වසංගතය ව්‍යසනකාරී ව පැතිර යද්දී රාජපක්ෂ ආන්ඩුව රට අගුලු දැමීමට විරුද්ධ වන්නේ ඇයි?

"දැනට පවත්නා කොවිඩ්-19 පොකුරු හැර නව පොකුරු මතුවීමේ අවදානමක් නැතැ" යි ද, "කොලඹ, කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් හැර පිටස්තර ප්‍රදේශ වලින් ආසාදිතයන් වාර්තා වන්නේ ඉතා අල්ප වසයෙන්" යැයි ද, කොවිඩ්-19 ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනි.

මෙලෙස, වසංගතයේ අන්තරායකාරී තත්වයක් නැතැයි මවා පෙන්වීමට, වසංගත රෝග පිලිබඳ කවර හෝ විශේඥ දැනුමක් නොමැති සිල්වා වැනි හමුදා නිලධාරීහු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ මැති-ඇමතිවරු, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස) වැනි රාජපක්ෂ ආන්ඩුවේ ආවතේවකාර වෘත්තීය සමිති සහ ධනපති මාධ්‍යයෝ මංමුලාසහගත උත්සාහයක යෙදී සිටිති.

කෙසේ නමුත්, වසංගත ව්‍යාප්තියේ සැබෑ තත්වය මහජනතාව ඉදිරියේ වඩවඩාත් අනාවරනය වෙමින් පවතින තතු තුල, සත්‍යය වසන් කරමින් දසදහස් සංඛ්‍යාත ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය සෑම අතකින්ම ප්‍රකාශයට පත්වෙයි.

අද මධ්‍යහනය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 22028 ක් බව ද, ඉන් 6113 ක් සක්‍රිය බවද නිල වාර්තාවන්හි සඳහන් වෙයි. වසංගතයෙන් 99 දෙනෙකු මියගොස් ඇත. ඉන් බොහොමයක් මිය යන්නේ නිවෙස් තුල වන අතර, ඛේදජනකව, ඔවුන් කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය බව දැනගන්නට ලැබෙන්නේ මරනයෙන් පසු කෙරෙන පීසීආර් පරීක්ෂන වලිනි. රෝග ව්‍යාප්තියේ අන්තරායකාරී පරිමාව වසන් කිරීම සඳහා ආන්ඩුව පරීක්ෂන සංඛ්‍යාව සීමාකර තිබියදී පවා 500 ක පමන සාමාන්‍ය අගයකින් දෛනිකව නව රෝගීන් හඳුනා ගැනේ.

ගෝලීය පරිමානව ද වසංගතයේ ව්‍යාප්තිය වඩාත් වේගවත් වී ඇති අතර, මෙි වන විට ලෝක ජනගහනයෙන් මිලියන 61 ක් ආසාදනය වී ඇති අතර, ඉන් මිලියන 1.43 ක් මියගොස් ඇත. වසංගතය ව්‍යසනකාරී ලෙස ව්‍යාප්ත වුවද, ජනාධිපති රාජපක්ෂ ඇතුලු ලොවපුරා පාලකයෝ, ඔවුනගේ ඊනියා වසංගත විශේෂඥයෝ සහ මාධ්‍ය පන්ඩිතයෝ, "සෞඛ්‍යාරක්ෂන මාර්ගෝපදේශ යටතේ වසංගතය සමග ජීවත්වීම" ට, නැතහොත් "නව සාමාන්‍යය" ට සියලු දෙනා හුරුපුරුදු වියයුතු යැයි, මන්ත්‍රයක් සේ ජප කරති. ,

පලමු අගුලු දැමීම මධ්‍යයේම ආන්ඩුව කම්කරුවන් යලි වැඩට දැක්කුවේ මෙම මන්ත්‍රය මතුරමිනි. එම කම්හල් සහ වැඩබිම්වල "සෞඛ්‍යාරක්ෂනයේ" සහ මෙම "නව සාමාන්‍යයේ" යතා ස්වරූපය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් අනාවරනය විය. එම කම්කරුවන්ට එහි පාලකයන් විසින් නිසි සෞඛ්‍යාරක්ෂන පහසුකම් කිසිවක් සපයා නොතිබුනි. එපමනක් නොව, රෝගී වූ කම්කරුවන් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ඉල්ලා සිටියදී, එය ප්‍රතික්ෂේප කල පාලකයෝ වෙිදනා නාශක ලබා දී ඔවුන් වැඩෙහි යෙදවූහ. ප්‍රතිඵලය වූයේ දහස් ගනනක් රෝගයට ගොදුරු වීමයි. "නව සාමාන්‍යය" යටතේ අනෙක් කම්හල් සහ ආයතනවල තත්වය මීට වෙනස් නොවේ.

කොලඹ වරාය තුල වසංගතය වේගයෙන් පැතිර යද්දී, අනාරක්ෂිතව සේවයේ යෙදවීමට ප්‍රතිරෝධය දැක්වූ කම්කරුවන්, මරනය හමුවේ බලහත්කාරයෙන් වැඩට දැක්කීම සඳහා ජනාධිපති රාජපක්ෂ, නොවැම්බර් 17 දා, වරාය අධිකාරිය "අත්‍යවශ්‍ය සේවාවක්" බවට පත්කලේ, එම රුදුරු පියවර අනෙකුත් කම්කරුවන්ට එරෙහිවද ක්‍රියාත්මක කිරීම සංඥා කරමිනි. "අත්‍යවශ්‍ය සේවා" ප්‍රතික්ෂේප කරන කම්කරුවන්ට එරෙහිව, වසර දෙකේ සිට පහ දක්වා කාලයකට “බරපතල වැඩ සහිත සිර දඬුවමක්" පැනවිය හැක.

මෙම "නව සාමාන්‍යය" යටතේ ක්‍රියාත්මක වන, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරු නේවාසිකාගාරයක් අහඹු පීසීආර් පරීක්ෂනයකට ලක් කිරීමෙන්, එහි කම්කරුවන් 20 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බව පසුගිය සතියේ වාර්තා විය. ඉන් පැහැදිලි වන්නේ ආන්ඩුව විසින් පරීක්ෂන සීමා කිරීමෙන් වසන් කර ඇති ව්‍යසනකාරී තත්වයේ පරිමාව යි.

දෛනික පරීක්ෂන සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇතැයි ආන්ඩුව පම්පෝරි ගැසුවද සෛෟඛ්‍ය අමාත්‍යංශයේම දත්තයන් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එහි දෛනික සාමාන්‍යය 8000 ක් වැනි අගයක පවතින බවයි. වෛද්‍ය විශේෂඥයන් පෙන්වාදෙන පරිදි, ව්‍යාප්තිය පාලනය කිරීමට නම් අවම වසයෙන් දිනකට 40,000 ත් 50,000 ත් අතර පරීක්ෂන ප්‍රමානයක් සිදුකලයුතු වෙයි.

නොවැම්බර් 23 දා දිවයින පුරා පාසැල් විවෘත කෙරුනේ ද මෙම "නව සාමාන්‍යය" යටතේය. කිලිනොච්චි ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් කීපදෙනෙකු හඳුනා ගැනීමත් සමග මහජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ, 23 දා සිටම එම දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් යලි වසා දැමීමට සිදු විය. ආන්ඩුව ගත් පියවරේ සාපරාධී ස්වභාවය එලෙස ක්ෂනිකව එලිමහනට පැමිනුනි.

මෙම තතු තුල පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් මහජනතාව අතර වැඩුනු විරෝධය ප්‍රකාශයට පත් කරමින්, විවෘත කල පාසැල් වල සිසුන්ගේ පැමිනීම ඉතා අල්ප විය. පලමු දිනයේ සියයට 30 කට වැඩි සිසුන් ප්‍රමානයක් පාසැල් පැමිනි බවටද, අනතුරුව පැමිනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවට ද අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් කරන ප්‍රකාශයන් මුලුමනින්ම අසත්‍ය ය. සැබැවින්ම සිදුව ඇත්තේ, ආරම්භයේ පැමිනි සිසුන් අල්පය ද ක්‍රමයෙන් අඩුව යාමයි.

මහජනතාව අතරින් නිරන්තරව මතුවන විරෝධය නිසාම, රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශයන් හි පිහිටි පාසැල් වසා දමන්නට බලධාරීන්ට සිදුවී ඇත. අම්බලන්ගොඩ පාසැල් දෙකක සිසුන් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව අනාවරනය වීමෙන්, 24 වන දා එම පාසැල් වසා දැමුනු අතර, 25 වන දා මහනුවර නගර සීමාවෙන් නව ආසාදිතයන් කීපදෙනෙකු හඳුනා ගැනීමත් සමග නගර සීමාවේ පිහිටි පාසැල් 48 ම වසා දැමුනි. මෙලෙස වසා දැමෙන පාසැල් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

මෙම කරුනු වලින් පැහැදිලි වන්නේ, පාසැල් සහ විශ්වවිද්‍යාල ඇතුලු අධ්‍යාපන ආයතන ද, අත්‍යවශ්‍ය නොවන නිශ්පාදන සහ සේවාවන් ද වසා දැමෙන පූර්න අගුලු දැමීමක් මෙම වසංගතය පාලනය කිරීමට අත්‍යවශ්‍ය බවයි. මහජන සෞඛ්‍යය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් ‌ඊයේ ඩේලිමිරර් පුවත්පතට කල ප්‍රකාශයකින් ද එය පැහැදිලි වෙයි. ඔහු මෙසේ කියයි: "“මේ මොහොතේ පවා, තර්ජනය අවසන් බව අපට පැවසිය නොහැක. අපි අපගේ සියලු පාලන ක්‍රියාකාරකම් අඛන්ඩව කරගෙන යන නමුත් ඒ සමඟම මිනිසුන්ගේ සංචරනයන් සීමා කිරීමෙන් සහ තවදුරටත් පොකුරු සෑදීම වලක්වා ගැනීමෙන් දායක විය යුතුයි."

රට විවෘතව තබා තිබියදී, "සෞඛ්‍යාරක්ෂන මාර්ගෝපදේශනයන් නිසි පරිදි පිලිපදිමින්" සාමාන්‍ය පරිදි වැඩකටයුතු වල නිරතවන අතරේ "සංචරනයන් සීමා කිරීමට" දායක වන ලෙස හේරත් මහජනතාවගෙන් කරන ඉල්ලීම මුලුමනින්ම අතාර්කික ය. මෙය, රාජපක්ෂ රාජ්‍ය තන්ත්‍රයේ සහ මහා ව්‍යාපාරිකයේ ද, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් වාර්ගික පක්ෂ වල ද, ධනපති මාධ්‍යයන්හි ද සාමූහික තර්කය යි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එක්සත් සමාජවාදී පක්ෂය සහ නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධානයන් සහ වෘත්තීය සමිති තොරොම්බල් කරන්නේ ද මෙම ප්‍රතිගාමී තර්කයමයි. නොවැම්බර් 24 දා මාධ්‍ය හමුවක් පවත්වමින් පෙසප නායකයකු වන පුබුදු ජයගොඩ පැවසුවේ "ගුරු සිසු අනුපාතය 20ට දාලා, සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් විවෘත කරනව වානම් ප්‍රශ්නයක් නැහැ" යනුවෙනි.

රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පංති කොටස් වලට, ඔවුනගේ ආවතේවකරුවන් වන අනෙකුත් සංවිධාන වලට සහ ධනපති මාධ්‍ය වලට අවශ්‍ය වන්නේ මහා ව්‍යාපාරිකයේ ලාභෝත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව සහ අබාධිතව ඉදිරියට ගෙන යාම සඳහා රට විවෘතව තබා ගැනීමයි. කම්කරු-පීඩිත මහජනතාවගේ සහ ඔවුනගේ දරුවන්ගේ ජීවිත කෙරෙහි කවර හෝ උත්සුකයක් නොමැති මොවුන්, "සෞඛ්‍යාරක්ෂන මාර්ගෝපදේශනයන් නිසි පරිදි පිලිපදිමින්" යන්න යොදනුයේ මහජනතාව රවටන වංචනික පදයක් ලෙසින් පමනි.

පාසැල් විවෘතව තබා ගැනීම පිටුපස පවතින්නේ ද මෙම ධනපති ආර්ථිකය අබාධිතව ඉදිරියට ගෙනයාමේ උවමනාවයි. පාසැල් වසා තබා දරුවන් නිවෙස්වල රැඳවුවහොත්, කම්කරුවන් වැඩපොලට පැමිනීම කෙරෙහි බාධා වෙතැයි ධනපතියෝ ගනන් බලති.

ධනපති පංතියේ ලාභ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති පාලක පංතීන් ක්‍රියාවට දමන, වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩපොලට ද දරුවන් පාසැලට ද දක්කන මෙම මිනීමරු පිලිවෙතට එරෙහිව සටන් වැදීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය (සසප) පහත දැක්වෙන පිලිවෙත කම්කරු පංතියට යෝජනා කරයි.

වසංගතය සඳහා සාර්ථක එන්නතක් සොයා ගැනීමේ අද්දරටම විද්‍යාඥයන් පැමින සිටින තතු තුල, "කවදා තෙක් රට වසාගෙන සිටින්නද?" යන ධනපති පාලකයන්ගේ තර්කය තවදුරටත් වලංගු නොවේ.

  • එවන් එන්නතක් නිසි පරිදි නිර්දේශ කල සැනින් සියලු මහජනතාවට එය නොමිලේ ලබාදීම සඳහා දැවැන්ත පරිමානව මුදල් වෙන් කිරීම
  • සියලු සෞඛ්‍ය කම්කරුවන්ට ඉහල ගුනාත්මකභාවයෙන් යුත් ආරක්ෂක උපකරන සම්පාදනය කිරීම ඇතුලු ව සෞඛ්‍ය යටිතල පහසුකම් සම්පූර්නයෙන් වැඩි දියුනු කිරීමට වහා අරමුදල් වෙන් කිරීම.
  • අතිශය සෞඛ්‍යාරක්ෂිත කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය හා ආහාර නිෂ්පාදන පමනක් පවත්වාගෙන යාම. අනෙකුත් සියලු කම්කරුවන්ට, රැකියා අහිමි නො කර සම්පූර්න වැටුප් සහිත නිවාඩු ලබා දීම.
  • ස්වයං-රැකියාවල නිරත වන්නන්, දුගී ගොවීන් හා ධීවරයන් ඇතුලු අවිධිමත් අංශයේ සියල්ලන්ට ප්‍රමානවත් හා කොන්දේසි විරහිත මූල්‍යමය අනුග්‍රහය සම්පාදනය කිරීම.

ඔක්තෝබර් 23 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සසප පලකල ප්‍රකාශයේ සඳහන් කල පරිදි,

"මෙම ඉල්ලීම්වලට ආමන්ත්‍රනය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන ගෝලීය ධනවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයක් හරහා පමනි. වසංගතය පුපුරා ගිය තැන් පටන් ම, මෙම ක්‍රියා මාර්ගය සඳහා වන සටන සසප විසින් ගැඹුරු කර ඇත්තේ කම්කරුවන් වාර්ගික රේඛා හරහා එක්සත් කරමිනි.

"මෙම අරගලයට කේන්ද්‍රීය වන්නේ, බැංකු, විශාල වතු හා මහ ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරමින් සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන යි. දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා කරන සටන සමග මෙම ඉදිරි දර්ශනය බැඳී ඇත."

Loading