අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට විරුද්ධ වනු! වසංගතයෙන් ජීවිත රැක ගැනීමට ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටු ගොඩ නගනු!

ලංකාව පුරා කොවිඩ්-19 වසංගතය සීග්‍රයෙන් පැතිර යමින් ව්‍යසනකාරී ලෙස මිනිස් ජීවිත බිලි ගනිමින් පැවතිය දී, ව්‍යසනය වඩාත් තීව්‍ර කරමින්, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව අද සිට පාසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ආන්ඩුව මෙම සාපරාධී පියවර ගෙන ඇත්තේ, එයට එරෙහිව දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන් ඇතුලු සමස්ත මහජනතාව අතර පැනනැගී ඇති බලගතු විරෝධය මුලුමනින්ම නොතකා හරිමිනි.

ආසාදිතයන් බහුල වසයෙන් වාර්තා වන බස්නාහිර පලාතේ පාසල් එදිනට විවෘත වන්නේ නැතැයි අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් ප්‍රකාශ කරන නමුත්, එමගින් මෙම තීන්දුවේ මිනිමරුභාවය කිසිදු ලෙසකින් හෝ අඩු නොවේ. බස්නාහිර පලාතේ පමනක් නොව ඉන් පිටතත් රාජ්‍ය ආයතන, කම්හල්, වැඩබිම්, විශ්ව විද්‍යාල හා වෙලඳසැල් තුලින් මෙන්ම, නිවෙස් වලින් ද රෝගීන් වාර්තා වෙමින් පවතී. මෙම තතු තුල, ප්‍රමානවත් තරම් පරීක්ෂන සිදු කිරීම තවදුරටත් මගහරිමින්, වසංගතයේ ව්‍යාප්තිය මහජනතාවගෙන් වසන් කිරීමට ආන්ඩුව නරුම ප්‍රයත්නයක නිරතව සිටී.

නිල වාර්තාවන්ට අනුව මේ වන විට ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇත. ඉන් 16,000 ක් පමන පසුගිය ඔක්තෝබර් මාසයේ මුල සිට සොයා ගැනුන රෝගීන් ය. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,000 කට අධිකය. සිදු වී ඇති මරන සංඛ්‍යාව 83 ක් දක්වා ඉහල ගොස් තිබේ. සැබෑ තත්වය මීට වඩා බරපතල එකකි.

මෙවැනි තත්වයක් තුල පාසල් විවෘත කිරීම, පාසැල් දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් ඇතුලු සමස්ත මහජනතාව දැනුවත්ව වසංගතයට ගොදුරු කිරීමකි.

පාසල් ආරම්භ කරනුයේ, විභාග ප්‍රමාදය හා පාසල් විෂය නිර්දේශ ආවරනයේ ප්‍රමාදය වැලැක්වීම වැනි දරුවන්ගේ අනාගතය සම්බන්ධව සලකා බලා යයි අධ්‍යාපන ඇමති පීරිස් කරන ප්‍රකාශ වංචනිකය. ඊට ප්‍රතිකූලව, ආන්ඩුවේ පාසල් විවෘත කිරීමේ තීන්දුව බැඳී පවතින්නේ, මහ ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා ආර්ථිකය විවෘත කරමින්, අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට දැක්කීමේ මිනිමරු පිලිවෙත සමගයි. පාසල් දරුවන් නිවෙස් තුල රැඳී සිටීම කම්කරුවන් වැඩට කැඳවීමට එරෙහි බාධකයක් ලෙස ආන්ඩුව දැක ගනී.

ලංකාවේ පමනක් නොව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය හා අසල්වැසි ඉන්දියාව ඇතුලු ලොව පුරා රටවල පාලනයකින් තොර රෝග ව්‍යාප්තියට හා ජීවිත විනාශයට හේතු වී ඇත්තේ, මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ධනපති අතලොස්සකගේ ලාභ අවශ්‍යතා පිහිටුවීමේ මෙම පිලිවෙතයි. මේ වන විට එහි ගෝලීය මානව වියදම කෙතෙක්දයත්, මිලියන 60 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත් කරමින්, 1,388,710 ක ජීවිත බිලිගෙන ඇත.

මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා සාකච්ඡාවල දී, රාජපක්ෂගේ මන්ත්‍රය වී ඇත්තේ දිගටම රට වසා තබා, වසංගතයට 'රටේ ආර්ථිකය' බිලිදිය නොහැකි බවයි. රාජපක්ෂ ප්‍රකාශ කරන 'ආර්ථිකය' කම්කරුවන්ගේ හා පීඩිත දිලිඳු ජනයාගේ “ආර්ථිකය“ නම් නොවේ.

පසුගිය මාසයේ ක්‍රියාවේ යෙදවූ සීමිත අගුලු දැමීම් මධ්‍යයේ පවා, මහධනපතියන්ගේ 'ආර්ථිකය' වෙනුවෙන්, අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන්ට වැඩට යෑමට බල කෙරුනි. තම ලාභ තරකර ගනුවස්, කම්කරුවන් දොට්ට දැමීමටත්, වැඩ වේගවත් කර වැටුප් කප්පාදු කිරීමටත්, මහා සංගතයෝ මුල සිටම වසංගතය ගසා කෑහ. එය සිදු කෙරුනේ ආන්ඩුවේ ආශීර්වාදය සහ වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය මත ය. අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට එරෙහිව ගුරු වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංගම් නගා ඇත්තේ හීන් කෙඳිරිල්ලක් පමනි.

කොලඹ වරාය තුල රෝග ව්‍යාප්තිය ‌වේගයෙන් සිදුවන තත්වයේ දී, අනාරක්ෂිතව වැඩෙහි යෙදවීමට එරෙහිව විරෝධය පෑ කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීම සඳහා ආන්ඩුව පසුගිය දා වරාය 'අත්‍යවශ්‍ය සේවාවක්' ලෙස නම් කලේ ය. වැඩට නොපැමිනෙන කම්කරුවන්, රැකියාවලින් දොට්ට දැමීම ඇතුලු විවිධ දඬුවම් හරහා, දඩයමට ලක් කිරීම ආන්ඩුවේ සූදානමයි.

පාසල් විවෘත කිරීමේ තීන්දුව බැඳී ඇත්තේ සමස්ත කම්කරු පන්තියට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති මෙම රුදුරු පිලිවෙත් සමගයි.

'පන්ති කාමරවල සමාජ දුරස්ථකරනය හා සෞඛ්‍යය ආරක්ෂන ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පැවැත්වීමේ පසුබිම විදුහල්පතිවරු විසින් සකසා ගත යුතු' යයි පවසමින්, අධ්‍යාපන ඇමති පීරිස්, තමාගේත් ආන්ඩුවේත් වගකීම විදුහල්පතිවරුන්ට පවරයි. මෙය, විදුහල්පතිවරුන්ට, ප්‍රායෝගික ව ඉටුකල නොහැකි කර්තව්‍යයකි.

'ජනප්‍රිය' පාසැල්වල සෑම පන්තියක ම පාහේ සිසුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර, සිසුන් දහස් ගනනක් ඉතා සීමිත භූමි ප්‍රදේශයන්හි කොටු වී සිටිති. මෙම තතු තුල, ආන්ඩුවේ ඊනියා මාර්ගෝපදේශනයන්ට අනුව එක් පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව කන්ඩායම් දෙකකට බෙදා ඉගැන්විම් කල ද, මීටරයක කායික දුරස්ථභාවය පවත්වා ගැනීම කිසිසේත් කල නොහැක්කකි.

තදබදයෙන් පිරුනු පොදු ප්‍රවාහන සේවා මගින් දුර බැහැර සිට දිනපතා පාසලට පැමිනෙන ගුරුවරුන් හා සිසුන් බහුතරයකින් බොහෝ පාසැල් සමන්විත වන බැවින්, වසංගතය බෝ කිරීමේ මධ්‍යස්ථාන බවට පාසැල් පද්ධතිය පත්වීමේ ඉහලම සම්භාවිතාවයක් පවතී.

පසුගිය ජුනි මාසයේ පාසල් විවෘත කල අවස්ථාවේ දී ආන්ඩුව 'සෞඛ්‍යාරක්ෂනය' සඳහා සොච්චම් මුදලක් ලබා දුන් නමුත් මේ දක්වා පාසැල් වලට එවැනි කිසිදු මුදලක් ලබා දී නැත. දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මත සෞඛ්‍යාරක්ෂන වියදම් පැටවීමට ආන්ඩුව දරන ප්‍රයත්නයට එරෙහිව වැඩී ඇති බලගතු මහජන විරෝධය හමුවේ, ආන්ඩුව රුපියල් මිලියන 105 ක සොච්චමක් ඒ සඳහා වෙන්කර ඇතිබව ඊයේ නිවේදනය කලේය. මෙය මහජනතාවගේ ඇස්වලට වැලි ගැසීමකි.

කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වැය නොකරන ආන්ඩුව, පසුගිය මාස හය පුරා මහා සමාගම්වලට රුපියල් බිලියන 178 ක් නිදහස් කොට ඇත. මාර්තු මස අග සිට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මහජනයාට 'සහන' සැලසීමට මේ දක්වා වියදම් කොට ඇත්තේ රුපියල් බිලියන 0.68 ක් පමනි.

වසංගතයෙන් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර ආර්ථික අර්බුදය හමුවේ, ලොවපුරා අනෙකුත් පාලන තන්ත්‍රයන්ගේ මෙන්ම රාජපක්ෂ ආන්ඩුවේ ද එල්ලය වනුයේ මෙම සොච්චම් සහනාධාර, අධ්‍යාපන සහ සෞඛ්‍ය වියදම් මුලුමනින් ම උපුටා දැමීමයි. එමෙන් ම, වසංගතය වඩාත් ව්‍යසනකාරී ලෙස ව්‍යාප්ත වුව ද, මහ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, කම්කරුවන් කම්හල් සහ වැඩබිම් වලට ද, සිසුන් සහ ගුරුවරුන් පාසැල් වලට ද දක්කනු ඇත.

ලොවපුරා ආන්ඩුවල මෙම සාපරාධී පිලිවෙත් වලට එරෙහි ව, විශේෂයෙන්ම අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීමට එරෙහි ව ජාත්‍යන්තර පරිමාන ව ගුරුවරුන්ගේ, ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ බලගතු අරගල පැන නංවා ඇත. ලංකාවේ ගුරුවරුන් හා දෙමාපියන් අතර වර්ධනය වෙමින් පවත්නා විරෝධය එම ජාත්‍යන්තර ප්‍රපංචයේ ම කොටසකි.

කම්කරු පන්තියේ මෙම ඉදිරිගාමී වර්ධනයන් ඉතසිතින් පිලිගන්නා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම, පහත ඉල්ලීම් මත තම අරගලය පෙරට ගන්නා ලෙස දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටී.

  • වසංගතය මුලුමනින්ම පාලනය කරන තුරු වැටුප් ගෙවිම් සහිතව පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම
  • පලල් පරිමානයෙන් රෝග පරීක්ෂන ඉහල දැමීම
  • සිසුන්ට නිවසේ සිට ඔන් ලයින් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍යය නවීන පරිගනක සහ අන්තර්ජාල පහසුකම් නොමිලේ සම්පාදනය කිරීම
  • ගුරුවරුන්ට ඔන්ලයින් ඉගැන්වීම පිලිබඳ විධිමත් පුහුනුවක් නොමිලේ ලබාදීම
  • වසංගතය පාලනය කොට පාසැල් විවෘත කිරීමෙන් පසු පන්ති කාමරවල සෞඛ්‍යය ආරක්ෂාවත්, ගුනාත්මක අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමත් ඉලක්ක කොටගෙන ගුරු-සිසු අනුපාතය 1:15 දක්වා පහල දැමීම.
  • සිසුන් හා ගුරුවරුන් පාසල්වලට සෞඛ්‍යාරක්ෂිතව ප්‍රවාහනය කිරීමට ඒ සඳහාම වෙන් වූ ප්‍රවාහන සේවාවන් දියත් කිරීම.

මෙම ඉල්ලීම් ධනපති රාජපක්ෂ ආන්ඩුවෙන් දිනා ගත නොහැකි ය. ඒවා ජය ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ, මහා බැංකු, දැවැන්ත සමාගම් හා සුවිසල් වතු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන, අතලොස්සකගේ ලාභය සඳහා නොව දැවෙන සමාජ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට කරන දේශපාලන සටනකින් පමනි.

එම සටනේ කොටසක් ලෙස, වසංගතයෙන්, දරුවන්, ගුරුවරුන් ඇතුලු මහජනයාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම කම්කරු පන්තිය තම අතට ගත යුතු ය. ධනපති පද්ධතියට තදින් බැඳුනු වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටු සෑම පාසලක ම හා නිවහන් ප්‍රදේශයක ම ගොඩනැගිය යුතු යයි සසප ගුරු කන්ඩායම කියා සිටී. ආන්ඩුව යෝජනා කරන කමිටුවලට ප්‍රතිකූල ලෙස, මෙම ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටු ඉහත ඉල්ලීම්වලට සටන් වැදිය යුතු ය.

මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑමට සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය සමග ඒකාබද්ධ වන ලෙස අපි සියලුම ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට හා දෙමාපියන්ට කැඳවුම් කර සිටිමු.

Loading