෙකම, Papa: Hemingway in Cuba (පපා: හෙමිංවේ ඉන් කියුබා, 2015) නම් කෘතිය මගින් බිහිසුනු ලෙස ශුන්‍ය හා නීරස කරන ලදී. Orson Wells (ඕසන් වෙල්ස්, 2008) සහ RKO 281 (ආර්කේඕ 281, 1999) යන කෘති මගින් ඕසන් වෙල්ස් සුලු පරිමානයකට කපා, පහල හෙලන ලදී. ජෝන් ෆූජිගේ Brecht & Co. (බ්‍රෙෂ්ට් ඇන්ඩ් කම්පනි, 1994) ඇතුලු නොයෙකුත් පොත් කැප වී සිටියේ ජර්මානු නාට්‍යකරු සහ කිවියර බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කීර්තිය විනාශ කිරීමට ය.

ලියෝ ටෝල්ස්ටෝයි 1897 දී

ඩිකන්ස් ඔහුට වඩා බෙහෙවින් තරුන නිලියක වූ එලන් ටර්නන් සමග පවත්වා ගෙන ගිය 13 වසරක අනියම් සම්බන්ධය හේතුවෙන්, රැල්ෆ් ෆයින්ගේ The Invisible Woman(දි ඉන්විස්බල් වුමන්, 2013) චිත්‍රපටය මගින් ඔහු ඒ වන විටත් ප්‍රහාරයට ලක් වෙමින් තිබුනි. ඩිකන්ස් ඔහුගේ බිරිඳට හා අනියම් බිරිඳට සලකන ලද ආකාරය ගැන චිත්‍රපටකරුවන් විසින් තම එකඟතාව පල නො කරන ලදී. එහි දී “ලේඛකයා දික්කසාද වීමක් ගැන සිතන්නට නොහැකි” වුනු එම යුගයේ සහ සමාජ තත්වයන්ගේ නිපැයුමකි, යනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කරනු ලැබූ යථාර්ථය නො සලකා හරින ලදී.

අපි තව දුරටත් මෙසේ පැවසීමු: “අවංකව ම, තම නවකතාවලින් ජීවිතය ඉදිරිපත් කිරීමට මේ නවකතාකරුගේ තිබෙන කැපවීම ඔහුට ආරෝපිත පුංචි පාපයන්ට වඩා දහස් වාරයක් වැදගත් වූවක් සහ කල් පවතින්නකි. මේ මධ්‍යම පන්තික විචාරකයින් ඉතිහාසය තුල ම වලංගු වන සදාචාරයේ තීරකයන් බවට පත් කරන ලද්දේ කව්රුන් විසින් ද? ඔවුන්ට කයිවාරු ගසන්නට ඇත්තේ මොනවා සම්බන්දයෙන් ද? මේ චිත්‍රපටයේ තිර රචනය කර තිබෙන්නේ මාගරට් තැචර් පිලිබඳ The Iron Lady(දි අයන් ලේඩි) චිත්‍රපටයට නිර්ලජ්ජිත ප්‍රනාමයක් ලියූ අබි මෝර්ගන් බව සඳහන් කල යුතු වේ.”

එක අන්දමකට, මේ මුලු මහත් සන්තතිය සරල වශයෙන් ඉතාමත් නරක කලාත්මක හා සමාජ වාතාවරනයක ලක්ෂනයකි. ශේක්ස්පියර්, ඩිකන්ස්, ටෝල්ස්ටෝයි, බල්සාක් සහ වෙනත් අය වැනි - හෝ ඊට ඉතා යන්තමින් හෝ සමාන ලෙස සැලකිය හැකි - කුශාග්‍ර කලාත්මක සුධීමතකුට සමාන වන්නකු නොමැති පැහැදිලි ව ම කනගාටුදායක වන තත්වයක දී, එවැනි සුධීමතුන් මිහිපිට විසුවේ ය යන අදහස පවා ප්‍රතික්ෂේප කිරීම අත්‍යාවශ්‍ය බව මෙවැනි සොක්කන්ට හැඟෙයි. ඔවුන්ට අතීත කලාකරුවකු අද දවසේ හිස්භාවයේ තරමට කුඩා කර කපා ගැනීම යනු ඔහු හෝ ඇය සම්බන්ධයෙන් වඩා හොඳ අදහසක් ඇති කර ගැනීමකි. “අපූරුයි, උන් අපිට වඩා වෙනස් නැහැ. කොහොමටත්, සිල්ලර, ආත්මාර්ථකාමී, නැති තැන අස්ථාන චෝදනා කරන චරිත ...” දක්ෂිනාංශයට වීසි වී ගිය පරම්පරා කිහිපයක බුද්ධිමතුන්ට, ඩිකන්ස්ගේ මට්ටමේ අතිශයින් වෙහෙසකර වූ මානසික ශ්‍රමය (වයස 58 දී ඔහුගේ මරනය සිදු වීමට හේතු වුනු ශ්‍රමය), ආත්ම-පරිත්‍යාගය සහ අතිශයින් කලාත්මක ශ්‍රේෂ්ඨත්වය ගැන සිතන්නට වත් නො හැකිය.

ඔවුන් හඹා ගෙන ගොස්, සෑම තැනින් ම සොයා ගන්නේ නීච සහගත නොවැදගත්කම් සහ අධම තුච්ඡ අභිලාෂයන් ය. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ ම ජීවිතවල ද නීච සහගත නොවැදගත්කම් සහ අධම තුච්ඡ අභිලාෂයන් ආධිපත්‍යය දරන බැවිනි. විෂම ඕපාදූප පැතිරවීම, කටකතා කීම සහ සෙසු දේවල් ඔවුන්ගේ ජීවන පැවැත්ම නිර්නය කරන අතර, ඔවුන් කරන්නේ ඒවා සියල්ල ඔවුන්ගේ පර්යේෂන විෂයන් මත පැටවීමය.

එ පමනක් නොව සමකාලීන ශාස්ත්‍රාලීය දෘෂ්ටිකෝනයෙන් බලන විට ඩිකන්ස්ගේ අතිදැවැන්ත දෝෂය වන්නේ ඔහුගේ අඛන්ඩ ජනප්‍රියතාවයි. ඔහුගේ කෘති මුද්‍රනය වීම කිසි දිනක නතර වී නැත. අ ටේල් ඔෆ් ටූ සිටීස් ඕනෑම කාලයක වැඩියෙන් ම කියවන නවකථා අතරින් එකක් ලෙස සමීක්ෂනය වී ඇත. “ලාභදායි මාසික වාරිකවල සහායෙන් ඔහු (ඩිකන්ස්) සම්පූර්නයෙන් ම අලුත් පංතියක්, ඉන් පෙර දී කිසිම නවකතාවක් නො කියවා තිබුනු අලුත් මිනිසුන්ගේ ප්‍රජාවක්, සාහිත්‍යය වෙනුවෙන් දිනා ගන්නේ ය” යි සංස්කෘතික ඉතිහාසඥ ආනෝල්ඞ් හවුසර් අවධාරනය කලේ ය.

මේ සියල්ල සමකාලීන ශාස්ත්‍රාලයීය නරුමයකුට ඩිකන්ස් හෙලාදකිනු පිනිස ඔහුගේ හෝ ඇයගේ නො වැදගත්කම සහ බෙලහීනතාව කරා පල්ලම් බසින්නට ප්‍රමානවත් තරම් තර්කානුකූලත්වයෙන් යුක්ත වේ. ජනගහනයෙන් සුවිශාල කොටසක් ඇදී යන දෙයක් වේ නම් එය වැදගැම්මකට නැති කුනු කසල ය. ඒ මන්ද, මහජනතාව වැදගැම්මකට නැති පසුගාමී කුනුකසල වන බැවිනි. බ්‍රෝමඩ්ස්ටෙයාර්ස්හි ඩිකන්ස් නිවසට පහර දීම කම්කරු පන්තිය කෙරෙහි ගැඹුරින් හතුරු වූ සුළු ධනේශ්වර, නව-මැල්තූසියානු ව්‍යාපාරයක් වන්නා වූ හරිත පක්ෂයේ සාමාජිකයකු විසින් සිදු කරනු ලැබීම උචිත ය.

ඩිකන්ස් පිලිබද වර්තමාන ශාස්ත්‍රාලයීය දැක්මේ නිරෝගී කොටස සම්බන්ධයෙන් ගත් කල්හි ජනගහනයේ පුලුල් ස්ථර වෙත ස්ථිර වශයෙන් දක්වනු ලබන ගැඹුරු සතුරුකම, අපගේ වර්තමාන තත්වයට හොඳින් ගැලපෙන ආකාරයට වාමාංශික භාෂාවකින් රාමු ගත කර ඇත. අවසානයේ දී සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී අදහස් නො දැරීම සම්බන්ධයෙන් ඩිකන්ස්ට දොස් පැවරේ. සැබෑ කාරනය වන්නේ, සංවිධානාත්මක බලවේගයක් වශයෙන් සමාජවාදී ජාත්‍යන්තරවාදය පවතින්නටත් කලින් (කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඉංග්‍රීසි පරිවර්තනය පල කරන ලද්දේ හුදෙක් 1850 අගභාගයේ පමනකි), ඔහු තම වසර 58 වයසින් වසර 38 ක් ගෙවීම හා ප්‍රධාන නවකතා අටක්: (ද පික්වික් පේපර්ස්, ඔලිවර් ට්විස්ට්, නිකොලස් නිකල්බි, දි ඕල්ඩ් කියුරියෝසිටි ෂොප්, බානබි රූජ්, මාටින් චුස්ල්විට්, ඩොම්බේ ඇන්ඩ් සන් සහ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්) රචනා කිරීම එම විචාරකයින්ට අදාල කාරනයක් නො වීම ය.

ඩිකන්ස් බරපතල ප්‍රබන්ධ රචකයකු සහ නාගරික පොදුජන ජීවිතය ඇතුලු නාගරික ජීවිතයේ වෘත්තාන්තය රචනා කරන්නකු වශයෙන් ජනයා ඉදිරියේ විද්‍යමාන වූයේ 1830 ගනන්වල මැද භාගයේ දී ය. ඩැනියෙල් ඩෙෆෝ, ටෝබියස් ස්මොලෙට්, ලෝරන්ස් ස්ටර්නි, හෙන්රි ෆීල්ඩින්, සැමුවෙල් රිචර්ඩ්සන්, ෆැනි බර්නි සහ වෝල්ටර් ස්කොට් ඇතුලු කීර්තිධර නවකතාකරුවන් රාශියක් ඔහුට පසුපසින් බ්‍රිතාන්‍යයේ සිටිය ද ඔහු ලියමින් සිටියේ අලුත් වර්ගයක සමාජ නවකතාවකි. ඔහුට “නිසි මාර්ගය” පෙන්වන්නට ඔහු ඉදිරියේ මාර්ගෝපදේශකයින් කී දෙනෙකු සිටියා ද? අපගේ සමකාලීන විචාරකයින් කිසිම දවසක ඔවුන්ගෙන් එය අසාගන්නේ නැත.

එපමනක් නොව එම කාලයේ ජනප්‍රිය ලේඛකයකු මත ඇති කරන ලද අතිවිශාල පීඩනයන් ගැන ද ඔවුන්ට උනන්දුවක් ඇත්තේ නැත. ටෝල්ස්ටෝයි පිටු 1200 ක නවකතාවක් වන War and Peace (වෝ ඇන්ඩ් පීස්-යුද්ධය හා සාමය) සත් වාරයක් නැවත ලියූවේය, නැවත සකස් කලේය යන මවිත කරවන කාරනය ගැන ලියොන් ට්‍රොට්ස්කි යම් තැනක සඳහන් කරයි. ඒ තරමට ම මවිතය ඇති කරන්නේ එවැනි යෝධ ප්‍රයත්නවල නිරත වී සිටින්නට ටොල්ස්ටෝයිට විවේක කාලය තිබුනේ නො වේ ද යන කාරනය යි. ඩිකන්ස් ඔහුගේ විශාල, සංකීර්න නවකතා මාසික ව පල වන්නා වූ වාරකොටස් වශයෙන්, එම “සැබෑ කාලය” තුල දී රචනා කලේ ය. කොටසක් ප්‍රසිද්ධියට පත් කරන ලද පසුව එය වෙතට ආපසු යන්නට නො හැකිය. ජෝර්ජ් ගිසිං පෙන්වා දුන්නේ, මෙම ක්‍රමය “කතුවරයා සම්බන්ධයෙන් කෙසේ වෙතත් ඊට තරමක් කලින් මුද්‍රන ශිල්පියා සම්බන්ධයෙන්... නවකතාකරුවා එතෙක් යොදන ලද සියලු උපායන්ට වඩා නරක එකක් වේ.” යනුවෙනි.

“මීරුට්හි සිපොයි කැරැල්ල,” රූප සහිත ලන්ඩන් නිව්ස්, 1857

මිනිසකු ලෙස ඩිකන්ස් තුල බොහෝ අඩුපාඩු පැවතුනු අතර සමහර ඒවා බොහෝ දුරට නො වැලැක්විය හැකි ඒවා විය. සමහර ඒවාවල වගකීම ඔහු සතු ය. පුද්ගලික අඩුපාඩුවලින් තොර වැදගත් කලාකරුවකු සොයන්නට නො හැකි තරම් ය. පංති සමාජය ඇතැම් විට ඉතාමත් ප්‍රතිභාපූර්න මිනිසුන්ට හානි පමුනුවා, ඔවුන් අඹරා දැමීම හෝ ඔවුන්ට බාධා කිරීම සිදු කරයි. එක අතකින් කලාත්මක සුධීමත්භාවය ද, තව අතකින් පුද්ගලික සීමාන්තික සුවිශේෂ පෞරුෂ ගුනය, ආත්මාර්ථකාමිත්වය හෝ විනාශකාරීභාවය ද, තනි මිනිස් පුද්ගලයකු තුල එකට පවතින්නට ඉඩ තිබේ.

අද පවත්නා මධ්‍යම පන්තික ඇගැයුම් අතීත කාලය වෙතට බලපාන අයුරින් ප්‍රක්ෂේපනය කිරීම සහ ජෝර්ජ් ලූකාෂ් පැවසූ පරිදි ඒ අනුව “කල යුතු එකම දෙය නම් වර්තමාන මිනිසුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අභිලාෂයන් අතීතයට ආරෝපනය කිරීම පමනයි” යන ආකල්පයෙන් ගැබ් වෙන අදහස තරම් බුද්ධිමය වශයෙන් බෙලහීන වූත්, ඵල රහිත වූත් ප්‍රයත්නයක් සිතන්නට නො හැකිය. ඩිකන්ස් ඉඳහිට සහ, බොහෝ විට පුද්ගලික ව පවසා ඇති පසුගාමී සහ අගතියෙන් යුතු වූ ප්‍රකාශවලින් සිත් රිදුනු සමකාලීන සුලුධනේශ්වරය නවකථාකරුගේ කෘතීන්හි පෑගුනු සහ පීඩිත වූවන් කෙරෙහි දක්වන ගැඹුරුතම හැඟීම්වලට කිසිසේත් ම සංවේදී නො වන්නේ එවැනි හැගීම් තමන් තුල නැති බැවිනි. ඔවුන් තුල සංවේදීතාවන් ද අනන්‍යතා ගැටලු මෙන් ම දැවැන්ත පරිමානයේ ආත්ම ගර්වයන් සහ ආත්මානුකම්පාවන් ද පවතී. ජනයාගෙන් බහුතරයකට පවතින ප්‍රශ්න ගැන ඔවුන්ට ලොකු උනන්දුවක් ඇත්තේ ම නැත. එපමනක් නො ව ජීවිතය හා මරනය දරා ගත් විශාල පරිමානයේ එවැනි ප්‍රශ්න ගැන සහ එම ප්‍රශ්න මගින් ඉදිරියට තල්ලු කරන්නා වූ මිනිසුන් විසින් ආත්ම-අහංකාරය සහිත මධ්‍යම පන්තිය අවධානයේ දීප්තියෙන් ද සමාජ හා බුද්ධිමය වේදිකාවෙන් ද සම්පූර්නයෙන් ම බැහැර කරන්නට තර්ජනය කරයි.

ඩිකන්ස් ඒ වන විටත් සෞන්දර්යවාදීන්ගේ, විදග්ධ නූතනවාදීන්ගේ සහ වෙනත් අයගේ ප්‍රහාරයට ලක්වෙමින් සිටි කාලයක දී කලාව පිලිබඳ එම නිර්-ඓතිහාසික හා කාල විරෝධී ආකල්පයට, ගිසිං ඔහුගේ 1898 රචනය මගින් තියුනු ලෙස ප්‍රතිචාර දක්වා ඇත. “ඩිකන්ස් සත්‍ය වශයෙන් ම ඉංග්‍රිසි ප්‍රබන්ධය වෙනුවෙන් නව යුගයක් විවෘත කර දෙන ලද අතර, මෙය නො දකින අපගේ යුගයේ විචාරකයින් ඔහුට අවාසි සහගත වන අයුරින්, පසුකාලීන ගුරුකුලවල නවකතාකරුවන් සමග ඔහු සංසන්දනය කිරීමෙන් සිදු කරන්නේ ඔහුට කල හැකි ඉහල ම අපරාධයකි! ඩිකන්ස් යනු කෙලින්ම ජීවිතය කරා යාමෙන් ඔවුන්ගේ ප්‍රබන්ධ කලාවට නව ජීවයක් ලබා දුන් මහා ප්‍රබන්ධකරුවන්ගෙන් කෙනෙකි. ඔහු පසුකාලීන පරපුරක ඇස්වලින් ජීවිතය දුටුවේ නැතැයි යන්න ඔහුට විරුද්ධ ව චෝදනාවක් වශයෙන් රැගෙන එන්නට නො හැකිය; ඔහුගේ පුද්ගලිකභාවය (එනම්, පුද්ගලික සහ විශේෂ තත්වයන්) ඔහුගේ දැක්මට බලපෑම, ඕනෑ ම කාලයක ජීවත් වුනු කලාකරුවකු වෙනුවෙන් පැවසිය හැකි දෙයකට වැඩිමනත් දෙයක් නො වේ” යනුවෙන් ගිසිං විසින් නිරීක්ෂනය කරනු ලැබීම සර්වප්‍රකාරයෙන් නිවැරදි ය.

එඩ්මන්ඩ් විල්සන් යෝජනා කලේ ඩිකන්ස් සමහර විට සියලු ශ්‍රේෂ්ඨ වික්ටෝරියානු නවකතාකරුවන් අතරින් “වික්ටෝරියානු යුගය වෙත ම වඩාත් සතුරුව සිටි” ලේඛකයා විය හැකි බවය. පැහැදිලි ප්‍රතිවිරෝධයක් තුල ගිසිං තහවුරු ලෙස කියා සිටියේ මෙම නවකතාකරු “හුදෙක් ඔහුගේ සුධීමත්භාවය හැර අන් සෑම අතකින් ම මධ්‍යම පන්තියේ ඉංග්‍රීසිකාරයෙකු වූ” බවයි.

කාරනය නිවැරදි ව තේරුම් ගන්නේ නම් මෙහි ප්‍රතිවිරෝධයක් නො තිබෙන්නට පුලුවන. කෙනෙකු ඩිකන්ස්ගේ කලාව ගැන කතා කරන්නේ නම්, විශේෂයෙන් ඔහු විසින් තම පසුකාලීන, අඳුරු නවකතතාවල දී - (මාටින් චුස්ල්විට්, ඩොම්බේ ඇන්ඩ් සන්, බ්ලීක් හවුස්, ලිට්ල් ඩොරිට්, Great Expectations (ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්) සහ Our Mutual Friend (අව මියුචුවල් ෆ්‍රෙන්ඩ්), එය භාවිතා කරන ලද ආකාරය, එහි නිදහස් සශ්‍රීකභාවය, එහි නොසන්සුන් හා නිර්දය සදාචාරමය රැඩිකල්භාවය, නිලබලවාදී වූ සියල්ල කෙරෙහි එහි ඇති සහජාසමය වෛරය ගැන කතා කරන්නේ නම්, එවිට එඩ්මන්ඩ් විල්සන් නිසැක වශයෙන් නිවැරදි වේ. ඩිකන්ස් නමැති කලාකරුවා ඔහුගේ යුගය හා ඔහුගේ සංස්කෘතිය සමග යුද්ධයක නිරත වී සිටියේ ය.

ලෝකයේ ඉතාමත් ධනවත් හා ඉතාමත් බලවත් වූ බ්‍රිතාන්‍ය සමාජයේ ඉහලින් ගෞරවය දිනූ, හොඳින් ගෙවනු ලැබූ සාමාජිකයකු වශයෙන් සිටිද්දී ම ඩිකන්ස් ඔහුගේ සමාජ ආකල්පවල දී හා චර්යාවේ දී බෙහෙවින් ම “මධ්‍යම පන්තියේ ඉංග්‍රීසි නියෝජිතයකු” ද වී සිටියේ ය. ජාතීන් සහ ජාතිකත්වයන් වඩා වැඩි බරක් උසුලා ගෙන යන හා වඩාත්ම විශාල පීඩනයක් යොදවන කාලයක දී, ඩිකන්ස් “දැවැන්ත වැදගත්කමක්” ලබා දුන්නේ, ග්‍රේස් මූවර් පෙන්වා දුන් පරිදි “බ්‍රිතාන්‍ය වුවමනාවන්ට ය”.

බ්‍රිතාන්‍යය ඇතුලේ ම ඇති තරම් තිබෙන කාලකන්නිභාවය අමතක කර, අප්‍රිකානුවන්ගේ සහ වෙනත් අයගේ ඉරනම් ගැන උනන්දුවන මිෂනාරිවරුන් හා වෙනත් වර්ගයේ පරාර්ථකාමය ඉහවහ ගිය ‘සද්ගුනවතුන් ’ (නිදසුන: බ්ලීක් හවුස් නවකතාවේ ජෙලිබයි නෝනා) සදය හාස්‍යයට හා අවඥාවට ලක් කිරීමේ විශිෂ්ට කර්තව්‍යයේ ඩිකන්ස් නිරත වේ. කෙසේ වෙතත්, අ ටේල් ඔෆ් ටූ සිටීස් සහ Barnaby Rudge (බාර්නබි රජ් ,1780, ගෝර්ඩන් කැරැලි පාදක කර ගත්, වෝල්ටර් ස්කොට් පන්නයේ ඓතිහාසික නවකතාවක්) ) මගින් ප්‍රදර්ශනය කරනු ලබන්නේ - එඩ්මන්ඩ් විල්සන් නිරීක්ෂනය කරන ලද පරිදි - නවකතාකරුවා සිය රටේ හා එතෙර පොදු මහජනයා කෙරෙහි කාරුනික ඇල්මක් මෙන් ම බියක් ද දක්වන බවයි.

උද්ධෘත රූපය, අවර් මියුචුවල් ෆ්‍රෙන්ඩ් වෙතින්

යටත්විජිත ජනගහනයන් පිලිබඳ ඔහුගේ නොපැහැදිලි දෙබිඩි මට්ටමේ හෝ නරක මට්ටමේ හැඟීම් ඇතුලු ප්‍රතිවිරෝධතා සියල්ල ක්‍රමානුකූල ව හා තර්කානුකූල ව දිග හැරේ.

වහල් ක්‍රමය ගැන සහ පිරිමි සහ ගැහැනු වහලුන් වෙත ප්‍රචනඩත්වය මුදා හැරීම ගැන “නිර්ව්‍යාජ පිලිකුලක්” (මුවර්) ඩිකන්ස් තුල වූ බව, ඔහු 1842 දී ඇමරිකාවේ කල තම සිත් කලකිරවන චාරිකාව පදනම් කර ගත් තමන්ගේ American Notes (ඇමරිකන් නෝට්ස්) මගින් පැහැදිලි කර දෙයි. මුවර් තව දුරටත් මෙසේ කියා සිටියි. “වහලුන්ට නිදහස ලබා දීමට ඩිකන්ස් ඇපකැප වී සිටි අතර ඉන් පසු සුදු මිනිසා සමග සමානත්වයේ පදනමක් මත සමාජයට ඒකාබද්ධ කල හැකි බව ඔහු විශ්වාස කලේ ය.”

එනමුත් සිවිල් යුද්ධය පැනනැගුනු විට ඩිකන්ස් කලේ, තමාගේ නවකතා මගින් නිරන්තරයෙන් උපහාසයට භාජනය කරන ලද ඉංග්‍රීසි මධ්‍යම පන්තියේ බහුතරය මෙන්, “නිදහස් වෙලඳාමේ” නාමයෙන් වහල් ක්‍රමයට පක්ෂ වූ ඇමරිකානු දකුන කෙරෙහි සහයෝගය දැක්වීම ය. ඔහු ලිපියක් මගින් එය සාධාරනීකරනය කලේ එහි වූ කරුනු පදනම් කර ගනිමිනි. “ඇමරිකානු උතුර නීග්‍රෝවරුන්ට වෛර කරන බවත් ඔවුන්ට අනුකම්පා කිරීම යුද්ධයේ හේතුවය යනුවෙන් රැවටිල්ලක් කිරීම වාසිසහගත බවට පත් වන තුරු ඔවුන් (උතුරේ ජනයා) වහල් ක්‍රමය අහෝසි කිරීම පිලිගන්නවුන්ට වෛර කරමින් ඔවුන් හැකි තරම් සමච්චලයට ලක් කල බවත් ඔහු පැවසී ය. ඒ හැරුනු විට එම දෙපාර්ශ්වය අතරේ කිසිම වෙනසක් ඇත්තේ නැත. සම්මුතියකට එලඹෙන තුරු ඔවුන් දෙපාර්ශ්වය පරුෂ වචනයෙන් බැන ගැනීම, බොරු කීම සහ සටන් කිරීම සිදු කරනු ඇත; දැන් සිදු වෙමින් තිබෙන අයුරින් එම සන්ධානයට වහලුන් තල්ලු කිරීම හෝ එයින් ඉවතට තල්ලු කිරීම හෝ සිදු වීමට හැකි ය.”

ඩිකන්ස් ශ්‍රේෂ්ඨත ම දායකත්වය සිදු කලේ කලාකරුවකු වශයෙන් විනා සමාජ චින්තකයකු හෝ දේශපාලන චින්තකයකු වශයෙන් නොවේ. ඔහුගේ ග්‍රන්ථවල සුලු ධනේශ්වර කරුනා රස, භාවාතිශය නාටක සහ භාවානුගතිකත්වය විශාල වශයෙන් ගොඩගැසී තිබේ. එමෙන් ම සමාජ කලු කුහර ද එහි තිබේ. එනමුත් ඒවායේ ඊට බොහෝ වැඩියෙන් තිබෙන්නේ ගොඩවල් ගොඩවල් වශයෙන්, ඇති සැටියෙන් තිබෙන ජීවිතයේ රාශිගත වීම් ය. ගිසිං ලියන පරිද්දෙන්, “කුනු කිලිටු, මැස්සන් රජ කරන, ජරාවට යන ලන්ඩනයත් ඊට ඇතුලත් වී ඇත.”

වැදගත් කලාකරුවා මිනිස් අවබෝධයට සහ භාව මන්ඩලයට, විශේෂයෙන් ප්‍රගතිශීලී හෝ නැගී එන සමාජ පන්තිවල අවබෝධයට සහ භාව මන්ඩලයට එකතු කිරීමක් සිදු කරයි. මිනිසාගේ සවිඥානකත්වයේ මායිම්වලට පිටින් පැවතුනු සමාජීය සහ මානසික යථාර්ථයේ පැති එතුලට රැගෙන එයි. “ඩිකන්සියානු” යන වචනය ඉංග්‍රීසි භාෂාවට ඇතුලු වුනේ හේතුවක් නිසා ය. නවකතාකරුවා, ඔහුගේ තීව්‍රතර සහ ඇතැම් විට අතිප්‍රබල අත්දැකීම්, ඔහුගේ කරුනාව සහ ඔහුගේ දැවැන්ත කලාත්මක අන්තර්ඥානය, පාලක ප්‍රභූව විසින් ජනගහනය මතට මුදා හරිනු ලබන දුක්ඛිතභාවය සහ කාලකන්නිකම හා ජනගහනයේ සංකීර්න ප්‍රතිචාරවලට, සමහර විට පුපුරා යන්නා වූ ප්‍රතිචාරවලට, කැඩපතක් කොට ගනියි. කලාකරුවා බොහෝ දුරට, දේශපාලන වැඩසටහනක් දිරිපත් කරන්නේ නැත; ජීවිතය සමග වූ ඔහුගේ හෝ ඇයගේ අවංක බැඳීමේ ගැඹුරු පතුල සමග ඔහුගේ හෝ ඇයගේ හෝ රැඩිකල්වාදය සම්බන්ධ වී තිබේ.

සෝවියට් සාහිත්‍ය විචාරක, ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි ඔහුගේ “On Art” (ඔන් ආට්, 1925) නම් රචනයේ දී මෙසේ අවධාරනය කලේ ය. “නිර්ව්‍යාජ විද්‍යාඥයා ස්වභාව ධර්මයේ නීති ගවේෂනය කරන අතර ඔහු එසේ නොකරන්නේ නම් පොතේ දැනුමට සීමා වුනු පටු පන්ඩිතයෙක් හෝ වැඩි ම වුන හොත් කරුනු එකතු කරන්නෙක් වේ. ... කලාකරුවා ද එවැනි නීති ගවේෂන කරන්නෙක් වේ. ” වොරොන්ස්කි තහවුරු කලේ ඩාවින් සත්ව වර්ගයන්ගේ සම්භවය හෙලිදරව් කරමින්, පැහැදිලි කර දෙන ලද නමුත් ටෝල්ස්ටෝයි වෛෂයික ලෙස පවත්නා වූ මිනිස් මාදිලි හෙලිදරව් කරන ලද අතර යුද්ධය සහ සාමය කෘතිය එම මාදිලිවලින් ජනාවාස වී තිබෙන බවයි. මේ ආකාරයෙන් ම, ඩිකන්ස් විසින් ස්කෲජ්, ඔලිවර් ට්විස්ට්, යූරියාහ් හීප්, සෙත් පෙක්ස්නිෆ්, එස්ටෙලා හවිශාම් සහ සෑම් වෙලර් ... හා කාලකන්නි, ආත්ම නාශක, මූල්‍යමය වශයෙන් විනාශ මුඛයට තල්ලු කරන්නා වූ ද, පරම්පරා ගනනාවක් දිගට ඇදී යන්නා වූ ද, “එයින් අදහස් වන්නේ කුමක් ද යන බව කිසිවකුට නොදැනෙන තරමට සංකීර්න”, උසාවි නඩුකරය, එනම් ජාන්ඩයිස් සහ ජාන්ඩයිස් (බ්ලීක් හවුස් නවකතාවේ) ආදීන් සොයා ගනු ලැබේ. එය කුමක් ද යනු අඩුවෙන් ම වැටහෙන්නේ අදාල පාර්ශ්වයන්ට ය.”

“සැබෑ කලාකරුවා, සැබෑ විද්‍යාඥයා මෙන් ඔහුට පෙර පැවතුනු දෙයට සෑම විට එකතු කිරීමක් කරන අතර එසේ නො කරන්නේ නම් ඔහු දැනටමත් ස්ථාපිත වී තිබෙන දෙය නැවත කිරීම හෝ දේවල් සරල ලෙස විස්තර කිරීම සිදු කරයි” යි වොරොන්ස්කි තව දුරටත් පවසයි.

අද අප ඩිකන්ස් කියවන්නේ ඔහු අගතීන් රාශියක් සහිත නම්බුකාර වික්ටෝරියානු මහත්මයකු වූ නිසා නොව බොහෝ දුරට ඒවා නො තකා ය. සෑම ශ්‍රේෂ්ඨ කලාකරුවකු විසින් ම කරන්නේ කුමක් ද ඔහු කලේද එය ම ය. ඔහු තම අදහස් සහ මනෝගතීන්ට කොතරම් පුලුල් සහ විචිත්‍රාකාර ප්‍රකාශනයක් දුන්නේ ද යත් ඔහු ඒවා තම කාලයේ, පංතියේ සහ සමාජ පරිසරයේ සීමාවන්ගෙන් ඉහලට ඔසවා තැබූයේ ය. ට්‍රොට්ස්කි කී පරිදි ටෝල්ස්ටෝයි “ඔහු තම යුගයේ අත්දැකීම් දැවැන්ත කලාත්මක කූටයක් කරා ” ඔසවා තැබුවේ ය. අන් සෑම දෙයක් ම ඊට දෙවැනි වේ.

[මෙම ලිපිය ජූලි 10 වැනි දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading