"කටුනායක සෝන් එකේ අපි" ෆේස්බුක් පිටුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි වලට පැන වූ වාරනයට එරෙහි වනු!

'කටුනායක සෝන් එකේ අපි' ෆේස්බුක් පිටුව තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලිපි වලට පනවා ඇති වාරනය වහා ඉවත් කිරීමට ක්‍රියාකාරීව මැදිහත්වන ලෙස, ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව, එම ෆේස්බුක් පිටුවේ සියලු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී.

ධනපති ආන්ඩු සහ හාම්පුතුන් විසින් ඇඟලුම් සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට එරෙහි ව එල්ල කෙරෙන ප්‍රහාරයන් පරාජය කිරීමේ ඉදිරි මාවත පිලිබඳව වර්ධනය වෙමින් පැවති අව්‍යාජ සාකච්ඡාවක් හිතා මතා ම අවහිර කෙරුනු මෙම වාරනය මගින්, එම පිටුවේ සාමාජික කම්කරුවන් සතු නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැන ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බලගතු ලෙස උල්ලංඝනය කෙරී පවතී.

වසා දැමූ නිදහස් වෙලඳ කලාප පිවිසුම අසල විරෝධය දක්වන ඔකායා ලංකා කම්කරුවන්

'කටුනායක සෝන් එකේ අපි' ෆේස්බුක් කන්ඩායම, 41,000 කට ආසන්න සාමාජිකත්වයකින් සමන්විත වන අතර, ඉන් අති මහත් බහුතරය ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව රැකියාවන් හි නිරතවූවෝ වෙති. මෙම සාමාජිකත්වය අතර සිටින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ, ලෝසවෙඅ ලිපි සහ තම ඉදිරිදර්ශනාත්මක අදහස් පල කිරීමේ වේදිකාවක් ලෙස, මෙම ෆේස්බුක් පිටුව සති ගනනාවක් පුරා යොදා ගනිමින් සිටියහ.

ලෝසවෙඅ යනු, ලොවපුරා කම්කරුවන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට ඒ ඒ රටවල ආන්ඩු සහ හාම්පුතුන් එල්ල කරන ප්‍රහාරයන් සහ ඒවාට එරෙහිව කම්කරුවන් ගෙනයන අරගල පිලිබඳ වාර්තා සහ විශ්ලේෂන දෛනිකව ගෙන එමින්, එම අරගල ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත මෙහෙයවීමට සටන් වදින, අව්‍යාජ කම්කරු පන්තික මාධ්‍යය යි. එය, කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්ටුවේ (හජාජාක) සහ එහි ශාඛාවන් වන සසප හි නිල මාධ්‍යය වෙයි.

කටුනායක ඔකායා ලංකා කම්කරුවන්, නොවැම්බර් 18 දා ආරම්භ කල වැඩ වර්ජනයට පූර්න සහයෝගය දෙමින් සසප ගෙනගිය වැඩකටයුතුවල ප්‍රධානතම කොටසක් ලෙස නොවැම්බර් 23 දා ලෝසවෙඅ හි පලකල, 'කටුනායක ඔකායා ලංකා කම්කරුවෝ වාර්ෂික වැටුප් වර්ධකය කප්පාදු කිරීමට එරෙහිව වැඩ වර්ජනයේ යෙදෙති' යන ලිපිය, 'කටුනායක සෝන් එකේ අපි' ෆේස්බුක් පිටුව තුල පල කරමින් සසප සාමාජිකයෝ ඉතා වැදගත් සාකච්ඡාවකට මුල පිරූහ.

ධනපති ආන්ඩු සහ හාම්පුතුන් එක්ව, ඔකායා කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට එරෙහි ව ගෙන යන ප්‍රහාරයට වෘත්තීය සමිති දෙන නින්දිත සහයෝගය පිලිබඳව එම ලිපියෙන් මෙසේ පැහැදිලි කෙරුනි:

මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා හාම්පුතුන්ට ශක්තිය ලැබී ඇත්තේ, කම්කරුවන්ගේ නොසන්සුන්තාවයන් වාෂ්ප කරමින්ද අරගල අවමංගත කරමින් ද, වෘත්තීය සමිති ඉටු කරන ද්‍රෝහී ක්‍රියා කලාපයෙනි.

ඇන්ටන් මාර්කස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමය සහ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සමිති සම්මේලනය හා ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු පුද්ගලික අංශයේ වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් සුවිශේෂී වෙයි. කොරෝනා වසංගතයෙන් තීව්‍ර කෙරුන ඇඟලුම් හා අපනයන කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව සහ හාම්පුතුන් සමග මෙම සමිති සන්ධාන ගතවූහ.

එම අදහස් වලට සහයෝගී සටහන් (comments) තබමින් පිටුවේ සාමාජිකයෝ ඉතා උනන්දුවෙන් සාකච්ඡාවට සහභාගි වූහ.

ඔකායා ලංකා වර්ජනය නතර කිරීමෙන් අනතුරුව, 'වැටුප් වර්ධක ලබාදෙන බවට පාලකයන් දුන් පොරොන්දුව මත ඔකායා ලංකා කම්කරුවෝ වර්ජනය නතර කරති' යන මැයෙන්, නොවැම්බර් 28 දා ලෝසවෙඅ හි පලකල ලිපිය ද සසප සාමාජිකයෝ ඉහත ෆේස්බුක් පිටුවට එකතු කලහ.

එම ලිපියේ මෙසේ සඳහන් විය:

කම්කරුවන්ගේ වාර්ෂික වැටුප් කප්පාදුව කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා ශ්‍රී ලංකාවේත් ලෝකය පුරාත් ධනපති ආන්ඩු හා හාම්පුතුන් විසින් ක්‍රියාවට දමා ඇති කම්කරු පන්තියේ රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කිරීමේ සැලසුම් වල කොටසකිි. වසංගතයේ ව්‍යාප්තිිය නොතකා රාජපක්ෂ ආන්ඩුව හා ධනපති සමාගම් විසින් කම්කරුවන් බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලබන අතර ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කෙරෙයි.

වසංගතය වේගයෙන් පැතිරෙද්දී රාජපක්ෂ ආන්ඩුව යලි පාසැල් විවෘත කරමින් තැබූ සාපරාධී පියවරට එරෙහිව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ගතයුතුමග පැහැදිලි කරමින් නොවැම්බර් 23 වන දා ලෝසවෙඅ හි පල කෙරුනු, 'අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට විරුද්ධ වනු! වසංගතයෙන් ජීවිත රැක ගැනීමට ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටු ගොඩ නගනු!' යන ලිපියට ද ලැබුනේ සාධනීය ප්‍රතිචාරයකි.

වසංගතය මධ්‍යයේ පාසැල් විවෘත කිරී‌ම යටින් පැවති සැබෑ අරමුනු එම ලිපියෙන් පැහැදිලි කෙරුනේ මෙසේය:

ආන්ඩුවේ පාසල් විවෘත කිරීමේ තීන්දුව බැඳී පවතින්නේ, මහ ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා ආර්ථිකය විවෘත කරමින්, අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට දැක්කීමේ මිනීමරු පිලිවෙත සමගයි. පාසල් දරුවන් නිවෙස් තුල රැඳී සිටීම කම්කරුවන් වැඩට කැඳවීමට එරෙහි බාධකයක් ලෙස ආන්ඩුව දැක ගනී.

'කොවිඩ්-19 සමග සටන් වදින වරාය කම්කරුවන් මර්දනය කිරීමට ලංකාවේ ආන්ඩුව පනවා ඇති අත්‍යවශ්‍ය සේවා නියෝගයට විරුද්ධ වනු !' යන හිසින් නොවැම්බර් 20 වන දා ලෝසවෙඅ හි පලකල සසප ප්‍රකාශයද කම්කරුවන් අතර බලගතු අවධානයක් දිනා ගැනීමට සමත් විය.

'වරාය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට රාජපක්ෂ ආන්ඩුව එල්ල කර ඇති ප්‍රහාරය, සමස්ත කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් මෙන් ම, කොරෝනා වසංගතය දිවයින පුරා පැතිර යද්දී පවා, කම්කරුවන් දිගට ම සේවයේ යෙදිය යුතු බවට බල කරමින් එය ගෙන යන සාපරාධී ප්‍රයත්නයන් තවත් තීව්‍ර කිරීමක්' බව පැහැදිලි කරමින්, 'සියලු වරාය කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙසත්, අත්‍යවශ්‍ය සේවා නියෝගය වහා ම හකුලා ගන්නා ලෙසට බල කරන ලෙසත්' එම ප්‍රකාශය කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේය.

සහයෝගී අදහස් පල කිරීම් සහ බෙදාහදා ගැනීම් (sharing) ඇතුලු විවිධාකාරයේ සාධනීය ප්‍රතිචාර මෙම ලිපි වලට ලැබුනි. ප්‍රතිචාරය කෙතරම් බලගතු ද යත් එම ලිපි මගින් ඉදිරිපත්කල අදහස් කටුනායක නිදහස් වෙලඳ කලාපය පුරා ව්‍යාප්ත වන්නට විය. මින් දැඩි ලෙස තැති ගත් හාම්පුතුන්, වෘත්තීය සමිති සහ වෙලඳ කලාප පාලනාධිකාරිය විසින් උසි ගන්වන ලද, ඉසුරු ජයසිංහ නම් තැනැත්තෙක්, ලෝසවෙඅ සහ සසප විශ්ලේෂනයන්ට එරෙහිව විවිධ සටහන් පල කරමින් කම්කරුවන් අවමංගත කිරීමේ දැඩි උත්සාහයක යෙදී ගත්තේය.

ඊට එරෙහිව සසප සාමාජිකයන්ගේ මැදිහත්වීම, කම්කරුවන් උගන්වා ගැනීම සම්බන්ධයෙන්, ඉතා වැදගත් විය. විරැකියාව, වැටුප් සහ දීමනා කප්පාදුව, වැඩ වේගවත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා ගැනීම ආදී කම්කරුවන් මුහුනදෙන සියලු ගැටලු ධනපති ක්‍රමයේ ඓතිහාසික බිඳ වැටීමේ නිෂ්පාදිතයන් බව සසප සාමාජිකයෝ මෙම සාකච්ඡා තුල දී පැහැදිලි කලහ.

කම්කරු පන්තියට තමා මුහුන දී සිටින ගැටලු ජයගත හැක්කේ ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව ගෙනයන ස්වාධීන දේශපාලනික අරගලයක් තුලින් බවත්, ධනපති පන්තියේ උපකරන බවට බොහෝ කලකට පෙර පරිවර්තනය වී ඇති වෘත්තීය සමිති එවන් අරගලයකට පරම ලෙසින්ම සතුරු බවත් මෙහිදී අවධාරනය කෙරුනි.

වෘත්තීය සමිති වලින් බිඳී තමාගේම ස්වාධීන සංවිධානයන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මෙම අරගලය සඳහා අත්‍යවශ්‍ය බව එහිදී සාකච්ඡාවට භාජනය විය.

මෙම සාකච්ඡාව වර්ධනය වෙද්දී පිටුව මෙහෙයවන්නන් සටහනක් තබමින් සඳහන් කලේ, ඔවුන් 'කිසිම දේශපාලන පක්ෂයකට, කන්ඩායමකට හෝ සංවිධානයකට අයත් නොවන බවත් හුදු විනෝදාස්වාදය සඳහා 'කටුනායක සෝන් එකේ අපි' ආරම්භ කල බවත්' ය.

එයින් දිරි ගැන්වුනු උක්ත පුද්ගලයා, ලෝසවෙඅ ලිපි සහ සසප සාමාජිකයන්ගේ අදහස් පිටුව තුල සංසරනය වීම වැලැක්වීම අරමුනු කරගත් සටහනක් පල කලේය. ඊට වහා ප්‍රතිචාර දැක්වූ ෆේස්බුක් පිටුව මෙහෙයවන්නෝ, මින් ඉදිරියට 'ව්‍යාජ ගිනුම් සම්බන්ධ කර නොගන්නා බවද, අනන්‍යතාව නොපැහැදිලි ගිනුම් ඉවත් කරන බවද, සමූහයට එක් වීමේදී අනන්‍යතාව තහවුරුකර ගැනීමට අසන ප්‍රශ්න වලට පිලිතුරු නොදෙන්නන් ඉවත් කරන බව' ද සඳහන් සටහනක් පල කලහ.

ඒ අනුව, දෙසැම්බර් 03 වන දා සිට, සසප සාමාජිකයන් එහි පල කරන ලෝසවෙඅ ලිපි සහ වෙනත් අදහස් දැක්වීම් සපුරා අවහිර කෙරුනි.

නිදහස් සහ විවෘත සාකච්ඡාවක් සඳහා පිටුවේ සාමාජිකයන් සතු ප්‍රජාතන්ත්‍රීය අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදු කරන ලද මෙම වාරනය පිලිබඳව, සාමාජිකයන්ට හේතු දක්වන ලෙස සසප සාමාජිකයන්, 'කටුනායක සෝන් එකේ අපි' ෆේස්බුක් පිටුව මෙහෙයවන්නන්ගෙන් ඉල්ලා සිටි නමුදු ලිපිය ලියන මේ මොහොත දක්වා ඊට ප්‍රතිචාරයක් පල නොවුනි.

සිද්ධි දාමය සමීපව පිරික්සීමෙන් ඉතා පැහැදිලිව විශද වන්නේ, සසප සහ ලෝසවෙඅ ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලින් කම්කරුවන් සන්නද්ධ වීම වැලැක්වීම සඳහා මෙම වාරනය සිදුකෙරී ඇති බවයි.

ධනවාදයේ මරලතෝනිය මධ්‍යයේ, ජාත්‍යන්තර පරිමානව නැගී එන කම්කරු පන්තික අරගල, ලෝසවෙඅ සහ සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සමග අන්තර්ඡේදනයවීම සම්බන්ධයෙන් ලොවපුරා ධනපති පාලකයෝ දැඩි ලෙස භීතියට පත්ව සිටිති.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන්හි එම ඉදිරි දර්ශනය සාකච්ඡා කිරීමට කම්කරු පන්තියට ඇති ඉඩකඩ අහුරා දැමීම, එම භීතියේ ප්‍රකාශනයකි. එහි මෑතම ජාත්‍යන්තර උදාහරනය වන්නේ ට්විටර් ජාලය විසින් එක්සත් ජනපදයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයට පනවන ලද වාරනය යි. ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලින් මතුවූ බලගතු විරෝධය හමුවේ එය හකුලා ගන්නට සිදු වුව ද, එවන් වාරන යලි යලිත් සිදු වෙමින් පවතී.

කම්කරුවන්ට තමන් අනුගමනය කිරීමට, සාකච්ඡා කිරීමට හා විවාද කිරීමට කැමති කුමන දේශපාලන වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනයද යන්න තීරනය කිරීමේ අයිතිය තිබිය යුතු ය. එමෙන්ම තම දේශපාලන වැඩපිලිවෙල කම්කරුවන් අතරට ගෙනයාම සඳහා සසප ට ඇති මූලික අයිතිය ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ වගකීමක් වෙයි. වාරනය යනු, මේ අයිතීන් සඳහා ප්‍රවේශය අවහිර කිරීමේ සහ විරුද්ධත්වය යටපත් කිරීමේ ප්‍රතිගාමී මෙවලමකි.

අවසාන වසයෙන්, 'කටුනායක සෝන් එකේ අපි' ෆේස්බුක් කන්ඩායමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, සසප සාමාජිකයන්ගේ සටහන් වලට සහ ලෝසවෙඅ හි ලිපි වලට ඔබේ ෆේස්බුක් පිටුව තුල පනවා ඇති වාරනය වහා ඉවත් කරන ලෙස ඉල්ලා එම පිටුව මෙහෙයවන්නන්ට බල කර සිටින ලෙසයි. එය සපුරා ගැනීම සඳහා අපි කම්කරු පන්තිය තුල පුලුල් ලෙස උද්ඝෝෂනය කරන්නෙමු.

ඔබේ අදහස් පහත ලිපිනයට යොමු කරන්න: garmentworkers-sl@wsws.org

Loading