වසංගතය පැතිරීමේ අන්තරාය නොතකා හොරන බොඩිලයින් ඇඟලුම් කම්හල යලි වැඩ අරඹයි

මාස් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් හොරන ගුරුගොඩ පිහිටි බොඩිලයින් ඇඟලුම් කම්හලෙන් කොවිඩ්-19 ආසාදිතයන් හඳුනාගැනීමෙන් පසු ව ද එහි නිෂ්පාදනය පවත්වාගෙන යාමට එරෙහි ව කම්කරුවන්ගෙන් මතු වූ බරපතල විරෝධය මධ්‍යයේ, ඔක්තෝබර් 31 වැනි දා කම්හල වසා දැමීමට පාලකයන්ට සිදු විය. එහෙත් වෛරසය තව දුරටත් කම්කරුවන් අතර පැතිරීමේ අන්තරාය නොතකා නොවැම්බර් 18 වෙනිදා සිට කම්හල යලි විවෘත කර ඇත.

කිලිනොච්චි මාස් සමාගමට අයත් වානවිල් කම්හලේ සේවකයන් වැඩෙහි නිරතවී සිටියදී (2018 වසරේ ගත් ඡායාරූපයකි)

මෙතෙක් කරන ලද පීසීආර් පරීක්ෂන වලදී එහි 300 ක් පමන කම්කරුවන් පිරිසකට ව‍ෛරස ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත. ආසාදිත කම්කරුවන් අතර හොරන, බුලත්සිංහල, පාදුක්ක, වැනි තදාසන්න ප්‍රදේශ වලින් මෙන් ම, රත්නපුරය හා අනුරාධපුරය වැනි දුරස්ථ ප්‍රදේශවලින් රැකියාවට පැමිනි අය ද වෙති.

කම්කරුවෝ 6000 ක් පමන සේවය කරන මෙම කම්හලේ තවත් බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබිය හැකිය. වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන ආකාරයට පීසීආර් පරීක්ෂනයට භාජනය කරන අයෙකු කොවිඩ් 19‍ වෛරසය ආසාදනය වී ඇති බවක් එම මොහොතේ පෙන්නුම් නොකල ද දින කිහිපයකට පසු රෝග ලක්ෂන මතුවිය හැකිය. එවන් තත්වයක් තුල ආසාදිතයන් හඳුනා ගත හැක්කේ යලි යලිත් සිදුකරන පීසීආර් පරීක්ෂන තුලින් පමනි. එහෙත් ධනපති ආන්ඩුවට සහ හාම්පුතුන්ට එය වියදම් සහගතය. ඒ නිසා එවන් සෞඛ්‍යමය ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඔවුහු සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කරති.

ආසාදිත කම්කරුවන් අයත් සේවක කන්ඩායම් හැර සෙසු සියලුදෙනා කොටස් වසයෙන් සේවයට කැඳවමින් සිටින බව කම්කරුවෝ කීහ. බොඩිලයින් සමාගමට අයත් අගලවත්ත කම්හලේ රියදුරෙකුට සහ වෙනත් පුද්ගලික සමාගමක් විසින් එම කම්හල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සේවයට යොදවා සිටින කම්කරුවන් කිහිප දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව දින කිහිපයකට පෙරාතුව එලිදරව් වු බව ද ඔවුහු පැවසූහ.

එම තත්වය තුල තමන් ද පීසීආර් පරීක්ෂන වලට භාජනය කරන ලෙස, පිඹුර පිහිටි බොඩිලයින් කම්හලේ කම්කරුවන් ඉල්ලා ඇත. ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් රජය මගින් පරීක්ෂන සිදු කරගන්නා ලෙස පවසමින් කම්හලේ පාලකයන් කම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. පීසීආර් පරීක්ෂන කිරීමට නොහැකි නම් කම්හල වසා නිවාඩු දෙන ලෙස කම්කරුවන් කල ඉල්ලීම ද ඉවත දැමු පාලකයන් නිවාඩු දුනහොත් එම නිවාඩු ඔවුන්ට හිමි වාර්ෂික නිවාඩුවලින් අඩුකරන බව ද පවසා තිබේ.

කෙසේ නමුත් පරීක්ෂන කලයුතු බව කම්කරුවන් එක දිගටම අවධාරනය කල තතු තුල සමාගමේ වියදමෙන් සහ රජයෙන් කම්කරුවන් 200 ට පමන පරීක්ෂන සිදු කර ඇත. එම පරීක්ෂන වල දී ආසාදිතයන් කිසිවෙකුත් හමු නොවූ බව කම්හල් පාලකයන් පවසා තිබේ. එහෙත් පරීක්ෂන සම්බන්ධයෙන් පාලකයන් සඳහන් කරන දේවල් ගැන තමන්ට බරපතල අවිශ්වාසයක් තිබෙන බව කම්කරුවෝ කියති. මෙම කම්හලේ කම්කරුවෝ 1,600 ක් පමන සේවයේ යෙදී සිටිති.

දකුනු ආසියාවේ විශාලතම ඇඟලුම් හා රෙදි නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන මාස් හෝල්ඩින්ග්ස් සමාගම රටවල් 15 ක නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යයි. එහි වර්තමාන සේවක සංඛ්‍යාව 99,000 කි. වික්ටෝරියා සීක්‍රට්, නිකේ, ලුලු ලෙමන්, පීවීඑච් වැනි මහා ව්‍යාපාරික සංගත සමග අ‌ලෙවි ගනුදෙනුවල යෙදෙන එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට වැඩි ආදායමක් උපයයි. එය තව තවත් ලාබ තර කර ගැනීම සඳහා කම්කරුවන් මත දුෂ්කර සේවා කොන්දේසි පටවමින් ඉහල නිෂ්පාදන ඉලක්කයන් හඹා යයි.

වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තත්වය තුල බොඩිලයින් මෙන් ම අනෙකුත් සියලු ඇඟලුම් කම්කරුවන් මුහුන දී සිටින්නේ අතිශයින් අනාරක්ෂිත කොන්දේසිවලට ය. මෙම කම්හල් තුල පවත්වාගෙන යන්නේ, මුහුනු ආවරන පැලඳීම, අත්සේදීම, කායික දුරස්ථභාවය වැනි අවම සෞඛ්‍යාරක්ෂක ක්‍රම පමනි. ආරක්ෂිත ඇඳුම් කට්ටල, මනා වාතාශ්‍රය සහිත නවාතැන්, සෞඛ්‍යාරක්ෂක වැසිකිලි හා ජල පහසුකම්, කායික දුරස්ථභාවය සහිත ප්‍රවාහන පහසුකම් හෝ සෞඛ්‍ය සම්පන්න ආහාර ආදිය ඔවුන්ට නොමැත. මෑත සති කිහිපය තුල ආසාදිතයන්ගෙන් බහුතරය හමු වී ඇත්තේ මෙම ඌන පහසුකම් සහිත නිදහස් වෙලඳ කලාප සහ ඉන් පිටත පිහිටි ඇඟලුම් කම්හල් කම්කරුවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් අතරිනි.

ආයෝජන මන්ඩලය මෑත දී නිකුත් කල වාර්තාවකට අනුව නිදහස් වෙලඳ කලාප හා ඉන් පිටත ආයෝජන මන්ඩලයේ අධීක්ෂනය යටතේ පවතින කර්මාන්ත ශාලාවල කම්කරුවන් 700,000ක් සේවය කරති. එහෙත් මේ දක්වා පීසීආර් පරීක්ෂන සිදුකර ඇත්තේ ඉන් 28,670 කට පමනි. මෙම සීමිත පරීක්ෂනවල දී පවා, අවම වසයෙන් කම්කරුවන් 2000 කට පමන කොවිඩ් 19 වෛරසය වැලඳී ඇතැයි සොයාගෙන ඇත.

මාස් හෝල්ඩින්ග්ස් ඇතුළු ඇඟලුම් කම්හල් අනාරක්ෂිත කොන්දේසි යටතේ බලහත්කාරී ලෙස කම්කරුවන් සේවයේ යොදවමින් නිෂ්පාදනය පවත්වාගෙන යන්නේ රාජපක්ෂ ආන්ඩුවේ අනුග්‍රහය සහ අවසරය ඇතිවය. කවර අවදානම් මට්ටමකට වසංගතය පැතිර ගිය ද “රට නොවසන” බවටත් “අපනයන කර්මාන්ත අඛන්ඩව” පවත්වාගෙන යන බවටත් ආන්ඩුව නිල වසයෙන් තීන්දු කර තිබේ.

අනාරක්ෂිත කොන්දේසි යටත් බලහත්කාරයෙන් වැඩට දැක්කීමට එරෙහිව කම්කරුවන්ගෙන් මතුවන විරෝධය තලා දැමීම සඳහා හමුදාව සහ පොලීසිය මෙහෙයවීමට සහ මර්දන නීති බලාත්මක කිරීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගනිමින් සිටී. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සම්බන්ධීකරන නිලධාරී ලෙස රියර් අද්මිරාල් හේවගේ පතිකිරීම සහ වරාය සේවකයන්ට එරෙහිව ජනාධිපති රාජපක්ෂ අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාවට දැමීම මෙම මර්දනකාරී සැලසුම් වල කොටසකි.

නොවැම්බර් 16 වෙනිදා නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනයක් තුලින් වරාය අතයවශ්‍ය සේවයක් බවට ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 80 කට අධික වරාය කම්කකරුවන් පිරිසකට වයිරසය ආසාදනය වීම හේතුවෙන් අනාරක්ෂිත ලෙස සේවයේ යෙදවීමට එරෙහිව ඔවුන් අතරින් බරපතල විරෝධයක් මතු වූ කොන්දේසි තුලය.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව සේවයට වාර්තා නොකරන කවර හෝ වරාය සේවකයෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කෙරෙන ලඝු නඩු විභාගයකින් අනතුරුව බරපතල වැඩ ඇතිව වසර දෙකේ සිට පහ දක්වා වන සිර දඬුවමකට හෝ රුපියල් 2000 සිට 5,000 දක්වා වූ දඩයකට හෝ ඒ දෙකටම යටත් කල හැකිය. එපමනක් නොව; ඔහුගේ හෝ ඇයගේ නමින් පවතින චංචල හෝ නිශ්චල දේපොල රාජසන්තක කල හැකිය.

අනාරක්ෂිත ලෙස බලහත්කාරයෙන් වැඩට දැක්කීම, රුදුරු සේවා කොන්දේසිවලට යටත් කිරීම ඇතුලු ප්‍රහාරයන් හා රාජපක්ෂ ආන්ඩුවේ මර්දනය පරාජය කල හැක්කේ, ලාබය සඳහා නිෂ්පාදනය කෙරෙන ධනේශ්වර ක්‍රමය හා ධනපති පන්ති පාලනය අහෝසි කිරීමේ සටනක් තුලින් පමනි.

Loading