ඉදිරිදර්ශන

කොවිඩ්-19 වසංගතය සහ පන්ති අරගලයේ ගෝලීය පුනර්ජීවය

2020 අවසාන මාසය ආරම්භ වන විට, කොවිඩ්-19 වසංගතයට පාලක පන්තියේ ලාභ සොයන ප්‍රතිචාරයට, ධනේශ්වර සූරාකෑම තීව්‍ර කිරීම සඳහා වූ සාමූහික ප්‍රයත්නයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමට එරෙහි ව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය ලොව පුරා පුපුරා යමින් පවතී.

2020 දෙසැම්බර් 1 වෙනි දා අඟහරුවාදා ඉන්දියාවේ දිල්ලි-හර්යානා ප්‍රාන්ත දේශ සීමාවේ පැවති උද්ඝෝෂනයක දී වැඩිහිටි ගොවියෙක් සටන් පාඨ කියන අතරේ අනෙක් අය ප්‍රධාන මහා මාර්ගයක් අවහිර කරමින් කථිකයෙකුට සවන් දෙයි. (ඒපී ඡායාරූපය/අල්ටාෆ් ක්වොඩ්රි)

පසුගිය දින එකොළහ තුළ, මිලියන ගනනක් වැඩ වර්ජන හෝ මහජන විරෝධතාවලට එක් වී ඇත:

● හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ, සමාජීය වශයෙන් දුරාචාරී ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා නොවැම්බර් 26 වන දින ඉන්දියාව පුරා කම්කරුවෝ එක්දින මහා වැඩ වර්ජනයක් පැවැත්වූහ. පෙර නොවූ විරූ සෞඛ්‍ය හා සමාජ ආර්ථික ව්‍යසනයක් මධ්‍යයේ තමන්ට ම ආරක්ෂාව සලසා ගැනීමට අත හැර දැමුනු මිලියන සංඛ්‍යාත දුගී කම්කරුවන් සහ වැඩ කරන ජනතාව සඳහා වර්ජකයෝ හදිසි ආධාර ඉල්ලා සිටියහ.

පසුගිය වසන්තයේ සති දහයක කොවිඩ්-19 අගුලු දැමීම සමඟ වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා සමාජයේ සම්පත් බරපතල ලෙස බලමුලු ගැන්වීමක් සිදු නොවූ අතර, එක රැයකින් රැකියා විරහිත වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සමාජ ආධාර අහිමි විය. මෙයින් පසුව නැවත රැකියාවලට කැඳවීම හේතුවෙන් විශාල ආසාදන හා මරන ප්‍රමානයක් සිදුවිය.

ආර්ථිකය “පුනර්ජීවනය” කිරීමේ නාමයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව ලෝකයේ වඩාත්ම සමාජීය වශයෙන් අසමාන රටක් බවට පත් කර ඇති “ආයෝජක ගැති” ප්‍රතිපත්ති දෙගුන කර ඇත. භාරතීය ජනතා පක්ෂ රජය සිය පුද්ගලීකරනය වේගවත් කර ඇත; අස්ථිර කොන්ත්‍රාත්-ශ්‍රම රැකියා ප්‍රවර්ධනය කිරීම, සමූහ දොට්ට දැමීම් පිළිබඳ සීමා කිරීම් ඉවත් කිරීම සහ බොහෝ වෘත්තීය ක්‍රියාමාර්ග නීති විරෝධී කිරීම සඳහා ඉන්දියාවේ කම්කරු නීති නැවත ලියා ඇත; ඉන්දියාවේ කෘෂිකාර්මික අංශයේ “ප්‍රතිසංස්කරනයක්” හරහා කුඩා ගොවීන් කෘෂි ව්‍යාපාරිකයින්ගේ ආධිපත්‍යයට ලක් කරනු ලැබ ඇත.

ඉන්දියාව පුරා විසිරී සිටින කම්කරුවන්ගේ සහයෝගය දිනා ගනිමින් සිදුකල එක්දින විරෝධතා වැඩ වර්ජනය, මෝඩි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිගාමීත්වය ප්‍රවර්ධනය කිරීමේ හා මුස්ලිම් විරෝධී ජාතිවාදය උසිගැන්වීමෙන් කම්කරු පන්තිය බෙදීමේ නිර්දය ව්‍යාපාරයට පහරක් එල්ල කලේය.

● තවද එදින ම (නොවැම්බර් 26 වන දින) ලක්ෂ සංඛ්‍යාත ග්‍රීක කම්කරුවෝ රටේ රාජ්‍ය අංශයේ වැඩි කොටසක් වසා දැමූහ. ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින්, වෛද්‍යවරුන් සහ ප්‍රවාහන කම්කරුවන් ඇතුළු වැඩ වර්ජකයින්, පැය අටක වැඩ දිනය අහෝසි කරන සහ වැඩ වර්ජන මෙන්ම පෙලපාලි පැවැත්වීමේ අයිතිය සැලකිය යුතු ලෙස සීමා කරන නීතියට විරෝධය පල කලහ. COVID-19 පැතිරීම නැවැත්වීම සඳහා වර්ජකයන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය සේවකයින් විශාල වශයෙන් බඳවා ගැනීම සහ පෞද්ගලික සායන මහජනතාව වෙනුවෙන් පවරා ගැනීම ය.

● පසුගිය නොවැම්බර් 28 වන සෙනසුරාදා, කම්කරුවන් හා වාමාංශික විරෝධතා මැඩපැවැත්වීමට සහ දුප්පත්, ප්‍රධාන වශයෙන් සංක්‍රමනික, අසල්වැසි ප්‍රදේශ බිය ගැන්වීමට මෙන්ම ප්‍රචන්ඩත්වය යොදන විට පොලිසියේ ක්‍රියාකාරකම් ඡායාරූප ගත කිරීමේ තහනම් කරන මැක්‍රොන් රජයේ නීතියට එරෙහි ව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ප්‍රංශය පුරා විරෝධතාවලට එක් වූහ. විරෝධතාවල ප්‍රමානයෙන් මවිතයට පත් වූ රජය දැන් කියා සිටින්නේ තමන් එම පියවර ගැන නැවත සිතා බලන බවයි. මහජන කෝපය ඇවිස්සී ඇත්තේ පොලිසිය අපරාධවලට මුක්තිය ලබා දී ඇති නිසා ය. පහරදීම් හෙතුවෙන් ඇතැම් වාමාංශික විරෝධතා කරුවන් අබ්බගාත බවට පත් කිරීම ඇතුලු යෙලෝ වෙස්ට් විරෝධතාකරුවන්ට පහරදීම් සම්බන්ධයෙන් එකදු නිලධාරියෙකු හෝ දඬුවම් ලබා නැත.

● කොවිඩ්-19 වසංගතයේ විනාශකාරී “දෙවන රැල්ල” මධ්‍යයේ සෞඛ්‍ය ආරක්ෂනය කප්පාදු කිරීමට එරෙහිව ස්පාඤ්ඤයේ වෛද්‍යවරු සහ හෙදියෝ දහස් ගනනක් නොවැම්බර් 29 දා මැඩ්රිඩ්හි විරෝධතා දැක්වූහ. ජාතිකවාදය අවුස්සන්නට දැරූ උත්සාහය ප්‍රතික්ෂේප කරමින් ඔවුහු, “ධජ ස්වල්පයක් සහ හෙදියන් ගොඩක්” [කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූවන් සිහි කිරීමට කුඩා ස්පාඤ්ඤ ධජ මැඩ්රිඩ් නගරයේ උද්‍යායනයක සිටුවමින් ගෙන ගිය ජාතිකවාදය ඇවිස්සූ ව්‍යාපාරයක් සම්බන්ධයෙනි.- පරි.] යනුවෙන් හඬ නැගූහ. අසල්වැසි පෘතුගාලයේ ළමා අධ්‍යාපනඥයින් සහ ප්‍රාථමික හා ද්විතීයික පාසල් ගුරුවරුන් දෙසැම්බර් 11 වන දා සිකුරාදා ජාතික වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇත. වසර ගනනාවක කප්පාදුවලින් පසු, පාසැල් ආසාදනයෙන් ආරක්ෂා කිරීමට රජය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ව ගුරුවරු කෝපයට පත්ව සිටිති.

● චිලි රාජ්‍යයේ වසංගතයට එරෙහි සටනේ පෙරමුන ගෙන සිටින මහජන සෞඛ්‍ය සේවකයින් 60,000 ක් නොවැම්බර් 30 වන දා සඳුදා දින නියමයක් නොමැති වැඩ වර්ජනයක් දියත් කළහ. ඒ එල්ල කෙරී ඇති සෞඛ්‍ය සේවා කප්පාදුවලට විරුද්ධ වීමට මෙන්ම දිගු කාලීන ව පොරොන්දු වූ බෝනස් ගෙවීම සහ වඩා හොඳ සේවා කොන්දේසි ඉල්ලා සිටීම සඳහා ය. දශක ගනනාවක සිට, අවශ්‍ය අරමුදල් වෙන් නොකිරීම හෙතුවෙන් චිලියේ මහජන සෞඛ්‍ය පද්ධතිය කෙතරම් අබලන් වී ඇත්ද යත්, වසංගතයේ උච්චතම අවස්ථාවේ දී, පසුගිය මැයි සහ ජුනි මාසවල දී කම්කරුවන්ට ඔවුන්ගේ මුහුනු ආවරන තමන්ට ම මසා ගැනීමට සිදු විය.

මෙම වැඩ වර්ජනය සියලු ආකාරයේ සමාජ විරෝධතාවන්ට එරෙහිව පොලිස් රාජ්‍ය ප්‍රචන්ඩත්වය මුදා හැරීම සම්බන්ධයෙන් රටේ වෛරයට පාත්‍ර වූ අන්ත දක්ෂිනාංශික කෝටිපති ජනාධිපති සෙබස්තියන් පිනෙරාට එරෙහි ව පුළුල් කම්කරු පන්ති බලමුලුවේ කොටසකි.

● එක්සත් ජනපදයේ, ඉහල වැටුප්, කාර්ය මන්ඩලය වැඩි කිරීම් සහ පුද්ගලික ආරක්ෂක උපකරන ඉල්ලා සටන් කිරීම සඳහා මෑත දිනවල සහ සතිවල රෝහල් මෙන්ම සාත්තු නිවාසවල හෙදියන් සහ අනෙකුත් කම්කරුවන් විසින් වැඩ වර්ජන හා උද්ඝෝෂන රාශියක් සිදු කරනු ලැබ ඇත. නිදසුනක් වශයෙන්, චිකාගෝ ප්‍රදේශයේ, අඩු වැටුප් සහිත රැකබලා ගන්නන් සහ සහායක කාර්ය මන්ඩලය 700 දෙනෙක් පසුගිය සති දෙක තුල ලාභ වෙනුවෙන් ක්‍රියාත්මක සාත්තු නිවාස 11 ක වැඩ වර්ජනයක නිරත වූහ. වසංගතයට එරෙහි අරගලයට සහ සෞඛ්‍ය සේවා කර්මාන්තයේ ලාභයට වඩා කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙන පුළුල් ව්‍යාපාරයක් බවට මෙම බහුවිධ අරගල ඒකාබද්ධ කිරීම වලක්වනු ලැබ ඇත්තේ කඩාකප්පල්කාරී වෘත්තීය සමිති විසිනි.

● රැකියා කප්පාදු කිරීම, වැඩ වේගවත් කිරීම සහ වසංගතය නැගී ඒමත් සමග නිෂ්පාදනය පූර්න වේගයෙන් පවත්වා ගෙන යාමට කම්කරුවන්ට බල කිරීම මගින් ලාභ වැඩි කිරීම සඳහා වන අන්තර්ජාතික රථවාහන කම්හල් දැවැන්තයින්ගේ ප්‍රයත්නයට මෝටර් රථ සේවකයෝ විරුද්ධ වෙති. දකුනු කොරියාවේ ජෙනරල් මෝටර්ස් (ජීඑම්) සහ කියා කම්හල්වල සේවකයින් ඉහළ වැටුප් හා රැකියා සුරක්‍ෂිතතාවය ඉල්ලා මෑත සතිවල පැය හතරක වැඩ වර්ජන මාලාවක් දියත් කර ඇත. මෙම සතිය මුලදී, ජීඑම් කම්කරුවෝ වසර ගනනාවක් පුරා වැටුප් අත්හිටුවීම සහ අනෙකුත් ප්‍රධාන ඉල්ලීම් අවහිර කල හැකි ව තිබූ වෘත්තීය සමිතිය ඉදිරිපත් කල ගිවිසුමක් ප්‍රතික්ෂේප කලහ.

ඉන්දියාවේ, ටොයොටා හි බිඩාඩි, කර්නාටක එකලස් කිරීමේ කම්හලේ කම්කරුවන් 3,000 ක් දෙනා නොවැම්බර් 9 වන දින රැකියාවෙන් ඉවත්ව ගිය අතර පසුව වැඩපලින් ලොක් අවුට් කෙරුනු ලැබූ ඔවුහු රජයේ ආපසු වැඩට යාමේ නියෝගය නොසලකා හැර ඇත. මාසික නිමැවුම් වැඩි කරන ලෙස සමාගමේ ඉල්ලීමට කම්කරුවන් විරුද්ධ වෙමින් විපතට පත් කම්කරුවන් 40 ක් වෙනුවෙන් ඔවුහු සටන් කරති.

වසංගතය මධ්‍යයේ අනාරක්‍ෂිත තත්වයන් යටතේ වැඩ කිරීමට බල කෙරෙන මෝටර් රථ නිෂ්පාදකයින් සහ එක්සත් ඔටෝ කම්කරුවන් අතර ඇති කුමන්ත්‍රනය පරාජය කිරීමට, එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවෝ ප්‍රධාන වාහන එකලස් කිරීමේ සහ ස්වයංක්‍රීය කොටස් කම්හල්වල ක්‍රියාකාරී ආරක්‍ෂක කමිටු ජාලයක් පිහිටුවා ඇත.

සංගතවාදී වෘත්තීය සමිති, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, වෙනත් සංස්ථාපිත “වාම” පක්ෂ සහ ඔවුන්ගේ ව්‍යාජ වාම සහකරුවන් විසින් මර්දනය කරන ලද දශක ගනනාවකට පසු 2018 සහ 2019 වසරවල පන්ති අරගලයේ ගෝලීය පුනර්ජීවනයක් දක්නට ලැබුනි. ප්‍රංශය, ස්පාඤ්ඤය, ඇල්ජීරියාව, ඉරානය සහ සුඩානය සිට දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, චිලී සහ කොලොම්බියාව දක්වා මහා පරිමාන වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාපාර පුපුරා ගියේ නිතර පාහේ වෘත්තීය සමිති සහ “වාම” පක්ෂ වලට එරෙහි විවෘත අරගලයන් ලෙස ය. එක්සත් ජනපදයේ, ගුරු වැඩ වර්ජන රැල්ලක් වෘත්තීය සමිති උපකරනවලට එරෙහි ව සාමාන්‍ය සාමාජිකයන් අතරින් ගොනු වුනු අතර, 2019 අගභාගයේ දී දශක කිහිපයකින් මෝටර් රථ හිමියන්ගේ පලමු ජාතික වැඩ වර්ජනය දැක ගත හැකි විය.

පසුගිය වසන්තයේ දී රජය විසින් නියෝග කරන ලද කොවිඩ්-19 අගුලු දැමීමේ ප්‍රධානතම සාධකය වූයේ, උතුරු ඇමරිකාවේ මෝටර් රථ කර්මාන්තයේ දී මෙන්, වෘත්තීය සමිති වලට පිටින් සිදු වූ කම්කරුවන්ගේ රැකියා ක්‍රියාමාර්ග, වෛරසය පැතිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම, සමාජ සමාජ නොසන්සුන්තාවයට හේතු වනු ඇතැයි යන පාලක පන්තියේ බියයි.

එක්සත් ජනපද මිලිටරි සේවයේ යෙදී සිටිද්දී මිය ගියවුන් අනුස්මරන දින පොලීසිය විසින් සිදුකල ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපදය පුරා මහජන විරෝධතා අවුලුවාලූ අතර එය සියලු ජනවර්ගවල වැඩකරන ජනතාව එක්සත් කලේය.

වසංගතයට පාලක පංතියේ සාපරාධී නොසැලකිලිමත් ප්‍රතිචාරය හේතුවෙන් ලොව පුරා රටවල සමූහ මරන ඇති කිරීමට පටන් ගෙන දැන් මාස 10 කට පසු සමාජ අරගල අලුතින් පුපුරා යයි. නමුත් ඔවුන් එසේ කරන්නේ අතිමූලික ලෙස වෙනස් වූ තත්වයන් යටතේ ය.

වසංගතය ලෝක ධනවාදයේ ගෝලීය අර්බුදය බෙහෙවින් වේගවත් කර ඇත. මහ බැංකු සහ ධනේශ්වර රාජ්‍යයේ අනෙකුත් ආයතන විසින් වෙලඳපොලට නිමක් නැති මුදල් සැපයුම හේතුවෙන් පාලක ප්‍රභූවේ ධනය මාර්තු මාසයේ සිට පෙර නොවූ විරූ මට්ටමකින් ඉහල ගොස් ඇත. මේ අතර, සේවකයින්ගේ ආදායම, රැකියා අහිමිවීම් නිසා සොච්චම් මුදලකට පහත වැටී ඇත. ලෝකයේ බොහෝ රටවල කොවිඩ්-19 අගුළු දැමීමේ පියවරයන්ට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද සහන වැඩසටහන් ක්‍රියාත්මක නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන සමාජ කාලකන්නි බව දැනුවත් ව නිර්මානය කරන ලද්දකි. අනාරක්ෂිත කොන්දේසි යටතේ නැවත සේවයට පැමිණීමට කම්කරුවන්ට බල කිරීම සඳහා මෙම සමාජ කාලකන්නි බව මුගුරක් ලෙස සේවය කරයි.

වසංගතය පාලක ප්‍රභූන්ගේ සහ ඔවුන්ගේ රජයන්ගේ දේශපාලන හා සදාචාරාත්මක අධිකාරියට ද මාරාන්තික ලෙස හානි කර තිබේ. සියල්ලටම වඩා ධනවත් හා බලවත්ම ධනවාදී පන්තිය වන එක්සත් ජනපදයේ මෙය සියල්ලටම වඩා සත්‍යයකි. ඊට නොඅඩු ලෙස යුරෝපීය ධනේශ්වරය ද මිනිස් ජීවිතවලට වඩා ලාභය ප්‍රමුඛ ලෙස සලකති. යුරෝපීය ආන්ඩු, ඔවුන්ගේ දේශපාලන ස්වරූපය කුමක් වුවත්, බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුත් දක්ෂිනාංශික හෝ ස්පාඤ්ඤයේ මෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ “වාම-ජනතාවාදීන්” (පොඩෙමොස්) ද ඇතුළුව, මිනීමරු 'ආපසු වැඩට' සහ 'ආපසු පාසලට' ප්‍රතිපත්ති අනුගමනය කරති.

කම්කරු පන්තියේ ආරම්භක දේශපාලන රැඩිකලීකරනය පිළිබඳ පාලක පන්තියේ බිය නිසා එය වඩාත් විවෘතව ඒකාධිපති පාලන ක්‍රම වෙත හැරීමටත් අන්ත දක්ෂිනාංශය පුනරුත්ථාපනය කිරීමටත් උනන්දු වෙයි. පසුගිය දින 11 තුල පැවති බොහෝ අරගල ඇවිල යාමට ප්‍රධාන හේතුවක් වූයේ කම්කරුවන්ගේ අරගල සාපරාධී කිරීමට සහ රාජ්‍යයේ මර්දන බලතල පුළුල් කිරීමට නව ක්‍රියාමාර්ග පැනවීමයි.

ට්‍රම්ප් ජනාධිපතිවරනයේ ප්‍රතිඵල අහෝසි කොට ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ කරන එක්සත් ජනපදය තුල වර්ධනයන් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම නිරූපනය කරයි. නමුත් මෙය විශ්වීය ක්‍රියාවලියකි. ස්පාඤ්ඤයේ, මෑතකදී විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් රහසිගත ව කුමන්ත්‍රනකාරී ව රජයෙන් ඉල්ලා සිටිනු ලැබුවේ, කප්පාදු ක්‍රියාවට නංවන සහ රංචු ප්‍රතිශක්තිය පසුපස හඹා යන ව්‍යාජ වාම වර්ණවලින් යුත් දක්ෂිනාංශික පාලන තන්ත්‍රයක් වන තේරී පත් වූ ආන්ඩුව නෙරපා හරින ලෙසයි.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ වර්ධනය වන ගෝලීය නැගිටීම සමඟ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල සම්බන්ධ කිරීමයි.

ඉහත සඳහන් කර ඇති අරගලයන් උදාහරන ලෙස ගත් විට පොදු කොන්දේසි සහ ගැටලුවලට ලොව පුරා කම්කරුවෝ මුහුන දෙති. ගෝලීය ශ්‍රම වෙලඳපොල හරහා වැටුප් හා සේවා කොන්දේසි ක්‍රමානුකූල ව පහත හෙලීමට වැඩ කටයුතු කරන ගෝලීය මූල්‍ය කතිපයාධිකාරයක් සහ එහි අන්තර්ජාතික සංගත ඔවුන්ට එරෙහිව පෙල ගැසී ඇත. වසංගතය මැද ම ලාභ මිරිකා ගනිමින් ලෝක ධනවාදයේ අර්බුදයට කම්කරු ජීවිතවල වියදමින් පියවා ගැනීමට ඔවුහු අධිෂ්ඨානවත් ව සිටිති.

කම්කරුවන් ජය ගැනීමට නම්, ඔවුන් ලෝක නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔවුන්ගේ වෛෂයික එකමුතුව සවිඤ්ඤානික මුලෝපායක් බවට පරිවර්තනය කළ යුතු අතර රැකියා, වැටුප් හා මහජන සේවාවන්ට එල්ල වන අඛන්ඩ ප්‍රහාරයට එරෙහි ව ගෝලීය ප්‍රතිප්‍රහාරයක් තුල කම්කරුවන්ගේ බලය සඳහා තම අරගලය සම්බන්ධීකරනය කල යුතු ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජුනි මාසයේ “කොවිඩ්-19 වසංගතයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ක්‍රියාමාර්ගයක් සඳහා!” ප්‍රකාශය මගින් පැහැදිලි කල පරිදි මෙය අද ආරම්භ වන්නේ වසංගතයට ප්‍රතිචාරය තීරනය කිරීමේ හැකියාව ධනපති පන්තියෙන් තමන් අතට ගැනීමට සටන් කිරීමෙනි.

වසංගතය නැවැත්වීමට හා එහි බලපෑමට ලක්වූවන්ට සම්පූර්න ආදායමක් සම්පාදනය කිරීමට අවශ්‍ය හදිසි අරමුදල් සැපයීම පිනිස ධනවතුන් කඳුගසා ගන්නා යෝධ මුදල් සම්භාරය අත් අඩංගුවට ගෙන යොදාගත යුතු ය. විශාල බැංකු හා සංගත, තාර්කික හා විද්‍යාත්මක සැලසුම්කරනයේ පදනම මත ධාවනය කරන, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතෙහි තැබිය යුතු ය. යුද්ධය හා විනාශය සඳහා නාස්ති කරන යෝධ සම්පත් සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය හා අනෙකුත් සමාජ අවශ්‍යතාවන්ට අරමුදල් සැපයීම සඳහා යෙදවිය යුතු ය.

වසංගත හිදිසි සෞඛ්‍ය තත්ත්වයේ දී හා ඉන් පසු ව තම ස්වාධීන අවශ්‍යතාවන් දිනා ගැනීමට දශක ගනනාවක් තිස්සේ සංගත කලමනාකාරීත්වය සහ රාජ්‍යය සමග එක් ව වැඩ කල සහ දැන් කම්කරුවන් අනාරක්ෂිත ෆැක්ටරි, පාසල් සහ සෙසු වැඩපල තුලට දක්කන ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන ව සහ ඒවාට එරෙහි ව අරගලයේ නව සංවිධාන ගොඩ නැංවිය යුතු ය.

එක්සත් ජනපදයේ මෝටර් රථ සේවකයින් සහ ගුරුවරුන්, බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ ප්‍රවාහන සේවකයින් සහ ගුරුවරුන් සහ ඕස්ට්‍රේලියාවේ ගුරුවරුන් විසින් ක්‍රියාකාරී ආරක්ෂක කමිටු පිහිටුවීම මේ සම්බන්ධයෙන් වැදගත් ඉදිරි පියවරක් නියෝජනය කරයි.

එහෙත් කම්කරු පන්තියේ අතිමහත් සමාජ බලය හා විප්ලවවාදී විභවය මුදා හැරීමට නම්, සියල්ලටත් වඩා එය සිය වැඩපිලිවෙලට ඇතුලත් කර ගත් ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂයක් සමඟ සන්නද්ධ විය යුතු අතර කම්කරු පන්තියේ සහ එහි මාක්ස්වාදී පෙරමුනු බලකායේ විප්ලවවාදී අරගලවල පාඩම් උකහාගත යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ සටන් කරන වැඩපිලිවෙල මෙයයි. මෙම ජීවිතය හෝ මරනය තීරනය කරන සටන ආරම්භ කිරීමට එකඟ වන හා කැමති සියලු දෙනා අද අප හා සම්බන්ධ වීමටත්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයට බැඳීමටත්, එය ගොඩනැගීමටත් තීරනය කල යුතු ය.

Loading