ඉදිරිදර්ශන

වසංගතය හා ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන

පසුගිය දින තුන තුල සිදුවීම් තුනක් ට්‍රම්ප්ගේ පශ්චාත් මැතිවරන කුමන්ත්‍රනවල ස්වභාවය සහ ඒවා මෙහෙයවන සමාජ හා ආර්ථික උත්සුකතා පිලිබඳ තොරතුරු අනාවරනය කරයි.

පලමුවෙන්ම, මැතිවරනයෙන් දින තුනකට පසු නොවැම්බර් 6වෙනිදා පාන්දර ප්‍රමුඛ ඇමරිකානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ වන හදිසි රැස්වීමක් පිලිබඳ ව සිකුරාදා මාධ්‍යවල වාර්තා පල විය. පුවත්පත් වාර්තාවලට අනුව, මෙම රැස්වීමට ඩිස්නි, ජොන්සන් හා ජොන්සන්, වෝල්මාර්ට්, ගෝල්ඩ්මන් සැක්ස් සහ ෆෝචූන් 500 සඟරාවේ ලැයිස්තු ගත අනෙකුත් සමාගම්වල විධායකයෝ ඇතුලත් වූහ.

ෆිනෑන්ෂල් ටයිම්ස් විසින් සති අන්තයේ ප්‍රකාශයට පත් කරන ලද එක් වාර්තාවක සඳහන් වූයේ, බොහෝ විට ආන්ඩු පෙරලා දැමුනේ අභ්‍යන්තරයෙන් බව ව්‍යාපාරිකයන්ට පැවසූ, යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ සහ  ප්‍රජාපීඩනයගැන (On Tyranny ) නම් පොතේ කතුවර තිමෝති ස්නයිඩර් විසින් 'කුමන්ත්‍රනයක්' ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සහිත අඳුරු සටහනකින් රැස්වීම ආම්භ වූ බවයි.”

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් 2020 නොවැම්බර් 14 සෙනසුරාදා වොෂිංටන්හි ෆ්‍රීඩම් ප්ලාසාහි එක්කාසු වීම (APඡායාරූපය / ජූලියෝ කෝර්ටෙස්)

උදෑසන 7:00ට පැවැත්වූ මෙම රැස්වීම ප්‍රදර්ශනය කරන්නේ බලයේ රැඳී සිටීමට ට්‍රම්ප් විසින් පශ්චාත් මැතිවරන කුමන්ත්‍රනයක් ඇටවීමේ හැකියාව පාලක කවයන් තුල කෙතරම් බැරෑරුම් ලෙස සාකච්ඡා කෙරෙමින් පවතිනවා ද යන්න යි. ෆිනෑන්ෂල් ටයිම්ස් අනුව,ට්‍රම්ප් මැතිවරනයේ ප්‍රතිඵල පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම සමාජ පිපිරීමක් ඇතිවීමේ අවදානමක් ඇතැයි යන උත්සුකයෙන් බොහෝ [මහා සංගත] විධායකයෝ බයිඩෙන්ට සහාය දීමට තීරනය කලහ. ඇමතුම සංවිධානය කල යේල් විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වන ජෙෆ්රි සොනෙන්ෆෙල්ඩ් උපුටා දක්වමින් ෆිනෑන්ෂල් ටයිම්ස් කියා සිටියේ, මැතිවරනයට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය “රට තුල වඩ වඩාත් ඉරිතැලීම්වලට තුඩු දෙමින් තිබුනු අතර... ඔවුන්ට ගැටුම්කාරි රැකියා ස්ථාන අවශ්‍ය නැති” බවයි. මෙය “විශාල උත්සුකයක්” ඔහු තව දුරටත් පැවසීය.

කැපී පෙනෙන ලෙස, මූල්‍ය ප්‍රාග්ධනයේ බලවත්ම නියෝජිතයෙකු වන බ්ලැක්ස්ටෝන් හෙජ් අරමුදලේ නිර්මාතෘ ස්ටීවන් ෂ්වාස්මන් ට්‍රම්ප් ආරක්ෂා කලේ ය. වෝල් වීදියේ වඩාත්ම ජවසම්පන්න ට්‍රම්ප් ආධාරකරුවෙකු වී සිටින හා රිපබ්ලිකන් පරිත්‍යාගශීලියෙකු වන “ෂ්වාස්මන් මහතා, [කුමන්ත්‍රනයක්] පිලිබඳ බිය සමනය කිරීමට උත්සාහ කලේ, ජනාධිපතිවරයාට මැතිවරන ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමේ තම අයිතිවාසිකම් මත සිටින බව පවසමින් හා නීතිමය ක්‍රියාදාමය එට හිමි මාවත ගනු ඇත යි පුරෝකතනය කරමිනි. ”

දෙවන සිදුවීම ද සිකුරාදා සිදුවූයේ, කොරෝනා වෛරස් එන්නතක් නිපදවීමේ ප්‍රගතිය වෙනුවෙන් නය ලබා ගැනීම සඳහා සංවිධානය කරන ලද උත්සවයක දී, මැතිවරනයෙන් පසු ප්‍රථම වරට ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පෙනී අවස්ථාවේ දී ය.

වසංගතය මුලුමනින්ම පාලනයෙන් බැහැරව පවතින අතර මරන සංඛ්‍යාව ඉහල යමින් පවතින තතු යටතේ වුවද, වෛරසය පැතිරීම නැවැත්වීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට ඔහු විරුද්ධ වන බව ට්‍රම්ප් අවධාරනය කලේ ය. “මෙම පරිපාලනය අගුලු දැමීමකට යන්නේ නෑ” යි ට්‍රම්ප් පැවසී ය. ජනවාරි 20න් පසු බලයේ සිටින්නේ කවුරුන්දැයි “කාලය කියනු ඇති” ට්‍රම්ප් පැවසීය, “නමුත් මට කියන්න පුලුවන්, මෙම පරිපාලනය අගුලු දමන්න යන්නේ නෑ කියලා… ප්‍රතිකාරය ගැටලුවට වඩා නරක වෙන්න බෑ.”

ට්‍රම්ප් මෙම ස්ථාවරය කෙලින්ම කොටස් වෙලඳපොලවල නැගීමට සම්බන්ධ කලේ ය. "කොටස් වෙලඳපොල අද යලිත් ඒකක 400 ක් පමන ඉහල ගොස් ඇති බව මට පේනවා. ඒක දැනටමත් සදාකාලික වාර්තාව බිඳ දාන්න සූදානම්."

සිකුරාදා ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමෙන් දින දෙකකට පසුව, කම්කරුවන්ට ආර්ථික ආධාර ලබා දීම සමග රට පුරා අගුලු දැමීමක් මගින් වෛරසය පාලනය කර ගත හැකි බවට ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයෙකු හා ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩෙන්ගේ උපදේශකයෙකු වන වෛද්‍ය මයිකල් ඔස්ටර්හෝම්ගේ ප්‍රකාශය සිදු කෙරුනි. මෙම ප්‍රකාශයන් බදාදා හා බ්‍රහස්පතින්දා (කොටස්) වෙලඳපොලවල් පහත වැටීමට තුඩු දුන් අතර, පසුව රට පුරා සිදුවන ඕනෑ ම අගුලු දැමීමකට තමන් විරුද්ධ බවට බයිඩෙන් කල ප්‍රකාශයෙන් වේගවත් සහතිකයක් ලැබුනි.

මරන සංඛ්‍යාව ඉහල යත්ම වැඩිවන මහජන විරෝධය හමුවේ “නැවත වැඩට යාමේ” ව්‍යාපාරය වඩාත් ආක්‍රමනශීලී ව බලාත්මක කරන මිනිසා මමයි යනුවෙන් ට්‍රම්ප් මූල්‍ය කතිපයාධිකාරයට කියා සිටියේ ය.

තෙවන සිදුවීම සෙනසුරාදා සිදුවූයේ, ට්‍රම්ප්ගේ සගෙයෙකු වන රොජර් ස්ටෝන් හා ට්‍රම්ප්ගේ හිටපු ප්‍රධාන ෆැසිස්ට් උපදේශක ස්ටීවන් බැනන් වටා සිටින පුද්ගලයින් සමඟ සම්බන්ධ මෙහෙයුමක් වන “සොරකම නවත්වනු” යන ධජය යටතේ ෆැසිස්ට් කන්ඩායම් විසින් සංවිධානය කරන ලද පෙලපාලියකට ට්‍රම්ප් වාහනයෙන් බැස ආචාර කල අවස්ථාවේ දී ය.

එයට සහභාගී වූ අය අතර දිවුරුම් රකීන්නෝ (Oath Keepers), ට්‍රම්ප් සැප්තැම්බර් මාසයේ ජනාධිපති විවාදයේ දී තමා “පිටුපසට වී සීරුවෙන් සිටින්න” යැයි පැවසූ, සාඩම්බර කොල්ලෝ (Proud Boys) සහ ෆැසිස්ට් ඇලෙක්ස් ජෝන්ස් සමඟ සියයට තුනේ කන්ඩායම (Three Percenters) වැනි පැරාමිලිටරි කන්ඩායම් ද වූහ. වර්ජිනියාවේ චාලට්ස්විල් හි පැවති 2017 “දකුන එක්සත් වනු” (“Unite the Right”) රැලියේ සංවිධායකයින්ගෙන් එක් අයෙකු වන නියෝ-නාසි ඇන්ඩෘ ඇන්ග්ලින් රැලිය “දැවැන්ත ජයග්‍රහනයක්” ලෙස වර්නනා කලේ ය. විවෘත යුදෙව් විරෝධියෙකු වන නික් ෆුවෙන්ටස් සහ ෆැසිස්ට් කෝඇනොන් (QAnon) සංවිධානයේ ආධාරකාරියක මෙන් ම රිපබ්ලිකන් කොන්ග්‍රස් සභිකාවක වන මාජෝරි ටේලර් ග්‍රීන් ද එය ඇමතූවා ය.

මෙම උද්ඝෝෂනය අන්ත දක්ෂිනාංශික, ෆැසිස්ට් ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ට්‍රම්ප් දරන උත්සාහයන් තීව්‍ර කිරීමක් සලකුනු කරයි. පොලීසිය හා රාජ්‍ය යාන්ත්‍රනය තුල ඇති ෆැසිස්ට් ස්ථර සමඟ, එවැනි බලවේග, වසංගතයට හා කම්කරු පන්තියේ සමාජ විරෝධයේ වර්ධනයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තියේ මිනීමරු උද්ඝෝෂන ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීමට නියමිත ය. මෙම සිදුවීම අනුමත කිරීමේ දී ජනාධිපතිවරයා විසින්ම ෆැසිස්ට් බලවේග සමඟ තමන් ම විවෘතව අනන්‍ය වෙතැ යි යන කාරනය පිලිබඳ විවේචන ඩිමොක්‍රටික් පක්ෂය විසින් හිතාමතාම මග හැර ඇත.

අප මෙලෙස අනතුරු ඇඟවිය යුතු ය: ට්‍රම්ප් ජනාධිපති ධුරයේ, එනම් එක්සත් ජනපදයේ විධායක බලයේ මුදුනේ තවත් දින 65ක් රැඳී සිටින අතර දේශපාලන තත්වය නොයෙකුත් දිශාවලට ගමන් කල හැකි ය. ඔහු ධුරයෙන් ඉවත් කරනු ලන්නේ නම්, මැතිවරනය නීතිවිරෝධී බවත්, ඒ නිසා තමා නියම ජනාධිපති ලෙස කටයුතු කරන බවත්, (කියමින්) ට්‍රම්ප් “පිටුපසින් පිහියෙන් ඇනීම” පිලිබඳ කතාවක් නිර්මානය කරනු ඇත.

වෝල් වීදිය හා හමුදාවේ පක්ෂයක ඩිමොක්‍රටිකයෝ, අන් සියල්ලට ම වඩා පහලින් එන මහජන ප්‍රතිරෝධය හා විරුද්ධත්වය අවුලුවන ඕනෑ ම දෙයකට විරුද්ධ වෙති. ඔවුන් ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන්නේ හුදෙක් පුද්ගලික “මනෝගතියේ කෝපයක්” ලෙස මිස, එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ඉතිරිව ඇති දේ පෙරලා දැමීමේ මාරාන්තික බරපතල තර්ජනයක් ලෙස නො වේ. එපමනක් නොව, ඔස්ටර්හෝම්ගේ අදහස් වේගයෙන් ප්‍රතික්ෂේප කිරීම පෙන්නුම් කරන පරිදි, වසංගතය පැතිරීම නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගවලට ඔවුහු විරුද්ධ වෙති.

ට්‍රම්ප් මැතිවරනය පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයින්ගේ විවේචනයේ කේන්ද්‍රීය ඉලක්කය වන්නේ ඔහු ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය උසිගැන්වීම හෝ පුද්ගලවාදී ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහය නො වේ, නමුත් ට්‍රම්ප් “ජාතික ආරක්ෂාව”, එනම් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා අඩපන කරන බවට පැමිනිලි ය.

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ප්‍රකාශනය වන නිව්යෝක් ටයිම්ස් පසුගිය සතිය පුරා මෙම තේමාව පිලිබඳ අදහස් හා කතුවැකි මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. නොවැම්බර් 11වැනිදා පලකල කතුවැකියක ටයිම්ස් පත්‍රය මැතිවරනය සම්බන්ධ ට්‍රම්ප් මහතාගේ කෝපයට ඉඩ දීම වෙනුවෙන් රිපබ්ලිකානුවන්ට තරවටු කලේ, එයට “ජාතික ආරක්ෂාව පිලිබඳ බරපතල ගම්‍යයන් ඇත” යි අනතුරු අඟවමිනි. ට්‍රම්ප්ගේ “ක්‍රියා සූරාකෑම සඳහා ඇමරිකාවේ විදේශීය සතුරන් වෙනුවෙන් කනස්සලු සහගත අවස්ථාවක් නිර්මානය කරති” යි ටයිම්ස් නිගමනය කලේ ය.

ට්‍රම්ප් ප්‍රචන්ඩත්වයේ පෙලඹවීම තීව්‍ර කරද්දී, ඩිමොක්‍රටිකයෝ රිපබ්ලිකන් පක්ෂය තුල ඔහුගේ ආධාරකරුවන් සමඟ එක්සත්කම ඉල්ලා සිටිති. පොලිටිකෝ සඟරාවේ වාර්තාවකට අනුව, “ඵලදායී, ද්වි පාර්ශවීය ආරක්ෂක දෙපාර්තමේන්තු නායකත්ව කන්ඩායමක් ගොඩනැගීම” සඳහා “පෙන්ටගනය තුල සංක්‍රමනය සඳහා උදව් කිරීමට හා පුලුවන්කම තිබේ නම් නව පරිපාලනය තුල සේවය කිරීම ගැන” සාකච්ඡා කිරීමට බයිඩෙන් ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක ලේකම් ජිම් මැටිස්ගේ සහයෝගය ඉල්ලමින් සිටී.

දින දහයකට පෙර, මැතිවරනයෙන් ක්ෂනික ඉක්බිත්තේ, ලෝසවෙඅ මගින් “උඝෝෂනයේ කටුක වාචාල කතා පසෙකට දැමීම” හා “අපගේ විරුද්ධවාදීන් සතුරන් ලෙස සැලකීම නැවැත්වීම” අවශ්‍ය බවට වූ බයිඩෙන්ගේ ආරම්භක ප්‍රකාශන කෙරෙහි අවධානය යොමු කලේ ය. බයිඩෙන්ගේ අදහස් “ඉදිරි සතිවල දී ඩිමොක්‍රටිකයින් දේශපාලන ගැටුමට එලඹෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරයි. ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනවලට එරෙහි මහජන විරෝධය අවහිර කිරීම සඳහා සියල්ල කරනු ඇත. ට්‍රම්ප්ට එරෙහි විරෝධයේ මතුවීම වෝල් වීදියේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකතාවන්ට තර්ජනය කිරීමෙන් වැලක්වීමට ඩිමොක්‍රටිකයන්ට අවශ්‍ය වේ. ”

දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එයයි. පාලක ප්‍රභූන්ගේ කුමන්ත්‍රන පරාජය කල හැකි නමුත්, එයට කම්කරුවන් ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. ට්‍රම්ප්ට එරෙහි අව්‍යාජ අරගලයක් වර්ධනය කල හැක්කේ ඩිමොක්‍රටිකයන්ටත් එරෙහි ව පමනී.

ෆැසිස්ට් ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහි සටන සහ “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ පාලක පන්තියේ ප්‍රතිපත්තියට එරෙහි අරගලය සමස්ත මූල්‍ය-සංගත කතිපයාධිකාරයට හා ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලයක් ලෙස ගෙන යා යුතු ය. එයට කම්කරු පන්තිය බලය අතට ගෙන සමානතාව හා සමාජවාදයේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වෙයි.

මෙම ලිපිය නොවැම්බර් 16 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading