ඉහල යන වසංගතය මධ්‍යයේ බලහත්කාරයෙන් වැඩෙහි යෙදවීම එපා! කම්කරුවන්ට සම්පූර්න වැටුප් සහිතව සියලුම අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමනු!

කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව ඉහල යමින් තිබියදී ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාර, සේවකයින් දිගටම වැඩ කලයුතු බව විවෘතවම බලකර සිටියි. ජීවිත වලටම තර්ජනයක් වන මෙම බලකිරීම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ පූර්න සහය ලැබේ.

ආයෝජන මන්ඩලයේ ලියාපදිංචි වී ඇති දේශීය සහ විදේශීය සමාගම් විසින් සේවකයින්ට වැඩ කිරීමට බල කිරීම හේතුවෙන් මෑත සතිවල බොහෝ ආසාදනය වීම් අනාවරනය වී තිබේ. නිදහස් වෙලඳ කලාපවල (නිවෙක) සහ වෙනත් ස්ථානවල පමනක් කම්කරුවන් 700,000 කට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සමාගම් 1,600 කට අධික සංඛ්‍යාවක් ආයෝජන මන්ඩලයේ ලැයිස්තුගත කර ඇත.

අලුත්ම සිද්ධියට අනුව, පානදුර ප්‍රදේශයේ යුනිචෙලා ඇඟලුම් කම්හලේ කම්කරුවන් 100 දෙනෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇති බව පරීක්ෂන මගින් හෙලි විය. කම්කරුවන් 2000 ක් පමන සේවය කරන මෙම සමාගම අඟහරුවාදා සිය කර්මාන්ත ශාලාව වසා දැමුවේ එහි ශ්‍රමිකයන්ගේ කෝපය ඇවිලී ගොස් ඔවුන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමෙන් පසුව ය.

යුනිචෙලා කම්හල අයිති, ලංකාවේ කම්හල් කිහිපයක් ඇතුලුව රටවල් 15 ක කම්කරුවන් 100,000 ක් සේවයෙහි යොදවා තිබෙන යෝධ සමූහ ව්‍යාපාරයක් වන මාස් (MAS) ආයතනයටයි. නොවැම්බරයේ මුල් භාගයේදී, හොරන සහ අගලවත්ත මාස් ඇඟලුම් කම්හල්වල වෛරස් ආසාදන සිය ගනනක් සොයා ගන්නා ලදී. කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම කම්හල් වසා දැමූ අතර කලමනාකරීත්වය ඉක්මනින්ම එම වැඩපල විවෘත කලේය.

මාස් කම්කරුවන් කිලිනොච්චි කම්හලක ආපනශාලාවේ තදබදවී සිටින ආකාරය [ඡායා රූපය: ලොසවෙඅ මාධ්‍ය අංශයෙනි]

පසුගිය සතියේ, සීතාවක අපනයන සැකසුම් කලාපයේ ආයෝජන මන්ඩල කාර්යාල සේවකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ, ඔක්තෝබර් මාසයේ සිට කලාපයේ සමාගම් කිහිපයකින් කොවිඩ්-19 ආසාදිත කම්කරුවන් සොයාගෙන ඇති බවයි. එම සේවකයා පැවසූ පරිදි සමාගම්, ආසාදිතයන් ප්‍රතිකාර සඳහා පිටත් කර හැර, නිසි සෞඛ්‍ය පූර්වාරක්ෂාවකින් තොරව නිෂ්පාදනය දිගටම කරගෙන යමින් සිටී. මෙම කලාපය තුල කර්මාන්තශාලා 22 ක කම්කරුවෝ 25,000 කට වැඩි සංඛ්‍යාවක් සේවය කරති.

එක්සත් ජනපදයේ කොමාර් (Komar) සමාගමට අයත්, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) පිහිටා ඇති ස්ටාර් ගාමන්ට් කම්හල, නොවැම්බර් මස අවසානයේදී වසා දැමීමට සිදුවිය. ඒ, එහි කම්කරුවන් 650 න් 70 කට කොවිඩ්-19 වැලඳී ඇති බව පරීක්ෂන වලින් දැනගත් පසුය. දින තුනක් ඇතුලත කලමනාකාරිත්වය කම්හල නැවත විවෘත කල අතර නිරෝධායනය වෙමින් සිටින්නන් ඇතුලුව සියලුම සේවකයින්ට නැවත සේවයට පැමිනෙන ලෙස බලකර සිටියේය. කලමනාකාරීත්වය සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන බව ප්‍රකාශ කරමින් ස්ටාර් ගාමන්ට් හි නිරෝධායනය වෙමින් සිටි කම්කරුවෝ මෙම නියෝගය ප්‍රතික්ෂේප කලහ.

නෙක්ස්ට් කම්හලෙන් පිටත කම්කරුවන් විරෝධතාවයක [ඡායා රූපය: ලොසවෙඅ මාධ්‍ය අංශයෙනි]

ඒ හා සමාන ව, ලංකාවේ තවත් විශාල ඇඟලුම් නිෂ්පාදකයෙකු වන බ්රැන්ඩික්ස් සමාගම තම සේවකයින්ට බලකර තිබුනේ, සෙසු සේවකයින් අතර පවතින වෛරස් රෝග ලක්ෂන නොසලකා දිගටම වැඩ කරන ලෙසයි. පසුව, පීසීආර් පරීක්ෂන මගින් කම්හලේ සේවකයින් සිය ගනන් ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී.

කර්මාන්තශාලා, තේ වතුකරය සහ රජයේ ආයතන දැන් දිවයින පුරා කොවිඩ්-19 වේගයෙන් බෝවෙන ස්ථාන බවට පත්වී ඇත. මෙම භයානක තත්වය ආර්ථිකය යලි විවෘත කිරීම සඳහා අප්‍රේල් අග දී රාජපක්ෂ ආන්ඩුව ගත් තීරනයේ සෘජු ප්‍රතිඵලයකි.

ලංකාවේ කොඩිඩ්-19 රෝගීන් සංඛ්‍යාව දැන් 38,600 ඉක්මවා ඇති අතර, ඊයේ වන විට මරන සංඛ්‍යාව 184 දක්වා ඉහල ගොස් තිබේ. රෝගීන් ගනන ඔක්තෝබර් මස මුල සිට තුන් ගුනයකින් වැඩි වී ඇති අතර මරන සංඛ්‍යාව 14 ගුනයකින් වැඩි වී තිබේ. කෙසේ වෙතත්,මෙම සාපේක්ෂව පහල අගයන්, රටේ අඩු පරීක්ෂන සංඛ්‍යාවේ ප්‍රතිඵලයක් වන අතර ඉන් සැබෑ තත්වය පිලිබඳ ලබා දෙනුයේ ව්‍යාජ චිත්‍රයකි.

කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා බොහෝ ප්‍රදේශ හුදකලා කිරීමේ අවශ්‍යතාව පිලිබඳව දිනපතා ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. මෙම නිවේදන සහ කර්මාන්තශාලා තුල ඉහල යන රෝගීන් සංඛ්‍යා මගින් පෙන්නුම් කෙරෙන්නේ වසංගතය පාලනය කර ගැනීම සඳහා ජාතික වශයෙන් අගුලු දැමීමේ සහ අත්‍යවශ්‍ය නොවන සියලු සේවා ස්ථාන වසා දැමීමේ අවශ්‍යතාවයි.

ආරම්භයේ සිටම රාජපක්ෂ පාලන තන්ත්‍රය, සම්පූර්න අගුලු දැමීමකට සතුරු විය. මුල් අවස්ථාවේදී මාර්තු 5 වන දින පාසල් වසා දැමුනු නමුත් තවත් කල් මරමින් සිටි ආන්ඩුව ජාතික වශයෙන් අගුලු දැමීම මාර්තු 20 වන දින ප්‍රකාශයට පත්කලේ වැඩෙන මහජන විරෝධය නිසාය. වැඩකරන ජනතාව පූර්වාරක්ෂාව පිලිබඳ සෞඛ්‍ය උපදෙස් පිලිපැදීම නිසා, මෙම පියවරයන් වෛරසය පැතිරීම පාලනය කිරීමට යම් දුරකට උපස්තම්භක විය.

කෙසේවෙතත්, අගහිඟකම් ඇති අය සඳහා ප්‍රමානවත් සමාජ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට වත් අඩුවෙන් අරමුදල් යොදවා ඇති සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීමට වත් කොලඹ පාලන තන්ත්‍රය පියවර ගත්තේ නැත. මහා සමාගම්වල ඉල්ලීම් අනුව, එය ආර්ථිකය යලි විවෘත කල අතර, වසංගතය ඉහල යාම සඳහා කොන්දේසි නිර්මානය කරමින්, දිගටම වැඩ කරන ලෙස සේවකයින්ගෙන් ඉල්ලා සිටීමට සමාගම් දිරිමත් කලේය.

දෙසැම්බර් 1 වන දින ජනාධිපති රාජපක්ෂ ලංකා වානිජ මන්ඩලයට පැවසුවේ, වෛරසය “නව සාමාන්‍යයක්” ලෙස සලකා ජීවත් විය යුතු බවත් ආයෝජකයින් එහි “වාසිදායක ප්‍රතිඵල” ලබා ගත යුතු බවත්ය.

කොලඹ වරායේ කම්කරුවන් රැකියාවේ යෙදී සිටියදී කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානම පිලිබඳව කනස්සල්ල දැක්වීම කෙරෙහි කිපුනු රාජපක්ෂ ප්‍රතිචාර දැක්වූයේ බරපතල සිර දඬුවම් හා දඩ මුදල් පැනවීමටත් සියලු කාර්මික ක්‍රියාමාර්ගයන් තහනම් කිරීමටත් අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමෙනි. වරාය කම්කරුවන්ගේ උත්සුකයන් මැඩලීමට ආන්ඩුව දැක්වූ කුරිරු ප්‍රතිචාරයට වෘත්තීය සමිති පූර්න සහයෝගය ලබා දුන්නේය.

දෙසැම්බර් 10 වන දින අධ්‍යාපන නිලධාරීන් අමතමින් රාජපක්ෂ ප්‍රකාශ කලේ “අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට” කොරෝනා වෛරසයට ඉඩ නොදිය යුතු බවයි. මෙය දරුවන්ගේ අධ්‍යාපනය පිලිබඳ මොනම සැලකිලිමත් වීමකින් හෝ කල ප්‍රකාශයක් නොවේ. පසුගිය මාසයේ ඔහුගේ ආන්ඩුව 2021 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වියදම රුපියල් බිලියන 40කින් කපා දැමුවේය.

බස්නාහිර පලාතේ සහ සමහර හුදෙකලා කෙරුනු ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පාසල් ජනවාරි 11 වන දින නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මින් සිදුවන්නේ ලක්ෂ සංඛ්‍යාත සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් තදින්ම බෝවන කොරෝනා රෝගයට නිරාවරනය වීමයි. කොලඹ පාලන තන්ත්‍රයට අවශ්‍ය වන්නේ ලමයින් පාසලට යවමින්, ඔවුන්ගේ දෙමාපියන් වැඩට දැක්කීමටයි.

වසංගතය “පාලනය කර ඇති” බවට ජනාධිපති රාජපක්ෂ කරන සාපරාධී අවධාරනය ලංකාවේ කම්කරුවන් සහ තරුනයින් විසින් ප්‍රතික්ෂේප කල යුතුය. ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදන උත්සන්න වේ. ආසාදන දැන් මිලියන 77.7 ට වඩා වැඩි අතර මරන සංඛ්‍යාව මිලියන 1.7 ඉක්මවයි. එක්සත් ජනපදයේ රෝගීන් මිලියන 18.4 ක් සහ මරන 300,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ රෝගීන් මිලියන 10 ඉක්මවා ඇත. ලක්ෂ සංඛ්‍යාත නව ආසාදන නිසා යුරෝපා සංගමයේ රටවලට අලුතින් අගුලු දැමීම් සිදු කිරීමට බල කර ඇති අතර එක්සත් රාජධානියෙන් වෛරසයේ තවත් වේගයෙන් බෝවන ප්‍රභේදයක් වාර්තා වේ.

එසේ තිබියදී, මෙම රටවල ආන්ඩු ඊනියා “රංචු ප්‍රතිශක්තිය” නමැති ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටිති. එමඟින් දැනටත් වඩා අධික සංඛ්‍යාවක් ආසාදනය වී මිය යන බව නිසැකය. ඔවුන්ගේ ප්‍රමුඛතාවය වන්නේ බැංකුවල සහ සංගතවල ලාභ, මිනිස් ජීවිතයට වඩා ප්‍රමුඛත්වය ගත යුතුය යන්නයි. රාජපක්ෂ අනුගමනය කරන්නේ ද එම ප්‍රතිපත්තීන්මය.

කොටස් වෙලඳපොලේ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම්වල ඉපැයීම් මේ වසරේ තුන්වන කාර්තුවේදී රුපියල් බිලියන 73.7 කින් (ඇමරිකානු ඩොලර් මිලියන 387 කින්) ඉහල ගොස් ඇති බව දෙසැම්බර් 8 වන දින ඩේලි එෆ්ටී වාර්තා කල අතර එය 2018 අග භාගයේ සිට මාස තුනක කාලයක් තුල වාර්තා වූ ඉහලම අගයයි. “සමාගම්වල ඒකාබද්ධ ඉපැයීම්, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 53 ක ප්‍රතිලාභයක් සහ [මේ වසරේ] දෙවන කාර්තුවේ සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 287 ක දැවැන්ත පිම්මක් පෙන්නුම් කරයි” යනුවෙන් එම පුවත්පත සඳහන් කර තිබේ.

නැගී එන ආන්ඩු විරෝධය තලා දමා ධනවාදය ආරක්ෂා කිරීම සඳහාත්, ගෝලීය වසංගතය මගින් වේගවත් කරන ලද ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය සහ දුප්පතුන් මත පැටවීම සඳහාත් රාජපක්ෂ ආන්ඩුව වේගයෙන් ජනාධිපති ආඥාදායකත්වයක් කරා ගමන් කරමින් සිටී.

ඔකායා, නෙක්ස්ට්, ස්ටාර්, ස්මාර්ට්, මාස් සමාගම්වල කම්කරුවන් දහස් ගනනක් වැඩ වර්ජන හා විරෝධතා වල යෙදෙමින් අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීමටත් තම වැටුප්, රැකියා සහ බෝනස් කප්පාදුවට එරෙහිවත් විරෝධය පල කලහ. ඊට හාත්පසින්ම විරුද්ධව, වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වා ඇත්තේ හාම්පුතුන් හා ආන්ඩුව සමඟ ඔවුන්ගේ සහයෝගිතාව ගැඹුරු කිරීමෙනි.

ආන්ඩුවේ “ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධක බලකායේ” සාමාජිකයන් වශයෙන්, වෘත්තීය සමිති නිතිපතා ආන්ඩුව හා සේවා යෝජකයන් හමුවී කම්කරුවන්ගේ අරගල මැඩපවත්වන අතරම මහා ව්‍යාපාර ආරක්ෂා කර ගත හැකි හොඳම ආකාරය ගැන සාකච්ඡා කරති.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුන සහ විවිධ ව්‍යාජ වාම සංවිධාන සහ මාධ්‍ය, වසංගතය කෙරෙහි ආන්ඩුව දක්වන ප්‍රතිචාරයට සහාය දක්වති. මෙම සංවිධාන වරාය සේවකයින් 15,000 කට එරෙහිව රාජපක්ෂ දැමූ අත්‍යවශ්‍ය සේවා නියෝගය නිහඬව අනුමත කිරීමෙන් මෙම සහයෝගය මැනවින් පෙන්නුම් කලහ.

කොවිඩ්-19 න් මහා ජනතාව ආරක්ෂා කිරීම සඳහා නව මූලෝපායක් අනුගමනය කරන ලෙසත්, රැකියා හා වැටුප් මත ආන්ඩුව සහ සේවායෝජකයන් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

මෙම අරගලය සඳහා සෑම සේවා ස්ථානයකම හා කම්කරු පන්තියේ නිවහන් ප්‍රදේශයකම කම්කරුවන් විසින් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව නොපමාවම ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.

අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සියල්ල නවතා දැමිය යුතු අතර, අත්‍යවශ්‍ය වැඩ කටයුතුවල නියැලී සිටින කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා නවීන හා පූර්න අරමුදල් යෙදවූ සෞඛ්‍ය පහසුකම් ඇති කරන ලෙස මෙම කමිටු ඉල්ලා සිටිය යුතුය.

සෞඛ්‍ය අංශයේ සේවකයින්ට සහ එහි ඉදිරි පෙල කම්කරුවන්ට වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සියලු සම්පත් හා උපකරන වහාම ලබා දිය යුතුය. අත්හිටුවන අත්‍යවශ්‍ය නොවන කර්මාන්තශාලා වල සේවකයින්ට පූර්න මූල්‍ය ආධාර ලැබිය යුතුය.

අවිධිමත් අංශයේ බොහෝ දෙනෙක් ද ඇතුලුව ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා හා ආදායම් මාර්ග අහිමි වී තිබේ. මෙම සේවකයින්ටද, ස්වයං රැකියාවල නියුතු කුඩා ව්‍යවසායකයින්ට ද ප්‍රමානවත් ආදායමක් සහ මූල්‍ය ආධාර ලබාදීම අත්‍යවශ්‍යය.

රාජපක්ෂ පාලන තන්ත්‍රය, මහා ව්‍යාපාරික සමාගම්, විරුද්ධ පක්ෂ, මාධ්‍ය සහ වෘත්තීය සමිති මෙම මූලික ඉල්ලීම් වලට මුදල් නොමැති බවත් ඒවා මනෝරාජික ඉල්ලීම් බවත් ප්‍රකාශ කරනු නිසැකය.

කෙසේ වෙතත්, ජීවිත බේරා ගැනීමට සහ වැඩ කරන ජනතාවගේ සහ දුගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති එකම යථාර්ථවාදී සැලැස්ම මෙයයි. අවශ්‍ය අරමුදල් තිබේ: මෙම පියවර සඳහා අරමුදල් සම්පාදනය කිරීමට සංගතවල දැවැන්ත ලාභය භාවිතා කල යුතුය; මහා ව්‍යාපාරිකයින්ට ලබා දී ඇති දැවැන්ත මුදල් හා බදු සහන දුප්පතුන්ට උපකාර කිරීම සඳහා හරවා යැවිය යුතුය; ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුය. ආන්ඩුවේ යෝධ ආරක්ෂක වියදම් සමාජ සුභසාධනය වෙත හරවා යැවිය යුතුය.

ලාභ ක්‍රමයට එරෙහිව, බැංකු, සංගත සහ විශාල වතු පොදු අයිතිය යටතට ගෙන එමින් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඇතිකිරීම සඳහා වන දේශපාලන අරගලයක් මෙහි ලා අවශ්‍ය කෙරේ. මෙම සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා, රාජ්‍ය බලය ගැනීමේ අරගලයට කම්කරු පන්තිය දුගීන් ද පෙලගස්වා ගනිමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට සටන් කල යුතුය.

ලංකාවේ කම්කරුවන්ට මෙම සටන දියත් කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එකමුතුව ගොඩනගා ගැනීමෙන් පමනි. මේ වන විටත් ඉතාලියේ, ජර්මනියේ, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ, එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් රැකියා, වැටුප් සහ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අරගලයකට පැමිනෙමින් සිටිති. එක්සත් ජනපදයේ, ඇමසන් සහ මෝටර් රථ අංශයේ සේවකයින් ක්‍රියාකාරී කමිටු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා වැවිලි අංශයේ සේවකයින් දැනටමත් ක්‍රියාකාරී කමිටු පිහිටුවා තිබේ. සසප විසින් ඇඟලුම්, සෞඛ්‍ය, සංක්‍රමනික සහ අධ්‍යාපන යන අංශ සඳහා 'සසප පනිවුඩ' නමින් අන්තර්ජාල ප්‍රකාශන හතරක් ආරම්භ කර ඇති අතරම, ඔන්ලයින් රැස්වීම් පවත්වා ඇත. කම්කරුවන් හා තරුනයින් අතරින් ඒවාට ලැබී ඇත්තේ දිරිගන්වන සහයෝගයකි.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට කම්කරුවන්ට විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ. ලංකාවේ මෙම පක්ෂය ගොඩනඟමින් සිටින්නේ සසප යි. අප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ සසපට එක්ව මෙම අරගලයට සම්බන්ධ වන ලෙසයි.

Loading